වෙහෙරපිට්ටි නටබුන් හා යාපනයේ පුරාවිද්‍යා උරුම | Page 2 | සිළුමිණ

වෙහෙරපිට්ටි නටබුන් හා යාපනයේ පුරාවිද්‍යා උරුම

උතුරු ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මහත් බාධක මැද පසුගිය වසර කිහිපයේ දී ගවේෂණ කටයුතු සිදු කරනු ලැබීය. එම ගවේෂණ මගින් එතෙක් කාලයක් පැවති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්මාරක මෙන්ම අලුතින් පුරාවිද්‍යා ස්මාරක රැසක් හඳුනාගත් අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ප්‍රතිපාදන සම්පාදනය කරනු ලැබීය. මෙහිදී පුරාවිද්‍යා ස්මාරක හඳුනා ගැනීම හා හැඳින්වීම් පුවරු යෙදීම, මායිම් සලකුණු කිරීම, මායිම් ගල් යෙදීම යානාදී කටයුතු සිදු කරනු ලැබීය.

එම ගවේෂණයේදී ස්ථාන 379 ක් පිළිබඳව අධ්‍යයනය කිරීමට ගවේෂණ කණ්ඩායමට හැකි වු අතර ඉන් යාපනයේ ස්මාරක 48 ක් හඳුනාගෙන වාර්තා කර ඇත. එමෙන්ම කිලිනොච්චියේ ස්මාරක 16 ක් ද මන්නාරම්හි ස්මාරක 60 ක් ද වව්නියා ස්මාරක 80 ක් ද මුලතිව් ස්මාරක 175 ක් ද යනාදි ලෙස සඳහන්ය.

වෙහෙරපිට්ටි නටබුන්

යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර් වෙහෙරපිට්ටි ග්‍රාමයේ ශ්‍රී ගනේෂා විද්‍යාලය ආසන්න බිමෙහි හමු වූ නටබුන් මෙම ගවේෂණයේ ප්‍රතිඵලයකි. මෙම ස්ථානය පුරාම නටබුන් විසිර ඇති බවක් දක්නට ලැබෙන අතර නව ඉදිකිරීම් හේතුවෙන් සමස්ත භූමියම විනාශයට ලක්ව ඇත.

ශ්‍රී ගනේෂා විද්‍යාල ගොඩනැගිල්ලට දකුණු පසින් ඇති භූමිය මීටර් 2 ක් පමණ ගැඹුරට හාරා ඇත. කණු පාදම් 6 කට පමණ අයත් කොටස් එම ස්ථානයේ විසිරී ඇති අතර ඉන් කණුපාදම් ගල් 02 ක් විනාශ කර ඇත. එසේම අඩක් පසින් යට වූ කණුපාදම් ගල් ද දක්නට ඇතැයි සඳහන්ය. මෙසේ හාරා ඇති භූමිය සිසාරා පැරණි උළු කැබලි ඉතා බහුලව විසිර තිබේ.

එසේම මෙම පාසල් ගොඩනැගිල්ලට නැගෙනහිරින් විනාශ කළ නටබුන් සහිත ගොඩැල්ලකි. එය පැරණි දාගැබක් යැයි අනුමාන කෙරේ.

ගඩොල්, හුණුගල් හා පස් මිශ්‍රව ඇති මෙම ගොඩැල්ල මීටර් 2.5 ක් පමණ උසින් යුක්තය. බොරදම් ගල් කොටස් හා පාදම් ගල් කොටස් ද මෙහි දැකිය හැක. ගොඩැල්ලට ආසන්න නිවස අසල ද මෙවැනි පාදම් ගල් දැකිය හැකි බව ගවේෂණ වාර්තාවේ සඳහන්ය. මෙහි ඇති කාණු සහිත හුණුගල් කොටස් ජලය බැස යාම පිණිස භාවිත කරන්නට ඇත.

අවට විසිර ඇති නටබුන් අතර මධ්‍යයෙ සිදුරක් සහිත සෙ.මී. 5 ක විශ්කම්භයෙන් යුත් ගල් වෘත්තයක් හමු වී ඇත. එය කොත් කැරැල්ලට අයිති කුඩා ඡත්‍රයක් විය හැකිය යන්න අදහසයි. එසේම කරඩු තැන්පත් කිරීමට උපයෝගි කොට ගත් ගල් භාජනයක කොටසක් අසල පිහිටි නිවසක තබා ඇති අතර එහි විශ්කම්භය සෙ.මී. 45 කි.

හුණුගල් කොටස්, උළු සහ වළං කැබිලිති මෙම ස්ථානය අවට විශාල ලෙස දැක ගත හැකිය. එමෙන්ම මෙහි සිට දකුණු දෙසින් පිහිටි ප්‍රදේශය පුරාම රක්ත වර්ණ වළං කැබලි බහුල ලෙසත් කළු සහ රතු වළං කැබලි සාමාන්‍ය ලෙසත් හමුවේ.

මෙම ගොඩැල්ල දාගැබ් ගොඩැල්ලක් ලෙසට තහවුරු කර ගැනීමට අවශ්‍ය සාධක සොයා ගැනීම සිදු වූයේ 2016 වසරේදී ස්ලැස් සංවිධානයෙහි වෛද්‍ය අර්ජුන වීරසිංහ එක්ව සිදු කළ ක්ෂේත්‍ර සංචාරයේ දී බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ යාපනය දිස්ත්‍රික්කය (සුනිල් බණ්ඩාර කෝරළගේ හා එම්.වී.ජී. කල්ප අසංග) ග්‍රන්ථයේ සඳහන් කර ඇත. තව දුරටත් එම ග්‍රන්ථයේ දැක්වෙන පරිදි ගොඩැල්ලට ආසන්නවම පිහිටි නිවසේ හිමිකරු සමඟ සිදුකළ සාකච්ඡාවට අනුව ඔහුගේ නිවසේ තැන්පත් කර තිබූ හුණුගලින් කළ කරඩු දෙකක් ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් කරඩුවක් සම්පූර්ණ වශයෙන් පැවති අතර අනෙකෙහි කොටසක් කැඩී ගොසිනි.

සම්පූර්ණ වූ කරඩුව විශ්කම්භය සෙ.මී. 116 ක් හා උසින් සෙ.මී. 12 කින් යුතුවිය. කැඩීගිය කරඩුවේ ඉතිරිව ඇති කොටසේ උස සෙ.මී. 13 කි. මෙම කරඩු දෙක දාගැබ් ගොඩැල්ලෙන් හා තමාගේ නිවස ඉදිකරන අවස්ථාවේ දි හමු වූ බව ද නිවෙස් හිමියා ප්‍රකාශ කර ඇත.

කරෙයිනගර් හි වෙහෙරපිට්ටි දාගැබ් ගොඩැල්ලෙන් ලැබුණු මෙම කරඬු අනුව ඉහත සඳහන් දාගැබ මුල් අනුරාධපුර යුගයට අයත් දාගැබක් යැයි සැලකිය හැකිය.

පුතූර්හි නිලාවරෛයි පුදබිම

යාපනය කන්කසන්තුරය මාර්ගයේ චුන්නාකම් වලින් හෝ චාවකච්චේරිය සිට ගමන් කොට සරසාලෙයි හරහා චුන්නාකම් අසලින් දිවෙන මාර්ගයේ දී හමුවන පුතූර් නගරය ආසන්නයේ දි නිලාවරෛයි ගම්මානයට පිවිසිය හැකිය.

පතුල නොමැති ළිඳ ලෙස ප්‍රකට නිලාවරෛයි ළිඳ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවක්කේනි ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත. මෙම ළිඳ යාපනය කච්චේරිය භූමි පරිශ්‍රයේ ඇති පැරණි ළිඳට සමාන ලක්ෂණ දරයි. මෙය පුරාවිද්‍යාත්මක සාධක සහිත භූමියකි.

පිලිප් බැල්දියුස් දේවගැතිවරයා පෘතුගීසි යුගයේ දී යාපනයේ විසූ අතර ඔහුගේ දේශාටන වාර්තා අනුව මෙම ළිඳ ආසන්නයේ විහාරයක් තිබී ඇත. එසේම පෘතුගීසින් හා සිංහලයන් අතර සටනක් මෙම ස්ථානයේ පැවති බව ද ඔහු එහි සටහන් කර ඇත.

බැල්දියුස්ගේ වාර්තාවේ සඳහන් මෙම ස්ථානයේ පිහිටියේ යැයි සඳහන් ඓතිහාසික විහාරය සිංහල රජ සමයේ දී “බුද්ගමුව” නමින් හැඳින් වූ ගම්මානයට අයත් වූවකි. එමෙන් ම ඉතිහාසයේ සඳහන් වන්නේ ක්‍රි.ව. 1053 දී සොළීන් හා සටන් වැදුණු විජයබා රජු විසින් මෙම විහාරය ප්‍රතිසංස්කරණය කර වූ බවයි.

1917 දී යාපනයේ දිසා විනිසුරුවරයාව සිටි පෝල් ඊ. පීරිස් යාපනය සම්බන්ධව තබන ලද සටහනේ මෙම ස්ථානය බෞද්ධ නටබුන් රැසක් තිබූ භූමියක් ලෙස සඳහන් කොට ඇත. එසේම යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ මෙම ස්ථානයෙන් සොයාගත් බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදර්ශනය කෙරෙන අතර හුණුගලින් නිර්මාණය කරන ලද දාගැබ් ගොඩැලි දෙකක ශේෂයන් වර්තමානයේදී ද අපට දැකගත හැකිය. එමෙන්ම මේ ළිඳ සම්බන්ධව ජනප්‍රවාද ද රැසකි. පැරණි සිතියම්ගත ලේඛනවල වඩදිය බාදිය ළිඳක් (Tidal Well) ලෙසට සඳහන්ය.

පතුල නොමැති ළිඳ නමින් ප්‍රකට මෙහි විවිධ විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් කර ඇත. ඒ අනුව 2013 දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ හත් දෙනෙකුගෙන් සමන්විත මුහුදු පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් මෙහි ගවේෂණයක් කරනු ලැබීය.

යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති ශිලා ලිපි

මෙම මුහුදු පුරාවිද්‍යාඥයින් සිදු කළ පර්යේෂණාත්මක කිමිදීම හේතුකොට ගෙන මෙතෙක් පැවති පතුලක් නොමැති ළිඳ යනුවෙන් හැඳින්වූ කතාව මිත්‍යාවක් ලෙසට ඔප්පු කර පෙන්වීය.

ඔවුන් විසින් ළිඳේ පත්ල අනාවරණය කරගත් අතර ඒ අනුව එහි උපරිම ගැඹුර මීටර් 50 ක් හෙවත් අඩි 164 ක් බව සනාථ කරවීය. මෙම ස්ථානය සම්බන්ධව භූ විෂමතා ආශ්‍රිත වාර්තා වලින් සනාථ වූයේ හුණුගල් පාෂාණ සහිත ස්ථරයකින් නිර්මාණය වූ මෙම කලාපයේ මුහුදට සම්බන්ධ වන ප්‍රදේශයේ කබොල්ල පොළොව මට්ටමේ සිට මුහුදු මට්ටම දක්වා ස්වභාවික ඛාදනයට ලක්වීමෙන් මෙම ගැඹුරු ආගාධය නිර්මාණය වී ඇති බවයි.

යාපනය දිස්ත්‍රික්කයෙන් පුරාවිද්‍යා ගවේෂණ, කැණීම් හා පරිත්‍යාග ලෙස ලැබුණු ශිලාලේඛන සමූහයක් යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ දක්නට ඇත. ද්‍රවිඩ භාෂාවෙන් හා බ්‍රහ්මී අක්ෂරවලින් යුත් ශිලා ලේඛන යාපනය අර්ධද්වීපය පුරාම දැකිය හැකි අතර මෙම ශිලා ලේඛන මගින් එකල පැවති සමාජ තත්ත්වය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිය.

එම ලේඛනයන්හි අන්තර්ගත කරුණු ලෙස නීතිරීති, දඩුවම්, උපදෙස් හා වෙළඳාම ආදිය පිළිබඳව සඳහන් කළ හැකි අතර මෙම ශිලා ලේඛන ස්ථීරසාර පුරාවිද්‍යාත්මක සාධක වේ.

යාපනය නගරයේ ප්‍රධාන මාවතෙන් හමු වූ ශිලා ලේඛනය දෙමළ භාෂාවෙන් රචිතය. එය මහා පරාක්‍රමබාහූ රජුට (ක්‍රි.ව. 1156-1186) අයත් යැයි සැලකේ. ශ්‍රී සංඝබෝධි වර්මර් හෙවත් ශ්‍රී පරාක්‍රමබාහු දේවර් සහ ත්‍රිසිංහලයට අධිපති වූ ශ්‍රී පරාක්‍රමබාහූ දේවයන් වහන්සේ ලෙස මෙහි අර්ථ ගන්වා ඇත. එහි කොටසක් කැඩී ගොස් ඇති බැවින් සම්පූර්ණ අදහස ලබා ගැනීමට අපහසුය. අවසාන වශයෙන් මෙම ලිපියෙහි සඳහන් තොරතුරු අනුව මහා පරාක්‍රමබාහූ රජු තුන් සිංහලාධිපති ලෙස පරිපාලනය කරගෙන ගිය බව ගම්‍ය වේ.

කයිට්ස් බලකොටුවෙන් හමු වූ ශිලා ලේඛනය අනුව අනුරාධපුර රාජධානියේ අවසාන රජු ලෙස ගැනෙන පස්වන මිහිඳු (ක්‍රි.ව.982-1018) පිළිබඳව වංශකතා තොරතුරු හා මෙම ලිපිය ගැලපී ඇත. මෙම ලිපිය අනුව රජුගේ පාලනය අවසන් කර රජු හා බිසව ඉන්දියාවට ගෙනගිය බව සනාථ වේ. දෙමළ භාෂාවෙන් රචිත මෙහි අර්ථය ලෙස ගත්කල, යහපතක්ම වේවා! මන්නාරමේ මාතෝට්ටම් (රාජරාජපුර) ජයන්කොන්ත හෙවත් මුවෙන්ත වේලර් නම් අධිකාරී සහ සෙන්පති විසින් ශ්‍රී ලංකාව යටත් කොට මිහිඳු රජු සහ රජුගේ බිසව ද රැගෙන ගියේය.

මුලතිව් තුණුක්කායි ශිලා ලේඛනය මගින් හෙළිවන ප්‍රධානම ඓතිහාසික සාධකය වන්නේ එම ප්‍රදේශයේ රෝහලක් (වෙද්හලැ) පිහිටි බව හා එම රෝහලට නුදුරු ප්‍රදේශය “පොල්කඩුගම” යන්නය. මෙම ලිපිය තුණුක්කායි පෙදෙසින් හමූ වී ඇත. තුණුක්කායි යනු මාන්කුලම් නගරයට බටහිරින් කිලෝමීටර් 20 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයකි. මෙය බෞද්ධ නටබුන් බොහොමයක් සහිත භූමියක් ලෙස සඳහන්ය. තුණුක්කායි ශිලා ලිපියේ උඩ කොටස කැඩී ඇති අතර මධ්‍ය කාලීන සිංහල භාෂාවෙන් රචිත එය ක්‍රි.ව. දසවන සියවසට අයත්ය. මෙහි පස්වන කාශ්‍යප රජු (ක්‍රි.ව. 929-939) විසින් දෙන ලද පරිත්‍යාගයක් පිළිබඳව අන්තර්ගතය. එහි දැක්වෙන පරිදි පොල්කාඩු නම් ගමෙහි පිහිටි වෛද්‍ය ශාලාවකට දෙන ලද වරප්‍රසාද සහ එහි ඇතුළු සීමාවට රාජ්‍ය නිලධාරීන් රාජකාරී සඳහා ඇතුළු නොවිය යුතුය යන්න දැක්වේ. එය රාජාඥාවක් සහිත අත්තානි වරප්‍රසාද දීමනාවක් ලෙස ශිලා ලේඛනයේ සඳහන්ය.

මේ අනුව පැහැදිලි වන්නේ අනුරාධපුර අග භාගය වන විට පොල්කාඩු ප්‍රදේශය ජනාකීර්ණ ප්‍රදේශයක් බවය. එමෙන්ම පොල්කාඩු නමින් හැඳින් වූ ගම්මානයේ පිහිටි වෛද්‍ය ශාලාව රජුගේ මැදිහත්වීම මත පවත්වාගෙන ගොස් ඇති අතර ඊට රාජ්‍ය නිලධාරීන් මැදිහත් නොවිය යුතු බවත්ය.

යාපනය දිස්ත්‍රික්කයේ කරවඩ්ඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුපිට්ටි ග්‍රාමයේ වීරපත්තිරේ කෝවිල පිහිටා ඇත. එම කෝවිල් භූමියේ ඇති ආඩියා ළිඳෙහි දැව කොටස් රැඳවීමට ශිලා කුළුණු දෙකක් යොදාගෙන තිබේ. එම කුළුනු වල ඉදිරි මුහුණතෙහි හා ඒ ආසන්නව ඇති හතරැස් කුළුනක අක්ෂර සටහන්ව ඇත. එම අක්ෂර වලින් කියැවෙන්නේ වී. සෙල්වතුරෙයි හා වී. ඉලංගතුරෙයි යන්නය. මෙය ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී ඇති බවට යාපනය දිස්ත්‍රික්කය (සුනිල් බණ්ඩාර කෝරළගේ හා එම්.වී.ජී. කල්ප අසංග) ග්‍රන්ථයේ සඳහන් කර ඇත.

යාපනය දිස්ත්‍රික්කය හා බැඳුණු සමාජය බොහෝ කාලයක් අපෙන් වෙන්ව ඈත්ව පිහිටි බැවින් එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති උරුම ආරක්ෂා කිරීමට ක්‍රියා කළ යුතුය.

එමෙන්ම නටබුන්වී ඇති බෞද්ධ වෙහෙර විහාර නැවත ගොඩ නැංවීමට රජය හා සමාජ ක්‍රියාකාරීන් මැදිහත්වීම කාලීන අවශ්‍යතාවකි.

Comments