ජවිපෙ 2 වැනි කැරැ­ල්ලේදී පොලි­සියේ හා හමු­දාවේ ආයුධ පැහැ­ර­ගත් හැටි | සිළුමිණ

ජවිපෙ 2 වැනි කැරැ­ල්ලේදී පොලි­සියේ හා හමු­දාවේ ආයුධ පැහැ­ර­ගත් හැටි

සිසු විරු සම­රු­ව­ක දී මෙලෙස ශෝක වන මෙම පියාගේ පුත්‍රයා වනුයේ කැලණි සර­සවි මානව ශාස්ත්‍ර පීඨයේ 85/86 කණ්ඩා­යමේ බදුල්ලේ ජය­සේන දිසා­නා­ය­කය. සපු­ග­ස්කන්ද පොලි­සි­යට 1989 ජූලි 16 ප්‍රහා­ර­යක් එල්ල­කර ආයුධ පැහැ­ර­ගත් කැර­ලි­කාර කණ්ඩා­යමේ මරු­මු­වට පත්වූ එක් අයකු වූයේ ජය­සේ­නය. පොලිස් පරි­ක්ෂක මහා­නාම සහ උප­සේවා කොස්තා­ප­ල්ව­රුන් 2ක්ද කැර­ලි­ක­රු­වන් අතින් එහි දී මරු­මු­වට පත්විය. සේයා­රුවේ කොටු­කර ඇති ඡායා­රූ­පය ජය­සේ­නගේ ය.
ඉකුත් දශක පහක් ඇතුළත කැරලි දෙකකට ජවිපෙ  නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී  60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

19 කොටස

 

 

ජවිපෙ සන්නද්ධ අංශයේ පුහුණුව, ශක්තිය, උපක්‍රම සහ ඇතැම් ආරක්ෂක භටයන් සමඟ ගොඩනඟා ඇති සබඳතා පිළිබඳව බොහෝ දෙනා මවිතයට පත් වූහ. හමුදා කඳවුරු මෙන්ම පොලිස් ස්ථානවලටද කඩා වැදුණු ජවිපෙ කැරලිකරුවෝ ඒවායේ අවි ආයුධ රැසක් පැහරගැනීමට සමත් වූහ. හමුදා කඳවුරු සහ පොලිස් ස්ථානවලින් මෙසේ පැහැරගත් අවි ආයුධ අතර ටී 81, ටී 56 ස්වංක්‍රීය රයිෆල්, උප යාන්ත්‍රික තුවක්කු, අර්ධ ස්වයංක්‍රීය රයිෆල්, මැෂින් තුවක්කු, එල්.එම්.ජී. බැරල්, 303 රයිෆල්, රිපීටර් තුවක්කු, මිලි මීටර් 60 මෝටාර් තුවක්කු, ක්ලේමෝ බෝම්බ, එස්.එම්.ජී ගිනි අවි, පිස්තෝල සහ රිවෝල්වර, සාමාන්‍ය තුවක්කු, පතරොම්, පතරොම් පටි, දුම් බෝම්බ ඇතුළු අවි ආයුධ ගණනාවක්ම විය. ආරක්ෂක අමාත්‍යාංශය 1988 අගෝස්තු නිවේදනය කළේ කැරලිකරුවන් විසින් පැහැරගත් හෝ තබාගෙන සිටින අවි ආයුධ සහ වෙඩි බෙහෙත් සොයාගැනීමට ඉවහල්වන තොරතුරු සපයන්නන්ට මුදලින් ත්‍යාග පිරිනමන බවය.

 

මෙවර ජවිපෙ කැරැල්ලට ආරක්ෂක අංශ සහ පොලිසියේ 1, 200කට ආසන්න පිරිසක් සෘජු සහ වක්‍ර ලෙස එක්වී තිබිණි. ඇතැම් සෙබළුන් හමුදාව හැර කැරැල්ල වෙත පැමිණියේ තමාගේ ගිනි අවියද රැගෙනය. එමෙන්ම ජවිපෙ සමඟ හිතවත්කම් පැවැත්වූ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ පිරිස 5, 000කට ආසන්නය. හමුදාපති හැමිල්ටන් වනසිංහ 1989 මුල් භාගයේ දී ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී බුද්ධි සේවා අංශයෙන් ලබාගත් තොරතුරුවලට අනුව කියා සිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්තවීමෙන් පසු යුද හමුදාවේ සියයට 6ක් පමණ සෙබළුන් අවි සමඟ පැනගොස් කඩාකප්පල්කාරීන් සමඟ එක්විය හැකි බවය. තත්ත්වය තවත් උත්සන්න වූවහොත් සති ගණනාවකින් පසු එම අනුපාතය සියයට 16 දක්වා වැඩිවිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

ජවිපෙ ඔත්තු සේවාවන් අනුව ත්‍රිවිධ හමුදාවේ සියයට 30ක් කැරැල්ලට සහාය දක්වන අතර සියයට 50ක් නිහඬව සිටිනු ඇත. කැරැල්ලට එරෙහි වන්නේ ඉතිරි සියයට 20ක පමණ ප්‍රතිශතයකි. 1971 අප්‍රේල් කැරැල්ලේදි ගුවන් හමුදාවේ 25ක්, නාවික හමුදාවේ 200ක්, යුද හමුදාවේ 100 සහ පොලිසියේ 50කට ආසන්න පිරිසක් සමඟ සබඳතා පැවැත්වීමට ජවිපෙ සමත්වුවද අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වූයේ ඉතාමත් සුළු පිරිසකි. එහෙත් ජවිපෙ 2වැනි කැරැල්ලේ දී ත්‍රිවිධ හමුදාවෙන් පැමිණි සිය ගණනක් ඉන් ඉවත්ව පූර්ණකාලීනව කැරැල්ලේ වගකීම් දැරූහ.

1987 ජූලි මස ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉන්දීය හමුදා උතුරු නැඟෙනහිරට පැමිණීමත් සමඟම දකුණේ කැරැල්ල මැඬ පැවැත්වීමට එවන ලද පළමු හමුදා භට පිරිස 1 ගැමුණු හේවා බළ ඇණියට අයත් විය. ඔවුන් දකුණු ආඥා ප්‍රදේශ භාර මූලස්ථානය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව පසුදා උදෑසන ඉන් නිලධාරියකු ඇතුළු 10 දෙනකු වඩාත්ම ප්‍රචණ්ඩකාරී ප්‍රදේශයක් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ තල්ගස්වලට යැවිණි. රාජ්‍ය තේ වතු වගා කිරීමේ සංවර්ධන මණ්ඩලයට අයත් තේ වතුයායක පිහිටි ගොඩනැගිල්ලක ඔවුහු ස්ථානගත වූහ.

පසුව උතුරු නැඟෙනහිරින් පැමිණි අනිකුත් කණ්ඩායම් අම්පාර, බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි ස්ථානගත විය. ඒ අනුව උතුරු ප්‍රදේශයෙන් ඉවත්කර ගත් ගජබා, සිංහ, පාබල යන සෙසු බළඇණිද දකුණේ විවිධ ප්‍රදේශයන්හි ස්ථානගත කරන ලදී. උතුරු නැඟෙනහිර තමන් සමඟ සටන්වැදි ප්‍රතිවාදීන් වූ දෙමළ බෙදුම්වාදීන් ත්‍රිවිධ හමුදාව විසින් හැඳින්වූයේ ත්‍රස්තවාදීන් ලෙසය. එහෙත් උතුරේ කැරලිකරුවන් සතු හැසිරීම් රටාව සහ ඔවුන් විසින් ගෙන යන ලද සටන් ස්වභාවයට වඩා දකුණේ ඇතිවූ ප්‍රචණ්ඩත්වය වෙනස් ස්වරූපයක් ගත් හෙයින් ඊට යොමු වූ ක්‍රියාකාරීන් යුද මූලධර්මයන්ට අනුව කඩාකප්පල්කාරීන් වශයෙන් සලකන ලදී. මෙසේ හැඳින්වීමට හේතු වූයේ දකුණේ කැරලිකරුවන් විසින් යොදාගනු ලබන සමස්ත උපායශීලිත්ව අරමුණ මුල් කරගත් සටන් ස්වභාවය මිස අනෙකක් නොවේ.

ත්‍රිකුණාමලයේ කල්ලාර් හමුදා කඳවුරට 1987 ඔක්තෝබර් 4 කඩාවැදී එහි සියලු ආයුධ පැහැර ගැනීමටද කැරලිකරුවන් සමත්වූ අතර එයට නායකත්වය දුන් ගුවන් හමුදාවේ සෙබළ වනවාසල ලොකු මහින්ද ඇතුළු කැරලිකරුවන් තිදෙ­‌ෙනකු ඝාතනයට පත්විය. මීගස්වැව කුඹුකුණාවල සිට කල්ලාර් ප්‍රහාරයට කැරලිකරුවන් ගියේ බෙරවිල කැලේ හරහා කිලෝ මීටර් 15ක් පමණ පා ගමනකිනි. දිවා ආහාරයෙන් පසු වියළි ආහාර ද්‍රව්‍ය සහ ජලය රැගෙන එයට එක්වූහ. ප්‍රහාරයෙන් පසු අවි රැගෙන එන විටද ඔවුන් යළි පා ගමනින් පැමිණියේ වෙඩි වැදුණු කැරලිකරුවන් දෙදෙනෙකුද ඔසවාගෙනය.

පන්නල ජාතික සහායක බළකා පුහුණු කඳවුරට 1988 නොවැම්බර් 1 අලුයම 1.25ට ප්‍රහාර එල්ල කිරීමේ දී 9 දෙනකු මිය ගිය අතර ඉන් 4 දෙනෙක් ජවිපෙ කැරලිකරුවන් විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පිහිටි මෙම ජාතික සහායක බළකායේ යුද පුහුණු කඳවුරේ ඒ වන විට 250ක් පුහුණුව ලබන සෙබළුන් සිටියහ. කැරලිකරුවන් ටී. 56 තුවක්කු 19, 303 වර්ගයේ තුවක්කු 178, රිපීටර් වර්ගයේ තුවක්කු 21, එල්. එම්. පී වර්ගයේ තුවක්කු 8 සහ පතොරම් 30, 000ක් පැහැරගත් අතර මෙය කැරලි සමයේ එක් ප්‍රහාරයකින් ලබාගත් විශාලතම අවි ආයුධ තොගය විය.

පනාගොඩ යුද හමුදා මූලස්ථානය 1989 මැයි 2 අලුයම 1.30ට කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර එය ව්‍යර්ථ කිරීමට හමුදාව සමත් විය. එහෙත් අවි කිහිපයක් පැහැර ගැනීමට කැරලිකරුවන් සමත් විය. කඳවුරේ සේවය කළ හමුදා කෝප්‍රල් එස්. ඒ කුමුදු කුමාරද කැරලිකරුවන්ට එක්වූ අතර එහි දී ඔහුද තවත් කැරලිකරුවන් දෙදෙනකු මූලටියන සීනිපැල්ලේ දහනායක සහ මහරගම දඹහේන පාරේ සුගත් පුෂ්පකුමාර හෙවත් රංජිද ඝාතනයට පත්විය. මාතර වැටගෙදර පදිංචි සුදුවැල්ල කංකානම්ගේ කුමුදු කුමාර ගේ පියා කච්චේරියේ ලිපිකරුවෙකි. මව නාදුගල මහා විද්‍යාලයේ ගුරුවරියකි. සිවුදෙනෙකු ගෙන් යුත් පවුලේ වැඩිමලා කුමුදුය. මාතර ශාන්ත තෝමස් විදුහලේ 1983 උප ප්‍රධාන ශිෂ්‍ය නායකයාද වූ කුමුදු 1963 දෙසැම්බර් 12 උපන්නෙකි. අපොස උසස් පෙළ දී නන්දරත්න මඟින් ජවිපෙට එක්වූ කුමුදු 1982 ධවල පත්‍රිකා විරෝධයේ දී ගැමුණු නමින් මාතර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කළේය. කෝප්‍රල් කුමුදු කුමාර සමඟ ජවිපෙ සබඳතා පැවැත්වූ නාදුගල විමලාරාමයේ පොඩි හාමුදුරුවන්ද 1989 අගභාගයේ දී ඝාතනයට පත්විය. කැරලිකරුවන් ආයුධ ලබාගැනීමට කළ ප්‍රහාරයන් කිහිපයක් අවසාන මොහොතේ අසාර්ථක විය. එවැනි එක් ස්ථානයක් වූයේ වැලිකන්ද කන්දකාඩුව හමුදා කඳවුරට කඩා වැදී අවි ආයුධ පැහැර ගැනීමේ ප්‍රහාරයයි. අවි ගබඩා භාරකරු බව කියන සාමාන්‍ය සෙබල අම්පාරේ බණ්ඩාර විසින් සියලු අවි ගෙනයෑමට පහසුවන සේ දරමිටි සේ බැද තිබූ අතර එහෙත් හදිස්සියේ සැලැස්ම අවුල් වූයේ රාත්‍රී 10ට පෙර කැරලිකරුවන් ඇතුළුවීමට තිබුණද විනාඩි 15ක් පසුවී ඇතුළුවීම හේතුවෙන් වෙනත් අය මුරසේවාවල යෙදීම නිසා බව කියති. මුර සේවයේ යෙදී සිටි වෙනත් හමුදා භටයෙක් විසින් කැරලිකරුවකු දැක වෙඩි තබා නළාව නාදකිරීමෙන් පසු හමුදාව ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර කැරලිකරුවන්නට පසු බසින්නට සිදුවිය.

 

අවි පැහැ­ර­ගැ­නී­මට නාය­ක­ත්වය දුන් මුල්පෙ‍ෙළ් කැර­ලි­ක­රු­වන් කිහි­ප­දෙ­නෙක්ය. වමේ සිටය, පන්නල ප්‍රහා­රයේ නායක හිටපු කෝප්‍රල් ජයන්ත සිරි­පාල හෙවත් පීටර් හෙවත් නන්දන,  පනා­ගොඩ හමුදා කඳ­වුරේ ප්‍රහා­ර­යේ දී එහි සැල­සුම සකස් කර අව­සා­න­යේ දී මරු­මු­වට පත්වූ මාතර වැට­ගෙ­දර පදිංචි කෝප්‍රල් එස්. ඒ. කුමුදු කුමාර,  කටු­නා­යක ප්‍රහා­රයේ නාය­ක­යකු වන මධ්‍යම කාරක සභික සහ හිටපු කොස්තා­පල් ඊශ්ව­රගේ ආරි­ය­සේන,  ගුවන් හමුදා හිටපු කාර්මික 
නිල­ධාරි කඩු­වෙල පිට්ටු­ගල පදිංචි කෙහෙ­ල්වත්ත ගම­රා­ල­ලාගේ සිරි­පාල සහ හිටපු හමු­දා­භට වන­වා­සල පදිංචි ආන­න්ද­පාල ගෙදර සරත් ගුණ­රත්න.
 
 
 
 
 
අවි පැහැ­ර­ගැ­නී­මට නාය­ක­ත්වය දුන් මුල්පෙ‍ෙළ් කැර­ලි­ක­රු­වන් කිහි­ප­දෙ­නෙක් මෙහි වෙති. වමේ සිට මධ්‍යම කාරක සභික රාගම හල­න්දා­රුවේ උපන් සම­ර­ප්පු­ලිගේ සෝම­සිරි හෙවත් රාගම සෝමේ,  හම්බ­න්තොට ගුණ­සේන වර්ණ­ප­ට­බැදි,  වැලි­සර යූස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතී,   ලබු­කැලේ කළු­ආ­රච්චි ටී. එස්. දේවා­නන්ද හෙවත් මහේෂ් සහ ගම්පහ ෂෙල්ටන් රාජ­පක්ෂ. 
 
 
සංවි­ධා­නයේ පැවැත්ම සහ ප්‍රවී­ණ­ත්වය සඳහා ජවිපෙ විසින් දෙමළ බෙදු­ම්වා­දීන් ගේ ශක්තිය ලබා­ගත් නමුත් ඔවු­නට හීලෑ නොවූ­වකු බව ප්ලොට් සංවි­ධා­නයේ නායක උමා මහේ­ෂ්ව­රන් 1988 අප්‍රේල් මස 16 වැනිදා වැල්ල­වත්ත රොක්සි සින­මා­හල අසල නිව­ස­ක දී මෙම ලේඛ­කයා සමඟ පැවැත්වූ සම්මුඛ සාක­ච්ඡා­ව­කදි ප්‍රකාශ කළේය. විදේ­ශීය වශ­යෙන් කැර­ලි­ක­රු­වන් දෙදෙ­නකු ලෙබ­නන්හි පල­ස්තීන විමුක්ති සංවි­ධා­නයේ පුහු­ණුව එතෙ­ර දී 1985 දී ලබා­ගත් බව කියනු ලැබේ. ඉන් එක් අයකු ලෙස එච්. බී. හේරත් හැඳින්වේ. පිලි­පී­නයේ මින්දානෝ දූප­ත්වල සන්නද්ධ කණ්ඩා­යම් යටතේ පුහු­ණු­වට 1989 සහ 1995 නොවැ­ම්බර් කැර­ලි­ක­රු­වන් කණ්ඩා­යම් 2ක් ගිය අතර මෙය සෝම­වංශ අම­ර­සිංහ ගේ මැදි­හ­ත්වීම මත සිදු­වූ­වකි.
 
 

අවි පැහැර ගැනීමේ ප්‍රහාරයන්ට සම්බන්ධ වූ කැරලිකරුවන් සති තුනක හෝ දෙසතියක රහසිගත පුහුණුවක් ජවිපෙ විසින් රක්ෂිත වනයන්හි තාවකාලිකව ඉදිකරන ලද අවි පුහුණු කිරීම් කඳවුරු 100ක දී පමණ සිදුකරන ලදී. එහි පුහුණුව භාරව බොහෝ විට කටයුතු කළේ ආරක්ෂක අංශ වෙතින් පලාවිත් ජවිපෙට සම්බන්ධ වූ හමුදා භට පිරිස්ය. පුහුණු කඳවුරු මොනරාගල, පොතුවිල්, අම්පාර, ත්‍රිකුණාමලය හම්බන්තොට, රත්නපුර, දඹුල්ල, මාතලේ, සිංහරාජ, හම්බේගමුව ඇතුළු ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක විය. විශේෂ­‌ෙයන් දකුණේ කැලෑබඳව රජරට රක්ෂිතයන්හිදීද, ශ්‍රීපාදයේ එරත්න දිසාවේද සහ මාතලේ නකල්ස් පිහිටා තිබූ කඳවුරු වඩාත් හොඳින් ක්‍රියාත්මක විය. පුහුණු කඳවුරු භාරව වික්‍රම, ආතර්, දිනේෂ් ඇතුළු කිහිප දෙනෙක්ම විය.

ජවිපෙ කැරලිකරුවන්ට එම වකවානුව තුළ දී විදේශ රටවලින් පුහුණුවක් ලැබු බවට නිල වාර්තා නොතිබුණද රහස් තොරතුරුවලින් හෙළිවිය. දේශීය වශයෙන් මාන්කුලමේ සිට මන්නාරම් පාරේ යනවිට කුංජිකුලම් එල්.ටී.ටී.ඊ කඳවුරේද, ප්ලොට් සංවිධානයේ වව්නියාවේ ඇතුළු කඳවුරු 2කද ජවිපෙ කැරලිකරුවන් පුහුණුව ලබාගෙන තිබුණේ මුදල් ගෙවමිනි. විශේෂයෙන් බිම් බෝම්බ තාක්ෂණය මෙහි දී හැදෑරූ බව කියති.

සංවිධානයේ පැවැත්ම සහ ප්‍රවීණත්වය සඳහා ජවිපෙ විසින් දෙමළ බෙදුම්වාදීන් ගේ ශක්තිය ලබාගත් නමුත් ඔවුනට හීලෑ නොවූවකු බව ප්ලොට් සංවිධානයේ නායක උමා මහේෂ්වරන් 1988 අප්‍රේල් මස 16 වැනිදා වැල්ලවත්ත රොක්සි සිනමාහල අසල නිවසක දී ලේඛකයා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදි ප්‍රකාශ කළේය. විදේශීය වශයෙන් කැරලිකරුවන් දෙදෙනකු ලෙබනන්හි පලස්තීන විමුක්ති සංවිධානයේ පුහුණුව එතෙර දී 1985 දී ලබාගත් බව කියනු ලැබේ. ඉන් එක් අයකු ලෙස එච්. බී. හේරත් හැඳින්වේ. පිලිපීනයේ මින්දානෝ දූපත්වල සන්නද්ධ කණ්ඩායම් යටතේ පුහුණුවට 1989 සහ 1995 නොවැම්බර් කැරලිකරුවන් කණ්ඩායම් 2ක් ගිය අතර මෙය සෝමවංශ අමරසිංහ ගේ මැදිහත්වීම මත සිදුවූවකි.

ජවිපෙ සන්නද්ධ අංශය මගින් 1989 අගෝස්තු 22න් පසු හමුදා සෙබළුන් ගේ පවුල් ඝාතනය ඇරැඹීය. රට පුරා එක් සතියක් තුළ ස්ථාන 25ක දී සිදුවිය. හමුදාවේ ඉතා සුළු පිරිසක් ඉල්ලා අස්වූවද සියයට 99ක පමණ පිරිසක් සේවයේ නිරතව සිටියහ. ආරක්ෂක හමුදාවන්හි පවුල් ලොකු කුඩා බේදයකින් තොරව ඥාති නිවෙස්වලට සහ ආරක්ෂක හමුදාව මඟින් විශේෂ ස්ථානවල පිහිටුවන ලද හමුදා කඳවුරුවලට යොමුවිය. මෙය ජවිපෙට මෙතෙක් අනුකම්පාවක් දැක්වූ බහුතර හමුදා සෙබළුන්ගේ ප්‍රබල කෝපයට ලක්වූ අතර ඔවුන් ජවිපෙ මරාගෙන මැරෙන මෙහෙයුමකට ඉබේම තල්ලු වී යන්නට විය. ජවිපෙට සම්බන්ධ බවට සැක කරමින් ආරක්ෂක අංශවල සහ පොලිසියේ භට පිරිස්ද අත්අඩංගුවට ගෙන හමුදාව මඟින් විශේෂිත රැදවුම් කඳවුරුවල රඳවාගෙන තිබිණි.

හමුදා භටයන් සඳහා එවැනි කඳවුරු 2ක් පනාගොඩ හමුදා කඳවුරේ ගල් පල්ලියේ සහ මින්නේරිය හමුදා කඳවුරේ විශේෂ රැඳවුම් ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක වූ මින්නේරියේ වසා දැමූ පේෂකර්ම ආයතනයේ පිහිටුවා තිබිණි. එහි සැකපිට රඳවා සිටි හමුදා භටයන් ගණන 121කි.

එසේ අත්අඩංගුවට ගත් හමුදා භටයන්ට තාඩන පීඩන සිදුකිරීම සම්බන්ධයෙන් මින්නේරිය හමුදා කඳවුරේ ඇතැම් නිලධාරින් සහ භටයන්ට එරෙහිව කැරලිකරුවන් ගෙන් චෝදනා එල්ල විය. එවැනි චෝදනාවට ලක්වූ මින්නේරිය හමුදා කඳවුරේ භටයන් දෙදෙනකු වූ බී.එස්. එස් පෙරේරා (25) සහ ඩබ්ලිව් ධර්මපාල (21) 1989 දී කැරලිකරුවන් විසින් මින්නේරිය නගරයේ දී රාත්‍රී 8.30ට පමණ කළ වෙඩි තැබීමකින් මරුමුවට පත්විය. ඒ පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කරන ලද්දේ පොළොන්නරුව දිසා විනිසුරු රංජිත් සිල්වා විසිනි. ජවිපෙ යැයි සැකකළ හමුදා භටයන් රැඳවූ මින්නේරිය යුද හමුදා කඳවුරේ විශේෂ ඒකකය 1990 ජූනි 18 දින වසා දමා එහි සිටි ඇතමුන්ට එරෙහිව හමුදා නීතියට අනුව කටයුතු කරන ලද අතර සෙසු අය පනාගොඩ හමුදා මූලස්ථානයට එවන ලදී. එම කාලය තුළ ජවිපෙට සම්බන්ධයැයි චෝදනා ලැබූ ත්‍රිවිධ හමුදාවේ 174 දෙනෙක් පමණ සේවයෙන් පහකර තිබිණි.

ජවිපෙ කැරලිකරුවන්ට සහාය දැක්වූ බව කියමින් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් අත්අඩංගුවට ගත් ඉහළම නිලධාරියකු වූයේ යුද හමුදාවේ කපිතාන් ධර්මසිරි නිශ්ශංකය. කොළඹ තර්ස්ටන් විදුහලේ අධ්‍යාපනය ලත් නිශ්ශංක 1961 අප්‍රේල් 23 උපන්නෙකි. සෝමවංශ අමරසිංහට රැකවරණය දුන් බවට සහ ඉන්දියාවට පලායෑම සඳහා උදවු කළ බවට ඔහුට එල්ල වූ චෝදනාව විය. වසර 4කට ආසන්න කාලයක් අත්අඩංගුවේ සිටි කපිතාන් ධර්මසිරි නිශ්ශංක 2017 වනවිට ජෝර්දානයේ ඇගලුම් කම්හලක විධායක රැකියාවක නිරත විය. කැරැල්ල නිමාවෙන් පසු එනම් 1990 මාර්තු වන විට ආරක්ෂ අංශවලින් කැරලිකරුවන් පැහැර ගන්නා ලද ටී 56 ගිනි අවි 172ක්, එස්.එම්.ජී අවි 2, රිපිටර් තුවක්කු 162, පතොරම් තුවක්කු 250, ගල් කටස් 1, 257, පිස්තෝල 63ක් රිවෝල්වර 54ක් සොයා ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය හෙළි කළේය.

ආරක්ෂක අමාත්‍යාංශ තොරතුරු අනුව කැරලිකරුවන් විසින් පැහැරගත් සොයා ගැනීමට නොහැකි වූ විශාල අවි ප්‍රමාණයක්ද 1990 අවසානය වන විට විය. එසේ සොයා නොගත් අවි අතර ටී56 අවි 78, එස්. එල්. ආර්. 60, එස් 84 අවි 36, එස්. එම්. ජී. 13, ටී 81 අවි 8, එල්. එම්. ජි අවි 11, එෆ්. එන්.සී 6, එම්.පි. 5 අවි 3, එස්. ඒ. ආර්. 4, පිස්තෝල 2, රිවෝල්වර 31, 22 රයිෆල් 11, 303 රයිෆල් 360, රිපීටර් 305, ෂොට්ගන් 223ක් ඇතුළු අවි 2, 136ක් විය. බොහෝ විට සිදු වූයේ අත්අඩංගුවට පත් කැරලිකරුවන් ගේ තොරතුරු මත අවි ආයුධ සැඟවූ තැන්වලින් සොයාගැනීමය.

 

Comments