ආණ්ඩුව පාස් කියලා පුළුවන් නම් ඔප්පු කරන්න | සිළුමිණ

ආණ්ඩුව පාස් කියලා පුළුවන් නම් ඔප්පු කරන්න

සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

- පළාත් සභා ඡන්දයේදී අපි පළමු වෙඩි මුරය අරඹනවා
- මේ ආණ්ඩුව කිසිම‍ පොරොන්දුවක් ඉටු කර නැහැ

ජනාධිපති ගෝඨාභය සහ මේ ආණ්ඩුව ෆේල් කියලා කියන්නේ කොහොමද?

අද ජනතාව පාරට බහින ගානට ආර්ථිකය කඩා වැටිලා‍. කොවිඩ් වසංගතය ආරම්භයේදී මේ ආණ්ඩුව මේක හරියට තේරුම් ගන්නේ නැතිව කයිවාරු ගැහැව්වා. අද මොකද වෙලා තිබෙන්නේ කොවිඩ් එක පාලනය කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා. අද මේ රටේ ජනතාව මරණය පෙනි පෙනී මරණයට බියවෙලා ජීවත්වෙන්නේ. මේ තත්ත්වය උදාවීම සම්බන්ධව රජය වගකීම භාරගත යුතුයි. ඒ වගේ ම මේ ආණ්ඩුව බලයට පත් වුණා විතරයි බඩු මිල පාලනය කරගන්නට නොහැකිව භාණ්ඩ මිල සියයට හැටකින් පනහකින් ඉහළ ගිහිල්ලා. අපි අහනව ආණ්ඩුවෙන් කෝ ජනතාවට දුන් පොරොන්දු කෝ මහ ලොකුවට කිව්ව සංවර්ධනය මොනවද ජනතාවට දුන්නු සහන කියන එක අපි අහන්න කැමැතියි.

අද ඇමැතිතුමා එළවළු අලෙවි කරන තත්ත්වයට පත් වෙලා. අද නිෂ්පාදකයාට, ගොවියාට නිසි මිලක් නැහැ. අතරමැදියන් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගොවියා හූරාගෙන කන තත්ත්වයට පත් වෙලා. රජය රජයේ සේවකයන්ගේ අතිකාල මුදල් කපලා. සේවක වැටුප් කප්පාදු කරමින් සිටිනවා. විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමික වැටුප කපලා ජනතාවට දුන් කිසිම පොරොන්දුවක් ඉටු කරලා නැහැ. කරනවා කරනවා කියලා බෙරිහන් දුන්නු කිසිම වැඩක් කරලා නැහැ. අද හාල් මිල පොල් මිල කීයද? තෙල්වලට කිසිම සහනයක් නැහැ. ජනතාවට ආහාර වේලක් සකස් කරගන්න ශක්තියක් නැහැ. අද ඔවුන් ඔවුන් පත් කරගත්ත රජය ජනාධිපතිවරයා ගැන දැඩි කලකිරීමකට ලක් වෙලා ඉන්නේ.

ආණ්ඩුව කරන කරන හැම වැඩක්ම අනා ගන්නවා. වැඩ කරනවා කියලා පොරොන්දු වුණු ආණ්ඩුව කිසිම වැඩක් ඉටු කළේ නැහැ. ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී දුන්නු පොරොන්දු ඉටු කරලා නැහැ. මෙන්න මේ නිසා තමයි ‘ගෝඨා ෆේල්, ආණ්ඩුව ෆේල්’ කියලා අපි කියන්නේ. ආණ්ඩුව පාස් කියන්න කිසිසේත්ම බැහැ. ආණ්ඩුවට අපි අභියෝග කරනවා පුළුවන්නම් පාස් කියලා ඔප්පු කරන්න.

සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂය කොවිඩ් වසංගතය ගැන රජයට චෝදනා කරමින් බොරදියේ මාළු බාන බවට ඇතැම් ඇමැතිවරු චෝදනා කරනවා නේද?

අපි ඒ කතාවට සම්පූර්ණ විරුද්ධයි. ඒ චෝදනාව අපි ප්‍රතික්ෂේප කරනවා. මොකද කොවිඩ් වසංගතය මැඬලීම සඳහා රජයට ඕනෑම අවස්ථාවක කිසිම කොන්දේසියක් නැතිව අපි සහය ලබාදෙන බව දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ සඳහා අපි විපක්ෂයක් හැටියට උපරිම දේ කළා. දැනටත් කරනවා. ඉදිරියටත් කරනවා. රජයේ ඇමැතිවරු මන්ත්‍රීවරු ඔවුන්ට යමක් කර ගැනීමට නොහැකි වූ විට ජනතාව ඇන්දවීම සඳහා ජනතාව මුළා කිරීම සඳහා විපක්ෂයට මේ චෝදනාව එල්ල කර ඇති බව අපි පැහැදිලිව කියනවා.

සමගි ජනබලවේගයේ නායක සජිත් වෙනුවට පාඨලී චම්පික රණවක මහතා පැමිණෙන බවත් මේ නිසා පක්ෂය දැඩි අර්බුදයක බවත් ජනමාධ්‍ය වාර්තා කර තිබෙනවා?

මෙය සම්ප‍ූර්ණ අසත්‍ය කතාවක්. ආණ්ඩුව විසින් ගොතන ලද කතාවක්. ඒ වගේම ආණ්ඩුවට හිතැති ආණ්ඩුවට ක‍ෙඩ් යන ජනමාධ්‍යවලින් හදපු අතේ රෝලක් බව මා කියන්නට කැමැතියි. අපි ශක්තිමත්ව ඉදිරියට යන ගමන් මඟට එල්ල කරපු බාධකයක් හැටියට මා දකිනවා.

පාඨලී චම්පික රණවක කියන්නේ දක්ෂ දේශපාලනඥයෙක්. ඔහු අද අපගේ කඳවුරේ සිටින ප්‍රබල චරිතයක්. ඒ වගේ දක්ෂයන් රැසක්ම පාර්ලිමේන්තුවට අපි යවලා තිබෙනවා. ඔහු සහ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර කිසිදු අර්බුදයක් නැහැ. ඔවුන් දෙදෙනා ඉතා මිත්‍රශීලීව පක්ෂය ගොඩ නැඟීම වෙනුවෙන් ක්‍රියාකාරීව සිටිනවා. අනෙක් කාරණය තමයි අපි විවෘතව වැඩ කරන පක්ෂයක් කණ්ඩායම් කල්ලිවාද අපි ළඟ නැහැ. පක්ෂයේ නායකත්වය කියන්නේ ඉතා හොඳ අනාගතය දකින නායකත්වයක් අපි එකමුතුව එක්සත්ව අපගේ දේශපාලන ගමන ඉතා විනිවිදව ගමන් කරමින් සිටිනවා. අපගේ පක්ෂය තුළ කිසිම අර්බුදයක් නොමැති බව අපි ඉතා පැහැදිලිව කියනවා.

මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නොලැබුණු බවට ඇතැම් පක්ෂ රජයට චෝදනා කරනවා. මෙවර අයවැය පිළිබඳව ඔබගේ අදහස?

මා දේශපාලනඥයෙක් හැටියට ඉතිහාසයේ දැක්ක අසාර්ථකම අයවැය වාර්තාව තමයි මෙවර අයවැය වාර්තාව. අයවැය කාටද කුමක් සඳහා ඉදිරිපත් කළ එකක් ද කියන කාරණය පවා මතු වෙනවා. ජනතාවට කිසිම අයුරකින් සහන ලබාදීමට රජය සමත් වෙලා නැහැ. සාමාන්‍ය ජනතාව හෝ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහන කිසිවක් ලබාදී නැහැ.

නමුත් මේ රජය බලයට එන්න කලින් ජනතාවට ලබාදුන් පොරොන්දු අතර ප්‍රධානතම එකක් වුණේ බඩු මිල අඩු කරනවා කියන කාරණය. ඒ ගැන කිසිම සැලකිල්ලක් මේ අයවැයෙන් සිදු කරලා නැහැ. දැන් ජනතාවට මෙය තේරුම් ගිහිල්ලා තිබෙන්නේ. ජනතාව අදාළ වේලාවට මේ සඳහා දඬුවම් ලබාදේවි. අවශ්‍ය හරි තීරණය ගනීවි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වේදිකා කිහිපයකදී ප්‍රකාශ කර සිටිනවා ආණ්ඩු බලය අල්ලනවා කියන කාරණය කොහොමද එය සිදු කරන්නේ?

ඉදිරියේදී පැමිණෙන පළාත් සභා මැතිවරණයේදී අපිට ජනතාව මොනතරම් කැමැත්තක් තියනවාද කියන එක දැක බලාගත හැකියි. මේ ආණ්ඩුව ගෙදර යවන පළමු වෙඩිමුරය පළාත් සභා මැතිවරණයෙන් ආරම්භ වන බව අපි කියන්නට කැමැතියි. අපිට පැහැදිලිව පෙනෙන කාරණයක් තමයි මේ ආණ්ඩුවට අදාළ කාලයවත් ඒ කියන්නේ ඉදිරි වසර පහක කාලයවත් ආණ්ඩුව ගෙන යන්න නොහැකි බව.

කොවිඩ් දෙවන රැල්ල පාලනය කරගන්න ආණ්ඩුවට නොහැකි වූයේ ඇයි?

මෙයට ඉතා පැහැදිලි උත්තරයක් වෛද්‍ය සංගම් විසින් මේ වනවිටත් ජනමාධ්‍ය මඟින් ලබාදී තිබෙනවා. ආණ්ඩුව ගත් තීන්දු තීරණ සමහරක් ඒවා කල් වැඩි වුණා. සමහරක් ඒවා කල් මදි වුණා. ඒ වගේම හදිසි තීන්දු තීරණ නිසා මෙවර කොවිඩ් රැල්ල වැඩියෙන් ව්‍යාප්ත වුණා. අද එය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. මෙයින් අසරණ වෙලා සිටින්නේ මේ රටේ අහිංසක ජනතාව කියන එක ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

කොවිඩ් සම්බන්ධව තීන්දු තීරණ ගත යුත්තේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළු සෞඛ්‍ය අංශවලට සම්බන්ධ නිලධාරීන්. එහෙත් වැඩිපුර තීන්දු ගන්නේ මේ රටේ හමුදාව. දේශපාලනඥයන් මෙන්න මේ කාරණය බලපෑවා කොවිඩ් දෙවැනි රැල්ල ඉතා වේගයෙන් පැතිරිලා යන්න. ආණ්ඩුව පළමු රැල්ල ගැන හිතුවා විතරයි. කොවිඩ් නතර වුණා කියලා හිතුවා. තදින් ක්‍රියාත්මක වූ නීති රීති මැතිවරණය නිසා ලිහිල් කළා. මේ හේතුවෙන් රෝගය සමාජ ගත වුණා. අද එය පාලනයෙන් ගිලිහී ගොස් තිබෙනවා.

මෙය පාලනය කිරීමේ භාරකාරත්වය ලබා දෙන්න ඕන වෛද්‍යවරුන්ට සෞඛ්‍ය අංශවලට. නමුත් අද එය සිදුවන්නේ නැහැ. අද වෛද්‍යවරුන්ගේ වැඩේ සිදු කරන්නේ වෙන පිරිසක් වෙන කණ්ඩායමක්.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුද? නැද්ද? පවත්වනවා නම් ඒ සඳහා ඔබලාගේ සූදානම කෙසේද?

අනිවාර්යයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. බලය බෙදී යාමේ ක්‍රියාවලියක් හැටියට ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා පළාත් සභා ක්‍රමයක් අත්‍යවශ්‍ය බව මම පැහැදිලිව කියන්නට කැමැතියි. අපි පක්ෂයක් හැටියට පළාත් සභා මැතිවරණයට ඕනෑම අවස්ථාවක සූදානම්. ගමක් ගමක් ගාණේ ගොස් මෙම මැතිවරණය සඳහා අපි සූදානම් වෙමින් සිටිනවා. ඕනෑම දිනයක ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අප සූදානම් වෙලා සිටින්නේ. අපි මැතිවරණවලට බය පක්ෂයක් නොවෙයි. මේ නිසා ඕනෑම මැතිවරණයකට අපි සූදානම් කියන එක රජයට කියනවා.

සමගි ජනබලවේගය පක්ෂයක් හැටියට ඉදිරි සැලසුම් කෙසේද?

අපි දැන් පක්ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා. ඒ වගේම මේ රටේ සංස්කෘතියට ආර්ථිකයට ගැළපෙන විදියට මෙන්ම නවීන තාක්ෂණයට හරි යන විදියට ඒ වගේම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව අයිතීන් සුරැකෙන විදියට ජනතාවගේ පක්ෂයක් හැටියට මෙය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මෙන්ම තීන්දු තීරණ ගනිමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් සිටිනවා. ජනතාවාදී ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට අපිට මේ මඟින් හැකිවෙනවා.

Comments