හමස් පෙට්ටියේ වසර 70ක් පුස්කන මුස්ලිම් විවාහ දික්ක­සාද නීති | සිළුමිණ

හමස් පෙට්ටියේ වසර 70ක් පුස්කන මුස්ලිම් විවාහ දික්ක­සාද නීති

කාලයක සිට මුස්ලිම් කාන්තාවන් මුහුණදෙමින් සිටි ප්‍රධාන ගැටලුවක් වූයේ අඩු වයසින් විවාහ වීමට සිදුවීම හා එමඟින් උත්පන්න වූ අනිසි ප්‍රතිවිපාක ය. පසුගිය දා අධිකරණ ඇමැති, ජනාධිපති නීතීඥ අලි සබ්රි විසින් ප්‍රකාශ කර සිටියේ "විවාහ වීමේ අවම වයස වෙනස් කිරීමට තමන් විසින් නීති සම්පාදනය කරමින් සිටින බවය. ඒ අනුව මුස්ලිම් ජාතිකයන්ටද විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ලෙස නීතිගත කිරීමට බලාපොරොත්තුවන බවය.

එවැනි වෙනස් කළ යුතු නීති වෙනස් කිරීමට තමන් කටයුතු කරන බවත්, නීතිය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍යවන බවත්, දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේය. මේ සමඟ කලක පටන් මුස්ලිම් කාන්තා ක්‍රියාකාරිනියන් විසින් ගෙන ගිය අරගලයට කිසියම් වටිනාකමක් ලැබී තිබේ.

වසර 50කට අධික කාලයක් තිස්සේ මුස්ලිම් කාන්තා සංවිධාන මතු කළ කාරණාවක් වූයේ 1951 ශ්‍රී ලංකා මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධන කළ යුතු බවය. ඉස්ලාම් ආගමික නීතිය අනුව විවාහ වීම සඳහා නිශ්චිත වයස් සීමාවක් නොදක්වන අතර, කායික හා මානසික සූදානමක් ඇත්නම් විවාහ සිදු කළ හැකිය. එලෙස ඉස්ලාමීය ආගමික නීතියේ දැක් වුවද බොහෝ ස්ත්‍රීන් මානසික සූදානමට පෙර ළමා වයසේදීම විවාහ කර දීමට බොහෝ මාපියන් පෙලඹී සිටින බව මේ වෙනුවෙන් ප්‍රබල ලෙස හඬනඟන මුස්ලිම් කාන්තා ක්‍රියාකාරි ජාලයේ ක්‍රියාකාරිනියක වන ශ්‍රීන් අබ්දුල් ශරූර් අප සමඟ ප්‍රකාශ කළාය. මීට බොහෝ දැරිවියන් විරුද්ධ වන නමුදු අවසානයේ ඉන් මිදීමට මඟක් නොමැතිව අසරණ වන බව ඇය කියයි.

සාමාන්‍යයෙන් පොදු නීතිය යටතේ වයස අවුරුදු 18 අඩු ගැහුනු දැරිවියක සලකන්නේ ළමයකු මෙන්ම තනිව තීරණයක් ගැනීමට නොහැකි අත්දැකීම් අඩු අයකු ලෙසය. එසේ නම් එවැනි අයකුට විවාහයක් සඳහා අවශ්‍ය මානසික සූදානමක් නැති බව ප්‍රත්‍යක්ෂය. මෙරට බොහෝ දරුවන් උසස් පෙළ ලියා අවසන් වන්නේ වයස අවුරුදු 18 දීය. අවම වශයෙන් තවත් වසර දෙකක් හෝ ඔවුන් සමාජය සමඟ මුහු වී අත්දැකීම් ලබා, අවම වශයෙන් වයස අවුරුදු 20 දී පමණ විවාහ දිවියට ඇතුළත් වීම යෝග්‍ය වේ. මන්දයත් පවුල් ජීවිතය යනු වගකීම් පිරිණු සංකීර්ණ සමාජ ඒකකයක් වන බැවිනි. එහි දී එකිනෙකා අතර ආදරය, අනෝන්‍ය අවබෝධය හා ඉවසීම බොහෝසෙයින් වැදගත් වේ. එවැනි තත්ත්වයක් තුළ වැඩිවියට පැමිණිවිට හෝ ඊටත් ප්‍රථම කිසියම් අයකු විවාහ දිවියට එළැඹෙන්නේ නම් මෙවැනි සංකීර්ණ සමාජයක එය අතිශය ඛේදනීය ඉරණමක් බවට පත් වේ. එවැනි අවස්ථා බොහොමයක් පසුගිය කලාය පුරාම වාර්තා විය.

සාමාන්‍යයෙන් විවාහ ඒකකයක් යනු ආගමික ආයතනයක් නොව, සමාජ ඒකකයකි. එවැන්නක් සනාථ කිරීමට මුල්ලාවරුන් අවශ්‍ය නැත. මනාල යුවළේ කැමැත්ත හා මවුපියන් සහ සාක්ෂිකරුවකු සිටියොත් හොඳටම ප්‍රමාණවත්ය. එසේ වුවත්, ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය දිව යන්නේ, ශතවර්ෂ ගණනාවක් තිස්සේ නොවෙනස්ව පැවැති සිරිත්විරිත් සහ ගතානුගතික සම්ප්‍රදායයන් වෙතටය. ඒ සම්ප්‍රදායන් මුල්බැස ගත්තේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ එනම් 19 වැනි සියවස ආරම්භයේ දී ය. ඒ කොළඹ අවට මුස්ලිම් ආගමික ප්‍රධානීන් සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුවය. මේ සඳහා පූර්වාදර්ශය බතාවියාවේ ලන්දේසීන්ගෙන් සැපයී තිබුණි.

මේ සියලු සිරිත්විරිත් සහ සම්ප්‍රදායයන් ආගමික ආටෝපයකින් පූජනීය කෙරුණු අතර, එය මද්‍රසා ධර්මශාලාවල පුහුණුව ලද ආගමික ක්‍රියාධරයන් පැලැන්තියක් කුරානය අවබෝධ කරගෙන සිටි ආකාරය අනුව තීන්දු විය. මේ සියල්ලන්ම පිරිමින් විය. සමාජ ප්‍රශ්න සහ සමාජ ප්‍රගතිය පිළිබඳ ඔවුන්ගේ දැනුම අතිශය ස්ථිතික ය. එම දැනුම, මද්‍රසා ආගමික ආයතනවලින් ලද ශික්ෂණයට සීමා වූවකි. ඒ අනුව ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් පිළිබඳ තීරණය ගැනීමේ අයිතිය මුස්ලිම් කාන්තාවන්ට නොලැබුණි. 1951 ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ තුළින් නිරූපණය කෙරුණේ එයයි. ඉන්පසුව කරන ලද සංශෝධන, සාමාන්‍ය කාරණා මිස මූලික කාරණා නොවුණි. කෙසේ වෙතත්, එම පනත ක්‍රියාත්මක වීමේ පටන්, නූතන අධ්‍යාපනය ව්‍යාප්ත වීමත්, සාක්ෂරතාවේ වර්ධනය සහ රැකියා අවස්ථා වැඩි දියුණු වීමත් නිසා මුස්ලිම් කාන්තාවන්ගේ තත්ත්වය වෙනස් වීමට පටන් ගැනුණි. මේ සමඟම මුස්ලිම් කාන්තාවන් සංවිධානය වී සිය අයිතීන් ඉල්ලා ඉදිරියට එනු පෙනුණි. පසුගිය වසර කිපය පුරාම ඔවුන් මේ වෙනුවෙන් ප්‍රබලව හඬ නැඟිණි.

මෙම කාන්තා සංවිධාන පවසන්නේ තමන් විසින් පවතින මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධන කරන ලෙස ඉල්ලා සිටි බවයි. නමුත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ කැබිනට් පත්‍රිකාවේ තමන් විසින් ඉල්ලීම් කරන ලද වෙනස්කම් 100%ක් ඇතුළත්වී ඇත්දැයි තමන් දැන ගැනීමට කැමැති බවයි. එසේ නොමැතිව සිදුවන සංශෝධනවලින් පලක් නොවන බව ඔවුන්ගේ අදහසය. මීට ප්‍රථම ‘මුස්ලිම් විවාහ හා දික්කසාද පනත’ ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ විනිසුරු සලීම් මස්රූෆ් කමිටුව මගින් නිර්දේශ කරන ලද යෝජනා සහ නිර්දේශ කඩාකප්පල් කිරීමට ‘සමස්ත ලංකා ජමීයතුල් උලමා’ සංවිධානය කටයුතු කළ බව ඔවුහු පවසති.

සලීම් මස්රූෆ් කමිටුව වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ මේ පිළිබඳ මුස්ලිම කාන්තාවන්ගෙන් මෙන්ම විවිධ කණ්ඩායම් සහ විවිධ පුද්ගලයන් සමඟ සාකච්ඡා කරමින් අදහස් ඒක් රැස් කර තිබේ. දැනට පවතින පනතට විරුද්ධව මුස්ලිම් කාන්තාවන් ඉදිරිපත් කළ සියලු කාරණා සම්බන්ධයෙන් මස්රූෆ් කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කොට නොමැති වුවත්, එම කමිටු වාර්තාව ප්‍රශංසනීය සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව ශ්‍රීන් අබ්දුල් ශරූර් පවසයි.

මේ වාර්තාව ප්‍රකාශයට පත්වෙනවාත් සමඟම ‘සමස්ත ලංකා ජමියතුල් උලමා’ සංවිධානය එය කඩාකප්පල් කිරීමට එහි සාමාජිකයන් කිහිප දෙනකු ලවා ඉතා නරක ක්‍රියාමාර්ග ගෙන තිබේ. එනිසා මේ සම්බන්ධයෙන් කටයුතු කරන බොහෝදෙනාට ඔවුන්ගෙන් එල්ල වන බලපෑම සුළුපටු නොවේ. මුස්ලිම් මන්ත්‍රීවරුන්ට තමන්ගේ දේශපාලනික පැවැත්ම සඳහා මේ උලමා සංවිධානයේ හොඳ හිත අවශ්‍ය වේ. සලීම් මස්රූෆ් කමිටු නිර්දේශවලට පටහැනි වෙනත් නිර්දේශ මේ උලමා සංවිධානයේ ක්‍රියාකාරීන් ලවා ඉදිරිපත් කළ විට මුස්ලිම් මන්ත්‍රීවරු ඒවාට නැමුණු බව කියැවේ. මේ හේතුවෙන් යම් ප්‍රගතියක් අත්වෙතැයි තමන් බලාපොරොත්තු වූ සලීම් මස්රූෆ් කමිටු යෝජනා ක්‍රියාත්මක කිරීම වැළැක් වී ගිය බව ද ඇය පවසයි.

මුස්ලිම් කාන්තා සංවිධාන එකතුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව, පසුගිය දෙසැම්බර් මාසයේ නැවත මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළ බවත්, එයද කිසියම් බලපෑමක් නිසා ව්‍යර්ථව ගිය බව ඔවුන් පවසයි. පසුව අධිකරණ අමාත්‍ය අලීසබ්රී හමුවී මේ පිළිබඳ සාකච්ඡා කළ බවත්, මේ ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ ඒ ඉල්ලීම් මද යන්න තමන්ට සැකයක් පවතින බවත් ඇය පවසයි.

පවතින නීතිය අනුව මුස්ලිම් දැරියකට කිසිදු ආරක්ෂාවක් නොමැතිය. වයස අවුරුදු දොළහ පසුවෙද් දී හෝ ඊට පෙර විවාහය සඳහා කාතිවරු එකඟ වේ නම් ඒ විවාහය සිදු වේ. කාති උසාවියෙන් ඒ සඳහා අනුමැතිය ලබා දී ඇති නිසා එය කිසිවකුට ප්‍රශ්න කළ නොහැකිය. මෙනිසා ඇයට ඉගෙනීමෙන් ඉහළ යෑමේ අවස්ථාව මඟ හැරී තිබේ. එය වක්‍රාකාරයෙන් මුස්ලිම් සමාජය පහතට ඇද දැමීමකි. දරුවන් හදන්නේ මව නම්, ඒ මව බුද්ධිමත් කාන්තාවක් වුණොත් ඒ සමාජය ඉදිරියට යයි. මේ නිසා සිදුවිය යුත්තේ විවාහ කිරීමට තෝරාගන්නා දැරිවිය සිංහලද මුස්ලිම්ද දෙමළද යන්න නොවේ; මේ ක්‍රියාව සාධාරණද යන්නය. නීතිය සැමට සමාන නම් මුස්ලිම් කාන්තාවන්ට පමණක් වෙනත් නීතියක් තිබෙන්නේ ඇයි? කාති අධිකරණවල තීරණ ගන්නේ පිරිමින් පිරිසක් එක්වයි. එලෙස කාන්තාවන් සම්බන්ධයෙන් තීරණ ගැනීම සාධාරණ නැත. මේ සඳහා කාන්තා නියෝජනයක් අත්‍යාවශ්‍යයයි. මේ නිසා කාති අධිකරණයවල 50-50 කාන්තා නියෝජනයක් අවැසි බව මානව හිමිකම් නීතිවේදිනී එර්මිසා ටෙගල් පවසයි.

විවාහ වයස සීමාව පමණක් සංශෝධනය කිරීමෙන් මේ ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බව පවසන ඈ 1951 හඳුන්වා දුන් ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ මුළුමනින්ම සංශෝධනය විය යුතු බව පවසයි. ඒ සඳහා ඔවුන් නිර්දේශ කරන කාරණා රාශියකි. එනම්, විවාහ වීම සඳහා අවම වයස් සීමාවක් නොතිබීම, විවාහ කොන්ත්‍රාත්තු සඳහා විධිවිධාන නොතිබීම, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත පිරිමින් සඳහා බහු විවාහය අනුමත කර තිබීම, මහර් දීමනාව (මනාලයා, මනාලියට ලබා දෙන දීමනාව ) නැවත ලබා ගැනීමේ ප්‍රමාණවත් විධිවිධාන නොතිබීම, දික්කසාද දීමනා සඳහා කිසිදු අනිවාර්ය විධිවිධාන නොමැති වීම, නඩත්තු කිරීමේ තත්ත්ව නිසිපරිදි සොයා බැලීමේ මාර්ගයක් නොතිබීම, ඉස්ලාමයෙන් අනුමත නොවන කයිකුලි හෙවත් දෑවැද්ද දැනට මුස්ලිම් සමාජය තුළ ක්‍රියාත්මකව පැවතීම, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතින් බැහැරව නීතිමය රැකවරණයක් බලාපොරොත්තු වීමේ විධිවිධාන නොතිබීම, කාන්තාවන්ට විවාහ රෙජිස්ටාර්වරියන්; කාතිවරියන්; ජූරි සභිකයන් හෝ කාති මණ්ඩල සාමාජිකාවන් වීමට අවසර නොමැති වීම, කාදි අධිකරණවල විධිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් නොතිබීම ආදී කරුණු වේ.

 

Comments