
ශ්‍රී ලංකාව ලබාගත් ණය ආපසු ගෙවීම අකුරටම ඉටු කරන කීර්තිමත් රාජ්‍යයක් යන්න එලෙසම පවත්වාගෙන යාමට කටයුතු කරමින් වත්මන් ආණ්ඩුව නෙක අභියෝග මැද දෙස් විදෙස් ණය කල් පිරෙන දිනටම ආපසු ගෙවීම ඉටු කරන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව ණය උගුලක හිරවී ඇතැයි නැගෙන චෝදනාවට පිළිතුරු දෙමින් සැබෑ ලෙසම ඉදිරියේදී ණය උගුලෙන් රට ගලවාගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
විපක්ෂයේ ඇතැමුන් ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි තැනකට පත්වී ඇතැයි චෝදනා කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය මුදල් ලබාගැනීමට පියවර නොගැනීම ගැන ආණ්ඩුවට දොස් කියනවා. මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
මේ වනවිටත් ආණ්ඩුවක් ලෙස අපි විදේශ ණය ගැනීමෙන් හැකි තරම් ඈත්ව අපනයන හා ණය නොවන විදේශ විනිමය ගලාඒම වැඩි කරගැනීමට තීරණයක් ගෙන තිබෙනවා. එහිදී අපේ විශේෂ අවධානය ණය ආපසු ගෙවීම් නිසි ලෙස ඉටුකරගැනීම යොමු කර තිබෙනවා. ඒ ගැන විපක්ෂය කම්පාවීමකට අවශ්‍ය වන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගන්නවාද නැද්ද යන්න තීන්දු කරන්නේ විපක්ෂය නොව අපයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වසර 2009දී මේ රටට ලැබුණු විශාලතම සමීපස්ථ ණය මුදලවන ඩොලර් බිලියන 2.5ක මුදල ලබාගැනීමට අවශ්‍ය සියලු සක්‍යතාවයන් පෙන් වූ අත්දැකීම් ඇති පිරිසක්. ඒ නිසා අපට IMF සමඟ ගනුදෙනු කරන ආකාරය විපක්ෂයේ කිසිවෙක් අමුතුවෙන් කියා දිය යුතු නැහැ.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ස්වභාවය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?
ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු වන්නේ මුළු ණය ප්‍රමාණයෙන් 17%ක් පමණයි. ඉතිරි 83%ක් ගෙවිය යුත්තේ ශ්‍රී ලංකාව ලබාගත් ද්විපාර්ශ්වික ප්‍රදානයන්, ද්විපාර්ශ්වික ණය ගැනීම් සහ අනෙකුත් විදේශීය ආයතනවලින් ලබාගත් ණය සඳහායි. මේ ගැන විපක්ෂයේ ඇතැම් දෙනෙක් රජයට චෝදනා නඟන බව අපි දන්නවා.
විපක්ෂය එලෙස චෝදනා නඟන්නේ ඇයි?
ඔවුන් චෝදනා කරන්නේ මා මුලින් සඳහන් කළ 17%ක් තරම් වූ නැති නම් ඇමරිනානු ඩොලර් බිලියන 14ක් වන ණය ප්‍රමාණය ආපසු ගෙවීමේදී රජය ගැටලුවකට මුහුණදී සිටින බවයි. එය නිවැරදි චෝදනාවක් නොවෙයි. ශ්‍රී ලංකාව මෙම ණය මුදලින් මේ වසරේදී දැනටමත් ඩොලර් බිලියන 1ක් ගෙවා තිබෙනවා. මෙලෙස ණය ගෙවා දැමීම කිසිදු අපහසුතාවයකින් තොරව ඉදිරියටත් කරගෙන යෑමට මේ රජයට හැකියාව තිබෙනවා. මට මෙහිදී යම් කරුණක් පැහැදිලි කළ යුතුයි.
ඔබට පැහැදිලි කළ යුතු කරුණ කුමක්ද?
ඔව් වසර 2014 වන විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණයබරතාවය ඇමරිකානු ඩොලර් බිලියන 5ක්. එම වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 79ක් වුණා. වසර 2019 දී මෙරට ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා පසුගිය යහපාලන රජය ඇමරිකානු ඩොලර් බිලියන 10කින් ණය බර වැඩිකර ගත්තා. වසර 2019 ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 83ක් වුණා. මේ අන්දමට ශ්‍රී ලංකාවේ ණය බර වැඩිකර ගත් රජයක් ලෙස 2015-2019 යහපාලන ආණ්ඩුව හැඳින්විය යුතුයි. එපමණක් නොව වසර 2014දී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලරයකට ගෙවූ රුපියල් ප්‍රමාණය 131ක් විය. 2019දී එය රුපියල් 185ක් විය. මෙලෙස රුපියල අවප්‍රමාණය වීම නිසා විදේශ ණය ගෙවීමට වසරකට රුපියල් බිලියන 37ක් අතිරේකව වැය වුණා. වසර 2019 නිමාවන විට එය රුපියල් බිලියන 201ක් දක්වා විශාල ලෙස වැඩි වූ බවද අප මතක් කළ යුතුයි.
පසුගිය යහපාලන රජය රටේ ණය බරතාවය ඉහළට ගෙන ගියත් වත්මන් රජයත් එසේ සිදු කරන්නේ නැති බවට ඔබට සහතික විය හැකිද?
අනිවාර්යයෙන්ම ඔව්. මෙවැනි තත්ත්වයකින් මිදීම සඳහා වත්මන් රජය ඉතාමත්ම ප්රතිඵලදායි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ තමයි හැකි තරම් දේශීය අරමුදල් ඔස්සේ ණය බර ලබාගනිමින්, ණය ආපසු ගෙවීමට අනවශ්‍ය ලෙස පීඩනයක් එක්කර නොගැනීමට කටයුතු කිරීම. අපි හැකි තරම් අපේ අපනයන ආදායම වැඩි කර ගනිමින්, ණය නොවන විදේශ විනිමය රට තුළට ගලාගෙන ඒම ආකර්ෂණය කර ගැනීම සඳහා පියවර ගනිමින් ඉන්නේ. ඒ සඳහා ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අලුත් ප්‍රවේශයක් අපි ලබා ගත්තා. ඊට අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ සභාපතීත්වයෙන් ඍජු විදේශ ආයෝජන හැකි තරම් ගෙන්වාගැනීමටත් ඒවාට මතුවන ගැටලු විසඳාලීමට පියවර ගැනීමටත් ඉහළ පෙළේ කමිටුවක් පත් කොට තිබෙනවා.
විපක්ෂය නගන IMF සහය ලබානොගැනීම ගැන ඔබේ අදහස කුමක්ද?
විපක්ෂයේ ඇතැම් දෙනා නඟන චෝදනාවක් තමයි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකරන්නේ ඇයි කියන කාරණය. දැඩි කොන්දේසි සහිතව මූල්‍ය අරමුදලෙන් ණය ලබාගැනීමේ පිළිවෙත බැහැර කිරීමට වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙනවා. එසේ නමුත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලබා නොගත්තද තාක්ෂණික සහයන් සහ අනිකුත් සේවා ලබාගැනීමට කටයුතු කරනවා.
අපි මේ මොහොතේ කල්පනාකාරී තීරණයක් ගනිමින් විදේශ ණය මත යැපීම වෙනුවට ණය නොවන වෙනත් විදේශ විනිමය රටට ගලා ඒම වේගවත්වන වැඩපිළිවෙළකට අවතීර්ණය වී සිටිනවා. එහිදී මේ වසරේ (2021දී) ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 13ක අපනයන ආදායමක් අපේක්ෂා කරනවා. ඊට අමතරව සංචාරක අංශයෙන් ඩොලර් බිලියන 1.5ක්, තොරතුරු තාක්ෂණය සහ තවත් මූලික අංශ 6ක් ඔස්සේ ඩො.බිලියන 6.1ක ආදායමක් විශේෂයෙන් මැණික් පිටරට යැවීමෙන් ඩොලර් බිලියන 1ක ආදායමක් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව වසර 2020දී මැණික් පිටරට යැවීමෙන් ඩො.මිලියන 300ක ආදායමක් උපයාගෙන තිබෙනවා. ඒ මුදල මේ වසරේදී ඩො.මිලියන දහසක් දක්වා වැඩි කරගැනීම අපේ ඉලක්කයයි.
ශ්‍රී ලංකා රජය කෙටිකාලීනව ගෙවිය යුතු දෙස් විදෙස් ණය සියල්ල නියමිත පරිදි ගෙවා දමා ඇත. රජයේ මැදිකාලීන හා දිගුකාලීන අරමුණ ඉතා පහසුවෙන් ණය ආපසු ගෙවන රටක් බවට රට පරිවර්තනය කර ගැනීමයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවුම් ශේෂයේ විශේෂයෙන් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වී ඇත්තේ අවස්ථා කිහිපයකදියි. වසර 1950 - 51, වසර 1954 - 56 , වසර 1977 කාලවලදී ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කර තිබුණා. මේ අන්දමට මේ වසරේ අග භාගයේ හෝ ලබන වසරේ අනිවාර්යයෙන්ම ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කර ගැනීමට හැකිවන ලෙසට රටේ ආර්ථිකය මෙහෙයවීමට ඉලක්ක කර තිබෙනවා. එය ඉතා යහපත් ප්‍රතිඵල රාශියක් රටට ළඟා කර දීමක් ද වනවා.
වසර 1976 - 77 කාලයේ ජංගම ගිණුමෙන් අතිරික්තයක් වාර්තා වූයේ එවකට රජය ශ්‍රී ලංකා ආර්ථිකය විවෘත කිරීම නිසාම නොවන බව කිව යුතුයි. එයට බලපෑවේ කාලයක් තිස්සේ ආර්ථිකය දැඩිකොට තිබීම නිසා ඇතිවූ සංදර්භයයි. දිගින් දිගටම ණයබරතාවයෙන් පෙළෙන රටක් ලෙස හෝ අපහසුවෙන් ණය ගෙවන රටක් ලෙස ශ්‍රී ලංකාව පවත්වාගෙන යාමට කටයුතු නොකරන බව පැහැදිලි කළ යුතුයි. රජයේ දිගුකාලීන අරමුණු ණය බරින් නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කරගැනීමයි