එදා වසං­ග­ත­ව­ලදී අද විප­ක්ෂය සිටියා නම්.. | සිළුමිණ

එදා වසං­ග­ත­ව­ලදී අද විප­ක්ෂය සිටියා නම්..

සමගි ජන බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක එන්නත විදගත් අවස්ථාව
සමගි ජන බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක එන්නත විදගත් අවස්ථාව

“මට නම් කොරෝනා එන්නත එපා. මං කොරෝනා එන්නත ගහන්නේ සාමාන්‍ය ජනතාවට දීමෙන් පසුවයි.”‍ යනුවෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පසුගිය දා ප්‍රකාශ කළේය.

ඒ සමඟම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා ද කොරෝනා එන්නත ලබා නොගන්නා බවයි. නමුත් විපක්ෂයේ ප්‍රබලයකු වන සජිත්ගේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන කොරෝනා එන්නත සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම ලබාගත යුතු බවයි.

“මහජන නියෝජිතයන් රටේ පොදු මහජනතාව අතරට යන නිසා එම මහජන නියෝජිතයන්ගේ මෙන් ම පොදු මහජනතාවගේ ද ආරක්ෂාව වෙනුවෙන් මෙම එන්නත ලබා ගැනීම ඉතාම වැදගත්” යනුවෙන් තිස්ස අත්තනායක විසින් පෙන්වා දෙන ලදී.

“එක එක්කෙනා කුමන ප්‍රකාශ කළත් පාර්ලිමේන්තුවේ 225 දෙනාට ම එන්නත් ලබාදීම ඉතාම වැදගත්” යනුවෙන් සමගි ජන බලවේගයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ පසුගිය 18 වැනි දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ රැස්වීමේදී ය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රකාශ කරන්නේ කොරෝනා එන්නත මන්ත්‍රීවරුන් ලබාගත යුත්තේ අන්තිමට බවයි. සජිත් එසේ ප්‍රකාශ කරන විට සජිත්ගේ පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ප්‍රකාශ කරන්නේ කොරෝනා එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදිය යුතු බවයි.

කොරෝනා එන්නත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන විට එය මුලින් ම ලබාගත් මන්ත්‍රීවරයකු වනුයේ තිස්ස අත්තනායකයි.

තිස්ස හා සරත්ට තේරෙන යථාර්ථය සජිත් විපක්ෂ නායකයාට නොතේරෙන්නේ ඇයි?

මුළු ලෝකයම මේ අවස්ථාවේ දී දරුණුතම වසංගතයකට මුහුණ පා සිටින අවස්ථාවේදී ඉන් මිදීම සඳහා මුළු ලෝකය ම එකාවන්ව කටයුතු කරන විට මෙවැනි කකුලෙන් ඇදීම් සිදු කරන්නේ මෙරට විපක්ෂයෙන් පමණක්මද යන සැකය මතු වීම සාධාරණය.

මෙරට එන්නත්කරණයේ විශාලත ම ක්‍රියාවලිය මුළු රටපුරා මේ වන විට සිදුවෙමින් පවති. පසුගිය 17 වැනි බදාදා දිනයේ දී බස්නාහිර පළාත තුළ පමණක් එන්නත් කරන ලද මුළු සංඛ්‍යාව 57,000 කි.

මාර්තු 01 වැනිදා වන විට රටපුරා මධ්‍යස්ථාන 4,000 කදී දිනකට ලක්ෂ 6 බැගින් එන්නත් කිරීම සඳහා සෞඛ්‍ය අංශ දැනටමත් සැලසුම් කර ඇත.

එන්නත් මිලදී ගැනීමට ද ක්‍රියාකර තිබෙන අතර ලැබෙන එන්නත් කඩිනමින් එන්නත් කරන මධ්‍යස්ථාන සඳහා යොමු කෙරේ.

එන්නත්කරණය මීට පෙර ද ඉතා හොඳින් සිදු කරන රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගැනීමට ලක්ව තිබීම විශේෂත්වයකි. මෙම ලෝක වසංගතයෙන් කඩිනමින්ම මිදීම සඳහා මෙම එන්නත්කරණ ඉතා වැදගත් වන අතර එය ධෛර්යවත් කිරීම කිසිදු බේදයකින් තොරව සිදුකළ යුතු බව සියලු‍ම දෙනාගේ පිළිගැනීමයි.

නමුත් එම වගකීම නිසි පරිදි ඉටු නොකරන සජිත්, අනුර කුමාර ඇතුළු සුළු පිරිසක් රටට ලබාදෙන ආදර්ශය කුමක් ද?

ඔවුන් කොරෝනා පැමිණිය දා සිටම චෝදනා කරන්නේ ආණ්ඩුවටයි. ඔවුන්ගේ එම චෝදනා ඇසෙන විට සිතෙන්නේ කොරෝනා මේ ලෝකයට ගෙනාවෙ රාජපක්ෂවරුන් ද කියාය.

මේ චෝදනාව අවලාද කෙතරම් එල්ල කළ ද වගකිව යුතු රජයක් ලෙස වර්තමාන රජය කොරෝනා වයිරසය පාලනය කිරීම කළමනාකරණය තුළින් ලෝකයේ රටවල්වලින් 10 වැනි ස්ථානය හිමි කරගෙන තිබෙන බව ජාත්‍යන්තරය පිළිගත් සංවිධාන කියයි.

මෙහිදී ඇමෙරිකාව ප්‍රමුඛ බොහෝ රටවල්වලට එම ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ හිමිවී තිබෙන්නේ පසුපෙළ ස්ථානයන්ය.

ලෝකයේ රටවල්වලින් නිරෝධායන ඉතා හොඳින් සිදු වෙන්නේ ශ්‍රී ලංකාව, වියට්නාමය සහ ඊශ්‍රායලය යන රටවල පමණි.

වසංගත තත්ත්වය මැඬලීමට ක්‍රියාකරන ලෝකයේ ආරක්ෂක අංශවලින් ශ්‍රී ලංකාවේ යුද හමුදාවට ලෝකයෙන් ම දෙවැනි ස්ථානය හිමි වී තිබේ.

කොරෝනා මර්දන එන්නත්කරණය ද ඉතා හොඳින් සිදුකර එම එන්නත්කරණයෙන් ද විශේෂ ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි කියා බොහෝ දෙනෙක් අපේක්ෂා කරති.

එවැනි තත්වයකදී සජිත්, අනුර කුමාරලා ඇතුළු සුළු පිරිසක් මෙම එන්නත්කරණ වැඩසටහන දිරිමත් කිරීමට ක්‍රියා නොකරන්නේ ඇයි?

“ශ්‍රී ලංකාවට එන්නත් ගේන්නේ නැහැ.” කියමින් මේ කෑගහන අයියලා ටික එම එන්නත් ගෙන්වූ පසුව කියන්නේ තවත් කතාවකි. ඒ මේ රටේ දේශපාලනයේ හැටියටය. සිංහල ශබ්දකෝෂයේ නම් ඊට ලබාදිය හැකි හොඳම හැඳින්වීම “කුහකත්වය” නැතුව වෙන කුමක් ද?

ලෝක වසංගතය කියා දෙයක් නොමැති ආකාරයෙන් විපක්ෂයේ ඇතැමුන් කටයුතු කිරීම පුදුම සහගත ය. ලෝක ඉතිහාසය ගත් විට කලින් කලට ලෝක වසංගත පැමිණ ඇති බව ඉතා හොඳින් පැහැදිලි වේ.

එමනිසා සජිත්ලාට, අනුර කුමාරලාට ලෝක වසංගත ගැන පාඩමක් කියා දුන්නාට ද වරදක් නැත. සමහරවිට එම ලෝක වසංගත තත්ත්වයක් දැනගෙන ඒවා නොදන්නවා සේ සිටින්නේ දේශපාලන කුහකත්වය නිසා විය හැකිය.

“ලෙඩදුක් සාගතයේ මුලින් ම මහලු‍ මහලු උදවිය මරා ගත්හ. පොඩිසිංඤා හා ඔහුගේ පවුල අන්ගෝහාමි ද මැරී ඔවුන්ගේ ගෙය කැලයට යට විය. ඊට අවුරුදු 03 කට පසු තවත් ගෙවල් දෙකක් අතහැර දමන ලදී. ඉන් එකක වාසය කළෝ බාලප්පුත් ඔහුගේ පවුල හා නෑනාත් ළමයින් දෙදෙනෙකුත් ය.

අනික් ගෙයි වාසය කළෝ බස්තියන් අප්පුත් ඔහුගේ පුත්තු දෙන්නාත්, දුවත් ලේලි කෙනෙක් හා මුනුපුරෙකුත් ය. ඔවුන්ගේ හේන්වල වැඩ දීමෙන් ද යන්තම් ලැබෙන අස්වැන්නෙන් අඳයක් දීමෙන් ද ඔවුහු පුංචි මැණිකාට උපකාර කළහ. තමා ඉපදී හැඳුණු ගමත් තමාට පුරුදු මිදුලත් අතහැර නොගොස් තමා කෙරෙහි බලපවත්නා දුර්දසාපන්න ඉරණම සමඟ සටන් කිරීමට ඔහු බොහෝ උත්සාහ ගත්හ. එහෙත් ඔවුන්ගේ හේන් හොඳටම නිසරු විය. ඔවුන්ගේ ගෙවල්වල දරුවෝ නූපන්හ. ගැහැනු ද හේන් මෙන් ම මුඩුව ගොසිනි. උපන් දරුවෝ උණෙන් මළාහ. බැරිම තැන කාලයට පරාජය වී තම තමන් සතු බඩු මුට්ටු ටිකක් පොදිගන්නා ගෙන මහපොතාන කුඹුරුවල කුලියට වැඩ කිරීම සඳහා ඔවුහු සදහටම ගම අතහැරදමා ගියහ.”

ඉහත සඳහන් වූයේ 1913 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය ජාතික ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත බද්දේගම (Village in the jungle) නවකතාවේ කොටසකි.

1908 සිට 1911 දක්වා හම්බන්තොට දිසාපතිවරයා වශයෙන් සිටි ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවලට වැඩි වශයෙන් ගමන් කළේය.

ග්‍රාමීය ජනතාවගේ ජීවන අත්දැකීම් තුළින් “බැද්දේගම” නවකතාව ලෙනාඩ් වුල්ෆ් රචනා කළ අතර ඒ කාලයේදීත් වසංගතවලින් මිනිස්සුන්ට හා ජන ජීවිතයට සිදු වූ බලපෑම බද්දේගම තුළින් මැනවින් පෙන්වා දෙයි.

ඈත අතීතයේ දී ඇති වූ වසංගත ලෙස සිරිසගබෝ කාලයේ ඇතිවූ රක්තාක්ෂ රකුස් බය, “රක්තාක්ෂ යයි ප්‍රසිද්ධ වූ එක් යකෙක් මෙහි අවුත් ඒ ඒ තැන මිනිසුන්ගේ ඇස් රතු කෙරයිග උනුන් ඇස් රතු බලා බිය වැද මනුෂ්‍යයෝ නසිතිග යක්ෂ තෙමේ ඒ මිනිස්සු සැක නැතිව කයි. රජ තෙමේ උන් උවදුරු අසා තැතිගත් සිත් ඇත්තේ හුදෙකලා ව අටඟ පෙහෙවස් ඇතිව උපවස් ගෙය තුළ “ඒ යකු නො දැක නොනැගිටින්නේමි”යි හොත්තේය. යක් තෙමේ රජහු දහම් තෙදින් රජහු වෙත ආය. රජ විසින් කවරෙක්දැයි පුළුවස්නා ලද්දා වූ යක් තෙතමේ මම (අසවලැයි) දැන්වීය. “කවර හෙයින් මාගේ ප්‍රජාව කයිද? නොකව” දැන්වීය. යක් තෙමේ “මට දනව්වක මිනිසුන් දෙව” කීය.

නොහැක්කැයි කී කල යක් තෙමේ ක්‍රමයෙන් ඉල්වා “එක් මිනිසෙක් දුන මැනව”යි කීය. රජ තෙමේ “අනිකෙක් දෙන්ට බය නොපිළිවන, මා (මස්) කයි” කීයේය. යක් තෙමේ නොහැක්කැයි කියා “ගමක් ගමක් පාසා බිලි දුන මැනව”යි රජුගෙන් ඉල්විය. භූමිශ්වර තෙමේ මැනැවැයි කියා සියලු දිව්හිම ගම්දොර තබ්බවා ඔහුට බලි (බත්) දෙවීය. සියලු‍ සතුන් කෙරෙහි අනුකම්පා ඇති ලක්දිව් පහන්බඳු ඒ මනුසත්හු විසින් හටගත මහාරෝග භය මේ උපායෙන් නසන ලදි.” යැයි මහා වංශයේ 36ඃ82-90 හි සඳහන් වේ. යටත් විජිත සමයේ ඇති වූ වසංගත ලෙස වසූරිය, මහාමාරිය, පරංගි හා වෙනත් රෝග හැඳින්විය හැකිය. වසූරිය ඈත අතීතයේ සිට පැවත එන වයිරස රෝගයකි. වඩාත් බිය වූ රෝගයකි. වෙන්කර තැබීම් හා ගම් අතහැර යෑම මෙහිදී සිදුවිය.

මැලේරියාව උණ රෝගයක් ලෙස සුලභ විය. වාර්තාවල සඳහන් උණ මෙය විය හැකිය. අරිප්පුව නරකම ස්ථානය විය.

මැලේරියාව අතීතයේ සිට ආ රෝගයකි. plasmodium නම් ඒකසෛලික ජීවියාගෙන් පැතිරේ. බරපතළ හා විනාශකාරී විය. රාජධානි මාරු වීමට බලපා ඇත. 1940 ගණන්වල දී ද මරණ ඇතිවීමට ප්‍රධාන හේතුවකි. පරිසර තත්ත්ව සුදුසු වූ විට මැලේරියාව සාමාන්‍යයෙන් නැති ප්‍රදේශවල ද පැතිරී ඇත. ඒ අනුව ගාල්ල 1895 දී පැතිරි ඇත.

මැලේරියාවේ වඩාත් කැපී පෙනෙන වසංගතය ලෙස 1934/35 දැක්විය හැකිය. තවද 1934 නොවැම්බර් සිට 1935 ජූනි පමණ වන විට මරණ 80,000 ක් පමණ විය. එමෙන්ම මහ ඔය ද්‍රෝණියේ දෙපසින් ආරම්භ විය. කුරුණෑගල, කෑගල්ල ප්‍රදේශවල මෙන්ම බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත විය. සමහර ප්‍රදේශ මැලේරියාව එතරම් සුලභ නැති පෙදෙස්ය. ආහාර හිඟයක් ද ඇති විය. සූරියමල් ව්‍යාපාරය ගොඩනැඟුණේ ද මැලේරියාවෙන් අසරණ තත්වයට පත් ජනතාවට පිහිටවීමටයි.

මහාමාරිය බැක්ටීරියා රෝගයකි. පැරණි රෝගයකි. වරින්වර විවිධ ප්‍රදේශවල රෝගය ව්‍යාප්ත විය. මීයන් මූලිකව ව්‍යාප්ත විය.

කොලරාව බැක්ටීරියා රෝගයකි (vibrio cholerae). බරපතළ රෝගයකි. අධික බියක් ඇති කළ රෝගයකි. ලන්දේසි සමයේ ද වාර්තා වී ඇත.

1935 වර්ෂය, වාර්තාගත සංඛ්‍යාලේඛන ඇති ලාංකික සෞඛ්‍ය ඉතිහාසයේ අතිශය භයංකාර වකවානුවක් සේ ඉල්පී පෙනෙයි. දිවයින පුරා වේගයෙන් පැතිර ගිය මැලේරියා වසංගතය හට ගත්තේ මෙම වර්ෂයේදී ය. ඉන් සත් මසක් තුළදී ජීවිත 80,000 ක් විනාශ වූ බව වාර්තාගතව තිබේ. මෙම වර්ෂයේ දී වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කරනු ලැබීය. මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 24 දෙනෙක් ද, වරාය වෛද්‍ය නිලධාරීන් 04 දෙනෙක් ද, වතුකරය සඳහා වෛද්‍යවරුන් 05 දෙනෙක් ද පත් කරනු ලැබූහ.

දීප ව්‍යාප්ත මැලේරියා මර්දන ව්‍යාපාරයක් 1936 දී දියත් කරනු ලැබීමට හේතු වූයේ ඉහත සඳහන් වසංගතයයි. ක්ෂේත්‍ර වෛද්‍ය නිලධාරීන් යනුවෙන් හඳුන්වනු ලැබූ වෛද්‍යවරුන් කණ්ඩායමක් පළමු වැනි වරට බඳවාගෙන සේවයට යොදන ලද්දේ මෙම වකවානුවෙහි දී ය. මෙම වර්ෂය තවද අනෙකින් ලංකාවේ වෛද්‍ය ඉතිහාසයෙහි ලා වැදගත් වන්නේ ය. ලාංකිකයන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳ ව 1933 දී දොස්තර නිකුලස් සහ දොස්තර නිමලසූරිය විසින් ආරම්භ කරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලද්දේ මෙම වර්ෂයේ දී ය.

ස්පාඤ්ඤ උණ වසංගතය 1918 පෙබරවාරි සිට 1920 අප්‍රේල් දක්වා ව්‍යාප්ත විය. “එකල ලක්දිව මුළුල්ලෙහි මහජනයා තවන්නා වූ, පණ නසන්නා වූ, ඉතා දරුණු වූ (තුන් දා) උණ රෝගයක් හටගත්තේය. පිටරටින් ගෙණෙනු ලබන්නාවූ ද මෙරට හටගන්නා ධාන්‍යයන් අතිශයින් හීන බැවින් දුර්භික්ෂයක් ද හටගත්තේ ය.” යනුවෙන් මහාවංශය 3 භාගය - පරිච්ඡේදය 111 හි සඳහන් වේ.

ස්පාඤ්ඤ උණ වයිරස රෝගයකි. H1N1 influenza A යනුවෙන් හඳුන්වනු ලබයි. ලෝක ව්‍යාප්ත වසංගතයකි. මිලියන 500 කට වැළඳී ඇති අතර මිලියන 30 - 100 ත් අතර ගණනක් මිය ගියහ. පළමුවන ලෝක සංග්‍රාමයෙන් මියගියේ ද මිලියන 20 කි.

ලංකාවේ ස්පාඤ්ඤ උණ රෝගය ද 1918 පෙබරවාරි සිට 1920 අප්‍රේල් දක්වා ව්‍යාප්ත විය. පළමු රෝගීන් මතුවීම 1918 ජුනි හා ජුලි මාසවල වාර්තා වූ අතර වරායේ යාත්‍රා ආශ්‍රිතව සේවය කරන්නවුන් හට වැලඳුණි. කොළඹ වරාය හරහා මේ රෝගය ලංකාවට පිවිස ඇත. රජයේ හා පුද්ගලික අංශයේ කාර්යාල වල සේවකයන්ගේ පැමිණීම ද අඩුවූ බවට වාර්තා වේ.

රෝගය මර්දනය සඳහා කළ කාර්යභාරයට දැනුම්වත් කිරීම සඳහා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් හා සනීපාරක්ෂක පරීක්ෂකයන්, පණිවුඩය වැසියන් වෙත දැනුම්දෙන ලද්දේ ගම්මුලාදෑනීන්ය. තවද උපදෙස් සහිත පත්‍රිකා දහස් ගණනින් නිකුත් කර ඇත. මේ පත්‍රිකාවලින් රෝගය පිළිබඳව හා ප්‍රතිකාර ගැන විස්තර කර ඇත. බොහෝ ඒජන්තවරු මේ ගම් මට්ටමේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය ගැන ප්‍රශංසා කළහ. ප්‍රතිකාර සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායම් බරපතළ පෙදෙස්වලට යොමු කෙරිණ.

ආපදා සහන සඳහා රජය මැදිහත්වී ආපදා සහන ලබා දී ඇත. එමෙන් ම මහජන රැස්වීම් තබා, පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කිරීම. ඒ මුදල්වලින් පීඩාවට පත් ජනතාවට සහන සපයා තිබේ. මේ සඳහා පිහිටු වූ සහන කමිටු හරහා පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ හා ඇඳුම් ලබා දී ඇත. පුද්ගලිකව සංවිධාන ලෙස උපකාර කිරීම සුලභය. සහන සැපයීමට ජනතාව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව ඇත. සමහර ප්‍රදේශවල මෙසේ ආධාර සැපයීම පවා අසීරූ වූ අවස්ථා සඳහන් වේ. නැගෙනහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත සඳහන් කරන පරිදි ඒ පළාතේ ගම් හා හේන් ඈතින් පිහිටා තිබීම සහන සැපයීමේ දී බාධාවක් විය. (මඩකලපු දිස්ත්‍රික්කයේ හා ත්‍රිකුණාමලයේ) සෞඛ්‍ය වාර්තා අනුව මේ රෝගයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හා ඔවුන්ගේ පවුල්වල අය මරණයට පත්ව ඇත. ඇත ඒ අතර වෛද්‍යවරුන් ඇපොතිකරිවරුන් මෙන්ම හෙදියන්ද වේ. මෙහිදි මියගිය වෛද්‍යවරුන් ලෙස රක්වාන රෝහලේ වෛද්‍ය ඩබ්ලිව්. එස්. තිරිමාන්න සහ නිකවැරටිය රෝහලේ වෛද්‍ය එස්. ජේ. එච්. එල්. ඩී. හීර් දැක්විය හැකිය.

පාසැල් ද වසා දැමුණු අතර ළමුන්ගේ පැමිණීම ද බෙහෙවින් අඩු වී ඇත. මහජන වැඩ දෙපාර්තමේන්තුව ද, පොලිසිය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල සේවකයන්ට ද මෙම වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙයින් සිදු වූ බලපෑම දිළිඳු ජනතාවට සහ කෘෂිකර්මය හා කම්කරු රැකියා කළ අයට විය. ඒ අනුව එදිනෙදා කටයුතුවලින් සිය ජීවිකාව සපයාගත් ගැමියන්ය. රෝගය වැලඳී සුව වුව ද ඔවුන්ගේ වැඩ කිරීමේ හැකියාව අඩුවී මහන්සි වී කටයුතු කළ නොහැකි වී ඇත. 1918-19 මහ කන්නය වගා කටයුතු අඩාළ වී ඇත. මේ අතර හම්බන්තොට හා අනුරාධපුරය ගැන විශේෂයෙන් සඳහන් වේ. 1919 වර්ෂයේ දී ඇති වූ ආහාර හිඟය සඳහා මේ තත්ත්වය බලපා ඇති බව සිතිය හැකිය.

මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ආගමික උත්සව ද නියාමනය කර ඇත.

1919 කතරගම උත්සව දෙකම නවත්වන ලදී - කොලරා වසංගතය නිසාය. එමඟින් එය ඌව හා දකුණු පළාතට සැලකිය යුතු බලපෑම් විය. ඌව පළාතෙන් වාර්තා වූ රෝගීන් 131 දෙනාගෙන් 92 ක් පමණ මියගොස් ඇත. එසේම පළාතේ දකුණු ප්‍රදේශය ගැන සැලකූ විට කොටමුඳුන, බුත්තල, වැල්ලවාය හා තෙලු‍ල්ල දක්වා ද එදා රෝගය තදින් ව්‍යාප්ත විය. මේ බව තහවුරු වන්නේ කතරගමට නුදුරින් පිහිටා ඇති හම්බන්තොට, තිස්ස යන ප්‍රදේශවල ද මේ කාලයේදී ම රෝගය ඉතා තදින් ව්‍යාප්ත වූ නිසාය.

1914 කතරගම ඇසළ උත්සවය තහනම් කරන ලදී - වසූරිය වසංගතය නිසා බදුල්ලේ නමුණුකුල වතුයායක ඇති වී බදුල්ල, පස්සර, ලු‍නුගල හා කතරගම දක්වා ම ව්‍යාප්ත වී ඇත. රෝගීන් 87 ක් හමු වූ බවක් හා මරණ 224 ක් වාර්තා විය.

1914 අනුරාධපුරයේ පැවති පොසොන් උත්සවය - සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව ගත් ඉතා දැඩි ආරක්ෂක පියවර කොළඹ තවත් ප්‍රදේශවල බරපතළ මහමාරිය වසංගතයක් තිබීම.

උණ හා වෙනත් රෝග ලක්ෂණ සහිත පිරිස් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද, අනුරාධපුර ‘ලෝකල් බෝඩ්’ හෙවත් පළාත් මණ්ඩලයේ නිලධාරීන් ද, ගම්මුලාදෑනීන් ඇතුළු දේශීය නිලධාරීන් ද මෙසේ වන්දනාකරුවන් අතර ගැවසෙමින් රෝගීන් සිටී දැයි පරික්ෂා කර තිබේ.

සනීපාරක්ෂක පහසුකම් ද වෙනදාට වඩා සපයා තිබිණ. වන්දනා සමය අවසන් වූ වහාම නගරය මුළුමනින් ම පවිත්‍ර කර තිබේ.

වන්දනා සමයේ දී කිසිදු මහාමාරියා රෝගියෙකු වාර්තා නොවූ බව ද පවසයි.

1914 දී ශ්‍රී පාද වන්දනා සමය ද නියාමනය කෙරිණ. කොළඹ සිට පැමිණෙන වන්දනාකරුවන් මඟින් මධ්‍යම පළාතට ද රෝගය ව්‍යාප්ත විය හැකි යැයි සැකයක් විය. වෙනත් වන්දනාගමන් මෙන් වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීම ද කළ නොහැකි බව සඳහන් කරන සබරගමු පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා ඒ සඳහා වෙනත් පියවරක් ගෙන ඇත.

ඒ අනුව, විවිධ ස්ථානවලදී වන්දනාකරුවන් වෛද්‍ය පරීක්ෂණවලට ලක්කිරීම.

වැඩි පිරිසක් දුම්රියෙන් පැමිණ බසින ස්ථාන වූ කුරුවිට හා රත්නපුරයේදී හා රත්නපුර රෝහලේදී ය. මේ වන විට සබරගමුව හෙවත් රත්නපුර දුම්රිය මාර්ගය ලෙස හැඳින්වෙන දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දිගු කර තිබිණ.

මේ සඳහා ම කුරුවිට නුදුරු හිග්ගස්හේන ප්‍රදේශයේ මාර්ගයේ පොලිස් ආරක්ෂක මුරපොළ පිහිටුවන ලද අතර, එමඟින් මහා මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් වන්දනා මාර්ගවලට යොමු කිරීමට හා වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට යොමු කරන ලදී. ඒජන්තවරයා පවසන ආකාරයට, මහාමාරිය පැතිර තිබූ කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශවලින් පැමිණි වන්දනාකරුවන් ගණන සැලකූ විට මේ වන්දනා සමය තුළ මහාමාරිය හෝ වෙනත් බරපතළ වසංගතයක් හමු නොවීම සතුටු විය හැකි කරුණක් විය.

කොවිඩ් - 19 තවම ලෝකයේ වසංගත තත්වයෙන් පවතින්නේ 06 වැනි 07 වැනි ස්ථානවලය. ස්පාඤ්ඤ උණ වසංගතය ඇතුළු අනෙකුත් ලෝක වසංගත තත්වයන් පැවති කාලයේ දී සජිත්ලා, අනුර කුමාරලා හිටියා නම් කොහොම හිටිවී ද? එදා අද වාගේ සමාජ මාධ්‍ය ජාලා තිබුණා නම් මිනිසුන් කෙතරම් කලබලයට පත්කරනු ඇත් ද?

ඒ නිසා ඉතිහාසය හොඳින් අධ්‍යනය කරන කෙනෙකුට දේශපාලන බේදයකින් තොරව වර්තමාන යථාර්ථය තේරුම් ගැනීමට හැකිවනු ඇත.

 

Comments