
- ආර්ථිකය ගොඩනඟන්න 20 ඕනමයි...
- ඒකීය රටක් ෆෙඩරල් රටක් බවට පත් කළ යුතු නැහැ...
- පළාත් සභා මෙරටට අවශ්‍යම නෑ...
- 19න් රට වැනසුණා...
20 වැනි සංශෝධනය අවශ්‍ය වන්නේ ඇයි?
20 වැනි සංශෝධනය ගෙන එනු ලබන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කිරීම සඳහායි. 20 මගින් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර තිබෙනවා. 19 ට අනුව ව්‍යවස්ථාදායක සභාවෙන් තමයි කොමිෂන් සභා, අගවිනිසුරු, නීතිපතිවරයාගේ සිට පොලිස්පතිවරයා දක්වා පත්කරන්නේ. ජනාධිපතිට බලයක් නැහැ. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් 09 න් 07ක්ම ඉන්නේ අගමැති සහ විපක්ෂ නායක අතේ. ජනාධිපතිවරයා පත්වෙන්නේ ලංකාවේම සමස්ත ජනතාවගේ බහුතරයෙන්. අගමැති සහ විපක්ෂ නායක කියන්නේ දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරන දෙන්නෙක්. ඒක මොනතරම් අසාධාරණද?
ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද 69 ලක්ෂයක් අරන් ජනාධිපති වෙලා මාස 11ක් ගතවී ඇතත් ඔහුට තාම පොලිස්පතිවරයෙක් පත් කරගන්න බැරිවෙලා තියෙන්නේ මේ 19 නිසයි. 20 වැනි සංශෝධනය ඔහුට අවශ්‍ය බලය ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ පමණයි ඔහු ගත යුත්තේ. පාර්ලිමේන්තු සභාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත වන තෙක් වැදගත් තනතුරු වලට පත්කළ අය තවම ඉන්නවා. ඔවුන් පත්කරලා තිබෙන්නේ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු පත් කළ මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වූ හූල් මහතා මොනවද කළේ කියන එක මුළු රටම දන්නවා. අපේ වගේ බෙදුම්වාදය පවතින සහ තවමත් තම උත්සහය අතහැර නැති බෙදුම්වාදීන් ඉන්නා රටක, මුස්ලිම් අන්තවාදය පවා තිබෙන තත්ත්වයක් මත විධායක ජනාධිපතිවරයෙක් පූර්ණ විධායක බලය සහිතව සිටිය යුතුයි.
වසර 30ක යුද්ධය අපිට පරාජය කළ හැකි වූයේ ජනාධිපතිවරයාට විධායක බලයක් තිබූ නිසා බව අපි කවුරුත් දන්නා කරුණකි. එම බලය නිසාවෙන් අද මේ රටේ ජනතාව නිදහසේ හුස්ම ගන්නේ. හිටපු ජනාධිපති, වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂයන්ට අදටත් ජනතාව ගරු කරන්නේ ඔහු එදා ගත්ත තීන්දු තීරණ නිසාවෙන්. මෙවැනි කරුණු රැසක් 20 වැනි සංශෝධනය තුළින් රටට හිමිවනවා.
ඔබ 19 වැනි සංශෝධනයට එරෙහි වූයේ කලකට ඉහතදී. මෙහි ඇති ප්‍රධානතම දුර්වලකම් මොනවාද?
19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට අවුරුදු හතරහමාරක් යනකල් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය නැති කළා. ඒ බලය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තිබූ නිසා එදා මේ රට පාවා දෙන්න ගිය එකෙන් බේරා ගත්තා.
2002 වසරේදී අගමැති රනිල් වික්‍රමසිංහ කොටි ත්රස්තවාදීන් සමඟ ඊනියා ගිවිසුමක් අත්සන් කළා. රටේ ජාතික ආරක්ෂාව බිංදුවට බස්සලා දැම්මා. අන්න ඒ අවස්ථාවේ ජනාධිපතිනිය විසින් ආණ්ඩුව විසුරුවා හැරියා. ඊට පසුව පැවැත්වූ මහ මැතිවරණයෙන් රනිල් අන්ත පරාජයක් ලැබුවා. ඇත්තටම එතනදී සිදු වූයේ ජනතාව රනිල් වික්‍රමසිංහගේ තීන්දුවට එරෙහිව ඔහු පරාජය කිරීමයි.
යහපාලන රජය විසින් රණවිරුවන් යුද අපරාධකරුවන් කියලා ජාත්‍යන්තරයේ හංවඩු ගසන විට, බුද්ධ පුත්‍රයන් වහන්සේලා නිකරුණේ හිරේ දානකොට, ජාතික සම්පත් කුණුකොල්ලෙට විකුණනකොට, ජාතික ආරක්ෂාව අවදානමට ලක් කරලා බුද්ධි අංශය නැති කරලා දානකොට, සමස්ත වශයෙන් ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් රට අස්ථාවර වෙද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිකම්ම නිකං උඩබලාගෙන ඉන්න සිද්ධ වුණා. මොකද 19 වැනි සංශෝධනයට අනුව අවුරුදු හතරහමාරක් යනතුරු ආණ්ඩුව විසිර වීමට අවශ්‍ය බලය නැති නිසා.
ඔබ කියන්නේ 19 එපා කියලා ජනතාව පිළිගන්න බවද?
ඔව් ඇත්තටම. ජනතාව 19 එපා කියලා ලොකු පණිවුඩයක් දීලා තිබෙනවා. යහපාලන රජය පරාජය වූයේ ජනතාව 19ට විරුද්ධ වූ නිසා. ඒක ඉතාම පැහැදිලියි.
19 ගෙන ආ මොහොතේ රනිල් වික්‍රමසිංහට ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු ආසනයක් දිනාගන්න නොහැකි වුණා. අවුරුදු හතළිස් හතරක්ම කොළඹින් පිට හිටිය මට කොළඹ ඇවිල්ලා මාස හයක් වැනි කෙටි කාලයකදී ඡන්ද තුන්ලක්ෂ විසිඅටදහසක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත් වන්නට පුළුවන් වුණා. ඒ දිගින් දිගටම මා 19 ට විරුද්ධව සිටිය නිසායි.
20 න් 19 අහෝසි කිරීම මා දකින්නේ ජනතාවගේ කැමැත්ත මෙන්ම ප්රජාතන්ත්රවාදය කියන එකයි. 1978 සිට 2015 දක්වා මෙරට සිටි සියලුම ජනාධිපතිවරුන්ට විධායක බලතල හිමිවෙලා තිබුණා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එම බලය ලබා දිය යුතුයි. ජනතාව ඔහුව ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කර ගනු ලබන්නේ ලක්ෂ 69 ක ඡන්දයක් ලබාදී. එලෙසම ඉකුත් මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් අපිට ලැබෙනවා. ජනතාව මේ බලය ලබා දුන්නේ රට හදන්න, සංවර්ධනය කරන්න, ජනතාව ආරක්ෂා කරන්න.
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනා 20 වැනි සංශෝධනය සම්බන්ධව විවේචන ඉදිරිපත් කර තිබෙනවා. මෙය අර්බුදයක් නොවෙයිද?
එය කිසිම ලෙසකින් අර්බුදයක් නොවෙයි. අපගේ රජය තුළ ඕනෑම අයකුට අදහස් දැක්විය හැකියි. එය තමයි ප්රජාතන්ත්රවාදය කියන්නේ. ජනතාව බලාපොරොත්තු වූ දේ තමයි මේ සිද්ධ වෙමින් පවතින්නේ. විමල් වීරවංශ අමාත්‍යවරයා කියන්නේ හැමදාම අපි සමඟ ජාතික බලවේගයක් වශයෙන් කටයුතු කළ දක්ෂ දේශපාලනඥයෙක්.
දේශයට ආදරය කරන ජනතාවට ළෙන්ගතු නායකයෙක්. ඒ වගේමයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා. ඔහුත් මේ රටට ආදරය කරන සැබෑ දේශපාලනඥයෙක්. ඔවුන් දෙදෙනා වර්තමාන රජය සහ ජනාධිපතිවරයා බිහිකිරීමට විශාල වැඩ කොටසක් සිදු කළා. ඔවුන් දෙදෙනාගේ මතය වෙන්නේ මෙහි කරුණු වෙනස් කරලා ඉදිරිපත් කරන්න ඕන කියන කාරණය.
නමුත් මම කියන්නේ 19 සම්පූර්ණයෙන්ම අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන කියන එක. අන්න ඒ අවස්ථාවේදී ඔවුනට පුළුවන් තමන්ගේ අදහස් මේ සඳහා එක් කරන්නට.
20 වැනි සංශෝධනය නිසා රජය තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති බවට දේශපාලන වේදිකාවල මත පළ වෙනවා. එහෙම තත්ත්වයක් තිබෙනවාද?
කිසිසේත්ම නැහැ එහෙම ගැටලුවක්. ගැටලුවක් නොමැති තැන ගැටලුවක් මවන එක විපක්ෂයේ හැටි. අනික් කාරණය තමයි අපිට මතවාද තිබෙනවා. ඒවා ගැටලු ලෙස නම් කිරීම වැරදියි. මතවාද ඇති වෙලා තමයි අවසානයේ හොඳ තීරණ ගත හැක්කේ. ඒ තුළින් සෑම අයෙකුගේම අදහස් එළියට එනවා.
20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේදී ආණ්ඩුවට තුනෙන් දෙකක් නැති බවට සමාජය තුළ කියැවෙනවා. එහෙම වෙයිද?
අපිට ජනතාව ස්ථිර වශයෙන්ම තුනෙන් දෙක ලබාදී අවසන්. එය ජනතාවගේ කැමැත්ත. පාර්ලිමේන්තුව තුළ අපිට තුනෙන් දෙක නොමැති බවට ප්රකාශනයක් සිදු කරන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්. අදාළ දිනයේදී මේ පිළිබඳව සියලු දෙනාටම දැන ගැනීමට හැකිවේවි. 20 වන සංශෝධනය සම්බන්ධව අප අතර තිබෙන යම් යම් දේශපාලන මත, ගැටුමක් හැටියටවත් අර්බුදයක් හැටියටවත් දකින එක තේරුමක් නැති සිතිවිල්ලක්. අවශ්‍ය දිනයේදී අපගේ සාමූහික තීරණය රටේ සියලු දෙනා වෙනුවෙන් ගන්නා බව මට ස්ථිරවම කිව හැකියි. පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ට මම ආරාධනා කරනවා රට හදන ව්‍යවස්ථාව තමයි 20 කියලා කියන්නේ. ඒ නිසා පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා අප සමග එක්වන්න කියලා.
පළාත් සභා මේ රටට අවශ්‍යද?
පළාත් සභා මෙරටට අවශ්‍ය නෑ කියන එක මම දීර්ඝ කාලයක සිට පවසන කතාවක්. පළාත් සභා කියන්නේ 13 වැනි සංශෝධනය. මධ්‍යම ආණ්ඩුවක් තිබියදී ඇයි අපි පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල ලබා දෙන්නේ. එය කිසිසේත් අවශ්‍ය කරුණක් නොවෙයි. මේක ඉන්දියාවෙන් අපිට බලහත්කාරයෙන් පටවපු දෙයක්. විශේෂයෙන් ඉන්දු - ලංකා ගිවිසුමෙන් තමයි මෙය අපිට පටවනු ලැබුවේ. පළාත් සභා රාජ්‍ය ඇමතිවරයා වශයෙන් මම කටයුතු කළාට මම මගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ. මම කියන්නේ පළාත් සභා අවශ්‍ය නොවන බවයි.
මම දැන් රාජ්‍ය ඇමතිවරයා වශයෙන් මෙය නිකන් ප්‍රකාශ කරන්නේ නැහැ.
මම එය අධ්‍යයනය කරනවා දීර්ඝ වශයෙන්. පළාත් සභා අවශ්‍ය වන්නේ ඇයි. එය ගැළපෙනවාද? සිදු කරන කටයුතු අපට මධ්‍යම රජය මගින් සිදු කර ගත නොහැකිද? මේ වගේ කාරණා සම්බන්ධව දීර්ඝ වශයෙන් හදාරමින් සිටින්නේ.
පළාත් සභා තුළින් ශ්‍රී ලංකාවට සේවයක් සිදුවෙලා තිබෙනවාද? දැන් වසර දෙකහමාරක් පළාත් සභා නැහැ. මේ තුළින් රට ආපස්සට ගියාද? මේ කාරණා සියල්ල පිළිබඳව අධ්‍යයනය කළ යුතුයි. ඒකීය රටක් ෆෙඩරල් රටක් බවට පත් කළ යුතු නැහැ කියන මගේ මතයේ මා ඉදිරියටත් සිටිනවා.