
- ආණ්ඩුවෙන් ඉවත් වෙන්න අපි කිසිම තීන්දුවක් ගත්තේ නැහැ
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරාදාන්න පුළුවන් පක්ෂයක් නොවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන බවට ප්රවෘත්ති වාර්තා වෙනවා. එහෙම තීන්දුවක් තිබෙනවාද?
නැහැ. ඒක අසත්‍ය ප්‍රවෘත්තියක්. අපි කිසිම තීන්දුවක් එහෙම අරගෙන නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක්ම මේ ආණ්ඩුව නියෝජනය කරනවා මෙන් ම ඇමැතිකම් රැසක් ද නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙනවා.
දැනට අපි එවැනි තීන්දුවක් අරගෙනත් නැහැ. අරගන්න බලාපොරොත්තුවක් ඇත්තෙත් නැහැ. අපි දැනට මේ රජය සමඟ වැඩකරගෙන යනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර තිබෙන ගැටලුව කුමක්ද?
ඔව්. අපි අතර ගැටලු තිබෙනවා. විශේෂයෙන්ම අපි අභ්‍යන්තරයේ කතා කළ යුතු ප්‍රශ්නයක් තිබෙනවා. මෙය මේ වනවිට අභ්‍යන්තරව කතා බහ කරලා විසඳාගන්න බැරි තැනකට තල්ලු වෙලා තියෙන්නේ. මොකද ඒකට හේතුව තමයි මේ සම්බන්ධව අපි බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළා.ඒ සාකච්ඡාවේදී ඒ ඒ දිස්ත්‍රික්කවල නායකයන් සමඟ එකතු වෙලා සාකච්ඡා කරන්න කීවා. හැබැයි ඒ සාකච්ඡා සඳහා සමහර දිස්ත්‍රික්කවල නායකයන් ප්‍රතිචාර දක්වලා තිබෙනවා. සමහර දිස්ත්‍රික්කවල ප්‍රතිචාර දක්වලා නැහැ. ඒ තුළ අපගේ පාක්ෂිකයන් විශාල කලකිරීමකට ලක්වෙලා තිබෙනවා.
විශේෂයෙන් ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අපිට 1064 ක් ඉන්නවා. එම මන්ත්‍රීවරුන් සම්බන්ධව අපිට වගකීමක් තිබෙනවා. මොකද අපි ගිවිසුම් ගහලා පක්ෂ සමඟ සම්බන්ධ වුණේ. ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති කරවන මැතිවරණ සටන සඳහායි. අපගේ පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් පාක්ෂිකයන් මෙන් ම මන්ත්‍රීවරුන් මේ සඳහා විශාල කැප කිරීමක් සිදු කළා. අපගේ ප්‍රධාන සංවිධායකවරු ලංකාව පුරාම ඉන්නවා. මේ අය විශාල කැප කිරීමක් සිදු කළා. ගෝඨාභය රාජපක්ෂයන් දිනවන්න.
ජනාධිපතිතුමන් බලයට ගේන්න අපි කැප වුණා වගේ ම අද පවතින ආණ්ඩු බලයට ගේන්න ඒ කැපවීම සිදු කළා. අපි මැති ඇමැතිකම් පැත්තකින් තියමු. නමුත් ගමේ සංවර්ධන කටයුතුවලදී අපගේ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලබාදෙන්නේ නැත්නම් ප්‍රාදේශීය සභාවට ඉල්ලපු මන්ත්‍රීවරයා ගණන් ගන්නේ නැත්නම් ඒ ගම ඇතුළේ ඔහුව අයින් කරලා වැඩ කටයුතු ටික සිදු කරගෙන යනවා නම් තනිවම මේක තමයි තිබෙන ප්‍රධානතම අර්බුදය.
ඔබ මේ රජය නියෝජනය කරන ඇමැතිවරයෙක්. මේ ආණ්ඩුව ෆේල් කියන චෝදනාව ඔබටත් එල්ල වෙනවා. සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් එල්ල කරන චෝදනාව ඔබ පිළිගන්නවාද?
ඒක කිසිසේත්ම පිළිගන්න බැරි චෝදනාවක්. මොකද ආණ්ඩුවක් ෆේල් ද පාස් ද කියන එක තීරණය කරන්න විපක්ෂයට බැහැ. ඒක තීරණය කරන්නේ ජනතාව. ජනතාව තමයි ආණ්ඩු පත් කරන්නේ සහ ගෙදර යවන්නේ. ඒක නිසා ආණ්ඩුව ෆේල් ද පාස්ද කියලා බලාගන්න තව අවුරුදු පහක් ඉන්න වෙනවා. විපක්ෂයවත් හරියට ගොඩ නඟාගන්න බැරි සමගි ජනබලවේගය අපිට චෝදනා කරන්නේ කොහොමද අපි ෆේල් ද පාස් ද කියලා.
මුලින් ම එයාලගේ අවුල් ටික නිරවුල් කරගන්න කියලා මම විපක්ෂයට මතක් කරදෙන්න කැමැතියි. අද සමගි ජනබලවේගයේ නායකයා කවුද කියන අවුල තිබෙනවා. නායකයෙක් ඉන්න කොට නායක කමට තවත් පිරිසක් පොර කනවා. එහෙම වෙන්න බැහැ. ඒක දේශපාලනය නොවෙයි. පක්ෂයක නායකයන් ගොඩක් ඉන්න බැහැ. හොඳ දැක්මක් යටතේ එක නායකයෙක් තමයි පක්ෂය ඉදිරියට රැගෙන යන්න ඕන. අනෙක් පිරිස ඔහුට සහය ලබාදිය යුතුයි. ජනාධිපතිතුමන් ෆේල් ද නැද්ද කියලා තීරණය කරන්නෙත් තවත් අවුරුදු හතරකින්.
අනෙක් කාරණය තමයි අද මුළු ලෝකයම දැවැන්ත අර්බුදයක ඉන්නේ. මේ කොවිඩ් වසංගතය සමඟ අපි රටක් හැටියට සැලකිය යුතු මට්ටමකින් ඒ සඳහා මුහුණ දෙමින් සිටිනවා. අද ලෝකය ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දේශපාලනික මෙන් ම සංස්කෘතික වශයෙන් දැවැන්ත කඩා වැටීමකට ලක් වෙලා තිබෙන්නේ. යහපාලන රජය එසේත් නැත්නම් එ.ජා.ප රජයක් තිබුණා නම් අද මේ රටේ අසරණ ජනතාවට ලක් වෙන ඉරණම හිතාගන්නවත් බැහැ.
අපි දන්නවා මීට පෙර පැවැති රජයට ගංවතුරක්වත් පාලනය කරගන්න බැරි වුණා. අද ලෝකයම මුහුණ දෙන මේ ගැටලුවට අපි මුහුණ දෙනවා. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. අද මේ හමුවේ තමයි ජනාධිපතිතුමාට මෙන් ම රජයට යම් යම් අර්බුදවලට මුහුණපෑමට සිදුවෙලා තිබෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධව සෑම පාර්ශ්වයක්ම සිතිය යුතුයි. ආර්ථික සමාජීය මේ ගැටලුව හමුවේ අපි රටක් හැටියට ගොඩනැඟීමට දැවැන්ත කාර්ය භාරයක් සිදු කරමින් සිටිනවා. මේ සඳහා විවේචන කරනවා වෙනුවට සිදු කළ යුත්තේ එක්ව නැගිටින්න සෑම දෙනා සහාය ලබාදීමයි. ලෝකයේ අනෙක් රටවල් ක්‍රියා කරන්නේ ඒ ආකාරයටයි.
පටු දේශපාලන මතිමතාන්තර ඉවත් කරලා රටක ජනතාව මුහුණපා තිබෙන ගැටලුවකට විසඳුම් සොයමින් මේ වසංගත පරාජය කර අපි ඉදිරියට යා යුතුයි. ඒ කර්තව්‍ය හැකි උපරිම අයුරින් අපගේ රජය ඉටු කරමින් සිටිනවා කියන එක මම පැහැදිලිවම කියන්න කැමැතියි.
වනාන්තර විනාශ කරනවා කියන චෝදනාව රජයේ ඇමැතිවරු කිහිප දෙනකුටම එල්ල වෙනවා නේද?
වනාන්තර විනාශ වුණා කියන කතාව බොරුවක්. හරක් ටිකක් කැලය ඇතුළට දාන්න ගියාට තමයි ඔය කතාව කියන්නේ. යම් යම් පුද්ගලයන් කරන ප්‍රකාශත් සමඟ තමයි මේ තත්ත්වය ඇතිවෙලා තිබෙන්නේ. අපි රජයක් හැටියට විතරක් නොවෙයි පුද්ගලයන් හැටියට පවා මේ වනාන්තර රැක ගන්න කටයුතු කරනවා. මොකද ඒක පුරවැසියන් සියලු දෙනාගේම වගකීමක්. වනාන්තර රැකුණොත් තමයි අපි රැකෙන්නේ කියන කතාව අද සියලුම දෙනා දන්නා කියන කාරණයක්. රජයක් හැටියට අපි සෑහෙන්න ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අරගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි එතුමාගේ චින්තනය පරිදි ඒ සියල්ලම ක්‍රියාත්මක වෙනවා.
2015 – 2019 දක්වා මේ රටේ සිදුවුණු වන විනාශය පිළිබඳව රටේ ජනතාව ඉතා පැහැදිලිව දන්නවා. රජයක් හැටියට අපි ඒ තත්ත්වය කිසිසේත් යළි ඇති වෙන්නට ඉඩ තබන්නේ නැහැ. ඒ අනුව රටේ වනාන්තර රැක ගැනීම මෙන්ම එය වර්ධනය කිරීම සඳහාත් අප රජය කටයුතු කරනවා.
පළාත් සභා මේ රටට අවශ්‍යද? ඒ සඳහා ඔබලා සූදානම් ද?
අනිවාර්යයෙන් ම පළාත් සභා මේ රටට අවශ්‍යයි. ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඒ වගේ ම ජේ.ආර්. ජයවර්ධන මෙය ගෙන ආපු ක්‍රමය වැරදියි. ඒක වෙන කාරණයක්. පළාත් සභා අවශ්‍ය නැත්නම් ඒකට විකල්පය කුමක්ද කියන එක අප කල්පනා කරන්න ඕන. මොකද බලය බෙදීමේ එක ක්‍රියාවලියක් තමයි පළාත් සභාව. පළාත් සභාවලට බලය බෙදීමේදී ඇතිවෙලා තිබෙන තත්ත්වයන් පාලනය කරන්න ඕන. එහෙම නම් 13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය අහෝසි කරන්න ඕන. ඒක තනියම අපිට කරන්න පුළුවන් කාරණයක් නොවෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දියාරු වෙලා නැතිවෙලා එහි අවසානය බව සමාජය තුළ මතයක් පැතිරෙනවා. ඔබ පක්ෂයේ මහලේකම්වරයා හැටියට කුමක්ද ඔබට කියන්න තියෙන්නේ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසානයි කියලා කවුරු හරි හිතනවා නම් ප්‍රචාරය කරනවා නම් ඒක සම්පූර්ණ මිත්‍යාවක්. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ නොමියන පක්ෂයක්. මේ රටට දක්ෂ නායකයින් බිහි කරපු මේ රට ගොඩ නගන්න දැවැන්ත කාර්ය භාරයක් කරපු පක්ෂයක්. ඔය කතාව මීට පෙරත් අවස්ථා ගණනාවකදී යම් යම් පුද්ගලයන් කණ්ඩායම් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදටත් ශක්තිමත්ව ඉදිරියට යනවා. අපගේ පක්ෂය නියෝජනය කරන නායකයන් රැසක්ම අදත් පාර්ලිමේන්තුවේ සිටිනවා.
බොහෝ අය කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අන්තිම ඇණය ගහනවා කියලා. මේ ආකාරයේ නොයෙක් ප්‍රකාශන සිදු කළා. නමුත් සත්‍ය වශයෙන්ම පක්ෂය එහෙම අවසන් කරන්න බැහැ කියන එක බොහොම පැහැදිලිව මේ රටේ ජනතාව ඔප්පු කරලා තිබෙනවා. ඉකුත් මහ මැතිවරණයේදීත් සමහර අය කීවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවසන් කියලා. ඒ වගේම පාර්ලිමේන්තුවට පස් දෙනෙක්වත් එන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි අපි දාහතර දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු බිහිවනවා. ඒ විතරක් නොවෙයි අවසානයේදී දිස්ත්‍රික්ක දෙකක ඊළඟට එන්න ඉන්නේ අපේ මන්ත්‍රීවරුන්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දමන්න පුළුවන් පක්ෂයක් නොවෙයි. අපි නැවත මේ පක්ෂය ශක්තිමත්ව නැඟී සිටිමින් රටේ ජනතාවගේ හදවතට කතා කළ හැකි තත්ත්වයට පත් කරමින් අපි මේ පක්ෂය නැවත ගොඩනඟනවා. එය දැනටමත් සිදු කෙරෙමින් පවතිනවා.