අවශ්‍ය දේ 20 නෙමෙයි ජීවන විය­දම අඩු කිරී­මයි | සිළුමිණ

අවශ්‍ය දේ 20 නෙමෙයි ජීවන විය­දම අඩු කිරී­මයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස‍ංශෝධනය එපා කියන්නේ ඇයි?

ඇත්තට ම හේතු ගණනාවක් තිබෙනවා. මේ මොහොතේ රටේ ජාතික අවශ්‍යතාව ආණ්ඩුක්‍රම සංශෝධනය නොවෙයි.

මේ රජයට මීට බොහෝ දේවල් කළ යුතුව තිබෙනවා. රටේ ජනතාවට ගැටලු ගණනාවක් ඇති වෙලා තිබෙනවා. රට ආර්ථිකව අස්ථාවරයි. අද මිනිස්සුන්ට රැකියා අවස්ථා අහිමි වෙලා තිබෙනවා. ජීවන වියදම අධික ලෙස වැඩි වෙනවා. අපි මේ මුහුණ දෙන අර්බුදය තේරුම් අරගෙන මේවා ගොඩ නඟන්න අවශ්‍ය පියවර ගැනීම වහාම කළ යුතුව තිබෙනවා. මේ සඳහා ව්‍යවස්ථාවෙන් කිසිදු බාධාවක් නැහැ.

ඒ විතරක් නොවෙයි ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් අද එකම පැත්තේ අය. එකම පක්ෂයේ අය. ඊට අමතරව ශක්තිමත් දේශපාලන බලයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරයත් තිබෙනවා. තවත් මොකටද 20 වැනි සංශෝධනය ගැන දුක් වෙන්නේ. මේ නිසා රටේ මූලික අවශ්‍යතාවය තේරුම් නොගැනීම තමයි ආණ්ඩුවට වැරදිලා තිබෙන තැන. මෙන්න මේ කරුණු නිසා 20 වැනි සංශෝධනයත් මේ මොහොතේ අවශ්‍ය නොවන බව අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ.

ඒ වගේම ආණ්ඩුව කියන හැටියට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කරුණු සම්පාදනය කරනවා. එහෙම වෙන්න ඕන නැහැ. මේ කරුණු ඔය කියන ව්‍යවස්ථාවේදීම ගෙන එන්න පුළුවන්.

ඵලදායි ව්‍යවස්ථාවක් ගෙන එන්න නම් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා කරුණු විමසලා කාලයක් අරගෙන සිදු කළ යුතුයි. ඇයි මේ කඩිමුඩියේ ව්‍යවස්ථාවක් ගෙන එන්නේ. එවිට එම ව්‍යවස්ථාව සාර්ථක එකක් වෙන්නේ නැහැ. මෙන්න මේ කරුණ නිසාත් අප 20 ප්‍රතික්ෂේප කරනවා.

ව්‍යවස්ථා අර්බුදය නිසා යහපාලන කාලයේ ජනාධිපති අගමැති අතර ගැටුම් ඇති වීම නිසා රට අරාජික වූ බව වර්තමාන රජය ප්‍රකාශ කරනවා. එහෙම වුණාද?

ඒක එහෙම වෙන්න බැහැ. ඔවුන් එහෙම කියනවා නම් මේ මොහොතේ වර්තමාන රජයට එහෙම කිසිදු ගැටලුවක් නැහැනේ. පසුගිය ඉතිහාසයේ යහපාලන ආණ්ඩුව කාලේ එවැනි තත්වයක් නිර්මාණය වී තිබුණත් අද වෙන‍කොට ආණ්ඩුවට එවැනි තත්වයක් නැහැ. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දෙදෙනාම එක පැත්තක ඉන්නේ.

මොවුන් මේ ගොඩනඟන තර්කය හරහා කියන්නේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අතර යම් මතවාදයක් තිබෙනවා කියන එක නේද? එහෙම වෙන්න බැහැ. මොකද මේ පාර්ශ්වයන් දෙකම සිදු කළ යුත්තේ ජනතාව ලබා දුන් ජනවරමට අනුව ක්‍රියා කරමින් රටට සේවය කිරීමයි..

ආණ්ඩුවටත් ජනවමරක් තිබෙනවා. නමුත් රටේ අලුතෙන් නීති සම්පාදනය කරන්න ජනතාව ජනවරමක් දීලා නැහැ.

මොකක්ද මේ 20 වැනි සංශෝධනයේ මූලික අරමුණ. පැහැදිලිව පෙනෙන කරුණ තමයි ජනතාව ප්‍රතික්ෂේප කරන කාරණා. ඍජුවම ජනතාවට දරා ගත නොහැකි කාරණා.

විශේෂයෙන් කිවහොත් ඇමති මණ්ඩලයේ ප්‍රමාණය වැඩි කිරීම. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ලබා ගැනීම. ද්විත්ව පුරවැසියන්ට යළි වතාවක් මැතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාව වැනි කරුණු කාරණා රටේ ඉදිරි ගමනට හෝ ප්‍රගමනයට අදාළ වෙන්නේ නැහැ. මේ කරන්නේ තනිකරම බලය තහවුරු කරගෙන ජනාධිපතිවරයා යම් ආකාරයක එක පැත්තකට ගොස් ඒකාධිපති පාලනයකට ගෙන යන නීති සම්පාදනය කිරීමක් හැටියට පෙන්වා දිය හැකියි.

19 වැනි සංශෝධනය තුළින් මේ රටට කිසිම වැඩක් සිදු නොවූ බවයි වර්තමාන රජය නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ. ඔබ ප්‍රකාශ කරන්නේ 19යෙන් රටට වැඩක් වුණා කියලද?

රටට වැඩක් වෙන්න නම් 19 ද 20 ද කියන එක අදාළ නැහැ. 19 වැනි සංශෝධනය ගෙන ආවේ එක පැත්තකින් ‍රටේ දේශපාලනය වී තිබූ රාජ්‍ය ආයතන ඉන් මුදා ගන්නයි. ඒ වගේම රාජ්‍ය සේවය තුළ ස්වාධීනත්වය ඇති කරන්න. ඒ වගේම රටට සමබර පරිපාලනයක් ඇති කිරීමට.

ආණ්ඩු වෙනස් වුණත් ක්‍රියාත්මක වන වැඩ කටයුතු දිගමට ක්‍රියාත්මක කරන්න.

19 යට එල්ල කරන මූලිකම කරුණු අපි බලමු. ස්වාධීන කොමිසන් ගැන කියනවා. එහි තිබෙන්නේ තාක්ෂණික දුර්වලකමක් විතරයි.

මැතිවරණ කොමිසන් සභාව බලන්න. පුද්ගලයන්ගේ ප්‍රශ්න තිබෙන්නට පුළුවන්. ඒත් ඉකුත් මැතිවරණ දිහා බැලුවාම කිසිදු ජීවිතයක් බිලි නොගෙන ඒවා පවත්වන්ට හැකි වුණා. ඉකුත් ජනාධිපතිවරණය මහ මැතිවරණය මොනතරම් ස්වාධීනව පැවැත්වුණාද මොනතරම් සාධාරණ මැතිවරණයක් ද කියලා අපි රජයෙන් අහන්න කැමතියි. මැතිවරණ කොමිසන් සභාව නිසා සාධාරණ නිදහස් මැතිවරණයක් පැවැත්වුණා කියන එක අප සියලු දෙනා පිළිගත යුතු කාරණාවක් බව මා මතක් කර සිටිනවා. කොමිසමට පෙර මැතිවරණවලදී කොයිතරම් මිනිස් ජීවිත අහිමි වුණාද.

ආණ්ඩුව ජනතාවගෙන් තුනෙන් දෙක ඉල්ලුවේ මේ ව්‍යවස්ථා සංශෝධනයට. පාර්ලිමේන්තුවේදි එය ජයග්‍රහණය කිරීමට රජයට හැකිවේද?

ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ජනතාවට කිව්වද ජනාධිපතිවරයාගේ දුර කාලය දික් කරනවා කියලා. නෑ. ජනතාවට කිව්වද ඇමති මණ්ඩලය වැඩි කරන්න අපි බලය ඉල්ලනවා කියලා. නෑ. ජනතාවට කිව්වද ද්විත්ව පුරවැසි භාවය යළි පණගන්වනවා කියලා. නෑ. මේ දේවල් කියලා නොවෙයි බලය ඉල්ලුවේ. ව්‍යවස්ථා සංශෝධනය කියන වචනය විතරයි ජනතාවට කිව්වේ. මෙය ජනතාවට කරපු අසාධාරණයක් හැටියටයි අපි දකින්නේ.

තුනෙන් දෙකක බලයත් පෙන්වීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ කියන කාරණය පැහැදිලිය. ආණ්ඩු පක්ෂයේම මැති ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සැලකිය යුතු පිරිසක් මේ සඳහා සිය විරෝධය දක්වා තිබෙනවා.

ඔබ එසේ කීවත් ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රකාශ කරනවා විපක්ෂයේ මන්ත්‍රීවරු තිස්දෙනකු ආණ්ඩුවට සහය දක්වන බව. එය එසේ සිදු වේවිද?

සමගි ජන බලවේගයේ නම් එහෙම කණ්ඩායමක් ඉන්නවා කියන එක මම කිසිසේත්ම පිළිගන්නේ නැහැ. සමගි ජන බලවේගය එකට එකතුවෙලා වැඩකටයුතු කරන්නේ සාමූහික හැඟීමෙන් යුතුවයි.

ඔය කියන කතාව විවිධ පුද්ගලයන්ට විවිධ පක්ෂවලට එල්ල කරන්න පුළුවන්. තාම එහෙම දෙයක් වෙලා නැහැනේ. අපි දැඩිව විශ්වාස කරනවා 20 වැනි සංශෝධනය කියන්නේ ජනතා විරෝධි පනතක්. එය පරාජය කිරීම සඳහා සියලු දෙනා එකට එකතුවෙලා වැඩකටයුතු කළ යුතුයි කියලා. මේ සඳහා පාර්ලිමේන්තුවේ බහුතරයක් අප සමඟ එක්වෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

තවත් පැත්තකින් ආණ්ඩුව තනතුරු වරප්‍රසාද, මුදල් ලබාදීලා මන්ත්‍රීවරු ඒ පැත්තට ගන්න උත්සහ කරනවා නම් ඒකත් මේ රටේ සාදාචාර සම්පන්න දේශපාලන නායකයන් විසින් නොකළ යුතු කාරණයක්. මේ රටේ ජනතාව වර්තමාන සහ අනාගත දේශපාලන ක්‍රියාවලියේදි එවැනි ක්‍රියා දැඩිව ප්‍රතික්ෂේප කරනවා.

මහ මැතිවරණ වේදිකාවේදී වර්තමාන රජය විසින් දිගින් දිගටම ප්‍රකාශ කළා බැදුම්කර හොරුන් ඇතුළු වංචනිකයන් අත්අඩංගුවට ගන්නා බව. දේශපාලන වේදිකාවල ඒ සම්බන්ධව රජය පියවර නොගන්නා බවට ප්‍රකාශ වෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස?

යහපාලන ආණ්ඩුවටත් මේ චෝදනාවම එල්ල වුණා. හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරු විසින් අල්ල ගත්තා කියන චෝදනාව යහපාලන රජයට දිගින් දිගටම එල්ල වුණා.

අද ඒ කතාවම මේ ආණ්ඩුවටත් සිදුවෙලා තිබෙනවා. මහ බැංකුවේ බැදුම්කර වංචාව, තවත් වංචා දූෂණ රැසක් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා වුණා. හැබැයි මේ කිසිවක් ගැන වර්තමාන රජය ක්‍රියාත්මක වන ආකාරයක් අපිට පෙනෙන්නට නැහැ. එයින් පෙනී යන්නේ යහපාලනයෙන් සිදු කරා කියන කාරණයම මේ ආණ්ඩුවෙනුත් සිදු කරනවා කියන එකයි. හොරු වංචා කාරයන් දූෂිතයන් ආරක්ෂා කිරීමට මේ ආණ්ඩුවත් ක්‍රියා කරන බව පෙනී යනවා.

පාස්කු ප්‍රහාරයට අදාළව ජනාධිපති කොමිසමක් මෙන්ම පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරගෙන යනවා. විපක්ෂය ඒ පිළිබඳව සෑහීමකට පත්වෙනවාද?

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳව දැනට මේ ක්‍රියාත්මක වන පරීක්ෂණ ඉතා හොඳයි. මෙහිදී අපිට පෙනෙන කරුණක් තමයි බොහෝ දෙනකු වගකීම් පැහැරහැර තිබෙනවා. අනික අවධානය යොමු නොකළා කියන කාරණය. සමාජයේ බොහෝ දෙනෙකු මේ පිළිබඳව සැකයක් සංකාවක් ඇති කරගෙන තිබෙනවා.

මේ කාරණය නිසා මෙහි පරීක්ෂණවලින් පසුව මෙහි වගකීම භාර ගත යුතු අයටත් මේ පිළිබඳව නොසැලකිලිමත්ව ක්‍රියා කරපු අයටත් අනිවාර්යෙන්ම දඬුවම් ලබා දිය යුතුයි. අපි ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින බව රජයට අවධාරණය කරන්නට කැමතියි. කවුරු වරදක් කර ඇතත් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් ද කරනවා.

සමගි ජන බලවේගයේ සහෝදර පක්ෂ දැන් විරසක වෙලා ඇති බව ජන මාධ්‍යයෙන් කියවෙනවා. එය සත්‍යයක්ද?

එහෙම කිසිම අර්බුදයක් නෑ. අපගේ සමගිය, එකමුතුකම විඳ දරාගන්න බැරි අය තමයි එවැනි කතා නිර්මාණය කරන්නේ. එය දේශපාලනයේදී සාමාන්‍ය තත්වයක්. එවැනි කරුණු ගැන අපි සැලකිලිමත් වන්නේ නැහැ.

අපි සමගි ජන බලවේගය පක්ෂයක් හැටියට ක්‍රියාත්මක වන අතරම සමගි ජන සන්ධානයක් හැටියටත් ක්‍රියා කරන්නට ඉදරියේදී බලාපොරොත්තු වෙනවා.

සමගි ජන බලවේගය පක්ෂයක් හැටියට ඉදිරි ගමනට සූදානම් වන්නේ කොහොමද?

ඉකුත් මහ මැතිවරණයට අප මුහුණ දුන්නේ බිම් මට්ටමේ කිසිදු ක්‍රියාකාරකමක් නොමැතිවයි. සමගි ජන බලවේගය කියලා නාමිකව ඇති කරගත් පක්ෂයක්. ඒ වගේම බිම් මට්ටම් සංවිධාන ජාලයක් නොමැතිව අපිට පුළුවන්කම ලැබුණා ප්‍රථම ජයග්‍රහණය ලබා ගන්න. ඒ අනුව අපි පාර්ලිමේන්තුව තුළ ආසන පනස් හතරක් ලබා ගත්තා. ඒත් එක්කම මෙය ඉතිහාසගත වන වාර්තාවක්. මොකද හේතුව මාස දෙකක් දෙක හමාරක කාලය තුළදී තමයි සමගි ජන බලවේගය මෙම ජයග්‍රහණය ලබා ගත්තේ.

අපි මේ වන විට අපගේ බිම් මට්ටමේ ජාලය හදන ව්‍යාපාරය ආරම්භ කරලා ඉවරයි. අපි ඉකුත් සති අන්ත දෙකම දිස්ත්‍රික්ක හතරක ඡන්ද පොළ මට්ටමේ ක්‍රියාකාරී සංවිධාන ගොඩ නඟන්නට මෙය ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික්ක පළාත් සහ ජාතික මට්ටමින් ක්‍රියාවට නංවනවා.

Comments