බළන්ගොඩ මානවයාටත් නෑකම් කියන කූරගල පුද බිමේ හෙට දවස | Page 2 | සිළුමිණ

බළන්ගොඩ මානවයාටත් නෑකම් කියන කූරගල පුද බිමේ හෙට දවස

කූරගල කඳු මුඳුනේ ඇති චෛත්‍යය

* නෙල්ලිගල හාමුදුරුවෝ කූරගල උරුමය රකින්න මැදිහත් වෙති 
* මාර්තු 28 මැදින් පසළොස්වක දින කූරගලදී විශේෂ පින්කම් මාලාවක්
- මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනයෙන්

කූරගල හෙළ උරුමය රකින්න අඩි 100ක් උස මහ සෑයක් ඉඳි කරන්නට මා කටයුතු කර තිබෙනවා. ඒ වෙනුවෙන් දරුවන්ගේ පාසල්වලට වෙන් කරන මුදල් අසරණ රෝගීන්ට ඖෂධ සපයන්න වෙන් කරන රජයේ මුදල් ලබා ගැනීමට කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ
- අභියෝගය බාරගත් නෙල්ලිගල හාමුදුරුවෝ

ශ්‍රී ලංකායේ ඉතිහාසය බොහෝ විටම රැදී පවතින්නේ බුදු දහමත් සමඟිනි. බුදු දහම හා සම්මිශ්‍රිත වූ හෙළ සංස්කෘතිය සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයාගේම සංස්කෘතිය ලෙස හැඳින්විය හැකිය. එහෙත් ඒ බව නොදත් අන්තවාදී පිරිස් බොහෝ විටම සිදු කරන්නේ බෞද්ධ ඉතිහාසය පෙන්නුම් කරන පුරාවිද්‍යා ස්මාරක විනාශ කර එම භූමි තමන් සතු කර ගැන්මට දරන උත්සාහයකි. 

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වුණු දෙවනගල, මුහුදු මහා විහාරය, විජිතපුර එයින් කිහිපයකි. මේ අන්තවාදීන්ගේ දැඩි බලපෑම් එල්ල වූ තවත් ඉපැරැණිම පුද බිමක් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ අවසානයට වන්නට පිහිටා ඇති කූරගල පුරා විද්‍යා භූමියයි.

විවිධ බෞද්ධ සංවිධාන සමිති සමාගම් මෙන්ම භික්ෂූන් වහන්සේ කූරගල වෙනුවෙන් හඬ නැගූහ. එහෙත් මේ අන්තවාදී කටයුතු එයින් නැවතුණේ නැත.

මොකක්ද මේ කූරගල? කුරගල අපට මෙතරම් වැදගත් වන්නේ ඇයි? අප ඒ ගැන සොයන්නට පසුගියදා කූරගල බලා ගියෙමු.

කූරගල යනු අනුරාධපුර යුගයේ මුල් අවධියටත් පෙර සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් වශයෙන් පැවතුණු පුද බිමකි.

පැරණි රජ දවස ‘තණ්ඩුලෙය්‍යක පබ්බත‘, ‘දත්ත ශෛල පබ්බත‘ යන නම්වලින් ද, පසු කාලීනව ‘කුහරගල‘ නමින් ද, හැඳින්වූ එය වර්තමානයේ ‘කූරගල‘ නමින් හැඳින්වේ.

කූරගල පිහිටා ඇත්තේ බළන්ගොඩ - කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කනුව පසු කරනවාත් සමඟම තන්ජන්තැන්න ග්‍රාමයේ ආරම්භයත් සමඟම දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ දුරක් ගෙවා යාමෙනි.

කූරගල ඉතිහාසය අනුරාධපුර යුගයටත් වඩා ඈතට දිව යන්නක් බව මේ වන විට සොයා ගෙන තිබේ. කූරගල පිහිටා ඇති ගල් ලෙන් මෙරට ‘ප්‍රාග් මානවයා’ හෙවත් ‘බළන්ගොඩ මානවයා’ ගේ යුගයට නෑකම් තිබෙන බව මේ වන විටත් සොයා ගෙන තිබේ. ප්‍රාග් මානවයන් මෙහි විසූ බවට සාධක ගල් ලෙන්වල කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ මගින් අනාවරණය වී ඇත‍. ගල් ලෙන්වලට අමතරව එම මානවයන් එළිමහන් ප්‍රදේශවල ද ජනාවාස පිහිටුවා ගෙන තිබූ බවට සාක්‍ෂි හමු වී තිබේ.

ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පසු කූරගල ගැන තොරතුරු සඳහන් වන්නේ මුල් අනුරාධපුර යුගයේ සිටම ය. කටාරම් කෙටූ ගල්ලෙන් සහ පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරයෙන් යුත් සෙල් ලිපි මඟින් ඒ ඉතිහාසය පෙන්නුම් කර ඇත. ඉතා පැරණි සෙල් ලිපි 3ක් ද මෙහි දී දැකගත හැකි ය. ඒවායින් පැහැදිලි වන්නේ, භාවනායෝගි බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා එකළ මෙහි ගල්ලෙන්වල වැඩ සිටි බවයි.

කූරගල ඇති ලෙන් ලිපි සියල්ලම ඉතා කෙටි ලිපි වේ. එම ලිපිවල, ‘අගත අනගත චතු දිශ ශගස දිනේ’ (අතීත අනාගත සතර දිසාවෙන් පැමිණියා වූද, නො පැමිණියා වූද, භික්‍ෂු සංඝයා වහන්සේලාට පූජා කළ වගයි) යනුවෙන් සඳහන් කර තිබේ. කූරගල කඳුවැටිය සහ ආශ්‍රිත කලාපයේ තවත් පැරණි ගල් ලෙන් කිහිපයක්ම වෙයි. ඒවායෙහි ඇති ලෙන් ලිපිවල එබඳු සඳහනක් නැත. ඊට හේතුව විය හැක්කේ, එම ස්ථාන ‘ලෙන් ආරාම’ සකස් කිරීමේ ප්‍රාථමික අවධියට අයත් ස්ථානයන් නිසා විය හැකිය.

කූරගල පුරා විද්‍යා භූමිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනක් කළ පුරාවිද්‍යා නිලධාරිවරයකු වන එච්. එම්. ජයන්ත විජේරත්න විසින් “මානව පරිණාමයේ රත්නපුර ලකුණ” නමින් ග්‍රන්ථයක් සම්පාදනය කරන ලදී. එහි කූරගල ගැන දීර්ඝ විස්තරයක් දැක්වේ. කූරගල ආරම්භය මෙන්ම පසුකාලීනව කූරගලට සිදුවූ ආක්‍රමණ ගැනද එහි පියවරෙන් පියවර දක්වා තිබේ.

අනුරාධපුර යුගයෙන් පසුව සතුරු ආක්‍රමණ නිසා කාලයාගේ වැලිතලාවෙන් වැසී ගිය කූරගලට නිසි ගමන් මාර්ගයක් පවා නොතිබිණි. එහෙත් මාර්ගයක් පවා සොයා ගැනීම දුෂ්කරව තිබුණු අතර කාලයේ තන්ජන්තැන්නට නුදුරු ගම්මානයක් වූ විකිළියේ වැඩ සිටි විකිළියේ නාරද අනුනායක ස්වාමීන් වහන්සේ එහි වැඩම කළහ. ඒ 1925 වසරේ ය.

බළන්ගොඩ සිට බෝවත්ත දක්වා වූ කරත්ත පාරෙන් උන් වහන්සේ වැඩම කර තිබුණ අතර, එය ද වග වලසුන් ගැවසුණු දුෂ්කර මාර්ගයක් බව උන් වහන්සේ පවසා තිබුණි. බෝවත්තෙන් පසු දෙනිපිටිය හරහා කුඩා අඩි පාරකින් තන්ජන්තැන්නට හා එතැනින් කූරගලට යා යුතු බව ද උන් වහන්සේ දක්වා තිබුණි. ප්‍රථම වරට කූරගලට වැඩම කළ අවස්ථාවේ, එම කඳු මුඳුනේ පේසා වළලු තුනකින් සමන්විත, අඩි 9ක උස දාගැබක් තිබුණු බව උන් වහන්සේ සඳහන් කර ඇත. එමෙන්ම ඒ අසලින් ගලා යන කුඩා දොළ පාරත් අසල අඩි 35ක් පමණ දිගින් යුතු පෞරාණික ගොඩනැඟිල්ලක අත්තිවාරමක් දැක ගන්නට ලැබුණු අතර, ගල්ලෙන් විහාරය ඇතුළත පැරණි බුද්ධ ප්‍රතිමාවක් ද තිබුණ බව උන් වහන්සේ සඳහන් කර තිබුණි. එසේම ඒ වන විටත් යම් අන්තවාදී සංවිධාන විසින් කූරගල ඓතිහාසික බෞද්ධ උරුමය විනාශ කිරීම අරඹා තිබුණි. එම නිසා මේ ඉපැරැණි බෞද්ධ පින් බිම රැක ගැන්ම වෙනුවෙන් උන් වහන්සේ නැවත 1938 වසරේ දී කූරගලට වැඩම කර ඇත. එවර පළමු වරට දුටු දාගැබ, පැරණි ගොඩනැඟිලි අත්තිවාරම පමණක් නොව, ගල් ලෙන තුළ තිබූ බුද්ධ ප්‍රතිමාවක් ද දැක ගන්නට නො ලැබුණ බව උන් වහන්සේ සඳහන් කරති. විහාරය පැවැති තැන මුස්ලිම් පල්ලියක් ගොඩ නඟා තිබුණු බවත් උන් වහන්සේ තම සටහනේ සඳහන් කර ඇත.

මෑත කාලයේ මේ සම්බන්ධව රාජකීය පණ්ඩිත වටද්දර ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේ විසින් සොයා බලා බෞද්ධ උරුමය පිළිබඳව කථිකාවක් ගොඩ නඟන ලදී. අන්තවාදීන් විසින් තමන්ගේ ස්වර්ගයේ ගමන් මාර්ගය ලෙස හඳුන්වා බෞද්ධ උරුමයන් වනසාලමින් කූරගල පුදබිමේ සොහොන් කොත් පවා ඉදි කර තිබේ. අනවසර ඉදි කිරීම් ඉවත් කරන්නට අධිකරණ නියෝග මත ලබා දී තිබියදීත් ඇතැම් ඉදිකිරීම් තවමත් ඉවත් කර නැත.

විශේෂයෙන්ම පුරාවිද්‍යා භුමියේ ඇති සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට අධිකරණ නියෝග ලබා දී තිබුණද මුස්ලිම් පල්ලිය අදටත් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ අධිකරණ නීතියටත් ඉහළින් යන බලවේගයකිනි.

කූරගල පුරාවිද්‍යා භූමියේ ඉතිහාසය වෙනස් කර මේ මුස්ලිම් පල්ලිය ඉදි කර තිබේ. එම මුස්ලිම් පල්ලිය හඳුන්වන්නේ “දත්තා ජෙයිලානි” (Dafther Jeylany) නමිනි. පල්ලිය පාලනය වන්නේ භාරකාර මණ්ඩලයක් හරහා වන අතර ඔවුන් කූරගල ඉතිහාසය වෙනස් කරමින් මෙරට පමණක් නොව ලෝක වාසී ජනතාව පවා නොමඟ යැවීමේ උත්සාහයක යෙදී සිටියි. ඒ සඳහා ඔවුන් ‘ව්‍යාජ සෙල් ලිපියක්’ ප්‍රති නිර්මාණය කර තිබේ. එයින් කියන්නට උත්සාහ ගෙන ඇත්තේ, ඉපැරණි කූරගලට මුස්ලිම් අයිතියක් ද ඇති බව ය.

මෙරට ඓතිහාසික තොරතුරු සපයන කිසිදු මූලාශ්‍රයක නොමැති ඉතිහාස කතා ගෙන හැර දක්වන්නට මේ අන්තවාදීන් විසින් කටයුතු කර තිබේ.

‘අබ්දුල් කාදර්‘ නමින් හඳුන්වනු ලබන අරාබි සාන්තුවරයෙක් මෙම ස්ථානයේ සිටියේ යැයිද ස්වර්ගයට යන මාර්ගය ඇත්තේ කූරගල බව පවසමින් ඔහු මෙහි වාසය කර ඇත. ඔහුගේ දැක්මට අනුව ස්වර්ගයට යන මාර්ගය ඇත්තේ මැද තිබෙන ගුහාවට දකුණු පසිනි. ඉතාමත් පටු සහ පැතලි මාර්ගයක් ඔස්සේ එතනට යා යුතු වන්නේ යාර 20ක් 30ක් පමණ අන්ධකාරයේ බඩගා ගෙනය.

එම ව්‍යාජ කතාවට අනුව ‘කූරගලින් මක්කමට හෝ ස්වර්ගයට යා හැකි ය. අබ්දූල් කාදර් කූරගල ගල් පර්වතයකට අත්ල තබා, එතැන තිබූ විවරයකින් ඇතුළට ගොස් ඇති අතර, පසුව විවරය ගලකින් වැසී ගොස් ඇත. ඔහු නැවත පැමිණ නැත. අන්තවාදීන් පවසන්නේ ඔහු ස්වර්ගයට ගිය බවයි. අන්තවාදීන් ගල මත සිය අත්ලේ සටහන තබන්නේ ශුද්ධ වූ ස්ථානයෙන් ස්වර්ගයට යාමට හැකි වනු ඇතැයි යන ව්‍යාජ විශ්වාසයෙනි‘.

එහෙත් ජනප්‍රවාද අනුව පියා මරා දමා කූරගල ගල්ලෙනෙහි පදිංචි වූ පුද්ගලයා, ප්‍රදේශවාසීන් විසින් හඳුන්වා ඇත්තේ ‘අලි මස්තාන්’ නමිනි. ඔහු ගංජා සහ දඩ මස් වෙළෙඳාම් කළ අයකු බව ප්‍රසිද්ධය. කූරගල හරහා ගමන් ගන්නා අරාබි ජාතිකයන්ට මෙන්ම බළන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ද කූරගලට පැමිණ ඔහුගෙන් ගංජා සහ දඩමස් ලබා ගෙන ඇත. පසුව අලි මස්තාන් තමන්ට මුදල් ලබා ගත හැකි තවත් ව්‍යාපාරයක් පවත්වා ගෙන ගොස් ඇත. ඒ අනුව ඔහු ගල් ලෙනෙහි අල්ලා දෙවියන් වෙනුවෙන් පිං කැටයක් තබා ආධාර එකතු කිරීමට පටන් ගෙන ඇත. ඉන් නො නැවතී, ස්වර්ගයට මාර්ගය එහි ඇති බවටද ඔහු ව්‍යාජ ප්‍රචාරයක් ගෙන ගොස් ඇත්තේ වැඩිපුර ජනතාව ගෙන්වා ගෙන ආධාර ලබා ගැනීම වැඩි කර ගැනීමටය.

ඔහුගේ ව්‍යාපාරය කොතරම් ජනප්‍රිය වූයේ ද යත් ස්වර්ගයට යන මාර්ගය දැක බලා ගැනීම පිණිස දේශීය මෙන්ම විදේශීය මුස්ලිම් ජාතිකයන් විශාල ලෙස කූරගලට ඇ දී එන්නට වූහ. එහි ප්‍රතිඵලය වූයේ ඔහුට අතිවිශාල ආදායමක් හිමිවීමයි.

අලි මස්තාන්ගේ මේ මුදල් උපදවීම ගැන බළන්ගොඩ සිටි ‘මරික්කාර්’ නම් ව්‍යාපාරිකයා බලා සිටියේය. එම ආදායම තමන් සතු කර ගැන්මට ඔහු අදහස් කර ගත්තේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහු එහි අයිතිය ඇත්තේ දකුණු ඉන්දියාවෙන් පැමිණ අයකුට නොව බළන්ගොඩ සිටින තමන්ට බව පවසමින් අරගලයක් ක්‍රියාත්මක කෙළේය. ඊට දෙපාර්ශ්වයටම පිරිස් එක් වූහ. පසුව අලි මස්තාන්ට විරුද්ධව නඩුවක්ද පවරා ඇත.

එයට අමතරව, ගල් ලෙනේ අයිතිය පිණිස සහ එම සිද්ධස්ථානයට පැමිණෙන බැතිමතුන් ගෙන් විදේශිකයකු මුදල් අය කරන බව සඳහන් කරමින් තවත් අයෙක් නඩුවක් පවරා ඇත. එය රත්නපුර උසාවියේ විභාග කර තිබේ.

එහි අරාබි අක්ෂර ඇති බවත් එම නිසා එහි අයිතිය ඔවුන්ටද ඇති බව අන්තවාදීන් පැවසුවද එහි ඇත්තේ පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂර බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පැමිණ කළ පරීක්ෂණයකින් හෙළිව ඇත.

පුරාවිද්‍යා නිලධාරීන් කූරගල සෙල් ලිපි පිටපත් කර ඇත්තේ 1961 වසරේ දී ය. පසුව 1971 - 1972 කාල සීමාවේ කූරගල අවට අරාබි භාෂාවෙන් මෑත කාලයේ සෙල්ලිපි කොටා ඇති බව පැහැදිලිය.

එමෙන්ම කූරගල සතුන් බිලි පූජා කරන ස්ථානයක් බවටද මේ අන්තවාදීන් පත් කරගෙන ඇත. ඇතැම් දිනවල සතුන් සිය ගණනක් ඝාතනය කළ බවත් අසලින් ගලා හැලෙනා දියපහර රත් පැහැයෙන් දිස් වූ බවත් පැරැන්නන් පවසා ඇතැයි ගම්වාසීහු පවසති. මෑතක් වන තුරුම මේ සත්ත්ව ඝාතන කටයුතු සිදු කළ අතර ඒවා නවත්වා දමන ලෙස සත්ත්ව අවිහිංසා සංවිධාන විසින් හඬ නගන ලදී. එමෙන්ම අනවසර ඉඳිකිරීම් ඉවත් කරන ලෙසද ඔවුහු හඬ නැගූහ.

හිටපු ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාසයන් විසින් ද අවස්ථා කිහිපයකදීම කූරගල ප්‍රශ්නය විසඳීමට උත්සාහ කළේ ය. ඔහු, මුස්ලිම් දේවස්ථානයේ ඉදිකර ඇති ගොඩනැගිලි ඉවත්කර, වෙනම ස්ථානයක ස්ථාපිත කිරීම සඳහා පුරාවිද්‍යා රක්‍ෂිතයට ආසන්න අක්කර 4ක භූමියක් මුස්ලිම් දේවස්ථාන භාරකාර මණ්ඩලයට බදු පදනමක් මත ලබා දී ඇත. ඒ 1990 වසරේදීය. ප්‍රේමදාස මහතාගේ මරණයෙන් පසුව මේ අන්තවාදීන් ලබා දුන් ඉඩම් භුක්ති විඳිමින් පල්ලියද එලෙසම තබා ගෙන ඇත. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණයට යාම නිසා පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ පිහිටි පෞද්ගලික වෙළඳසල් 4ක් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලැබිණි.

අදටත් ඉවත් කිරීමට නියෝග ලබා දී ඇති පුරාවිද්‍යා භුමියේ ඇති මුස්ලිම් ජාතිකයන්ගේ සොහොන් හා පල්ලිය නිරුපද්‍රිතවම පවතී.

පසුව 2013 වසරේ එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් විසින් උපදෙස් දුන්නේ පුරාවස්තු ආඥා පනතේ බලතල ක්‍රියාත්මක කර, පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ඇති සියලු ගොඩනැගිලි ඉවත් කරන ලෙස ය. ඕනෑම අයකුට තමන්ගේ ආගමික කටයුතු පවත්වා ගෙන යාමට බාධාවක් නැති බවත්, ඉවත් කරනු ලබන්නේ මුස්ලිම් ආගමට හෝ බෞද්ධ හෝ වෙනත් ආගමකට හෝ අයත් ගොඩනැගිලි නොව, පුරාවිද්‍යා රක්‍ෂිතයක් නිසි අයුරින් පවත්වා ගෙන යාම සඳහා අනවශ්‍ය ගොඩනැගිලි බව එහි දී එතුමන් විසින් පැහැදිලි කර දී තිබුණි.

එසේ වුවත් අද දක්වාම මේ ආක්‍රමණය සිදු වන අතර පුරාවිද්‍යා රක්ෂිතයේ නාම පුවරු ඇති ස්ථානවලටම සොහොන් කොත් තනා ඇති අතර පල්ලියද ඉඳි කර ඇත්තේ පුරා විද්‍යා නාම පුවරුව ඇති ස්ථානයේමය.

මේ නිසා අනාගතයට අහිමි වන්නට යන මේ හෙළ උරුමය යළි රැක ගැන්ම පිණිස පසුගිය 4 වැනිදා වතුරකුඹුරේ ධම්මරතන හිමියන් හෙවත් නෙල්ලිගල හාමුදුරුවන් විසින් කටයුතු කරන ලදී. උන් වහන්සේ නෙල්ලිගල රැක ගැන්මට කරන ලද සටන අනුව කූරගලද යළි නිදහස් කර ගෙන මේ උරුමය ලක්වාසී සියලු දෙනාටම උරුම කරදීම උන් වහන්සේගේ අදහස වී ඇත.

කූරගල උරුමය වනසන්නේ මෙරට අපගේ සහෝදර මුස්ලිම් ජනතාව නොවේ. ඒ සියලු කටයුතු කරන්නේ අන්තවාදය මුල් කරගත් ජාතිවාදය ඉස්මතු කරගත් සංවිධාන හා පිරිස් විසිනි. මේ ස්ථානයට කාත්තන්කුඩි වැනි නැඟෙනහිර දුර බැහැර ප්‍රදේශවල සිට විශාල පිරිසක් පැමිණෙති. ඉස්ලාම් ආගමේ පටහැනි බොහෝ දේ මේ පල්ලිය හරහා සිදු කෙරේ. එම නිසා ඔවුන් සියලු දෙනාම ආගමක් නියෝජනය කරන්නන් යැයි කිව නොහැකිය.

මේ සියලු බාධා මැඬ පවත්වා මේ පුදබිම යළි බෞද්ධ උරුමයක් බවට පත් කරන්නට මෙ වන විටත් නෙල්ලිගල හාමුදුරුවන් විසින් කටයුතු කරමින් තිබේ. උන් වහන්සේ පවසන්නේ මේ පුදබිම රැක ගැනීම වෙනුවෙන් මෑත කාලයේ විශාල කැපවීමක් කළ පූජ්‍ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වටද්දර ඤාණිස්සර නායක හිමියන් දෙල්තොට ධම්මජෝති හිමියන් සහ ගැටඅරලුවේ සංඝරක්ඛිත හිමිවරුන් එහි භාරකාර හිමියන් ලෙස තමන් වහන්සේ පත් කළ බවයි.

ඒ අනුව ‘යළි පිබිදෙන කුරගල‘ නමින් මෙහි සංවර්ධන කටයුතු කරනා බවට නෙල්ලිගල හාමුදුරුවෝ පවසති. ඒ නිමිත්තෙන් අඩි 100ක් උස මහ සෑයක් ‘අස දිස ශාක්‍ය සුගත මහා සෑය‘ නමින් ඉදි කෙරෙන බවත් එහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 28 වෙනිදා පුන් පොහෝ දින පස්වරු 4.00ට සිදු කෙරෙන බව ද උන් වහන්සේ පවසති. එමෙන්ම එදින දහසක පමණ උපාසක උපාසිකාවන් පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සීල සමාදානයට සහභාගි වන බව ද උන් වහන්සේ පැවසූහ.

28 වැනිදා කූරගල සිදු කෙරෙන මහා පින්කමේ පූර්ණ මාධ්‍ය දායකත්වය දරනු ලබන්නේ සිළුමිණ, බුදුසරණ, දිනමිණ ඇතුළු සියලු පුවත්පත් මුල් කරගත් ලේක්හවුස් ආයතනය විසිනි. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කර්තෘවරු 28 වැනිදා පැවැත්වෙන උත්සවයට පැමිණෙති. ඒ දායකත්වය සිදු කෙරෙන්නේ ජාතික උරුමයක් රැක ගැනීම වෙනුවෙනි. ඒ උරුමය රැක ගැනීම වෙනුවෙන් ලක්වාසී අප සැවොම කටයුතු කළ යුතුමය.

සේයාරූ - චේනක වික්‍රමාආරච්චි

Comments