ඩීල් දාන දේශපාලන සංස්කෘතියක් අපි ළඟ නෑ | සිළුමිණ

ඩීල් දාන දේශපාලන සංස්කෘතියක් අපි ළඟ නෑ

- තල්ලු ස්ටාට් එකක් මුලින්ම අපගේ ආර්ථිකයට ලබා දිය යුතුයි
- චරිත ඝාතන දේශපාලන සංස්කෘතිය හඳුන්වා දුන්නේ මංගල සමරවීර ඇමතිවරයා
- මේ ආණ්ඩුව යටතේ රාජ්‍ය ඇමතිවරුන්ට පූර්ණ බලතල ලබාදී තිබෙනවා
- බැසිල් රාජපක්ෂ නැත්තම් අද පොහොට්ටුවක් නෑ

මෙවර අයවැය පිළිබඳව ඔබ මොකද හිතන්නේ?

මේ අයවැය ඇවිල්ලා අපිට පිම්මක් පනින්න පුළුවන් එකක්. එහෙමත් නැතිනම් අපගේ ආර්ථික ගමන් මඟට හොඳ ආරම්භයක්. මොකද අපි දැවැන්ත ආර්ථික පරිහානියකට පත්වෙලා තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒ වගේම කොවිඩ් වසංගතයත් එක්ක ලෝකයම ආර්ථික වශයෙන් කඩා වැටිලා තිබෙන අවස්ථාවක්. අපි අපගේ කලාපීය රටවල් ගතහොත් බංග්ලාදේශය හැර අනෙක් සියලු රටවල් ඍණ ආර්ථිකයක් කරා ගමන් කරනවා. චීනය ගත්තත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්න උත්සාහයක් දරනවා. යුරෝපය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා තිබෙන්නේ. ආසියාවේ සංවර්ධිතයි කියන රටවල් සිවිල් අරගලවලට දැන් යොමු වේගෙන යනවා. ලෝකයම මුල්‍ය අර්බුදයක තිබෙන අවස්ථාවක තමයි අපි මේ අයවැය ඉදිරිපත් කරන්නේ. අපි ‘කික් ස්ටාට්‘ එකක් එහෙම නැතිනම් තල්ලු ස්ටාට් එකක් අපි මුලින්ම අපගේ ආර්ථිකයට ලබා දිය යුතුයි. යැපෙන්නන් වෙනුවට යපන්නෝ අපි නිර්මාණය කළ යුතුයි. අපි හැමදාම සමෘද්ධිය බලන් ඉන්නවා වෙනුවට ආණ්ඩුවේ රස්සාවක් ලැබෙනකන් ඉන්නවා වෙනුවට ව්‍යවසායකයන් හදන්න ඕන. අද ලංකාවේ ව්‍යවසායකයන්ගේ ප්‍රතිශතය සියයට හතරයි. දියුණු රටවල් වල එය සියයට විසිපහයි; තිහයි. අපි කොහොම හරි ව්‍යවසායකයන් ප්‍රමාණය අන්න ඒ ගාණට ගේන්න ඕන. අපිට ඒක කරන්න පුළුවන්. මිලියන 22 ලංකාවේ ජනගහනය ඉන්නේ; එයින් 17 යි ලංකාවේ ජීවත් වෙන්නේ. අනෙක් පුද්ගලයන් විදේශගත වෙලා සිටිනවා. අපිට ලක්ෂ 17 ක සමෘද්ධිලාභීන් ව්‍යවසායකයන් කරන්න පුළුවන් නම් එතනයි වැදගත්. මින් එක් අයෙක් එක රැකියාවක් නිර්මාණය කළහොත් අපිට පුළුවන් අපගේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න.

මේ අයවැය තනිකරම ව්‍යවසායකයන්, ගෘහස්ථ ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ආර්ථිකය පදනම් කර ගත් අයවැයක්. විශේෂයෙන්ම අපගේ ක්‍රීඩා අමාත්‍යාංශය ගත්තත් අනෙක් අමාත්‍යාංශ ගත්තත් අපි ගම සමඟ පිළිසඳර වැඩසටන යටතේ තමයි සියලුම ආයෝජන සිදු කරන්නේ.

මේ අයවැයෙන් ජනතාවට සහන දෙන්න බැරි වුණේ ඇයි? විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලවත් පහත දැමීමක් සිදු වුණේ නැහැ නේද?

ඇත්තටම මෙම අයවැයෙන් විශාල සහන ප්‍රමාණයක් වැඩි වෙලා තිබෙනවා. බදු සහන අපි ජනතාවට ලබා දුන්නා. ඒ මේ ආණ්ඩුව ගත්ත ගමන්. මේ රජය පිහිටවූ ගමන් ලබා දුන් බදු සහන ජනතාවට කවදාවත් ලබාදීලා නැහැ. දැන් අපි ගෙනැල්ලා තිබෙනවා නිෂ්පාදනවලට සහන. ඒකයි මම කියන්නේ අපි යැපෙන්නන්ගේ ආර්ථිකයක් හදන්න ඕන කියන එක. එහෙම නම් අපි නිකන් දීලා හරි යන්නේ නැහැ. අපි ඒ නිසා තමයි ව්‍යවසායකත්වයට හැකි උපරිම අයුරින් සහන ලබා දෙන්නේ. කුඩා ව්‍යාපාරවලට අපි සහන ලබා දෙනවා. කෘෂිකර්මාන්තයට පිවිසෙනවා නම් අපි ඒ වෙනුවෙන් බදු සහන ලබා දෙනවා.

නිෂ්පාදන ආර්ථිකයක් කරා අපි යන්න නම් නිෂ්පාදකයාට සහන ලබා දෙන්න ඕන. නිෂ්පාදකයාගේ සහන ටික තමයි ජනතාවට ලබා දිය යුත්තේ. ඉතිහාසයේ අපි දැක්ක නේ. අද අපි බඩුවලට පාලන මිල දැම්මට කළු කඩ මුදලාලි ඔහුට ඕන ගණනට විකුණනවානේ. පාරිභෝගික අධිකාරියට මේ කොරෝනා වසංගතයත් එක්ක සෑම කඩේකින් කඩයකට යන්නත් බැහැ.

ඒ නිසා අපි මොකක්ද කරන්න ඕන. අපි මේ ක්‍රමය වෙනස් කරලා නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කරන්න ඕන. සේවා ආර්ථිකයේ අපි ඉන්නවා. සේවා ආර්ථිකය යම් දවසක අපිට ඔසවන්න පුළුවන්. මේ නිසා අපි නිෂ්පාදන ආර්ථිකයක් කරා යා යුතුම තත්වයක් තිබෙන්නේ. මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි වසර කිහිපය තුළ නිෂ්පාදන වැඩි කරමින් අපගේ ඉලක්ක කරා ගමන් කරන්නට.

කොරෝනා දෙවන රැල්ල මැඬ පවත්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධව රජයට චෝදනා එල්ල වෙනවා?

ලෝකයේ ප්‍රබල රටවල් සියල්ලට ඉහළින් සිටිමින් අපි ප්‍රථමයෙන් පැමිණි කොරෝනා තත්වය ඉතා හොඳින් පාලනය කළා.

ඒ පිළිබඳව ලෝකයේ ප්‍රබල රටවල් ශ්‍රී ලංකාව ඇගයීමකට ලක් කරා පමණක් නොවෙයි. අපි ඒ සඳහා අනුගමනය කරන ලද ක්‍රම ඔවුන් ද අනුගමනය කිරීමට කටයුතු කළා. නමුත් මේ වන විට දෙවන රැල්ල ආරම්භ වෙලා තිබෙනවා. එය ව්‍යාප්ත වීම මේ වන විට අපි රජයක් හැටියට රටක් හැටියට ඉතා හොඳ මට්ටමින් පාලනය කරමින් සිටිනවා.

කොරෝනා පාලනය කළ හැකි වුවත් එය සුව කිරීම සඳහා තවමත් ලෝකයේ කිසිදු රටකින් බෙහෙත් සොයාගෙන නැහැ. මේ තත්වය අපි තේරුම් ගත යුතුයි. අපේ වෛද්‍ය කණ්ඩායම් මේ සඳහා ඉතා උසස් මට්ටමින් කැපවෙමින් එම ක්ෂේත්‍රයේ නිලධාරින්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන රැසකගේ සහභාගීත්වයෙන් අපි දෙවන රැල්ල පාලනය කිරීමේ කටයුතු සිදු කරමින් සිටිනවා. මෙහි ව්‍යාප්තිය පාලනය කිරීමට රජය විසින් කටයුතු කරනවා.

අනික් කාරණය තමයි රට ඇරගෙන කොරෝනා පාලනය කර එක අමාරුයි; වහගෙන පාලනය කිරීම ලෙහෙසියි. නමුත් ඒ නිසා දිගුකාලීන ආර්ථික කඩා වැටීමකට රට පත්වනවා. ආර්ථික වශයෙන් රට කඩා වැටෙන එක ගොඩගන්න අපිට ඊට වඩා දැවැන්ත ආයෝජනයක් කරන්න සිද්ධ වෙනවා.

ඒ නිසා අපි අද ලෝකය දිහා බලද්දි සම්පූර්ණ ‘ලොක් ඩවුන්‘ කියන කාරණය ඉවත් කරන්න රටවල් බොහොමයක් කටයුතු කරනවා. විශේෂයෙන් රෝග ව්‍යාප්තිය තිබෙන නගර ගම්මාන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ පමණක් වසා දැමීමට කටයුතු කරනවා. මෙන්න මේ දේ අපි හොඳින් තේරුම් අරගෙන ඒ වෙනුවෙන් ඒ අයුරින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

අපි රජයක් හැටියට එය ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒ සඳහා සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා. එදා තිබුණු තත්ත්වය අද රටේ නැහැ. නමුත් යම්තාක් දුරට ජනතාවට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයකට අපි මේ රට පත් කරලා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ෆේල් කියලා විපක්ෂය ඇතුළු කණ්ඩාම් කිහිපයක් ප්‍රචාරය කරනවා. ඇත්තටම ඔහු ෆේල් ද?

ගෝඨාභය රාජපක්ෂයන් ෆේල් ද පාස් ද කියන එක ජනතාව තීන්දු කරලා ඉවරයි. විශේෂයෙන්ම ඔහු ජනාධිපති වශයෙන් තෝරා පත් කර මාස 9 කට පසු පැවැත්වූ මහමැතිවරණයේදී ජනතාව අපේ රජය පිහිටුවන්න තුනෙන් දෙකක බලයක් ලබා දෙනවා. මේ කරුණෙන් පැහැදිලිවම ජනතාව තීරණය කරලා ඉවරයි ගෝඨාභය ෆේල් ද පාස් ද කියන එක. අනික් කාරණය තමයි මීට පෙර හොරා හොරා කියලා ඔහුට බොරු චෝදනා නගපු අයම තමයි දැන් ගෝඨාභය රාජපක්ෂයන් පාස් ද ෆේල් ද කියලා අහන්නේ කියන එක. මේ බව මේ රටේ ජනතාව පැහැදිලිව දන්නවා. අපෙන් ෆේල් ද පාස් ද කියලා අහන අය විභාගයට පෙනී සිටියේ නැද්ද කියන එක අපට අහන්න පුළුවන්. ඔය කට්ටිය අවුරුදු පහක් මේ රට පාලනය කරලා විනාශ කරලා දැම්මා. මේ යහපාලන ආණ්ඩුව බොරුවට මුදල් නාස්ති කරමින් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බැරි තත්වයට වට්ටලා දැම්මා.

ඇයි 20 ගේන්න තීරණය කළේ. රට ගොඩ නඟන්න 20 ඕනමද?

19 වෙනි සංශෝධනයත් සමඟ විශාල ව්‍යාකූලභාවයක් ඇති වුණා. මේ ව්‍යාකූලභාවය නැති කරන්න තමයි 20 වැනි සංශෝධනය ගෙන ආවේ. 19 අඩංගු කරණාවලින් අපට ආණ්ඩුවක් කරගෙන යන්න බැරිකම නිසා නොවෙයි. 19 ත් එක්ක දැවැන්ත ව්‍යාකූලභාවයක් ඇති වුණා.

විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ඇතුළු ආයතන ගණනාවකම. ඒ වගේම ජනාධිපති සහ අගමැති අතර අර්බුදය. විශේෂයෙන්ම රට කරගෙන යෑමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයන් මුහුණ දුන් තත්ත්ව. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා මේවා සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වුණා. මේවාත් එක්ක මේ තිබෙන ව්‍යාකූලභාවය ඉවත් කරන්නට සිදු වෙනවා.

අපි දන්නවා පොලිස්පති පත් කරන්න වගකිව යුත්තේ කවුද කියන එක ගැටලුවක්ව තිබුණා. අධිකරණය ස්වාධීන කරන්න ගියා වෙනුවට එය හුදෙක් දේශපාලනීකරණය වුණා. මෛත්‍රීපාල සිරිසේනයන් කියනවා නීතිපති දෙපාර්තමේන්තුවට මුදල් ගෙව්වා කියලා. FCID එක වගේ ආයතන හදලා බොරු චෝදනා එල්ල කරමින් නඩු දාන්න තරම් එම ආයතනය දේශපාලනීකරණය වූවා. FCID වැනි ආයතන තුළින් නඩුව දාන්නේ කාටද අත්අඩංගුවට ගන්නේ කවුද මේ වගේ දේවල් දේශපාලනඥයන් විසින් තීරණය කළා.

මහබැංකු කොල්ලය එසේත් නැත්නම් බැඳුම්කර වංචාව සිදු කළ පුද්ගලයන්ට එරෙහිව රජය දඬුවම් ලබා දෙන්නේ කවදාද?

මේ සඳහා අවශ්‍ය සියලු පරීක්ෂණ කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි. මේ සම්බන්ධව සියලු නීතිමය ක්‍රියාමාර්ග අපි ක්‍රියාත්මක කරනවා. සියයට සියයක් ම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරන්නේ අදාළ වරදකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා නීතීමය පියවර ගන්නවා.

දේශපාලනය පක්ෂ පාට මේ කිසිවක් අදාළ කරගන්නේ නැහැ; නීතියට සැඟවෙන්න කාටවත් බැහැ. අපි ආණ්ඩුව තුළත් පාර්ලිමේන්තුව තුළත් මේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක පිළිබඳව දැඩි තීන්දුවක ඉන්නවා.

පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට බැසිල් රාජපක්ෂයන්ට මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් තිබෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස?

මම පෞද්ගලිකව හිතනවා ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක් කියලා. මොකද එතුමාට ඒ සඳහා සම්පූර්ණ අයිතියක් තිබෙනවා. ඔහු තමයි අදටත් අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන පොහොට්ටුවේ නිර්මාතෘ. ඔහු නැතිවෙන්න අද පොහොට්ටුවක් නැහැ.

බැසිල් රාජපක්ෂයන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ අද පාර්ලිමේන්තුව නියෝජනය කරන සමාජය පිළිගත් බොහෝ පිරිසක් සිටිනවා.

මෙවැනි පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒම බැසිල් රාජපක්ෂයන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ දැවැන්ත ඉලක්කයක් වුණා. අද ඒ ඉලක්කය අපි ජයගෙන තිබෙන්නේ ඔහු නිසායි.

මා පැහැදිලිවම කිව යුත්තේ එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයකු බවයි.එතුමා පාර්ලිමේන්තු ආවොත් සමගි ජන බලවේගයටත් එතුමාගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි.

පාර්ලිමේන්තුවට නවක මුහුණු 81 පැමිණෙනවා. එහෙත් පාර්ලිමේන්තුවේ වාද විවාද ඇතිවන අවස්ථාවලදී බොහෝ ඇමතිවරු, මන්ත්‍රීවරු අනවශ්‍ය කතාබහ සහ පෞද්ගලික කරුණු පාර්ලිමේන්තුව තුළදී කතාබහ කරනවා. මේ තත්වයෙන් පාර්ලිමේන්තුව මුදා ගන්නේ කෙසේද?

ඇත්තටම ඔය සංස්කෘතිය පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂය. මේකේ වගකීම බාර ගන්න ඕන මංගල සමරවීර. එතුමා මුලින්ම රනිල් වික්‍රමසිංහට මඩ ගහලා තමයි කටයුතු කළේ.

ඔහු එහිදී ‘මිස්ට බීන්‘ කියන නමින් තමයි රනිල් වික්‍රමසිංහව ආමන්ත්‍රණය කරනු ලැබුවේ. චරිත ඝාතනය කියන දේශපාලන සංස්කෘතිය හඳුන්වා දුන්නේ මංගල සමරවීර ඇමතිවරයා. අද එතුමා පාර්ලිමේන්තුවේ නැහැ. ඒක වෙනම කාරණයක්. හැබැයි මෙහි තිබෙන කනගාටුදායක තත්ත්වය තමයි සමගි ජන බලවේගයේ නායකත්වය ගන්න පුළුවන් හරීන් ප්‍රනාන්දු වැනි සහෝදරයන් මේ මාර්ගයේම යන එක ගැන.

මා හිතනවා එවැනි තරුණ නායකයන් මේ මාර්ගයෙන් ඉවත් වී වෙනත් මාර්ගයක් සොයා ගතහොත් එය දේශපාලනයට මෙන්ම ඔවුන්ගේ පෞද්ගලිකත්වයටත් ඉතාම හොඳයි කියන කාරණය. මොකද අපේ දේශපාලනය තුළ අපි කිසිවකුට පෞද්ගලිකව මඩ ගහන්නේ නැහැ.

මොකද අපිටත් මඩ ගහන්න ඕන නම් අපි ඔය බොහෝ දෙනකු ගැන දන්නවා. මොකද අපේ හිතවතුන් නිසා. යාළුකම සහ රාජකාරී ජීවිතය කියන්නේ දෙකක්. මේ සියලු අයගෙන් මා ඉල්ලා සිටින්නේ මේ දෙක පටලවා ගන්න එපා.

එහෙම වුණාම බොහෝ අපහසුතාවයන්ට මුහුණ පාන්නට සිදුවෙයි. මොකද අපි ඉකුත් පාර්ලිමේන්තුවේදී මෙය පැහැදිලිව දුටුවා. මේ දෙක පටලවාගත් අයට ඉකුත් පාර්ලිමේන්තුවෙන් පසුව ගෙදරම යන්න සිද්ධ වුණා. ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කළා. ඒක තමයි ඇත්ත. මේ නිසා මේ තත්ත්වය තේරුම් ගත යුතුයි.

ඔබ සදාචාරය පිළිබඳව කතා කළාට 20 සම්මත කර ගන්න විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමකගේ සහය ලබා ගන්නවා. එය ඔබලාගේ රජය සිදු කළ ඩීල් එකක් නේද. එය සාදාචාරාත්මකද?

නැහැ. අපි කිසිම ඩීල් එකක් දැම්මේ නැහැ. එහෙම ඩීල් එකක් දැම්මා නම් අපිට දාන්න තිබුණේ දින 52 ආණ්ඩුව කාලය තුළදි. ඒ සඳහා කණ්ඩායම් අපි ළඟට ආවා. ඒත් අපි ඩීල් දාන්න ගියේ නැහැ. අපි දින 52 ආණ්ඩුව ගත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය නිසා.

අදත් ඒ වගේම තමයි; අපි ඩීල් දාන්නේ නැහැ. ඒ දේශපාලන යුගය අපි අවසන් කරන්න ඕන. දානව නම් 2015 ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඇමතිවරු එක්ක අපිට ඩීල් දාන්න තිබුණා. අපි එහෙම කළේ නැහැ. අපිට ඇවිල්ලා කිව්වා ලිඛිතව දෙන්න නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක; අලුත් පරිපාලන ලේකම් කාර්යාල. මහින්ද රාජපක්ෂයන් ඒවාට අවස්ථාව ලබා දුන්නේ නැහැ. අපගේ දේශපාලනය කියන්නේ ඒක නොවෙයි.

අපි පාර්ලිමේන්තුවේදි 20 ට කැමති අයට ඡන්දය දෙන්න කියලා පක්ෂ විපක්ෂ සියලු දෙනාට පොදු ආරාධනාවක් කළා. ඒ අනුවයි විපක්ෂයේ පිරිසක් අපට සහය ලබා දුන්නේ. අපගේ රජයේ කිහිපදෙනෙක් හිටියා මෙයට අකමැතිව. පසුව තත්ත්වය තේරුම් ගැනීමෙන් පසු ඔවුන් අපිට සහය ලබා දුන්නා.

කොරෝනා වසංගතය ක්‍රීඩාවටත් ලොකු බාධාවක්. ක්‍රීඩකයන් වෙනුවෙන් ඔබ මොකද කරන්නේ?

ක්‍රීඩාව සහ යෞවනයට තියෙන අභියෝග කොරෝනා සමඟ අඩපණ වෙනවා. නමුත් මේ වන විට අපි සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කරලා ජාත්‍යන්තර තරග පවත්වන්න පුළුවන් පසුබිමක් අපි සකස් කරමින් යනවා. ලබන වසර වෙනකොට අපි උත්සාහ කරනවා ජාතික තරගත් පවත්වන්න. මේ වේලාව අපි උපයෝගි කරගන්නවා අපගේ ක්‍රීඩා පසුබිම සකස්කර ගන්න.

ක්‍රීඩා අමාත්‍යාංශයේ තිබුණු වැරැද්ද තමයි කිසිම සැලැස්මක් නැතිව දේශපාලන අවශ්‍යතා මත බොහෝ ආයෝජනයන් සිදුකරපු එක. සෑම වසරකම බිලියන තුන හතරක් යට කරනවා යටිතල පහසුකම් වලට. ඒ ආයෝජනය කරලා තිබෙන්නේ එකම ක්‍රීඩාංගණවලට. වසර 20, 30 මේ වගේ කාලයක් මේ ක්‍රීඩාංගණවලට මුදල් යොදවලා තිබෙනවා. ඒවායෙන් ක්‍රීඩකයන්ට කිසිම ප්‍රයෝජනයක් වෙලා නැහැ.

අපි මේ තත්ත්වයන්ගෙන් මිදිලා 2023 වෙනකොට ඉලක්ක දීලා තිබෙනවා ප්‍රධාන ක්‍රීඩාංගණ සියල්ල සාදා නිම කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රීඩාපිටි සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් අපි වෙන්කර තිබෙනවා. දිස්ත්‍රික්ක, පළාත් මට්ටමින් ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දී මෙය නංවාලීම සඳහා දීපව්‍යාප්තව වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවනවා.

(ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු)

Comments