විපක්ෂය හැමදාමත් ෆේල් | සිළුමිණ

විපක්ෂය හැමදාමත් ෆේල්

- අපේ ඉලක්කය ගොවියා රජ කරවීමයි
- අපි හදන්නෙ වැවිලි ආර්ථිකයක්
- බොරුවට චෝදනා කර කර ඉන්නෙ නැතිව කොරෝනා මඬින්න අපිට සහය වෙන්න
- බැසිල් රාජපක්ෂයන් පාර්ලිමේන්තුවේ ඉන්න එක රටට ශක්තියක්

මෙවර අයවැය පිළිබඳව ඔබ මොකද හිතන්නේ?

කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි පීඩනකාරී තත්ත්වයකින් බැට කමින් සිටින්නේ. මේක ලෝකය දිහා බලද්දීත් එසේමයි. අද මුළුමහත් ලෝකයම මේ උවදුර නිසා කම්පනයකට පත්වූ ජනතාවක් සිටින්නේ. මේ සියල්ල මැද්දේ රජය මෙවර අය වැය ඉදිරිපත් කරනු ලබන්නේ. එහිදී ජනතාවගේ අභිලාෂ රැසක් ඉටු කර ගැනීම සඳහා මෙවර අය වැයෙන් ජනතාවට හැකියාව තිබෙනවා. මෙහිදී සමාජ සුබසාධන සහ ආර්ථිකය ඉලක්ක කර තිබෙනවා. විශිෂ්ට අභිලාෂ රැසක් කැටි කොට මෙය ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රධාන වශයෙන් රටේ නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්නටත් රජයේ අනවශ්‍ය වියදම් අඩු කරමින් දේශීය නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කරන්න මෙහිදී පියවර ගෙන තිබෙනවා. සාම්ප්‍රදායික අය වැය ලේඛනයෙන් එහා ගිය අය වැය ලේඛනයක් හැටියටත්, පසුගිය වසරේදී ගත්තු ප්‍රතිපත්තිමය තීරණ ශක්තිමත් කරන අයවැය ලේඛනයක් හැටියට මේ අයවැය ලේඛනය හඳුන්වා දෙන්නට පුළුවන්.

මෙවර අයවැයෙන් සාමාන්‍ය ජනතාවට කිසිම සහනයක් නැහැ නේද?

බොහොම පැහැදිලිව මේ රටේ සාමාන්‍ය ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන රාශියක් ලබාදීමට අපිට මේ අයවැයෙන් හැකිවෙලා තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සහ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය ඇතුළු ලක්ෂ පනහකට ආසන්න ජනතාවකට සහන ලබාදී තිබෙනවා. එහිදී ඔවුන්ට දායකත්ව විශ්‍රාම වැටුපක් ලබාදීමට පියවර අරගෙන තිබෙනවා‍. කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය සහන ලබාදීම සඳහා ජල යෝජනා ක්‍රම මඩ පොහොර සහන ලබාදීම වැඩි දියුණු කරන්නට අනෙකුත් වගා සඳහා ඵලදායිතාව වැඩි කිරීම සඳහා සහන රාශියක් ලබාදී තිබෙනවා‍. ඒ වගේම මේ රටේ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ඵලදායිතාව වැඩි කරමින් ඒවා වැඩි දියුණු කරන්න යෝජනා රැසක් එක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය මෙන් ම වැවිලි කර්මාන්තයට සම්බන්ධ විශාල පිරිසකට මේ මගින් සහන රාශියක් ලබාදී ඇති බව අපි ඉතා පැහැදිලිව කියනවා. එතැනින් එහාට ගිහිල්ලා මේ රටේ ස්වයං ‍රැකියාවලට අනෙකුත් රැකියාවල නිරත වන ජනතාවට ව්‍යාපාරිකයන්ට තමුන්ගේ ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට බැංකුවෙන් අවශ්‍ය මුදල් ඉතා අඩුම පොලියකට ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරිපත් කරලා තිබෙනවා. ව්‍යවසායකයන්ට අවශ්‍ය දැනුම ලබාදීමට අදාළ යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා මේ රටේ බහුතරයක් ජනතාවට සිය ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය යෝජනා රැසක් මෙවර අය වැය ලේඛනය මගින් රජය ඉදිරිපත් කර තිබෙනවා.

කොරෝනා පළමු රැල්ල ශ්‍රී ලංකාව ඉතා හොඳින් පාලනය කළා. එහෙත් දෙවැනි රැල්ල මේ තරම් ව්‍යාප්තවීම පිළිබඳව වෛද්‍යවරයකු වශයෙන් ඔබ දකින්නේ කෙසේද?

පැහැදිලිවම මේ වයිරසය ප්‍රබල එකක් බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. මේ වයිරසය ප්‍රථම අවස්ථාවට වඩා අතිප්‍රබල ලෙස පැතිරී යාමේ වේගයක් තිබෙනවා. මේ නිසා තමයි මෙය ශ්‍රී ලංකාවේ විශාල පිරිසකට ගොදුරු වන්නට සිදුවෙලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ලෝකයේ අනෙකුත් රටවල් සියල්ල අපටත් වඩා ප්‍රබල ගැටලු රාශියකට මුහුණ දීලා තිබෙනවා; මේ වසංගතය හේතුවෙන්.

මේ තත්ත්වය ලෝකය හමුවේ අතිභයානක තත්ත්වයක් වුවත් මේ වනවිට කොරෝනා මර්දන බළකාය සහ සෞඛ්‍ය අංශ වෛද්‍යවරු ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු තවත් අංශ ගණනාවකම සහය ඇතිව මේ තත්ත්වය පාලනය කිරීම සඳහා අපිට හැකිවෙලා තිබෙනවා.

ගෝඨාභය ජනාධිපතිවරයා ෆේල් කියලා අද විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ සමාජයේ මතයක් ගෙන යනවා. ඇත්තටම ගෝඨා ෆේල් ද?

2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරයා වශයෙන් පත්වෙනවා. ඔහුට ජනාධිපති ධුරය ලබා දෙන්නේ ජනතාව විසින්. 1978 න් පසුව ජනාධිපතිවරයකු මේ තරම් ජනතා කැමැත්තකට පත් වූයේ නැහැ. ඉන් පසුව මහ මැතිවරණයේදී මේ හා සමාන වූ ජයග්‍රහණයක් අපගේ රජයට ලබාගැනීමට හැකි වෙනවා. විශේෂයෙන් ම අපි මහ මැතිවරණය ජයග්‍රහණය කරන්නේ තුනෙන් දෙකක බලයක් සහිතවයි.

විපක්ෂය කියන්නේ මේ වනවිට මෑත ඉතිහාසයේ බිහිවූ දුර්වලම විපක්ෂයයි. යහපාලන කාලයේදී මේ රටේ ආර්ථිකය, සමාජීය, දේශපාලන, සංස්කෘතික වශයෙන් මේ රට විනාශ කරමින් පහතට ඇද දැමුවා පමණක් නොව; රට තුළ කිසිම ආරක්ෂාවක් නැති කළ පිරිසක්.

ඒ නිසා මේ කතා හාස්‍යයට කරුණක් ලෙසයි මා දකින්නේ. මේක විරුද්ධ පක්ෂයේ මතවාදයක් පමණයි. කිසිදු පදනමක් නැතිව ඔවුන් කරන චෝදනාවක්. ජනතාව මේක තේරුම් ගෙන තිබෙනවා කියන එක අපිට පැහැදිලියි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණිලා වසරක කාලයක් ගත වෙලා තිබෙනවා. ඔහු වසරක කාලය තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ඔබගේ අදහස?

ගෝලීය ආර්ථිකයක් තුළ මේ රට ගොඩනැගීමේ ප්‍රවේශය අද ඔහු විසින් සිදු කරමින් සිටිනවා. අද කෘෂිකර්මාන්තය දියුණු කරමින් වවන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කරමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් මේ රට නව ආර්ථික ගමනක් කරා රැගෙන යමින් තිබෙනවා. ඒ නිසා මේ රටේ අතිවිශාල පිරිසක් මේ ක්‍රමවේදයන් නිසා ආර්ථික වාසි ලබමින් සිටිනවා. ජනතාවට මේ ප්‍රතිලාභ රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසුව ලෝකය සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසුව විඳින්නට හැකි වෙනවා. රටේ ජනතාව ඉතා හොඳ වකවානුවකට පියනගනු ඇති. අද මේ රටේ ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ. ජනතාව ගෝඨාභය ජනාධිපතිවරයා පිළිබඳව තැබූ විශ්වාසය තහවුරු වෙමින් තිබෙනවා. මැතිවරණයට පෙර ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බොහෝ කරුණු ඉකුත් වසර තුළ ඔහු ඉටු කරමින් දීර්ඝකාලීන ක්‍රියාමාර්ග සඳහා පිවිසෙමින් සිටිනවා.

ඔබලා 20 වැනි සංශෝධනය ගෙන ආවා. රට හදන්න 20 අවශ්‍යමද?

‍ඔව්. ඇත්තටම රාජ්‍ය යාන්ත්‍රණය තුළ තිබූ ගැටලු රාශියක් නිරාකරණය කිරීම සඳහා මෙය සිදු කළ යුතු බව අපිට වැටහී ගියා. ජනාධිපතිවරයා වශයෙන් බලයේ හිටපු මෛත්‍රීපාල සිරිසේන මෙය පිළිගත්තා. ජනතා ඡන්දයෙන් පත්වෙන ජනාධිපතිවරයාට 19 වැනි සංශෝධනයට අනුව කිසිදු තීන්දු තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් තමයි තිබුණේ. විශේෂයෙන් ම රටේ ආරක්ෂාවට වග කියන ආරක්ෂක අමාත්‍යාංශය පවා රටේ නායකයාට පාලනය කළ නොහැකි තත්ත්වයක් තමයි උදාවෙලා‍ තිබුණේ‍. විගණන කොමිසම ඇතුළු කොමිසන් සභා කිසිවක් නිසි ආකාරයට ක්‍රියාත්මක වුණේ නැහැ. මේ නිසා මෙවැනි ගැටලු රාශියක් නිරාකරණය කර ගැනීමටත් වැරැදි කර තිබූ පොලිස්පතිවරයා ඉවත් කර ගැනීමට නොහැකිව තිබූ පාලන ක්‍රමයක් තමයි 19 මගින් ක්‍රියාත්මක වුණේ. මේ ආකාරයෙන් විනාශ වෙමින් පරිහානියට ගිය රටක් නිදහස් කර ගැනීමට තමයි 20 වැනි සංශෝධනය ගෙන ඒමට සිදු වුණේ කියන එක අද ජනතාවට පැහැදිලි කරුණක්. ඒ අනුව 20 ක්‍රියාත්මකවීම තුළින් අර්ථවත්ව මේ රට පාලනය කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට හැකියාව ලැබෙනවා.

බැසිල් රාජපක්ෂයන් නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන බව පැවසෙනවා. ඔහු එලෙස පාර්ලිමේන්තුවට පැමිණිය යුතුද?

අපගේ රජයක් බිහි කිරීම ඇතුළු මේ පුනරාගමනයට බොහෝ කැප කිරීම් කළ මෙන් ම පොදුජන පෙරමුණ මෙලෙස නිර්මාණය කර රටට වැඩ කළ හැකි පිරිසකට මේ රට බාර දීමට ජනතා කැමැත්තට අපිව පත් කරන්නේ; බැසිල් රාජපක්ෂයන්ගේ දේශපාලන අත්දැකීම් සහිත ක්‍රියාදාමය. එලෙසම ඔහු වැඩ කරන වැඩකර පෙන්නපු රටට අවශ්‍ය දේශපාලනඥයෙක්. මෙවැනි කාරණා රාශියක් නිසා ඔහු නැවත පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි කියන එක පැහැදිලි කරුණක්. දක්ෂ දේශපාලනඥයෙක් මෙන් ම ඔහු දක්ෂ සංවිධායකවරයෙක්. ඔහු සතු මේ ශක්තිය රට සංවර්ධනයට, ගොඩනැඟීමට අනිවාර්යයෙන් ම දායක කරගත යුතුයි. ඒ වගේම ඊට එහාට ගිය ආර්ථික දැක්මක් මෙන්ම ආර්ථික කළමනාකරණයක් සිදු කළ හැකි පුද්ගලයෙක්. මේ දැවැන්ත ක්‍රියාමාර්ගය සඳහා එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. එතුමා පාර්ලිමේන්තුවේ සිටීමෙන් රටට යහපතක් සිදු වෙනවා මිස රටට කිසිදු අවැඩක් සිදුවන්නේ නැහැ කියන එක අපි පැහැදිලිවම කියනවා.

ලොක් ඩවුන් කළ ප්‍රදේශවල ජනතාව අද මාර්ගවලට බැහැලා රජයට විරුද්ධව උද්ඝෝෂණ සිදු කරමින් ජනතාවට සහන කිසිවක් ලබා නොදෙන බව පවසනවා. රජය ජනතා වගකීම පැහැර හරිනවාද?

මේ අවස්ථාවේ උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානවල පමණක් නොවෙයි. තෝරාගත් ප්‍රදේශ ගණනාවක ජනතාවට රජය උපරිම අයුරින් සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. ජනතාවට මතක ඇති පළමු රැල්ල අවස්ථාවේ අපි මේ රටේ සෑම ප්‍රදේශයකම පදිංචි ජනතාවට 5000 දීමනාව ඇතුළු සහන රැසක් ලබාදුන්නා. දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශවල මෙම සහන ලබාදීමේ වැඩසටහන ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. නමුත් සංවිධානාත්මක පිරිසක් දේශපාලන වාසි වෙනුවෙන් රජයට චෝදනා කරමින් මෙලෙස උද්ඝෝෂණ සිදු කරනවා.

අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මෙලෙස හුදෙකලා ප්‍රදේශ ඇති කරමින් හුදෙකලා කරන්නේ සෞඛ්‍ය අංශවල තීරණයකට අනුවයි. ජනතාවගේ යහපත වෙනුවෙන් රජය ගන්නා මෙම තීරණවලට සහය ලබා දෙන්න. පටු දේශපාලන අරමුණු සහිත පුද්ගලයන්ගේ අතකොලුවලට සහ ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගැනීමේ ගොදුරු බවට පත් වෙන්න එපා කියන කාරණය. රජයක් හැටියට අපි ජනතාවට මීට වඩා සහන ලබාදෙන්න හැකි නම් සතුටු වෙනවා. නමුත් ආර්ථික කළමනාකාරිත්වය අනුව තමයි මෙම තීන්දු තීරණ සියල්ල ගනු ලබන්නේ.

මේ වගේ ආපදා අවස්ථාවක රජයට ලබාදිය හැකි මුදල් ප්‍රමාණයන්හි ස‍ීමාවක් තිබෙනවා. මේ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබලාට යම් අපහසුතාවක් සිදු වූවා නම් මේ හුදකලා කිරීම් සහ නිරෝධායනය කිරීම් හරහා අපි කනගාටුවට පත් වෙනවා. මෙය රජයේ අවශ්‍යතාවක් නොවෙයි. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කොරෝනා මර්දනය සඳහා ක්‍රියාත්මක වීමක්. ඒ සඳහා ආධාරකයක් මේ නිසා අපි උත්සාහ කරනවා රට ඉතාම ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

ඔබගේ අමාත්‍යාංශයට අදාළම දෙයක් තමයි කහ ගැටලුව. ජනතාවට අද කහ ටිකක්වත් නැහැ. සමාජයේ මතයක් තිබෙනවා ඇයි කහ ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර හිඟයක් පවතින්නේ කියලා.

මේ රටේ වගා කරන්න පුළුවන් සියලු බෝග අපි පිට රටින් ගෙන ඒම නැවැත්තුවා. ඒක හොඳ තීරණයක්. මේ රට ගොවියා රකින්න නම් අපි අපගේ නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන ආ යුතුයි. රුපියල් කෝටි සිය ගණනක් පිටරටට යවමින් කහ මෙරටට ආනයනය කළා. අපි එය නැවැත්තුවා. කහ මේ වනවිට අපගේ රට තුළම වගා කරනවා‍. තව මාස කිහිපයකින් මේ අස්වනු සහන මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව තිබෙනවා. “වවන්නෝ දිනන්නෝ” කියන සංකල්පය අද අපි ක්‍රියාත්මක කරනවා. මෙන්න මේ නිසා ලංකාවේ වවන දේවල් අපි පිටරටින් ගෙන එන එක නතර කරලා තිබෙන්නේ.

රජය විටින් විට සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් පාලන මිලක් නියම කළා‍. නමුත් පාලන මිලක් නොමැතිව වෙළෙඳුන් ඔවුනට හිතුණු හිතුණු මුදලකට අලෙවි කරනවා. රජය මෙය නතර කිරීම සිදු කරන්නේ කොහොමද?

සාධාරණ වෙළෙඳපොළක් ඇති කරමින් ජනතාවට සහන මිලට එකම මිලකට ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා තමයි රජය පාලන මිලක් ගෙන ඒමට පියවර ගන්නේ. ඉදිරියේදී අප වගාකර වෙළෙඳපොළට නිකුත් කරන ආහාර ද්‍රව්‍යවලට පාලන මිලක් ක්‍රියාත්මක කරනවා. ඒ සෑම පාර්ශ්වයකටම සාධාරණය ඉටු කිරීම වෙනුවෙන්. ගොවියාට සාධාරණ මිලක් ලබාදෙන ගමන් පාරිභෝගිකයාට අවශ්‍ය හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම මෙන් ම කළුකඩ මුදලාලිලාගේ සංස්කෘතිය නතර කිරීමට අපට මේ මගින් හැකියාව ලැබෙනවා.

වෙළඳබෝග වලින් ගොවියාට සහන නොලැබෙන අතර අතරමැදි ව්‍යාපාරිකයන් අධික ලාබ ලබනවා‍. ඉදිරි‍යේදී මේ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද?

ඇත්තටම අපි ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි රජය බාර ගන්න අවස්ථාවේ තිබූ වෙළෙඳ බෝග බොහොමයක මිල අද දෙගුණයකින් වැඩිවෙලා තිබෙනවා. කුරුඳු කිලෝවක් රුපියල් 1200 ක් තිබුණේ. දැන් එය 2500 දක්වා ඉහළ ගිහිල්ලා. 300 ට තිබූ ගම්මිරිස් කිලෝවක මිල මේ වනවිට 550 වෙලා තිබෙනවා. අපි පිටරටින් මේවා ගෙන්වන එක නතර කර ඇති නිසා තමයි මෙහෙම මිල ඉහළ යන්නේ. ඉතා අඩු මිලකට මේවා පිටරටින් ගෙනවිත් අලෙවි කරපු නිසා තමයි මෙරට ගම්මිරිස්, කුරුඳුවලට මිලක් නොලැබුණේ. ඉදිරියේදී මේවා පාලනය කිරීමට අපිට හැකි වෙනවා.

ඔබගේ අමාත්‍යාංශයෙන් ඔබ ජනතාවට සහන ලබාදෙන්නේ කෙසේද?

මේ රටේ ආර්ථිකයට විශාල වශයෙන් දායකත්වයක් දෙන වැවිලි අමාත්‍යාංශය අපි ඍජුවම වෙනස් කම් රැසක් සිදු කරමින් සංවර්ධන ක්‍රියාදාමයට පූර්ණ සහයක් ලබාදෙනවා.

තේ, රබර්, පොල් ඇතුළු අපනයන බෝග ඉකුත් වසරට වඩා වැඩි වශයෙන් අපි අපනයනය කර තිබෙනවා. ගොවි ජනතාවට මේ මගින් සහන සලස්වා ඔවුනට ලබාදීමට හැකි උපරිම සහය රජයක් හැටියට ලබාදෙනවා.

ජාත්‍යන්තර තේ වෙළෙඳපොළ තුළ අපිට තිබෙන ඉල්ලුම තව වැඩිවෙමින් පවතිනවා. රබර් කර්මාන්තය දියුණු කරමින් ඒ වෙළෙඳපොළ අපි ජයගනිමින් සිටිනවා. පොල්වලට හොඳ මිලක් ලැබී තිබෙනවා. මෙරට පොල් අවශ්‍යතාව වෙනුවෙන් සෑම ගෙදරකටම පොල් පැළ දෙකක් ලබාදෙමින් නිවසට අවශ්‍ය පොල් ගෙදරදීම ලබාගැනීම සඳහා අප වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඡයාරූප නිශංක ද සිල්වා

Comments