මහින්ද - තිස්ස - වජිර කොළඹදී ලොකු කතාබහක | සිළුමිණ

මහින්ද - තිස්ස - වජිර කොළඹදී ලොකු කතාබහක

“තිලීපන් සැමරීමට ඉල්ලමින් උතුරේ හර්තාල් ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුව මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද? පසුගිය කාලයේ වගේ තත්ත්වයක් නැවත ඇති වෙයිද යැයි මාධ්‍යවේදියෙකු ඉකුත් අඟහරුවාදා (29) අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේය.

“එහෙම එකක් නැවත වන්නේ නැහැ. රට ආරක්ෂිතයි. ආරක්ෂාව සම්බන්ධයෙන් අප බොහෝ අවධානය යොමු කර තිබෙනවා. නැවත උතුරේ එවැනි තත්ත්වයක් ඇති වෙනවා නම් පසුගිය කාලයේ දුන්නු උත්තරේම තමයි උත්තරේ.”

අගමැතිවරයා මේ කරුණ එක හුස්මට කියාගෙන ගියේය. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ඉකුත් 29 වැනිදා පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයෙන් අරලියගහ මන්දිරයට කැඳවා තිබුණා.

අගමැතිට මාධ්‍යවේදීන් ගෙන් ප්‍රශ්න පත්තරයක්

20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න රාශියක් අසනු ලැබූහ.

ඒවාට අගමැතිතුමා අවස්ථානුකූලව සුදුසු පිළිතුරු ලබා දුන්නේය.

අරලියගහ මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා රජයේ සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය උදය ගම්මන්පිල සහ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ද එක්වූහ. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට විටක මෙම ඇමැතිවරු දෙදෙනා ද පිළිතුරු ලබා දුන්හ.

පුරා පැය දෙකකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්වුණි. ජනමාධ්‍යවේදීන් අතර ඉතාම ජනප්‍රිය චරිතයක් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍යවේදීන් සමඟ සුහද කතා බහක ද නියැළුණේය. ඒ තේ පැන් සංග්‍රහයේදීය.

ඉකුත් සතිය පුරාවටම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාම කාර්ය බහුල විය. ඔහු අමාත්‍යාංශ නිලධාරීන් මෙන් ම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්විය.

පාසල් දරුවෝ රත්නපුරේදී අගමැති වටකර ගනිති

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉකුත් සඳුදා රත්නපුරය බලා පිටත්ව ගියේය. ඒ රත්නපුර ප්‍රදේශයේ උත්සවයකට සහභාගි වීමටය. අගමැතිවරයාගේ හෙලිකොප්ටරය ගොඩ බැස්ස වූයේ රත්නපුර මද්දුව ක්‍රීඩා පිටියටය.

පාසල් දරුවන් රැසක් ක්‍රීඩාංගණයට පැමිණ සිටියේ අගමැතිවරයා දැක ගැනීමේ ආසාවෙනි. මෙහිදී අගමැතිවරයා ඒ දරුවන් සමඟ සුහද කතාබහක නිරත විය.

අනතුරුව එම දරුවෝ තම පාසලේ තිබෙන අඩු පාඩු පිළිබඳව අගමැතිවරයාට පැවසූහ. එහි සිටි ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සහ ජනක වක්කුඹුර වෙත අගමැතිවරයා උපදෙස් ලබා දුන්නේ වහාම එම අඩු පාඩු සකස් කරන ලෙසයි.

මේ අතර බෙලිඅත්ත ප්‍රදේශයේ පාසල් දෙකක සිසුහු පිරිසක් ඉකුත් අඟහරුවාදා කොළඹට පැමිණියහ. ඒ අරලියගහ මන්දිරය නැරඹීම සඳහා ය. අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව එම දරුවන්ට අරලියගහ මන්දිරය සම්පූර්ණයෙන් ම දැක බලා ගැනීමට අවස්ථාව ලබා දුන්නේ ය. බෙලිඅත්ත ධම්මපාල බාලිකා විද්‍යාලයේ සිසු දැරියෝ මෙහිදී අගමැතිවරයා සමඟ කතා බහකද නියැළුණහ.

අග්‍රාමාත්‍යවරයා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පොත් එළි දැක්වීමේ උත්සවයකට සහභාගි වූයේ ඉකුත් අඟහරුවාදා සවස 4.00 ට ය‍.

එලීනා ජයවර්ධන මහත්මිය පිළිබඳව සාගරිකා දිසානායක ලේඛිකාව විසින් ලියන ලද ග්‍රන්ථය සහ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුනුපුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත ජේ.ආර්. ජයවර්ධන නොකළ කතා එළිදැක්වීම ද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

උත්සවය අවසානයේදී එම ස්ථානයෙන් පිටව යන අග්‍රාමාත්‍යවරයා “තිස්ස ඔයා වජිරත් එක්ක මොනවද ඔය හැටි කතා කරන්නේ” යැයි අගමැතිවරයා විමසා සිටියේය.

එවිට තිස්ස ‍අත්තනායක මහතා එයට පිළිතුරු දෙමින් “නෑ මං මේ වජිරගෙන් දේශපාලන උපදේශයක් ගත්තා යැයි සිනාසෙමින් අග්‍රාමාත්‍යවරයාට පිළිතුරක් ලබාදුන්නේ ය.

“වජිරගෙන් උපදේශයක් ගත්තොත් වරදින්නේ නැතැයි අග්‍රාමාත්‍යවරයා ද සිනාසෙමින් කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතිය ආරම්භ කරනු ලැබුවේ කොළඹින් පිටතට නිරීක්ෂණ චාරිකාවකට සම්බන්ධ වෙමිනි‍.

දංකොටුව ටෙක්ස්ටයිල් ඇතුළු ආයතන කිහිපයක් වෙත ගිය ජනාධිපතිවරයා දේශීය රෙදි නිෂ්පාදන වැඩි කිරීම පිළිබඳව රෙදි නිෂ්පාදකයන් සමඟ මෙහිදී සාකච්ඡා කළේ ය. අදාළ නිලධාරීන් සමඟ පැවැති මෙම සාකච්ඡාවලින් පසු දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීම සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කළේය.

පාසල් දරුවන්ට අපේ රටේම රෙදි

ලබන වසරේ සිට පාසල් සහ ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීම දේශීය නිෂ්පාදකයන්ට පැවරීම පිළිබඳව විමසීමට ලක් කෙරිණි. ජාතික කොඩි සහ බෞද්ධ කොඩි රට තුළ නිෂ්පාදනය කිරීම සඳහා එම කර්මාන්තකරුවන් දිරිමත් කිරීමට ජනපති කටයුතු කළේ ය.

එදින සවස ජනාධිපතිවරයා විශේෂ කරුණු කිහිපයක්ම පිළිබඳව අවධානය යොමු කළේ ය. පරිසර විනාශයක් පිළිබඳව කියවෙන අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ රූපවාහිනි ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් පවතින තත්ත්වයක් උදාවී ඇත.

අසත්‍ය ප්‍රවෘත්ති මවන්නන් පිළිබඳව රජය දැඩි අවධානයෙන්

වනාන්තර ගිනි තබා විනාශ කරන බවට අසත්‍ය ප්‍රචාර සිදු කෙරෙන බවට හා ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය වෙමින් පවතී. ඒ පුවත් සමාජගත කරන පිරිස් හඳුනාගෙන ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය පියවර ගැනීමට තීරණය කර ඇත.

29 වැනි අඟහරුවාදා දහවල් වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳව රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමඟ අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කළ ජනාධිපතිවරයා එදින සවස් භාගයේදී තැපැල් සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවීමට මෙහිදී සැලසුම් කර තිබේ.

මේ අතර පසුගියදා ජනාධිපති මන්දිරයේදී තානාපතිවරු සිවුදෙනෙක් ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූහ.

කොරියානු ජනරජය, ජර්මනිය, වතිකානය සහ ස්විස්ටර්ලන්තය යන රාජ්‍යයන්හි නව තානාපතිවරු මෙලෙස අක්තපත්‍ර පිළිගැන්වීම සිදුකළහ.

පැරණි බස් රථ නවීකරණය කර පුස්තකාල ලෙස සකස් කර දුෂ්කර පාසල්වලට ලබාදීමේ වැඩපිළිවෙළක් ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් සිදු කළේය. ඒවා දුෂ්කර ගම්මානවල පාසල්වලට බෙදා දීමට පියවර ගෙන ඇත. මේ ක්‍රියාවලියට පාසල් දරුවෝ සහ දෙමවුපියෝ මෙන්ම ගුරුවරු ද ජනාධිපතිවරයාට සිය කෘතඥතාව පුදකරනු ලැබූහ. ප්‍රවාහන ඇමැති ගාමිණි ලොකුගේ මහතා ද මෙම අවස්ථාවට එක්විය.

දුෂ්කර පාසල් 25ක් සඳහා මේවා ලබාදුන් අතර ලෝක ළමා දිනයට සමගාමීව ජනාධිපතිවරයා විසින් පාසල් දරුවන් කැඳවා මෙම වැඩසටහන ආරම්භ කර ඇත. මෙදින ජනාධිපතිතුමා මෙම අවස්ථාවට පැමිණි පාසල් සිසු සිසුවියන්ට ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට ද අවස්ථාව ලබාදුන්නේය.

පුත්තලම, ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ දොළොස්භාගේ කනිෂ්ඨ විද්‍යාලය, ධර්මපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල, කුරුවිට විජය කුමාරතුංග විද්‍යාලය සහ ගාල්ල පිලාන විද්‍යාර්ථෝදය මහා විද්‍යාලය සඳහා සංකේතාත්මකව පුස්තකාල පරිත්‍යාග කෙරිණි.

ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලුත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි පුස්තකාල සකස් කර තිබෙන අතර අංග සම්පූර්ණ එක් පුස්තකාලයක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට ආසන්න වේ.

මොබිටෙල් ආයතනය ඊ - පුස්තකාල පහසුකම් සපයා තිබෙන අතර ඒ ඔස්සේ සිසුන්ට තොරතුරු අධ්‍යයනය කිරීමේ සහ ඊ-ග්‍රන්ථ පරිශීලනය කිරීමේ හැකියාව ලැබේ. ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල්, මනුසත් දෙරණ සහ ජාතික පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලය පුස්තකාල ව්‍යාපෘතියට අනුග්‍රහකත්වය සපයයි.

ඇමති ප්‍රසන්න රණතුංග ඉකුත් සෙනසුරාදා පොළොන්නරුවේ ගියේය. ඒ රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.

බන්දුල, ඉරාන තානාපති හමුවෙයි

දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු ප්‍රසන්න අමුත්තන් වෙනුවෙන් වෙන්කර තිබූ කාමරය වෙත ගියේය.

එම කාමරයට වී සිටි මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රසන්න එහි පැමිණෙනවාත් සමඟ එම කාමරයෙන් පිටව ගියේ ප්‍රසන්න ඇමතිවරයා අසුන් ගන්නවාත් සමඟිනි.

ශ්‍රී ලංකාවේ හා ඉරානය අතර වෙළෙඳ කටයුතු සම්බන්ධව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ඉරාන තානාපති අතර හමුවක් පසුගියදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම හමුවේදී ඉරානය තුළ ශ්‍රී ලංකා තේ සඳහා පවතින ඉල්ලුම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර මුදල් භාවිතයකින් තොරව භාණ්ඩ හුවමාරු ක්‍රමය මගින් ශ්‍රී ලංකාවේ තේ සහ ඉරානයෙන් කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය හා මෙරටදී නිෂ්පාදනය කළ නොහැකි මට්ටමේ උපකරණ හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

ඉරාන රජය මගින් මෙරට තුළ වෘත්තීය පුහුණු ආයතන ඇති කර එතුළින් අය කරනු ලබන මුදලින් කොටසක් මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට වෙන් කර ශ්‍රී ලංකාවේ සිසු දරුවන් වෙත තවත් ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මත්කුඩු ලෝලීහු සජිත්ට ගල් ගසති

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිවරණයෙන් පසුව පක්ෂය ගොඩ නැගීමේ කටයුතුවලට නායකත්වය දෙමින් සිටින අතරවාරයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් වෙනුවෙන් සංවිධානය කරන ස්තූති රැස්වීම්වලට සහභාගී වීමට වෙලාව වෙන් කර ගැනීමට අමතක කරන්නේ නැත. පසුගිය අඟහරුවාදා සවස කොළොන්නාවේ පැවති ස්තූති රැස්වීම් අවසන් කළ සජිත් මොරටුවේ රාවතාවත්තට පැමිණියේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සංවිධානය කර තිබූ ස්තූති රැස්වීමකට සහභාගීවීමටය.

සජිත් කතාව පටන්ගෙන විනාඩි කිහිපයක් යන විට කලබලකාරී තත්වයක් ඇතිවූයේ වේදිකාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ලවීම නිසාය. කිසියම් පිරිසක් විසින් එල්ල කළ ගල් ප්‍රහාරය වේදිකාවේ වහලය මතට වැටුණේය.

එක් ගලක් පතිත වූයේ හිරුණිකා අසලට. ඈ ගැබ්බරව සිටින්නියකි. ඒ සමඟම ආරක්ෂක නිලධාරීහු පීඨිකාව වෙතට පැමිණියහ.

“මම ගැන නෙමෙයි මෙතැන ඉන්න මිනිස්සු ගැන බලන්න. මිනිස්සු ටික පරිස්සම් කරන්න. එයාලාට කිසිම දෙයක් වෙන්න අරින්න එපා” සජිත් ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වේදිකාවට ගල් ප්‍රහාරයක් එල්ල වුවත් සජිත් එයින් සැලුණේ නැත. ඔහු සිදුවන්නේ කුමක්දැයි හොඳින් බලාගෙන සිට නැවත රැස්වීමේ වැඩ ඉදිරියට රැගෙන ගියේය.

“ගල් ගැහුවට කමක් නෑ. ප්‍රශ්නයක් නෑ. මම බය වෙලා යන්නේ නෑ. කවුරුවත් බය වෙන්න එපා. මේ රත්මලානේ දේශපාලනය මෙහෙයවන්නේ කවුද කියලා අපි දන්නවා. මදාවියොන්ට බයේ මම යන්නේ නෑ. මම ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්. මම මේ ගල් ප්‍රහාරවලට බය වෙන්නේ නෑ, මම ඕනම උණ්ඩයකට මුහුණ දෙන්න සූදානම්. මගේ කට කාටවත් වහන්න බෑ. අද මට ගහපු ගල් එකතු කරලා ප්‍රජා ශාලාවක් ඔබලාට හදලා දෙනවා” සජිත් සහතිකයක් දුන්නේය.

සජිත් තමන්ගේ කතාව අවසන් කර වේදිකාවට එල්ල කළ ගල් ටික එකතු කරගත්තේය.

“මගේ තාත්තා සුචරිතයේ වැඩ පටන් ගන්න‍කොට විරුද්ධවාදීන් මෙහෙම ගල් ගැහුවා. ඒ ගල් එකතු කරලා එතුමා සුචරිත මන්දිරය ගොඩ නැඟුවා.” සජිත් කීවේ තමන්ට එල්ලවූ ගල්වලින් ප්‍රජා ශාලාව ගොඩ නඟන හැටි ගැන කියමින්ය.

එතැන් සිට සජිත් ගියේ අභාවප්‍රාප්ත විකට නළු ටෙනිසන් කුරේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය.

සජිත් විපක්ෂ නායකත්වයට පත්වීමෙන් පසුව විපක්ෂ නායක කාර්යාලයේ සෑම පොහෝ දිනකම ධර්ම දේශනාවක් සංවිධානය කරන අතර මෙවර පස්වැනි වතාවට ධර්මදේශනාව සංවිධානය කර තිබුණි. පෝ දින ධර්මදේශනාව පැවැත්වූයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරී, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති, අග්ගමහා පණ්ඩිත මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල නායක ස්වාමීන්වහන්සේ විසිනි.

“ඔබතුමාගේ පියාත් ආගම දහමට බොහෝ ලැදි අයෙක්. ඔබතුමත් ඒ මඟ යන එක ගැන අපිට සතුටක් තිබෙන්නේ. රටේ නායකයෙක් වෙන්න නම් රටේ තිබෙන සංස්කෘතිය හඳුනාගන්න ඕන. ඔබතුමන් මේ රටේ තිබෙන සංස්කෘතිය මොකක්ද කියලා තේරුම් ගත්ත නායකයෙක්. සමහර දේශපාලනඥයින්ට වැරදුනේ රටේ සංස්කෘතිය හැරිහැටි හඳුනාගත්තේ නැති නිසා” උන්වහන්සේ සඳහන් කළහ.

“හාමුදුරුවෝ කිව්වේ නායකතුමාගේ වැඩපිළිවෙළ ගැනම තමයි. රටේ තියෙන මහා සංස්කෘතිය හඳුනාගෙන ඒක ආරක්ෂා කරන අතරම අනෙක් ජාතීන්ට, අනෙක් සංස්කෘතීන්ට ඉඩ ලබාදෙනවා කියලා කියන්නේ ඔබතුමාගේ දැක්ම තමයි. ඒ වගේම සමගි ජන බලවේගයේ දැක්ම තමයි මේ” හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා කීවේ ධර්මදේශනාව අවසන්වීමෙන් පසුව සජිත් ඇතුළු මන්ත්‍රීවරුන් සමඟ සුහද කතාබහක යෙදෙමින් සිටින අතරවාරයේදීය.

පසුගිය සති අන්තයේ සජිත් සිටියේ අනුරාධපුරයේ සහ පොළොන්නරුවේය. එම දිස්ත්‍රික්ක දෙකේ විහාරස්ථානවලට ගොස් නායක හිමිවරු හමුවී ආශීර්වාද ලබාගැනීමට සජිත් සති අන්තයම වෙන් කර තිබුණි.

“මහත්ත‍යෝ, ඔබතුමා සංස්කෘතික කටයුතු ඇමැති වෙලා කටයුතු කරපු කාලේ මේ පළාතේ හැම පන්සලකටම වගේ උදවු කරලා තියෙනවා. ඔබතුමාගේ පියාත් ඒ වගේම තමයි. යන යන හැම තැනකටම මොනවා හරි කරලා තියෙනවා.” නායක හිමිවරුන් කීවේ සජිත් විහාරස්ථාන වෙනුවෙන් කළ සේවය ගැනය.

මේ අතර සජිත් අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශීර්වාදය ලබා ගත්තේය. අනතුරුව පල්ලේගම හේමරතන නාහිමිපාණන්වහන්සේ ද බැහැදුටුවේය. ඉන්පසු සජිත් රුවන්වැලි මහා සෑරදුන්ට කප් රුක් පූජා කිරීමටද, ජයශ්‍රීමහා බෝධිරාජයාණන් වහන්සේ අබියස උතුම් පහන් පූජාවටද සහභාගී විය. සජිත් එයට සහභාගී වූයේ සමගි ජන බලවේගයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ද සම්බන්ධ ද කරගනිමින්ය.

සුරපුරයක් ගැන ආණ්ඩුවේ පොරොන්දු

සති අන්තයේ දින දෙකම සජිත් රජරට ගතකළේ විහාරස්ථාන ආශ්‍රිතවය.

‘මොකක්ද මේ විස්ස?’

ස්වාමීන්වහන්සේ නමක් සජිත්ගෙන් විමසූහ.

“රටේ ජනතාව ගැන හිතලා, රටේ අනාගතය ගැන හිතලා, රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය තකා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වෙනවා නම් එය සිදුවිය යුත්තේ. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කරලා තිබෙන්නේ පෞද්ගලිකත්වය මත. ඒක ඇත්තටම ආණ්ඩුව ඇතුළේ තිබෙන බල අරගලයක ප්‍රතිඵලයක් විදියටයි මම දකින්නේ.” සජිත් කීවේය.

“සමහර මාධ්‍ය පෙන්නන්නෙ රට සුරපුරයක් කියලා. හැබැයි ඇත්ත දැනගන්න ‍මේ ගම්වලට එන්න ඕන මහත්තයෝ”

අරලගංවිල විහාරවාසී හිමිනමක් කීහ. උන්වහන්සේ සජිත්ගේ කතාව අනුමත කළහ.

සජිත් අඟහරුවාදා සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයට පැමිණියේ අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල දිනමු කමිටු පිහිටුවීමේ ප්‍රගතිය ගැන සාකච්ඡා කිරීමටය. හරීන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පක්ෂ ප්‍රගතිය ගැන අවධානය යොමු කළේ මීළඟට පැවැත්වෙන කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල වැඩසටහන සාර්ථක කරගන්නා ආකාරය ගැනත් අවධානය යොමු කරමින්ය.

එ.ජා.ප. ය යළි ගොඩනැඟීම සඳහා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රමුඛ පිරිසකට අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට වාර්තාවක් ලබාදීමේ වගකීම නායකයා පසුගිය දා පවරනු ලැබීය. රුවන් සමඟ අකිල, සාගල, කරුණාසේන කෙඩිතුවක්කු, ශමල් සෙනරත් වැනි අය ඊට ඇතුළත්ය. විශේෂයෙන් අර්ජුන, වජිර, නවීන්, සන්දීප් ඇතුළු කණ්ඩායම සමඟ අදහස් හුවමාරුවක් කරන ලෙසද නායකයා විසින් උපදෙස් ලබාදී තිබේ.

මේ කමිටුවේ සියලු දෙනා සාමූහිකවයි වගකීම ඉටුකළ යුත්තේ. සතියකින් වාර්තාව දෙන්න කියලා මම කිව්වා. ඒත් තාම නෑ. සාමූහිකත්වයෙන් මිසක් තනි තනිව කටයුතු කිරීම මෙතනට ගැළපෙන්නේ නැහැ. එ.ජා.ප නායකයා අදාළ කමිටු සාමාජිකයින්ට ලබාදුන් පණිවුඩය එයය.

රුවන් දකුණේ හරියට වැඩ

අපි හැකි ඉක්මණින් නිසි වාර්තාවක් හදලා බාර දෙන්නම්. උඩින් පල්ලෙන් මේක කරලත් බැහැ. ඒකයි ටිකක් කල් යන්නේ. කමිටු සාමාජිකයන්ගෙන් විමසූ විට නායකයාට ලැබුණේ එවැනි පිළිතුරකි. නියෝජ්‍ය නායක රුවන් පසුගිය සති අන්තයේ මාතරදී සිය පළමු ප්‍රාදේශීය මෙහෙයුම් කාර්යාලය විවෘත කළේ විශාල ජනතා ප්‍රතිචාර සමඟිනි. සාගල ඇතුළු දිස්ත්‍රික් එ.ජා.ප සංවිධායකයන් එම කටයුත්ත සංවිධානය කර තිබිණ.

කාර්යාලය විවෘත කිරීමෙන් පසුව දින දෙකක් මාතර දිස්ත්‍රික්කය පුරා සංචාරය කරමින් පාක්ෂිකයන් හමුවෙමින් වෙහෙරහේන, දෙවිනුවර විෂ්ණු දේවාලය හා සෙසු ආගමික ස්ථාන රැසක ප්‍රධාන පූජ්‍ය පක්ෂ හමුවී ආශිර්වාද ලබාගැනීම මෙන්ම එ.ජා.ප ය යළි ගොඩනැඟීමේ වැඩසටහන ඔවුන් හමුවේ විස්තර කිරීමට ද නියෝජ්‍ය නායක රුවන් කටයුතු කළේය.

Comments