
ඉකුත් නොවැම්බර් 30 වැනිදා මෙරට අධිකරණ ඉතිහාසයේ සුවිශේෂී නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරිණි. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ විසින් කොළඹ බස්නාහිර පළාත් මහාධිකරණයේදී දෙන ලද තීන්දුවකිනි.
මේ නඩු තීන්දුව වනාහි නීතිපතිවරයා විසින් නඩු අංක R5/03/2015 යටතේ හා මහාධිකරණ අපරාධ නඩු අංක එච්. සී. 8222/ 2016 යටතේ හිටපු අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ, රණවක ආරච්චිලාගේ අමිත කිත්සිරි රණවක, යක්දෙහියගේ දොන් නිහාල් ජයතිලක හා රත්නායක පල්ලියගුරුගේ බන්දුල තිලකසිරි යන අයට විරුද්ධව පවරා තිබූ නඩුවෙන් ඔවුන් සියලු දෙනා නිදොස් කර නිදහස් කළ නඩු තීන්දුවයි.
මෙම නඩුවේ ප්‍රථම චූදිත බැසිල් රෝහණ රාජපක්ෂය. දෙවන චූදිත වනුයේ රණවක ආරච්චිලාගේ අමිත කිත්සිරි රණවකය. තෙවැනි චූදිත නිහාල් ජයතිලක වූ අතර හතරවන චූදිත වූයේ බන්දුල තිලකසිරිය.
වසර 2015 අප්‍රේල් 22 වැනිදා උදෑසන 10.50 ට කොල්ලුපිටියේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණ ප්‍රකාශයක් දුන් බැසිල් රාජපක්ෂයන් එදින රාත්‍රි 7.30 දක්වා කටඋත්තරයක් ලබාදුන්නේය. රොයිටර් පුවත් සේවය ට්විටර් පණිවුඩයක් මගින් එදිනම පස්වරු 5.04ට ලොවට කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගත් බවය. පසුව රාත්‍රී 9.07 ට කඩුවෙල අධිකරණයට ගෙන ආ හෙතෙම මැයි 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේ රාත්‍රී 11.35 ය. එහෙත් හිටපු ඇමැති බැසි්ල් ඇතුළු සැකකරුවන් ගෙනයාමට බන්ධනාගාර බස් රථය අධිකරණ භූමියට පැමිණ තිබුණේ රාත්‍රී 9.20 ට. අධිකරණයෙන් බන්ධනාගාරයට ඔහු රැගෙන ගියේ රාත්‍රී 11.44ට ය.
මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ ලබාදුන් තීන්දුව ප්‍රකාරව එම සුවිශේෂී නඩුවෙන් චූදිතයන් නිදහස් වූ අයුරු නඩු තීන්දුවට අදාළ සංක්ෂිප්ත සටහනක් ලෙස පහත දැක්වේ. (අවධාරණය - සංස්කාරක ගෙනි)
මෙම නඩුවේ දෙවන, තුන්වන සහ හතරවන චූදිතයන් රජයේ නිලධාරීන්ය. මෙහි ප්‍රධාන චෝදනාව නගා තිබෙන්නේ දෙවන වින්තිකරුට එරෙහිවය. ඔහු 2003 අංක 01 දරන දිවි නැඟුම පනතේ (මින් ඉදිරියට පනත යනුවෙන් හඳුන්වන) 3 වන වගන්තිය ප්‍රකාරව දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ක්‍රියා කරන ලද පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ය.
චෝදනා පදනම
ඔහුට නගා ඇති චෝදනාවේ පදනම වන්නේ, 2014 වර්ෂයේ ඔක්තෝබර් 20 සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළ ‘ඉසුරුමත් නිවහනක්’ නැමැති ව්‍යාපෘතිය යටතේ දිවි නැඟුම ප්‍රතිලාභීන්, 1,197,111 දෙනෙකු අතර ඔවුන්ගේ නිවාසවල අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවන් සඳහා එක් අයෙකුට රුපියල් 2500/- බැගින්, රුපියල් 2,992,777,500/- ක් දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රජාමූල බැංකු පද්ධතිය සතු මුදලින් ගෙවීමට කටයුතු කර, එම මුදල පිළිබඳ සාපරාධී විශ්වාසය කඩ කිරීම පිළිබඳවය.
සෙසු චූදිතයන් වන්නේ, එවකට දිවි නැඟුම අමාත්‍යාංශයේ අමාත්‍යවරයාව සිටි 1 වන චූදිතත්, එම අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි 3 වන චූදිතත්, දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍ර මූල්‍ය අධ්‍යක්ෂ වූ 4 වන චූදිතත්ය. එකී, 1,3, 4 චූදිතයන්ට එරෙහිව චෝදනා නගා ඇත්තේ, 2 වන චූදිත විසින් කළා යයි සඳහන් කරන වරදට ආධාර හෝ අනුබලදීම හෝ කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවක්ය.
මේ අනුව ප්‍රථමයෙන් ම සලකා බැලිය යුතුව ඇත්තේ 2 වන චූදිතට එරෙහිව නගා තිබෙන චෝදනාවයි. එකී චෝදනාව ඔප්පු වුවහොත් පමණක් 1 වන, 3 වන සහ 4 වන චූදිතයන්ට එරෙහිව ඇති චෝදනා සලකා බැලිය යුතුව ඇත. 2 වන චූදිතට එරෙහි චෝදනාව සනාථ වන්නේ නැති නම්, සෙසු චූදිතයන් සියලු දෙනාට එරෙහිව ඇති චෝදනා ද ඒ හේතුව මතම බිඳ වැටෙනවා ඇත.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි අවසන් කළ පසුව, චූදිතයන් වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ (200(1) වගන්තිය යටතේ ඉල්ලීමක් කර, චූදිතයන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ පිළිබඳව විත්තිය විසින් ලිඛිත කරුණු දැක්වීමක් කළ අතර, ඊට පිළිතුරු වශයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ද පසුව ලිඛිත කරුණු දැක්වීමක් සිදු කරන ලදී.
පැමිණිල්ල අවසන් වූ වහාම මෙවැනි ඉල්ලීමක් කළ හැකි බව අභියාචනාධිකරණය විසින් 2003 (1) ශ්‍රී ලංකා නීති වාර්තා 340 පිටුවේ සඳහන් නීතිපති එරෙහිව බරණගේ නඩුවේදී පෙන්වා දී ඇත. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය මෙසේය.
“චෝදක පක්ෂය වෙනුවෙන් නඩුව ඉදිරිපත් කිරීම අවසන් කරනු ලැබූ විට, චෝදක පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ සාක්ෂි විනිශ්චයකාරවරයා මුළුමනින්ම අවිශ්වාස කරන්නේ නම් හෝ අධිචෝදනා පත්‍රයෙහි චූදිතයාට විරුද්ධව යම් වරදක් සම්බන්ධයෙන් චෝදනා නගා ඇත්තේ ද ඒ වරද හෝ ඒ අධිචෝදනා පත්‍රය මත චූදිත වරදකරු කරනු ලැබිය හැකි වෙනත් යම් වරදක් හෝ සිදු කර ඇති බව සනාථ කිරීමට ඒ සාක්ෂි අපොහොසත් වන බව විනිශ්චයකාරවරයාගේ මතය වන්නේ නම්, විනිශ්චයකාරවරයා විසින් නිදොස් කිරීමේ තීන්දු ප්‍රකාශයක් වාර්තා ගත කළ යුතුය; එසේ වුවද නඩු විභාගය පවත්වාගෙන යාමට හේතු ඇතැයි විනිශ්චයකාරවරයා සලකන්නේ නම් ස්වකීය විත්තිවාචකය ඉදිරිපත් කරන ලෙසට විනිශ්චයකාරවරයා විසින් චූදිතයාට නියම කළ යුතුය.”
මේ වගන්තිය අනුව, මෙහි අවස්ථා දෙකක් ඇත. එනම්, සාක්ෂි විශ්වාස කිරීමට නොහැකි බවට තීරණයක් ගන්නා අවස්ථාව, නැතහොත් එම සාක්ෂි මත අධිචෝදනා පත්‍රය මත වරදකරු කළ හැකි වරදක් සනාථ වන්නේ නැති අවස්ථාව.
නඩුවේ විශේෂත්වය
මෙම නඩුවේ විශේෂත්වය විත්තිය විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් දී ඇති සාක්ෂි විශ්වාස කළ නොහැකි බවට කිසිදු අභියෝගයක් සිදු නොකිරීමයි. ඒ අනුව පළවන අවස්ථාවට මෙම නඩුව ඇතුළත් වන්නේ නැත. විත්තිය විසින් කියා සිටින්නේ, පැමිණිල්ල ඉදිරිපත් කර ඇති සාක්ෂි මතම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා නගා ඇති චෝදනාව සනාථ වන්නේ නැති බවය.
පැමිණිල්ලේ පදනම වන්නේ, මෙම පැමිණිල්ලේ සඳහන් කරන වියදම දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමට නියමිත කාර්යයක් නොවන බවය. තවද ඒ සඳහා අයවැය මඟින් මුදල් ප්‍රතිපාදන සපයා තිබුණේ නැති බවත්ය. ඒ අනුව දිවි නැඟුම ප්‍රජාමූල බැංකුවල එක් එක් තැන්පත්කරුවන්ගේ ගිණුම්වල ඇති මුදල්වලින් මෙම ව්‍යාපෘතිය සඳහා ගෙවීම් සිදුකර ඇති බවය.
විත්තිය මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ, පැමිණිල්ලේ ස්ථාවරය අනුවම මුදල් ගෙවීම සිදුකර ඇත්තේ දිවි නැඟුම ප්‍රතිලාභීන්ගේ මුදල්වලින් ම බැවින්, එකී මුදල් ගෙවා ඇත්තේ ද දිවි නැඟුම ප්‍රතිලාභීන්ටම බැවින්, වරදක් සංස්ථාපනය නොවන බවය.
පැමිණිල්ලේ සාක්ෂි අංක 1 ඉද්දමල්ගොඩ දේශප්‍රිය නදීකා සංජීවනීගේ සාක්ෂිය අනුව, දිවි නැඟුම ප්‍රතිලාභීන් 1,197,111 දෙනෙකු අතර රුපියල් 2500 බැගින් ගෙවා ඇත. එම මුදල හරියටම 1,197,111 x 2500 = 2,992,777,500/- ක් වේ. අධිචෝදනා පත්‍රයේ සඳහන් වන මුදල වන්නේ ද එකී මුදලයි. මේ අනුව චෝදනාවේ සඳහන් සම්පූර්ණ මුදලම දිවි නැඟුම ප්‍රතිලාභීන් වෙත පමණක්ම ගෙවා ඇති බව පැ.සා. 1 ගේ සාක්ෂියෙන් ම සනාථ වී ඇත. ඒ අනුව කිසිදු චූදිතයෙකු වෙත එකී මුදලින් එක සතයක්වත් ලැබී නැතැයි යන තත්ත්වය පැ.සා. 1 විසින් ද පිළිගෙන ඇත.
මේ අනුව සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාවේ අංග දෙකෙන්, අංගයක් වූ දේපළ තමාගේ ප්‍රයෝජනයට ගැනීම යන කාරණය විත්තිකරුවන්ට එරෙහිව උද්ගත වන්නේ නැත. එසේ නම් සලකා බැලිය යුත්තේ එම භාරය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් ගිවිසුමක හෝ නීතියක නියමයන්ට පටහැනිව වංක ලෙස පාවිච්චි කිරීම හෝ පාවිච්චි කිරීමට ඉඩ දුන්නා ද යන කාරණයයි. එසේ වරදක් සිදුකිරීමට නම්, එකී මුදල නීත්‍යානුකූලව ලැබීමට හිමිකමක් නොමැති අයෙකුට එම මුදල ලැබීම සිදු විය යුතුය.
දිවිනැඟුම මුදල්
දිවි නැඟුම බැංකුවල සාමාජික මුදල් හැර වෙනත් මුදල් නැත. නමුත් එය පාලනය කරන පාලක මණ්ඩලය විසින් එම මුදල් ආයෝජනය කර මුදල වැඩි කර ගෙන ඇත. වර්තමානය වන විට එම බැංකුවල රුපියල් බිලියන 80 කට වඩා වැඩි මුදල් තිබෙන බව පැ.සා. 13 සාක්ෂියෙන් සඳහන් කර ඇත. රු. 2500/- බැගින් සාමාජිකයන්ට ගෙවීමට තීරණය කර තිබෙන්නේ ද එම කළමනාකාර මණ්ඩලය විසින්මය.
දිවි නැඟුම ප්‍රජා මූල බැංකුවල කර්තව්‍යය පනතේ 28 වන වගන්තියේ විස්තර කර ඇත. 28 (ඈ) වගන්තිය මෙසේය. “තැන්පත්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධන කටයුතු තහවුරු කිරීම.”
ඒ අනුව රු. 2500/- බැගින් සාමාජිකයන්ට නිවාස අලුත්වැඩියා කර ගැනීමට ලබාදීම බැංකුවේ කර්තව්‍යය ඇතුළට වැටෙන කාර්යයක්ය. ඒ තුළින් බැංකුවට අයුතු අලාභයක් සිදුවන්නේ යයි කිව නොහැකිය. අයුතු අලාභයක් ලෙස ගත හැක්කේ යම්කිසිවෙකුට නීතියට අනුව හිමිකම් නොලබන ලාභයක් ලැබීමය. මෙහිදී තැන්පත්කරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවශ්‍ය සුභසාධනය තහවුරු කිරීම බැංකුවේ කාර්යයන්ගෙන් එකක්ය.
දිවි නැඟුම ප්‍රජා මූල බැංකුවල මුදල් ප්‍රයෝජනයට ගත යුත්තේ දිවි නැඟුම ප්‍රතිලාභීන්ගේ ශුභසිද්ධිය සඳහා ය. ඒ අනුව එම මුදල් දිවි නැඟුම ප්‍රතිලාභීන්ගේ ශුභසිද්ධිය උදෙසා පාවිච්චි කිරීම නීතියේ නියමයන්ට පටහැනි දෙයක් නොවේ.
පැමිණිල්ල විසින් 1 වන චෝදනාවට පදනම් කරගත් එනම්, කුමන්ත්‍රණය කිරීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති ප්‍රධානම සාක්ෂියක් වන්නේ 2014/10/30 නිකුත් කළ 2019 අංක 11 දරණ චක්‍රලේඛණයයි. මේ අනුව එහි සඳහන් වන කුමන්ත්‍රණය බව කියන කාරණය එහි සඳහන් ලංකාවේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු සෑම දෙනාටම ප්‍රසිද්ධියේ දන්වා ඇත.
සාපරාධී චෝදනාව
2 වන චූදිතට නගා ඇති සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාව ඔප්පුවීමට නම්, යම් දේපළක් ඔහුට භාරදී තිබීම හෝ ඔහුගේ අධිපත්‍ය යටතේ තිබිය යුතුය. දිවි නැඟුම බැංකු එක්තරා ආකාරයක ස්වාධීන, වෙන් වෙන්වූ නෛතික පුද්ගලභාවයක් ඇති ආයතන බව පෙර සඳහන් කර ඇත. ඒවා සමස්ත කළමනාකරණය සම්බන්ධයෙන් කළමනාකරණ මණ්ඩලයක් පිහිටුවා ඇත. දිවි නැඟුම පනතේ 33 වන වගන්තිය අනුව එම මණ්ඩලය පිහිටුවා ඇත.
මේ අනුව එකී කළමනාකාර මණ්ඩලයට නිල බලයෙන් පත්වන සාමාජිකයන් පස්දෙනෙකු සහ අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන තිදෙනෙකුගෙන් සමන්විතව අටදෙනෙකුගෙන් යුත් කළමනාකාර මණ්ඩලයක් ඇත.
1 වී 4 වශයෙන් ලකුණු කර ඉදිරිපත් කර ඇති 2014.11.07 වැනි දින දිවි නැඟුම ප්‍රජා මූල බැංකු කළමනාකාර මණ්ඩලයේ රැස්වීම් වාර්තාවේ කොටසක් ලකුණුකර ඇත. ඒ අනුව එදින එකී රැස්වීම සඳහා දිවි නැඟුම අධ්‍යක්ෂ ජනරාල් - 1 වන චූදිත රණවක යන අය ද, චූදිතයකු නොවන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව - අබේසිංහ යන අයද, තවත් චූදිතයකු නොවන ප්‍රධාන ගණකාධිකාරී, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය - ඩබ්ලිව්.ඒ.එස්. කුමාර යන අය ද, චූදිතයකු නොවන පත් කළ සාමාජික _ ඩබ්ලිව්.එම්. කරුණාරත්න යන අය ද, 4 වන චූදිත තිලකසිරි ද, චූදිතයකු නොවන ආචාර්යය ඩබ්ලිව්.විලී ගමගේ යන අය ද සහභාගි වී ඇත. නොපැමිණි අය ලෙස භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය - ආචාර්ය බී.එම්.එස්. බටගොඩ යන අයගේ නම සඳහන්ව ඇත. මෙම රැස්වීමේ ගනු ලැබූ තීරණයන් අතර 24/2014 පත්‍රිකා අංකය යටතේ 1 වී 4 (අ) ලෙස ලකුණු කර ඇති කොටස පෙන්වා දී ඇත. ඒ අනුව පෙර කී අංක දරන මාණ්ඩලික පත්‍රිකාවේ එනම්, ඉසුරුමත් නිවහනක් දිවි නැඟුම සහනාධාරලාභීන් නව නිවාස අලුත්වැඩියා කිරීම පිළිබඳ සමීක්ෂණය යන කාරණය සාකච්ඡාවට බඳුන්කර ඇත. එහිදී කළමනාකරණ මණ්ඩලයේ තීරණය වශයෙන් මෙසේ දක්වා ඇත. “අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් ලද ඉල්ලීම මත, අපගේ දිවි නැඟුම ප්‍රතිලාභීන් සඳහා සිදු කරනු ලබන යහපත් අරමුණක් ලෙස සලකා මෙම වැඩසටහන අනුමත කරන ලදී. භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමේ පදනම මත අනුමත කරන ලදී. ගතයුතු ක්‍රියාමාර්ග වශයෙන් ජාතික සභාව දැනුම්වත් කිරීම සඳහන් කර ඇත. වගකීම අධ්‍යක්ෂ, ක්ෂුද්‍ර මූල්‍ය එනම්, 4 වන විත්තිකරුට පවරා ඇත.”
මේ අනුව මෙම තීරණයට පුද්ගලයන් හයදෙනෙකු සහභාගි වී ඇත. එයින් දෙදෙනෙකු පමණක් මෙම නඩුවේ විත්තිකරුවන් කර ඇත. එයින් ද වරද සිදු කළේ 2 වන චූදිත වශයෙන් චෝදනා නගා ඇත. එසේම එහි දක්වා ඇති පරිදිම එය දිවි නැඟුම ජාතික සභාව වෙත දන්වා යවා, ඔවුන් විසින් ද අනුමත කර ඇත. දිවි නැඟුම ජාතික සභාව, පනතේ 7 වන වගන්තිය අනුව පිහිටුවා ඇත.
ඒ අනුව එකී ජාතික සභාව එකළොස්දෙනෙකුගෙන් සමන්විත සභාවක් ය. 2 වන චූදිත එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වේ. ඊට මුදල් විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ ලේකම් හෝ නියෝජිතයකු ද ඇතුළත් ය. දිවි නැඟුම ජාතික සභාව මෙම තීරණය අනුමත කළ බව පැ.සා. 1 සාක්ෂියේදී සඳහන් කර ඇත. ඒ අනුව එකී ජාතික සභාවේ සභාපතිවරයා පමණක් චූදිතයෙක් වශයෙන් නම් කර ඇත. මේ අනුව 2 වන චූදිතට එරෙහිව චෝදනා කරන කාරණය වරදක් ලෙස උපකල්පනය කළත්, එය 2 වන චූදිතගේ තනි තීරණයක් නොවේ. එය කළමනාකරණ මණ්ඩලයක් සහ දිවි නැඟුම ජාතික සභාව විසින් අනුමත කර ගන්නා ලද සාමූහික තීරණයක්ය. එහි සාමාජිකයන් සංඛ්‍යාව පෙර දක්වා ඇත. ඔවුන්ගේ තීරණය ඒකමතික බව පෙර සඳහන් කළ ලේඛන අනුව පෙනී යයි. එසේ තිබියදී 2 වන චූදිතට පමණක් එරෙහිව චෝදනා කිරීම කළ නොහැකිය. එම කරුණට සම්බන්ධ සෙසු අය කවරෙක් දැයි පැමිණිල්ල නොදන්නා අවස්ථාවක, පැමිණිල්ල නොදන්නා පුද්ගලයන් සමඟ එසේ කළා යයි චෝදනාවක් කළ හැකිව තිබේ. කෙසේ වුව ද මෙහිදී එවැනි නොදන්නා පුද්ගලයන් කිසිවෙක් නැත. එසේ තිබියදී 2 වන චූදිත පමණක් තෝරා ගැනීම නීත්‍යානුකූල නොවේ.
1 වී 6 ලියවිල්ලට අනුව ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය ද, ඉසුරුමත් නිවහනක් වැඩපිළිවෙළ 2014 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දක්වා ඇත. 1වී 6 – 2013.06.28 වෙනි දින දරන ලිපියක්ය. එය පිටපත් කර ඇති අය අතර
මෙම ලේඛනය අනුව 2 වන චූදිතගේ නමක් එහි සඳහන් වන්නේ නැත. 2 වන චූදිත එවකට එහි සේවය කළාද යන්න සම්බන්ධයෙන් ද සාක්ෂියකින් සඳහන් වන්නේ නැත. එසේම මෙම ඉසුරුමත් නිවහනක් නැමැති වැඩසටහන 2 වන චූදිත විසින් ආරම්භ කරන ලද්දක් නොවන බව ඒ අනුව පැහැදිලිය. දිවි නැඟුම දෙපාර්තමේන්තුව පිහිටුවීමට පෙර එහි පූර්වගාමී ආයතනයක් වශයෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පවතින අවදියේ ද මෙම වැඩසටහන ක්‍රියාත්මකව තිබී ඇත. ඒ අනුව XI වශයෙන් ලකුණු කර ඇති ලේඛනය මත ආරම්භවූ වැඩසටහන, එම පෙර පැවැති වැඩසටහනේ ම දිගුවක්ය.
2 වන චූදිතට එරෙහිව මෙම නඩුවේ චෝදනා කරන ක්‍රියාව රජයේ ප්‍රතිපත්ති වශයෙන් ක්‍රියාත්මක කරන ලද තීරණයක කොටසක්ය. එසේ නොමැතිව එය 2 වන චූදිතගේ පුද්ගලික අදහසක් නොවේ.
1 වී 7 යනු සමෘද්ධි අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන, දිරිය පියස නිවාස සංවර්ධන වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක වාර්තාවක්ය. ඊට සහභාගි වී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්- පී.බී. ජයසුන්දර, අතිරේක ලේකම් - චන්ද්‍රා වික්‍රමසිංහ, අතිරේක ලේකම් - හේමා ධර්මවර්ධන, අතිරේක ලේකම් - ශාන්ත බණ්ඩාර, ප්‍රධාන ගණකාධිකාරි - ඩබ්ලිව්.ඒ. විමලසේන, අධ්‍යක්ෂ ජනරාල්, අයවැය දෙපාර්තමේන්තුව - ඒකනායක මිය, අධ්‍යක්ෂ, අයවැය - චාන්දනී විජේවර්ධන මිය, අධ්‍යක්ෂ ජනරාල්, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව - රණසිංහ, අයවැය අතිරේක අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ජනරාල් රාජ්‍ය ගිණුම් සහ අධ්‍යක්ෂ ජනරාල්, සමෘද්ධි අධිකාරිය එනම්, 4 වන විත්තිකරු යන අයයි. මෙය සිදුවී ඇත්තේ මෙම නඩුවේ චෝදනා කරන දිනයක නොව, 2013.07.05 වන දිනදී ය. මෙහි කිසි තැනක 2 වන විත්තිකරුගේ නමක් සඳහන් වන්නේ නැත. එහිදී සාකච්ඡා කරගෙන ඇති තීරණ අතර, ලකුණු කර ඇති කොටස්වලට අනුව මෙවැනි නිවාස පහසුකම් සඳහා ගෙවීමක් සිදු කිරීමට යෝජනා කර ඇත. එනම්, රුපියල් 30,000/- ක උපරිමයකට යටත්ව, තවත් කාරණා සඳහා රුපියල් 50,000/- ක උපරිමයකට යටත්ව, තවත් අවස්ථාවක රුපියල් 65,000/- ක උපරිමයකට යටත්ව නිවාස සකසා ගැනීමට ආධාරදීමට බලාපොරොත්තු වී ඇත. එහිදී ද සමෘද්ධි අරමුදලෙන් අවශ්‍ය මුදල් ලබාගෙන, පසුව මහා භාණ්ඩාගාරය මඟින් එය ප්‍රතිපූර්ණය කිරීම, සිදු කිරීම කරනු ඇති බවට එහි සඳහන් කර ඇත. එය බොහෝදුරට XI ට සමානය.
මෙම ඉසුරුමත් නිවහන වැඩසටහන නීති විරෝධී කාර්යයක් යයි යන හැඟීමක් කිසිවිටකත් තමන්ට තිබුණේ නැති බව පැ.සා. 1 හරස් ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් සඳහන් කර ඇත. පැ.සා. 1 ගේ සාක්ෂි අනුව මෙම රුපියල් 2500/- ගෙවීම දිවි නැඟුම ප්‍රතිලාභීන් අතරද, වඩාත්ම දුප්පත් අයට ගෙවීම සඳහා සමීක්ෂණයක් කර ලබාගත් ප්‍රතිඵල අනුව සිදුකර ඇත. එය පෙර සඳහන් කළ කාරණා මත සලකා බැලූ විට පනතේ පරමාර්ථ සහ බලතල ඇතුළත සිදුවී ඇති බවට තීරණය කරමි. 2 වන චූදිත වංක ලෙස ක්‍රියා කළා යයි මේ අනුව කිසිසේත් පිළිගත නොහැකි ය. වංක ලෙස වීමට නම්, නීති විරෝධී ලෙස කිසිවෙකුට යම්කිසි අයුතු වාසියක් හෝ අයුතු අවාසියක් සිදුවිය යුතුය. මෙහිදී එවැන්නක් සිදුවී නැත. එබැවින් 2 වන චූදිතට එරෙහිව චෝදනාව සනාථ වන්නේ නැත.
අවභාවිතයක් නොවේ
පැමිණිල්ල කියා සිටින්නේ දිවි නැඟුම බැංකු, බැංකු කටයුතු කරන එනම්, තැන්පත් භාර ගැනීමේ හැකියාව සහ එම තැන්පත්වලින් ණයදීම් සිදු කිරීමට හැකි බැංකුවක් වන බවයි. එසේම ලංකාවේ කිසිදු බැංකුවක් මහ බැංකුවේ අධීක්ෂණයෙන් තොරව පවත්වාගෙන යාමට නොහැකි බවයි. විත්තිය විශ්වාසය තබන, පැමිණිල්ලේ සාක්ෂි අංක 22 - පී.බී. ජයසුන්දරගේ සාක්ෂිය අනුව දිවි නැඟුම බැංකුවල ඇති මුදල් පොදු දේපළ නොවේ යයි කියා සිටියත්, එය ඔහුගේ මතයක් මිස, නීතියට අනුව කරන ප්‍රකාශයක් නොවන බව සඳහන් කර ඇත.
පැමිණිල්ල කියා සිටින්නේ පැ.සා. 4 ගේ සාක්ෂි අනුව අනිවාර්යය ඉතිරි කිරීම්, ඒවායේ ගිණුම් හිමියන්ට අවශ්‍ය ඕනෑම විටක ලබා ගැනීමට නොහැකි බවයි. ඒවා ලබාගත හැක්කේ, උදාහරණ වශයෙන් ගිණුම් හිමියාගේ වයස සම්පූර්ණ වූ විට, නැතහොත් අසනීප වූ අවස්ථාවක, එවැනි වෛද්‍ය පහසුකම් අවශ්‍ය විටක යන අවස්ථාවලදී පමණක් බවය. එබැවින් පී.බී. ජයසුන්දරගේ සාක්ෂිය මත එම දේපළ පොදු දේපළක් ද යන්න තීරණය නොකළ යුතු බව දක්වා ඇත.
දිවි නැඟුම ප්‍රජාමූල බැංකුවල ඇති මුදල් පොදු දේපළ ද යන්න සලකා බැලීමේදී, එම සාක්ෂි පමණක් නොව, පනතේ ප්‍රතිපාදන සහ 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහිලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනතේ, පොදු දේපළ සඳහා දී ඇති අර්ථ නිරූපණය සලකා බලා තීරණයක් කළයුතුව ඇත. එහිදී ඇති අර්ථ නිරූපණය මීට පෙර සඳහන් කර ඇත. එකී අර්ථ නිරූපණ වගන්තිය අනුව දිවි නැඟුම බැංකුව ඊට ඇතුළත්වී නැත.
තවද දිවි නැඟුම බැංකු එහි සාමාජික ප්‍රතිලාභීන්ට පමණක් විවෘතව ඇති බැංකුවක්ය. එහි ඕනෑම කෙනෙකුට මුදල් තැන්පත් කිරීමට හෝ ඕනෑම කෙනෙකුට ණය ලබාගැනීමට හැකියාව ඇති ආයතනයක් නොවේ. පනතේ 25 වන වගන්තිය ආරම්භ වන්නේම ස්වකීය ප්‍රතිලාභීන් අතර යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් කර ඇත්තේ, Among its beneficiaries යනුවෙන්ය.
එසේම පනතේ 35 වන වගන්තිය අනුව දිවි නැඟුම පනත යටතේ පිහිටුවන බැංකු 1988 අංක 30 දරන බැංකු පනතේ විධිවිධාන සහ 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ විධිවිධාන අදාළ නොවන ආයතනයක්ය.
එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාරයේ ලේකම්වූ පී.බී. ජයසුන්දරගේ සාක්ෂියෙන් සඳහන් කළේ, එම දිවි නැඟුම බැංකු සඳහා ප්‍රාග්ධනය වශයෙන් රජය විසින් මුදල් ලබාදී නැති බවය. මෙම කරුණු සලකා බැලූ විට දිවි නැඟුම ප්‍රජාමූල බැංකුවල ඇති මුදල් පොදු දේපළක් වශයෙන් සැලකීමට හැකියාවක් නැත.
දිවි නැඟුම පනතේ රජයේ මුදල් පිළිබඳ වෙනමම ප්‍රතිපාදන ඇත. 8 වන කොටසේ 36 සහ 37 වගන්තිවල රජයේ මුදල් සම්බන්ධයෙන් සඳහන් කර ඇත.
පැමිණිල්ලේ සඳහන් කරන චෝදනාවේ සඳහන් කරන මුදල් මෙම 36 සහ 37 වගන්තියේ දක්වා ඇති මුදල් නොවේ.
අවසන් තීරණය
ඉහතින් දක්වන ලද කරුණු සලකා බැලූවිට දිවි නැඟුම බැංකු 1982 අංක 12 දරන පොදු දේපළ පිළිබඳ පනතේ අර්ථයට අනුකූලව පොදු දේපළක් වශයෙන් ඇතුළත් වී නැත. මේ කරුණු අනුව දිවි නැඟුම පනතේ ප්‍රතිපාදන සහ 1982 අංක 12 දරන පොදු දේපළ පනතේ අර්ථයට අනුව 2 වන විත්තිකරු විසින් වරදක් සිදු කළාය යන කාරණය සංස්ථාපනය වන්නේ නැත.
ඉහතින් දැක්වූ තත්ත්වයන් මත 2 වන චූදිතට එරෙහිව නගා ඇති චෝදනා ඔප්පු වන්නේ නැති බැවින් 2 වන චූදිතට එරෙහිව නගා ඇති චෝදනාවලින් ඔහුව නිදොස් කොට නිදහස් කරමි.
2 වන චූදිතට එරෙහි චෝදනා ඔප්පු වන්නේනැති බැවින්, සෙසු චූදිතයන් කොහෙත්ම වරදකරුවන් කළ නොහැකිය. ඒ අනුව 1, 3 සහ 4 චූදිතයන් ද නිදොස් කොට නිදහස් කරමි” යැයි මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ තම තීරණය දෙමින් ප්‍රකාශ කර ඇත.