බොරුවෙත් බොරුව | සිළුමිණ

බොරුවෙත් බොරුව

“‍අද කථානායකතුමා මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 දෙනාටම භෝජන සංග්‍රහයක් දීමට කටයුතු කරනවා. එය සාමාන්‍යයෙන් අය - වැය විවාදය අවසානයේ සාම්ප්‍රදායිකව සිදුවන දෙයක්. ඒ වගේම ඒ භෝජන සංග්‍රහය ලබාදීම පිළිබඳව කථානායකතුමාට ස්තුතිවන්ත වන ගමන් මං කියන්න කැමතියි, මේ වෙලාවේ රටම අර්බුදයක තිබෙන වෙලාවක්. නිරෝධායන කාලසීමාවක් රටේ ඇතැම් ස්ථානවල ක්‍රියාත්මක වෙනවා. මන්ත්‍රීවරුන් 225 ක් එක ස්ථානයකට කැඳවීමේදී යම් අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. ඉතින් රටේ ජනතාවට අමාරු වෙලාවක මේ භෝජන සංග්‍රහයට යන වියදම කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් වී ඇති ජනතාව වෙනුවෙන් යොදා ගන්නවා නම් එය ඉතා හොඳ දෙයක්.

එදා 2019 කරු ජයසූරිය කථානායකතුමා ඉන්න වෙලාවේ මේ භෝජන සංග්‍රහය පැවැත්වුණේ නැහැ. ඒ පාස්කු ප්‍රහාරය ඇති වුණු නිසයි. ඉතින් මේ වෙලාවේ මේ කටයුත්ත නවත්වනවා නම් විශාල වියදමක් වැයවන එක නැවතිලා එම මුදල අපේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත නඟාසිටුවීමට යොදවන්න පුළුවන්”‍ යනුවෙන් ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිය.

චමින්ද විජේසිරි මේ ආකාරයෙන් ප්‍රකාශ කළේ එසේ මෙසේ තැනක නොවේ. ඔහු මෙම ප්‍රකාශය කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ය. පසුගිය 10 වැනිදා අය - වැය තෙවනවර කියැවීමේ අවසන් ඡන්ද විමසීම සිදු වූ අතර එදින පාර්ලිමේන්තුව ආරම්භ කළ අවස්ථාවේදීම චමින්ද විජේසිරි මෙම ප්‍රකාශය සිදු කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා සිටියේ කථානායකතුමා සාම්ප්‍රදායිකව ලබාදෙන රාත්‍රී භෝජන සංග්‍රහය අවලංගුකොට එම මුදල් කොරෝනා වසංගතයට මුහුණ දී සිටින ජනතාව වෙනුවෙන් යොදවන ලෙසයි.

චමින්ද විජේසිරිගේ මෙම යෝජනාව යහපත්ය. නමුත් කතාව වගේම ඒ කාරණය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට සමගි ජනබලවේගය කටයුතු කළා නම් කෙතරම් අගනේද?

මේ ආකාරයෙන් කතාවක් සිදුකරමින් චමින්ද විජේසිරි සියලු‍ම දෙනාගේ අවධානය දිනාගැනීමට කටයුතු කළේය . එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී කළ නිසා සියලු‍ම මාධ්‍ය මඟින් ද වාර්තා කළ අතර එයට ලැබුණේ ඉහළ ප්‍රසිද්ධියකි.

“‍අනේ කොච්චර හොඳ යෝජනාවක් ද මන්ත්‍රීතුමා කරන්නේ, කථානායකතුමාට ඔය පාටිය කැන්සල් කරලා ඒ සල්ලි කොවිඩ් අරමුදලට දෙන්න තිබුණේ”‍ යනුවෙන් ඇතැමුන් ප්‍රකාශ කිරීමට තරම් චමින්ද විජේසිරිගේ එම ප්‍රකාශය බලවත් වී තිබුණි.

චමින්ද විජේසිරි මෙම ප්‍රකාශය සිදුකරන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම සමගි ජනබලවේගයේ නායකයන් ද කිසිම සද්දයක් නොකර සිටින ආකාරයක් දක්නට ලැබුණි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව පවසා තිබෙන්නේ කට කසනවාට නොවන බව හොඳින් ම ගම්‍ය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිලාගේ මෙවැනි කතා අසන විට දී ය.

කථානායකවරයාගේ සාම්ප්‍රදායික රාත්‍රී භෝජන සංග්‍රහයට නොගියත් ඉතා හොර රහසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සමගි ජනබලවේගය සංවිධානය කර තිබුණි. විපක්ෂ නායක මෙන්ම සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණේ “කොළඹ ‍ඇක්සස් ගොඩනැගිල්ලේ”‍ පිහිටි හෝටලයේ ය. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රාත්‍රී භෝජන සංග්‍රහයට ඇක්සස් හෝටලයට හොර රහසේ රිංගුවේ ඇයි ද? කියා ඔබට දැන් පුදුම වීමට දෙයක් නොවනු ඇත. කථානායක නිල නිවසේ පැවැත්වීමට නියමිත රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගී නොවන පිරිස් ගැන එදින සවස් කාලයේ සිටීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබුණි.

විශේෂයෙන්ම මාධ්‍යවල අවධානයත් ඒ දෙසට යොමු වී තිබුණි. සමගි ජනබලවේගය කථානායක නිල නිවසෙහි පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී නොවන බවත් එය වර්ජනය කරන බවත් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය නිසා මාධ්‍ය ආයතනවල අවධානය වැඩි වී තිබුණි.

10 වැනිදා පාර්ලිමේන්තුව අවසන් වී පිටතට පැමිණෙන ජනතා නියෝජිතයන්ගෙන් අය - වැය සම්මත වීම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලින් Voice Cut ලබාගන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවන ප්‍රධාන පිවිසුම වන ජයන්තිපුරදී ය.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ජනතා නියෝජිතයන්ගේ ද අදහස් ලබාගනිමින් සිටින විට එදින රාත්‍රි කථානායක නිල නිවසේ දී පැවැත්වීමට නියමිතව තිබුණු රාත්‍රී භෝජන සංග්‍රහය ගැන විමසීමට ද මාධ්‍යවේදීන් අමතක කළේ නැත.

සමගි ජනබලවේගයේ බොහෝ දෙනෙකු පැවසුවේ රටට ආදර්ශයක් ලබා දෙමින් තමන් එම රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී නොවන බවයි. මේ අතරතුර සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ Voice Cut ලබා දීමේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගේ උකුසු ඇස යොමු වී තිබුණි .

“‍කථානායකතුමාගේ රාත්‍රී භෝජන සංග්‍රහයට නොගියට අපි වෙනම එකක් කරනවා.”‍ යනුවෙන් අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණි.

මෙම හෙළි කිරීම ගැන මාධ්‍යවේදීන් සොයන විට ඔවුන්ට දැනගැනීමට ලැබුණේ සමගි ජනබලවේගයේ රාත්‍රී භෝජන සංග්‍රහය ඇක්සස් ටවර් පිහිටි හෝටලයේ ගජරාමෙට පැවැත්වෙන බවයි. එදින රාත්‍රී 7.30 ට පමණ ආරම්භ කෙරුණු එම සාදය මධ්‍යම රාත්‍රිය ඉක්ම යනතුරු පැවති අතර විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මෙන්ම ක්‍රියාකාරීහු රැසක් එම රාත්‍රී සාදයට සහභාගී වී සිටියහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අමතරව සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, තලතා අතුකෝරාළ, රංජන් රාමනායක, තුෂාර ඉඳුනිල් අමරසේන, මනුෂ නානායක්කාර, අශෝක් අබේසිංහ ඇතුළු 30 කට පමණ ආසන්න මන්ත්‍රීවරු පිරිසක් මෙම රහසිගතව පැවැත්වුණු රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූහ.

රසවත් ආහාරපාන වලින් පමණක් නොව මධුවිත ද තිබුණු අතර රාත්‍රී සාදය මධ්‍යම රාත්‍රිය වෙනතුරු පැවැත්විණි. බොහෝ දෙනෙක් නිදහසේ ඉතා සුහදව වර්තමාන දේශපාලන තත්වය සහ ආගිය තොරතුරු කතාබස් කරමින් කාලය ගත කළහ.

සජිත් ප්‍රේමදාස තම හිතවත් මන්ත්‍රීවරුන්ගේ ළඟට ම ගොස් සුහද ව කතාබස් කළ අතර ඔවුන් සමඟ සෙල්ෆි ගැසීමට ද සජිත් ප්‍රේමදාස අමතක නොකළේ ය.

මනුෂ නානායක්කාර ද ඡායාරූප ගැනීමේ කාර්යයේ නිරතව සිටියේය. සජබ සාදය මධ්‍යම රාත්‍රිය පසුවනතුරු නැගලා ගියේ එසේය. ඊට පැය කිහිපයකට පෙර සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මොනවා ද?

“‍කථානායකතුමාගේ අය - වැය සාදයේ සල්ලි ජනතාවට ලබාදෙන්න.”‍ යනුවෙන් පැවසූ සමගි ජනබලවේගය මෙසේ හොර රහසේ පාටි දැමීම සාධාරණද? සමගි ජනබලවේගයේ රාත්‍රී සාදයේ බරපැන දැරු‍වේ කවුද? ඒ සඳහා සමගි ජනබලවේගය මුදල් වියදම් කළේ ද? නැතිනම් අනුග්‍රාහකත්වයක් ලැබුණේ ද? චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ආකාරයට ඇක්සස් පාටියේ මුදල් ද ජනතාවට ලබා දිය යුතුව තිබුණා නොවේ ද? එසේනම් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී රඟ දැක්වූයේ මාධ්‍ය සංදර්ශනයක් පමණක් ද?

කථානායකතුමාගේ රාත්‍රී භෝජන සංග්‍රහයට සමගි ජනබලවේගය සහභාගි නොවන බව චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන විටත් ඇක්සස් පාටිය සඳහා ඔවුන් එම හෝටලය වෙන්කරවා ගෙන තිබෙන්නට ඇත.

“ජනතාව කන්න නැතුව පාරට බැහැලා. රුපියල් 5,000 ක් මාසයක් ජීවත්වෙන්න කියලා ආණ්ඩුව කියනවා. එන්නත් කිරීම පිටරටවල ආරම්භ කරලා තියෙද්දිත් මේ ආණ්ඩුව තවමත් ඒ ගැන හිතලා නැහැ. රටම ගිනිගද්දි පාටි දැමීම හරි ද? සජිත් කතානායකවරයාගේ සාදය ගැන එසේ ප්‍රකාශ කොට තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සජිත් කළ මෙම කතාබහේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ද ඒ ගැන යමක් ප්‍රකාශ කොට තිබුණි.

“‍ගිය වසරවල රටේ අර්බුදය නොතිබුණත් හිටපු කථානායක කරු රටටම බරක් වූ මෙවැනි වියදම් නතර කරල රට ගැන හිතලා වැඩ කළා. රටයි ජනතාවයි බේරගන්න ආපු මෙයලා ජනතාව ගින්දරට තල්ලු කරලා එයාලා ජොලි දානවා. බොරු දේශප්‍රේමය වැක්කෙරෙනවා.”‍ යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල පවසා තිබුණි.

“ආණ්ඩුවේ බොරුව පරදවමු.” යනුවෙන් පසුගිය දා මහර උද්ඝෝෂණවලට සජිත් සහභාගි වූයේ ය. ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරනු ලබන්නේ ආණ්ඩුවේ බොරු දේශප්‍රේමීත්වය වැක්කෙරෙන බවයි. එතකොට බොරුව කරමින් ජනතාව ගොනාට අන්දවන්න හදන්නේ ආණ්ඩුව ද? නොඑසේනම් සමගි ජනබලවේගය ද? ඇක්සස් පාටියෙන් ඉතා හොඳින් ම ගම්‍ය වන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජනබලවේගය “‍දවල් මිගෙල් රෑ දනියෙල්”‍ ගේමක් ගසමින් සිටින බවයි.

ඔවුන් කියන්නේ එකක්, කරන්නේ එකක් යනුවෙන් ප්‍රකාශ කිරීමට ඇසින් දුටු සාක්ෂි ඕනෑ තරම් තිබේ. කථානායකවරයා සාම්ප්‍රදායිකව පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී නොවී ඊට මඩ ගසමින් සිටින සජිත් ඇතුළු පිරිස ඇක්සස් ටවර් සාදය ගැන වචනයකුදු ප්‍රකාශ නොකරන්නේ ඇයි?

ජනතාවගේ දුක වෙනුවෙන් කෑමොර දෙන බව ප්‍රකාශ කරන සජිත් ඇතුළු පිරිස එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා නම් කෙතරම් අගනේ ද? එය සජිත්ගේ ද ඉදිරි දේශපාලන සෞඛ්‍යයට වඩාත් හිතකර වනු ඇත.

දින 23 ක් පමණ එක දිගට අය - වැය කාරක සභා අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී සහභාගී වී ටිකක් නිදහසේ එක්වී කතාබහ කිරීමට, රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගිවීමට මන්ත්‍රීවරුන්ට ඕනෑම අවස්ථාවකදී හැකිය. එය සාධාරණය. මැති ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් ද අප වැනි මනුෂ්‍යයන් ය. එම නිසා එක දිගටම පාර්ලිමේන්තු ගොස් යම් විවේකයක් ගැනීම, නිදහසේ කතාබහ කිරීම, සාදයක් පැවැත්වීම කිසිදු ගැටලුවක් නැත.

ඒ සඳහා සුදුසු ම ක්‍රියාවලිය කථානායකවරයාගේ ආරාධනාවෙන් අය - වැය අවසන් වූ දින රාත්‍රී කථානායක නිල නිවසේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහයයි. මෙය වසර ගණනාවක් තිස්සේ සෑම ආණ්ඩුවක් යටතේ ම සාම්ප්‍රදායානුකූලව පැවැත්වේ. ඒ අනුව කථානායකවරයාගේ මෙම රාත්‍රී භෝජන සංග්‍රහය ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද ඉතා වැදගත් වන අතර ඊට සහභාගී නොවී වෙනම සාද පවත්වා කථානායකවරයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය විවේචනය කිරීම කෙතරම් සාධාරණ ද? යන ප්‍රශ්නය මතු වීම වැළැක්විය නොහැකිය. සජිත් ඇතුළු පිරිසගේ දවල් මිගෙල් රෑ දනියෙල් වැඩසටහන සෑම අංශයක් පුරාම ක්‍රියාත්මක වේ.

ඔවුන් විරෝධතා දක්වන්නේ සාමාන්‍ය තත්ත්වයක් ගැන සත පහකටවත් මායිම් නොකරය.

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වයිරසය හේතුවෙන් මුළු ලෝකයම සෑම ක්ෂේත්‍රයකින්ම දැඩි අර්බුදකාරී තත්ත්වයකට ගමන් කරමින් සිටියදී සජිත් කතා කරන්නේ කොරෝනා වයිරසය වැනි දෙයක් අසාවත් නැති ගානකට වීම කනගාටුවට කරුණකි.

කොවිඩ් - 19 අභියෝගයට මුහුණ දෙමින් ආණ්ඩුව රට හා ජනතාව වෙනුවෙන් සාධනීය පියවර රැසක් ගනිමින් සිටින අවස්ථාවකදී සජිත් ආණ්ඩුවට චෝදනා කරනු ලබන්නේ කිසිදු දෙයක් සිදු නොවුණු ආකාරයටය.

කොරෝනා වයිරසය ලෝකයටම නොපැමිණියා නම් සජිත් ඇතුළු විපක්ෂය සොයා ගැනීමටවත් නොහැකි වනු ඇත. දේශපාලන සැඩපහරට හසුවී සජිත් ඇතුළු පිරිස ගසාගෙන යන විට කොරෝනා නැමැති කෝටු කෑල්ලක එල්ලී ඔවුන් ලබමින් සිටින්නේ තාවකාලික මෝඩ චූන් එකක් බව තවත් ටික කාලයක් ගත වන විට සජිත් ඇතුළු පිරිසට වැටහෙනු ඇත.

සජිත් ඇතුළු පිරිස තවත් සටන් පාඨයක් පසුගිය දිනවල ගෙන ගියේය.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම ඇමරිකාව සමඟ හොර රහසේ අත්සන් කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා යනුවෙන් ඔවුන් විසින් චෝදනා නඟන ලදි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා දැඩිව කියා සිටියේ රටට අහිතකර කිසිම ගිවිසුමකට වත්මන් ආණ්ඩුව අත්සන් නොකරන බවයි. නමුත් සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක එය පිළිගත්තේ නැත.

ඔවුන්ට අවශ්‍ය වූයේ MCC ගිවිසුම දේශපාලන පාපන්දුවක් කරගෙන ඊට ප්‍රහාර එල්ල කිරීමයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ මැතිවරණ වේදිකාවේදී ද දැඩිව ප්‍රකාශ කළේ MCC ඇතුළු රටට අහිතකර කිසිදු ගිවිසුමක් තමන් බලයට පැමිණි පසුව ක්‍රියාත්මක නොකරන බවයි.

ඒ ප්‍රකාශ කළ ආකාරයටම අනුව වර්තමාන ආණ්ඩුව බලයට පැමිණි පසුව රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකර හිටියා පමණක් නොව පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අත්සන් කරන ලද රටට අහිතකර ගිවිසුම්වලින් ඉවත් වීමට ද කටයුතු කළේය.

පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවකට ඇමරිකා එක්සත් ජනපදය සමඟ සම අනුග්‍රාහකත්වය දැරුවේ කිසිදු විලි ලැජ්ජාවකින් තොරවයි.

රට පාවාදුන් යෝජනාවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනීවා නුවරට ගොස් ඒ ගැන කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවයි. වගකිව යුතු රජයක් රාජ්‍ය තාන්ත්‍රික ලෙස ක්‍රියා කරන්නේ එම ආකාරයටයි.

නමුත් ඔය දැන් යටිගිරියෙන් කෑගසන සජිත් ප්‍රේමදාස රටට එරෙහි ගිවිසුම් යහපාලන ආණ්ඩුව විසින් අත්සන් කරන විට සිටියේ කොහේද?

පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් පසුගිය දිනවල දී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අසන ලද ප්‍රශ්න ඇසිය යුත්තේ ඔහුගෙන්ම ය. කන්නාඩියක් ඉදිරියට ගොස් ප්‍රශ්න අසනවා නම් සජිත්ට ඉතා පහසුවෙන් එම අදාළ ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුර ද ලබාගත හැකිය.

යහපාලන ආණ්ඩුව MCC ගිවිසුම ගැන කතා බහ කරන විට සජිත් කට වසාගෙන සිටියේය. හම්බන්තොට ජාත්‍යන්තර වරාය චීනයට ලබාදෙන විට සජිත් කටවහගෙන සිටියේ ය. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දියාවට ලබා දීමට සැලසුම් කරන විට ද සජිත් සිටියේ කට වහගෙන ය. මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළෙහි වී ගබඩා කරන විට ද සජිත් සිටියේ කට වහගෙන ය.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් තරඟ නොපවත්වා ඒ වෙනුවට මඟුල් උත්සව ක්‍රීඩාංගණයේ පැවැත්වීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරන විට ද සජිත් සිටියේ කට වහගෙන ය.

ඇමරිකාවේ MCC ගිවිසුම හකුළා ගන්නා බව පසුගිය 18 වැනිදා නිවේදනය කළේය. වර්තමාන රජයේ සහ ඇමරිකාව අතර රහස් ගනුදෙනුවක් තිබුණේ නම් මෙවැනි අහෝසි කිරීමක් ඇමරිකාව විසින් සිදු නොකරන බව ඕනෑම කෙනෙකුට වැටහෙන කාරණයකි.

සහශ්‍ර අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් MCC ගිවිසුම අත්හිටුවීමට ඇමරිකානු රජය තීරණය කරන්නේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 480 ක මුදලක් ද අත්හිටුවමිනි.

මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 480 දිහා කෙළ හලාගෙන ඇස ගසාගෙන සිටියේ යහපාලන ආණ්ඩුවයි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා MCC ගිවිසුම සම්මත කර ගැනීමට ඉඩ ලබා නොදී කැබිනට් මණ්ඩලය තුළ කල් දමමින් සිටීමට ක්‍රියා කළත් රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දැඩි බලකිරීම හමුවේ MCC ගිවිසුම මූලිකව පිළිගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු කර තිබුණි.

නමුත් ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස වචනයකුදු ඒ ගැන කතා නොකර සිටිය අතර කැබිනට් මණ්ඩල රැස්වීමේ දී MCC ගිවිසුමට යම් පමණකට හෝ විරෝධය පළ කළේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පමණි.

ඇමරිකානු ඩොලර් මිලියන 480 ට කෙළ හලමින් හිටියේ රනිල් වික්‍රමසිංහය. එය හරියට මිදි පොකුරට උඩ පනින නරියා සිහිගන්වන සිදුවීමකි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය චීනයට ලබා දී චෙක්පත රනිල් වික්‍රමසිංහ ලබාගන්නේ හරියට ක්‍රිකට් ක්‍රීඩකයකු ජයග්‍රහණය කර චෙක්පතක් ලබා ගන්නා පරිද්දෙනි.

රට වෙනුවෙන් ක්‍රීඩාකර ජයග්‍රහණ ලබා දී ජයග්‍රහී චෙක්පත ලබා ගැනීම සහ රටේ දේපළක් විකුණා චෙක්පතක් ලබා ගැනීම අතර විශාල පරතරයක් ඇත. 

එම පරතරය එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජනබලවේගය මේ දක්වා තේරුම් නොගෙන ඇත්තේ සමගි ජනබලවේගය අලුත් බෝතලයේත් තිබෙන්නේ පරණ වයින්ම බව ඉතා හොඳින් පැහැදිලි වන නිසාය.

හම්බන්තොට වරාය චීනයට විකිණීමට එරෙහිව, මත්තල ගුවන්තොටුපළ විකිණීමට සැලසුම් කිරීමට එරෙහිව විරෝධය දැක්වූ නාමල් රාජපක්ෂලා, ඩී.ඒ. චානකලා ඇතුළු හම්බන්තොට ජනතාව තංගල්ලේ බන්ධනාගාරයට ගාල් කරද්දී සජිත් නිහඬව සිටියේ රනිල්ගේ ප්‍රතිපත්ති අනුමත කරන නිසාවෙනි.

MCC ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙරාතුව රට තුළ විවිධ මතවාද ප්‍රචාරය වූ අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියා සිටියේ මෙය අධ්‍යයනය කිරීමකින් පසුව ගිවිසුමට අත්සන් කරනවා ද? නැද් ද? කියා තීන්දුවකට පැමිණෙන බවයි.

MCC ගිවිසුම අධ්‍යයනය කිරීමට වර්තමාන ආණ්ඩුව විසින් ආචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ අතර එහිදී ගිවිසුමේ වගන්ති රැසක් රටට අහිතකර ඒවා බව ප්‍රකාශ වුණි.

එම විද්වත් කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගැනීමෙන් පසුව රජය තීරණය කළේ කිසිදු ආකාරයකට වර්තමාන MCC ගිවිසුම අත්සන් නොකිරීමටයි. මේ බව ජනාධිපති, අගමැති රජය පුන පුනා ප්‍රකාශ කරද්දි සජිත් ප්‍රේමදාසත්, අනුර කුමාර දිසානායකත් පාර්ලිමේන්තුව තුළ නිතරම MCC ගිවිසුම ගැන ප්‍රශ්න කරන ලදී.

ඵක්ක් ගිවිසුම අත්සන් නොකරන බව රජය කෙතරම් ප්‍රකාශ කළ ද එය පිළිනොගත් සජිත් හා අනුර ඇමරිකාව MCC ගිවිසුමෙන් ඉවත් වන බව කරනු ලබන ප්‍රකාශය පිළිගනීවි ද? කියා සැක සහිතය.

මොකද සජිත්ට හා අනුරට කොරෝනා හැරුණු විට තිබුණු ප්‍රධානතම සටන් පාඨය MCC ගිවිසුමයි. ශ්‍රී ලංකා රජය MCC කොන්දේසි සපුරන්නේ නැති නිසා ඇමරිකා එක්සත් ජනපදය විසින් ම මේ වන විට MCC ගිවිසුම හකුළා ගැනීමට තීරණය කර තිබේ.

දැන් කියන්නට කිසිම දෙයක් නැති නිසා MCC ගිවිසුමේ තිබුණු යම් යම් හොඳ කාරණා පිළිගැනීමට වර්තමාන රජය කටයුතු නොකිරීම බරපතළ වරදක් බව හෙට, අනිද්දා සජිත්, අනුර හෝ විපක්ෂයේ කෙනෙකු ප්‍රකාශ කළද එය ද පුදුමයට පත් වීමට කරුණක් නොවේ.

”‍ආණ්ඩුව අසමත්”‍ යනුවෙන් ප්‍රචාරයක් දිගින් දිගටම සිදුකරන විපක්ෂය MCC ගිවිසුමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 480 ක මුදල ශ්‍රී ලංකාවට නොලැබීම ගැන ආණ්ඩුව දොස් පවරමින් එම මුදල සියෙරාලියොන් රටෙහි දරිද්‍රතාව අවම කිරීම සඳහා යෙදවීමට තීරණය කර ඇති බව පවසමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සියෙරාලියොන් ආණ්ඩුවටත් වඩා අසමත් බව ප්‍රකාශ කළහොත් ඊට ද පුදුම විය යුතු නැත.

හොරුන්ගෙත් හොරුන්ට කියන්නේ කම්බා හොරු කියා ය. බොරුවෙත් බොරුකාරයන්ට කියන්නේ කුමක් ද?

Comments