
ජවිපෙ, ඉකුත් දශක පහක් ඇතුළත කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූ අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.
ජවිපෙට එරෙහිව සියලු සතුරු බලවේග 1989 අරාම්භයේ සිට එක් කඳවුරකට එක්ව තිබිණි. එයට විෂයමූල තත්ත්වයන් නිර්මාණය කරන ලද්දේ ද ජවිපෙ විසිනි. මේ අනුව උතුරේ බෙදුම්වාදී කැරලිකරුවන්ට පවා ඉතිහාසයේ කිසිම දිනක නොතිබුණු මර්දනයක් ආරක්ෂක අංශ විසින් ජවිපෙ කැරලිකරුවන්ට එරෙහිව මුදාහැර තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක රෝහණ විජේවීර 1989 නොවැම්බර් 12 උලපනේ දී ආරක්ෂක හමුදා අත්අඩංගුවට පත්ව පසුදින අලුයම කොළඹ දී ඝාතනයට පත්විය. විජේවීර අත්අඩංගුවට පත්වන විටද ජවිපෙ අභියෝග ගණනාවකට මුහුණ දී තිබිණි.
ආණ්ඩුවේ පොලිසිය සහ ආරක්ෂක අංශ පමණක් නොව එමඟින් මෙහෙයවනු ලැබූ අතුරු හමුදා කණ්ඩායම් 13 වන කළු බළල්ලූ, ස‍්‍රා, උකුස්සෝ, රාජාලියෝ, කහ බළල්ලූ, කොළ කොටි, රතු මකරු, මාපිලා, ගෝනුස්සා, නි, කේසර සිංහයෝ, ලේ මාපිල්ලූ, කළු කොටි මඟින් ජවිපෙ කැරලිකරුවන් පමණක් නොව එහි හිතවතුන් සහ එයට උදවු කළ අයද කැරලිකරුවන් ගේ පවුල්වල සාමාජිකයන් සහ ඥාතීන් දහස් ගණනක්ද ඉවක් බවක් නොමැතිව 1989 අගෝස්තුවෙන් පසු ඝාතනය කරන ලදී. එමෙන්ම ඔසී අබේගුණසේකර ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මහජන පක්ෂය ප්‍රමුඛ ඇතැම් වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් ආණ්ඩුවේ අනුග්‍රහයද ඇතිව පවත්වාගෙන ගිය ප්‍රා සංවිධානයද කැරලිකරුවන්ට එරෙහිව ඝාතන කණ්ඩායම්වලට එක්ව තිබිණි.
ජවිපෙ 2වැනි කැරැල්ලට එරෙහිව 1987 රජය වෙනුවෙන් නායකත්වය ගනු ලැබුවේ ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලිය. දෙවනුව 1988 දී එහි නායකත්වය ගනු ලැබුවේ ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විජේරත්නය. අවසානයේ කැරැල්ල මර්දනය කළ 1989 ජනාධිපති ප්‍රේමදාස ගේ රජය වෙනුවෙන් එහි නායකත්වය ගනු ලැබුවේ නිවාස සහ ඉදිකිරීම් ඇමැති සිරිසේන කුරේය.
කැරලිකරුවන්ට එරෙහිව සිදුකරනු ලබන ආරක්ෂක හමුදා සම්බන්ධීකරණය සහ උපදෙස් ලබාදීම 1987 සිට 1989 දක්වා සිදුවූයේ එලෙසිනි. ඊශ්‍රායලයේ මොසාඩ් සහ බ්‍රිතාන්‍යයේ එම්. අයි 6 යන විදේශ රහස් ඔත්තු සේවාවන්හි උපදේශකයන් කිහිපදෙනකු ගේ සහායද කැරැල්ල මර්දනය කිරීම සඳහා 1989 මැද භාගයේ සිට ආණ්ඩුවේ දේශපාලන නායකත්වයට ලැබිණි.
ඒ යටතේ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය හෙවත් ඔප්ස් කම්බයින් 1989 අගෝස්තු 4 පිහිටූ වූ අතර එයට ජවිපෙ ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක 19 ආවරණය කිරීම සඳහා කණ්ඩායම් 100ක් අනුයුක්ත කෙරිණි. එම 20ක පමණ සෑම කණ්ඩායමකට යුද, නාවික, ගුවන් යන ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරින් සහ සෙබළුන් අනුයුක්ත කර තිබිණි. මෙම විශේෂ කණ්ඩායම්වල නායකයන් අතර උසස්වීම් සහ වරප්‍රසාද සඳහා කැරලිකරුවන් අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, ප්‍රශ්න කිරීම, තොරතුරු ලබාගැනීම සඳහා වධදීම, ඇතැමුන් ‘ඉවත් කිරීම’ සිදුවූයේ තරගයට මෙනි.
ඔප්ස් කම්බයින්හි අණදෙන නිලධාරියා වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සිරිල් රණතුංගය. එහි නායකයා හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්නය. අණදෙන නිලධාරියා වූ කර්නල් ජානක පෙරේරා යටතේ විශේෂ මෙහෙයුම් ඒකකය ක්‍රියාත්මක විය. එහි දෙවැනියා වූ කර්නල් ලක්ෂ්මන් අල්ගම යටතේ තොරතුරු විමර්ශන ඒකකය පැවතිණි.
ඔප්ස් කම්බයින් පිහිටා තිබුණේ තර්ස්ටන් විදුහල ඉදිරිපිට තට්ටු 2ක ගොඩනැගිල්ලකය. එහි ප්‍රධානියකු වූයේ බ්‍රිගේඩියර් වජිර විජේරත්නය. යුද හමුදා පොලිසියේ මේජර් කුලසිරි උඩුගම්පලද එහි විය. කොළඹ සරසවි නීති පීඨයේ සහ මත්තේගොඩ කඳවුරේ නායකයන් වූයේ ලූතිනන්වරුන් වූ තුවාන් නිසාම් මුතාලිෆ්, සොයිසා, ඒ. එෆ් ලෆීර්, මංජුල මනතුංග, නිහාල් සිරිශාන්ත සහ කපිතාන් පෙරේරා ඇතුළු පිරිසකි.
ජාවත්තේ සළුසල ඉදිරිපිට විදේශ රැකියා කාර්යාංශයේ ගොඩනැගිල්ලක පිහිටි කණ්ඩායමක ප්‍රධානින් වූයේ පාබල හමුදාවේ කපිතාන් චන්ද්‍රසිරි, කපිතාන් සිරිවර්ධන සහ ලුතිනන් ප්‍රනාන්දුය. හමුදාපති නිවස අසල පිහිටි බුඩි හවුස්හි පිහිටි කණ්ඩායමේ ප්‍රධානින් වූයේ පාබල හමුදාවේ කාලතුවක්කු හමුදාවේ මේජර් වී. ආර්. සිල්වාය, මේජර් බාලසූරිය, කපිතාන් රන්ඔළුව, ලූතිනන් කොස්තා සහ ලූතිනන් ප්‍රියන්ත රණසිංහය. තිඹිරිගස්යාය යටෝරා කඳවුරේ ප්‍රධානින් වූයේ කාලතුවක්කු හමුදාවේ කපිතාන් කොඩිතුවක්කු සහ ලුතිනන් බස්නායකය. හෙන්රි ප්‍රේදිස් ක්‍රිඩා මණ්ඩපයේ සිටි කණ්ඩායමේ ප්‍රධානීන් වූයේ සේවා බළකායේ ලුතිනන් ඔවිටපාන සහ මාණ්ඩලික සැරයන් රත්නසූරියය. කොළඹ ප්‍රදේශයේ පමණක් තවත් මෙහෙයුම් මධ්‍යස්ථාන වනාතමුල්ලේ ඕවල් ක්‍රීඩාංගනය, මරදානේ ට්‍රිපොලි, මෝදර, වැල්ලම්පිටියේ සේදවත්ත පාසැල ඇතුළු ස්ථාන කිහිපයක පැවතිණි.
ආරක්ෂක අංශවල අතිශය දරුණු මර්දනය නිසා විනයක් සහිත අත්දැකීම් ඇති සංවිධාන ව්‍යුහයක් තුළ ගොඩනැඟුණු ජවිපෙ ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් 1989 මුල් භාගය වනවිට ඝාතනයට ලක්විය. එම හිඩස පිරවීමට ජවිපෙට බොහෝ දුරට සිදුවූයේ අත්දැකීම් විරල, පුද්ගල ඝාතනවලට සහ මංකොල්ලවලට එක්වූ විනයකට හුරු නොවූ 1986 ඉන්දු ලංකා ගිවිසුමින් පසු අලුතින් බඳවාගත් අය ගෙනි. ඔවුන් ගෙන් ඇතමෙක් පාසැල්වියේ සිටි දේශපාලන දැනුමෙන් නොමේරු පුද්ගලයන් වීම, කැරැල්ලේ ආස්වාදයෙන් මත්වී එයට එක්වූ අයවීම සහ ග්‍රාමීය ප්‍රදේශවල නොහික්මුණු පිරිස් ලෙස ජනයා සැලකූ පුද්ගලයන් විය. ජවිපෙ 2වැනි කැරැල්ලේ අවසාන කාලයේ භාවිත වූ බොහෝ ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය ජනයා ගෙන් කැරලිකරුවන් වෙන්කර ගැනීමට ආරක්ෂක අංශවලට පහසු විය. අවසාන කාලයේ ජවිපෙ 2වැනි කැරැල්ල සමාජයේ පුළුල් සහභාගිත්වයකින් තොරව හුදෙකලා කැරලි ගැසීමක් බවට පත්ව තිබිණි.
ඒ වනවිට ජවිපෙ දේශපාලන මණ්ඩලය අතරද යම් යම් මතභේද ඇතිව තිබිණි. විජේවීර ඇතුළු එහි සුළුතරයක ගේ මතය වූයේ සතුරාට මුහුණ දීම සඳහා විසිර ගොස් හෝ පසුබැස නැවත සංවිධානය වෙමින් අරගල කිරීමය. එහෙත් උපතිස්ස ගමනායක, සමන් පියසිරි ප්‍රනාන්දු, ඩී. එම්. ආනන්ද, ලලිත් විජේරත්න, එච්. බී හේරත් වැනි අයගේ අදහස වූයේ ආරක්ෂක අංශවලට ප්‍රතිප්‍රහාර එල්ලකර ආරක්ෂක අංශවලට මුහුණදීමේ ක්‍රමවේදයක් සකසා ගැනීමය. රටතුළ තිබෙන වාතාවරණය අනුව බහුතර තීරණයට එකඟවීම හැර වෙනත් විකල්පයක් රෝහණ විජේවීර ප්‍රමුඛ සුළුතර කණ්ඩායමට නොවීය.
මේ හේතුව නිසා ජවිපෙ නායකත්වය පමණක් හෝ ආරක්ෂා කර මර්දනයට මුහුණ දීමේ ක්‍රමවේදයක් සකස් කරගැනීමටද ක්ෂණිකව නොහැකි විය.
අර්බුදයේ ස්වභාවය අනුව නව සංවිධාන යාන්ත්‍රණයක් ජවිපෙට අවශ්‍ය වූවද 1989 ඔක්තෝබර් 28 රත්නපුරයේ දී ඩී. එම්. ආනන්ද අත්අඩංගුවට ගැනීමෙන් පසුවත් දෙසතියක් ඇතුළත හෝ වෙනස් ආරක්ෂක ක්‍රමවේදයක් වෙත හුවමාරුවීමට ජවිපෙ නායකත්වය අසමත් වූයේ එබැවිනි.
මර්දනකාරි තත්ත්වය තුළ ජවිපෙ 2වැනි කැරැල්ල 1989 සැප්තැම්බර් අවසානයේ දී යුදමය වශයෙන් විශාල පරාජයකට පත්වෙමින් තිබුණු අතර කැරලිකරුවන් තුළ ද මානසික කඩාවැටීම්, භීතිය, අපේක්ෂා භංගත්වය, අවිශ්වාසය සහ සැකය මෝදුවෙමින් පැවතිණි.
විජේවීර ඝාතනය පිළිබඳ ජවිපෙ විසින් නිල ප්‍රකාශයක් සිදුකරනු ලැබුවේද සතියකට පසු 1989 නොවැම්බර් 20 වැනිදාය. ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටිය දී විජේවීර කළ ප්‍රකාශය තුළින් ඔහු දුන් පණිවිඩය වූයේ ‘සියල්ල වෙනස් කරන්න’ යන්නය. විජේවීර ගේ ප්‍රකාශයේ හරය උකහාගෙන ජවිපෙ නව නායකත්වය උපාය උපක්‍රම තෝරා ගත්තේ නම් පසුව මියගිය දස දහස් ගණනක් ජීවතුන් අතර සිටින්නට බොහෝ ඉඩ තිබිණි.
ජවිපෙ නායකත්වයට පත්වූ සමන් පියසිරි ප්‍රනාන්දු විසින් 1989 නෙැවැම්බර් 28 වැනිදා 11 දෙනකු ගෙන් සමන්විත නව දේශපාලන මණ්ඩලයක් පත්කරනු ලැබීය. රත්නපුර හිදැල්ලන පණුකෑරපිටියේ දෙදිනක් පැවැති එම දේශපාලන මණ්ඩල රැස්වීමට ලලිත් විජේරත්න සහභාගි වූ අතර ඒ වන විට ඝාතනයට පත් නොවී සැඟව සිටි ශාන්ත බණ්ඩාර සහ සෝමවංශ අමරසිංහ ගේද ලිඛිත අනුමැතිය එයට ලැබිණි. එම රැස්වීමේ දී දිස්ත්‍රික්ක 19කට නව දේශපාලන ලේකම්වරුන් සහ සන්නද්ධ ලේකම්වරුන්ද පළාත් මට්ටමින් දේශපාලන සහ යුද නායකයන්ද පත්කරනු ලැබීය.
එහෙත් මධ්‍යම කාරක සභිකයන් පත්කර ගැනීම රට තුළ පැවැති සුවිශේෂි තත්ත්වය හේතු කොටගෙන මසක් ඇතුළත සිදුකිරීමට සැමගේ එකඟත්වය පළ විය.
රෝහණ විජේවීර ඝාතනයෙන් මසක් පිරෙන 1989 දෙසැම්බර් 13 රටපුරා ප්‍රහාරයක් එල්ල කිරීමද එහි දී ගනු ලැබූ තවත් තීරණයකි. එමෙන්ම එල්.ටී.ටී.ඊ කොටි සංවිධානයට එරෙහිව ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය සමඟ සබඳතා ඇතිකර ගැනීමටද, 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වූ කැරලිකරුවන් ගේ ආරක්ෂාව තකා තවදුරටත් ජවිපෙ කටයුතුවලට ප්‍රසිද්ධියේ ඔවුන් මුදා නොහැරිය යුතු බව ද සෙසු තීරණයන්ය. විජේවීර ඝාතනයෙන් මසක් පිරෙන දා සංවිධානය කළ ප්‍රහාරය පිළිබඳ නිවැරදි විග්‍රහයක් නායකත්වය සතු නොවූ අතර එහි තිබුණේ රණකාමී ආස්වාදයක් පමණි.
කලින් 1986 සිට 1989 නොවැම්බර් දක්වා ජවිපෙ වැඩ කළ දිස්ත්‍රික්ක 19 බෙදා තිබුණේ කලාප 5කටය. විජේවීර ඝාතනයෙන් පසු දිස්ත්‍රික්ක 19 බෙදන ලද්දේ කලාප 4කටය. සෝමවංශ 1990 මාර්තු 17 රටින් පිටවීමට ප්‍රථම සමන් ගේ නායකත්වයෙන් පැවැති දේශපාලන මණ්ඩල රැස්වීම් දෙකටම සහභාගී නොවීය.
එහෙත් සමන් පියසිරි ගේ නායකත්වය පිළිගනිමින් ලිඛිත අනුමැතිය එවා තිබිණි. ශාන්ත බණ්ඩාර 1989 නොවැම්බර් 28 පැවැති ප්‍රථම සාකච්ඡාවට සහභාගි නොවූවද නායකත්වයට සියලු සුදුසුකම් ශාන්තට තිබුණද ජවිපෙ නායකත්වය සමන් පියසිරිට බාරදීමට අනුමැතිය පළ කළේය. ශාන්ත බණ්ඩාර 1989 දෙසැම්බර් 07 දේශපාලන මණ්ඩලයේ දෙවන රැස්වීමට සහභාගී විය. පෙරමුණු සංවිධාන බාරව කටයුතු කළ ආනන්ද ඉඩමේගම තරුණ, කාන්තා, භික්ෂූ කලාප රැස්වීම් 2ක් කැඳවීමට සමත්වූ අතර මාතලේ දිස්ත්‍රික් කාන්තා ක්‍රියාකාරීන් ගේ සාකච්ඡාවකට යෑමේ දී කොටු විය.
එමෙන්ම උපාලි ජයවීරද ඌව කලාපයේ කලාප කමිටු රැස්වීම් 3ක් කැඳවීමට සමත් විය. ජවිපෙ දේශපාලන මණ්ඩලය ප්‍රථමවරට 1989 නොවැම්බර් 28 රත්නපුර හිදැල්ලන පණුකෑරපිටියේ දී පැවැති අතර කලාප දේශපාලන සහ සන්නද්ධ ලේකම්වරුන්ද දිසා ලේකම්වරුන් සහ සන්නද්ධ ලේකම්වරුන්ද එහි දී පත්විය. මධ්‍යම කාරක සභිකයන් 1990 ජනවාරි 05 හඳුන්වා දීමට තීරණය විය.
ජවිපෙ දේශපාලන මණ්ඩලය දෙවන වරට 1989 දෙසැම්බර් 07 රත්නපුර පණුකෑරපිටියේ දී රැස්වූ අතර සෝමවංශ අමරසිංහ හැර සියල්ලෝම එයට එක්විය. එහි දී 1989 දෙසැම්බර් 13 රටපුරා ප්‍රහාරයක් සැලසුම් කෙරිණි.
ජවිපෙ තෙවන දේශපාලන මණ්ඩල රැස්වීම 1990 ජනවාරි 5 හෝමාගම දී පැවැත්වීමට කටයුතු සූදානම් කළද ඒ වනවිට සෝමවංශ අමරසිංහ හැර සියල්ලෝම අත්අඩංගුවට ගෙන හෝ ඝාතනයට ලක්ව තිබිණි.