
- මේජර් ජනරාල්ලා දාලා හාල් මිල පාලනය කරන්න බැහැ...
- අපේ කට්ටියක් 20 ට ඡන්දය දීම සියයට සියයක්ම ‘ඩීල්’ එකක්...
- පාස්කු ප්‍රහාරය පිළිබඳව යහපාලන රජයේ සියලුම අය වගකීම බාරගත යුතුයි...
- මේ ආණ්ඩුව ජනතාව රවට්ටන ආණ්ඩුවක්...
- ‘දවල් මිගෙල් රෑ දනියෙල්’ වගේ ආණ්ඩුවක් අපට අද තියෙන්නේ...
- මා ඇරඹූ ‘සුව සැරිය’ කොවිඩ් පාලනයට ලොකු පහසුවක්...
20 වැනි සංශෝධනයට විරුද්ධ වන්නේ ඇයි?
රටේ ජනතාවගේ සියලුම අයිතීන් 20 න් පාගා දමනවා පමණක් නොවෙයි රටේ ජනතාව සම්පූර්ණයෙන් ඒකාධිපති පාලකයෙකු යටතට පත්වෙනවා. මෙය මේ රටේ ජනතාව ඉතා අසරණ කරන ව්‍යවස්ථාවක්. 20 කියන්නේ යකඩ සපත්තුවක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පාගා දමන එකක්.
අපගේ මූලික විරෝධතාවය තිබෙන්නේ එක පුද්ගලයෙකුට බලය ඒකරාශි වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් නොවෙයි. ඒකාධිපතිවාදයට ගමන් කරන එක පුද්ගලයකුට බලය කේන්ද්‍රස්ථානගත කිරීමක් තමයි මෙහිදී සිදුවන්නේ. මෙන්න මේ කරුණු නිසා අපි දැඩිව විරුද්ධ වෙනවා.
19 වැනි සංශෝධනයෙන් මෙරට සංවර්ධනය කරා ගෙනයන්න බෑ. මෙහි වැරදි රැසක් ඇති බව රජය පවසනවා නේද?
දැන් රජය 19 අවුල් කියලා 20 ගේනවා. එතකොට මෙය ගේන කොට නොයෙක් නොයෙක් කරුණු ගෙන පෙන්නුවා. බලය ඒකරාශි කර ගන්න ඕන. ජනාධිපතිවරයාට පත් කිරීම් සිදු කරන්න ඕන. ව්‍යවස්ථාදායක සභාවක් අවශ්‍ය නැහැ. මේ ආදි කරුණු රැසක් පිළිබඳව කතා බහ කළා. ඊට පස්සේ ගෙන ආවා මැතිවරණ කොමසාරිස්වරයාට තිබෙන බලය රාජ්‍ය සේවකයෝ තමන්ගේ බලය භාවිතා කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට විරුද්ධව ක්‍රියා කිරීමේ බලය නැති කළා. විගණකාධිපතිවරයාගේ බලය නැති කළා. මේ සියල්ල ගෙනවිත් අවසානයේ ඉතිරි කරනු ලැබුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය කියන කාරණයයි.
ජනාධිපතිවරයාට බලය තිබෙන නිසා තමන්ට ඕන අවශ්‍ය පුද්ගලයින් අධිකරණයට පත් කරන්න පුළුවන්. මෙහිදී අධිකරණයෙන් සාධාරණයක් වෙනවාද? නැද්ද කියන ප්‍රශ්නය පැන නැගෙනවා. මෙය ජනතාවට බලපාන විශාල ගැටලුවක් හැටියට පෙන්වා දිය හැකියි.
රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් මගකට ගෙන යන බව පවසමින් මේ රජය බලයට පත් වන්නේ. අද මේ රටේ දේශපාලන වෙනසක් සිදුවෙලා තිබෙනවාද?
කිසිම වෙනසක් වෙලා නැහැ. මේ සිදුවන සියලුම ක්‍රියාකාරකම්වලින් අපට පැහැදිලිව පෙනී යනවා වර්තමානයේ මේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් සිදුවන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මතයි.
20 වැනි සංශෝධනය නිසාවෙන් ආණ්ඩුවේ අර්බුදයක් ඇති බවට මාධ්‍යයෙන් කියවෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස?
මෙතන මූලික අර්බුදය තිබෙන්නේ මේ අය ප්‍රකාශ කළා අපිට තනි සිංහල ආණ්ඩුවක් සිංහල බෞද්ධ පදනමක් ඇති ආණ්ඩුවක් තමයි බිහිකර ගත්තේ කියන කාරණය. ඔවුන් ප්‍රකාශ කළා මුස්ලිම්, දෙමළ ඡන්ද නැතිව ආණ්‍ඩුව බිහිකර ගන්නා බව. මැතිවරණ වේදිකාවල ආණ්ඩුව ප්‍රසිද්ධියේ එය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම්, දෙමළ සෑහෙන ජනතාවක් ජීවත් වෙනවා. ඔවුන්ගේ ලැයිස්තුවේ මුස්ලිම් හෝ දෙමළ පුද්ගලයෙක් හිටියේ නැහැ. එතකොට ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට කීවේ අපට ඔබලා වැඩක් නැහැ කියන කාරණාවයි. අපිට පුළුවන් සිංහල බෞද්ධ ආණ්ඩුවකින් මේ සියලු දේ සිදු කරන්න. හැබැයි අවසානයේදී පවුල් බලය රැකගන්න තනි පුද්ගලයෙකුගේ අතට බලය ඒකරාශි කරගන්න කිසිදු ලැජ්ජාවක් නොමැතිව, සදාචාර විරෝධීව ඔවුන්ගේ ම ප්‍රකාශවලට පටහැනිව ක්‍රියා කරමින් මුස්ලිම් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මිලදී ගත්තා.
සිංහල ආණ්ඩුවක් හදන්න ඕන කියලා වර්තමාන රජය ඡන්දය ලබාදුන් ජනතාවම රවට්ටලා තිබෙනවා. රජයේ ක්‍රියා කලාපය පරස්පර විරෝධී ක්‍රියාවක් බව ජනතාවට අද වැටහිලා තිබෙනවා.
ස්වාමීන් වහන්සේ වගේ ම මෙම රජය බලයට ගෙන ඒම සඳහා ක්‍රියාත්මක වුණු බලවේග, පුද්ගලයින්, සිවිල් සමාජ නායකයින්, බොහෝ දෙනකු කීවා බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩුවට ගෙන එන්න. ද්විත්ව පුරවැසිභාවය වෙනස් කරන්න කියන කාරණය ඒවා මේ රජය සත පහකට ගණන් ගත්තේ නැහැ. පස්සේ අපි දුටුවා මුරුත්තෙට්ටුවේ නායක හිමියන්, ඇල්ලේ ගුණවංස නායක හිමියන් මේ රජයේ ක්‍රියා කලාපය විවේචනයකට ලක් කර තිබුණා. ඒ පෙන්වා දෙන්නේ අප සමඟ තිබෙන ගැටලුවක් නොවෙයි. රජය බලයට ගේන්න ක්‍රියා කරපු සමහර කණ්ඩායම් රජය සමඟ මේ වනවිට තරහවෙලා තිබෙනවා. එයට ප්‍රධාන හේතුව තමයි රජය පරස්පර විරෝධී තීන්දු තීරණ ගැනීම.
නායක භික්ෂුන් වහන්සේ, සමාජ ක්‍රියාකාරීන් විද්වතුන් ආදී මේ රජය බලයට ගෙන ඒම සඳහා ක්‍රියාත්මක වූ බොහෝ පිරිස් අද විවේචන සිදු කරනවා නේද?
ඔව්. මෙතනදී වෙන්නේ වත්මන් පවුල් පාලනය මගින් සිදු කරන්නේ රටේ ජනතාව මුලා කිරීමක්. ජනතාවට ප්‍රකාශ කරන්නේ එකක් ක්‍රියාත්මක කරන්නේ තවත් එකක්. සමාජයේ සහ ජනමාධ්‍ය තුළින් ජනතාවට පෙන්වන, ගෙන එන කරුණු නොවෙයි ක්‍රියාත්මක කරන්නේ. නමුත් ජනතාව අතර සිටින ශක්තිමත් කණ්ඩායම් විශේෂයෙන් ම භික්ෂුන් වහන්සේ වැනි කණ්ඩායම් මේ බැව් රටට හෙළි කරන කොට ජනතාව තුළ මතුවෙලා තිබෙනවා වර්තමාන රජය ජනතාව රැවැට්ටුවා, ඇන්දුවා කියන කාරණය. මේ කාරණය තවමත් එළියට එන්නේ ශක්තිමත් කණ්ඩායම්වලින් විතරයි. අවශ්‍ය වෙලාවට අනෙක් පිරිස් මේ රජයට තිබෙන විරෝධතාව, අකමැත්ත පිළිබිඹු වේවි. එය මාධ්‍යයට වඩා මීළඟ මැතිවරණයේදී දැක ගැනීමට හැකි වේවි.
20 වැනි සංශෝධනය සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු විශේෂයෙන් ම උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර වැනි පුද්ගලයින් නොයෙක් විවේචන ඉදිරිපත් කළා. සමහර කරුණු සම්බන්ධව ඔවුන් දැඩිව රජයට බලපෑම් එල්ල කළා. රජය ප්‍රකාශ කරන්නේ තම ආණ්ඩුව තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදය මින් පෙනී යන බවයි. ඇත්තක්ද මේ කියන්නේ?
ජනතාවට විහිලු සැපයීමක් තමයි මේ සිදු කරන්නේ. මේවා පට්ටපල් බොරු. ආණ්ඩුව හිතන්නේ ජනතාව රවට්ටන්න පුළුවන් කියලා. නැහැ. ඇත්තටම රැවටෙන්නේ ආණ්ඩුව කියන එක මතක තබා ගත යුතුයි. ජනතාව කියන්නේ බූරුවන් කියලා ආණ්ඩුව හිතනවා ඇති. මේ රඟපෑම ජනතාව තේරුම් අරගෙන තිබෙන්නේ. අද මේ ආණ්ඩුවට කතිරේ ගහපු බොහෝ පාර්ශ්වයන් මේ ජවනිකාව පිළිබඳව දැඩි විරෝධතාවක්, විවේචනයක් ඉදිරිපත් කරනවා.
20 සම්මත කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වේලාවේ මේ සියලු දෙනා ඡන්දය ලබාදුන්නා. ඇමැතිකම් එපා කියලා. පැත්තකට වුණු විජේදාස රාජපක්ෂ මහත්තයත් මේකට අත ඉස්සුවා. 20 ට විරුද්ධ නම් ඡන්දය ලබා නොදී ඉන්න තිබුණා නේද?
ඔබ කියන්නේ 20 ට විරුද්ධ වූ අයට එයට ඡන්දය ලබා නොදී ඉන්න තිබුණා කියන එකද?
ඔව් පැහැදිලිවම. තමන් විරුද්ධ නම් විරුද්ධව ඡන්දය ලබා දෙන්න තිබුණා. මාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ විරෝධී බව ප්‍රකාශ කරපු මැති ඇමැතිවරු සියලු දෙනාම 20 සම්මත කරන්න ඡන්ද ලබාදුන්නා. මේ අය හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන් කියලා. එය සම්පූර්ණ වැරදි මතයක්. බුද්ධිමත් ජනතාවක් සිටින රටක අපි ජීවත් වෙන්නේ. ඒ බව ආණ්ඩුව කිසිවිටක අමතක නොකළ යුතුයි කියන කාරණාව මම පැහැදිලිවම කියන්න කැමැතියි.
20 සම්මත කරන්න සමගි ජනබලවේගය නියෝජනය කරපු මන්ත්‍රීවරුන් කණ්ඩායම් රජයට සහය ලබාදෙනවා. ඔවුන් සමගි ජනබලවේගයෙන් ඉවත් වුණේ ඇයි? මොකක්ද මේ සිද්ධ වුණේ?
සීයට සියයක් ම පාවාදීමක්. සියයට සියයක් ම ඩීල් එකක්. සියයට සියයක්ම පහත් ක්‍රියාවලියක් තමයි මේ සිද්ධ වුණේ. සදාචාරාත්මක දේශපාලනය කෝ කියලා අපි මෙහිදී ආණ්ඩුවෙන් අහන්න කැමැතියි.
මේ පිළිබඳව කතා කිරීමට පවා අපි අකමැතියි. අපගෙන් වෙන්වූ මේ පිරිසට ආයේ කිසිදු අවස්ථාවක අප සමඟ එක්වන්නට බැහැ. අපි ඔවුන්ට විරුද්ධව ගන්න පුළුවන් සියලුම විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා. පැය 24 ක් ඇතුළත මේ කණ්ඩායම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමින් පන්නා දැමුවා. මේ වනවිට මේ සම්බන්ධව නීතිමය පියවර රැසක් ක්‍රමාණුකූලව ගනිමින් සිටිනවා.
රජය බලයට පැමිණෙන්නේ බැඳුම්කර වංචාවේ හොරු මෙන් ම දූෂිතයන් අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කරමින් මේ පිළිබඳව ඔබගේ අදහස?
දැන් අවුරුද්දක් වෙනවා. මේ රජයෙන් අපි අහනවා කෝ අල්ලපු හොරු. කෝ අල්ලපු දූෂිතයන් කියන කාරණය. අපි ජනතාවට කියනවා රජයෙන් අහන්න ඕන කෝ අල්ලපු හොරු ඇයි හොරු අල්ලන්නේ නැත්තේ කියන කාරණය. මේ සම්බන්ධව රජයෙන් ඇසිය යුතුයි. අපිට මුකුත් කියන්න බෑ. හොරු අල්ලන්න ඕන ජනතාව බලය දීපු අය.
ජනතාව භීතියට පත් කරමින් මේ රට තුළ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් පල්ලිවලට එල්ල වෙනවා. ඒ ඔබ නියෝජනය කළ යහපාලන රජය පැවැති සමයේ ඇයි මෙහෙම වුණේ. කවුද වග කියන්න ඕන?
ඇත්තටම මේ කරුණු දේශපාලන කෝණයකින් සාකච්ඡා කිරීමට මම අකමැතියි. අපි ඉන් ඔබ්බට ගිහින් කතා කරන්න ඕන වැදගත් කරුණක්. මොකද කම්පනයට ලක්වුණු මේ සිද්ධිය කිසිසේත්ම දේශපාලන කෝණයකින් කතා කිරීමට මම කිසිසේත්ම කැමැති නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මෙවැනි සිදුවීමක් යළි සිදු නොවීමට අපි සියලු දෙනා වග බලාගැනීමයි.
යහපාලන රජයේ සියලුම දෙනා මෙහි වගකීම භාරගත යුතුයි. ප්‍රථමයෙන් මේ සඳහා අතිශය කණගාටුව ප්‍රකාශ කරනවා. මේ සඳහා ගොදුරුවූ මිනිස් ජීවිත, ආබාධිත වූ පිරිස් ඒ පිළිබඳව දැඩි කම්පනයක් තිබෙනවා. මේ නිසා මම ආයේ ආයේ කියන්නේ මෙවැනි සිද්ධියක් නැවත සිදු නොවන්නට අප සියලු දෙනා වග බලාගත යුතුයි කියන කාරණය. ඒ වගේ ම මේ සඳහා සම්බන්ධ වූ සියලුම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි.
වර්තමාන රජය ජනතාවට සහන ලබා දෙන බව ප්‍රකාශ කළත් අද ජනතාවට තමන්ගේ මූලික අවශ්‍යතාවන්වත් ඉටු කර ගත නොහැකි බවට චෝදනා එල්ල වෙනවා?
ජනතාවගේ පැත්තෙන් මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. අද ජනතාව අන්ත අසරණ වෙලා ඔවුනට අල, ලූණු, කහ මෙවැනි ආහාර පවා නොමැති තත්ත්වයක් තිබෙන්නේ. ජනතාවට සහන කෙසේ වෙතත් ආහාර පාන ටික ලබාදෙන්න කියන එක අපි රජයට අවධාරණය කරනවා.
අද මේ වනවිට පාලන මිල ගැන කියමින් හාල්වලට පස්වන ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඒ වුණාට හාල්වල මිල ගණන් එකිනෙකට වෙනස් ආණ්ඩුව රුපියල් 95 ට දෙන්න කියන හාල් කිලෝ එක වෙළෙඳ පොළේ රුපියල් 130 යි. අපි අහනවා පාලන මිල කියන්නේ මේකටද කියලා.
මිල්ටරි කරලා හාල් මිල පාලනය කරන්න බෑ. ගැසට් ගහලා හාල් මිල පාලනය කරන්නත් බෑ. කිහිප දෙනෙකු අතට ගෙන හාල් මිල පාලනය කරනවා. මෙන්න මේ තත්ත්වය ආණ්ඩුව තේරුම් අරගෙන ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුයි. මේ ව්‍යාපාරිකයන් සමඟ තරග කර ජනතාවට සහනයක් වෙන ආකාරයට සහල් මිල පාලනය කළ යුතුයි.
මේ රජය බලයට ආපු ගමන් අද අප හඳුන්වා දුන් ක්‍රමය නැති වෙලා ගොස් තිබෙනවා. නැවත කුඩා ව්‍යාපාරිකයන් සිය සහල් මාෆියාව සිදු කරමින් යනවා. මේ නිසා අපි රජයට යෝජනා කරනවා අපගේ ක්‍රමය පිළිබඳව සොයලා බලන්න. අපි ජනතාවට අඩු මිලකට සහල් ලබාදීමට ක්‍රියාත්මක වූ ආකාරය කෙසේද කියන කරුණ. බ්‍රිගේඩියර්ලා, මේජර් ජනරාල්ලා දාලා හාල් මිල පාලනය කරන්න බෑ. ගැසට් ගහලා හාල් මිල පාලනය කරන්න බෑ. රජය මෙය තේරුම්ගත යුතුයි. අදාළ ඇමැතිවරයා මෙය තේරුම් ගත යුතුයි.
M.C.C, සෝපා වැනි ගිවිසුම්වලට දැඩි විරෝධතාවය දක්වපු මේ රජය එක සැරේට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට ගෙන්වනවා. ඇයි ඒ කියන ගැටලුව ජනතාවට තිබෙනවා. විපක්ෂය මෙය දකින්නේ කෙසේද?
මම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් අවුරුදු දෙකක් වැඩ කළා. මේ නිසා මේ පිළිබඳව සුළු හෝ අත්දැකීමක් තිබෙනවා. යුරෝපය ඇතුළු රටවල් ගණනාවක රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මම සංචාරය කර තිබෙනවා. මට මෙහිදී තේරුම් ගිය දෙයක් තමයි ගමේ චන්ඩියන්ගේ ක්‍රමයට රාජ්‍යතාන්ත්‍රික වැඩ සිදු කරන්න බැහැ කියන එක. අපිට පුළුවන් වෙන්න ඕන ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමැතිවරයා අපි කවුරුත් එතුමාට ගෞරව කරනවා. එතුමා දැක්කා ලංකාව ලෝකයා සමඟ සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණය. විශේෂයෙන් ම ලෝකය සමඟ මිත්‍රත්වය ගොඩ නගන්නේ කෙසේද යන කාරණය.
අපගේ රට වටේට තාප්පයක් බදින්න එපා. අපගේ රටෙන් කලාපයට සහ ලෝකයට පාලම් බදින්න එය ඉතා වැදගත් කරුණක්.
අද මේ වනවිට කොරෝනා වසංගතයට ගොදුරු වූ රෝගීන් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින් ම වාර්තා වෙනවා. ජනතා නියෝජිතයකු හැටියට ඔබ ජනතාවට දෙන පණිවුඩය කුමක්ද?
රජය සහ අනෙකුත් සියලු අංශවලට ත්‍රිවිධ හමුදාව පොලිසිය ට සෞඛ්‍ය අංශවලට අපි ස්තුතිවන්ත වෙනවා. මේ වසංගතය ජයගන්න සිදු කරන සියලු ක්‍රියාදාම පිළිබඳව මම ආරම්භ කරපු ‘සුවසැරිය’ ගිලන් රථ සේවය මා මේ අවස්ථාවේ මතක් කරනවා. ඒවායේ සිටින කාර්ය මණ්ඩලය කොරෝනා රෝගියකු හමු වූ විගස වහාම ක්‍රියාත්මක වී ඔවුන්ව රෝහල් කරා ගෙන යනවා. මා ඔවුන්ටත් විශේෂ ස්තුතිය පුද කරනවා.
දේශපාලන භේදයකින් තොරව අප සියලු දෙනා එක්ව මේ වසංගතය ජය ගැනීම සඳහා හැකි සෑම පියවරක් ම ගත යුතුයි.
(ඡායාරූප - රංජිත් අසංක)