
මිනිසා ඇති කරන සුරතල් සතුන් අතර ඉදිරියෙන්ම සිටින්නේ බල්ලාය. බල්ලා සහ මිනිසා අතර මිතරුදමට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි. එහෙව් බල්ලා මරා මස් කනවාය කීම ඇසෙනවිටත් පිළිකුල දනවන්නේය. පුදුම හිතෙන්නේය. එහෙත් එය එසේය. ඇතැම් රටවල බලුමස් රසවත් කෑමක්ය.
බල්ලන් අතර බලු වර්ග තිබෙන්නේය. ඇතැම් වර්ග බලු නොවටින්නේය. මහ පාරේ තැන තැන අසරණව සිටිනු හමුවන්නේය. ඇතැම් වර්ග අධික මිලය. නඩත්තු කිරීමද පහසු නොවන්නේය. අර බලු නොවටින බල්ලන්ට කුමක් වුවද කාටවත් දුක නැත. මසට නැත්නම් පස් යටට වුවද දුකක් නැත.
එහෙත් අර පෙර කිව් මිල අධික බල්ලන් මරා මස් කන්නේ යැයි කිව හොත් අම්මෝ දරා ගන්නට බැරිය. ඔවුන් බේරා ගන්නට අධික ලෙස මුදල් වියදම් කරමින් වෙහෙසෙන්නේය. මේ එවන් වූ කතාවකි.
ගෝල්ඩන් රෙට්රීවර් යනු ලොව ඇති බලු වර්ග අතර ඉතා මිල අධික බලු වර්ගයකි. සැබවින්ම මේ බලුවර්ගය ඉතා සුරතල්ය. ඉතා කිකරුය. බල්ලන් සුරතලයට ඇති කරන ලොව බහුතරයක් ජනතාව මෙවැනි සුනඛයකු තම නිවසේ සුරතලා වනු දැකීමට කැමතිය. එහෙත් චීනයේදී නම් ගෝල්ඩන් රෙට්රීවර් හෝ ග්රේට් ඩේන් හෝ මහ පාරේ සිටින සුනඛයන් හෝ කියා වෙනසක් නැත. සැවොම රස කෑමක්ය.
ගෝල්ඩන් රෙට්රීවර් සුනඛයන් පිරිසක් චීනයේ ආහාර පිණිස විකිණීමට තබා ඇති බව ඇමරිකාවේ ෆ්ලොරිඩාහි ක්රියාත්මක ‘ගෝල්ඩන් රෙස්කිව් සවුත් ෆ්ලොරිඩා’ සංවිධානයට දැන ගැනීමට ලැබෙන්නේය. මේ සුනඛයන් ආරක්ෂීතව තමන් වෙත ගෙන්වා ගැනීමේ අරමුණින් යුක්තව ඔවුන් ක්රියාත්මක වන්නේ මීට මාසයකට පමණ පෙර සිටය.
අවසානයේ පසුගිය දෙසැම්බර් 22වැනිදා සුනඛයන් 20 දෙනෙක් ෆ්ලොරිඩාවට ගෙන්වා ගැනීමට මේ සංවිධානයට හැකියාව ලැබෙන්නේය.
මේ අවසන් සාර්ථක ප්රතිඵලය ලැබීමට පෙර ඔවුන්ට ඉතා අසීරු ඉලක්ක කිහිපයක්ම පසු කර යෑමට සිදුවිය. ප්රථමයෙන්ම මේ සුනඛයන් ගෙන්වා ගැනීම සඳහා මුදල් සොයා ගැනීමට සිදුවිය.
ඒ සඳහා ඔවුන් ෆ්ලොරිඩා ප්රන්තය පුරා සුනඛයන්ට ආදරය දක්වන පුද්ගලයන්ගෙන් මුදල් එකතු කළ අතර අවසානයේ ඔවුන්ට ඒ සඳහා ප්රමාණවත් මුදල් සොයා ගැනීමට හැකිවිය.
චීනයේදී මේ එක් සුනඛයකු සඳහා ඩොලර් 2,600ක මුදලක් වැය කිරීමට සිදු වූ අතර, ගුවන් ගමන සඳහා වෙනම මුදල් වැය කිරීමට සිදුවිය. අවසානයේ ඩොලර් 60,000කට වඩා වැඩි මුදලක් සමස්ත ක්රියාවලිය වෙනුවෙන්ම වැය කිරීමට සංවිධායකයන්ට සිදුවී තිබිණි.
නියමිත මිල ගෙවා සුනඛයන් ආරක්ෂිතව කූඩුවලට දමා ගුවන් ගමනට සියල්ල සූදානම් කළ පසු ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වූ බව දැනගන්නට ලැබිණි. ඒ අනුව තායිවානයේ දිගු වේලාවක් රැඳී සිටීමට සුනඛයන්ට සිදුවිය.
අමතර මුදල් වැය කරමින් කූඩුවල සිටි සුනඛයන්ට ආහාර සහ ජලය දීමට සංවිධායකයන්ට සිදුවූ නමුත් ඔවුන් කූඩුවලින් ඉවතට ගෙන මඳක් නිදහස දීමට කිසිවකු කැමති කරවා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැත. අවසානයේදී ඔවුන් දකුණු ෆ්ලොරිඩා ගුවන් තොටුපොළට පැමිණෙන විට නියමිත වේලාවට වඩා පැය 40ක් ප්රමාද වී තිබිණි. ගමනේ මුළු දුර ලෙස ඔවුන් සැතපුම් 8000ක් ගෙවා තිබිණි.
ඒ කෙසේ වුවද චීනයේ සිට පැමිණෙන සුනඛයන් සාදරයෙන් පිළි ගැනීමටත් ඔවුන්ගේ ඉදිරි භාරකාරයන් වීමටත් ඒ වන විටත් පිරිසක් සූදානමින් සිටි අතර ඉතා විඩාපත්ව සිටි සුනඛයන් ඉක්මන් ආහාරයකින් සහ දිය නෑවීමකින් පසු අතියිකරුවන්ට බෙදා දෙනු ලැබීය.
එහිදී දක්නට ලැබුණේ සුනඛයන් මෙන්ම ඉතා ප්රීතියට පත්වූ අයිතිකරුවන් පිරිසක් යැයි පැවසීම නිවැරදිය. සුරතලයට ලක් නොවීම නිසා ඇතැම් සුනඛයන්ට සුනඛ පුරුදු අමතක වී තිබූ බව ප්රකාශ වුවද ඇතැම් සුනඛයන් නම් තම අලුත් හාම්පුතුන් සමඟ සුරතල් වනු කැමරා කාචවල දර්ශනීය ලෙස සටහන්ව තිබිණි.
අවසානයේ සියල්ල ඉතා සුන්දර ලෙස නිමාව දුටු අතර සුනඛයන් ලද ඇතැම් දෙනා පවසා තිබුණේ ඒ දිනය මේ වසරේ ඔවුන් වඩාත්ම සතුටට පත් වූ දිනය බවයි.
අවසානයේ මිනිස් කෑම පිඟානකින් අවසන් වීමට තිබූ සුනඛ ජීවිත විස්සක් එසේ බේරා ගැනීමට සිත්පිත් ඇති මිනිසුන් පිරිසකට හැකියාව ලැබිණි.
එහෙත් මේ සුනඛයන් ගෝල්ඩන් රෙට්රීවර් වර්ගයට අයත් නොවන්නට ඔවුන්ට මේ තරම් අවධානයක් හිමිවනු ඇතිද යන්න සැක සහිත බව සටහන් කළ යුතුමය.