
විද්‍යාඥයන් පවසා ඇති අනාවැකි අනුව පෘථිවියේ ෆොසිල ඉන්ධන අවසන් වීමට තවත් වැඩි කාලයක් ඉතිරිව නැත. එමෙන්ම ෆොසිල ඉන්ධන පෘථිවියේ උෂ්ණත්වය ඉහළ දැමීමටද බෙහෙවින් බලපෑම් කරන බව තහවුරුය. එබැවින් මිනිසා විකල්ප බලශක්ති කෙරෙහි විතැන්වීම අරඹා දැන් ටික කාලයක් ගතවී තිබේ. විකල්ප බලශක්ති යනුවෙන් මිනිසා හඳුනාගෙන ඇති ප්‍රධාන ශක්ති ප්‍රභව කිහිපයකි. ඒ අතරින් සූර්ය බලශක්තියට හිමිවන්නේ ප්‍රධාන තැනකි.
අපේ රටේ වුවද සූර්ය බලශක්තිය ජනතාව අතර ජනප්‍රිය කරවීමට විවිධ උත්සාහයන් ගෙන තිබේ. සූර්ය බලශක්තිය මගින් සිදුවන්නේ සූර්යයාගෙන් ලැබෙන ප්‍රබල ආලෝකය ශක්තිය බවට පරිවර්තනය කිරීමයි. එහෙත් සූර්යයාගේ ආලෝකය පෘථිවියේ සෑම තැනටම එකලෙස ප්‍රබලව නොලැබෙන අතර කාලගුණ තත්ත්වයන් අනුවද ආලෝකයේ ප්‍රබලතාව වෙනස් වේ.
මේ හේතු මත සූර්ය බලශක්තිය මත යැපෙමින් තම ආයෝජන සිදුකිරීමට බොහෝ දෙනා අකමැත්ත දක්වති. එහෙත් සූර්ය බලය වැනි පරිසර හිතකාමී බලශක්තියක් පරිභෝජනය කිරීමටත්, එහි බලශක්තිය සැමදා එකසේ බලා ගැනීමටත් උපක්‍රමයක් චීනය විසින් අත්හදා බැලීමට ලක් කර තිබේ. එහිදී චීනය සිදුකර ඇත්තේ තම විද්‍යාගාර තුළ කෘත්‍රිම සූර්යයෙක් හෙවත් කෘත්‍රිම තරුවක් නිර්මාණය කිරීමයි. මෙහි විශේෂත්වය වී ඇත්තේ මේ කෘත්‍රිම තරුව සුර්යයාටත් වඩා හයගුණයක් උෂ්ණත්වයකින් යුක්ත වීමයි. මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන සියයක් බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
චීනය මේ කෘත්‍රිම තරුව නම් කර ඇත්තේ EAST (Experimental Advanced Superconducting Tokamak) යනුවෙනි. මේ කෘත්‍රිම තරුව මත අධික උෂ්ණත්වයක් ඇති කිරීමට චීන විද්‍යාඥයන් භාවිත කර ඇත්තේ පරමාණු පදනම් වූ ක්රමවේදයකි. මෙහිලා යොදාගෙන ඇති ක්‍රමවේදය ඉතාමත් සරල ලෙස විස්තර කරන්නේ නම් මෙසේ පැවසිය හැකිය. සැහැල්ලු පරමාණු දෙකක් එකිනෙක සම්බන්ධ කර එකක් බවට පත් කිරීම ප්‍රථමයෙන්ම සිදුකෙරේ. මෙම ක්‍රියාව සිදුවන අතර පරමාණු දෙකෙන් වඩා විශාල පරමාණුව ශක්තිය නිකුත් කරයි. බලය උත්පාදනය කිරීමට යොදාගන්නේ මේ ක්රමවේදයයි. මෙය බැලූ බැල්මට සරල ලෙස පෙනුනද ප්‍රායෝගික තලයේදී මෙය එතරම් පහසු නොවන බව විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. එයට හේතුව මේ පරමාණු දෙකම ධනාත්මක බලය හුවමාරු කර ගැනීම හේතුවෙනි. විද්‍යාඥයන් පවසන්නේ මෙය සැබවින්ම කාන්දම් දෙකක එකිනෙකට විරුද්ධ අග්‍ර දෙකක් සමපාත කිරීමකට සමාන වන බවයි. එකිනෙක සම්බන්ධව කරවන පරමාණු දෙක එකිනෙක විකර්ෂණයද කරයි.
අපේ සුර්යා වැනි විශාල තරුවලට මේ විකර්ෂණය ජයගැනීමේ ශක්තිය තිබේ. එසේ කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ සූර්යයාගේ විශාලත්වය හේතුවෙනි. සූර්යයාගේ අති දැවැන්තව බව හේතුවෙන් එහි හරයේ විශාල පීඩනයක් නිරන්තරයෙන් පවතී. එම පීඩනය හේතුවෙන් හරයේ ඇති පරමාණු නිතර එකිනෙක ගැටෙමින් පවතී. බලශක්තිය ලබා ගැනීමට තරුවක් නිෂ්පාදනය කිරීමේ පියවරේදී විද්‍යාඥයන් මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව වූයේ මෙවැනි අති විශාල පීඩනයක් පෘථිවිය මත ඇති කිරීමට නොහැකි වීමයි. එහෙත් මේ ගැටලුවට මුහුණ දීමේදී විද්‍යාඥයන් ඒකී වියලනය පෘථිවිය මත ඇති කිරීමට ඉතා දැඩි උෂ්ණත්වය උපයෝගී කර ගත්හ. මීට පෙර සඳහන් කළ EAST නම් වන උපකරණය මගින් ඔවුන් සිදු කරන්නේ එකී උෂ්ණත්වය ඇති කිරීමය.
මේ උපකරණය නිපදවීමේ ක්‍රියාවලියේදී විද්‍යාඥයන් අවබෝධ කර ගත්තේ උෂ්ණත්වය වඩාත් වැඩි නම් පරමාණු වඩා වැඩි වේගයෙන් චලනය වන බවයි. එමෙන්ම ප්‍රමාණවත් උෂ්ණත්වයක් නොමැති නම් පරමාණු අවශ්‍ය ප්‍රමාණයෙන් චලනය වන්නේ නැත. එහිදී තහවුරු වූයේ සෙල්සියස් අංශක මිලියන 100 යනු පරමාණු අවශ්‍ය අන්දමට චලනය කර ගැනීම සඳහා වන නියම උෂ්ණත්වය බවයි. එම උෂ්ණත්වය හිරුගේ මතුපිට උෂ්ණත්වය මෙන් හය ගුණයකි.
චීනය දැනට ලබා දී ඇති තොරතුරු අනුව මේ නවතම බලශක්ති උත්පාදකය ක්‍රියාත්මක තලයට ගෙන ඒම සඳහා ඉදිරියට තැබිය යුතු වන්නේ තවත් පියවර කිහිපයක් පමණි. එයින් පසු මිනිසාට ක්ෂය නොවන, පරිසරය දූෂණය නොවන තිරසාර නවතම බලශක්ති මූලයක් හිමිවනු ඇත. එහෙත් තවම මේ බලශක්ති මූලාශ්‍රය ආරම්භක පියවරේ පවතින බවද අමතක කළ යුතු නැත.
දැනට මේ යන් ත්‍ර යේ ආරම්භක පියවර ලෙස නිපදවා ඇති යන්ත්‍රය අඩි කිහිපයක් දිග ආදර්ශකයක් පමණක් වේ. මෙහි අවසන් පර්යේෂණයන්ගෙන් පසු බලාගාර මට්ටටමේ දැවැන්ත බලශක්ති උත්පාදක යන්ත්‍ර නිපදවීමට කටයුතු කළ යුතු වනු ඇත. ඒ අදියරයන් සාර්ථක වුවහොත් මිනිස් වර්ගයා ශිෂ්ටාචාරයේ තවත් පියවරක් ඉදිරියට තැබූ බව නිශ්චිතව සටහන් කළ හැකි වනු ඇත.