නව දැක්මක් වෙනු­වෙන් සර­සවි සිසු පර­පු­රට ලැප්ටොප් පරි­ග­ණක | සිළුමිණ

නව දැක්මක් වෙනු­වෙන් සර­සවි සිසු පර­පු­රට ලැප්ටොප් පරි­ග­ණක

 ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් විසින් ප්‍රති­ලාභී සර­සවි සිසු­ව­කුට ලැප්ටොප් පරි­ග­ණක ලබා­දීමේ සංකේ­ත­වත් ලිපි බාර­දීම සිදුවූ අව­ස්ථාව. අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් ද මෙහි සිටී.
ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් විසින් ප්‍රති­ලාභී සර­සවි සිසු­ව­කුට ලැප්ටොප් පරි­ග­ණක ලබා­දීමේ සංකේ­ත­වත් ලිපි බාර­දීම සිදුවූ අව­ස්ථාව. අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් ද මෙහි සිටී.

ර්තමානයේ ශීඝ්‍රයෙන් රටපුරා පැතිර යන කෝවිඩ් වසංගතය නිසා අද අපේ රටේ මාර්ගගත අධ්‍යාපන ක්‍රම ඉතා ජනප්‍රියවී තිබේ. නමුත් ඒ ක්‍රමයට සම්බන්ධ වීමට අද හොඳ තත්ත්වයේ පරිගණකයක්, හෝ ලැප්ටොප් පරිගණකයක් හෝ ටැබ් එකක් මිල දී ගත නොහැකි අය ද අප අතර සිටිති.

විශේෂයෙන් අද මෙරට සරසවි අධ්‍යාපනය වැඩිපුරම කෙරෙන්නේ මාර්ගගත ක්‍රමයටය. ඒ සඳහා ලැප්ටොප් පරිගණකවල ප්‍රබල අවශ්‍යතාවක් ඇත. ඒත් ගම්බදින් අඩු ආදායම් ලාභී පවුල්වලින් සරසවියට එන සිසු සිසුවියන්ට එක්වරම රුපියල් ලක්ෂයක් පමණ දී ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට අපහසුය.

මේ සිසු සිසුවියන්ට සිදුවන්නේ එක්කෝ පරණ පරිගණකයක් අඩු මිලට මිලදී ගැනීමටය. එසේ නැත්නම් තම මිතුරකුගේ ලැප්ටොප් පරිගණකයකින් උදවු ලබා ගැනීමය. නමුත් මේ ක්‍රියාවන් දෙකම නිසා ඒ දුප්පත් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනයට බහුලව බාධා ඇතිවේ.

ඒ ගැටලුවට තිරසර විසඳුමක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ රට හදන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රමුඛ සමස්ත අධ්‍යාපන ක්‍රමය වර්තමාන අවශ්‍යතා අනුව ඩිජිටල් කරණය කිරීම අරමුණු කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් හා අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන අයගේ උපදෙස් අනුව දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මඟින් විශ්වවිද්‍යාලවලට ඇතුළු වන සිසු සිසුවියන්ට අඩුම පොලී ණය යෝජනා ක්‍රමයක් යටතේ ඉහළ ප්‍රමිතියේ ලැප්ටොප් පරිගණක ලබාගැනීමට පහසුකම් සලසා ඇත.

සාම්ප්‍රදායික අධ්‍යාපනය පිළිබඳ සංකල්පය පසුගිය වසර කිහිපය ඇතුළත හා කෝවිඩ් වසංගතයත් සමඟ විප්ලවීය වෙනසකට බඳුන් වී තිබේ. මාර්ගගත අධ්‍යාපන ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් සහිතව නව යුගයකට පිවිසෙන සරසවි සිසු සිසුවියන්ට තම අධ්‍යාපන කටයුතු සිදු කිරීමට ලැප්ටොප් පරිගණක නැතිවම බැරි අංගයක් වී තිබේ. ඔවුහු බොහෝ පිරිසක් පන්ති කාමරයක භෞතිකව සිටීම වෙනුවට ඩිජිටල්කරණයට එක්ව සිටිති. මාර්ගගත ක්‍රමයට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත සිසුන්ට ඒ ක්‍රමය කාර්යක්ෂම කිරීම අද කාලීන අවශ්‍යතාවකි. ඒ අයට පූර්ණ සහාය දීම අරමුණු කරගෙන 2019/20 සරසවි අධ්‍යයන වසර සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන නව සිසුන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමට රුපියල් ලක්ෂයක අඩු පොලී ණය මුදලක් ලබාදෙන බව විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

ඒ අනුව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂගේ පූර්ණ සහාය ද ඇතිව, විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වත් කමිටුවක් විසින් නිර්දේශ කර ඇති පරිදි සිසුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවට සරිලන පරිදි ලැප්ටොප් පරිගණක තෝරා ගැනීමට විකල්ප තුනක් යටතේ අවස්ථාව ලබාදී ඇතැයි මහාචාර්ය සම්පත් අමරතුංග පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාලයක 2019 උසස් පෙළ Z ලකුණු පදනමට තේරී පත්වී 2019/2020 අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා රාජ්‍ය වෙබ් අඩවියේ https:www.ugc.ac.lk දක්වා ඇති උපදෙස් අනුව මිලදී ගන්නා ලැප්ටොප් පරිගණකයේ ණය මුදල ආපසු ගෙවීම් සඳහා සිවු අවුරුදු සහන කාලයකින් පසු හය අවුරුදු ආපසු ගෙවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ගණකාධිකාරි ආර්.ඒ.යූ. රණවීර පවසයි.

මෙම ලැප්ටොප් පරිගණක ලබාදෙන ආයතන ඔවුන්ගේ පිරිවිතර සහ ලැප්ටොප් පරිගණකවල විකුණුම් මිල ගණන් ලැයිස්තුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව රුපියල් 80500 සිට රුපියල් 177500 දක්වා වන මිල පරාසයක ලැප්ටොප් පරිගණක මිලදී ගැනීමේ අවස්ථාව විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට සැලසෙන බවත් ගණකාධිකාරිවරයා පවසයි.

සිසුන් තෝරාගන්නා ලැප්ටොප් පරිගණකයේ මිල ණය සීමාවට වඩා වැඩි නම් සිසුන් ඉතිරි මුදල ගෙවිය යුතුය. සිසුන් විසින් තෝරාගන්නා ලද ලැප්ටොප් පරිගණක ඇණවුම් කර සති 8 ක් ඇතුළත සැපයීම සිදු කිරීමට ද අදාළ සැපයුම්කරුවන් එකඟතා ද පළ කර ඇති බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

මේ වැඩපිළිවෙළ යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශ සිසුන්ට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ නිල උත්සවය පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

2021 වසර සඳහා විශ්වවිද්‍යාලයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6 දෙනෙකුට වැඩසටහන සංකේතවත් කිරීමට ලිපි බාරදීම පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් අතින් සිදුවූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මහජන බැංකුවේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සැලසුම් කර තිබේ. මේ සඳහා මහජන බැංකුව වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 300 කි. අන්තර්ජාල සම්බන්ධතාව, මෘදුකාංග, මෘදුකාංග පැකේජය සහ වසර හතරක වගකීම සහිතව මෙම ලැප්ටොප් පරිගණක ලබාදීම සිදු කෙරේ.

මෙම අවස්ථාවට එක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මෙම වැඩපිළිවෙළට අනුග්‍රහය දැක්වීමට අවස්ථාව සැලසීමට හැකිවීම පිළිබඳව සිය සතුට පළ කළේය.

නිදහස් අධ්‍යාපනයේ උපරිම සරුඵල උදාකර ගැනීමට සරසවි සිසු සිසුවියන්ට මේ මඟින් අවස්ථාව ලැබෙන බව මහජන බැංකු සභාපතිවරයාගේ අදහස විය.

මහ පාරේ උද්ඝෝෂණ කරන සරසවි සිසු පරපුරක් අපට සිටියත් ඔවුන්ට සුදුසු පරිදි මාර්ග ගත පරිගණක ගත අධ්‍යාපන ක්‍රමය මේ කෝවිඩ් සම‍යේ වුව ද කිසිම අඩු පාඩුවක් තොරව ලබාදීමට මෙම නව ලැප්ටොප් ණය ක්‍රමය ඉවහල් වන බව සරසවි ආචාර්යවරු ද පවසති. සිසු සංවිධාන ද මේ වැඩපිළිවෙළ අගය කරන අතර මෙහිදී විශේෂයෙන් ණය ගෙවීමට වසර 4 සහන කාලයක් ලබාදීම පිළිබඳව ඔවුහු රජයට හා මහජන බැංකුවට ස්තුතිය පළ කරති‍.

මේ පිළිබඳව සිළුමිණට කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ මේ වැඩපිළිවෙළ තමා මොරටුව සරසවියේ උපකුලපති ලෙස කටයුතු කළ සමයේ ආරම්භ කළ නියාමක වැඩපිළිවෙළක දිගුවක් බවයි.

“2020 දී මා හා දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රධාන ගණකාධිකාරි රණවීර මහතාත් එක්ව මේ වැඩපිළිවෙළ සුළු වශයෙන් මොරටු සරසවි සිසුන් සඳහා ක්‍රියාත්මක කළා. ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ හා වෛද්‍ය පීඨයේ උපාධිධාරීන්ට මේ යටතේ ලැප්ටොප් පරිගණක ලබාදීමට රුපියල් ලක්ෂ 2 ක ණයක් ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. එය පසුගිය වසරේදී ක්‍රියාත්මක වූයේ මොරටු සරසවියට පමණයි. පසුව එය දැන් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එහි ආරම්භයට එක්වූ පුද්ගලයෙක් ලෙස මට ඉතා සතුටුයි” මහාචාර්ය කපිල පෙරේරා පවසයි.

ඔහු පවසන පරිදි මේ වැඩපිළිවෙළ යටතේ ලැප්ටොප් මිලදී ගැනීමට ඉල්ලන ඕනෑම රජයේ සරසවියක උපාධි අපේක්ෂකයකුට රුපියල් ලක්ෂයක් දක්වා ණයක් ලබාදෙයි. එය වසර 4 ක සහන කාලයක් ලැබෙන අතර ණය ගෙවිය යුත්තේ ස්ථිර රැකියාවක් ලැබුණු පසු වසර 6 ක් ඇතුළත ය. සමාන වාරික 72 කින් ඒ මුදල ගෙවීමට අවස්ථාව සලසා ඇතැයි ද අධ්‍යාපන ලේකම්වරයා පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ප්‍රධාන ගණකාධිකාරි ආර්.ඒ.යූ. රණවීර පැවසුවේ මේ වැඩසටහන මොරටු විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා 2019 දී ආරම්භ කළ බවයි.

“අලුත් වැඩපිළිවෙළ යටතේ මේ ණය මුදල ලබාදෙන සැමට මුලින් ම වසර 4 ක් යන තුරු ගෙවන්න වෙන්නේ පොලිය පමණයි. අපේ රටේ සිසුන් 5000 කට මහපොළ ශිෂ්‍යාධාර ලැබෙනවා. තවත් 4000 කට ශිෂ්‍යාධාර ලැබෙනවා. ඒ අනුව රුපියල් 500 ක් පමණ වන මේ ලැප්ටොප් ණය මුදලට අදාළ පොලිය කරදරයක් නැතිව ගෙවීම අපේ විශ්වවිද්‍යාල සිසු පරපුරට අවස්ථාව ලැබෙනවා. ඒ අයට සම්පූර්ණ ණය මුදල ගෙවන්න වෙන්නේ ස්ථිර රැකියාවක් ලැබුණාට පස්සෙයි” ගණකාධිකාරි ආර්.ඒ.යූ. රණවීර පවසයි. ඒ අනුව මේ වැඩපිළිවෙළ මෙරට සරසවි සිසුන්ගේ අනාගතය සවිමත් කරන ශක්තිමත් අත්වැලක් ලෙස අපට හැඳින්විය හැකි ය.

 

Comments