රත්තරන් වගේ ‘රත්තරන් බස් කොන්දොස්තර’ | සිළුමිණ

රත්තරන් වගේ ‘රත්තරන් බස් කොන්දොස්තර’

හෙම්මාතගම හරංකහව පදිංචි ධනුෂ්කා සංජීවනීගේ මව විදෙස්ගතව සේවය කරන්නියකි. ඇය විදේශ ගත වූයේ රුපියල් ලක්ෂ දෙක හමාරකට අධික රන්භාණ්ඩ හෙම්මාතගම බැංකුවකට උකස් කරමිනි. මව විසින් එවන ලද රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්න මුදල්ද රැගෙන ධනුෂ්කා බැකුව වෙත යන්නේ එම රන් භාණ්ඩ නිදහස් කර ගැනීමටය. ඒ නව වසර ආරම්භ වූ ජනවාරි 1 වැනිදාය. අලුත් අවුරුද්දේ ණය බරින් නිදහස් වූ බව ඇය මවටද දුරකතන ඇමතුමකින් පැවසුවාය. වසර ගණනාවක් බැංකුවේ තිබූ රන් භාණ්ඩ බේරා ගත් ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව ඇය හෙම්මාතගම පිහිටි තමා සේවය කරන යෙහෙළියකගේ රූපලාවණ්‍යාගාරයට ගියාය. රන්භාණ්ඩ වැඩි ආරක්ෂාව පිණිස තම කලිසම් සාක්කුවේ දමා ගන්නට ඇය කටයුතු කළාය.

වෙනත් කටයුත්තක් වෙනුවෙන් කෑගල්ලටද ගොස් නැවත රූපලාවණ්‍යාගාරය වෙත පැමිණි ඇය ජනවාරි 1දා නිසා කල් වේලා ඇතිව සිය යෙහෙළිය සමඟ පිට වූවාය. යෙහෙළියගේ නිවසට යන්නට හෙම්මාතගම නගරයෙන් පස්වරු 3.30ට ගම්පොළ බලා යන බස් රථයකට ඔවුන් ගොඩ විය.

ඒ බස් රථය එම මාර්ගයේ කවුරුත් හොඳින් හඳුනන ජී.ජී. අනුර ප්‍රියන්ත කොන්දොස්තරවරයා ලෙස සේවය කරන ගම්පොළ ඩිපෝවට අයත් වූවකි. එහි රියැදුරා ලෙස සේවය කරන්නේ නිහාල් කැකුලන්දරයි. මේ දෙදෙනාගේ බස් රථය ගම්පොළ - හෙම්මාතගම මාර්ගයේ ජනතාව හඳුන්වන්නේ ගුවන් කිරිල්ලී නමිනි.

බස් රථයට ගොඩ වූ මිතුරියන් තුනේ කනුවෙන් බැස ටික දුරක් ගොස් විපරම් කර බලද්දී රන්භාණ්ඩ කලිසම් සාක්කුවේ නොමැති බව ධනුෂ්කා දැන ගත්තාය. ඇයට දෙලෝ රත් විය. කලබලයට පත් ව ඔවුහු නැවත රූපලාවණ්‍යාගාරයට ගියහ. අස්සක් මුල්ලක් නෑර එහි විපරම් කළහ. කෑගල්ලේදී නැති වූවානම් ඒ ගැන සිතා පලක් නොවන බව ධනුෂ්කා වටහා ගත්තාය. ධනුෂ්කාගේ යෙහෙළිය දුරකතන ඇමතුමක් ගත්තේ බස් රථයේ කොන්දොස්තර අනුර ප්‍රියන්තටය.

‘‘රත්තරන් බඩු හමුවුණොත් දෙන්නම්‘‘ ඔහු පැවසුවේය. තමන්ට වූ අකරතැබ්බය නිසා දැඩි මානසික පීඩාවට පත්ව සිටි ධනුෂ්කාට පැය කිහිපයකට පසුව කොන්දොස්තරගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය. කුඩා පොලිතින් උරයක බහාලූ රන්භාණ්ඩ බස්රථයේ තිබී හමු වූ බව ඔහු පැවසුවේය. ධනුෂ්කාට ප්‍රීතිය නිම්හිම් නොමැති විය.

පසුදිනම එනම් ජනවාරි 2වැනිදා ධනුෂ්කාට ලක්ෂ දෙකහමාරකට අධික රන්භාණ්ඩ සියල්ල ලබාදීමට අනුර ප්‍රියන්ත කටයුතු කෙළේය. සුළු වැටුපකට රැකියාව කරන අනුර ප්‍රියන්ත වැනි පුද්ගලයන් රටට ආදර්ශයක් සපයන්නේය. ඒ ගැන ධනුෂ්කා අප හා පැවසුවේ මෙවැනි කතාවකි.

‘‘බැංකුවෙන් බේරා ගත්ත ලක්ෂ දෙකහමාරක රන් භාණ්ඩ නැති වීම ගැන මම දැඩි මානසික පීඩාවට පත් වුණා. මගේ පිනකටයි කොන්දොස්තර මහත්තයාගේ මානුෂිකත්වයයි නිසා තමයි ඒ බඩු ආපසු ලැබුණේ. මේ උතුම් සත්ක්‍රියාව මම හැමදාමක් අගය කරනවා. මගේ නොසැලකිලිමත්කමින් වෙච්ච විශාල වැරැද්දක් මේක. මේ වාගේ මිනිස්සු අපේ සමාජයේ අඩුයි. එහෙම අය ලෝකයටම ආඩම්බරයක් ඒ නිසා මේ සිද්ධිය හරහා සමාජයට ගෙන දෙන පණිවිඩය ආදර්ශමත්‘‘

බස් රථයේ කොන්දොස්තර අනුර ප්‍රියන්තද අපට හමුවිය. ‘‘මට මතකයි මේ දුවලා දෙන්න 3 කනුවෙන් බස් එකෙන් බැහැලා ගියා. ටික වෙලාවකට පස්සෙ මට කෝල් එකක් ආවා රත්තරන් බඩු වගයක් තිබුණා නැති වෙලා කියලා. මම ඒ සීට් එක ළගට ගිහින් බැලුවා. මඟීන් ඇහුවා මොනවද හොයන්නෙ කියලා. මම ඇත්ත කිව්වෙ නැහැ මම කිව්ව ඇණ කෑල්ලක් කැඩිලා තිබුණා ඒකයි බැලුවෙ කියලා. ගම්පොළ ඩිපෝවට බස් එක ගියාට පස්සෙ හොඳින් බැලුවා රියැදුරු මහත්තයත් එක්ක. සිට් එකයි තහඩු බොඩියයි අතර පොලිතින් කවරයක් ඇතුළේ දිලිසෙනව දැකල කම්බි කෑල්ලකින් ඇදල ගත්ත. ඒකෙ තිබුණේ රත්තරන් භාණ්ඩ කියල දැනගන ඒ වෙලාවෙම කෝල් එකක් දුන්නෙ ඒ දරුවා ගින්දරෙන් ඉන්න බව දන්න නිසා‘‘ කොන්දොස්තරවරයාගේ ඒ උතුම් ක්‍රියාව සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළින් අගය කර තිබෙනු අපි දුටුවෙමු.

‘‘මම ගෙදර ගිහින් නෝනට කිව්ව රත්තරන් බඩු වගයක් හම්බවුණා. විකුණලා අපි ණය ටික බේරල දාමු කියලා. එයා ඒකට කැමැති වුණේ නැහැ. මම පසුවයි කිව්වෙ අයිතිකාරයට ඒ වෙනකොටත් කෝල් කරල තියෙන්නෙ. විහිළුවටයි මම කිව්වෙ කියලා‘‘ අපි අනුර ප්‍රියන්ත ගැන තව දුරටත් කරුණු සොයා බැලුවෙමු.

ඔහු වසර 13ක්ම මේ මාර්ගයේ සේවය කර තිබේ. 2015 වසරේදී බස්රථයේ වැටී තිබූ හෙම්මාතගම ඕලාන මුස්ලිම් කාන්තාවකගේ රුපියල් ලක්ෂයකට අධික වටිනාකම් ඇති රන් තැල්ලක් සොයා දී ඇති ප්‍රියන්ත ඉන්පසු අමතකව ගිය රුපියල් 50,000 මුදල් පසුම්බියක් දෙල්ගහදෙනියේ හිමිකරුට ලබා දී ඇත. ඊට අමතරව බස් රථයේ අතපසුවී ගිය හා වැටී තිබූ ජංගම දුරකථන මුදල් පසුම්බි වැනි දේ අයිතිකරුවන්ට ලබා දුන් ආදර්ශමත් පුද්ගලයෙකි. ඇතැමුන් තමන්ට අවශ්‍ය ඖෂධ පවා නගරයෙන් ගෙන්වා ගන්නේ බස් රථයට මුදල් ලබා දීමෙනි. එය සමාජ සේවාවක් සේ සලකා ප්‍රියන්ත ඉටු කරන්නෙ හද පිරි සතුටිනි.

Comments