ආයෝජකයන්ට පාවාඩ අතුරන කොවිඩ් පැරදවූ රටවල චීන ලැයිස්තුව | සිළුමිණ

ආයෝජකයන්ට පාවාඩ අතුරන කොවිඩ් පැරදවූ රටවල චීන ලැයිස්තුව

චීනයේ Y i C a i ආයතනය සම්බන්ධව මේ වන විට ලෝකයේම අවධානය යොමු වෙමින් තිබේ. ඒ මේ වන විටත් මුළු ලෝකයටම පහර දෙමින් තිබෙන කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ රටවල් සම්බන්ධව එම ආයතනය නිකුත් කළ වාර්තාවත් සමඟිනි. එම වාර්තාවට අනුව ලෝකයේ රටවල් 108ක් අතරින් කොවිඩ් මැනවින් පාලනය කර, ආර්ථීකය යළි පණගැන්වීමට සමත් වූ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මෙය ශ්‍රී ලාංකික අපට ඉතා සතුටුදායක කරුණක් වන අතර එය ජාතියක් ලෙස අප කළ කැපකිරීම් සහ දැක්වූ එකමුතුකම, මෙන්ම විනයද ඇගයීමට ලක් වූ අවස්ථාවක් ලෙසින්ද සැලකිය හැකිය. එමෙන්ම අප රටට මේ සමඟ ලැබෙන අන්තර්ජාතික අවධානයද සුළු කොට තැකිය නොහැකිය. ඒ මුළු ලෝකයම දණ ගැස්වූ අභියෝගයක් හමුවේ අප රට දැක්වූ සමර්ථකම Y i C a i ආයතනය මනාව සංක්ෂිප්ත කොට දක්වා ඇති හෙයිනි.

Y i C a i ආයතනය පසුගියදා නිකුත් කළ වාර්තාවට අනුව කොවිඩ් වසංගතය හමුවේ රටවල් 108ක ක්‍රියාකාරීත්වය ඔවුන් විසින් සැලකිල්ලට ලක් කර තිබේ. දැනට එම වාර්තාවේ සාරාංශයක් පමණක් ඉදිරිපත් කර ඇති අතර ඔක්තෝබර් මාසය තුළ සම්පූර්ණ වාර්තාව ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන බවද Y i C a i ආයතනය පවසා තිබේ.

දැනට ඉදිරිපත් කර ඇති සංක්ෂිප්ත වාර්තාවට අනුව කොවිඩ් වංසගතය ඉතා විධිමත් ලෙස පාලනය කරමින් ආර්ථිකයද යළි ක්‍රියාකාරී තත්ත්වයට ගෙන ඒමට සමත් වූ ප්‍රථම රටවල් දහයෙන් නවයක්ම ආසියා පැසිෆික් කලාපයේ පිහිටා ඇත.

එම රටවල් නවය අනුපිළිවෙළින් චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය සහ කාම්බෝජය වන අතර අප්‍රිකා මහාද්වීපයේ ඝානාව තුන්වන ස්ථානය හිමිකරගෙන තිබේ.

කොවිඩ් වසංගතයෙන් දරුණු ලෙසම බැට කෑ මහාද්වීපය වන්නේ යුරෝපා මහාද්වීපයයි. එහෙත් ස්කැන්ඩ්නේවියානු රටවල් සහ ජර්මනිය වසංගතයට කිසියම් ශක්තිමත්, සංවිධානාත්මක අන්දමකින් මුහුණ දුන් බව පැහැදිලිය.

මේ සියල්ල දත්ත වශයෙන් සලකා බලමින් Y i C a i ආයතනය තම වාර්තාවේ 21 සහ 23 වන ස්ථාන පිළිවෙළින් ඩෙන්මාර්කයට සහ ජර්මනියට හිමිවන බව දන්වා තිබේ.

තවමත් දෛනිකව වයිරස ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වන අමෙරිකාව සහ බ්‍රසීලයට Y i C a i වාර්තාවේ හිමි වී තිබෙන්නේ බොහෝ ඈත ස්ථානයන්ය. අමෙරිකාව ලෝකයට ඉදිරිපත් කෙරෙන බොහෝ වාර්තාවල අංක එකට නිතැතින්ම පත් වුවද මෙවර කොවිඩ් පාලනය කිරීම සම්බන්ධව අමෙරිකාවට හිමිවී ඇත්තේ රටවල් 108ක් අතරින් 98වන ස්ථානයයි. බ්‍රසීලයද මේ වන විටත් කොවිඩ් වයිරසයෙන් දරුණු ලෙස බැටකමින් සිටින අතර Y i C a i ආයතනය තම ලැයිස්තුවේ 89වන ස්ථානය බ්‍රසීලය වෙනුවෙන් වෙන් කරමින් ලොවට දැනුම් දෙන්නේ රටක් වශයෙන් සංවිධානාත්මකව ගැටලුවකට, හදිසි අවස්ථාවකට මුහුණ දීමේදී මේ රටවල් කෙතරම් අසමත්ද යන්නයි.

ස්කැන්ඩිනේවියානු රටක් වුවද ස්වීඩනයට වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි වූ අතර Y i C a i වාර්තාවේ 90වැනි ස්ථානය ස්වීඩනයට හිමිවී තිබේ.

ලොව පුරා වැඩි ප්‍රසිද්ධියක් හිමිවී නොමැති වුවද Y i C a i යනු 2016 වසරේ අගෝස්තු මාසයේදී ස්ථාපිත කරන ලද, ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරෙන අන්තර්ජාලය පදනම් කර ගත් ප්‍රවෘත්ති ඒජන්සියකි. එය හැඳින්වෙන්නේ Y i C a i Global යනුවෙනි. Y i C a i මාධ්‍ය ජාලය යනුවෙන් ද එය ප්‍රසිද්ධියක් උසුලයි.

චීනයේ ඉතා විශාල, එමෙන්ම ප්‍රබල මාධ්‍ය ජාලයක් වන ශැංහයි මාධ්‍ය ජාලයේ ආර්ථික තොරතුරු ඒකකය ලෙස Y i C a i මාධ්‍ය ඒකකය ස්ථාපිත කර තිබේ. මේ ආයතනයේ කොටස්වලින් සියයට 30ක් චීනයේ ලෝක ප්‍රකට බිලියනපතියකු වන ජැක් මා ට හිමිය. Y i C a i මාධ්‍ය ආයතනය පවත්වාගෙන යෑමේ ප්‍රධාන අරමුණ ලෙස ඔවුන් දක්වන්නේ ලොව පුරා ආර්ථීකමය තොරතුරු වාර්තාකරණය, විශ්ලේෂණය මෙන්ම බෙදාහැරීමයි. අනාගත ලෝකයේ මුල්‍ය තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා බවට පත්වීම මේ ආයතනයේ ප්‍රධාන අරමුණ බව පැහැදිලිය.

චීනය මෑතකාලීනව බොහෝ බටහිර සමාගම් සමඟ ගිවිසුම් ගත වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර ඒ අනුව Y i C a i සමාගමද ට්වීටර්, බ්ලූම්බර්ග් යනාදී සමාගම් සමග එක්ව කටයුතු කරමින් සිටී.

කොවිඩ් වසංගතය පැතිර යෑමෙන් මේ වන විට ලොවපුරා මිනිසුන් මිලියනයක් මියගොස් ඇතද වඩාත්ම හානි සිදුවී ඇත්තේ සමස්ත ලෝක ආර්ථිකයට බව පැවසිය හැකිය.

තවමත් බොහෝ රටවල ආර්ථිකයන් උපරිම තත්ත්වයෙන් ක්‍රියාත්මක නොකරන අතර විරැකියාව දරුණු සමාජ ප්‍රශ්නයක් බවටද පත්වෙමින් තිබේ. යුරෝපය, අමෙරිකාව මෙන්ම මැද පෙරදිග කලාපයද මේ වාතාවරණයට එකසේ මුහුණ දෙමින් සිටිති. කඩා වැටී ඇති ව්‍යපාර සංඛ්‍යාව අති විශාලය.

මේ තත්ත්වය යටතේ වසංගතයට ලොව පුරා රටවල් මුහුණ දුන් අන්දම විද්‍යාත්මක පදනමක් මත සලකා බලමින් ඉහත කී වාර්තාව ඉදිරිපත් කිරීමට Y i C a i සමාගම කටයුතු කර තිබේ. මෙවැනි වාර්තාවක් ලෝකයට ඉදිරිපත් කිරීමේදී ආර්ථිකයම වශයෙන් ඉතා විශාල අවධානයක්, ඉතා පහසුවෙන් එම වාර්තාවන්ට යොමුවීම වැළැක්විය නොහැකිය. මෙවැනි වාර්තාවක් මගින් වසංගතයට ස්ථාවරව මුහුණ දුන් රටක් ලෙස තහවුරු වීම යනු ඉදිරියේදී බොහෝ ආයෝජකයන් තම ආයෝජන මේ රටවල් කරා යොමු කිරීමය. ඒ අනුව Y i C a i ආයතනයේ වාර්තාවේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවට වසංගතය ජයගත් රටක් ලෙස විරුදාවලි හිමිවීම පැහැදිලිවම දීප්තිමත් අනාගතයක පෙරමග සලකුණු බව කිව හැකිය.

Comments