මැණික් අපනයනය දැන් Online | සිළුමිණ

මැණික් අපනයනය දැන් Online

බොහෝ රටවල් ඔන්ලයින්; හොඳම මැණික් ඇති අපේ රටට මේ පහසුකම් නැහැ

 

 ඔන්ලයින් හරහා විකුණන්න පුළුවන් පොඩි මැණික් ගල් පමණයි

 

මාර්තු මස ඇරඹි කොරෝනා වසංගතය මේ වන විටත් අවසන්ව නැත. මේ වන විටත් දහස් ගණනකට රැකියා අහිමි කරමින් මේ ලෝක වසංගතය ලොව පුරා දරුණුව පැතිර යන්නේ අවසන් වීමේ දින වකවානු පවා නොදකිමිනි. විශේෂයෙන් ජාත්‍යන්තර වෙළෙඳ පොළ සමඟ ගනුදෙනු කරන බොහෝ රැකියාවන්ගේ අනාගතය පවා අවිනිශ්චිතව ඇත්තේ මේ ලෝක වසංගතය හේතුවෙන් ජාත්‍යාන්තර වෙළෙඳ පොළට තිත වැටී ඇති නිසාවෙනි.

ලංකාවේ මැණික් අපනයනය අප රටේ ප්‍රධානම ආදායම් මාර්ගයකි. මේ වන විට ජාත්‍යන්තරය සමඟ පැවැති ලංකාවේ මැණික් වෙළදාම 90% ක් පමණ නැවැති ඇති අතර ලක්ෂ ගණනකට ජීවත් වීමේ ආදායම් මාර්ග පවා අහිමි වි ඇත. කොවිඩ් හේතුවෙන් මාර්තු මාසයේ සිට කඩා වැටුණු ලෝකයේ මැණික් කර්මාන්තය යම් ආකාරයකින් ගොඩ ගන්නට ඔන් ලයින් ක්‍රමය හරහා සිය අලෙවි කටයුතු සිදු කරන්නට බොහෝ රටවල් පෙළඹී සිටියි. එහෙත් ලොව හොඳම මැණික් ගල් හිමිවන ලංකාවට එවැනි පහසුකමක් තවමත් හිමි වී නැත්තේය. මේ හේතුවෙන් මැණික් අපනයනකරුවන්ට පමණක් නොව පතල් කර්මාන්තයේ නියැලෙන්නන්ටද මුහුණ දෙන්නට සිදුව ඇත්තේ දැඩි අසීරුතාවයකටය.

“මේ ක්ෂේත්‍රයේ ලක්ෂ 4 ක පිරිසක් සේවයේ යෙදිලා ඉන්නවා. අද එයින් තුනෙන් එකකගේම ජීවන මාර්ග නැවතිලා. මැණික් ගලක් විකුණන්න නම් එක්කෝ අපේ රටට ගැනුම්කරුවන් එන්න ඕන. නැතිනම් එ් අය අපේ රටට යායුතුයි. අපේ මැණික් ගල්වලට හොඳ ඉල්ලුමක් තියෙන්නේ ඇමරිකාව, චීනය, හොංකොං, ඉන්දියාව, තායිලන්තය, යුරෝපය වැනි රටවලින්. ඒත් කොවිඩ් නිසා අද මේ රටවලට ගිහින් මේ කටයුතු සිදු කරන්න බැහැ. ඔන්ලයින් ක්‍රමය හරහා විකුණන්න පුළුවන් පොඩි ගල් විතරයි. ඩොලර් 200-500 ගලක් ඔන්ලයින් හරහා විකිණුවත් ඩොලර් 50,000 වැනි මිල අධික ගල් මේ මඟින් විකුණන්න බැහැ. මේ වෙළදාමේදි දෙපැත්තේම විස්වාසනීයක්වය ඉතා වැදගත්. අනිකුත් භාණ්ඩ මෙන් වීඩියෝවක් පෙන් වූ පමණින් මැණික් ගලක් විකුණන්න බැහැ. ඒ වගේම ඔන්ලයින් ක්‍රමය හරහා නොදන්නා තැන්වලට මෙන්ම නොදන්නා කුරියර් සේවාවන් මඟින් මැණික් ගල් යවන්නත් බැහැ. මේ තත්ත්වය අපිට තවත් කොපමණ කාලයක් බලා සිටින්න සිදුවෙයිද? මේ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එක්කෝ ගුවන් තොටුපළ හරහා අපේ අයට යන්න දෙන්න. නැතිනම් ඒ ගැනුම්කරුවන්ට අපේ රටට එන්න දෙන්න කියලයි. සංචාරකයින් ලංකාවට පැමිණීමෙන් ලැබෙන ආදායමට වඩා ඔවුන් අපේ රටින් මැණික් ගැනීමේදි වැඩි ආදායමක් රටට හිමි වෙනවා. අපිට තියෙන ප්‍රශ්න ගැන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමඟ සාකච්ඡා කළා. ඒත් කිසිම විසදුමක් මේ වන තෙක් ලැබුණේ නැහැ. මේ සඳහා යන ආදායම් බදු පවා අඩු කර නැහැ. ....“ ඒ ශ්‍රි ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අශාන් රිෆායි ය.

මැණික් ව්‍යාපාරකයින්ගේ හා පතල් කරුවන්ගේ මහා සංගමයේ මේ වන විට මැණික් කර්මාන්තයේ නියැළෙන්නන් 500 කට අධික පිරිසක් ලියාපදිංචිව ඇත්තේය. එසේම වසරකට මැණික් කර්මාන්තයේ නියැළෙන පතල්කරුවන් 3000 -4000 ක් අතර පිරිසකට බලපත්‍ර හිමි වන්නේය. මේ සංඛ්‍යා ලේඛණ අනුව ලංකාව පුරාම මේ ක්ෂේත්‍රයේ නියැළෙන්නෝ ලක්ෂ 3 කට ආසන්න ප්‍රමානයක් ඇති අතර සාම්ප්‍රදායික පතල් කර්මාන්තයේ නියැළෙන්නෝ 50,000 ක් පමණ වෙති. කෙසේ වෙතත් මැණික් ගැරීමේ, මැණික් කැපීමේ හා ඔප දැමීමේ සිට මහා පරිමාන ව්‍යාපරිකයන්ගේ දක්වා මේ වන විට සුවිශාල පිරිසක් සිය කටයුතු අඩපණ වීමෙන් විවිධ ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විඳිති.

“රාජ්‍ය ආදායමෙන් යම් ප්‍රමාණයක් ලැබෙන්නේ මැණික් අපනයනයෙන්. අද මැණික් විකුණාගන්න විදියක් නැහැ. මීට යම් පිළියමක් විදියට විදේශ රටවල් ඔන්ලයින් ක්‍රමය හරහා මැණික් ව්‍යාපාරයේ යෙදෙනවා. ඒත් අපට පොඩි ගල් පමණයි, ඔන්ලයින් හරහා යවන්න පුළුවන්...“ ඒ මැණික් ව්‍යාපාරකයින්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ ලේකම් තූපකුමාර මාතොටආරච්චි ය.

“අපේ කර්මාන්තයේ බිඳ වැටීම කොතරම්ද කියනවානම් අද මැණික් ගලක් විදේශ රටකට විකුණන්න බැරි තත්ත්වයක් උදාවෙලා. අපිට ගනුදෙනු කරුවන් ළඟටවත් , ඒ අයට අපි ළඟටවත් එන්න බැරි තත්ත්වයක් උදා වෙලා. ඒ වගේම සංචාරක කර්මාන්තය කොවිඩ් නිසා අද කඩා වැටිලා. ලංකාවේ සංචාරකයින් නැති නිසා කුඩා ගලක්වත් විකුණන්න විදියක් නැහැ. නමුත් 10-15% ක් පමණ ඔන්ලයින් ක්‍රමය හරහා මේ බිස්නස් එක කර ගෙන යනවා. නමුත් මේ කුඩා ගල් පවා යවන්න ඕන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහායි. ඒත් අපි ඉල්ලන්නේ ඩොලර් 3000 ට අඩු මැණික් ගල් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා නොගොස් සෘජුව අපිට විකුණාගන්න අවසර දෙන ලෙසයි. මැණික් ගලක් ඔන්ලයින් ක්‍රමය හරහා යද්දි රක්ෂණය කරන්නත් 1% ක මුදලක් යනවා. පතල් කර්මාන්තයේදී හමුවන හොඳම ගල් පමණයි මේ හරහා විකිණෙන්නේ. මේ නිසා මේ වන විට ගොඩාක් පතල් නැවතිලා..........“ මැණික් ව්‍යාපාරකයින්ගේ හා පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන්ය‍

ඔවුන් පවසන පරිදි පසුගිය කාලයේ පතල් කර්මාන්තයෙන් හමු වූ ගල් අතරින් 70% ත්ම බාල වර්ගයේ ගල්ය. මේ ගල් ඔවුන්ට විකුණාගත නොහැකි නිසා ඔවුහු කෙදිනක හෝ විකුණාගන්නා අරමුණින් ඒවා සුරක්ෂිතව තබා ගනිති. කෙසේ වෙතත් කොවිඩ් වසංගතය නිසාවෙන් මේ වන විට මැණික් ගලේ වටිනාකමද අඩුව ගොස් ඇත්තේය. බාල වර්ගයේ ගල් 50% කින්ද, වටිනා ගල් 25-30% කින්ද අඩු ව ඇත්තේය.

“අපිට මැණික් සඳහා හොඳ ජාත්‍යන්තර වෙළෙඳ පොළක් තියෙනවා. ලංකාවේ මේ වන විට ඔන්ලයින් හරහා මැණික් අපනයනය සිදු වන්නේ සතියකට දින දෙකයි. දිනකට පාර්සල් 100 ක් විතර අපනයනය කරනවා. ඒත් පසුගිය සතියේ කොවිඩ් රෝගියෙකු නිසා අපේ කාර්යාලය තාවකාලිකව කඩුවෙලට ගෙන ගියා. ඒ තත්ත්වය තිබියදිත් අපි පාර්සල් 29 ක් අපනයනය කළා. දැන් නැවතත් සුපුරුදු ආකාරයෙන් කර ගෙන යනවා. මැණික් ව්‍යාපාරිකයින්ට ප්‍රශ්න තියෙනවා. කොවිඩ් තිබියදී වුවත් අපි ඔවුන්ගේ ප්‍රශ්න විසදන්නට කටයුතු කරනවා. මැණික් අපනයනයේදී කුරියර් සේවාවන්ට විශාල මුදලක් අය කරනවා. කිසිදු සහනයක් ලැබී නැති බව අපි පිළිගන්නවා. අපි මේ පිළිබඳව ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා. පතල් සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු ලිහින් කරන ලෙසත් සියලු කටයුතු එක වහලක් යට ඉටු කර දෙන ලෙසක් ජනාධිපතිතුමා අපට පැවැසුවා. ඒ වගේම පතල් කර්මාන්තයේදී පතල පවතින ගමේ අයටත් යම් ආදායම් මාර්ගයක් හිමි වන පරිදි පතල්වල වැඩ කටයුතු පවත්වා ගෙන යන්නටත් අපි උපදෙස් දුන්නා. ඒ වගේම විශාල පතල් සංඛ්‍යාවකටත් පතල් කර ගෙන යන්න බලපත්‍ර ලබා දුන්නා. .....“ ඒ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු අභ්‍යාස ආයතනයේ සභාපති තිලක් වීරසිංහ ය.

 

Comments