චන්ද්‍රි­කා­ගෙන් රන්ජන්ට අමුතු ලිපි­යක් | සිළුමිණ

චන්ද්‍රි­කා­ගෙන් රන්ජන්ට අමුතු ලිපි­යක්

කොරෝනා වසංගතය එන්න එන්නම රට තුළ ව්‍යාප්ත වෙමින් ජන ජීවිතවලට ඍජු බලපෑමක් එල්ල කරමින් දිනෙන් දින මිනිස් ජීවිත බිලි ගනිමින් ඇත.

ලෝකයේ ප්‍රබලම රාජ්‍යයක් ලෙස සැලකෙන ඇමෙරිකාවේ ජනාධිපතිව සිටි ඩොනල් ට්‍රම්ප් ඇතුළු ලෝකයේ ප්‍රබල රටවල් රැසකම රාජ්‍ය නායකයන් කොරෝනා රෝගී තත්ත්වයට ගොදුරු විය.

කොරෝනා රෝගය ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වී වසරකට ආසන්න කාලයක් යනතුරුම කිසිදු දේශපාලනඥයෙකුට හෝ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට රෝගය වැලඳුනේ නැත. කොරෝනා පළමු රැල්ල ඉතාම සාර්ථකව පාලනය කළ ශ්‍රී ලංකාවට ලෝකයේ බොහෝ රටවලින් ප්‍රශංසා ලැබිණි.‍

නමුත් ඉකුත් සතිය වනවිට එම තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබේ. ඇමැතිවරුන් වන වාසුදේව නානායක්කාර දයාසිරි ජයසේකර මෙන් ම රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ද එයට ගොදුරු වූහ.

හික්කඩුව ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි ඇමැති දයාසිරි ජයසේකර මේ වනවිට සුවය ලබා තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු සේවකයන් මෙන් ම රාජ්‍ය නිලධාරීහු පිරිසක් මේ වනවිට නිරෝධායනය වෙමින් සිටිති. මේ හේතුවෙන් මෙරට දේශපාලන සමාජය කැළඹී ගොස් ඇත.

මේ අතර කොරෝනා සඳහා නිෂ්පාදිත එන්නත් ශ්‍රී ලංකාවට ආනයනය කරන බවට රජය ඉකුත් සතියේ ප්‍රකාශ කළේය. එහෙත් මේ සඳහා රජයට පිළිගත් කිසිම ක්‍රමවේදයක් නොමැති බවට ජාතික සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනඥයෝ චෝදනා එල්ල කළහ.

කොරෝනා එන්නත පෙබරවාරි හෝ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට ගෙන එන්නේ නම් එය ලබාදෙන වැඩපිළිවෙළ ඇතුළු යම් ක්‍රමවේදයක් පිළිබඳව රජය කිසිදු සූදානමක් නොමැති බවට ද විපක්ෂය චෝදනා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අගමැතිවරයාටත් චීන ජනාධිපතිවරයාටත් ලිපි මඟින් ශ්‍රී ලංකාවට කො‍රෝනා එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.

ඉකුත් දා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ඇමැතිවරයා ජනාධිපති ගෝඨාභයට පොරොන්දු වූයේ ඉන්දියාව විසින් නිෂ්පාදනය කරනු ලබන එන්නත විදේශ රටවලට ලබාදීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය ලබාදෙන බවයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනු ලබන්නේ කොරෝනා එන්නත අසල්වැසි රටවල් වෙත ලබාදීම ආරම්භ කර ඇති බවයි.

රන්ජන් රාමනායකට ලබාදුන් සිරදඬුවම පිළිබඳව ඉකුත් සතියේදී නොයෙක් මත ගැටුම් රැසක්ම දේශපාලන වේදිකාවේ හටගෙන තිබුණි. රූපවාහිනි සංවාදවලදී මෙන් ම පාර්ලිමේන්තු රැස්වීමේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරු උණුසුම් වචනවලින් ගුටි බැට ගසා ගත්හ.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මාස හයක කාලයක් සඳහාවත් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවසර ලබාදෙන්නැයි සමගි ජන බලවේගය ඉකුත් දා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් එම ඉල්ලීමට ආණ්ඩුවේ පාර්ශ්වයන් විවිධ විරෝධතා එල්ල වන්නට විය. මෙහිදී කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ රන්ජන් රාමනායකට පාර්ලිමේන්තුවට පැමිණිය හැකිද නොහැකිද යන්න පිළිබඳව තීන්දුව සති තුනක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බවයි. එහෙත් ඊට පෙර නීතිපතිවරයා අවසන් තීන්දුව කතානායකවරයා දැනුම් දී තිබිණි. නීතිපතිවරයා දන්වා ඇත්තේ රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බවයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සිය ‍ෆේස් බුක් පිටුව මඟින් රන්ජන් හට ලිපියක් ලියා තිබුණි. එහි මෙසේ ද සඳහන් විය.

“මා හිතවත් රන්ජන් රාමනායක,

ඔබට මුහුණදීමට සිදුවූ අවාසනාවන්ත සිදුවීම සැලවීමෙන් කනගාටුවට පත්වීමි. ඔබට මේ තත්ත්වය ඇති වූයේ මේ රටේ මුළුමනින් ම දුෂ්‍ය වී තිබෙන රාජ්‍ය තන්ත්‍රය හේතුවෙනි. ටෙන්ඩර් සහ මහා පරිමාණ වංචා කළ සොරුන් මිනීමරුවන් ජාවාරම්කරුවන් නිදහසේ ඉතා ඉහළින් වැජඹෙන විට අතිශයින් දූෂිත දේශපාලනය සහ රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමට අවංකව උත්සාහ කිරීම නිසා ඔබට අද සිරගත වන්නට සිදුව තිබේ. දීර්ඝ වශයෙන් මෙම ලිපියේ තොරතුරු රැසක් සඳහන් කරමින් ඇය ලිපිය අවසන් කර තිබුණේ විජය මාමාගේ ගීත කොටසකිනි.

“වරදට එරෙහිව අවි ඔසවන්නේ - රටකට දැයකට හිත ඇති මිනිසුන් - ශාන්තිවාදිව තපස් රකින්නේ, පිටකොඳු බිදගත් ඔල මොළ නිවටුන්” යනුවෙන් ඇය සඳහන් කළාය.

මෙවර ද කැබිනට් මණ්ඩලය පැවැත්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය. දයාසිරි වාසු ‍ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකුට කොවිඩ් වැලඳීම නිසා පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමැතිවරුන්ටත් කාර්ය මණ්ඩලයටත් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කෙරිණි.

කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර ගම්මන්පිල ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊට සහභාගිවීමට පැමිණෙන ඇමැතිවරුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වනු දකින්නට ලැබුණි.

“පී.සී.ආර්. එක කළාද? ඔහු ඇමැති රෝහිතගෙන් ඇසුවේය.

“අපොයි ඔව්. ඒක නෙගටිව්” රෝහිත කීවේය.

“පී.සී.ආර්. එක කළා ද” ගම්මන්පිල බන්දුලගෙන් ඇසුවේය.

“මම නම් බැලුවා ඒක නෙගටිව්” බන්දුල කීවේය.

“මම මේ හිතාගෙන ඉන්නේ නිරෝධායනය වෙන්න කියලා. ඒ මොකද? හදිස්සියේම” ගම්මන්පිල ඇසුවේය.

“නෑ ඉතිං සති දෙකක් නිරෝධායනය වෙනකොට මට පොතක් දෙකක් ලියන්න පුළුවන්නේ” බන්දුල කීවේය.

“ඕක මොකක්ද? මම හිරේ ඉන්නකොට පොත ලිව්වේ දවසෙන් දෙකෙන්” ගම්මන්පිල කීවේය.

“මේ වෙනකොට පියල් නිශාන්ත රාජ්‍ය ඇමැතිතුමාටත් කොවිඩ් හැදිලා. අපේ කී දෙනෙක් එතුමාව සමීපව ඇසුරු කරලා තියෙනවාද” පවිත්‍රා ඇසුවාය.

“කවුද ඒ...” ජනපති ගෝඨාභය ඇසුවේය.

“අපේ ජී.එල්. ඇමැතිතුමා එක්ක හෙම” පවිත්‍රා කීවාය.

“තව තුන් හතර දෙනෙක් පියල් මන්ත්‍රීතුමා එක්ක ළඟින් කටයුතු කරලා තියෙනවා කියලයි ආරංචිය” පවිත්‍රා කීවාය.

“කොහොම වුණත් හැමෝම පරිස්සම් වෙන එක හොඳයි” ඇමැති දිනේෂ් කීවේය.

“ඔව් ඔව්... එහෙම වුණොත් සමහර අයගේ හීන සැබෑ වෙන්න පුළුවන්. ඇමැති ප්‍රසන්න කීවේය.

ඒ කාගෙද? බන්දුල ඇසුවේය.

“ඇයි ඔය සමහරු ඉන්නවානේ පාර්ලිමේන්තු පොකුරක් බිහි වෙන‍කන් බලාගෙන ඉන්න අය” ප්‍රසන්න කීවේය.

කැබිනට් මණ්ඩලයට විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. ලොක් ඩවුන් කරන ප්‍රදේශවල ජනතාවට විදුලි බිල් ගෙවීමට සහන කාලයක් ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ සංචාරක කර්මාන්තයේ නිරත හෝටල් හා ලැඟුම් හල් සඳහා බිල්පත් සහනයක් ලබාදීම සඳහා ය.

“අපි මේ රට සංචාරකයන්ට විවෘත කරනවා. ඒත් ගුවන් ගමන් යථා තත්ත්වයට පත්වෙලා සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත්වෙන්න ටික කාලයක් යාවි‍. ඒ නිසා මේ සහන කාලය තව අවුරුද්දක්වත් ලබාදුන්නොත් හොඳයි. ජනාධිපතිතුමනි” ප්‍රසන්න ඉල්ලා සිටියේය.

“අපි අර ණය ක්‍රමයකින් සෝලා සිස්ටම් එකක් හඳුන්වා දෙන්න යනවානේ. ඒක සංචාරක කර්මාන්තයට හඳුන්වා දෙමු” ජනාධිපතිවරයා කීවේය.

“ඒක ලොකු දෙයක් සර් මේ මිනිස්සු දැන් නැත්තටම නැතිවෙලා ඉන්නේ” ඇමැති ප්‍රසන්න කීවේය.

මාස දහයකට අධික කාලයක් සංචාරකයින්ට වසා තිබූ රට ඉකුත් සතියේ නැවත විවෘත කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ සහ ආර්ථික පුනර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් අනුවයි. සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මේ සඳහා සති ගණනාවක සිට දැඩි ලෙස වෙහෙස වූයේය.

ඉකුත් සතියේ තවත් විශේෂ සිදුවීමක් සිදු විය. ඒ කැබිනට් මාධ්‍ය හමුවට විශේෂ අමුත්තෙකු පැමිණීමය. ඒ ඇමැති ප්‍රසන්නය. ඔහු ඊට ඉකුත් දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මෙරට මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හමුවී තිබුණි. ඒ ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ මෙහෙයවීමෙන්ය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල මීට දස වසරකට පෙර විවෘත වුණේ එවකට අග්‍රාමාත්‍ය වශයෙන් කටයුතු කළ දිවංගත දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. මහින්ද රාජපක්ෂයන්ගේ සංකල්පයක් අනුව නිර්මාණය වූ පළමු පාසල හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල වන අතර එය දකුණු ආසියාවේ විශිෂ්ටතම හා විශාලතම ද්විතීයික පාසල ද වෙයි.

මහින්ද රාජපක්ෂ විද්‍යාලයට දස වසක් සැමරෙන අවස්ථාවේදී එහි නිර්මාතෘ වශයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් සහභාගි විය.

පවත්නා වසංගත තත්ත්වය හමුවේ පාසලේ දස වර්ෂ පූර්ණ සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූයේ මාර්ගගත ක්‍රමය ඔස්සේ. එමෙන් ම මෙම අවස්ථාවෙන් පසුව හෝමාගම YOO – Brands කර්මාන්ත ශාලාව විවෘත වුණේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරු අතිනි. මේ අවස්ථාවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කිව්වේ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට වසර දහයක් සැපිරෙන මේ අවස්ථාවේදී මෙම නව කර්මාන්ත ශාලාව විවෘත කිරීම ඉතා වටිනා කටයුත්තක් වන බවයි. ඒ වගේම මෙම අවස්ථාව සඳහාත් ප්‍රධාන ආරාධිතයා වුණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ සහභාගි වෙමින් මේ අවස්ථාවට සුබ පැතුම් එක් ක‍ළේය. අගමැතිතුමා කිව්වේ, මහින්ද රාජපක්ෂ විද්‍යාලය විවෘත කර දස වසරක් සැපිරෙන මේ වැනි දිනයක විවෘත කරන ලද YOO – Brands කර්මාන්ත ශාලාවත් අදින් වසර දහයක් ගත වන දිනය වනවිට දකුණු ආසියාවේ විශාලතම හා විශිෂ්ටතම පාවහන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව බවට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ජනාධිපතිවරයා කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හරීන් ප්‍රනාන්දු දැඩි ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. ඔහු දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවටත් එහි නායකයන්ටත් පහර දෙන්නට පටන් ගෙන තිබේ. ඉකුත් බදාදා ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ කළු පැහැති සාටකයක් පැලඳගෙනය.

හරීන් ප්‍රනාන්දු ආණ්ඩුව විවේචනය කරමින් දැඩි වාග් ප්‍රහාරයක් ද එල්ල කළේය. හරීන්ට වටකර වාචිකව ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කල්තියාම සූදානම්ව සිටියහ. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හරීන් විවේචනය කරමින් ප්‍රතිචාර දැක්වූහ.

කොරෝනා දෙවැනි රැල්ල සමඟින් පීඩාවට පත්වූ පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට සමගි ජනබලවේගය කටයුතු කළේය.

බස්නාහිර පළාත වසා දැමීමත් සමඟ හදිසි දුරකතන අංකයක් හඳුන්වා දුන් සමගි ජනබලවේගය ජනතාවගේ ගැටලු පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කළේය.

එපමණක් නොව මේ ගෝලීය ව්‍යසනය ගැන වැඩි වාර ගණනක් කතා කරමින් ඒ පිළිබඳව දැනුම්වත් කළේ විපක්ෂනායක සජිත්ය.

“ඔබතුමා එදා ඉඳලා කියපු දේ අකුරක් නෑර ඇත්ත. ඒත් ඒ ඇත්ත ගොඩක් දෙනා පිළිගත්තේ නැහැ. අද මුළු රටම දුක් වි‍ඳින්නේ අන්න ඒ නිසයි.”

බුත්තල පැවැති ‘සත්කාරය’ විපක්ෂ නායක ජංගම සේවයේදී වැඩිහිටි කාන්තාවක් සජිත්ට කීවාය.

“ඔබතුමාට මොනවද නොකිව්වේ. මඩ ගැහුවා. නින්දා අපහාස කළා. මේක බුදුන්ට පූජා කළ රට. නිස්කාරණේ ගහපු මඩවල ප්‍රතිඵල මේ ර‍ටම භුක්ති විඳිනවා. තවත් කාන්තාවක් කීවාය.

“මම එක දෙයක් විශ්වාස කරනවා. සත්‍ය කවදා හෝ ජය ගන්නවා” සජිත් කීවේය.

මේ අතර ආර්ථික වශයෙන් පීඩාවට පත්වූ කණ්ඩායම් ගැන ද සමඟි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩි අවධානයක් යොමු කර තිබුණි‍. ඒ අනුව උපකාරක පන්ති පවත්වන ගුරුවරු සමඟ සජිත් සාකච්ඡාවක් ද පවත්වා ඒ සඳහා ලබාදීමට හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡා කළේය.

ඉකුත් සතියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුයේ සජිත් ගේ ප්‍රධානත්වයෙනි. එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳවත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එල්ල වී ඇති තර්ජන පිළිබඳවත් සාකච්ඡාවට ගැනිණි.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ඉකුත් බ්‍රහස්පතින්දා වැඩ භාරගත් අතර එය ඉතා චාම් කෙටි උත්සවයකට සීමා විය. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් නිරෝධායන නීති අනුව දුරස්ථභාවය තබමින් එය පැවැත්වුණි.

නව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන උපනායක අකිල විරාජ් කාරියවසම් යන පිරිස පළමුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිකොට තිබෙන බුදු මැදුර වෙත ගොස් මල් පහන් පූජා කිරීමෙන් පසුව සර්ව ආගමික වතාවත්වලට සහභාගි වූහ. සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව නිලධාරීහු වැඩභාර ගැනීමේ ලේඛනවලට අත්සන් තැබූහ.

ඒ වනවිට නායක රනිල් ද සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණ සිටි අතර නව නිලධාරීන් විසින් අත්සන් තැබූ වැඩ භාරගැනීමේ ලේඛන නියෝජ්‍ය නායක රුවන් විසින් නායකයා වෙත බාරදුන්නේය.

“දැන් ඉතින් අලුත් වගකීම් හැමෝටම තියෙනවා. තනතුරේ බැබලෙන්නේ නැතිව තනතුරු බබලවන්න කටයුතු කරමු” රනිල් කීවේය.

ආදි කර්තෘන් සිහිපත් කරමින් පසු පක්ෂයේ නිලධාරීන් ප්‍රතිඥා දුන් අතර සියලුම දෙනා ඊට එක් වූහ.

“පක්ෂයක් ලෙස දැන් අපිට පාර්ලිමේන්තුවෙන් පිටත විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට තිබෙනවා. එම වගකීම නව නිලධාරි මණ්ඩලයට භාරයි. ජනතාවාදී පක්ෂයක් ලෙස කොරෝනා ප්‍රශ්නයේදී අපිට කර බාගෙන ඉන්න බැහැ. ඒ නිසා මේ උවදුර සම්බන්ධව අපි ජනතාව දැනුම්වත් කරන්න ඕන” නායකයා කීවේය.

Comments