
කොරෝනා වසංගතයට එරෙහිව ඉදිරිපෙළ සටනක නිරත වූයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. ඒ අතරින් හෙද විරුවන්ගේ කාර්යභාරය මිල කළ නොහැකිය. කොරෝනාවට එරෙහිව හෙද හෙදියන් සටනක නිරත වෙද්දී පසුගිය පෙබරවාරි මාසයේ කොරෝනා වසංගතයට ගොදුරුව හෙදියක ජීවිතයෙන්ද වන්දි ගෙව්වාය. ඒ, මාවනැල්ල මූලික රෝහලේ ගර්භණි වාට්ටුවේ සේවය කළ ප්‍රියන්ති රම්‍යා විතානගේය. මේ අතර පසුගිය 10 වැනිදා හදිසියේම කොළඹ ජාතික රෝහලේ හෙදියකද මියගිය පුවතක් වාර්තා විණි. ඇය ජාතික රෝහලේ 40 වැනි වාට්ටුවේ සේවය කළ 29 හැවිරිදි නෙරංජලා මධුවන්ති සිංහලගේය.
දැරණියගල, බැලුන්ගල, පන්සල පාරේ විසූ නෙරංජලාගේ හදිසි මරණය පිළිබඳව බොහෝ කතාන්දර වාර්තා වෙමින් තිබිණි. හිටිහැටියේ රෝහල් විවේක කාමරයකදී මියගොස් සිටි ඇය කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය බවටද කතා පැතිරිණි. එහෙත් පසුව ඇයට කොවිඩ් වෛරසය වැලඳී නොමැති බවටද තහවුරු විණි. එසේම නෙරංජලා මියගිය ස්ථානයේ තිබී එන්නත් කටුවක්ද සොයා ගැනීමට ඇයගේ මරණය පිළිබඳ විමර්ශන සිදුකළ මරදාන පොලිසියට හැකිවිණි. ඒ අනුව ඇය විසින්ම කිසියම් ඖෂධයක් අධි මාත්‍රාවකින් තම සිරුරට එන්නත් කරගැනීම නිසාවෙන් මියගියාද යන්න සැකයක් ඒ හරහා විමර්ශන නිලධාරින්ට ඇතිවිණි.
නෙරංජලාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ධම්මි ලුවිස් විසින් සිදුකළාය. එහිදී ඇයගේ මරණයට නිශ්චිත හේතුවක් අධිකරණ වෛද්‍ය නිලධාරිනියටද අනාවරණය කරගැනීමට හැකියාවක් නොවූවාය. එසේ හෙයින් නෙරංජලාගේ සිරුරෙහි කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙතද යොමු කෙරිණි.
ඒ අනුව වෛද්‍ය වාර්තා සහ ඉදිරිපත් වූ සාක්ෂි පිළිබඳව අවධානය යොමුකළ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි විසින් නෙරංජලාගේ මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දුන්නේ වැඩිදුර විභාගය සඳහා ලබන අප්‍රේල් 19 වැනිදාට දින නියම කරමිනි.
1992 අගෝස්තු 21 වැනිදා උපන් නෙරංජලා කුරුණෑගල, අඹන්පොළ සාමාන්‍ය පවුලක තැනැත්තියකි. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලෙන් සිප්සතර හැදෑරූ ඇය 2017 අප්‍රේල් මස 11 වැනිදා කොළඹ ජාතික රෝහලේ හෙදියක ලෙස සේවයට එක්වූවාය.
සුවහසක් රෝගී ජිවිත සුවපත් කිරීමට අපමණ වෙහෙසක් ගත් හෙද නිලධාරිනියක් වූ නෙරංජලා 2019 වසරේ දෙසැම්බර් 12 වැනිදා විවාහ වූයේ සුදත් එරංග නමැති දැරණියගල ප්‍රදේශයේ ගුරුවරයෙකු සමඟිනි. අඹන්පොළ විසූ නෙරංජලා විවාහයෙන් පසු වාසභූමිය කරගත්තෙ තම සැමියා වූ සුදත්ගේ දැරණියගල නිවෙසයි. විවාහ ජීවිතය ගත කළ කෙටි කාලය තුළදී නෙරංජලා සහ සුදත් ඉතාම සතුටෙන් දිවි ගෙවා තිබුණේය. එසේම ඇය සුදත්ගේ නිවෙසේ සිට සතියකට දෙතුන් වතාවක් කොළඹ ජාතික රෝහලේ සේවයට ආගිය අතරේ කොළඹ හෙද විවේකාගාරයේද කල්ගත කර තිබුණාය.
මෙසේ කල් ගෙවූ නෙරංජලාගේ හදිසි මරණය පිළිබඳව වූ විමර්ශනයේදී සාක්ෂි දුන් ඇයගේ සැමියා කීවේ මෙවැන්නකි.
"අපි මීට අවුරුද්දයි මාස තුනකට පමණ පෙරදියි විවාහ වුණේ. කසාද බැඳලා අපි දෙන්නා ජීවත්වුණේ මගේ අම්මා, තාත්තා සහ නංගී සමඟ, අපේ මහගෙදර. මගේ බිරිය රෝහලේ සිට සතියකට තුන්වරක් පමණ ගෙදර එනවා. පසුගිය 09 වැනිදා වෙනතෙක් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. හොඳින්ම ජීවත්වුණා. නවවැනිදා රාත්‍රියේ මං ඇයගේ ජංගම දුරකතනය ඉල්ලගෙන බලමින් හිටියේ. මම ඇගේ දුරකතනයේ මුරපදයත් දැනගෙන හිටියේ. එහි තියෙන දේවල් බැලුවා. හැබැයි එහෙම බැලුවේ ඇය පිළිබඳව වූ කිසිම සැකයකින් හෝ ප්‍රශ්නයකට නොවේ... කලිනුත් එහෙම බලලා තියෙනවා. මුකුත්ම ප්‍රශ්නයක් වෙලා නැහැ."
එහෙත් පසුගිය 09 වැනිදා නෙරංජලාගේ ජංගම දුරකතනය පිරික්සූ සුදත්ගේ සිත සසලව ගියේ එම දුරකතනයේ වූ වට්ස්ඇප් පණිවිඩ පිරික්සීමේදියි. සුදත් වැඩිදුරටත් සාක්ෂි විභාගයේදී කියා තිබුණේ,
"මම එයාට ගොඩාක් නිදහස දුන්නා... කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. ගෙදර අය සමඟිනුත් හොඳින් හිටියා. එදා මම ඇයගේ ජංගම දුරකතනයේ වට්ස්ඇප් පණිවිඩ සියල්ල බැලුවා. ඒ පණිවිඩවලින් මට ඇයගේ අනියම් සබඳතාවක් ගැන හෙළිවුණා. එහි පණිවිඩ... පොටෝ තිබුණා. එම පුද්ගලයා සමඟ ගත කළ , ආහාර ගත් අවස්ථාවන් ගැන පණිවිඩ තිබුණා... මම ඇයගෙන් 'ඇයි මට මෙහෙම දෙයක් කළේ කියලා...' විමසුවා. "
එහිදී සුදත් කඩාවැටුණු සිතින් යුතුව වැඩිදුරටත් කීවේ, "නෙරංජලා කියන්නෙ මගේ පළමු ආදරය පුද කළ තැනැත්තිය. ඇයත් සමඟ ගතකළ කෙටි කාලය තුළදී මම හොඳින් හිටියා. එදාම මං ඇයගේ අනියම් ඇසුර පිළිබඳව ප්‍රශ්න කළා. අන්තිමට නෙරංජලා ඒ දේ පිළිගත්තා..."
අනතුරුව සුදත්ට දැනගන්නට ලැබී ඇත්තේ නෙරංජලා අනියම් ඇසුරක් පවත්වා ඇත්තේ කොළඹ ජාතික රෝහලේම සේවය කරන වෛද්‍යවරයෙක් සමඟින් බවයි. එම වෛද්‍යවරයාගේද ඡායාරූපයක් ඇයගේ ජංගම දුරකථනයේ තිබී ඇත. සියල්ල නෙරංජලා පිළිගැනීමත් සමඟ සුදත් ඇයගේ අනියම් ඇසුර පිළිබඳව සැණින් දන්වා ඇත්තෙ ඇයගේ දෙමාපියන්ටයි.
හිටිහැටියේම තම ජීවිතයට අත්වූ ඉරණමෙන් කම්පනයට පත්ව සිටි සුදත් ඒ වන විට තීරණයකට එළඹ තිබුණේ නෙරංජලා සමඟ වූ විවාහය කටුගා දැමීමටයි.
එදින දැරණියගල, සුදත්ගේ නිවෙසේ දෙදෙනා අතර ආරවුල සිදුවෙද්දී නෙරංජලාගේ දෙමාපියන් කල්ගත කර තිබුණේ මහරගම නිවෙසකයි.
දහ වැනිදා පෙරවරුවේම සුදත්ගේ පණිවිඩයට නෙරංජලාගේ දෙමාපියන් සුදත්ගේ දැරණියගල නිවෙසට ගොස් තිබුණේය. ඒ පිළිබඳව නෙරංජලාගේ හදිසි මරණයේදී සාක්ෂි දුන් ඇයගේ පියාණන් වන 62 හැවිරිදි විජය ගාමිණි සිංහලගේ කීවේ,
"මගේ දුව විවාහ වෙලා හිටියට දරුවෝ හිටියේ නෑ. ඇය මහත්තයාගේ ගෙදර පදිංචිවෙලා හිටියේ. පසුගිය 10 වැනිදා දුවගේ මහත්තයා අපිට එයාලගේ ගෙදර එන්න කිව්වා. එදා අපිට දැනගන්න ලැබුණා දුව තවත් කෙනෙක් සමඟ සබඳතාවක් තිබුණා කියා. ඒ නිසා දුවගේ මහත්තයට ඇයගෙන් දික්කසාද වෙන්න අවශ්‍යයි කිව්වා. ඒත් එක්කම ඔහු ඒ සඳහා දුවගෙන් අත්සනක්ද ගත්තා. පස්සෙ අපි දුවව අපේ ගෙදර එක්කගෙන යන්න ගියා. ඒ යන අතරමඟදී දුව එයාට හවස වැඩට යන්න ඕනෙ කියලා ගියා."
එලෙස දෙමාපියන්ගෙන් සමුගෙන රාජකාරියට ගිය නෙරංජලාගේ ජීවිතය ජාතික රෝහල තුළදී මෙලොව හැර ගොස් තිබුණේ ඉතාම අවාසනාවන්ත ලෙසිනි. ඊට නිශ්චිත හේතුවක් තවමත් විමර්ශනවලදී අනාවරණය නොවූවත් සාක්ෂි අනුව නෙරංජලාගේ අනියම් ඇසුර බොහෝ සේ බලපාන්නට ඇති බවට සැක කෙරේ.
මේ පිළිබඳව විමර්ශන මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරිහු සිදු කළහ.