වට්ස්ඇප් වෙස්මා­රු­වට බය­වෙ­න­වාද? නැද්ද? | සිළුමිණ

වට්ස්ඇප් වෙස්මා­රු­වට බය­වෙ­න­වාද? නැද්ද?

 වට්ස්ඇප් සමාගම ගෙන එන නව නීති අනුව ඔවුන් වට්ස්ඇප් භාවිත කරන ජංගම දුරකථනයක අඩංගුවන වට්ස්ඇප් භාවිත කරන සියලුම දුරකතන අංකවලට පිවිසීමට හැකියාව ලැබෙනු ඇති බවට අනුමාන පළවී තිබේ. එමෙන්ම යවන්නා වෙත යොමු නොවුණු පණිවිඩයක් වට්ස්ඇප් ගබඩාවේ දින තිහක කාලයක් පැවතීමද, එමඟින් වට්ස්ඇප් භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණිය හැකි බවටද බිය පළ වී තිබේ. බොහෝ දෙනා බිය පළකරන තවත් කරුණක් වන්නේ වට්ස්ඇප් පණිවිඩ ලබා ගැනීමට තමන් සිටින ස්ථානය දැක්විය යුතු (ලොකේෂන්) වීමය.

 

ලබන පෙබරවාරි මස 8වැනිදා සිට තම ආරක්ෂණ පද්ධතියට ආදළව නව නීති මාලාවක් ප්‍රකාශ කිරීමටත්, එයට අනුගත වන පුද්ගලයන්ට පමණක් පණිවිඩ හුවමාරුවේ පහසුකම් ලබා දීමටත් ක්‍රියා කරන බව වට්ස්ඇප් සමාගම මේ වන විට නිවේදනය කර තිබේ. මේ සම්බන්ධව ලොව පුරා ජනතාව අවදානය යොමු කර ඇත්තේ වට්ස්ඇප් යනු මේ වන විට වැඩි දෙනෙක් භාවිත කරන තොරතුරු හුවමාරු මාධ්‍යයක් මෙන්ම සමාජ ජාලයක්ද වන බැවිනි.

කෙසේ වුවද වට්ස්ඇප් සමාගමේ මේ කොන්දේසි සම්බන්ධව බොහෝ දෙනා අවිශ්වාසය පළ කරන්නේ මෙමඟින් ඔවුන් විශාල වශයෙන් ජනතාවගේ තොරතුරු රහසිගතව ලබා ගැනීමට කටයුතු කරනු ඇති බවට වන සැකයද සමඟිනි.

මේ වන විට වට්ස්ඇප් සමාගමේ හිමිකාරීත්වය පවතින්නේ මාර්ක් සකර්බර්ග්ගේ ෆේස් බුක් ආයතනය යටතේය.

ෆේස් බුක් ආයතනය සම්බන්ධව කුප්‍රකට ඉතිහාසයක් පවතින්නේ එහි සාමාජිකයන් පිළිබඳ දත්ත වෙනත් වෙළෙඳ දැන්වීම් නිපදවන සමාගම්වලට රහසේ අලෙවි කිරීම සම්බන්ධයෙනි.

ඒ චෝදනාවලට වරද පිළිගත් මාර්ක් සකර්බර්ග්ට වරක් ප්‍රසිද්ධියේ ෆේස්බුක් සමාජ ජාලයේ සාමාජිකයන්ගෙන් සමාව ඉල්ලීමටද සිදුවිය.

මිනිසුන්ගේ රුචිඅරුචිකම්, වයස් ඛාණ්ඩ, විලාසිතා, ආහාර පාන යනාදිය පිළිබඳ එක්රැස් වන දත්ත වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයට ඉතා වැදගත් වේ.

එමගින් තම පාරිභෝගික කණ්ඩායම් පහසුවෙන් ඉලක්ක වන අන්දමින් තම දැන්වීම් නිර්මාණය කළ හැකි වේ.

බොහෝ දැන්වීම් ආයතන මෙවැනි සමීක්ෂණ මුදල් යොදවමින් සිදුකරන අතර එවැනි සමීක්ෂණ කිරීමකින් තොරව සමාජ මාධ්‍ය සතුවන දත්ත ගබඩාව පහසුවෙන් තමන් සතු කර ගත හැකි නම් එය වෙළෙඳ දැන්වීම් ආයතනයකට වඩා වාසිදායක වේ. කෙසේ වුවද සමාජ මාධ්‍ය බැඳී සිටින්නේ තමන් සතුවන සාමාජිකයන්ගේ පෞද්ගලික දත්ත රහසිගතව පවත්වා ගැනීමටය.

මෙලෙස දත්ත අවභාවිතය සම්බන්ධව දැනටමත් චෝදනා පිළිගෙන සිටින සකර්බර්ග් ගේ යටතේ පවතින වට්ස්ඇප් සමාගම තම නීති පද්ධතිිය වෙනස් කරමින් එයට ජනතාවගේ එකඟතාව ලබා ගැනීම සම්බන්ධව මිනිසුන් සැක ඉපදවීම පුදුමයට කරුණක් නොවන බව කිව යුතුය.

මෙහිදී වට්ස්ඇප් සමාගම ගෙන එන නව නීති අනුව ඔවුන් වට්ස්ඇප් භාවිත කරන ජංගම දුරකථනයක අඩංගුවන වට්ස්ඇප් භාවිත කරන සියලුම දුරකතන අංකවලට පිවිසීමට හැකියාව ලැබෙනු ඇති බවට අනුමාන පළවී තිබේ.

එමෙන්ම යවන්නා වෙත යොමු නොවුණු පණිවිඩයක් වට්ස්ඇප් ගබඩාවේ දින තිහක කාලයක් පැවතීමද, එමගින් වට්ස්ඇප් භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණිය හැකි බවටද බිය පළ වී තිබේ.

බොහෝ දෙනා බිය පළකරන තවත් කරුණක් වන්නේ වට්ස්ඇප් පණිවිඩ ලබා ගැනීමට තමන් සිටින ස්ථානය දැක්විය යුතු (ලොකේෂන්) වීමය.

වට්ස්ඇප් සමාගම පවසා ඇති අන්දමට පෙබරවාරි 8වැනිදායින් පසුව යම් පණිවිඩයක් යැවීමට මෙන්ම වෙනත් අයෙකු එවන පණිවිඩයක් ලබා ගැනීමේදීද මෙලෙස තමන් සිටින ස්ථානය දැක්විය යුතුවේ.

මෙය පහසුවෙන්ම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට හානි ගෙන දීමට සමත් බවට මතයක් ලොව පුරා ගොඩනැගෙමින් තිබේ.

කෙසේ වුවද වට්ස්ඇප් සමාගම මේ සියලු චෝදනාවලට පිළිතුරු ලෙස පාරිභෝගික ජනතාව තුළ විශ්වාසය තහවුරු කිරීමේ උත්සාහයක නිරත වී සිටී. ඔවුන් මේ දිනවල ලොව පුරා බෙදා හරින පණිවිඩයක අන්තර්ගත වන්නේ වට්ස්ඇප් නව නීතිමාලව සම්බන්ධව කිසිසේත් සැක උපදවා ගත යුතු නොවන බවය.

ඔවුන් ප්‍රථමයෙන් පවසා සිටින්නේ වට්ස්ඇප්හි මෙන්ම ෆේස්බුක් සමාජ ජාලයේද හුවමාරු කර ගන්නා පණිවිඩ කිසිසේත් සමාගමට දර්ශනය කළ නොහැකි බවයි. ඒ අනුව තමන් යොමු කර ගන්නා පණිවිඩවල පෞද්ගලිකත්වය තම තමන් අතර බව වට්ස්ඇප් සමාගම පවසා සිටී.

එහෙත් දැනට තම අත්දකින්නේ ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළකරනු ලබන ‘පොස්ට්‘ නිරීක්ෂණය කිරීමත්, ඒවා ඉවත් කිරීමත් සිදුවන බවය. එබැවින් වට්ස්ඇප්හි යොමු කෙරෙන පණිවිඩ සමාගමේ කිසිවකුට හෝ දර්ශනය කළ නොහැකි යැයි පැවසීමම සැක උපදවන බව පැවසිය හැකිය.

එමෙන්ම වට්ස්ඇප් සහිත දුරකතනයකට ලැබෙන සියලු ඇමතුම් අංක වට්ස්ඇප්හි ගබඩා නෙකෙරෙන බවද සමාගම පවසා සිටී.

සමාගම පෙන්වා දෙන්නේ එවැනි ක්‍රියාවක් කිසිසේත් සිදු නොවන බවත්, එවැනි දෙයක් සම්බන්ධව සැක උපදවා ගැනීම අනවශ්‍ය බවත්ය. එමෙන්ම සමාගම පවසන්නේ ලොව පුරා බිලියන දෙකක් ජනතාව වට්ස්ඇප් භාවිත කරන බවත් එවැනි ප්‍රමාණයකගේ දුරකතන දත්ත පවත්වා ගැනීම ආරක්ෂාව අතින් ඉතා අයහපත් වනු ඇති බවත්ය.

එමෙන්ම චෝදනාවලට පිළිතුරු ලෙස වට්ස්ඇප් සමාගම වැඩිදුරටත් පවසන්නේ වට්ස්ඇප් නව නීතිවලට අනුව පණිවිඩ යැවීමේදී මෙන්ම ලබා ගැනීමේදීද තමන් සිටින ස්ථානය සඳහන් කළ යුතු වුවද එම ස්ථානය දැන ගැනීමට හැකියාවක් සමාගමට නොමැති බවය. එමෙන්ම වට්ස්ඇප් සහිත දුරකතනයක පවතින දුරකතන අංක ෆේස්බුක් ගිණුම සමග හුවමාරු කර ගැනීමක් සමාගම විසින් කිසිසේත් නොකරන බවද පවසන එම සමාගම වට්ස්ඇප් කණ්ඩායම් තවදුරටත් පෙර සේම පෞද්ගලකත්වය ආරක්ෂා වන පරිද්දෙන් ක්‍රියාත්මක වන බව දන්වා සිටියි.

යොමු කරන පණිවිඩ නිසි පරිදි ලබන්නා වෙත යොමු නොවූයේ නම්, එම පණිවිඩ ගබඩාවෙන් ඉවත් කර මකා දැමීමේ හැකියාවද භාවිත කරන්නේ සතු වන බව සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.

වට්ස්ඇප් සමාගම විසින් ඔවුන් වෙත එල්ලවන චෝදනාවලට ප්‍රති උත්තර ලෙස පවසන මේ කරුණුද යළි ප්‍රශ්න කිරීමේ බොහෝ ඉඩකඩ පවතින බව පෙනේ. එහෙත් මෙහිලා එක් දෙයක් පැවසිය යුතුය.

ට්වීටර්, ෆේස්බුක්, ගූගල්, ඇපල් වැනි සමාගම් අද ලෝකයේ මුදල් මවනා ව්‍යාපාර බවට පත්ව ඇති අතර, මේ මුල්‍ය බලය හේතුවෙන්ම මේ සමාගම් නෛතික බලයද, මහජන බලයද ඉක්මවා යන තරම් බලවත්ව සිටින බවද ඔවුන්ගේ හැසිරීමෙන් පෙනේ.

ඔවුන්ගේ නීති ඔවුන්ගේම වන අතර, එම නීතිවලට අකමැති අයට සිදුවන්නේ ඔවුන් අත්හැර හුදකලා වීමටය. මේ වන විට වට්ස්ඇප් නව නීති කෙරෙහි සැක උපදවන ජනතාව යෝජනා කරමින් ඇත්තේ ‘ටෙලිග්‍රෑම්‘ වැනි වෙනත් සමාජ මාධ්‍යයකට විතැන් වීමක් වැනි ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙනි. කෙසේ වුවද දැන් ලෝකයේ සිදුවන සිදුවීම්වලින් පෙනී යන්නේ මෙවැනි සමාගම් සියල්ල එක් අවස්ථාවකදී එක් පැත්තකට පැමිණෙන බවය. එබැවින් ප්‍රතික්ෂේපය යනු මිනිසාට සමාගම් පාලනය කිරීම සඳහා තවදුරටත් යොදා ගත හැකි මෙවලමක්ද නොවන බවය.

කෙසේ වුවද බලවත් සමාගම්වලට තවදුරටත් තම ජීව දත්ත සොරකම් කරමින් තම මනස පාලනය කිරීමට අවසර දෙනවාද නැතහොත් වර්චුවල් ගරිල්ලා සටන් සමග ඉදිරියට යනවාද යන්න පාරිභෝගිකයන් විසින් තීරණය කළ යුතු කාලය එළඹ ඇතැයි පැවසිය යුතුමය.

Comments