ජාඩි ගැන ජාති නැති කතාවක් | සිළුමිණ

ජාඩි ගැන ජාති නැති කතාවක්

 

අනාදිමත් කාලයක සිට ජාඩි කර්මාන්තයට දොඩන්දුව ප්‍රසිද්ධියට පත්ව ඇත්තේය. එකල වැල්ලකරයේ ජනතාව අතර ජාඩි මාළුවත් රතු කැකුළුහාලේ බතුත් පොල් සම්බෝලයත් ඉතා ජනප්‍රිය ආහාර ‌ෙව්ලකි. එකල මුහුදු කරයේ සැම නිවසකම පාහේ මුළුතැන්ගෙයි ජාඩි මුට්ටටියක් දක්නට තිබුණි. සැබවින්ම ජාඩි මාළුව රස නහර පිනා යන කැම විශේෂයකි. කොටින්ම කිවහොත් ජාඩි කර්මාන්තය හා දොඩන්දුවේ ධිවර කාර්මිකයන් අතර ඇත්තේ වෙන්කළ නොහැකි තරමේ බැඳියාවකි. දොඩන්දුවේ ජාඩි ගැන සඳහන් කරන විට දොඩන්දුවේ ඉපැරණි වරාය ගැන සඳහන් කළ යුතු ම ය.

 

මක්නිසාද යත් එකල ඉන්දියාවේ කොචින් නගරයේ සිට රුවල් නෞකා මගින් රැගෙන එනු ලැබු ජාඩි හා කරවල, කැලිකට් උළු වළං ගොඩබානු ලැබුවේ දොඩන්දුව වරායෙනි. එකල ඉන්දියාවේ සිට ජාඩි දොඩන්දුව වරාය වෙත රැගෙනවිත් ඇත්තේ පීප්පවල බහා රුවල් නෞකා මගිනි. දොඩන්දුව වරාය වෙත රැගෙන එනු ලැබු ජාඩි පීප්ප නගරවලට හා ගම්මානවල බෙදා හැර ඇත්තේ බර කරත්ත මගිනි. මේ සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල ජාඩි කඩද ඇති විය. ඒ විතරක් නොව දොඩන්දුවේ සිට ඉන්දියාවට ගිය මාළු මුදලාලිලා ඉන්දීය ධීවරයන්ගෙන් මාළු මිලදී ගෙන ජාඩි කාර්මානයේ නිරතව ඇත.

ජාඩි දැමීම සඳහා මාළු ගෙනවිත් දෙන අය හැඳින්වූයේ කොමිස්කාරයන් යනුවෙනි. ජාඩි දැමීම සඳහා යොදා ගනු ලැබුවේ ඉන්දියන් වෙඩි ලුණුය; නැතිනම් පොකුරු ලුණුය. දොඩන්දුවේ සිට ඉන්දියාවට ගිය මුදලාලිලා මෙරටින් ගිය ශ්‍රමිකයන් ලවා ජාඩි සකස්කොට පීප්පවලට බහා රුවල් නෞකා මගින් දොඩන්දුව වරාය වෙත රැගෙන ආහ. එමෙන්ම දොඩන්දුවේ සිටි දක්ෂ වඩුකාර්මිකයන් ජාඩි පීප්ප සෑදීම සඳහා ජාඩි මුදලාලිලා විසින් ඉන්දියාවට රැගෙන ගොස් ඇත. ඉන්දියාවේ මල්පේ සුවත් කැනරා ප්‍රදේශයේ එකල ජාඩි කර්මාන්තය ජයටම සිදු කරගෙන ගොස් ඇත. එක් කණ්ඩායමකට හතළිහක පනහක පමණ පිරිසක් ජාඩි මුදලාලිලා විසින් රැගෙන යනු ලැබීය. මෙකී වඩු කාර්මිකයන් හා ශ්‍රමිකයන් දුම්රියෙන් තලෙයිමන්නාරමට ගොස් ඇත. ඉන්පසුව නෞකාවෙන් ඉන්දියාවේ ධනුෂ් කොඩිය වෙත ගොස් නැවත දුම්රියෙන් මල්ලේ ප්‍රදේශයට ගොස් තිබේ. මේ ගමනට දින දෙකහමාරක් පමණ ගතවී තිබේ.

එකල ජාඩි පීප්ප සෑදීම සඳහා ඉන්දියාවට යන වඩු කාර්මිකයකුට රජය මගින් රුපියල් තුන්සියයක සහනාධාරයක්ද ලබාදී තිබේ. මෙකී කටයුතු සඳහා යන කණ්ඩායම මාස හයක පමණ කාලයක් ඉන්දියාවේ ගතකොට යළි මෙරටට පැමිණෙති. රුවල් මගින් දොඩන්දුව වරායට රැගෙන එන ජාඩි පිප්ප ජාඩි මුදලාලිලා විසින් රේගුවට බද්දක් ගෙවා නිදහස් කරගැනීමට කටයුතු කරනු ලැබීය. ජි.ඒ ලෙස්ලි ගාමිණී විසින් රචිත පුරාණ ලංකාවේ වරාය පිළිබඳ කෘතියේ ජාඩි ගෙන ආ දොඩන්දුව ගැන හරි අපූරුවට විස්තර කොට ඇත්තේය. එකල දොඩන්දුව උතුරු සීමාවේ රේගු ගොඩනැගිල්ල පිහිටා තිබුණේය. දොඩන්දුව වරායෙන් ගොඩබැ ජාඩි පීප්ප ඇතුළු භාණ්ඩ තැන්පත් කරනු ලැබුවේ මෙකී රේගු ගොඩනැගිල්ලෙහිය. රේගු ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යුගයේ මුල්කාලයට අයත් වුවකි. 1970 වර්ෂයේ දි මෙකී ගොඩනැගිල්ල කොහු කර්මාන්තය සඳහා කුඩා කර්මාන්ත දේපාර්තමේන්තුවට පවරා ගැනුණි. එකවර දොළොස් දෙනෙකුට පමණ ගමන් කළ හැකි දොඩන්දුවේ රුවල් නැවක විශාල ජාඩි පීප්ප 320ක් පමණ ප්‍රවාහනය කළ හැකිය. කෙසේවුවද 1930 වර්ෂයේ දී ලොඩ් ක්ලයි විදි නමැති නෞකාව විනාශවීමත් සමඟ දොඩන්දුව වරායේ ක්‍රියාකාරීත්වය නතර විය.

එහෙත් රුවල් නෞකා 1967 වර්ෂය වනතෙක් දොඩන්දුව වරායට සෙන්දුවී තිබේ. ඉන්දියාවෙන් ගෙන එනු ලැබු ජාඩිවලට අමතරව පුත්තලමේ සිට දොඩන්දුවට කරවල රැගෙන එනු ලැබුවේ ද මෙකී රුවල් නෞකා මගිනි. දොඩන්දුවේ ධිවරයෝ ත්‍රිකුණාමලය, මඩකළපුව කිරින්ද, මන්නාරම යන වරායන් සමඟ ද ගනුදෙනු කළහ. ඒ කොයිහැටි වුවද 1970 වර්ෂයෙන් පසු ඉන්දියන් ජාඩි දොඩන්දුවේ දි දක්නට නොලැබුණි. එහෙත් ජාඩි කර්මාන්තයේ නිරත කතුන් කිහිප දෙනෙකු දොඩන්දුවේ දි අපට හමුවිය. ස්වයං රැකියාවක් නැතහොත් ගෘහ කර්මාන්තයක් ලෙස මෙකී කතුන් ජාඩි කර්මාන්තයෙ නිරතව සිටිති.

දොඩන්දුව වැල්ල අද්දර පදිංචි කේ.එච් නිරෝෂා (37) ජාඩි කර්මාන්තයේ නිරත අයෙකි.

“හැමෝටම ජාඩි දමන්න බැහැ. අත්ගුණයත් තියෙන්න ඕන. නැතිනම් පණුවෝ දමනවා. මාළු කපලා බඩවැල් අයින් කරනවා; කරිජ්ජවලින් හෝදලා ලුණු ගොරක දමලා මුට්ටියක දමලා තියෙනවා. මාසයක් විතර ගියවිට ජාඩි හැදෙනවා. ජාඩි කිලෝවක් රුපියල් 600ක් විතර වෙනවා. ජාඩි තියාගන්න පුළුවන් මාස දෙකක් පමණ කාලයක් ඊට පස්සේ කහ ගැහෙනවා. මාළු වැඩියෙන් හසුවෙනකොට වැඩිපුර ජාඩි දමනවා. ජාඩි විකුණා ගන්න ක්‍රමයක් නැහැ. ජාඩි දිනපතා මිලදි ගන්න වැඩපිළිවෙළක් තියෙනවා නම් අපිට හැමදාම ජාඩි දමන්න පුළුවන්. ඇත්තටම මේ කර්මාන්තය මේ ප්‍රදේශයේ කාන්තාවන් අතර ගෘහ කර්මාන්තයක් ලෙස දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා රජය මැදිහත් වෙලා වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි”. නිරෝෂා කීවාය.

එම්. ඩබ්ලිව් අයේෂා සඳමාලි (31) ජාඩි කර්මාන්තයේ නිරත ගෘහණියකි.

“ජාඩි දමන්න අම්මාගේන් තමයි ඉගෙන ගත්තේ. මාළු මිල අඩුවන කාලයට වැඩිපුර මාළු මිලදිගෙන ජාඩි දමනවා කරවලවලට වේළනවා. කරවල නම් ගෙනියන්න මුදලාලිලා එනවා. නමුත් ජාඩිවලට වෙළඳපොළක් නැහැ. ලින්නා අලගුඩුවා බෝල්ලෝ බලයා යන මාළු තමයි ජාඩි දමන්න ගන්නේ. දැන් ජාඩි කර්මාන්තය අභාවයට යන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. වෙළදපොළ පහසුකම් ඇති කරලා දුන්නොත් අපිට හැම දිනකම පාහේ ජාඩි දමන්න පුළුවන්. නමුත් ජාඩි අලෙවි කරගැනිමේ තියෙන ගැටලු නිසා මේ ප්‍රදේශයේ කාන්තාවන් ජාඩි දැමිමේ කර්මාන්තයෙන් ඇත්වෙලා” අයෝෂා සඳමාලි කිවාය.

චන්ද්‍රිකා රෝහිණි (45) ජඩි දැමිමේ නිරත පළපුරුදු කාරියකි. “වැඩිපුර හසුවෙන කාලයට මාළු කිලෝ 10ක් විතර ජාඩි දමනවා. නමුත් ජාඩි සඳහා තියෙන ඉල්ලුම අඩුයි.ගොඩක් කාන්තාවන් ජාඩි උයන්න දන්නේ නැහැ. ඇතමුන් කියනවා ජාඩිවල පණුවෝ දානවා කියලා. ඒවා බොරු කතා; ජාඩි ඉතා රසවත් ආහාරයක්. ජාඩි උයන්න හරි පහසුයි. ජාඩි අරගෙන ටික වෙලාවක් පෙ‌ෙඟන්න වතුරේ දමලා තියෙනවා. ඊට පස්සේ ලුණු තක්කාලි දමලා. මිරිස් කහ ගොරකා කිරි දමලා තැබෙන්න තියලා පස්සේ ‍තෙල් ටිකක් දමලා ආහාරයට ගන්න පුළුවන්. ජාඩිත් එක්ක බත් කන්න පොල් මැල්ලුම තමයි හරියන්නේ” චන්ද්‍රිකා කීවාය.

ජි. මානවඩු (58) කිවේ මෙවැනි කතාවකි.

“ජාඩි දැම්මාට වැඩක් නැහැ විකුණා ගන්න විදියක් නැහැ. ඇත්තටම ගෘහ කර්මාන්තයක් විදියට මේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා බලධාරින්ගේ මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. ඒ කාලයේ මේ ප්‍රදේශයේ ජනතාව ජාඩි කර්මාන්තය ඉතා සරුවට කරගෙන ගියා හොඳ ආදායමක් ලැබුවා. නමුත් දැන් ජාඩි දැම්ම අභාවයට ගිහින්. ඒ කාලයේ ජනප්‍රියම ජාඩි තමයි කුම්බලා ජාඩි. මාළු අරගෙන මාළුන්ගේ බඩවැල් හා කරමල් ඉවත් කරලා කරිජ්ජ වතුරෙන් හෝදලා මාළු පෙති ගහනවා. ඊට පස්සේ ලුණු හා ගොරක දමා මුට්ටියක දමලා වහලා තියෙනවා. ඇත්තටම ජාඩි දානවා කියලා කියන්නේ මාළු කල් තබා ගැනීමේ ක්‍රමයක්. මාළු කල්තබා ගැනීමට වර්තමානයේ නවින තාක්ෂණික මෙවලම් තියෙන නිසා ගොඩක් අය මේ කර්මාන්තයෙන් අයින්වෙලා” මානවඩු කීවාය.

ඒ. එල්. නන්දසේන දොඩන්දුවේ පදිංචි ධීවර කාර්මිකයෙකි.

“ඒ කාලයේ දොඩන්දුව ජාඩි කර්මාන්තයට ප්‍රසිද්ධ ප්‍රදේශයක්. මගේ මතකේ හැටියට දොඩන්දුව පාලම අසල දෙපැත්තේ ජාඩි කඩ 22ක් තිබුණා. දොඩන්දුවේ අය ඉන්දියාවට ගියා ජාඩි දමන්න. ජාඩි මුදලාලිලා තමයි පාස්පෝට් හදලා; ඒ අය ඉන්දියාවට රැගෙන ගියේ. ඉන්දියාවේ මලිපේ ප්‍රදේශයට ගිහින් ජාඩි දමලා පීප්පවල පටවලා දොඩන්දුවට එව්වා. ඒ කාලයේ ජාඩි පීප්ප විශාල සංඛ්‍යාවක් ගොඩබාලා රේගුවේ තිබුණා. ජාඩි දැමීමට ගන්නා කුම්බලා මාළුවෝ දෙන්න ශත පහයි. ඒ විතරක් නෙවෙයි කැලිකට් උළුත් රැගෙන ආවා. ඒ කාලයේ දොඩන්දුව ජාඩිවලට විතරක් නොවෙයි කැලිකට් උළුවටලත් ප්‍රසිද්ධයි. නමුත් අද ජාඩි කර්මාන්තය අභාවයට යමින් තියෙනවා. තවමත් මාළු මුදලාලිලා කාන්තාවන් ජාඩි කර්මාන්තයේ නිරත වෙලා ඉන්නවා නන්දසේන කීවේය. එකල පුත්තලමේ සිට දොඩන්දුවට රුවල් නැව් මගින් කරවල රැගෙන එනු ලැබුවක් මෙන්ම පුත්තලමේ දී ජාඩි කර්මාන්තය පවත්වා ගෙන යනු ලැබීය. ලුණු අත ළඟම තිබෙන නිසා මාළු ලුණු දමා වේළීමද ජාඩි දැමීම ද පුත්තලමේ ප්‍රධාන කර්මාන්තයක් බවට පත්ව තිබේ.

මෙය බොහෝ සේ දියුණු කළ හැකි කර්මාන්තයක් මෙන්ම මුදල් ගලාගෙන එන මාර්ගයක් කරගත හැකිවුව ද මේ අය තවම පැරණි නොදියුණු ක්‍රම මත යැපෙන බැවින් ඒ කර්මාන්තයේ දියුණුවක් දක්නට නැත. බ්‍රෝහියර් හඳුනාගත් කෘතියේ පුත්තලමේ ජාඩි කර්මාන්තය ගැන ඔහු එසේ සඳහන් කොට ඇත. දොඩන්දුවට ද මෙය අදටත් වලංගු කතාවකි.

පාරිභෝගිකයන්ට ප්‍රියමනාප අයුරින් නවීන උපක්‍රම භාවිත කරමින් ජාඩි වෙළඳපොළ වෙත හඳුන්වා දුනහොත් දොඩන්දුවේ ගෘහණියන්ගේ අතමිට සරුවන දිනය වැඩි ඈතක නොවනු ඇත.

Comments