ජනපති හා බැසිල් ගම හදන සටනේ | සිළුමිණ

ජනපති හා බැසිල් ගම හදන සටනේ

- විපක්ෂ නායක සජිත් බදුල්ලේ සහ ගාල්ලේ වැඩසටහන් රැසක
- අගමැතිගෙන් පොලොන්නරුවේ සොළොස්මස්ථානයට පූජා භූමි සන්නසක්
- කොරෝනා මෘත දේහ ගැන අලි සබ්‍රි-රනිල්-සජිත් මත ගැටුමක
- ප්‍රසන්න, ගීතා, චන්දිම බෙන්තොටදී වොලිබෝල් ක්‍රීඩාවේ
- සංචාරකයන් ගෙන එනවාට පාඨලීගෙන් විරෝධය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගමින් ගමට ගොස් ජනතාවගේ ගැටලු විසඳන බවට ජනතාවට පොරොන්දු වූයේ දැනට වසරකට පමණ ඉහතදී ය. ජනාධිපතිවරණ සටනේදී වේදිකාවෙන් වේදිකාවට නොයෙක් පොරොන්දු දෙනවා වෙනුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන් විසින් ඉදිරිපත් ඉදිරිපත් කර තිබූ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අදාළව මැතිවරණ සටන මෙහෙයවීමට වගබලා ගත්තේය. 

කළ හැකි දේ පමණක් ප්‍රකාශයට පත් කිරීම නිසාවෙන්ම ලක්ෂ 69 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට ඔහුට හැකි ව‍ූයේ මෙවැනි කාරණා නිසාවෙනි.

මැතිවරණ සටනේදී පුද්ගලයන් සහ පුද්ගල වාද වලට නොගිය ගෝඨාභය කිසිවෙකුට මඩ ගැසුවේද නැත. හික්මීම, විනය මෙන් ම නීතිගරුකව ඔහු මැතිවරණ සටන ගෙන යාමට ද වගබලා ගත්තේය.

කොරෝනා වසංගතය ලෝකයම වෙලා සිටින අවස්ථාවක සංවර්ධිත රටවල් යැයි කියාගන්නා රටවල් වල ජනතාව දස දහස් ගණනින් මිය යද්දී ලක්ෂ ගණනින් පුද්ගලයන් රෝගීන් බවට පත්වෙද්දී මෙරට කොරෝනා උවදුර පාලනය කිරීමටද නව ක්‍රම භාවිතා කිරීමට ජනාධිපති ගෝඨාභය වගබලා ගත්තේ ය.

මැතිවරණයේදී පොරොන්දු වූ බොහෝ කරුණු දැන් දැන් තමන්ට හැකි අයුරින් ඉටු කිරීමට බොහෝ බාධක වැට කඩුලු මැද්දේ ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටී.

‘ගම සමඟ පිළිසඳර’ මින් එක් වැඩසටහනකි. එය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය උපදෙස්වලට මූලික තැන ලබා දෙමින්ය.

මෙහි පළමු වැඩසටහන ඉකුත් සැප්තැම්බර් මාසයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේදීත් දෙවන අදියර ඔක්තෝබර් මාසයේදී මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රිතව පැවැත්වුණි. මෙහිදී සාමාන්‍ය ජනතාවට ඍජුවම සියලු ගැටලු ජනාධිපතිවරයා වෙත යොමු කිරීම පිළිබඳව කාගේත් කතාබහට ලක්වූ අතර එම ගැටලුවට අදාළ නිලධාරීන් හරහා එම අවස්ථාවේදීම පිළිතුරු ලබාදීම මෙන් ම ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ක්‍රියාත්මක වීම සුවිශේෂී කාරණයකි. මේ පිළිබඳව සාමාන්‍ය ජනතාව ගෝඨාභය ජනාධිපති කෙරෙහි ලොකු ගෞරවයකින් කතා බහ කිරීම රජය ලැබූ විශාල ජයග්‍රහණයකි.

ඉකුත් සතිය පුරාවටම ගෝඨාභය රාජපක්ෂ වැඩසටහන් රාශියකට සහභාගි වූ අතර ගම සමඟ පිළිසඳර වැඩසටහන සඳහා බළංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ගම්මානය බලා පිටත් වූයේය.

ගෝඨාභය ජනාධිපති එහි පැමිණෙන තුරා ගම්මාන කිහිපයකම ජනතාව රාවණාකන්ද තෝරවෙල්කන්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියට රැස්ව සිටියහ.

රත්නපුර දිස්ත්‍රික්කයේ එක් කෙළවරක මෙන් ම නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම්ව බළංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ රාවණාකන්ද ගම්මානය පිහිටා තිබේ.

“ජනාධිපතිතුමාට අපි අපේ ප්‍රශ්නය කෙළින්ම කියන්න ඕන. මොකද අපි කී සැරයක් දේශපාලනඥයන්ට කීවද අපිට සහනයක් ලබාදුන්නේ නැහැ. ගම්වැසියකු තමන් ළඟ සිටි හිතවතෙකුට කීවේය.”

“අපි රා මදින්නේ විකුණන්න නොවෙයිනේ. අපි රා මදින්නේ පැණි ටිකක් හදාගන්න. ළමයින්ට කන්න අඳින්න අරන් දෙන්න අපිට වෙන ක්‍රමයක් නැහැ. ගම්වැසියා අතර සිටි අනෙක් පුද්ගලයා කීවේය.

කිතුල් මැදීම සම්බන්ධව ගැටලු රාශියක් පිළිබඳව මෙහිදී ඔවුන් දෙදෙනා අතර කතාබහ දුර දිග ගියේය.

“ඔය ළමයි කවුරුත් කිසිම දේකට බය වෙන්න ඕන නැහැ. අද ඔය හැම එකටම පිළිතුරක් ලැබෙයි. අපිත් අපිට කරන්න පුළුවන් දේ කරලා දීලා තිබෙනවානේ යැයි ඇමැති පවිත්‍රා පැවසුවාය.

පවිත්‍රා ඇමැතිවරිය තමන් අසලට පැමිණෙන තෙක් ගම්වැසියන් දෙදෙනා ඒ බැව් ‍දැන නොසිටියහ.

ඔබතුමියලා මේ ගැන කතා කරලා ගියාට සුරාබදු නිලධාරීන් වන අඩවි නිලධාරීන් අපිට කරගෙන යන්න දෙන්නේ නැහැ‍. ඒ නිසා අද අපිට මේකට පිළිතුරක් ලබාගන්න පුළුවන් වේවි නේද තවත් කිතුල් පැණි රැකියාව කරගෙන යන තරුණයෙක් ඇමැතිවරියට කීවේය.

මේ අතර ජනාධිපතිවරයා එහි පැමිණ සංවාදය ආරම්භ කෙරිණි.

ගමේ පාරවල් නොමැතිවීම නඩත්තු නොකිරීම තේ දලු නෙළීම ඇතුළු තම අවශ්‍යතා ඉටු නොවීම සම්බන්ධව ජනාධිපතිවරයාට මෙහිදී ජනතාව ඍජුව සිය ගැටලු ඉදිරිපත් කරනු ලැබීය.

රාවණාකන්දට මාර්ග හතරක් පාලම් තුනක් අලුතින් ලබාදීම කිතුල් සහ තේ කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම වෙද, හෙද සහ ගුරු හිඟයට පිළියම් ලබාදීම ඉඩම් ගැටලුවලට කඩිනම් විසඳුම ලබාදීම ඇතුළු තීන්දු තීරණ ගණනාවක් සඳහා මෙම ගම්මානයේ ජනතාවට පිළිතුරු ලැබුණි.

බළංගොඩ ආනන්ද මෛත්‍රී පාසලේ නමවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සදෙව් දිනිරාද් ප්‍රනාන්දු ශිෂ්‍යයා සිදු කළ නව නිර්මාණය ජනාධිපති විසින් ඇගයීමට ලක් කළේය. සිය ශරීර උෂ්ණත්වය තමාම පරීක්ෂා කර විෂබීජ හරණය ද එම යන්ත්‍රය මගින් සිදු කරන ද්විත්ව හැකියාවක් මෙම යන්ත්‍රය සතුය.

ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ බ්‍රහස්පතින්දා බෙන්තොට ගියේය‍. ඒ සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර තිබූ දිවා රාත්‍රි වොලිබෝල් ක්‍රීඩා පිටියක් හා සයුරු ඉම විවේකාංගනය විවෘත කිරීමටය. මේ අවස්ථාවට ගීතා කුමාරසිංහ, චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.

මුලින්ම තිබුණේ වොලිබෝල් ක්‍රීඩා පිටිය විවෘත කිරීමය. මුල්ම බෝලය යොමු කිරීම භාර වුණේ ඇමැති ප්‍රසන්නටය. ප්‍රසන්න ඉතා හොඳින් බෝලය යොමු කළේය. ප්‍රසන්න යොමු කළ බෝලය ගොස් අනෙක් පැත්තේ හරියටම මැද පතිත වූයේය. ඊළඟ ඇරයුම ගීතාටය. ගීතා යොමු කළ බෝලය දැලේ වැදී බිම වැටිණි.

“අයියෝ....” ගීතා කීවේ කණස්සල්ලෙනි.

“ඕවා ඔහොම තමයි මන්ත්‍ර‍ීතුමිය කනගාටුවෙන්න එපා” ප්‍රසන්න කීවේය.

“මේවා හැමෝටම කරන්න බෑ... කියමින් චන්දිම බෝලය අතට ගත්තේ ඊළඟ වාරය ඔහුගේ නිසාය.

චන්දිමගේ බෝලය කෙළින්ම ගියේ පිටියෙන් ඉවතටය.

“ඔව් ඔව් ඒවා හැමෝටම කරන්න බෑ තමයි” කීවේ ප්‍රසන්න ඔහුට විහිළු කරමින්ය.

මේ අතර එතනට පැමිණ සිටි හෝටල් හිමියෝ, සංචාරක මාර්ගෝපදේශකයෝ ඇතුළු පිරිසක් ඇමැති ප්‍රසන්නව වට කරගෙන සිය දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නට පටන් ගත්හ.

“විදුලි බල මණ්ඩලයෙන් අපේ ලයිට් කපන්න රතු බිල් එවලා” එක් කාලයත් දීලා තියෙන්නේ. ඒක තව මාස 06 ක් දික් කරන්න අපි ඉල්ලලා තියෙන්නේ.”

“අනේ ඇමැතිතුමා පුළුවන් තරම් ඉක්මනින් එයාෆෝර්ට් අරින්න. නැත්නම් අපි ඉවරයි.”

“අපි අනිවාර්යයෙන් සංචාරකයන්ට රට විවෘත කරනවා. හැබැයි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ප්‍රසන්න සහතික වූයේය.

පසුගිය සතියේ ජනාධිපති ගෝඨාභය අගමැති මහින්ද මෙන්ම ආර්ථික පුනර්ජීවන කමිටුවේ සභාපති බැසිල් ද විටින් විට ඇමැති ප්‍රසන්න ඇමතුවේ සංචාරකයන්ට රට විවෘත කිරීම වැඩපිළිවෙළ ගැනය. සෞඛ්‍ය අංශ සමඟ ද කථා කරමින් ඔහු මෙහි ප්‍රගතිය සොයා බැලුවේය.

මේ අතර බැසිල් ආරම්භ කර ඇති ‘ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට’ වැඩසටහනේ බස්නාහිර පළාත් රැස්වීම පසුගිය සඳුදා උදේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී බැසිල් කීවේ ජනවාරි වනවිට බස්නාහිර පළාත එකම කොවිඩ් රෝගියෙකුවත් නොමැති පළාතක් බවට බස්නාහිර පත් කළ යුතු බවයි.

රැස්වීම අවසානයේ බැසිල්, ප්‍රසන්න, ලන්සා, මිලාන්, උපුල්, පියල් ඇතුළු පිරිස කතාබහ කරමින් සිටියේ ර‍ෙට් තත්ත්වය ගැනය.

“ඇමැතිතුමා සංචාරක ව්‍යාපාරයේ නිරතවෙලා ඉන්න අය හුඟක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා ඉක්මනට සංචාරකයන්ට රට විවෘත වෙනවා නම් හොඳයි” ලන්සා කීවේය.

“මම ඇමැති බව ඇත්ත ඒත් මෙතනදී අපිට තීන්දු තීරණ ගන්න වෙන්නේ සෞඛ්‍ය අංශ එක්ක; එහෙම හිතුමතෙට තීරණ ගන්න බෑ” ප්‍රසන්න කීවේය.

“මම දැක්කා රාජිත කියලා තියෙනවා රට සංචාරකයන්ට විවෘත කළාට වැඩක් නෑ රටට සංචාරකයෝ එන්නේ නෑ කියලා” උපුල් කීවේය.

“ඇයි චම්පික කියලා තිබුණේ ගුවන් තොටුපළ විවෘත කළොත් සංචාරක පොකුරු හැදෙයි කියලා මිලාන් කීවේය.

“රාජිතලාට පාඨලීලාට ඕන රට සදාකල් වහල තියන්න. රට වහලා ආර්ථිකය වැටෙනවාට තමයි ඔය කට්ටිය කැමැති. ඒ නිසා තමයි ඔය බොරු බිල්ලෝ මවන්නේ.”

“මම නම් කියන්නේ අපේ රට තමයි ලෝකයේ කුහකම විපක්ෂය ඉන්නේ විපක්ෂයට ජනතාවට හෙණ ගැහුවත් කමක් නෑ තමන්ට වාසි වෙනවා නම්” ලන්සා කීවේය.

“ඔව් ඒක නම් ඇත්ත. මම දැක්කා විපක්ෂය කියලා තියෙනවා සංචාරකයෝ එනකොට පිටරටවල ඉන්න ලාංකිකයෝ ගෙන්නන එක නවතියි කියලත්” පියල් කීවේය.

“පට්ටපල් බොරුනේ. අපි රට ඉන්න අපේ අය ගෙන්නන එක නවතින්නේ නෑ. දැනටත් 50,000 ක් විතර ගෙන්නලා තියෙනවා තවත් 50,000 ක් විතර රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒ අයවත් අපි ගේනවා” ප්‍රසන්න කීවේය.

සමාජ මාධ්‍ය සහ නොයෙක් සංවිධාන විපක්ෂය විසින් රජය දැඩි ලෙස විවේචනය ලක් කරමින් සිටී.

විශේෂයෙන් ම මුහුණු පොත පුරා ඉකුත් සතියේ දස දහස් ගණනින් ආණ්ඩු විරෝධී ‘පොස්ට්’ සංසරණය විය.

ඒ විරෝධය ආවේ කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් මිය ගිය මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් පුලුස්සා දැමීමට දැඩි විරෝධයක් මුස්ලිම් නායකයින් දේශපාලන පක්ෂ විසින් දැක්වීමත් සමඟ එම මෘත ශරීර තාවකාලිකව ගීත කාමරවල තැබීමට ක්‍රියා කිරීමත් සමඟය.

කොරෝනා රෝගය වැලඳීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර පුලුස්සා දැමීමට ලෝකයේ බොහෝ රටවල් මෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණ ගෙන තිබුණේ හේතුවක් ඇතිවය.

ජලය රඳා පවතින භූමිවල මෙම මෘත ශරීර වළලා දැමීමෙන් කොරෝනා වයිරසය මියගිය පුද්ගලයාගෙන් එම ජලයට එක්වී ව්‍යාප්ත වීමේ අවධානමක් තිබෙන බව සෞඛ්‍ය අංශ විසින් සොයා ගෙන තිබුණි. මේ නිසාවෙන් මෙරට තුළ මිය යන කොරෝනා රෝගීන්ගේ මෘත ශරීර ඉතා ඉක්මනින් රෝහල් ආදාහනාගාර වෙත ගෙන ගොස් පුලුස්සා දමා එම ආදාහනාගාරය මෙන්ම ඒ අවට විෂබීජ හරණය කිරීමට ලක් කරයි.

එහෙත් මේ වනවිට කොරෝනා රෝගය වැලඳීමකින් මිය යන මුස්ලිම් ජාතික රෝගීන්ගේ දේහය ශීත කාමර තුළ තබා තිබීම පිළිබඳව ජනතාව රජයට මෙන් ම මුස්ලිම් දේශපාලන නායකයන්ට දැඩි විරෝධතාවක් දක්වති. රජය මේ සම්බන්ධව ඍජුව ක්‍රියා නොකරන්නේ මන්දැයි ජනතාව දිගින් දිගට ප්‍රශ්න කරන අතර රජයේ ප්‍රබල ඇමැතිවරයකු වන අධිකරණ ඇමැති අලිසබ්‍රිරි මේ සම්බන්ධව මුනිවත රකින බවට ද බහුජන සංවිධාන මෙන් ම ආගමික නායකයන් ජනමාධ්‍ය ඔස්සේ නොයෙක් වි‍රෝධතා දක්වනු ලබයි.

කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කළ යුතු බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් බොරැල්ල කනත්ත ඉදිරිපිට විරෝධතාවක ද නිරත වූහ.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල විපක්ෂය දැඩි විවේචනයකට ලක් වූ අතර කොරෝනා රෝගය බෝ කිරීමට රජය මෙන් ම විපක්ෂය කටයුතු කිරීමේ උත්සාහයක නිරත වන බවට නොයෙක් දෙසින් චෝදනා එල්ල කෙරිණි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශකර සිටියේ කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගත යුත්තේ සියලු ආගමික නායකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බවය. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයට පසුගියදා රැස්වූහ.

“අපි මේ සඳහා බොහෝ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කළ යුතුයි. මේක ටිකක් ලෙහෙසි තීන්දු තීරණයක් නොවෙයි රනිල් කීවේය.

“ඒ ඒ ජනකොටස්වල අයිතිවාසිකම් තිබෙනවා. මේ නිසා බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් මේ සෑම ආගමකම නායකයන් සමඟ සාකච්ඡා කළා නම් මෙය පහසු වෙනවා යැයි ද රනිල් වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් 19 ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මරණ සම්බන්ධයෙන් වෙනස් මතවාද ගැන සාකච්ඡා කොට ඒ පිළිබඳව අධ්‍යයනය කර වෛද්‍ය මතයන් මෙන් ම විශේෂඥයන්ගේ මතය සැලකිල්ලට ගෙන මෙය විසඳාගත යුතු බව අධිකරණ ඇමැති අලි සබ්‍රි මේ සම්බන්ධව පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් මරණ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා. අපි බලන්නේ පූර්ණකාලීන විසඳුමක් ලබාදෙන්න. රටේ සෞඛ්‍ය තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ” සබ්‍රි වැඩිදුරටත් කියයි.

මෙවර නත්තල් ප්‍රධාන දිව්‍ය යාගය ප්‍රථම වරට බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදනය රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටදීම නිමවා සියලු රදගුරුතුමන් හටත්, පූජා ඇඳුම් හා දිව්‍ය පූජාවන් සඳහා අවශ්‍ය අයිත්තම් භාරදීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

ප්‍රධාන නත්තල් දේව මෙහෙය කඳාන ශුද්ධවූ සෙබස්තියන් දේවස්ථානයේ පැවැත්වූ අතර එය අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් සිදුකරනු ලැබීය.

“අපිට අපගේ දේවල් රැකගනිමින් ලෝකයට ඒ දේවල් ලබාදීමට හොඳ අවස්ථාවක් මේක. මේ කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාවට ලෝකය තුළ හොඳ නමක් තිබෙනවා. ලොව වටිනාම කියන ආගමික උත්සවයකට මෙලෙස සම්බන්ධ වීම මා සතු භාග්‍යයක් යැයි මෙහිදී ඇමැති දයාසිරි කීවේය.

මේ අතර පසුගිය සතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලොන්නරුවේ සොළොස්මස්ථානයේ හා අනුරාධපුරයේ අටමස්ථානයේ ආගමික උත්සව රැසකට එක් විය‍. එහිදී අගමැතිවරයා පොලොන්නරුවේ සොළොස්මස්ථානය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස ද මහ සංඝරත්නය වෙත පිරිනැමීය.

සමගි ජනබලවේගයේ බිම් මට්ටමේ පක්ෂ සාමාජිකත්වය ප්‍රවර්ධනය කිරීම ඉකුත් සතියේදී යළිත් ආරම්භ වූයේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්ය. බදුල්ල දිස්ත්‍රික් දිනමු වැඩසටහන සාර්ථක කර ගැනීමට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සතියකට පෙර බදුල්ලට ගොස් සිටියේය. චමින්ද විජේසිරි, රවී සමරවීර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, වඩුවෙල් සුරේෂ් ඇතුළු මන්ත්‍රීවරු එකා මෙන් වැඩ කරමින් වැඩසටහන සාර්ථක කරගැනීමට සිය උපරිම දායකත්වය ලබාදුන්හ.

බදුල්ලට පැමිණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පාක්ෂිකයන් හමුවෙමින් දිනමු වැඩසටහන ක්‍රියාත්මක කරන අවස්ථාවේ සාමාන්‍ය ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු ගැන සොයා බැලීමට අමතක කළේ නැත. ප්‍රථමයෙන් අර්තාපල් වගා බිමක් වෙත සජිත් ගියේය.

“මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න විපක්ෂ නායකවරයා ඇසුවේය. 

“සර් අපිට පොහොර නෑ” ගොවි ජනතාව තමන්ගේ මැසිවිලි ඉදිරිපත් කළහ.

“අර ආණ්ඩුවෙන් කියන්නේ පොහොර දෙනවා කියලා ගොවියාට. ඒක ඔබතුමන්ලාට ලැබෙන්නේ නැද්ද? සජිත් විමසුවේය.

“ආ‍ණ්ඩුවෙන් නොමිලේ දෙනවා කියපු පොහොර තියා සල්ලිවලටවත් පොහොර ලැබෙන්නේ නැහැ. මේ වගාව කරන්න හරිම අමාරුයි. ගොවි ජනතාව නැවත මැසිවිලි නැඟූහ.

ඉන් පසුව විපක්ෂ නායකවරයා ගම්මිරිස් වගාකරුවන් හමුවීමට ගියේය. ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර ඒවා සඳහා ලබාදිය හැකි පිළිතුරු පිළිබඳව සාකච්ඡා කළේය. ගම්මිරිස්වලට හොඳ මිලක් ලබාදීමට රජයට නොහැකි වීම පිළිබඳව විපක්ෂ නායකවරයා මෙහිදී සිය අවධානය යොමු කළේය. මේ අතර තම පියා‍ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති උදාගම්මානය වෙත යාමට ද විපක්ෂ නායකවරයා අමතක නොකළේය. එහිදී එම නිවාසවල පදිංචිකරුවන් සමඟ සුහද කතා බහක ද නිරතවිය.

“මේ ගමට ප්‍රේමදාස මහත්තයා ‘වාසනාගම’ කියල නම් කළා” ඒ වගේම ගමට වාසනාවත් උදා වුණා ජනතාව කීහ.

“ජනතාවට සේවය කිරීමට අපි ආණ්ඩුවට උදවු කරනවා. එහෙම කියලා ජනතාවට විරුද්ධව වැඩ කරන විට අපි ආණ්ඩුවට එරෙහිව නැඟී සිටිනවා” සජිත් කීවේය.

මෙම වැඩසටහන අවසානයේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැති අතර ඒ සඳහා විපක්ෂ නායක ඇතුළු සැලකිය යුතු දේශපාලනඥයන් පිරිසක් ඒ සඳහා එක්වූහ.

බදුල්ලේ වැඩසටහනෙන් පසුව විපක්ෂනායක සජිත් ගාල්ල නගරය වෙත පැමිණියේය. බද්දේගම ආසන බල මණ්ඩලය පිහිටුවීම මෙම ගමනේ ඉලක්කය විය. බන්දුලාල් බණ්ඩාරිගොඩ හිටපු මන්ත්‍රීවරයා විසින් සංවිධානය කළ එම බල මණ්ඩල රැස්වීමට ගයන්ත කරුණාතිලක, මනුෂ නානායක්කාර එක්වූහ.

බල මණ්ඩල රැස්වීම අවසන් කළ විපක්ෂ නායකවරයා පැමිණියේ බද්දේගමටය. ඒ ඔහුගේ පැරණි දේශපාලන මිතුරෙකු වන ආනන්ද ලැනරෝල්ගේ නිවසටය.

Comments