
දේශපාලනයේ දශක ගණනාවක අත්දැකීම් ඇති පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම ඇමැතිවරයකුවන ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ අද සිළුමිණ හා කතාබහට එක් වේ.
ඔබ පරිණත දේශපාලඥයෙක්. ඔබතුමා තෘප්තිමත්ද මේ අමාත්‍යාංශය ලැබීම ගැන.
අනිවාර්යෙන්ම, අපි බොහොම අමාරුවෙන් රජයක් පිහිටුවා ගත්තෙ. ඒ රජයෙන් ලැබුණු අමාත්‍යාංශය බොහොම තෘප්තිමත්ව කරගෙන යනවා.
නමුත් හැම ඇමැතිවරයකුටම මේ අමාත්‍යාංශය කරගෙන යද්දි විවිධ අර්බුදවලට මුහුණ දෙන්න වුණා. ..
ඇමැතිවරයෙක් ඉන්නෙ ඒ ගැටලු නිරාකරණය කරගෙන මහජන අවශ්‍යතා ඉටු කරන්න. ප්‍රවාහනය කියන්නෙ රජය මහජන සේවාවක් හැටියට පවත්වාගෙන යන්නක්. එහෙම නැතුව ඉන්ධන මිල වැඩිවන වේලාවට බස් හෝ දුම්රිය ගාස්තු වැඩි කරන්න අපට බැහැ. මේ මහජන සේවාව ඉටු කිරීමේදී අපි අභියෝග ජය ගනිමින් කටයුතු කරනවා. ඔයිට වැඩිය අභියෝගවලට අපට මුහුණ දෙන්න සිදුවුණා.
නමුත් පෞද්ගලික බස් රථ සේවාවෙන් නිරතුරුවම චෝදනා නැඟෙනවා ඔවුන්ට මේ සේවාව කරගෙන යන්න අමාරු බව. රජය සහන ලබා නොදෙන බවත් ඔවුන් කියනවා...
කොවිඩ් වසංගතයත් එක්ක නිරෝධායන නීති අනුව කටයුතු කිරීමේදී කලින් ලබා ගත්ත ආදායම ලබා ගන්න බැහැ. ඒ බව හැමෝම තේරුම් ගත යුතුයි. අපි දැනුම් දීමක් කළා, බස්රථවලින් කාලසටහන් ගාස්තු, දඩ ගාස්තු ආදිය ගන්න එපා කියලා. ඒ වගේම පෞද්ගලික බස් රථවල බලපත්‍රය තබාගෙන ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් අඩු පොලියට ණය ලබා දෙන්න කටයුතු සලසා තිබෙනවා. ආදායම අඩු නිසා ඒ අයට ටයර්, ඇතුළු අමතර කොටස් මිල දී ගැනීමට අපි සහාය දිය යුතුයි. පෞද්ගලික බස් රථ සේවාවෙන් කරන්නේ රජයට සහායක්. ඒ නිසා අපි ඒ අය රැක ගන්න ඕන. නැත්නම් පෞද්ගලික බස් රථවලින් වන සේවාවත් අපි කළ යුතු වෙනවා.
ජනතාව සංචරණය අඩු කර ඇති මේ වෙලාවෙ ‘පාක් ඇන්ඩ් ඩ්‍රයිව්‘ බස් රථ සේවය සාර්ථක වෙයි කියල හිතනවද?
ඒ සඳහා අලුතින් කිසිදු බස් රථයක් ගෙනාවෙ නැහැ. ඒ බස් සේවයට යොදවා තියෙන්න සංචාරකයන් ප්‍රවාහනය කළ බස් රථ පමණයි. එහිදී බස් රථයේ රියැදුරා අදාළ බස් රථ හිමිකරු හෝ ආයතනය විසින් යොදවනු ලබන අතර කොන්දොස්තර මහතා යොදවනු ලබන්නේ ශ්‍රීලංගම විසින්.
නමුත් පෞද්ගලික බස් රථවල ප්‍රවේශ පත්‍ර ලබා නොදීම වගේ ගැටලු නිරතුරුවම ඇති වෙනවා. ඒ ගැන කිසිම ඇමැතිවරයෙකුට විසඳුමක් ලබා දෙන්න බැරිවුණා.
අපි ඒ ගැටලුවට විසඳුම් ලබා දෙන්න මේ වන විටත් පියවර අරගෙන තියෙන්නෙ. ඒ අනුව ඉදිරියේදී ක්‍රෙඩිට් කාඩ් මඟින් සියලුම පෞද්ගලික බස් රථවල ගමන් කිරීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කරනවා. ගැටලුවකට තියෙන්නේ සියලුම මඟීන්ට ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීම ගැන දැනුම නැතිවීමයි. ඒත් ක්‍රමයෙන් ඒ කටයුතු ස්ථාපිත කරනවා. කොහොමටත් වැඩක් පටන් ගන්න කොට යම් යම් ගැටලු තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.
අවුරුදු ගණනාවක් තිස්සේම ලංගම බස් රථවලින් පාඩු ලබනවා. ඇතැම් දිනවල ඩිපෝවල ධාවනය කළ හැකි බස් රථ පවා ගාල් කර තිබෙනවා. මඟීන් මඟ බලා සිටිනවා. මොකක්ද මේ අර්බුදය?
ලංගම බස් රථවල රියැදුරන් හා කොන්දොස්තරවරුන්ගේ හිඟයක් තිබෙනවා. අපි බඳවා ගැනීම් කරන්න කටයුතු යොදා තිබෙන්නේ. නමුත් මේ දිනවල ආදායම අඩුවී ඇති හෙයින් එය මඳක් පමා කළා.
හැම රජයක් සමයේම ග්‍රාමීය දුෂ්කර මාර්ගවල ජනතාවට කුඩම්මාගේ සැලකිල්ල ලැබුණේ. තාමත් එහෙමමයි නේද?
ආදායම් නොලබන මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවනය කරන්නේ නැහැ. අපි මේ තත්ත්වය හොඳින් හඳුනාගෙන තියෙන්නේ. එම නිසා එම මාර්ගවලත් පෞද්ගලික බස් රථ ධාවනයට පෙලඹවීමක් කිරීමට අපි කටයුතු කරනවා. දැනට සිසු සැරිය පෞද්ගලික බස් රථ ධාවනය කෙරෙන්නේත් එවන් එක් ක්‍රමවේදයකටයි.
දුම්රිය සේවාව කාලයක් තිස්සේ පාඩු පිට නේද පවත්වාගෙන යන්නේ ?
නිදහස ලබන්න පෙර සිට දුම්රිය සේවය මෙරට භාණ්ඩ ප්‍රවාහනය සඳහා පමණයි යොදා ගෙන තිබුණේ. නමුත් වර්තමානයේ අපේ දුම්රිය සේවය මඟී ප්‍රවාහනය කේන්ද්‍ර කරගෙනයි ක්‍රියාත්මක වන්නේ. මේ නිසා දුම්රියේ භාණ්ඩ ප්‍රවාහනය යළි ආරම්භ කිරීම ගැන අවධානය යොමු කර ඒ වෙනුවෙන් අදාළ කටයුතු සිදු කරමින් පවතින්නේ. නමුත් අපේ රටේ දුම්රිය සේවය මැදිරි 12කට වඩා ගෙන යා හැකි මාර්ග හා දුම්රිය ස්ථාන පද්ධති සකසා නැහැ. මේ නිසා මැදිරි 25ක් 30ක් පමණ ගෙන ප්‍රවාහනය කළ හැකි පරිදි දුම්රිය පද්ධතිය නවීකරණය කළ යුතුයි.
කොහොම වුණත් අපි මේ වන විට නියමු ව්‍යාපෘතියක් ලෙසින් දුම්රියේ වැලි ප්‍රවාහන කටයුතු ආරම්භ කර තියෙන්නේ. ඒ වගේම ප්‍රීමා පිටි, පොහොර වගේම ගල් අඟුරු ප්‍රවාහනයටත් අපි කටයුතු කරනවා. දැනට ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 38%ක් පමණයි දුම්රියෙන් කෙරෙන්නේ. එම ප්‍රමාණය 50%ක් දක්වා වැඩි කරන්න අපි කටයුතු කරමින් ඉන්නේ. මඟී ප්‍රවාහනයෙන් පමණක් දුම්රිය සේවාව පවත්වා ගෙන යාම අසීරුයි.
ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන පිහිටා තිබෙන්නේ නගර මධ්‍යයේමයි. කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, මහනුවර, ගාල්ල ඇතුළු නගරවල පෞද්ගලික අංශයේ ආයෝජනයෙන් මේ දුම්රිය ස්ථානයන්හි මහල් ඉදිකිරීම් සිදු කර ආදායම් උපයා ගත හැකි යෝජනා ආවා. එවන් ක්‍රමවේදයක් ගැන අදහසක් නැත්ද?
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ටෙලිකොම් ආයතනයේ සහ මහජන බැංකුවේ සහ මාධ්‍ය ආයතනයක සහායෙන් මිලියන 350ක වියදමින් මඟී පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙනවා. එය එක් පියවරක් පමණයි.
ඔබ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන කමිටුවේ සභාපතිවරයා දැන් මේ කමිටුවට අවුරුද්දක් විතර ගියා කොහොමද තත්ත්වය?
අපිට ලබා දුන් රාමුවක් තියෙවා. ඒ අනුවයි මේ කමිටුව කටයුතු කරන්නේ. 2015 වසරේ සිට ජනාධිපතිවරණය දක්වා වූ පළිගැනීම් සම්බන්ධව පමණයි කමිටුව විසින් විමර්ශන කරන්නේ. ඇතැම් අය දේශපාලන පළිගැනීම් යනුවෙන් 1977 සිදුවීම් පවා එවා තිබෙනවා. පැමිණිලි 9,000ක් පමණ අපට ලැබුණා. එයින් අඩක් පමණ පළිගැනීම් යටතේ සැලකිය හැකි ඉල්ලීම් නෙමෙයි.
ඍජුව පළිගැනීම් ලෙස සැලකිය හැකි පැමිණිලි කොපමණ තියෙනවද?
අපි තවමත් විමර්ශනය කරගෙන යනවා.
කොවිඩ් දෙවන රැල්ල ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහිලා වගේ නේද?
රජය මොනව කරත් වැඩක් නැහැ. රටේ මහජනයා සෞඛ්‍ය නීති රීතිවලට හැඩ ගැසෙන්නේ නැතිනම්. මෙතන තියෙන ලොකුම ගැටලුව ඒකයි. අපි හැමෝම තේරුම් ගත යුතුයි මේ වසංගතය අපට පමණක් සීමා වූවක් නොවන බවත් ගෝලීය වසංගතයක් වන මෙය ඇසට නොපෙනී ව්‍යාප්ත වන බව. ඒ සඳහා ජනතාව තම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උපරිම විධිවිධාන යොදා ගන්න ඕන.
ජනතාව විතරක් නෙමෙයිනෙ. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ටත් රෝගය බෝවෙලානෙ. ඒ අයත් වගකීම් පැහැර හැරලා නේද?
මැති ඇමැතිවරු කියල නැහැ. අපි හැමෝම පරිස්සම් විය යුතුයි. ඒත් ඇත්ත කතා කරොත් යථාර්ථය වෙන එකක්. කොච්චර එන එක සීමා කරන්න කිව්වත් ජනතාව අපිව හමුවෙන්න එනවා. උදාහරණයක් හැටියට හැමදාම උදේට මගේ ගෙදරට 150ක් විතර එනවා. අමාත්‍යාංශයට ආවත් 50ක් විතර එනවා. ඉතින් උපරිම ආරක්ෂාකාරීව ජනතා සේවය කරන්න අපි කටයුතු කරනවා. උදේට ගේට්ටුව ගාවට ඇවිල්ල කෝල් කරනකොට එන්න එපා කියන්න පුළුවන්ද? අපි ඒ ගැනත් බලන්න ඕනනේ.
විපක්ෂය දිගින් දිගටම චෝදනා කරනව නේද ආණ්ඩුව අසමත් කියලා..
මට විපක්ෂයෙන් අහන්න තියෙන්නෙ එකයි. මේ ආණ්ඩුව කොහෙන්ද අසමත් කියල. මේ ආණ්ඩුව ඇවිත් උපාධිධාරීන් 60,000කට රැකියා දුන්නා. ඒ අය දැන් සේවය කරනවා. ඒ විතරක් නෙමෙයි අඩු සුදුසුකම්ලාභීන්ට රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරා. එයින් 20,000කට දැන් රැකියා ලබා දී තිබෙනවා. ඉතිරි අය සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවමින් ඉන්නවා. පහුගිය අවුරුද්දේ ආනයන වියදම් මිලියන 11,000යි. අපනයන ආදායම මිලියන 10,000යි. ඉස්සර මේ වෙනස 100%යි. රටේ ආර්ථිකය වැඩි කරන්න ආනයන සීමා කරල අපනයන වැඩි කරන්න ඕන. ඒක තමයි උපරිම විදිහට ආනයන තහනම් කරන්න රජය කටයුතු කෙළේ. උදාහරණයක් හැටියට කහ ආනයනය තහනම් කළා. ඒ දේශීය ගොවියා රැකගෙන රටේ ආර්ථිකය නංවන්න.
කොවිඩ් දෙවන රැල්ල පැමිණි අවස්ථාවේදී ගම්පහ දිස්ත්‍රික්කය ‘ලොක්ඩවුන්‘කළා නම් රෝගය පැතිර යාම වළක්වන්න තිබුණා කියල සමාජ මතයක් තියෙනවා.
අපට රට වහල දුවන්න පුළුවන්කමක් නැහැ. අපේ කර්මාන්ත ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් ජනතාවගේ එදිනෙදා දිවි රැක ගන්නේ කොහොමද? ඒ වගේම අපි රට විවෘත කර කර්මාන්ත ඇරැඹීම නිසා දකුණු ආසියාවේ වැඩිම ඇඟලුම් අපනයනය කරන රට බවට පත් වෙන්නට අපට හැකි වුණා. ශ්‍රී ලංකාවේ මම දන්න එක ව්‍යාපාරික ආයතනයක් තියෙනවා ඔවුන්ගේ පසුගිය කාර්තුවේ ඇණවුම් වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 65,000ක්. හිතාගන්න පුළුවන්ද? ඒ අයට ඒ ඇණවුම් සපුරන්න කාර්යක්ෂමතාවක් නැහැ. උප කොන්ත්‍රාත් ලබා දෙන්න හැකියාවක් නැහැ. ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න නිසා. මේ කර්මාන්ත සියල්ල බිඳ වැටෙනවා රට වහගෙන හිටියොත්.
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ