
බදුල්ල මහ නගර සභාවේ බල අරගලය උත්සන්න වූ අතර මේ වසරේ අයවැය පරාද විය. එසේ අයවැයක් පරාද වුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග පළාත් පාලන විධිවිධාන පනතේ පැහැදිලිව සඳහන් කර ඇත. එම විධිවිධාන වලට අනුව නැවත වතාවක් අයවැය ඉදිරිපත් කළ යුතුය. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. නගරාධිපති පුටුවට ඇතිවූ බල අරගලය මේ සියල්ලටම මුල්විය. මේ ගැන කිසිත් නොකියා සිදුවන්නේ කුමක් දැයි බදුල්ලේ ජනතාව බලා සිටිති.
පළාත් පාලනය යනු විමධ්‍යගත විෂයකි. එනිසා අද පළාත් සභාවද විසුරුවා හැර ඇත. අද පළාත් සභාවේ බලධාරියා ආණ්ඩුකාරවරයායි. එවන් පසුබිමක බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවා විශේෂ කොමසාරිස් පාලනයට ලක් කරමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙලෙස විශේෂ කොමසාරිස් ලෙස පත් කර ඇත්තේ පරිපාලන සේවා නිලධාරියකු වන ජීවන්ත හේරත් ය.
2018 පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් බදුල්ල මහ නගර සභාව සඳහා තරඟ කළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 5 දෙනෙකුද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකුද, එක්සත් ජාතික පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 9 දෙනෙකුද, ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 3 දෙනෙකුද වශයෙන් සභිකයින් 25 දෙනෙකු තේරී පත් වූහ. මෙහි බහුතර බලය හිමි තනි දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පෙරමුණ පත්ව සිටියත් පාලන බලය පිහිටුවීමට සෙසු පක්ෂ කිසිවක සහය හිමි නොවුණු අතර බලය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ මූලිකත්වයෙන් සාකච්ඡා කර එහි එකඟතාව අනුව බලය පිහිටුවන ලද අතර, ඒ හරහා ආණ්ඩු පක්ෂයට ආසන 13 ක්ද, විපක්ෂයට ආසන 12 ක්ද හිමි විය.
නගරාධිපතිට දැන් බලයක් නෑ
බදුල්ල මහනගර සභා රැස්වීම් ශාලාවේදී නගරාධිපති හා නියෝජ්‍ය නගරාධිපති තෝරා පත්කරගැනීමේ රැස්වීම් 2018 මාර්තු මස 28 දා පළාත් පාලන කොමසාරිස් මංගල රංදෙණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර නගරාධිපති තනතුර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනයන් ලෙස ඩබ්ලිව්. ඩී. ප්‍රියන්ත අමරසිරිගේ හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනයක් ලෙස බදුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු,මෙන්ම විපක්ෂ නායකයා වූ ඇම්. ඩී. ඒ. හේමචන්ද්‍රගේ නම යෝජනා වූ අතර ඡන්දය විමසීමේදී හේමචන්ද්‍රට ඡන්ද 9ක් ලැබුණු අතර , ඡන්ද 12ක් ලබාගත් ප්‍රියන්ත අමරසිරි නගරාධිපති ධූරයටත්, නියෝජ්‍ය නගරාධිපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පත් වූ අසිත නලින්ද රංගේ පත්විය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
දෙපාර්ශ්වය එක්ව පාලනය කළත් විටින් විට මත භේද ගැටුම් ඇතිවිය. පාලක පක්ෂයේම දෙපිරිසක් අතර වූ කඹ ඇදීම් නිසා නගරයේ සංවර්ධනය ඇතුළු කටයුතු වලට නොයෙකුත් බාධා ඇතිව තිබිණි. නගර සභාවේ පාලනයට වසර දෙක හමාරක් ගතවනවිට එහි ගැටුම්කාරී තත්ත්වය තව තවත් උත්සන්න වන්නට විය. එම මත භේදාත්මක ගැටුම්කාරී තත්ත්වය මතම 2021 වර්ෂය සඳහා වූ අයවැය නගරාධිපතිවරයා විසින් ඉදිරිපත් කළේ ඉකුත් දෙසැම්බර් මස 01 වැනිදාය.
එම අයවැය වැඩි ඡන්ද නවයකින් පරාජයට පත්විය. අයවැයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 8 දෙනා පමණක්ම ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් විසින් බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවා විශේෂ කොමසාරිස් පාලනයට ලක් කර ඇත්තේ මෙවන් පසුබිමකය.
මේ පිළිබඳව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් අදහස් දැක් වූයේ මෙසේය.
“මේ හැම දේකටම මුල යහපාලන ආණ්ඩුව සමයේ ඇති කළ ක්‍රමවේදයයි. ඒ ක්‍රමවේදයෙන් පළාත් පාලන ආයතන සියල්ල විනාශ වුණා. මේ අය මේ දේ කරලා තියෙන්නේ පළාත් පාලන ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් නැතිවයි. ඒ නිසා අද හැම ප්‍රාදේශීය සභාවක්ම හරිම අමාරුවෙන් පවත්වාගෙන යන්නෙ. මේ ක්‍රමය හැකිතාක් ඉක්මනින් වෙනස්කරන්න ඕනෑ. බදුල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයාට දැන් ඒ බලය නැතිවෙලා. තවදුරටත් සභාව පවත්වාගෙන යන්න බැරි තැනට පත්වෙලා. සභාවේ අය ඇවිත් නගරාධිපතිවරයා අයින් කරන්න කියලා ඉල්ලනවා. මට ඒක කරන්න බලය නෑ. මම නගරාධිපතිට කිව්වා එකතුවෙලා වැඩ කරගෙන යන්න කියලා. කාරක සභා සියල්ල 31 වැනිදාට කලින් පත් කරන්න කිව්වා.
නගරාධිපතිගේ පාලනය නීති විරෝධියි
ඒක සිදුවුණෙත් නෑ. අද නගර සභාව අක්‍රියයි. මුදල් වියදම් කරන්න බෑ. සංවර්ධන කටයුතු කරන්න බෑ. ඝන අපද්‍රව්‍ය එකතුකරන්න බෑ. කොටින්ම කියනවා නම් කිසිම දෙයක් කරන්න බෑ. නගරාධිපතිවරයාට සභාව තවදුරටත් පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. සියලු දේ ක්‍රියා විරහිතයි. මේක ජනතාවට ලොකු පාඩුවක්. මේක බදුල්ලේ හැමෝටම බලපාන දෙයක්. මේ තුළ තියෙන්නේ බල අරගලයක්. අද කොවිඩ් 19 වසංගතය බදුල්ලේ උත්සන්න වෙමින් පවතිනවා. එය පාලනය කරන්න අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්න මම උපදෙස් දීලා තියෙනවා.
බදුල්ල මහ නගර සභාවේ විපක්ෂ නායක එම්.ඩී.ඒ.හේමචන්ද්‍ර මේ තත්ත්වය ගැන මෙසේ පැවසීය.
“පසුගිය දෙසැම්බර් මාසේ 01 වැනිදා අයවැය ඉදිරිපත් කළා. අයවැයට පක්ෂව ඡන්ද 8 යි; විපක්ෂව ඡන්ද 17 ක් ලැබී අයවැය පරාජයට පත්වුණා. එසේ වුණාම 2012 විශේෂ පළාත් පාලන විධිවිධාන පනතට අනුව ඉදිරි ක්‍රියාමාර්ග එනම් මීළඟ පියවර ගතයුතුයි. අපි ඒ දේ කරන්න කියලා බල කළා. ඒ දේ කරවන්න කියලා ආණ්ඩුකාරතුමාට ලියුම් විශාල ප්‍රමාණයක් යැව්වා. ඒ එක ලියුමකටවත් මේ දක්වා පිළිතුරක් නෑ. පස්සේ අපි එතුමා සමඟ සාකච්ඡා කළා. පළාත් පාලන විධිවිධාන පනතට අනුව නගරාධිපතිවරයා විසින් දෙවන වරට අයවැය ඉදිරිපත් කළ යුතුයි.
යහපාලන නඩය ප්‍රයෝජන ගත්තා
එසේ නොකර මේ අය ඒ විධිවිධාන පනතට පටහැනිව කටයුතු කිරීම තරයේ හෙළා දකිනවා. මේ තත්ත්වය යටතේ මේ වසරේත් මාස එකහමාරක් නගරාධිපතිවරයා විසින් නගර සභාව පාලනය කිරීම නීති විරෝධි ක්‍රියාවක්. මේ ගැන ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අපි උසාවි ගියා. මහාධිකරණය මේ නියෝගය අවසන් කරන තුරු ගැසට් එක තහනම් කළා. එක රටක තිබිය යුත්තේ එකම නීතියක්. යාපනයට එක නීතියකුත් බදුල්ලට තව නීතියකුත් ක්‍රියාත්මක වන්නට බැහැ.”
කෙසේ වෙතත් මෙම නගර සභාවේ කටයුතු මාස තුනකට අත්හිටු වූ ඌව පළාත් ආණ්ඩුකාරවරයා මේ පිළිබඳව විමර්ශනයක් කරන්නට විශ්‍රාමලත් විනිසුරුවරයෙක් පත් කළේය.
නගර සභාවේ සිද්ධිය පිළිබඳ බදුල්ල නගරාධිපති ඩබ්ලිව්.ඩී ප්‍රියන්ත අමරසිරිගේ අදහස මෙසේය.
“2018 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව බලය පිහිටුවා මාර්තු මාසයේ වැඩ පටන් ගත්තා. වසර දෙක හමාරක් නගර සබාව පවත්වාගෙන ගියා. ඒ දවස්වලත් ගැටලු මතු නොවුණා නෙවෙයි; ප්‍රශ්න ඇති නොකළා නොවෙයි. අපි පාලනය බාරගත් ගමන් අපිට බලය තිබුණත් එකඟතාව හිමිවුණේ නෑ. අපි බාරගන්නකොට විශාල ණය කන්දරාවක් තිබුණා. ඒවාත් විසඳගෙන ජනතාවට සේවය කරගෙන ගියා. වසර දෙක හමාර වනවිට දේශපාලන කුමන්ත්‍රණ ඇති කරන්න පටන් ගත්තා. ඒකට හොඳම අවස්ථාව අයවැය ඉදිරිපත්කරන මොහොත. බලන්න 2015 යහපාලනය ගේන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ එකතු වුණා වගේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මේ යහපාලන සෙට් එක එකතු වුණා කියලයි මම හිතන්නේ.
අපි අයවැය හදලා මහජන නියෝජිතයන්ට ඉදිරිපත් කළා. ඒ අය සංශෝධන ඉදිරිපත් කළා ඒ සියලු සංශෝධනයන්ට යටත්ව දෙසැම්බර් 01 වැනිදා අයවැය ඉදිරිපත් කළා. මේ සභිකයන් ඉදිරිපත් කළ සංශෝධන සියල්ල පිළිගත්තා කියන්නේ ඒ සියලු දෙනා අයවැය පිළිගත්තා කියන එක තමයි. එසේ තිබිය දී මේ අය අයවැයට විරුද්ධව ඡන්දය දුන්නා. මේ කිසිම කෙනෙක් අයවැයට විරුද්ධව කතාකළේ නෑ. නියෝජ්‍ය නගරාධිපති කියන්නේ අපේ එකඟතාවට අනුව නගරාධිපති කටයුතු නොකළ නිසා අයවැයට විරුද්ධ වෙනවා කියලයි. තනතුරු තානාන්තර නිසා ඒවා නොලැබුණයි කියන පුද්ගලික මතිමතාන්තර නිසා ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ඉදිරිපත් කළ අයවැයට විරුද්ධවිම කොයිතරම් වරදක්ද? මේ අයවැය යෝජනා හදනකොට පක්ෂ පාට බැලුවේ නෑ. යෝජනාව සහ එයින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැන විතරයි මම බැලුවේ.
බදුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අසිත නලින්ද රංගේ මෙසේ පැවසීය.
“බදුල්ල මහ නගර සභා මැතිවරණය පැවැත්වුණේ යහපාලන ආණ්ඩුව සමයේ. ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙහෙ ලොකු බලයක් තිබුණා. නිමල් සිරිපාල ද සිල්වා ප්‍රබල ඇමතිවරයෙක්, ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිවරයෙක්, චාමර සම්පත් දසනායක ඌ පළාත් මහ ඇමතිවරයා මෙතරම් ප්‍රබල පිරිසක් සිටිය දී අපිට යහපාලනයේ සිටි එජාපය සමඟ නගර සභාව පිහිටුවන්නත් තිබුණා. නමුත් අපි එසේ නොකර පොහොට්ටුව සමඟ නගර සභාව පිහිටුවන්න පොහොට්ටුවේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 දෙනාම එකතු වෙලා හිටපු නගරාධිපති නීතිඥ උපාලි නිශ්ශංක ගුණසේකර හා හිටපු මන්ත්‍රී නීතිඥ සුජීව ජයසිංහ ඉදිරිපිට එකඟතා ලියවිල්ලකට අත්සන් කළා. ඉස්සෙල්ලාම අපි කිව්වේ ආණ්ඩු බලය, පළාත් සභා බලය අපිට තියෙන නිසා මුල් කාර්තුවේ නගරාධිපතිකම අපිට ඕනෑ කියලා. අවසානයේ අගමැති මහින්ද රාජපක්ෂයන් මට කතා කරලා කිව්වා මෙයාට මුල් කාර්තුව දෙන්න කියලා ඊට පස්සේ අපි කැමැති වුණා. ඒ එකඟතාව අනුව වසර දෙකකින් ඒ කියන්නේ 2020 මාර්තු මාසයේ නගරාධිපතිකම මට දෙන්න ඕනෑ. නමුත් ඒ දිනවල කොරෝනා ප්‍රශ්නයත් සමඟ ඒ ගැන කතා කළේ නෑ. නගර සභාව පැවතියේ එක වැඩි ඡන්දයකින්. සභාව පිහිටවලා මාස 6 ක් යන්න කලින් අපේ මන්ත්‍රීවරයෙක් විපක්ෂයට ගියා ඒකෙන් 2019, 2020 අයවැය පැරදුණා. මේ සභාව පවත්වාගෙන යන්න අපි පුදුම කට්ටක් කෑවා. පසුව විපක්ෂයට ගිය ආතර් සිල්වා මන්ත්‍රී අයින් කරලා නාලක මන්ත්‍රීවරයා පත්කරලා මේක පවත්වා ගෙන ගියා. අන්තිමට පසුගිය ඔක්තෝබර් මාසයේ මම නගරාධිපතිකම ගැන මතක් කළාම ඒ දේ කරන්න ලෑස්ති වෙනවා. මේ අයවැය දිනුවාම දෙන්නම් කියලා අපි කාටත් හොරෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කච්චේරියට ආ වෙලාවේ දිගටම එයා නගරාධිපති ධූරයේ ඉන්නවා කියලා ලියුමක් දීලා. මේ වගේ එකඟතාව බින්ද නිසා තමයි අපි අයවැය පැරද්දුවේ”.
ජනතා විමුක්ති පෙරමුණ නාගරික මන්ත්‍රී නන්දන හපුගොඩගේ අදහස මෙසේය.
මේ නගර සභා අර්බුදයේ දී ආණ්ඩුකාරතුමා ගත් ක්‍රියාමාර්ය පැහැදිලි නැහැ. මේ ක්‍රියාමාර්ගය ගන්න කලින් අපි එක්ක සාකච්ඡා කරන්න තිබුණා. අයවැය යළිත් ඉදිරිපත් නොකිරීම නගරාධිපතිගේ වරදක්. සභාව අත්හිටුවන්නේ නැතිව නගරාධිපතිව අත්හිටුවන්න තිබුණා. මේ තීරණය නිසා පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය, පරමාධිපත්‍ය නැතිවෙලා. අනෙක නගර සභා පාලකයන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නය ජනතාව පිට පැටවීම වැරදියි.