පාස්කු වාර්තාවට පසුවදනක් සැපයූ කළු ඉරිදාව | Page 2 | සිළුමිණ

පාස්කු වාර්තාවට පසුවදනක් සැපයූ කළු ඉරිදාව

පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරයට ගොදුරු වූ කොළඹ සාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට පැවති කළු ඉරිදා නිහඬ විරෝධතාවට එක්වූ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සහාය දක්වමින් සංඝරත්නයද එක්ව සිටි අයුරු.

වෙළුම් 87කින් සමන්විත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අවසන් වෙළුම් 22 ඉකුත් සිකුරාදා පස්වරුවේ නීතිපතිවරයා වත බාරදෙනු ලැබිණි. මීට පෙර එම වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිවරයා වෙත බාර දී ඇති අතර ඒ අනුව මේ වනවිට එම වාර්තාවේ සියලුම වෙළුම් (87ක්) අවශ්‍ය කටයුතු සඳහා නීතිපතිවරයාට භාර දී ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වීමටද ‘කළු ඉරිදාව’ හේතුවක් විය.

ඊට නිමිත්ත වූයේ 2019 වසරේ අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට වසර 2ක් ගතවීමට ඉතා ආසන්නව තිබුණත් මෙතෙක් ඒ පිළිබඳ විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නැති බවට කොළඹ අගරදගුරු පදවිය විසින් ඒකමතිකව තීරණය කරනු ලැබීමය. ඒ අනුව කොළඹ අගදරගුරු පදවිය විසින් ඉකුත් 7 වැනි ඉරිදාව Black Sunday නැතහොත් ‘කළු ඉරිදා’ ලෙස ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව එදින කොළඹ අගරදගුරු පදවියේ කිතුනු දේවස්ථානවල පැවැති දේව මෙහෙයන්ට බැතිමතුන් සහභාගි වූයේ කළු වස්ත්‍රවලින් සැරසී හෝ කළු අත් පටියක් ගැට ගසාගෙනය. එදින පෙරවරු 8.45 ට කතෝලික දේවස්ථානවල සීනු නාද කරමින් පාස්කු ඉරිදා ජීවිතක්ෂයට පත්වූවන් සිහිකිරීමත් සිදු විය. දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවක් දැක්වීමද කතෝලික දේවස්ථානවල සිදු විය.

කළු ඉරිදාව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පසුගිය 2 වැනිදා වැඩිදුරටත් පැවසුවේ පාස්කු ප්‍රහාරයට දෙවසරක් සපිරෙන අප්‍රේල් 21 වැනිදා වන විට විනිවිද පෙනෙන ක්‍රමවේදයක් හරහා යුක්තිය ඉටුනොවන බව වැටහුණහොත් සෑම නිවෙසකම කළු කොඩි ඔසවා රට පුරා දැවැන්ත විරෝධතාවක් පවත් වන බවය.

2019 වසරේ අප්‍රේල් 21, පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ලැබෙන තෙක් රටම දෑස් දල්වා බලා සිටියා යැයි කිවහොත් එය මුසාවක් නොවේ. ඒ බිහිසුණු අපරාධය සිදුකළ, ඊට අනුබල දුන් පුද්ගලයන් හා පාර්ශ්වකරුවන් කවුදැයි හඳුනා ගෙන ඔවුන්ට නිසි දඬුවම් පැමිණවීමට එම වාර්තාව මඟපෙන්වනු ඇත යන්න බොහෝ දෙනාගේ විශ්වාසය විය.

එම වාර්තාව සම්බන්ධයෙන් රට පුරා විවිධ පාර්ශ්වයන් විවිධ මත පළකරමින් තිබූ පසුබිමක ජනාධිපතිවරයා විසින් එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ අන්තර්ගත නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය චමල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරනු ලැබිණි. එම කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනිදා ජනාධිපතිවරයාට භාරදීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් පත් කළ එම කමිටුවේ සාමාජිකයන් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පාර්ශ්වවලට පමණක් නොව ප්‍රහාරය පසුපස සිටින අපරාධ කරුවන්ට, කුමන්ත්‍රණකරුවන්ට හා ආධාර අනුබල දුන් පුද්ගලයන් ඇතුළු සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් හමුවේ පවසා ඇත. ඒ ඉකුත් 8 වැනිදා නීතිපතිවරයා හා අගරදගුරු හිමිපාණන් අතර පැවති හමුවකදීය.

ජනාධිපති කාර්යාලයෙන් ලබාදුන් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මඟින් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ පාර්ශ්ව කෙරෙහි අවධානය යොමුව ඇති බැවින් ඊට අදාළ සෙසු කුමන්ත්‍රණකරුවන්, ආධාර අනුබල දුන් පුද්ගලයන් හා අපරාධකරුවන් හඳුනාගැනීමට කොමිසමේ සියලු වාර්තා හා සාක්ෂි සටහන් ලබාගැනීම ඇතුළු නඩුවල වත්මන් වාතාවරණය රදගුරු හිමියන් සමඟ දීර්ඝව සාකච්ඡා කර ඇති බවද වාර්තා විය.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් 10 වැනිදා පැවැත්විණි.

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වූ කාලවකවානුව ඊට පෙර හා පසුව විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද කඩු, කිනිසි හා ඒ හා සමාන ආයුධ සිය භාරයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය. ඒ, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණයට ගොනු කරන ලද රීට් ආඥා පෙත්සමකට අදාළවය.

මීට අමතරව විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වන ලද එම ආයුධ සඟවා තබාගෙන හා ගබඩා කර අති ස්ථාන මෙන්ම ඒවා සන්තකයේ තබා ගෙන හා බෙදා හැරී ස්ථාන ද හඳුනා ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. එවැනි කටයුතුවලට සම්බන්ධ පිරිස් හා එම ආයුධ ආනයනයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ප්‍රතිපාදන අනුව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් ලබාදී ඇති අතර ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 26 වැනිදාට පෙර තමන් වෙත බාර දෙන ලෙස ද නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පිළිගන්නා බව කතෝලික රදගුරු මණ්ඩලය ඉකුත් 11 වැනිදා නිවේදනය කළේය. එම මණ්ඩලය අවධාරණය කරන්නේ මෙම ප්‍රහාරයට සෘජුව වගකිව යුත්තත් ආධාර අනුබල දුන් පිරිස් සහ තම රාජකාරි නොතකා ක්‍රියා කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට බලතල සහ නිදහස ලබාදෙන ලෙසය. ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් වාර්තාවේ සඳහන් නිර්දේශ ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන ලෙසය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම මඟින් බොදු බල සේනා ඇතුළු බෞද්ධ සංවිධාන කීපයක් තහනම් කිරීමට නිර්දේශ කිරීමට එරෙහිව භික්ෂු සංවිධාන එකමුතුව සංවිධානය කළ සත්‍යග්‍රහයක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදි 11 වැනිදා පස්වරුවේ පැවැත්විණි. එය නම් කර තිබුණේ "යුක්තිය උදෙසා යතිවර පාරමිතාව" නමිනි. මෙම සත්‍යග්‍රහයට පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන, මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරු ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ රැසක් එක්ව සිටියහ.

Comments