මෛත්‍රීට දැන් මොකද වෙන්නෙ? | සිළුමිණ

මෛත්‍රීට දැන් මොකද වෙන්නෙ?

- විස්සට සහාය දුන් අයට ‍ විනය පරීක්ෂණ පවත්වා මන්ත්‍රීකම අහෝසි කරන්න සූදානමක් 
- ජනපතිගේ අදහස් දැක්වීම අනුව විමල් - ගම්මන්පිල - තිස්ස විත­ාරණ 20ට සහාය දෙති
- 20ට සහාය දුන් ස.ජ.බ. පත්කළ මන්ත්‍රිනි ඩයනා ගමගේ කාගේ කවුද?

රුණු ගණනාවක් සම්බන්ධව තර්ක විතර්ක වාද විවාද මැද විසිවැනි සංශෝධනය සම්මත කර ගැනීමට රජය බ්‍රහස්පතින්දා සමත් විය. ‍ මේ සංශෝධනය සම්බන්ධව ආණ්ඩුවේ ඇමැතිවරු මන්ත්‍රීවරු මෙන්ම ආණ්ඩුවට සහාය දැක්වූ ඇතැම් පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් කළහ. 20 වැනි සංශෝධනය අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත් එහි යම් යම් කරුණු කාරණා වෙනස් විය යුතු බව රජයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ අදහස විය. 

අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, ඇල්ලේ ගුණවංස හිමියන් ඇතුළු නායක භික්ෂුන් වහන්සේ කිහිප නමක්ම මේ සම්බන්ධව ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ විසිවැනි සංශෝධනයේ ප්‍රධාන කරුණු කිහිපයක්ම ඉවත් කරන ලෙසයි.

මේ විවේචනාත්මක කරුණු සහ යෝජනා සම්බන්ධව ජනාධිපති, අගමැති ඇතුළු රජයේ ප්‍රබල ඇමැතිවරු කිහිපදෙනෙකු අතර සාකච්ඡා අවස්ථා ගණනාවක්ම ඉකුත් සතිය තුළ සිදු කෙරිණි.

ඉකුත් සඳුදා පැවැති කැබිනට් රැස්වීමේදී රජය සාමූහික එකඟතාවකට එළැඹ ගැටලුකාරි වගන්ති පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට තීන්දු කරනු ලැබීය.

ජයන්ත කැටගොඩ ලොකු වැඩක

කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී දැඩි අවධානයක් යොමු කළ අතර ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණයකට තරග කළ හැකි බවට පවතින වගන්තිය ඉවත් කිරීමට මෙහිදී කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන නොතිබිණි.

උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන ඇමැතිවරු මේ සම්බන්ධව දැඩි මතයකට එළැඹ සිටි අතර ඔවුන් එක හඬින් කියා සිටියේ ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණයකට තරග කළ නොහැකි බවට 19 වැනි සංශෝධනයේ පවතින වගන්තිය එලෙසම තබා ගත යුතු යැයි ඔවුහු දිගින් දිගටම කීහ.

එහෙත් ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලයේ බොහෝ පිරිසක් ඊට සහාය පළ කර නොතිබිණි.

ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය යන පක්ෂ තුන එක්ව සාකච්ඡාවක් පවත්වා එකඟතාවකට පැමිණ තිබුණේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව වගන්තියට කාරක සභා අවස්ථාවේදී ඡන්දය විමසන විට විරෝධය දැක්වීමටය. එහිදී එම වගන්තිය පරාජයට පත්වන අතර දහනවයෙන් ද්විත්ව පුරවැසියන්ට පවතින බාධකය එලෙසම පවතින්නේය. මේ පිළිබඳව මෙම පක්ෂ සාකච්ඡාවල ප්‍රතිඵලය එහිදී විමල් වීරවංශ ඇමැතිවරයා පහදා දුන්නේය.

මේ පිළිබඳව කල් තියා දැනගත් රජයේ ප්‍රබලයෝ මේ සඳහා ක්‍රියාත්මක වූහ.

හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට විවිධ නියෝජිතයන්ට පවරා තිබිණි. විමල් වීරවංශ ඇමැතිවරයාගේ ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ නම්කර තිබිණි. ‍

ඔහු අවස්ථා කිහිපයකදීම ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පවත්වමින් විරෝධතාව නැවැත්වීමට උත්සාහ ගත්තේය. ද්විත්ව පුරවැසිභාවයට පක්ෂව ඡන්දය ලබා දෙන ලෙස එහිදී ජයන්ත කැටගොඩ ඉල්ලීමක් කළේය. එම මන්ත්‍රීවරු ‍වහා ඒ බැව් විමල් වීරවංශ ඇමැතිවරයා වෙත පැමිණිලි කළේය.

විමල්ගෙන් - අගමැතිට පැමිණිල්ලක්

විමල් වීරවංශ ඇමැතිවරයා මේ බැව් අගමැතිවරයාට දැන්වීය. තමන්ගේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධව දැඩි නොසන්සුන්තාවකින් සිටින බවද අගමැතිවරයාට කීවේය.

මේ පිළිබඳව විමල් සහ අගමැතිවරයා අතර කතාබහ සිදුවන අවස්ථාවේ ජයන්ත කැටගොඩද ඒ අසලම විය.

අගමැතිවරයා ඉන් නික්ම වෙනවාත් සමඟ ජයන්ත කැටගොඩ සහ විමල් වීරවංශ අතර දැඩි උණුසුම් කතාබහක් ඇති විය. දෙදෙනාම උස් හඬින් කතා කරමින් එකිනෙකාට චෝදනා කරගනු ලැබීය. ඇමැතිවරු පිරිසක් ක්‍රියාත්මක වී එම තත්ත්වය පාලනය කළහ.

මේ කරුණු සියල්ල අගමැතිවරයාට මෙන්ම ජනාධිපතිවරයාට ඉතා ඉක්මනින් ආරංචි විය. ද්විත්ව පුරවැසි ගැටලුව විසඳා ගැනීමට ඒ අනුව ඉහළ පෙළේ නායකයෝ කටයුතු කළහ.

ජනපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් බදාදා රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවනු ලැබීය.

වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, තිස්ස විතාරණ, අසංක නවරත්න, වීරසුමන වීරසිංහ, ටිරාන් අලස් මේ සඳහා එක් වූහ.

"මේක ඉතාම සැලකිල්ලට ගත යුතු කාරණයක්. එමෙන්ම සංවේදී කාරණයක්. එක්සත් ජාතික පක්ෂය ඔය ද්විත්ව පුරවැසිභාවය බාධකයක් ලෙස ගෙන ආවේ මාව ඉලක්ක කරගෙනයි. ඒ වගේම රාජපක්ෂලා ඉලක්ක කරගෙනයි." ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය හඬ අවදි කරමින් පැවැසුවේය.

"ඒ නිසා මට මේකට ටික කාලයක් දෙන්න. අනිවාර්යෙන්ම අලුත් ව්‍යවස්ථාවෙන් මෙය ඉවත් කරනවා. මේ පිළිබඳව අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවේදී පොරොන්දුවක් දෙනවා" යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

"හරි අපි ඔබතුමාව විශ්වාස කරනවා" යැයි මෙහිදී විමල් වීරවංශ ඇමැතිවරයා කීවේය.

"ඔබතුමා දුන්නු පොරොන්දු ඉටුකරන බවට අපිට ලොකු විශ්වාසයක් තිබෙනවා" යැයි එහි සිටි සෙසු මන්ත්‍රීවරුද විමල් වීරවංශ ඇමැතිවරයාගේ කතාවට එකතු වෙමින් සඳහන් කළහ.

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව ගැටලුව විසඳාගත් අයුරු මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශයට පත්කිරීමට මෙහිදී උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන ඇමැතිවරු පියවර ගත්හ.

ඔවුහු වහාම බ්‍රහස්පතින්දා උදෑසන මාධ්‍ය හමුවක් කැඳවා මේ බැව් රටටම දැනුම් දුන්හ.

විස්සට තිබෙන ගැටලු සියල්ල සාකච්ඡාවට ලක්කරමින් ජනතාවගේ අදහස් මෙන්ම විවෘත සංවාදයක් ඇතිවීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේදී සිය ප්‍රණාමය රජයට පළ කළහ.

විපක්ෂයේ විරෝධතාව

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධතාවක් එල්ල කළහ. පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පෙර කෑකෝගසමින් සටන්පාඨ කියමින් කෑකෝ ගැසූහ.

කථානායකගෙන් සජිත් ප්‍රේමදාසට අවවාද

මුඛ ආවරණවල විස්සට විරුද්ධව ලාංඡනයක් ප්‍රදර්ශනය කළ අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ ලේ පැල්ලම් සහිතව පෙනෙන අයුරින් සකස්කළ විශේෂ ඇඳුමක්ද මැති සබයට ගෙනැවිත් තිබිණි.

කතානායකවරයා පාර්ලිමේන්තුවේදී විස්ස සම්බන්ධව පනත පිළිබඳව සභාවට ප්‍රකාශ කිරීමට ආරම්භ කරනවාත් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූ විරෝධය හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන, සජිත් ප්‍රේමදාස හට අවවාද කරමින් කියා සිටියේ හොඳ විපක්ෂ නායකයෙකු ලෙස හැසිරෙන ලෙසයි.

කෙසේ වෙතත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අතිබහුතර බලයක් අවශ්‍ය වන නිසා එම ඡන්ද විමසීම කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබිණි.

විස්සට ඡන්ද 150 ලබා ගැනීමට හැකි වේද? නොහැකි වේද යන කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තැන තැන නොයෙක් කතාබහ සිදුවෙමින් පැවැතිණි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇමැතිවරුන් අතර මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතරද මේ සම්බන්ධව නොයෙක් කතාබහ ඇති විය.

අගමැතිගෙනුත් ‍ලොකු කතාවක් ‍

‍"දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් ජනාධිපතිගේ තටු කැපුවා කියලා උදම් ඇනුවත් සිදු වුණේ වෙනත් දෙයක්. ජාතික ආරක්ෂාව ඒකීය භාවයේත් බෙල්ල කැපීමක් තමයි සිදු වුණේ."

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

පාර්ලිමේන්තුවට ලැබූ ජනවරම තුළ ජනාධිපති ශක්තිමත් කිරීමේ ප්‍රාර්ථනාව අප සතුව තිබෙනවා. ජාතික ආරක්ෂාව නැති කරන 19 ඉවත් කර අපි 20 ගෙන එන්නෙ මෙන්න මේ නිසායි.

ජාතිය අපට විශාල ජනවරමක් ලබා දී තිබෙනවා. අපි ඒ ජනවරමට ජනතාවට වැඩ කළ යුතුයි. කාලයක් තිස්සෙ මේ රටේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටින ජාතිය ගොඩනඟන ව්‍යවස්ථාව තමයි අපි ගෙන එන්නෙ.

20 ට කිසිම ඩීල් එකක් නැහැ

"රට අරාජික කරන 19 පරාජය කරනවා. අපි 20 ගෙන එන්නේ අරාජික වූ රට යළි ගොඩගන්නයි." මම මේ රටට පූර්ණ නිදහස ගේන්න අත උස්සපු කෙනෙක්. වාද විවාදවලට ගරු කරමින් කිසිම ඩීල් එකක් නැතිව 20 ගේන්න ලැබීම සතුටක්" යැයි ද අගමැතිවරයා මෙහිදී කීවේය.

ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රී 7.36ට පමණ 20 වැනි සංශෝධනය කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසන අවස්ථාවේ විශේෂ සිද්ධියක් සිදුවුණි. ඒ සමඟි ජන බලවේගයේ බොහෝ පිරිසක් මේ සඳහා මනාප නොවන බව ප්‍රකාශ කරන අතරතුර සමඟි ජන බලවේගය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු හයදෙනෙක් සහ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරියක් 20ට සිය මනාපය ලබා දුන්හ. ‍

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අලි සබ්‍රි, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් නසීයර්, දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් හාරිස් එම දිස්ත්‍රික්කයේම මන්ත්‍රී ෆයිසාල් කාසිම් සහ මන්ත්‍රී මොහොමඩ් මුෂාරාෆ් මෙන්ම සමග ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ මෙලෙස 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර මන්ත්‍රීවරුන් 156ක් පක්ෂවද ඊට විරුද්ධව 65 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ.

‍ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ජාතික සමඟි ජනබලවේගයේ උපලේකම්වරිය වන අතර ඇය මෙම දේශපාලන පක්ෂයේ නිර්මාතෘවරිය වශයෙන්ද සැලැකේ. ව්‍යාපාරික කාන්තාවක් වන ඇය රංගන ශිල්පිනියක් හැටියටද කටයුතු කර තිබුණාය.

මෛත්‍රීපාල කෝ

මේ අතර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණ නොසිටියේය. කෙසේ වූවත් ශ්‍රීලනිපය තීරණය කර තිබුණේ 20ට පක්ෂව ඡන්ද දීමටයි. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා 20ට පක්ෂව නොදීම පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඔහු එදින පාස්කු ප්‍රහාරයට අදාළව ජනාධිපති විමර්ශන කොමිසම වෙත ගොස් තිබූ අතර ඔහුගෙන් එදින පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කර තිබිණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම සඳුදා රැස්වූයේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේදීය. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අවස්ථාවේදී එයට විරෝධය දක්වන්නේ කෙසේද යන්න ගැන කණ්ඩායම් රැස්වීමේ මූලික අවධානය යොමු විය. සාම්ප්‍රදායික විරෝධය දැක්වීමේ ක්‍රමවේදයන්ගෙන් එහා ගිය විරෝධතාවයන් දැක්වීම ගැන කාගේත් අවධානය යොමු විය.

ඒ අනුව රථ පෙළපාළියකින් පාර්ලිමේන්තුවට පැමිණ විරෝධතාවයක් දැක්වීමට සියලු දෙනාම එකඟ වූහ. ඒ අතරම පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීත් විවිධ ආකාරයේ විරෝධතා දැක්වීම ගැන අවධානය යොමු කළේය. එසේම විසි වැනි සංශෝධනය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කමිටුවක්ද පත් කෙරිණි. මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාඨලී චම්පික රණවක, කබීර් හෂීම් හා එරාන් වික්‍රමරත්න එම කමිටුවට පත් කිරීමටද මෙහිදී කටයුතු කළේය.

"අපි කරන විරෝධතාවන් ගැන පිටට කිසිම දෙයක් දෙන්න නරකයි. රහසිගතව එකවර මේ විරෝධතා කළ යුතුයි" හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා යෝජනා කළේය. ඒ අනුව විරෝධතාවයන් සංවිධානය කිරීමේ වගකීම හරින්ට පැවරිණි.

ඒ අනුව උදෑසනම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයට පැමිණියහ. ඒ රථ පෙළපාළිය එතැනින් ආරම්භ කිරීමටය.

"ඒකාධිපති 20 එපා"යනුවෙන් සඳහන් අත් පළඳනා පැලඳ ගනිමින් පෙළපාළිය ආරම්භ විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අතේ මෙම අත් පලඳනාව ගැට ගැසුවේ රංජිත් මද්දුමබණ්ඩාරය. සජිත්ගේ රථය පෙරටු කරගෙන සියලුම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණියහ.

ස.ජ.බ. විරෝධතා පා ගමන

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුමට පැමිණිමට පෙර විරෝධතා පා ගමනක් ආරම්භ කළ මන්ත්‍රීවරු පයින්ම පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට පෙළපාළියෙන් ගමන් කළේ "ඒකාධිපති විස්ස එපා" "විනාශකාරී 20 එපා" "ම්ලේච්ඡා 20 එපා" ආදී ලෙස සටන් පාඨ කියමින් පිරිස පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසියහ. මේ සියල්ල මාධ්‍යයටත් රහසේ සංවිධානය කර තිබීම නිසා වීඩියෝ දර්ශන ගැනීමේ වගකීම මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාටත්, මරික්කාර් මන්ත්‍රීවරයාගේත් කර පිටට පැටවී තිබිණි. ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර රූපවාහිනී මාධ්‍යවේදීන් ලෙස කටයුතු කර තිබීම නිසා වඩාත් හොඳින් එම දර්ශන ලබාගෙන තිබුණා පමණක් නොව මාධ්‍යයටත් නිකුත් කර තිබිණි.

පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි විපක්ෂ නායකවරයා විසි වැනි සංශෝධනය සම්මත කරගැනීමේ උවමනාව නිසා නිරෝධායන නීතිවලට පටහැනිව යමින් සභා රැස්වීම් පැවැත්වීම ගැන දැඩි අවධානය යොමු කළේය. ආණ්ඩුව නිරෝධායන රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නේ නම් පාර්ලිමේන්තු සැසිවාර පැවැත්විය නොහැකි බවද ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටි මාධ්‍යවේදීන්ට කීවේය. කොරෝනා මර්දන නීතිවලට අනුව මන්ත්‍රීවරුන්ට එක නීතියකුත්, ජනතාවට තවත් නීතියකුත් තිබිය යුතු නැති බව ඔහු තරයේ අවධාරණය කළේය.

ජනතාව ජීවත්වීම උදෙසා බරපතළ අරගලයක් කරන අතරේ ආණ්ඩුව ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් උදෙසා සූදානම් වීම බරපතළ ඛේදවාචකයක්" විපක්ෂ නායකවරයා කීවේය.

මේ අතර පාර්ලිමේන්තුවේදී විසි වැනි සංශෝධනයට විරුද්ධව විශේෂ ප්‍රකාශ දෙකක්ම කරමින් ඔහු විපක්ෂයේ විරෝධයට නායකත්වය දුන්නේය. 

"අද අපේ රටේ තිබෙන්නේ ඉතාමත්ම තීරණාත්මක මතභේදාත්මක තත්ත්වයක්. යෝජනා කරනවා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා තිබෙන යහපත් ප්‍රතිපාදන ආරක්ෂා කරන්න කියලා .ඒ වගේම අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර බල සටනක් නිර්මාණය වෙන යෝජනා වෙනුවට, බලය බෙදා ගෙන ඒ වගේම සංවරණ සහ තුලන ක්‍රමවේදයක් ගෙනැවිත් ඒ දෙදෙනාගෙන් කිසිම කෙනෙකු ඒකාධිපතියකු නොකරන ආකාරයේ යහපත් ජනතාවාදී ආණ්ඩුක්‍රම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න කියලා අපි යෝජනා කරනවා."

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශ දෙකක්

"ජාතික ආරක්ෂක කවුන්සලයක් ස්ථාපනය කරන්න කියලා අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. අවසන් වශයෙන් අපි ඔබතුමන්ලාට කියන්න කැමතියි අපි දහනමවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉදිරියට ගෙනයන වැඩසටහන රටට ඉදිරිපත් කරලා තිබෙන බව. අපි ඒ වෙනුවෙන් කැප වෙනවා. ඒබ්‍රහම් ලින්කන් හිටපු ඇමෙරිකානු ජනාධිපතිතුමාගේ කියමනෙන් කොටසක් මම ඔබතුමන්ලාට කියන්න කැමතියි, "ඔබ සියලු දෙනා ටික කාලයකට ටික දෙනෙකු සෑම කල්හි ද රැවටිය හැක. නමුත් සියලු දෙනා සියලු කල්හිම රැවටීම කළ නොහැකියි" හොඳට ඔළුවට ගන්න ඒ වගේම මේ වැදගත් වාද විවාද තුළ මුළු රටම බලාගෙන ඉන්නවා පාර්ලිමේන්තුවේ 225 දෙනා නෙවෙයි 223 දෙනා තමන්ගේ තීන්දු තීරණ ගන්නේ කොයි ආකාරයටද කියලා" විපක්ෂ නායකවරයා දැඩි ප්‍රකාශයක් කරමින් කීවේය.

විසි වැනි සංශෝධනයට ඡන්දය ලබාගත් බ්‍රහස්පතින්දා උදෑසනත් පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වූවේය. ඒ පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාගැනීමට පෙර දැක්විය යුතු විරෝධයන් ගැන සාකච්ඡා කිරීමටය.

විපක්ෂ නායකවරයා මහා සංඝරත්නය සමඟ සාකච්ඡාවක

"විසි වැනි සංශෝධනයට පක්ෂව සමහර විපක්ෂයේ අය ඡන්දය දෙනවා කියලා කතාවක් යනවා" මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු කළේය.

"අපේ කිසිම මන්ත්‍රීවරයෙක් මේකට සහාය ලබා දෙන්නේ නෑ. කවුරුහරි මේකට සහාය දුන්නොත් කඩිනම් විනය පරීක්ෂණයක් පවත්වලා පක්ෂයෙන් ඉවත් කරනවා"රංජිත් මද්දුමබණ්ඩාර කීවේ පක්ෂ තීරණයට පටහැනිව කටයුතු කරන අයට කිසිදු සමාවක් ලබා නොදෙන බවය.

විපක්ෂ නායකවරයා විසිවැනි සංශෝධනයේ භයානකත්වය පැහැදිලි කිරීම සදහා පසුගිය දිනවල ආගමික නායකයින් හමුවිය. පසුගිය සති අන්තයේදී විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන්වහන්සේ බැහැ දුටුවේය. ගල්කිස්ස ධර්මපාල මාවත පිහිටි ධර්මපාලාරාමය වෙත පැමිණි විපක්ෂ නායකතුමා මහානායක උන්වහන්සේගේ සුවදුක් විචාරීමටද අමතක නොකළේය.

ඉන් අනතුරුව විහාරස්ථාන පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් හමු වූ විපක්ෂ නායකතුමා ඔවුන් විසින් විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.

"පාස්කු ප්‍රහාරයට හේතුව 19 වැනි සංශෝධනයේ අඩුපාඩු නිසා බව කියනවා"මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයකි.

"දහනව වන සංශෝධනය සහ පාස්කු ප්‍රහාරය අතර කිසිදු සම්බන්ධතාවයක් නෑ. ප්‍රශස්ත ප්‍රබුද්ධ පාලකයෙකුට එවැනි ප්‍රහාර වළක්වා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙහි තිබූ ප්‍රජාතන්ත්‍රවාදී යහපත් රාජ්‍ය පාලන මූලධර්ම උපයෝගී කරගෙන 19න් ඔබ්බට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පඹයෙක් බවට පත් කරන ක්‍රමවේදයක් වෙනුවට සංවරණ හා තුලන ක්‍රමවේදයක් 19+ තුළින් ක්‍රියාත්මක කරනවා" විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

Comments