නවසීලන්ත කවුන්සිලය ජයගත් ලංකාවේ ගැහැනිය | Page 5 | සිළුමිණ

නවසීලන්ත කවුන්සිලය ජයගත් ලංකාවේ ගැහැනිය

- කොළඹ පළමු නග­රා­ධි­පති ඇයගේ මුත්තා... රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුල්ම කාන්තා මන්ත්‍රී ඇයගේ මිත්ත­නිය
- රිචඩ් ද සොයිසා ඥාති මාමා කෙනෙක්...
- මානව හිමි­කම් නීති­ඥ­ව­රි­යක් වෙන්න පොල­ඹ­වනු ලැබුවේ රිචඩ් ද සොයිසා ඝාත­නයේ කම්ප­නය
- ලංකාව හැර යන්නේ අසූ තුනේ කළු ජූලිය ඇවි­ලිලා ගියාට පස්සේ...

වසීලන්ත මැතිරණය පසුගිය සෙනසුරාදා (17) පැවැත්වුණේය. ඒ ශිෂ්ට සම්පන්න ලෝකයක මැතිවරණයක් පැවැත්වන ආකාරය පිළිබඳ විශිෂ්ට නිදසුනක් ලෝකය හමුවේ ප්‍රකට කරමිනි.

නවසීලන්ත මැතිවරණය

මැතිවරණය පැවැත්වූයේ නවසීලන්තයේ 53 වැනි පාර්ලිමේන්තුව තෝරා ගැනීම සඳහාය. එහි විචිත්‍රත්වය වූයේ රටේ විදග්ධ ප්‍රභූ දේශාපාලන නායිකාවන් දෙදෙනෙක් අතර පැවති බලය උරගා බැලීමක් වීමය. හිටපු අගමැති ජසින්ඩා ආර්ඩේන් (40) වාම වාදී කම්කරු පක්ෂය වෙනුවෙන් ද ජුඩිත් කොලින්ස් (61) මධ්‍යම දක්ෂිනාංශික නවසීලන්ත ජාතික පක්ෂයෙන් ද තරග කළහ. මිලියන 3.5ක වලංගු ඡන්ද ප්‍රමාණක් තිබිණි. 

ඔවුහු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සාමාජිකයන් 120ක්, ඡන්ද කොට්ඨාස මට්ටමින් තනි සාමාජිකයන් 72ක්, සහ සංවෘත පක්ෂ ලයිස්තුවෙන් 48ක් ලෙස ස්වකීය පාර්ලිමේන්තුවේ සංයුතිය තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කළහ. මහ මැතිවරණයට සමගාමීව ජනමත විචාරණ දෙකක් පැවැත්විණි.

මහ මැතිවරණයේ මූලික ප්‍රතිඵල නිකුත් විය. ජනමත විචාරණවල මූලික ප්‍රතිඵල නිකුත් වන්නේ ඔක්තොම්බර් 30ය. සමස්ත මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය නිකුත් වනු ඇත්තේ නොවැම්බර් මස 06වන දාය.

මූලික ප්‍රතිඵල නවසීලන්තයේ මැතිවරණ ඉතිහාසය වෙනස් කළේය.

වත්මන් අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න්ගේ නායකත්වයෙන් යුත් පාලක කම්කරු පක්ෂය, නවසීලන්ත ජාතික පක්ෂයට එරෙහි අතිවිශිෂ්ට මැතිවරණය ජයග්‍රහණයක් ලබාගත්තේය. 1996 දී හඳුන්වා දුන් මිශ්‍ර සාමාජික සමානුපාතික නියෝජන (එම්එම්පී) ක්‍රමය යටතේ නවසීලන්ත දේශපාලන පක්ෂයක් බහුතර ආණ්ඩුවක් ලබා ගත් පළමු අවස්ථාව මෙය විය. සමස්ත පාර්ලිමේන්තු ආසන 120න් 64ක් දිනා ගැනීමට ඇය සමත් වූවාය. ඒ පසුගිය වසර 50 තුළ කම්කරු පක්ෂය ලබාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය (49.1%) ලබා ගනිමින. ඒ සෑම ඡන්ද කොට්ඨාසයකම පාහේ බලය ලබා ගැනීමට ඇය සමත් වූවාය.

එමෙන්ම 2002න් පසු මහ මැතිවරණයකින් නවසීලන්ත ජාතික පක්ෂය ලබා ගත් බරපතළම පරාජය මේ මැතිවරණයෙන් වාර්තා වුණේය. මධ්‍යම දක්ෂිනාංශික නවසීලන්ත ජාතික පක්ෂයේ ජුඩිත් කොලින්ස්ට ලබාගත හැකි වූයේ ආසන 35ක් පමණි. එය සමස්ත ප්‍රතිඵලයෙන් 26.8%ක් විය.

ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ තරු ලකුණ

මේ ඉතිහාසගත ජයග්‍රහණය ලාංකිකයන්ගේ දේශපාලන ඉතිහාසයත් වෙනස් කළේය. ඒ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණ කාන්තාවක් නවසීලන්ත මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙනි. ඇය වනුෂි සිතන්ජලී වොල්ටස් ය. නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වුණු ප්‍රථම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා ඇය ය.

වනුෂි මැතිවරණයට ඉදිරිපත් වන්නේ ජසින්ඩා අඩෙන්ගේ නායකත්වයෙන් යුතු කම්කරු පක්ෂයෙනි. ඇය තරග කලේ යවඹදිග ඔක්ලන්ඩ් හි Upper Habour ඡන්ද බල ප්‍රදේශයෙනි. ඇයට එරෙහි ප්‍රතිවාදී අපේක්ෂකයා වූයේ ජාතික පක්ෂයේ ජේක් බෙසාන්ට්ය.

බෙසාන්ට් බෙහෙවින්ම ජනප්‍රිය චරිතයක් විය. ඔහු දේශපාලනය, නීතිය හා අන්තර්ජාතික සබඳතා පිළිබඳ නීතිඥයෙක් වූයේය. නවසීලන්තයේ ප්‍රකට Smart Parking Limited ආයතනයේ වාණිජ කලමණාකරු හා නීති නිලධාරියා වූයේ ඔහුය. අනතුරුව නගර සඳහා වාහන නැවත්වීමේ තාක්ෂණික සේවා සපයන Parking Sense නැමැති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විය. හැමිල්ටන් තරුණ ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ඔහුය. හැමිල්ටන් ක්‍රිකට් කණ්ඩායම නියෝජන කළා පමණක් නොව ක්‍රිකට් පුහුණු කරුවෙක් ලෙසද ජේක් කටයුුතු කළේය. උපතින් නසීලන්ත ජාතිකයෙක් වූ මේ ආකර්ෂණීය තරුණ දේශපාලකයා හා තරග කිරීමට සංක්‍රමණි දුඹුරු වර්ණයෙන් යුත් සමක් සහිත ශ්‍රී ලාංකික කාන්තාවක් තෝරා ගැනීමට ජසින්ඩා ආර්ඩන් ගේ තීන්දුව ඉතාම නිවැරදි බව ඒ තරුණ කාන්තාව සහතික කළාය.

වනුෂි ඡන්ද 14,142 ක් පමණ ලබා ගත්තාය. බෙසාන්ට් ලබා ගත්තේ ඡන්ද 12, 727ක් පමණකි.

කවුද මේ වනුෂි වොල්ටස්

වනුෂි සිතන්ජලී වෝල්ටර්ස් වීමට පෙර ඇය වනුෂි සිතන්ජලී රාජනායගම්ය. තවම මේ තරුණ ගැහැණියට වයස අවුරුදු 39කි. ශ්‍රී ලංකා නවසීලන්ත ද්විත්ව පුරවැසිභාවය ඇයට හිමිය.

වනුෂි ලාංකේය දේශපාලන ඉතිහාසය විචිත්‍ර කළ ප්‍රභූ පරම්පරාවක ගැහැණියකි. වර්ෂ 1947 දී තෝරාගත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට කාන්තාවන් දෙදෙනෙක් පත්වුනේය. එක් අයෙක් වෛද්‍ය ලුසියා නේසම් කරවනමුත්තුය. මෙරට පාර්ලිමේන්තුවේ දෙවන මන්ත්‍රීවරිය සහ පළමු දෙමළ මැතිසබේ සාමාජිකාවක වූවාය. ලුසියා නෙයිසම් සරවනමුත්තුගේ සැමියා විශේෂඥ වෛද්‍ය සර් රසනසෝති සරවණමුත්තුය. ඔහු 1937 වසරේ මැයි මස කොළඹ නගරසභාවට පත් වූ ප්‍රථම නගරාධිපතිවරයා ය. දෙපලගේ දියණියක වූ වෛද්‍ය සීතා සරවනමුත්තු වනුෂිගේ මිත්තනිය ය. සීතා සරවනමුත්තු වනුෂිගේ පියා වන ජන රාජනායගම්ගේ මවය.

වනුෂිගේ පියා ජන රාජනායගම්ය. මව ප්‍රීතිවා මේතර්ය. වනුෂි මෙම පවුලේ බාලම දියණිය ය. 

වනුෂි මේ රට හැර යන්නේ මේ රට ගෙවා ආ කාලකන්ණිම වකවානුවකය. ඇය උපදින්නේ වර්ෂ 1981 දීය. රට අවිචාර සමයකට ඇද වැටෙමින් තිබිණි. වර්ෂ 1983 කලු ජූලිය මේ රටේ සාමකාමි දෙමළ සිවිල් වැසියන් විසි දහසක්ට අධික පිරිසක් විතැන් කළේය. විශාල පිරිසක් ඝාතනය විය. ජීවිතයට වඩා මරණය තෝරා ගැනීමට බල කළ අවිචාර සමයක නොදරුවෙක් සේ ඇය සිය පවුල සමග රට හැර ආවාය. ඒ වර්ෂ 1985 දීය.

වර්ෂ 1990වන විට මේ රට තිබුණේ අශිෂ්ටයන්ගේ දේශයක් ලෙසය. උතුරේ යුද්ධය පැවැතිණි. දකුණේ තරුණ කැරැල්ලෙන් හැට දහසකට අධික තරුණ පිරිසක් මරා දැම්මේය. ඒ ඝාතන රැල්ලේ ගොදුරක් වූ එවකට මේ සමාජයේ ජන හද ප්‍රභාමත් කළ තරුණයා, මාධ්‍යවේදියා, කලාකරුවා, මෙන්ම මානව ක්‍රියාකාරිකයේ වූ රිචඩ් ද සොයිසා වනුෂිගේ ඥාති මාමා කෙනෙකි.

රිචඩ් ද සොයිසා යනු වෛද්‍ය මනෝරානි සරවනමුත්තුගේ පුත්‍රයා ය.

“ මම 09 හැවිරිදි දරුවෙක් තමයි. ඒත් මාව දැඩි ලෙස කම්පනය කළා. මට දැනුණෙ මගෙ මාමා නැති වුණා කියන හැඟීම නෙමෙයි. මිනිස්සු වෙනුවෙන් හඬ නැගූ මිනිසෙක් විනාශ කිරීම ගැන විශාල වේදනාවක්. මේ ඝාතනය තමයි මානව හිමිකම් කෙරෙහි, නීතිය කෙරෙහි මෙන්ම දේශපාලනය කෙරෙහි ද මා පොලඹවනු ලැබුවෙ...“ ඇය විටෙක මාධ්‍යයට කියා තිබිණි.

වනුෂිගේ සැමියා නවසීලන්ත ජාතිකයෙකි. ඔහු රයිස් වෝල්ටර්ය. රයිස් හැම විටම ඇය පසුපස සිටි බව කම්කරු පක්ෂ වෙබ් අඩවිය දක්වා තිබිණි. ඇය තිදරු මවකි. එලියට්, ලූකා සහ සාචා ඒ පිරිමි දරුවන් තිදෙනා ය.

මේ වගකීම් සහිත කාන්තාව මෙවර මැතිවරණයට ඉදිරිපත් වූයේ ජාතික හා ජාත්‍යන්තර අත්දැකීම් සහිත නීතිඥවරියක් ලෙසය. වාර්ගික අර්බුද හමුවේ පීඩාවිඳන අසරණයින් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිකයෙක් ලෙසය. ඇය ප්‍රජා නීති ක්ෂේත්‍රයේ වසර 9ක් සේවය කළ නීති වේදිනියක ලෙසය. වසර 6ක් පුරා ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි ජාත්‍යන්තර මණ්ඩල සාමාජිකාවක් ලෙස අත්දැකීම් ලක් වෘත්තිකයෙක් ලෙසය. ඕක්ලන්ඩ් සහ නෝර්ත්ලන්ඩ් අතුළත් ප්‍රජා ව්‍යාපෘතිවල නවසීලන්තයේ විශාලතම සමාජ සත්කාර පදනමක උතුරු කොටස බාරව කටයුතු කළේ ඇය ය.

කම්කරුවන් සඳහා සාධාරණ රැකියා තත්වයන් සහතික කිරීම සඳහා වැඩ කිරීමේ සැලසුමක් ඇය සතුව තිබිණි. ඇය COVID-19 න් පසු සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිතතාවයට සහ අවස්ථාවන්ට අඛණ්ඩව අය සහාය විමට ඇය ශපථ කර තිබිණි. වාසය කිරීමට හැකි නිවාස වැඩි ප්‍රමාණයක් ලබා දීමට සහ අවශ්‍ය ඕනෑම අයෙකුට නීතිමය උපකාර ලබා දීමට හැකි සමාජ පරිසරයක් නිර්මාණය කිරීමේ සැලසුමක් ඇය සතුව තිබිණි.

ඇය ඒ සැලසුම ජනතාවට ඉදිරිපත් කළාය.

Upper Habour හි මිනිස්සු තමන්ගේ ජාතියේ ආකර්ෂණීය, ක්‍රීඩා ශීලී උන්නතිකාමී ව්‍යාපාරික තරුණයා වෙනුවට දුඹුරු හම සහිත, ද්විත්ව පුරවැසිභාවය හිමි, සංක්‍රමණික ආසියාතික ගැහැණිය තම ජනතා නියෝජිතයා ලෙස තෝරාගෙන පාර්ලිමේන්තුවට යැවූහ.

 

Comments