ජන­පති - රනිල් - බන්දුල ගංගා­රා­මයේ ලොකු සාක­ච්ඡා­වක | සිළුමිණ

ජන­පති - රනිල් - බන්දුල ගංගා­රා­මයේ ලොකු සාක­ච්ඡා­වක

න්දු ශ්‍රී ලංකා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දීය ගුවන් හමුදාව සිය යානා යොදා ගනිමින් මෙරට ගුවන් හමුදාව සමඟ එක්ව ගාලු මුවදොරදී පැවැත්වූ ගුවන් යානා සංදර්ශනයට සිය සහාය ලබා දුන්නේ ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් 03 වැනිදා පස්වරුවේ මෙම සංදර්ශනය ආරම්භ කෙරිණි‍.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් සාරංග්, සූර්යකිරන් සහ තේජාස් ගුවන් කණ්ඩායම් තුන මෙහිදී සිය දායකත්වය ලබාදුන්නේය. පුරා දින තුනක් මුළුල්ලේ පැවැති මෙම ගුවන් සංදර්ශනය නැරඹීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ මැති ඇමැතිවරු රාශියක්ද එක් වූහ.

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං ඛාදවුරියා අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ සමඟ සුහද කතා බහක නිරතවූ අතර ඔහු මෙරට හමුදා ප්‍රධානීන් හමුවීමට ද පියවර ගෙන තිබුණි.

කොළඹ වරායේ නැ‍ඟෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීමට රජය තීරණය කිරීමත් සමඟ දෙරට මාධ්‍ය වාර්තාවලින් ඉන්දු ශ්‍රී ලංකා සුහදත්වය පිළිබඳව වැරැදි ප්‍රතිරූපයක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද මෙම සංදර්ශනයෙන් පසු ඉන්දියානු සහ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මෙම සංදර්ශනයේ ඡායාරූප සහ වීඩියෝ ප්‍රචාරය කිරීමත් සමඟ දෙරට අතර සුහදත්වය තවදුරටත් වර්ධනය වන අයුරු පිළිබඳව කතා බහ කිරීම මෙරට දේශපාලනයට මෙන් ම වර්තමාන රජයට ද ධනාත්මක සිතිවිල්ලක් කරා පිය නැඟිය හැකි අවස්ථාවක් විය.

අගමැතිවරයා හමුවූ ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානියා අගමැතිවරයාට පවසා ඇත්තේ ඉන්දියානු රජය මෙන් ම ඉන්දියානු ආරක්ෂක අංශ මෙරට ආරක්ෂක අංශ වෙත සිය සහාය නිරන්තරයෙන් ලබා දෙන බවයි.

ත්‍රස්තවාදයට එරෙහිව, මත්ද්‍රව්‍ය වැටලීම් ඇතුළු නොයෙක් ආකාරයෙන් ක්‍රියාත්මක වන සංවිධානගත අපරාධ ක්‍රියා වැළැක්වීම සඳහා සිය දායකත්වය මෙරටට ලබා දෙන බව ද මෙහිදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා පවසා තිබේ‍.

ඉදිරි පළාත් සභා මැතිවරණය පිළිබඳව ද ඉන්දියාවේ දේශපාලන පක්ෂ මෙන් ම ඉන්දීය රජය ශ්‍රී ලංකාව පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවට එරට මාධ්‍ය වාර්තා කොට තිබෙන මොහොතක ඉන්දියානු ගුවන් හමුදාව මෙලෙස ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවට සහාය ලබාදීම දේශපාලනික වශයෙන් සුවිශේෂි සිදුවීමකි.

මේ අතර පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ද දේශපාලන කරළිය තුළ නැවත දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. රජය විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව එකඟතාවකට පැමිණීම මීට හේතු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මෙරටට එල්ල කරන චෝදනාවලට විරුද්ධව ඉන්දීය රජයේ සහාය ලබා ගැනීමට ද ශ්‍රී ලංකාව රාජතාන්ත්‍රික මට්ටමින් ක්‍රියාත්මක වී සිටින මොහොතක පළාත් සභා පැවැත්වීම පිළිබඳව ඉන්දීය රජයේ සහාය ලබා ගැනීමට හේතුවක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිසන් සභාව නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් සමාජයේ විවිධ ස්ථරවල නොයෙක් කතාබහ නිර්මාණය වෙමින් තිබේ.

ඇතැම් දේශපාලන පක්ෂ සංවිධාන සහ පුද්ගලයෝ කොමිසන් සභාවේ ක්‍රියාකාරීත්වය නිර්දේශ සහ වපසරිය සම්බන්ධයෙන් විවිධ මත පළ කරමින් සිටිති. එම කණ්ඩායම්වලට අලුතින් ම ආගමික කොටස් ද එකතු වී තිබීම විශේෂත්වයකි. බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට පාස්කු ඉරිදා කොමිසන් සභා වාර්තා‍ව නිර්දේශ කිරීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ අගරදගුරු හිමි ඉකුත් සතියේ ප්‍රකාශ කළහ. අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි නාහිමියන් මෙන් ම නියෝජ්‍ය ලේඛකාධිකාරි නාහිමියන් ද පාස්කු වාර්තාවේ ඇතැම් නිර්දේශ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවත් සමාජය තුළ මේ වනවිට කතිකාවක් ඇතිවී තිබේ.

පාස්කු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ‍වරදකරුවන්ට දඬුවම් දීමට පියවර ගන්නැයි කතෝලික සභාවේ බලපෑම් වැඩි වෙමින් ඇත. එහි මුල් පියවර හැටියට කොළඹ රදගුරු පදවිය ඉරිදා කළු ඉරිදාවක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ‍.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මේ මස 21 වැනි දිනට පෙර නීතියේ රැහැනට හසුකර නොගතහොත් නිවෙස්වල කළු කොඩි ඔසවා රටපුරා විරෝධතාවක් දියත් කරන බව ද කාදිනල් හිමි ප්‍රකාශ කළහ. කෙසේ වෙතත් පවතින විරෝධතා හා අදහස් යෝජනා අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ ඉදිරි පියවර කුමක්වේ දැයි නිශ්චිතවම කිව නොහැකි බව නීතිවේදීහු පවසති. මෙම කොමිසන් සභා වාර්තාවේ පිටපත් මේ වනවිටත් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. ඉදිරියේදී ඒ සම්බන්ධ නීති පියවර ගැනීමේ පූර්ණ වගකීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බව ද නීතිවේදීහු පවසති.

මේ අතර මැතිවරණ කොමිසන් සභාව අවධාරණය කර සිටින්නේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට රජය අවශ්‍ය වටපිටාව සකස්කර දෙන්නේ නම් තමන් මැතිවරණයට සූදානම් බවයි. මේ සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල සූදානම් කර ඇති බව ද එම කොමිස‍මේ සාමාජිකයෝ අවධාරණය කරති.

මහත් ආන්දෝලනයට ලක්වූ කොළඹ වරායේ බටහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. නැ‍ඟෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කිරීමට සූදානම්ව සිටින ඉන්දියාවේ සුප්‍රකට ‘අදානි’ සමාගම ‘ජෝන් කීල්ස්’ සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන පාර්ශ්ව තුන ඒකාබද්ධ රාජ්‍ය හා පෞද්ගලික ව්‍යවසායකත්වයක් යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ.

කොරෝනා නිසා මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීම පිළිබඳව නැවත වතාවක් ගැටලුවක් මතුවී තිබේ. ඒ, එම මෘත දේහ භූමදානයට යොදාගන්නා බවට ප්‍රකාශයට පත් වූ ඉරණතිව් දූපතේ ජනතාව ඊට විරෝධය පළ කිරීමය. ඉරණතිව් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පිහිටි දූපතක් වන අතර එහි ධීවර පවුල් වාසය කරති. ඔවුන් සියලු දෙනා කතෝලිකයන් වීම ද විශේෂත්වයකි. පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලිකයන්ගේ පවතින දැඩි විරෝධය ඉරණතිව් දූපත් හරහා තවත් වාරයක් ප්‍රකාශයට පත් කරන බවට ද ඇතැම් පාර්ශ්වයන් මෙහිදී චෝදනා කරති.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් ඉකුත් සතියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණේ ය. එහි සඳහන් වී තිබුණේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ භූමදානය සම්බන්ධ කාරණාව ජාතිවාදී දෘෂ්ටි කෝණයකින් නොබැලිය යුතු බව ය. එවැන්නකින් සිදුවන්නේ මුස්ලිම් ජනතාව තව තවත් වේදනාවකට පත් වන බව පවසන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයා සඳහන් කරන්නේ මුස්ලිම් මෘත දේහ ඉරණතිව් දූපතේ භුමදානය කිරීම පිළිබඳව සිය පක්ෂය විරෝධය පළ කරන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු දින ඊට පක්ෂව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය ප්‍රකාශ කළහ. එම මන්ත්‍රීවරුන් වන්නේ මඩකලපුව නියෝජනය කරන එච්.එම්.එම්. හරීස්, ෆයිසර් කාසිම් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන එම්.එස්. තව්ෆික්ය. ඔවුන් 20 ට සහාය ලබාදීම වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය දන්වා තිබුණත් ඔවුන් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව එම පක්ෂය කියයි.

ජාතික ජනබලවේග පක්ෂයේ මතය වී ඇත්තේ නැ‍ඟෙනහිර ජැටිය මෙන් ම බටහිර ජැටිය ආරක්ෂාකර ගත යුතු බවත් එය රජයේ වගකීම වන බවත් ය.

“මේ ආණ්ඩුව ඉන්දියාවට, ඇමෙරිකාවට සහ චීනයට රටේ සම්පත් විකුණනවා. බටහිර ජැටිය ඉන්දියාවට විකුණනවාට අපි දැඩි සේ විරුද්ධයි” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

“වරායේ සියලුම වෘත්තීය සමිති එකතු කර ගෙන අපි මේ දිනවල මේ සම්බන්ධව සාකච්ඡා කරගෙන යනවා‍. බටහිර ජැටිය බේර ගන්නේ කොහොමද කියන කාරණාව. අපි ඉදිරියේදී සුදුසු පරිදි විරෝධතා ක්‍රියාමාර්ගයට පිවිසෙනවා” යැයි ද අනුර කුමාර කියා සිටියේය.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සතියේ පිටකෝ‍ට්ටේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පක්ෂ නායක විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

එහිදී මූලික වශයෙන් අවධානය යොමු කර තිබුණේ මේ වනවිට එළිදක්වා ඇති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව ය‍.

“ජනතාව බොහෝ බලාපොරොත්තු තබාගෙන හිටියා පසුගිය ආණ්ඩුවෙන් පත් කළ ජනාධිපති කොමිසමෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව නිවැරැදි තොරතුරු අනාවරණය වෙයි කියලා. ඇතැම් තොරතුරු අනාවරණය වී තිබුණත් ඒ පිළිබඳව සෑහීමකට පත් වෙන්න බැහැ. මේ ප්‍රහාරය පිටුපස සිටි මහ මොළකරුවන්, විදෙස් බලවේග පිළිබඳව එහි අන්තර් ගතව නැහැ. දැනට පොලිස් අපාරාධ විමර්ශන කොට්ඨාසය සිදු කරගෙන යන විමර්ශන මඟින් හෝ ඒ නිවැරදි තොරතුරු අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍යයි‍. ඒ වගේ ම මේකට ගෑවුණු පිරිස් නීතිය හමුවට ගෙන ඒමත් අත්‍යවශ්‍යයි. ජනාධිපති කොමිසම කියන්නේ එක දෙයක් විතරයි. පොලිසිය තවමත් ප්‍රමාද වැඩි නැහැ, නීතිය ක්‍රියාවේ යෙදවීමට. අපි මේ කාරණය ජනතාව හමුවේ පැහැදිලි කළ යුතුයි.” යනුවෙන් මෙහිදී ඇමැති විමල් අවධාරණය කළේය.

ඉකුත් සතියේ කොවිඩ් එන්නත් ලක්ෂ 05 ක් දිවයිනට ගෙන්වූයේ රජයේ මැදිහත්වීමෙනි. මෙම එන්නත් බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතයන් වැඩිම ප්‍රදේශවලට ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණේ සෞඛ්‍ය අංශ ඉල්ලීම අනුවය. ඉකුත් සිකුරාදා ඇමැති ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩ තරුණ බල මණ්ඩලය අමතමින් සිටින විට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙනි. ඇමතුමට පිළිතුරු ලබාදුන්නේ රාජ්‍ය අමාත්‍ය ඩී‍.වී. චානක ය.

“සර් මම චානක. ප්‍රසන්න ඇමැතිතුමා තරුණ සංවිධාන රැස්වීමේ කතා කරනවා. චානක කීවේය. “හරි එහෙනම් ඉවර වුණ ගමන් ගන්න කියන්න.” ජනාධිපතිවරයා කීවේය. ප්‍රසන්න වහාම සිය කතාව අතර මැද නතර කර ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ගත්තේය.

“ප්‍රසන්න බස්නාහිර පළාතේ අද ඉඳන් වැක්සින් එක දෙනවා‍. හෙල්ත් එක මේ වැඩේ කරනවා. ඔයා මේ ගැන බලලා ඒ අයට උදවු කරන්න” ජනාධිපතිවරයා ප්‍රසන්නට කීවේය. ඒ අනුව ප්‍රසන්න වහාම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට කතා කොට අවශ්‍යතා මොනවාදැයි විමසුවේ එම අවශ්‍යතා කඩිනමින් ඉටුකර දීමටයි.

පසුගිය සතියේ අඟහරුවාදා වනජීවී හා වන සම්පත් ඇමැති සී.බී. රත්නායක විශේෂ රැස්වීමක් කැඳවා තිබුණි. ඒ ‘අලි කතා බහක්’ ගැන සාකච්ඡා කිරීමට ය. අගෝස්තු 12 වැනිදාට යෙදෙන ‘අලි සුරක්ෂිතතා දිනය’ මෙරට සැමරීම සඳහා ජාත්‍යන්තර සමුළුවක් කැඳවීම සී.බී. ගේ වුවමනාව විය. ඔහු එය නම් කර තිබුණේ ‘අලි කතාව’ ලෙස ය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඉකුත් නවම් පෝදා කොළඹ ගංගාරාම විහාරස්ථානයට ගියේ ය. ඒ නවම් පෙරහැරේ සමාරම්භක උත්සවයට සහභාගි වීමටය.

සිය මිත්තනිය වූ හෙලේනා විජයවර්ධන ළමා තැනී සමඟ ගංගාරාමයට යෑම ආරම්භ කළ රනිල් සෑම නවම් පෙරහරක් දිනකම විහාරස්ථානයට යෑම පුරුද්දක් වශයෙන් සිදු කළේය.

මෙවර ද සුපුරුදු පරිදි නවම් පෙරහර නැරඹීමට රනිල් ගංගාරාමයට ගිය අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඇමැති බන්දුල ගුණවර්ධන ඇතුළු රජයේ මෙන් ම විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් පිරිසක් එයට සහභාගි වී සිටියහ.

මෙහිදී රජයේ මැති ඇමැතිවරු රනිල් ගෙන් දිගින් දිගටම විමසා සිටියේ එකම පැනයකි. ඒ, “ඔබතුමා කවදාද පාර්ලිමේන්තු එන්නේ” යන්නයි.

“ජනතාව මට ගෙදර ඉන්න කිව්වා‍. ඉතින් මම ගෙදර ඉන්නවා‍. ආයෙත් දේශපාලනයට එන්න කියලා ඉල්ලීමකුත් තිබෙනවා. එහෙත් තරුණ, අලුත් පිරිසක් ඉදිරියට ගේන්න තමයි මට ඕනේ. කොහොම වුණත් තාම මම මේ ගැන තීරණයක් අරගෙන නැහැ. ඕනේ නම් එළියේ ඉඳන් වුණත් දේශපාලනය කරන්න පුළුවන්නේ‍.” රනිල් සිනාසෙමින් කීවේය. ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ රනිල්ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසයි.

ඉකුත් සතියේ සජිත් ප්‍රමුඛ සමගි ජනබලවේගය ඓතිහාසික තීරණයකට එළඹියේය. ඒ සමඟි ජන බලවේගය හරිත පක්ෂයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමය.

දැඩි පරිස‍රවේදියකු වන සජිත් පරිසරය පිළිබඳව සංවේදී පුද්ගලයෙකු ද වෙයි. ඒ අනුව ජාත්‍යන්තර වනජීවී දිනයට සමගාමීව සමගි ජනබලවේගය හරිත දේශපාලන ව්‍යාපාරයක් බවට පත් ‍විය.

සජිත් උත්සව සභාවට එන අතරේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් වහන්සේ ද උත්සවයට වැඩම කරවමින් සිටි අතර උන්වහන්සේ දෙපසින් තිබූ වනජීවී ඡායාරූප කිහිපයක් නරඹමින් සිටියහ.

“මේ ඉන්නේ ලොකුම අලියා. ඊට පස්සේ මේ ඉන්නේ කාවන්තිස්ස”

සජිත් අනුනාහිමියන් වහන්සේට පැහැදිලි කළේ ය.

“සර් කොහොමද මෙයාලාව අඳුරන්නේ”

කාවින්ද ඇසුවේය.

“මේ අය ගැන අවධානයෙන් ඉන්න කොට අඳුරගන්න ලේසියි. අනික සතාගෙන් සතාට සියුම් වෙනස්කම් තිබෙනවා.” සජිත් කීවේය.

අනතුරුව ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම සඳහා වූ ප්‍රකාශනය විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් අත්සන් කරනු ලැබීය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිත සිරි නාහිමි‍පාණන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අන්‍යාගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා ද ඇතුළු පිරිසක් මේ සඳහා එක් වූහ.

පාරිසරික සුරක්ෂිතව සහ වනජීවී සංරක්ෂණය හි වැදගත්කම පිළිබඳව මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අදහස් දැක්වූ අතර සමගි ජනබලවේගය හරිත පක්ෂයක් බවට පත් කිරීමෙහි වැදගත්කම ද අවධාරණය කරනු ලැබීය.

“මට නම් අද ඓතිහාසික දිනයක්. අපි හොඳින් දන්නවා වර්තමානයේ තිබෙන තත්ත්වය තුළ පරිසරයට විවිධාකාර අභියෝග අගතිගාමී බලපෑම්, එල්ලවන කාල වකවානුවක්. පරිසරයට අගතිගාමි බලපෑම් එල්ල වුණේ අද ඊයේ පමණක් නොවෙයි. නිදහස් ශ්‍රී ලංකාවේ සෑම රජයක් යටතේ ම සංවර්ධනයට ප්‍රමුඛතාව ලැබීම නිසා යම් මට්ටමක පරිසර හානි, සත්ත්ව වාසස්ථාන අහිමිවීම ඒ වගේ ම පරිසර දූෂණය විවිධ ආකාරයට ක්‍රියාත්මක වුණා. එහෙම එකේ ජාත්‍යන්තර වනජීවී දිනය දවසේ සමඟි ජනබලවේගය හරිත පක්ෂයක් බවට පරිවර්තනය වීම සැලකිය යුතු හොඳ ක්‍රියාවක්.” බව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේය.

Comments