වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ජවිපෙ භූමිකාව-i | සිළුමිණ

වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ජවිපෙ භූමිකාව-i

ඉකුත් දශක පහක් ඇතුළත කැරලි දෙකකට ජවිපෙ නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

23 කොටස

වෘත්තීය සමිති ඉතිහාසය යනු විවිධ දුෂ්කරතා මධ්‍යයේ කම්කරු අපේක්ෂාවන් සහ අරමුණු උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ගේ අනුවේදනීය අත්දැකීම් සමූහයකි. යම් අඬුලූහුඬුකම් තිබුණද වෘත්තීය සමිති මඟින් ලාංකීය කම්කරු පන්තිය වෙත ලබාදී ඇති ජයග්‍රහණ ඉමහත්ය.

 

ජවිපෙ උපත ලත් 1965 මැයි 14 ආරම්භක සාමාජිකයන් 11න් පස් දෙනෙකු ගුරු, රියදුරු, කම්කරු සහ කාර්මික වෘත්තීන්හි නිරත අය විය. පසු කලෙක ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කම්කරු සමිතිය හරහා ජවිපෙ මතවාදය ප්‍රචලිත කිරීම සිදු විය. පක්ෂයට එක්වූ ඒ සමිතියේ ප්‍රමුඛ බලධාරියා සහ උප සභාපති වූ කුඹුරුගමුව කොටවෙල උපන් ලූණුමෝදරගේ දිනෝරිස් හෙවත් සිරිල් දහනායක හරහාය. එවකට එම සමිතියේ සභාපති ලෙස එල්. වයි. දනෝරිස්ද ලේකම් ලෙස එච්. ජී. සමරසේනද භාණ්ඩාගාරික ලෙස ජේ. පී. ධනපාලද කටයුතු කළ අතර පී. ටී. මල්හොඳා, ජේ. එච්. පීටර් ඇතුළු පිරිසක් නිලධාරි මණ්ඩලයට අයත් විය. දිනෝරිස් මැදිහත්වී සමිති සාමාජිකයන් දේශපාලන වශයෙන් දැනුම්වත් කළ යුතු බවට යෝජනාවක් මධ්‍යම කාරක සභාවේදී සම්මත කරගන්නා ලදී. පසුව ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලු වැඩ බිම්වලට ගිය විජේවීර දේශන පැවැත්වීය.

ඒවාට සහභාගි වන එම වැඩබිම්වල කම්කරුවන්ගෙන් ඇතැමෙක් තම ගම්බිම් වලට ගිය විට හය හත්දෙනා කැඳවා සාකච්ඡා සංවිධානය කළහ. මේවා සම්බන්ධීකරණය කිරීමට සමිතියේ ලිපිකරු ලෙස පියතිලක පත්කර ගැනීමටද දිනෝරිස් කටයුතු කළේය. සංවර්ධන හඬ පුවත්පත ව්‍යාපාරයේ මතය ප්‍රචාරය කිරිමට යොදා ගැනිණි. ජවිපෙ වෘත්තීය සමිතියක් සමඟ මුල්වරට කටයුතු කළේ එසේය.

ජවිපෙ වෘත්තිය අංශයේ පුවත්පත ලෙස රතු ලංකා පුවත්පත 1971 මාර්තු 15 නිකුත් කළ අතර එහි පිටපත් 20,000ක් මුද්‍රණය කරනු ලැබීය. මංගල කලාපයෙන් පසු ඒ පුවත්පත යළි නිකුත් නොවූ අතර හදිසි නීතිය යටතේ 1971 අප්‍රේල් 23 රජය මඟින් එය තහනම් කරන ලදී. එහි කතුවරයා වූයේ නවරත්න බණ්ඩාය.

ජවිපෙ 1971 අප්‍රේල් කැරැල්ලේදී කිසිදු වෘත්තීය සමිතියකින් විධිමත් ලෙස එයට සහායක් නොලැබූ අතර බාල තම්පෝ ගේ ලංකා වෙළෙඳ සේවක සංගමයද නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. අප්‍රේල් කැරැල්ලට වෘත්තීය අංශයෙන් ධනපාල, ඩී. ඒ ගුණසේකර, වානේ සංස්ථාවේ අත්තනායක, තැපැල් දෙපාර්තමේන්තුවේ මදනායක සහ ප්‍රේමදාස ගමගේ, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ විජේවර්ධන ඇතුළු පිරිසක් එක්වී සිටියද වෘත්තීය අංශයේ විධිමත් ක්‍රියාකාරීත්වයක් නොවීය.

වසර 1971 කැරැල්ලේ පරාජයෙන් පසු බන්ධනාගාරයෙන් 1977 නොවැම්බර් නායක විජේවීර ඇතුළු පිරිස නිදහස් වූ විට කම්කරුවන් සූදානම් කිරීම සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය වූයේ ඔවුන්ගේ පෞද්ගලික දේශපාලන බැ`දියාව සැලකිල්ලට ගැනීමෙන් තොරව එක් වෘත්තියක් සඳහා එක් වෘත්තීය සමිතියක් පිහිට විය යුතු බවය. අසූවේ ජූලි වැඩවර්ජනයෙන් පසු ජවිපෙ විසින් ‘වෘත්තියට තනි සමිතියක්-කම්කරු පන්තියට එක් මූලස්ථානයක්’ යන සටන් පාඨය යළි සිය ප්‍රධාන සටන් පාඨයක් බවට පෙරට ගෙන එන ලදී.

වසර 1971 කැරැල්ලෙන් පසු ආරක්ෂක අංශවලට හසු නොවූ ජවිපෙ සාමාජිකයන් සහ හිතවතුන් පෝර සංස්ථාව, තුනී ලෑලි සංස්ථාව, පේෂකර්ම සංස්ථාව සහ සිමෙන්ති සංස්ථාව වැනි රාජ්‍ය සංස්ථාවල හෝ වෙනත් පෞද්ගලික ආයතනවල රැකියාවල නිරතව සිටි අතර ඔවුන් කණ්ඩායම් වශයෙන් හුදකලා විය. එවැනි සාමාජිකයන් එක්වී සමාජවාදී කම්කරු සංගමය යළිත් ගොඩනඟන ලදී.

ජවිපෙ සමාජවාදී කම්කරු සංගමය යළි ගොඩනැගීමේ ප්‍රථම සාකච්ඡාව පැවතියේ 1977 මාර්තු රාගම බටුවත්තේ පදිංචි උන්ඩික්කුඩ්ඩ ආරච්චිගේ නන්දසීලි ගේ නිවසේය. එවකට කාන්තා විප්ලවීය සංගමයේ ලේකම් ලෙස 1977 පෙබරවාරි 19 කොළඹ කිරුල පාරේ 65/4 දරන ස්ථානයේදී ජවිපෙ විසින් අප්‍රේල් කැරැල්ලෙන් පසු පැවැත්වූ ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේදී නන්දසීලි තමා හඳුන්වා දුන්නාය. කොළඹ සරසවියේ පළමු වසරේ උපාධි අපේක්ෂිකාවක් ලෙස 1971 කැරැල්ලට එක්වූ නන්දසීලි වසර හතරහමාරක සිරදඬුවමකින් පසුව නිදහස් වී තිබිණි.

රාගම බටුවත්තේ පැවති සමාජවාදී කම්කරු සංගමයේ සමාරම්භක රැස්වීම කැඳවා තිබුණේ එවකට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ අභ්‍යන්තර ලේකම්ව සිටි දයා වන්නිආරච්චි විසිනි. රැස්වීමේ ආරක්ෂාව සඳහා යොදවා තිබුණේ රාගම සෝමේ සහ නන්දසීලි ගේ සැමියාවන වල්පොල ආරිය. මෙහිදී මුලසුන දැරූ දයා වන්නිආරච්චි පැහැදිලි කළේ සමාජවාදී කම්කරු සංගමය යනු වෘත්තීය සමිතියක් නොවන බවද එය කම්කරුවන් අතර ජවිපෙ දේශපාලන මතය ගෙනයන සංවිධානයක් පමණක් බවය. මෙම සාකච්ඡාවට එවකට කෑගල්ල දිසා ලේකම්ව සිටි අබේවර්ධන වීරගල්ල, තුල්හිරියේ වෘත්තීය සමිති නායකයන් වූ බද්දේගම උදේනි සමන් කුමාර සහ මතුගම ඩී. ආර්. ලියනාරච්චි, වත්තල පෝර සංස්ථාවේ ලංකා වෙළෙඳ සේවක සංගමයේ ශාඛා ලේකම් වත්තල හුණුපිටියේ සුගතදාස ප්‍රනාන්දු, අවිස්සාවේල්ල තුනී ලෑලි සංස්ථාවේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වූ කොස්ගම කරුණාරත්න හෙවත් එකැස් කරු සහ වේයන්ගොඩ පෙහෙකම්හලේ වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වූ කිරිඳිවැල්ලේ කරුණාරත්න ඇතුළු කිහිපදෙනෙක් එක්ව සිටියහ.

උදෑසන 10.30 සිට සවස 5.00 දක්වා පැවති සමාජවාදී කම්කරු සංගමයේ සමාරම්භක එම සාකච්ඡාවේදී පැමිණි අයට වගකීම් පවරන ලදී. ඒ අනුව පැමිණි සිටි 6 දෙනාට සමාජවාදී කම්කරු සංගමයේ පහත කාර්යයන් පැවරිණි. ඒෂියන් කොට්ස් මිල්ස්, ගැලැක්සෝ, බාටා ඇතුළු රත්මලානේ සහ පෞද්ගලික අංශයේ කර්මාන්තශාලාවල කම්කරුවන් සංවිධානය කිරීම අබේවර්ධන වීරගල්ල විසින්ද බැංකු, වරාය ඇතුළු රාජ්‍ය අංශයේ කාර්යාල, දෙපාර්තමේන්තු සේවකයන් සංවිධානය කිරීම උදේනි සමන් කුමාරටද, තුල්හිරිය, පූගොඩ, වේයන්ගොඩ, ටයර්, වානේ ඇතුළු සංස්ථා සේවකයන් සංවිධානය කිරීම ඩී. ආර්. ලියනාරච්චිටද පැවරිණි. ඉන් දෙසතියකට පසු තංගල්ල විජිත රණවීර ගේ නිවසේ පැවති දින 10ක දේශපාලන කඳවුරට සහභාගි වූ 27 දෙනා අතර වෘත්තීය අංශයේ විනී අමරසිංහ, උදේනි සමන් කුමාර, ඩී. ආර්. ලියනාරච්චි ඇතුළු කිහිපදෙනකු ද විය.

සමාජවාදී කම්කරු සංගමයේ කැඳවුම්කරු ලෙස දයා වන්නිආරච්චි ගෙන් පසුව පත්වුයේ 1978 යටගල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කළ 1971 කැරලිකරුවකු වන ධර්මදාස ජයසිංහය. පසුව එහි තෙවන කැඳවුම්කරු වුයේ උපතිස්ස ගමනායකය. විජේවීර ඇතුළු අප්‍රේල් කැරලිකරුවන් 1977 නොවැම්බර් නිදහස් කිරීමෙන් පසු සමාජවාදී කම්කරු සංගමය වඩාත් ක්‍රියාකාරීව කරගෙන යෑම සිදුකරන ලදී. ඒ යටතේ සෑම දිස්ත්‍රික්කයකම ජවිපෙ දිසා කමිටුවක සමාජවාදී කම්කරු සංගමයේ නියෝජනයක් විය.

දිසා ලේකම්වරුන් වශයෙන් 1978/79 වසරවලදී දකුණු කොළඹට ශාන්ත බණ්ඩාර, මාතරට කේ. ජේ. ගමගේ, කළුතරට සිරිමල් ගුණතිලක ඇතුළු කිහිපදෙනෙක් කටයුතු කළහ. සමාජවාදී කම්කරු සංගමයේ ප්‍රබල ශාඛාවක් 1977දී තුල්හිරිය කම්හලේ ඇරඹුණු අතර කේ. ඒ. ධර්මදාස, අසේල හඳගම, රත්නපාල සමරවීර, විනී අමරසිංහ, දොරවක ගුණවර්ධන, අයි. ඩී. හේමපාල, පී.කේ දයාසේන, මාතලේ හේරත් ඇතුළු කිහිපදෙනෙක් එහි ක්‍රියාකාරීන්ය.

එජාප ආණ්ඩුව 1977 ජූලි 21 පැවති මහා මැතිවරණයෙන් හයෙන් පහක බලයක් හිමිකරගෙන බලයට පත්වීමෙන් පසු වසරක් ගතවීමට මත්තෙන් බලපෑමක් කළ හැකි වැඩ වර්ජනයක් ඇරඹුණේ තුල්හිරිය පෙහෙකම්හලේය. ඒ 1978 මාර්තු 18ය. එම වකවානුවේදී පැරණි වමේ ව්‍යාපාරයේ වෘත්තීය සමිතිද කම්හල තුළ ප්‍රබලව පැවතිණි. තුල්හිරිය කම්හලේ සේවකයන් 5,200ක් සේවය කළ අතර වර්ජනය නිමාවට පත්වූයේ එහි සේවකයන් 2,396ක ගේ රැකියාද අහිමි වෙමිනි. ඇතිවූ පුරප්පාඩු එජාප පාක්ෂිකයන් ගෙන් පුරවන ලදී. තුල්හිරිය පෙහෙකම්හල 1976 සිට ජවිපෙ නිල නොවන ප්‍රධාන මධ්‍යස්ථානයක් වශයෙන් සැලකිය හැකි අතර වර්ජනයෙන් සේවය අහිමි වූ ජවිපෙ සාමාජිකයන් ගණනාවක් පසුව එහි පූර්ණකාලීන දේශපාලනයට එක්විය.

සමාජවාදී කම්කරු සංගමයේ 1980 ආරම්භයේදී සහ පසු කාලයේ පහත සඳහන් අය ද විය. ලේකම් උපතිස්ස ගමනායක, කොලොන්නාවේ පදිංචි නියෝජ්‍ය ලේකම් ජයසිංහගේ මහින්ද පතිරණ, ඩී. ආර්. ලියනාරච්චි, ප්‍රගති සේවක සංගමයේ ඩබ්ලිව්. අයි. ද සිල්වා, ගම්පහ පදිංචි සමස්ත ලංකා ලිපිකරු සේවක සංගමයේ එල්. එච්. ගාමිණී ගුණසේකර, මාතලේ පදිංචි වතු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පෙරුමාල් තංගරාජා, වැලිමඩ පදිංචි වතු සේවක සංගමයේ සංවිධායක ලේකම් එම්. එස්. මොහොමඩ් අයුබ්, ජාඇල පදිංචි සමස්ත ලංකා කාර්මික නිලධාරි සංගමයේ ඩී. ජී. සේකරගේ, කරන්දෙණියේ පදිංචි අයි. ඩී. හේමපාල, පී. කේ. දයාසේන, කළුතර පදිංචි සමස්ත ලංකා ගුරු සංගමයේ නිහාල් විරසූරිය ඇතුළු පිරිසකි.

ඒ අතර අබේසේකර ලේකම් තනතුර දැරූ සමස්ත ලංකා බැංකු සේවක සමිතියද සිරිපාලගේ නායකත්වයෙන් යුත් ලංකා තැපැල් සේවක සංගමයද කුරුණෑගල චන්ද්‍රරත්නගේ නායකත්වයෙන් යුත් ලංකා දුම්රිය ප්‍රවාහන සේවක සංගමයද, අබේපාල සිරිදේවගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා සුව සේවක සංගමයද, ඩී. ජී. සේකරගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා කාර්මික නිලධාරි සංගමයද, අයි. ඩී. හේමපාලගේ නායත්වයෙන් යුත් සමස්ත ලංකා සමූපකාර සහ වෙළෙඳ ආයතන සේවක සංගමයද විය.

වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුව තුළ 1979 අවසානය වන විට සමිති 16ක් ගොනුවී තිිබිණි.

වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් එල්. ඩබ්ලිව්. පණ්ඩිතය. ජවිපෙ වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරී කමිටුව තුළ නිල නොවන මට්ටමින් ක්‍රියාත්මක වූයේ ලංකා ගුරු සංගමය හරහාය. එහි සභාපති එච්. ඒ. ප්‍රනාන්දු සමසමාජ ගතිලක්ෂණ වලින්ද ප්‍රධාන ලේකම් චිත‍්‍රාල් ද පෙරේරා කොමියුනිස්ට් පක්ෂ දේශපාලනයෙන් ද බිහිවූ නායකයන් විය.

ජවිපෙ සමාජවාදී කම්කරු සංගමයේ නායකත්වය යටතේ වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක විය. ඒ අතර රංචාගොඩ ගේ ලංකා විදුලි සේවක සමිතියද, ඩබ්ලිව් වයි. ද සිල්වා ගේ සභාපතීත්වයෙන් සහ මාතුපාලගේ ලේකම්කම යටතේ ප්‍රගති සේවක සංගමයද කේ. ජේ. ඩී. චාල්ස් සභාපති තනතුර දැරූ සෝමරත්න රණසිංහ ලේකම් තනතුරු දැරූ සමස්ත ලංකා සංස්ථා සේවක සංගමයද යූ. යූ ඥානරත්න ගේ නායකත්වයෙන් යුත් වරාය සේවක සංගමය ද, උපසේනගේ නායකත්වයෙන් යුත් සිසිල් බීම පොදු සේවක සංගමය ද විය. මෙම වෘත්තීය සමිති එක්කර 1979දී සමාජවාදී කම්කරු සංගමය මඟින් සම්මේලනයක් ද පිහිටුවන ලදි.

සමස්ත ලංකා සංස්ථා සේවක සංගමය අවිස්සාවේල්ල සාලාවේ තුනීලෑලි කර්මාන්ත ශාලාව කේන්ද්‍ර කරගෙන පැවති අතර එය මහජන එක්සත් පෙරමුණ යටතේ ක්‍රියාත්මක වූවකි. එහි සමිති නායකයා වූයේ සෝමරත්න රණසිංහය.

වසර 1979දී එහි බහුතර බලය ජවිපෙ සාමාජිකයන් සහ හිතවතුන් සෝමරත්න රණසිංහ ගේ නායකත්වයෙන් අත්පත් කරගත් අතර එය එල් පෝරමයක් කම්කරු කොමසාරිස්ට ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ බලය ස්ථාපිත විය. ඒ අනුව සමස්ත ලංකා සංස්ථා සේවක සංගමයේ සභාපති ලෙස සාලාව කම්හලේ සෝමරත්න රණසිංහ ද, ලේකම් ලෙස තුල්හිරිය පෙහෙකම්හලේ ඩී. ආර්. ලියනාරච්චි ද, භාණ්ඩාගාරික ලෙස පොහොර සංස්ථාවේ සුගත් පෙරේරා ද පත්විය. එම සමිතිය ජවිපෙට බලය හිමි ප්‍රථම නිල වෘත්තීය සමිතිය ලෙස හැඳින්විය හැකිය.

 

එතෙක් තිබූ ජවිපෙට හිතවාදී සියලු සමිති එක්කර වෘත්තීය සමිති කමිටුවක් ගොඩනැඟූ අතර එහි රැස්වීම් මැලේ විදීයේ ගුරු සංගම් කාර්යාලයේදී පැවැත්විණි. එම කමිටුවේ කැඳවුම්කරු ලෙස උපතිස්ස ගමනායක ද, නියෝජ්‍ය කැඳවුම්කරු ලෙස ඩී. ආර්. ලියනාරච්චි ද කටයුතු කරන ලදී. සමස්ත ලංකා සංස්ථා සේවක සංගමයේ ප්‍රථම වැඩ වර්ජනය ගනේගොඩ හිමිකාරිත්වය දරණ රත්මලානේ ජිල් ගාමන්ට් කම්හලේ 1981දී ඇරඹිණි. සේවකයන් 700ක් පමණ එහි විය. පසුව රත්මලානේ යූරෝ ලංකා සහ ඉන්ටනැෂනල් ඇඟලුම් කම්හල් දෙකේද වර්ජන ඇරඹිණි. රත්මලාන මැලිබන් හන්දියේ එම සේවක සටනට සහාය පතා රැස්වීමක් ද පැවැත්විණි. මෙම වර්ජන තුන අසාර්ථක වූ අතර කම්හල් තුනම වසා දැමිණි. කම්කරු උසාවියෙන්ද සේවක ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.

සංස්ථා සේවක සංගමය මඟින් රාජ්‍ය අංශයේ හිඟුරානේ සීනි කම්හල, ගල්ඹය වැඩපොල, මොරටුව කාර්මික සංවර්ධන මණ්ඩලය, මින්නේරිය සහ පූගොඩ පේෂකර්ම කම්හල්, ඇතුළු ස්ථාන කිහිපයකද පෞද්ගලික අංශයේ රත්මලාන හියුම් පයිප්ප කම්හල, පුහුල්වැල්ලේ ටයිල් කම්හල ඇතුළු ස්ථාන කිහිපයකද ශාඛා සමිති පිහිටුවන ලදී. සංගමයේ පූර්ණකාලීනයන් වශයෙන් ඇල්පිටිය පදිංචි පිට්ටුවල කංකානම්ගේ දයාසේන, ඩී. ආර්. ලියනාරච්චි, කරන්දෙණියේ හේමපාල, පාතේගම මාතුදාස, රත්ගම ඩබ්ලිව්. අයි. සිල්වා ඇතුළු පිරිසක් විය. ප්‍රධාන කාර්යාලය මරදාන පංචිකාවත්තේ පිහිටා තිබිණි. එමෙන්ම වෘත්තීය සමිති සම්බන්ධීකරණ කටයුතු දෙමටගොඩ කාර්යාලයේ ද, ආමර් වීදියේ කාර්යාලයේ ද, කොම්පඤ්ඤවීදියේ මුත්තයියා පාරේ පිහිටි කාර්යාලයේද කලින් කලට සිදුකරන ලදී.

ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ජවිපෙ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් ගණනාවක් ම ආරක්ෂක හමුදා සහ අතුරු හමුදා කණ්ඩායම් මඟින් ඝාතනයට පත්විය. ඒ අතර ඔරුවල වානේ සංස්ථාවේ ශාඛා ලේකම් රංජිත් පෙරේරා සහ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ශාඛා ලේකම් බී. ඩී. බන්දුවර්ධන, ලංගම සටහන් පෙරමුණේ රත්මලානේ ඩිපෝවේ නායකයන් වූ කේ. කේ. සිල්වා සහ ඇක්මන් රණතුංග ඇතුළු කිහිපදෙනෙක්ම වේ.

අසූවේ වැඩ වර්ජනය සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ බහුතරයක් නායකත්වය ලබාදුන් වෘත්තීය සමිති එක්සත් ක්‍රියාකාරි කමිටුව මෙහෙයවූ අතර එය ජවිපෙ විවේචනයට ලක්විය.

සමාජවාදී කම්කරු සංගමය තුළ ගොනුවී සිටි සාමාජිකයන්ගෙන් බහුතරය වැඩ වර්ජනයට එක් නොවූවද හෙළිදරව්ව සිටි නායකයන් සහ ක්‍රියාකාරිකයන් 80 වර්ජනයට එක්විය. ජූලි වර්ජනය ඇඳ වැටීමෙන් පසු 1980දී ජවිපෙ මඟින් හයිඩ් පිටියේ දැවැන්ත රැස්වීමක්ද පවත්වන ලදී. සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයද බිහිවූයේ ඒ අනුවය. එහි සභාපති විජේවීර වූ අතර ලේකම් ගමනායක විය. සමස්ත ලංකා සංස්ථා සේවක සමිතිය, සංගමය බවට පසුව පත්වූ අතර එහි සභාපති ලෙස ලයනල් බෝපගේද ලේකම් ලෙස ඩී. ආර්. ලියනාරච්චි ද පත්විය. සමස්ත ලංකා වතු සේවක සමිතියේ ලේකම් තංගරාජා විය.

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සමිතිය නමින්ද නව සමිතියක් ගොඩනැඟුණු අතර එහි සභාපති ලෙස සෝමවංශ අමරසිංහ ද, ලේකම් ලෙස සමන් වගආරච්චි ද භාණ්ඩාගාරික ලෙස වික්ටර් පීරිස්ද පත්විය.

එමෙන්ම 1983 ජූලි ජවිපෙ පක්ෂ තහනමත් සමඟම නායකයන් සහ ක්‍රියාකාරිකයන් බහුතරය යටිබිම් ගතවන අතර විවෘතව එළියේ සිටියේ ජවිපෙට සෘජු සහ වක‍්‍ර සම්බන්ධකම් ඇති වාත්තීය සමිති නායකයන් සහ ක්‍රියාකාරිකයන් පමණි. මරදාන පංචිකාවත්ත පාරේ 198/19 පිහිටි සමස්ථ ලංකා වෘත්තිය සමිති සම්මේලනය සහ සංස්ථා සේවක සංගමයේ කාර්යාලය 1983 අගෝස්තු 17 යළි විවෘත කිරීමට ඔවුහු සමත් විය. පංචිකාවත්ත වෘත්තීය අංශයේ කාර්යාලය 1979දී ජවිපෙ විසින් ලබාගනු ලැබුවේ අක්කරපත්තුවේ ඊබ‍්‍රා ලෙබ්බේ ගේ ඥාති කතක් වන මාතලේ පදිංචි කාන්තාවක ගෙනි.

ඇය පොලිස් අධිකාරි අබ්දුල් කාදර් අබ්දුල් ගපූර් ගේ ඥාති නැඟණියකි.

ජවිපෙ තහනමින් පසු සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලෙස විජේවීර වෙනුවට වැඩබලන සභාපති වශයෙන් ඩබ්ලිව්. වයි. ද සිල්වා පත්වූ අතර සම්මේලනයේ ලේකම් ලෙස ගමනායක වෙනුවට වැඩබලන ලේකම් ලෙස ගම්පහ පදිංචි ගාමිණී ගුණසේකර පත් කරන ලදී. සමස්ත ලංකා සංස්ථා සේවක සංගමයේ ලේකම් ලෙස තවදුරටත් ඩී. ආර්. ලියනාරච්චි කටයුතු කළේය.

මෙම කාලයේදී එනම් 1984 මුල්භාගයේදී ජවිපෙ වෘත්තීය සමිති නායකයන් සහ ක්‍රියාකාරීන් අතර මත දෙකක් පැවතිණි. එක් මතයක් වූයේ ජවිපෙ තහනමට එරෙහිව මහජන මතයක් ගොඩනඟමින් යළි විවෘත දේශපාලනයට ජවිපෙ පැමිණිය යුතු බවය.

අනෙක් මතය වූයේ පක්ෂ තහනම ඉවත්කරන තෙක් යටත් නොවී සටන්කළ යුතු බවකි. බහුතරය සිටියේ පළමු මතයේය. ඒ පිළිබඳ සාකච්ඡාවක් දේශපාලන මණ්ඩල සභික පියදාස රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් 1984 පෙබරවාරි රත්මලානේ ප්‍රගති කාර්යාලයේ පැවැත්විණි. එයට 7 දෙනෙකු සහභාගි විය.

(මෙහි දෙවන කොටස ලබන සතියේ)

Comments