ගව ඝාතන තහනම ක්‍රියාත්මක කළ යුතුද? | සිළුමිණ

ගව ඝාතන තහනම ක්‍රියාත්මක කළ යුතුද?

 

 මෙරට ගවඝාතනය නතර කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට ඉදිරිපත් කරන ලද යෝජනාවට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමි විය. ගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එය බොහෝ සත්ත්ව අවිහිංසා සමාජ කණ්ඩායම් විසින්ද අනුමත කරන ලදී. ගව මාංශ යනු පොදුවේ රතු මස් වර්ගයන්ට අයත් වන්නකි. ඒ අනුව විද්‍යාත්මක පදනමක් මත පිහිටා මේ රතු මස් පරිභෝජනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ පිළිකා පිළිබඳව ඇමරිකානු සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල පිළිකා පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් මිනිසුන්ගේ ශරීරයට ගව මස් අහිතකර බව පවසයි. රතු මස් පිළිබඳව ඇති විද්‍යාත්මක මතය වන්නේ එම මාංශ වෙනත් විවිධ ක්‍රම අනුව වැඩිදියුණු කිරිමට යොදා ගන්නා රස කාරකයන් නිසා පිළිකා කාරක ගුණය ඉතා ඉහළ යන බවයි. මේ මස් වර්ග ප්‍රධානම පෙළේ පිළිකා කාරකයක් ලෙස හැඳින්විය බව එම රටවල සෞඛ්‍ය සංවිධාන විසින් පෙන්වා දෙයි. රතු මස් අනුභවය නිසා ලෝකයේ වාර්ෂිකව පිළිකා මරණ තිස් හතර දාහක් වාර්තා වෙයි. ආහාර මාර්ගයේ පිළිකා, බඩවැල් ආශ්‍රිත පිළිකා බොහෝ විට හටගන්නේද මේ මාංශ අනුභවය නිසාය.

හාවඩ් විශ්වවිද්‍යලයේ වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට රතු මස් හෘද රෝග, අංශ භාග, දියවැඩියා රෝග කාරකයකි. ගව මස් යනු පිළිකා රෝගයට අතවනන ප්‍රධාන සාධකයක් බවටද පත් වී ඇත. සමාජය වසා පැතිර ඇති රෝග කිහිපයකට මූල බීජය වන මේ ගව මස් පරිභෝජනයෙන් වැළකීම නීරෝගිමත් සමාජයක් උදෙසා ඉතා වැදගත් බව බොහෝ දෙනාගේ අදහසයි. සදාචාරමය, ආර්ථික සහ සමාජයමය අහිතකර කරුණු රැසක්ම ගව මස් පරිභෝජනයෙන් මතු වී ඇත.

 බෞද්ධ මතයට අපි එකඟයි. ඒත්...

ලංකාව කියන්නේ බෞද්ධ ජනතාව බහුතරයක් ජීවත් වෙන රටක්. ගව ඝාතනය නැවැත්වීම බහුතර ජනතාවගේ අභිලාෂයක් නම් රජය එය කිරීමට කටයුතු කරනවා නම් එය කළ යුතුයි.

මුස්ලිම් ජනතාව ගව මස් ආහාරයට ගන්නවා මස් වෙළඳාම කරනවා කියලා සමාජයේ මතයක් තියනවා. ඒ නිසා මුස්ලිම්වරුන්ට මෙයින් ගැටලුවක් ඇති වෙයිද කියලා කියනවා. අපේ ආගමේ හරක් මස් කන්න කියලා නැහැ. ඇතැම් පිරිස් මස් වෙළදාමේ නියුතු වූ නිසා යම් බලපෑමක් ඇති වෙයි කියලා සමහරු කියනවා. මේ පසුබිම තුළ අපිට එළුමස් කන්න පුළුවන්, මාළු කන්න පුළුවන්, සමහර විට මුස්ලිම් ජනතාවට එකම සාධකයක් වන්නේ හජ් වන්දනා කාලයේ අපි මේ ගවයන් බිලි පූජා දෙන්න තියනවා, ඒත් එය අනිවාර්යය නැහැ. ඇත්තටම අපි එහිදී කරන්නේ බිලි දීමෙන් අනතුරුව ගවයන් දුප්පත් මිනිසුන්ට බෙදා දෙනවා. එයට කියන්නේ ‘කුරුබාන්‘ කියලා. නබිතුමාටත් පෙර කාලයේ ඓතිහාසික සිදුවීමක් නිසා ලෝකය පුරා මුස්ලිම් ප්‍රජාව මෙය කරනවා. ඒත් හැම පවුලකටම එක්කෙනෙක් කළා නම් හොඳයි. ඒ සදහා එළුවා, ඔටුවා වැනි සතුන් යොදා ගන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී එළුවන් මිල වැඩියි. කල් යාමේදි එය සකස් වෙයි. රටේ ගොවියන්ට මෙයින් විශාල බලපෑමක් එල්ල වෙන්න පුළුවන්.

ගොවියෝ තමයි අපේ මිනිස්සුන්ට මේවා විකුණන්නේ. ගොවියන්ට සෑහෙන ප්‍රශ්නයක් වෙයි. මුස්ලිම් අයට මෙයට ලොකු දෙයක් වෙන එකක් නැහැ. ගොවියන්ට මෙය කෙසේද බලපාන්නේ කියන කාරණාවයි අපි බලන්න ඕන. ගොඩක් අය හිතන්නේ මුස්ලිම් අයට මෙයින් ලොකු බාධාවක් වෙයි කියලා. නමුත් එහෙම විශේෂයක් නැහැ. එක්තරා ආගමක බලපෑමක් තිබෙනවා නම් අපි එයට ගරු කළ යුතුයි.

පිටරටින් ගෙන්වා විකුණුවත් සාමාන්‍ය මිලට ලබා දිය නොහැකි සේම සෑහෙන මිල ඉහළ යාමක් සිදුවෙන්න පුළුවන්. එයට සාපේක්ෂව අනෙක් මස් මාළු වර්ගවලත් මිල ඉහළ යයි. ඒ ගැනත් සැලසුම් තිබිය යුතුයි

------------

ජීවිකාවන් රැසක් අහිමි වෙන වැඩක්

ගව ඝාතනය තහනම් කරන්න මේ ආණ්ඩුව තීන්දුවක් ගත්තේ ඇයි කියන හේතුව අපි තාම දන්නේ නැහැ.

ඒ පිළිබදව තවමත් මේ අය කියන්නේ නැහැ. ඒ සඳහා වන හේතුව පැහැදිලි කළ යුතුයි. මුස්ලිම් ජනතාව පමණක් නොවෙයි මේ රටේ සිංහල ක්‍රිස්තියානි ජනතාව, ආරක්ෂක අංශවල අයට ගව මාංශ ඕන වෙනවා. එමෙන්ම විශාල පිරිසක් ගව මාංශ ආශ්‍රිතව දිවි ගෙවනවා. දැන් ඒ අය ජීවත් වෙන්නේ කොහොමද‍?

ගවමස් විතරක් නොවෙයි ඒ හම් වලින් නොයෙක් භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තත් තියෙනවා. ඍජුව හා වක්‍රාකාරව ජීවත් වූ බොහෝ පිරිසක් මේ නිසා අතරමං වෙනවා. එවන් තත්ත්වයක් උඩ මේ තහනම ඇත්තෙන්ම අපට නම් ප්‍රශ්නයක්.

මේ නිසා රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට රැකියා අහිමි වෙනවා. එය බලවත් ලෙසින් ජනතාවගේ ආර්ථිකයට බලපානවා. කොරෝනා වලින් ආර්ථිකයට දරුණු ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන වෙලාවට රටේ ආර්ථිකය තවත් විනාශකාරී තත්ත්වයට පත් වෙනවා නියතයි.

මේ අය කියන්නේ නැහැ මීට හේතු වන කාරණාව කුමක්ද කියා. අපි හිතන්නේ පිටරටින් ගවමස් ගෙනල්ලා ඇසුරුම් කරලා සුපර් මාර්කට්වල විකුණයි. මෙහි කවුරු හරි ලොකු ව්‍යාපාරකයෙකුට හම්බ කරගන්න දෙන වැඩපිළිවෙළක් තියෙන හැඩයි.

දේශිය කර්මාන්ත නඟා සිටුවන්න කතා කරන මේ ආණ්ඩුව ගව මස් තහනමෙන් දේශීය ව්‍යාපාරයක් නේද මේ නැති කරන්න හදන්නේ. මේ වගේ තීන්දු නිසා ආර්ථිකයට තවත් පහර වදිනවා. විනාශකාරී තත්ත්වයට පත් වෙනවා. පිටරටින් ආනයනය කිරිම තුළින් අධි ශිතකරණවල බහා මාස ගණන් පරණ කරලා මස් සුපිරිවෙළද සැල්වල විකුණා තැබීම සිදු වන්නේ. එහෙම වුණාම ජනතාව රෝගී වෙන්නේ නැද්ද කියලා අපි අහන්න කැමැතියි.

 

----------

සියලු ලාංකිකයන්ට යහපත් තීරණයක්

අගමැති මහින්ද රාජපක්ෂයන් විසින් ගව ඝාතනය නතර කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී යෝජනාව කර තිබුණා. අගමැතිවරයා ඉදිරිපත් කළ එම යෝජනාව පිළිගෙන ගව ඝාතනය නතර කළ යුතු බවට එම මන්ත්‍රීන් කණ්ඩායම පිළිගෙන තිබුණා. මෙය අත්‍යවශ්‍ය කාරණාවක් ලෙස කිසිදු ජාති භේදයකින් තොරව මන්ත්‍රී කණ්ඩායමම තීරණය කිරීම ගැන කෘතවේදී විය යුතුයි.

ඒ මන්ත්‍රී කණ්ඩාමේ විවිධ මත තියෙන අය හිටියත් මේ අවස්ථාවේදී සදාචාර සම්පන්නව මෙවැනි තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් මම පෞද්ගලිකව ස්තුතිය පළ කරනවා. මෙය සෑම පුද්ගලයෙක්ම සංවිධානයක්ම ගරු කරන තීරණයක්. ඒ තීරණය ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වෙයි කියලා. මේ රටේ සදාචාරය ගරුකරන ජනතාව බලාපොරොත්තු වෙනවා. ගව ඝාතනය නතර කරන ලෙස දශක ගණනාවක් පුරා මඩිහේ පඤ්ඥාසීහ වැනි මහ නා හිමිවරුන්, අනගාරික ධර්මපාල තුමා වැනි දේශමාමකයින් ජාතික නායකයන් විසින් කරන ලද මහ අරගලයක් තිබුණා. හරක් මස් කෑමට විරුද්ධව එදා ගිහි පැවිදි නායක හිමිවරුන් පවා හඬ නැගුවා. ඒ බලාපොරොත්තුව හැමදාම ජනතාව තුළ තිබුණා. ඒ බලාපොරොත්තුව මෙවර ඉටු වේවි යන කාරණාව පිළිබදවත් බලාපොරොත්තුවක් අපිට තියෙනවා .

මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ගැන අගමැතිතුමාට පින් දෙනවා. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රශංසාව පුද කරනු ලබනවා. ගවඝාතනයට විරුද්ධව අවිහිංසාවාදී සංවිධාන, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැනි සංවිධාන එකතු වුණා. ඒවගේම සර්වෝදය වැනි සංවිධානත් එකතු වුණා. ඒ පිරිස මේ සම්බන්ධයෙන් හඬක් නැගුවා. මෙවන් පරිසරයක් යටතේ අපි බලාපොරොත්තු වෙනවා රජය ගත්ත මේ පියවරට මහජනතාව සහාය ලබා දෙයි කියලා. රජය ජනමතයට අනුව ක්‍රියාකළ යුතුයි. ඒ අනුව අපි මේ සම්බන්ධයෙන් ජනතාව අතරට ගිහින් ජනමතය හදන්න උත්සාහ කළා. ඒ සමගම කැබිනට් මණ්ඩල අනුමැතිය මෙයට හිමි වීම සම්බන්ධයෙන් අපි බෙහෙවින් සතුටට පත්වෙනවා.

සදාචාරය ගරු කරන ගිහිපැවිදි සියලු දෙනා සතුටට පත් වෙනවා මේ තීරණය ගැන. ඇමැති මණ්ඩලය මේ කාරණාව ඒකමතිකව අනුමත කිරීමත් අගය කළ යුතුමයි. ඉතා ඉක්මනින් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ නම් එය විශාල භාග්‍යයක්.

මෙය හුදු ආගමික ප්‍රශ්නයක් නොවෙයි, වෙනත් ආගමිකයන්ට වුවමනා නැති හුදු බෞද්ධයන්ට පමණක් වුවමනා දෙයක් නොවෙයි. ගව ඝාතනයට විරුද්ධ බලවේග සම්බන්ධයෙන් ආගමක් ගාවා ගන්නම එපා කියලයි මම ඉල්ලන්නේ. මෙතැන සෞඛ්‍යමය ප්‍රශ්නයක් තියෙන්නේ.

වෛද්‍යවරුන් පවා ජනතාව දැනුවත් කරනවා ගව මස් ආහාරයට ගැනීමේ විපාකයන් ගැන. පොදුවේ සියලු ආගමිකයන්ට, ජාතීන්ට බලපාන කරුණක් ලෙස මෙය සඳහන් කරන්න පුළුවන්.

ආගමික භේදයකින් තොරව ගන්නා ලද මේ තීරණය අගය කළ යුතුයි. මේ තීරණය සියලුම ශ්‍රී ලංකීය ජාතියේම යහපත පිණිසයි කියලයි අපි කියන්නේ.

------------

ලෝක සෞඛ්‍ය සංවිධානය ගව මාංශ අනුමත කර නැහැ

රතු මස් පරිභෝජනය එපා කියලා කියන්නේ විද්‍යාත්මක පදනමක් මතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ පිළිකා පිළිබදව ඇමරිකානු සහ ඔස්ට්‍රේලියානු මෙන්ම අනෙකුත් බටහිර රටවල් පිළිකා පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම්වල මතය වන්නේ එයයි.

මේ මස්වර්ග වැඩි දියුණු කිරීමට යොදා ගන්නා රස කාරකයන් නිසා පිළිකා කාරක ගුණය ඉතා ඉහළ ගොස් තිබෙනවා. එම නිසා මේ රතු මස් පළමු පෙළේ පිළිකා කාරකයක් ලෙස හැඳින්විය හැකියි. ඒ වගේම මේ රතු මස් අනුභවයෙන් ලෝකයේ පිළිකා මරණ තිස්හතර දාහක් වාර්ෂිකව සිදු වෙනවා.

ආහාර මාර්ගයේ පිළිකා බඩවැල් ආශ්‍රිත පිළිකාද බොහෝ විට මේ මගින් ඇතිවෙනවා. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා වැලඳීමටත් මේ අනුව වැඩි සම්භාවිතාවක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන ආකාරයට රතු මස් අනුභවය අනුමත කරන්න බැහැ. ඔස්ට්‍රේලියාවේ පිළිකා පිළිබඳ පිහිටුවා ඇති කවුන්සිලයේ මේ අදහස් තහවුරු කර තියෙන බව පේනවා.

ලංකාවේ පිළිකා රෝගය ඉතාමත් ශීඝ්‍රයෙන් පැතිරී යනවා. දිනකට පිළිකා රෝහලට රෝගීන් හැත්තෑඅටක් පමණ ලියාපදිංචි වෙනවා. ගවයා මිය යන අවස්ථාවේදී ඇති වන හෝමෝන් ක්‍රියාකාරීත්වයේදී වැඩි වන හෝමෝන නිසා ඒ මස් අසමතුළිත වූ මස් බවට පත් වනවා. අපි ආහාරයට ගන්නේ හෝමෝන නිසා අසමතුලිත වූ එම මස් බව සිහි තබා ගත යුතුයි.

එය අපේ හෝමොන් පද්ධතියට දැඩි ලෙසින් බලපානු ලබනවා. ඒ අනුව සිරුරේ සමතුලිතභාවය සහ සිරුරේ රසායනිකයන් විශාල වශයෙන් වෙනස් වීමට මේ රතු මාංශ බලපානවා.

---------

ගවමස් පරිභෝජනයට අපිත් විරුද්ධයි

මිනිසාගේ ජිවිතයට කිට්ටුම සතා තමයි ගවයා. ඒ වගේම කෘෂිකර්ම ඉතිහාසය පුරාම ගවයාට ඉහළින් සලකා තියෙනවා. ගවයා ඉතිහාසයේ ලොකුම ධනය ලෙස සැලකුවා.

පසුගිය ශත වර්ෂයේත් ඉහත ශත වර්ෂවලත් ගවමස් ආහාරයට ගැනීම නතර කිරීමට උත්සාහයන් දරා තියනවා.

අඩු වැඩි වශයෙන් ඒවා යෝජනා ලෙස මතු වුණා. යළිත් යට ගියා. නමුත් රජයක් ලෙස මෙවැනි තීරණයකට පැමිණීම ගැන ප්‍රසාදය ගෞරවය හිමි වෙනවා. ගව ඝාතනයට අපි විරුද්ධයි.

පරිභෝජනය කිරීමටත් අපි විරුද්ධයි. පිරිමි සතුන් බෝවීම සමබන්ධයෙන් මේ වන විට සත්ත්ව වෛද්‍ය විද්‍යාව දියුණු නිසා විකල්ප යොදා ගන්න පුළුවන්.

ඒ සඳහා වෛද්‍යවරුන් ඉන්නවා. මේ සම්බන්ධයෙන් විද්‍යාඥයන් ඉන්නවා. පොදු මහජනතාව ලෙසින් අප ගව ඝාතනයට විරුද්ධයි.

 

----------

ආහාරවලට ගැටලුවක් නැහැ

මේ ඝාතනය නතර කීරිම සම්බන්ධයෙන් අපි ඇත්තටම සතුටු වෙනවා. ශ්‍රී ලංකාව බෞද්ධාගමික රටක්. අවිහිංසාව පිළිබඳව අපිට ආගමින්ම හික්මීමක් තියෙනවා. තමන්ගේ පෝෂණය වෙනුවෙන් අවිහිංසාව අමතක නොකළ යුතුයි කියන තැනයි මම ඉන්නේ.

ගව ඝාතනය කරන්නේ මස් කන නිසානේ. මම කියන්නේ සියලු සතුන් ඝාතනය නොකළ යුතු යි කියලා. සත්ත්ව මස් නොකෑවා කියලා කිසිම පෝෂණ අඩුවක් වෙන්නේ නැහැ. ඕනෑතරම් ආදේශක දේවල් තියනවා. අපිට පෝෂ්‍යදායි ආහාර වේලක් සකස් කරන්න මාංශ අවශ්‍යම නැහැ. මාංශ අනුභවයෙන් තමයි ලෙඩ රෝග වැලඳෙන්නෙ.

අපේ ආහාරයක් වෙනුවෙන් තවත් කෙනෙකුගේ ජීවිතයක් පූජා කරන්න අවශ්‍ය නැහැ. ඊට වඩා ක්‍රමවේද තියෙනවා. මේ වගේ දෙයක් නතර කිරීමට පළමුවැනි පියවර ගෙන තියෙනවා. එය ඉතාම අගය කරනවා. එය ක්‍රියාත්මක නොවන නීතියක් වුණොත් වැඩක් නැහැ නීතිය පනවා විතරක් මදි. එය ක්‍රියාත්මක වෙනවා ද කියා පසු විපරමක් කළ යුතුමයි. කෙටුම්පත ආ දවසේ සිට අපි සතුටු වුණා. කැබිනට් අනුමැතිය ගැන ඉතාමත් සතුටු වෙනවා. රටේ ජනතාව මේ සඳහා සහාය දිය යුතුයි.

---------

කිරි ගොවියා සුරැකීමට ක්‍රමවේදයක් අවශ්‍යයි

සමස්තයක් ලෙස ගත්විට මේ කර්මාන්තය සම්බන්ධයෙන්ම බොහෝ වාද විවාද තියෙනවා. එක් පැත්තක් පමණක් බලා මේ සම්බන්ධයෙන් තීරණ ගන්න බැහැ. අදහස් කියන්නත් බැහැ. කිරි ගොවියා පැත්තෙන් බලන්න ඕන පිරිමි සතුන්ට මොනවාද කළ යුතු වන්නේ කියන කරුණ සම්බන්ධව.

මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එයට රජය මැදිහත්ව ගවයන්ට සහ වියපත් එළදෙනුන් සම්බන්ධයෙන් යම් පියවරක් ගත යුතුයි. දුප්පත් ගොවියාට එය තනිවම කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

ගවයෙක් නඩත්තු කරන්න යන පිරිවැය දරන්න අපහසුයි. ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීන්දු අරගන්න ඕන මේ කාරණා සම්බන්ධයෙන්.

ගොවීන් හුදකලාව ගත යුතු තීරණයක් නොවිය යුතුයි. මේ සමස්ත වැඩපිළිවෙළටම විකල්ප යෙදිය යුතුයි. ඒ සම්බන්ධයෙන් රජය යම් පියවරක් ගතයුතුයි කියලා මා හිතන්නේ. සතුන්ගේ සමස්ත බර ගොවියාට දරන්න නොදිය යුතුයි. මෙය තහනම් කරනවා කියලා ‘තහනම ‘ පමණක් ක්‍රියාත්මක කර හරියන්නේ නැහැ. විසඳුමක් රජය දිය යුතුයි. කොහොම වුණත් බෞද්ධ රටක් ලෙස මේ තීරණය නරකයි කියා මම කියන්නේ නැහැ.

 

------

රතු මස් අනුභවයෙන් පිළිකා වැලඳීමේ වැඩි ප්‍රවණතාවක්

ගවමස් අනෙක් මස් වගේම ප්‍රෝටින් බහුල ආහාරයක්. නමුත් මස් අතුරින් රතු මස් සහ සුදු මස් සම්බන්ධයෙන් කතා කිරීමේ දී රතු මස් බොහෝ සෙයින් පරිභෝජනය කරන රටවල ජනතාවගේ ආහාර මාර්ගයේ පිළිකා සෑදීමේ ප්‍රවණතාව වැඩියි. ශරිරයේ කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩිවීමට හේතු සාධක වෙනවා. පරිභෝජනය සඳහාම ගවයන් ඇති කරන රටවල් තිබෙනවා. එය එම රටේ ජනතාවගේ ප්‍රධාන ජීවිකාවක් ද වෙනවා.

බොහෝ ජනතාව මේ වන විට සුදු පැහැති මස් පිළිබදව අවධානය යොමු කර තියෙනවා. හරක් මස්වල යකඩ බහුලව තියෙනවා. මස් වර්ගවල ඛනිජ ලවන සහ විටමින් වර්ග රැසක් අඩංගු වෙනවා. පෝෂ්‍යදායි ආහාරයක්. නමුත් අපි නිර්දේශ කරන්නේ හරක් මස් නොවෙයි කුකුළු මස් ආහාරයට ගන්න කියලා. කුකුළුමස්වලින් වන අයහපත අඩුයි.

හරක්මස් ප්‍රධාන වශයෙන් යුරෝපීයන් පරිභෝජනය කරන නිසා ඔවුන් රෝගබාධාවලට පත් වනවා. කුකුළුමස් පරිභෝජනය ලංකාවේ ප්‍රචලිතයි. නමුත් ගව මස් විවිධ හේතූන් නිසා ශ්‍රී ලාංකිකයන් ආහාරයට ගැනීම අඩුයි.

ඒ අතුරින් හින්දු ජනතාව මෙන්ම සිංහල ජනතාව මුල් තැනක ඉන්නවා. කුකුළන් ඝාතනය තහනම් කළොත් එය රටේ මාංශ ආහාර අතින් ලොකු ප්‍රශ්නයක් වුණාට ගව ඝාතනය තහනම් කිරීම එතරම් ගැටලු මතු කරන්නක් නෙමෙයි. පෝෂණය සම්බන්ධයෙන් වුවත් එහිදී ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මස් පිණිස පමණක්ම මෙරට කිසිදු ස්ථානයක ගවයන් ඇති කරන්නේ නැහැ. එම නිසා ගවයන් ඇති කරන පශු කර්මාන්තයේ යෙදෙන්නන්ට එයින් හානියක් වන්නේ නැහැ. ජීවිකාවට තර්ජනයක් වෙන්නේ නැහැ. නමුත් හරක් මස් පරිභෝජනයට කැමැති අය ඉන්නවා. ඒ අයට විදෙස් රටවලින් ගව මස් ආනයනය කරන්න පුළුවන්. එය ලොකු ගැටලුවක් නොවෙයි. පෝෂණය සම්බන්ධයෙන් ගත්විට ගව මස් නැති වුණා කියලා පෝෂණය පැත්තෙන් තර්ජනයක් වෙන්නේ නැහැ.

Comments