කොවිඩ් පොකුරෙන් බන්ධනාගාර උණුසුම් | සිළුමිණ

කොවිඩ් පොකුරෙන් බන්ධනාගාර උණුසුම්

ළමු කොරෝනා රෝගියා මෙරටින් මාර්තු 11 වැනිදා වාර්තා වීමත් සමඟ මේ ලියන මොහොත වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 18,839 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. පළමු කොරෝනා රැල්ලෙ අවසානයත් සමඟ පසුගිය ඔක්තෝබර් 04 වැනිදා වාර්තා වූ දෙවැනි කොරෝනා රැල්ලෙ ආරම්භයත් සමඟ රට තුළ කොරෝනා පොකුරු කීපයක්ම මතු විණි.

මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් ඇරැඹුණු දෙවැනි රැල්ල තුළදී පෑලියගොඩ පොකුර, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු පොකුරද ප්‍රධාන ලෙස ව්‍යාප්ත විණි. පසුගිය බදාදා වන විට පොලිස් පොකුර ආසාදිතයන් 800 සීමාවද ඉක්මවා තිබිණි. එම පොකුරු හා සබැඳිව තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වෙමින් තිබෙන්නෙ බන්ධනාගාර කොවිඩ් පොකුරයි. පහුගිය බ්‍රහස්පතින්දා වන විට බන්ධනාගාර කොවිඩ් පොකුර ද 555ක් දක්වා ඉහළ ගොස් තිබුණේය. ඒ, බන්ධනාගාර රැඳවූවන් සහ නිලධාරින් දසදහසකට අධික සංඛ්‍යාවකට පී.සී.ආර්. පරීක්ෂාව සිදු කරමිනි.

එලෙස ආසාදිතයන් වූ අය අතර බන්ධනාගාර නිලධාරින් 37 දෙනෙක් ද වූහ. ඊට ආසාදිත කාන්තා නිලධාරිනියන් 06 දෙනෙක්ද වූවාය. ආසාදිත රැඳවියන් 515 දෙනා අතුරින් 131 දෙනෙක් කාන්තා රැඳවියන් වූවාය.

රටපුරා තිබෙන බන්ධනාගාර අතුරින් ප්‍රධාන ලෙසට බන්ධනාගාර නවයක පමණ විසිරි ඇති බන්ධනාගාර කොවිඩ් ‍පොකුරෙහි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නෙ වැලිකඩ බන්ධනාගාරයෙනි. ඒ, 209ක් වූ රැඳවූවන් පිරිසකි. ඊට අමතරව පැරැණි බෝගම්බර බන්ධනාගාරයෙන් 167 දෙනෙක්ද බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් 57 දෙනෙක්ද කුරුවිට බන්ධනාගාරයෙන් 16 දෙනෙක්ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 79 දෙනෙක්, මහර බන්ධනාගාරයෙන් තිදෙනෙකු සමඟින් කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් අට දෙනෙකු වාර්තා විණි. ඊට අමතරව මාතරින්ද ආසාදිත රෝගියකු වාර්තා වී තිබිණි.

මෙරට පිහිටා තිබෙන බන්ධනාගාර සියල්ලෙහි රඳවා සිටින 30000කට අධික රැඳවූවන් අතර බහුල ලෙස ඉතාම කෙටි කාලයක් තුළ කොවිඩ් වයිරසය පැතිර යාමට බන්ධනාගාරවල පවතින අධික තදබදයද බොහෝ සේ බලපා ඇති බවකි.

පසුගිය පස්වැනිදා පළමු බන්ධනාගාර කොවිඩ් ආසාදිතයන් පස්දෙනා වාර්තා වූයේ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැඳවියන් අහඹු ලෙස තෝරා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවේදියි. එදින කාන්තා රැඳවියන් සිවුදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරියෙකුද ආසාදනය වූ බව වාර්තා විණි. පසු දින එනම් 6 වැනිදා ලැබුණු පී. සී. ආර්. වාර්තා අනුව කාන්තා රැඳවියන් 20කට අධික සංඛ්‍යාවක් ආසාදනය වී තිබුණේ බන්ධනාගාර කොවිඩ් පොකුරේ තත්ත්වය දරුණු අතට හැරෙමිනි. එම පී. සී. ආර්. පරීක්ෂාවේදී ආසාදිත වූ කාන්තා රැඳවියන් අතර පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා වූ සහරාන් හෂිම්ගේ බිරිය අබ්දුල් කාදර් ෆාතිමා හදියා ද වූවාය.

මුලින්ම කාන්තා රැඳවියන් අහඹු පරීක්ෂාවකට ලක්කර තිබුණේ බන්ධනාගාර රෝහලේ ඖෂධ සංයෝජනය කරන කාන්තාවකට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ ආශ්‍රිතයකු මාර්ගයෙන් කොවිඩ් 19 ආසාදනය වීම නිසාවෙනි. එසේම නාරාහේන්පිට ප්‍රදේශයේ වෙසෙන බන්ධනාගාර නිලධාරියෙකුට ද කොවිඩ් ආසාදනය වී තිබුණේය.

එකී නිලධාරියා කොවිඩ් ආසාදිතයකු බවට අනාවරණය වී තිබුණේ නාරාහේන්පිට ප්‍රදේශයේ සිදුකළ අහඹු නියැඳි පරීක්ෂාවකදියි. කෙසේ හෝ එම නිලධාරියා ආසාදිත බව අනාවරණය නොවූ කාල සමයේ සේවයටද වාර්තාකර තිබූ බවකි. ඒ අනුව බන්ධනාගාරය තුළට කොරෝනා වසංගතය පැමිණි ආකාරය පිළිබඳව නිශ්චිත ලෙසටම අනාවරණයක් නොවේ. එසේම බන්ධනාගාර උසස් නිලධාරියෙක් කීවේ, ඇතැම් විටෙක නඩු කටයුතු සඳහා අධිකරණවලට රැගෙන ගිය මොහොතක රැඳවියෙකුට ආසාදනය වූවාද නැතිනම් රැඳවියන් බැලීමට පැමිණි ඥාති හිතවතුන්ගෙන් වසංගතය බන්ධනාගාරය තුළට පැමිණියාද යන්නත් සැකයක් පවතින බවයි.

කෙසේ හෝ මේ වන විට බන්ධනාගාර කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනයට බන්ධනාගාර පරිපාලනය විසින් බොහෝ තීන්දු තීරණ ගෙන තිබේ. ඒ අනුව මුලින්ම සියලු බන්ධනාගාර නිලධාරින්ගේ නිවාඩු අත්හිටුවා අඛණ්ඩ සේවයට යොමුකර තිබේ. එසේම රැඳවියන් ඥාතින්ට හමුවීමේ අවස්ථාවද තාවකාලිකව නතර කර තිබේ. ඊට අමතරව රැඳවියන් කිසිදු හේතුවකටවත් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම ද අත්හිටුවා ඇත. අඩුම තරමේ බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට හෝ රැඳවියන් රැගෙන යාම ද අත්හිටුවා තිබෙන අතර නඩු කටයුතු සඳහා අධිකරණවලට රැගෙන යාමද නතර කර තිබේ.

ආසාදිත බවට හඳුනාගන්නා රැඳවියන් පමණක් ප්‍රතිකාර සඳහා කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයටද පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයටද මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට සහ පැරැණි බෝගම්බර බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සිටින අවම නිලධාරින් සංඛ්‍යාවක් නිසාවෙන් තිස්දහසකට අධික රැඳවූවන් රැකබලා ගැනීමට වීමත් ඒ අතර ආසාදිත රෝගී රැඳවූවන්ගේ ආරක්ෂාවට නිලධාරින් යෙදවීමට සිදුවීමත් නිසාවෙන් බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් මහත් ගැටලුවකට මුහුණදී සිටින්නෙ බන්ධනාගාර පරිපාලනයයි. ඒ සේවයට බොහෝ සේවක හිඟයක්ද පවතින හෙයිනි. 

ඇතිවී තිබෙන එම තත්ත්වයෙන් උපරීම ප්‍රයෝජන ගැනීමට මාන බලන රැඳවූවන් උද්ඝෝෂණ මෙන්ම පැන යෑමටද තැත් කිරීම් පසුගියදා සිදු විණි. ඒ අතුරින් රැඳවූවන් පස්දෙනෙකු පසුගිය අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ පැරැණි බෝගම්බර බන්ධනාගාරයෙහි රැඳවුම් කුටියක කම්බි කඩා පිටතට පැමිණ අඩි තිහක් පමණ උසැති බන්ධනාගාර තාප්පයට නැඟ පලා යෑමට තැත් කර තිබිණි. ඒ මොහොතේ බන්ධනාගාර නිලධාරින් විසින් රැඳවූවන් පැන යාම වළක්වාලීම සඳහා අවම බලය යොදවා රැඳවූවන් දෙසට වෙඩි ප්‍රහාරයක් දියත් කෙරිණි. එම වෙඩි ප්‍රහාරයෙන් එක් රැඳවූවකු මියගොස් සිටියේය. මියගොස් සිටියේ අනුරාධපුර, කටුකැලියාව ප්‍රදේශයේ 30 හැවිරිදි රැඳවූවෙකි.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මාධ්‍ය අමතමින් කීවේ, එලෙස පලා යාමට තැත්කොට ජීවිතක්ෂයට පත්වූයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙකු බවයි. එලෙස පලා යෑමට තැත් කළ තවත් රැඳවියෙක් සහ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි. සෙසු රැඳවියන් දෙදෙනා අල්ලාගත්ත ද එක් රැඳවියකු නිලධාරින්ගෙන් මිදී පලා ගොස් තිබිණි.

එහෙත් පලා ගිය රැඳවියා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකින් පසු පැය කීපයක් ඇතුළතදී මහනුවර කලාප අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේ සැඟව සිටියදී අල්ලා ගැනීමට හැකි විණි.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පැන යාමට තැත් කළ රැඳවූවන් පසුගියදා බෝගම්බර බන්ධනාගාරය තුළ උද්ඝෝෂණයේද නිරත වූවන් බවයි. එහෙත් පසුව වාර්තා වූයේ මියගිය රැඳවියාට සහ පලායාමට තැත් කළ රැඳවියාට ද වයිරසය ආසාදනය වී ඇති බවයි.

මේ අතරේ පසුගිය බදාදා පස්වරුවේද කොළඹ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාර රැඳවූවන් පිරිසක්ද බන්ධනාගාර මූලස්ථාන වහලය මතට නැඟි විරෝධතාවක් දියත් කළේය. එකී රැඳවූවන් උද්ඝෝෂණය කර තිබුණේ අධිකරණ විවෘතකොට නඩු කටයුතු කඩිනම් කරන ලෙසටයි.

බන්ධනාගාර කොවිඩ් 19 රැල්ලත් සමඟ එහි ව්‍යාප්තිය පාලනය සඳහා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවූවන්ගෙන් ඇප ලබාදිය හැකි රැඳවුවන්ට ඇප ලබාදීම සඳහා අවැසි නීතිමය කටයුතු කඩිනම් කරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරාද වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු බන්ධනාගාර නිලධාරින්ට උපදෙස් ලබා දී තිබිණි. මේ වන විට මෙරට බන්ධනාගාර තුළ රිමාන්ඩ් බන්ධනාගාරගත රැඳවූවන් 20000කට ආසන්න පිරිසක් සිටින බවත් සැලවේ.

බන්ධනාගාර තුළ කොරෝනා වසංගතය තවදුරටත් පැතිරීම වැළැක්වීමටත් බන්ධනාගාරවලින් කොරෝනා වසංගතය පිටත සමාජයට පැතිරීයාම වැළැක්වීමේ අරමුණ ඇතිව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ විසින් අලුතෙන් බන්ධනාගාරගත වන සියලුම රැඳවූවන් වෙන්වූ මධ්‍යස්ථානවලට යොමුකොට දින 14ක නිරෝධායනයකට ලක්කිරීමට අවධානය යොමු කරන ලෙසටද බලධාරින්ට උපදෙස් දී තිබුණාය. එසේම බන්ධනාගාරවලින් නිදහස් වන අයවලුන්ද දින 14ක නිරෝධායන කාලයකට ලක්කොට බාහිර සමාජයට මුදා හැරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාල එක්ව කටයුතු කරන ලෙසටද ප්‍රනාන්දුපුල්ලෙ අමාත්‍යවරිය බන්ධනාගාර දෙපාර්තමේන්තු බලධාරින්ට උපදෙස් දී තිබුණාය. ‍

කෙසේ හෝ ඉදිරි දින කීපය තුළදී සෞඛ්‍ය අංශ හා එක්ව අනිවාර්යයෙන්ම බන්ධනාගාර කොවිඩ් පොකුරද මර්දනය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් හෙළි විණි. එසේ නොමැති වුවහොත් ඒ හරහා තවත් විශාල පිරිසකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් අපහසුතාවට පත්වන්නේද බන්ධනාගාර දෙපාර්තමේන්තු බලධාරීන්මය.

Comments