කටානේ මංකො­ල්ලය ඇල්ලූ පොලිස් මෙහෙ­යුම මෙන්න | සිළුමිණ

කටානේ මංකො­ල්ලය ඇල්ලූ පොලිස් මෙහෙ­යුම මෙන්න

නිවෙස් හිමිකරු පොලිසියට සිද්ධිය පිළිබඳ කරුණු කියමින්...
නිවෙස් හිමිකරු පොලිසියට සිද්ධිය පිළිබඳ කරුණු කියමින්...

මිනීමරුවන්, කොල්ලකරුවන්, කප්පම්කරුවන්ට එරෙහි පොලිසිය කෙතරම් වැටකඩුලු තර කළද අපරාධකරුවන්ද රිසි සේ අපරාධ ක්‍රියාවන්ට පෙලඹෙන ආකාරයක් පෙනේ. එහෙත් ඒ සියලුම අපරාධකාරයන්ට පොලිසියෙන්නම් ගැලවීමක් නොමැත. ඒ අනුව මෑත කාලයේ සිදුවූ බොහෝ අපරාධ ක්‍රියාවන්හි සුලමුල දින කීපයක් තුළදීම විමර්ශන නිලධාරීන්ගේ උකුසු ඇස් මත හෙළි කරගැනීමට සමත් වූයේය.

පසුගිය 30 වැනිදා කටාන, අක්කර පනහ නිවෙසකට ඇතුළුව කෝටි දෙකකට ආසන්න මුදල් සහ කෝටියක පමණ ස්වර්ණාභරණ කොල්ලකා පලා ගිය වුන්ද පැය හතළිස්අටක් යන්නටත් මත්තෙන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලිසිය සමත් වූයේ පොලිසියේ කාර්යභාරයද ‘තිත‘ටම පෙන්නුම් කරමිනි. පුවත්පත මුද්‍රණයට යන විට එම කොල්ලයට පැමිණි කොල්ලකරුවන් සිවුදෙනෙකු මුදලින් රුපියල් ලක්ෂ 72ක් සහ ස්වර්ණාභරණ ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව විමර්ශන නිලධාරීන් කීවේය. සෙසු සැකකරුවන් සහ කොල්ලය පිටුපස සිටින අදිසි හස්තය ගැන හඳුනා ගැනීමට ද පොලිසිය දිගින් දිගටම විමර්ශන කණ්ඩායම් 4ක් ඔස්සේ මෙහෙයුම් සිදු කරමින් සිටී.

කොල්ලකරුවන් විසින් නිවෙසේ මුරකරු ප්‍රාණ ඇපයට ගෙන නිවෙසට පැමිණෙන අයුරු 

තිස් වැනිදා පෙරවරු 9.15ට පමණ කටාන පොලිස් වසමේ අක්කරපනහ, 307/එෆ් - 39 දරන කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවෙසට සයදෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් නිල් පැහැති මෝටර් රථයකින් පැමිණ නිවෙසට ඇතුළු වන ආකාරය අසල සීසීටීවී කැමරාවක මනා ලෙස සටහන් වී තිබිණි.

එම නිවෙස කෝටිපති ව්‍යාපාරිකයකු වන ජෙරාඩ් ප්‍රනාන්දු නමැත්තාගේය. මෙරට ජනප්‍රිය බීඩි ව්‍යාපාරය ප්‍රධානකොට හෝටල් කීපයකද හිමිකරුවකු වන එම ව්‍යාපාරිකයා දේපොළ විකිණිණීම් ඇතුළු නිවෙසේම පවත්වාගෙන යන මහා පරිමාණ බේකරි නිෂ්පාදන ආයතනයකද හිමිකරුවෙකි. ව්‍යාපාරිකයා පසුගිය මාස කීපයක සිට අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවෙසටම වී සිටි අයෙකි. ඒ අතරේ ඔහුගේ සුවදුක් විමසීමට බොහෝ පිරිස්ද නිවෙසට පැමිණ තිබේ.

පසුගිය බදාදාද පෙරවරු 9.15ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි පිරිසක්යැයි පවසමින් ඔහුව මුණගැසීමට පැමිණ තිබුණේ සයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි. වයස අවුරුදු 25ත් 40ත් අතර වූ එකී පිරිස සුදු පැහැති කමිසයකින් සහ කළු පැහැති කලිසම්වලින් සැරැසි මුහුණු ආවරණද (මාස්ක්) පැලඳ නිවෙසේ ගේට්ටුව අසලට පැමිණ තිබිණි.

ඒ මොහොතේ නිවෙසේ ආරක්ෂාවට ගේට්ටුව අසල සිටි වැඩිහිටි පුද්ගලයාට අදාළ කාරණය පවසා එකී පිරිස නිවෙසට පැමිණෙන ආකාරය ව්‍යාපාරිකයාගේ නිවෙසෙහි ආරක්ෂිත සීසීටීවී කැමරා කාචයක මනා සේ සටහන් විණි.

නිවෙසේ ප්‍රධාන ගේට්ටුවේ සිට මඳ දුරකින් පිහිටි නිවෙසට පැමිණි අතර එකී කණ්ඩායම නිවෙස් මුරකරු සමඟ කිසියම් කලබලකාරි ආකාරයකින් යම් කතාබහක නිරත වන ආකාරයද සීසීටීවී කැමරාවලින් මනා සේ පෙන්නුම් කෙරිණි.

එකී කොල්ල කණ්ඩායමේ ග්‍රහණයට නතුව සිටි ව්‍යාපාරිකයාගේ නිවෙසේ වෙසෙන වැඩිහිටි පුද්ගලයා පසුව පොලිසිය සිදුකළ විමර්ශනවලදී කොල්ලකරුවන් විමසුවේ කුමක්ද යන්න පැවැසුවේ මෙලෙසිනි.

“මට ගිනිඅවියක් දික්කරලා... සේප්පුව පෙන්නන්න කීවා... මං කිව්වා සේප්පුවක් නෑ පෙන්නන්ඩ... ඒ කිව්වට ඇහුවේ නෑ... පස්සෙ මා ළග දෙන්නෙක් තියලා.... අනෙක් අය ගේ ඇතුළට ගිහින් කාමරවල සියලු දේ ඇදලා මුදලුයි රත්තරන් බඩුයි හොයලා...“

එලෙස ජෙරම්ගේ නිවෙසට කොල්ලකරුවන් ඇතුළුවීමෙන් පසු නිවෙසේ සිටි ව්‍යාපාරිකයා, බිරිය, පුත්‍රයා සහ දියණියද කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ගෙන තිබේ. එසේම ජෙරම්ගේ සුවිසල් නිවෙසට යාබද ඔහුගේ බේකරි නිෂ්පාදන ආයතනයේ පිරිසද කොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබුණේය.

ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සියලු දෙනාම නිවෙසේ සාලයට කැඳවා ගිනිඅවි පෙන්නා තර්ජනය කරමින් කොල්ලකරුවන් පවසා ඇත්තෙ, “උඹලා ළඟ කෝටි ගාණක සල්ලි තියෙනවානේ... අපට සල්ලි දියන්... නැත්නම් වෙඩි කන්න තමයි වෙන්නෙ...“

එකී තර්ජනයන්ට නිවෙස් හිමියන් ඇතුළු සේවක පිරිසද බියේ බිරාන්තව සිටිද්දී කොල්ලකරුවන් විසින් නිවෙසේ සියලුම අස්සක්මුල්ලක් නෑරම පීරා ඒ වන විට නිවෙසේ තිබූ සියලුම මුදල් සහ ස්වර්ණාභරණ සොයාගෙන තිබේ. අනතුරුව කෝටි දෙකකට ආසන්න මුදල් කන්දරාවක් සහ ස්වර්ණාභරණ තොගයක් නිවෙසේ තිබී සොයා ගැනීමට කොල්ලකරුවන්ට හැකි වී ඇති බවකි.

නිවෙසේ විනාඩි 45කට අධික වේලාවක් ගතකළ කොල්ලකරුවන් විසින් සේවකයන් සහ ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සැම නිවෙසේ ඉහළ මහලේ කාමරයකට ඇතුළුකොට දොර අගුළුලා පැනගොස් තිබුණේ ත්‍රාසජනක චිත්‍රපට දසුනක් පා මහ දහවලේ නිවෙසක් කොල්ල කමිනි.

එලෙස පැන යද්දී කොල්ලකරුවෝ නිවෙසේ සීසීටීවී කැමරා පද්ධතියේ දත්ත ගබඩාව වන ඩී.වී.ආර්. යන්ත්‍රයද ගලවාගෙන යාමට තරම් සූක්ෂ්ම වී තිබේ. එහෙත් කොල්ලකරුවන්ට නොපෙනුණු නිවෙසේ වූ තවත් එවැනිම ඩී. වී. ආර්. යන්ත්‍රයක සීසීටීවී කැමරා දසුන් ගබඩා වී තිබිණි.

කොල්ලකරුවන් ගිය සැණින් කටාන පොලිසිය ඇමැතු ව්‍යාපාරිකයා සිදුවූ අකරතැබ්බය ගැන පොලිසියට පැවැසූහ. ඊට ක්ෂණිකව ක්‍රියාත්මක වූ කටාන පොලිස් ස්ථානාධිපති ඩිලාන් රාජපක්ෂ මහතා නිලධාරි කණ්ඩායමක් නිවෙසට යවද්දී ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ද දැනුම්වත් කිරීමට කටයුතු කෙරිණි.

කොල්ලකරුවන් නිවෙසට පිවිසි ඉදිරිපස 

ඒ අනුව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඍජු උපදෙස් මත බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේද උපදෙස් මත මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා විසින් අක්කර පනහේ මහා පරිමාණ කොල්ලය පිළිබඳව අවට සියලු පොලිස් ස්ථානද දැනුවත් කෙරිණි. අනතුරුව සියලුම පොලිස් ස්ථාන සහ ඒකක එක්ව කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක් දියත් කෙරිණි.

එහිදී අවට සීසීටීවී දසුන් මඟින් පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ කොල්ලකරුවන් නිල් පැහැති ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් කොල්ලයට පැමිණ ඇති බවයි. වැඩිදුරටත් විමර්ශනයේදී හෙළි වී තිබුණේ රථය වත්තල ප්‍රදේශයේ කුලී රථ ආයතනයකින් කුලියට ගෙන ඇති බවයි.

රථය ඔස්සේ සිදු කළ විමර්ශනවලදී රථයේ හිමිකරු වන ගම්පහ පුද්ගලයෙක් සමඟ මාවතගම, එප්පාවල සහ නිකවැරටිය ප්‍රදේශවල වුන් සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංංගුවට ගැනිණි.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ඔස්සෙ පොලිසිය පුළුල්ව විමර්ශනය සිදු කරන්නෙ මෙකී සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාලයට සම්බන්ධද යන්නයි. එසේම ව්‍යාපාරිකයාගේ නිවෙසෙහි ව්‍යාපාර කටයුතුවලින් එදිනෙදා එක්රැස් වන මුදල් විශාල ප්‍රමාණයක් තිබෙන බවට කිසියම් පුද්ගලයකු දැන සිට කොල්ලකරුවන්ට තොරතුරු ලබාදී ඇතිද යන්නත් විමර්ශනය කෙරේ.

2018 ජුනි 24 වැනි දින මාතර නිලේඛා ස්වර්ණාභරණ ආයතනය කොල්ලකෑ ආකාරයටම මහ දවාලේ සිදු වූ මෙකී කොල්ලයේ සියලු තතු පැය හතළිස් අටක් තුළ හෙළි කරගත් පොලිසියට තුති පුද කළ යුතුය.

නිවෙසේ මුරකරු සිද්ධිය පිළිබඳ පොලිසියට කරුණු කී ආකාරය 
කොල්ලකෑ නිවෙස

 

Comments