පොහොට්ටුව 2වැනි ගමන අරඹයි | සිළුමිණ

පොහොට්ටුව 2වැනි ගමන අරඹයි

* අගමැතිගේ යෝජනාවට හැම අතින්ම පැසසුම්
* ජනපති දිගටම රට හදන්න සාකච්ඡා
* එජාප 74 වැනි සමුළුව දියාරුවීම පිටුපස රනිල්?
* පල්ලි ප්‍රතිසංස්කරණය ගැන අගරදගුරුතුමාගෙන් සජිත්ට ප්‍රශංසා
* ජනාධිපතිතුමා අනුගමනය කරන්නේ ධර්මපාලතුමාද

ර්තමාන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය නම් කර ඇති ආකාරය පිළිබඳව විරුද්ධවාදීන් කතාබහ කරන්නේ සමච්චලයෙනි. මේ නිසාම ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යාංශවල කාර්යභාරය නිසිලෙස හසුරුවා ගැනීම සඳහා විටින් විට ඒ අමාත්‍යාංශවල අමාත්‍යවරු සහ නිලධාරීන් සමඟ දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීම පුරුද්දක් කරගෙන තිබේ. ඉකුත් සතියේ ජනාධිපතිවරයා සාකච්ඡා කළේ උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලිබෝග වගා සංවර්ධනය හා ඒ ආශ්‍රිත කර්මාන්ත හා අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමඟය. ''ඔය එක එක්කෙනා මොනවා කිව්වත් අපි අමාත්‍යාංශවල වැඩ කරලා ජනතාවට යහපතක් වෙන බව ප්‍රායෝගිකව පෙන්නන්ට ඕනා. ඒ නිසා අමාත්‍යවරු මෙන්ම නිලධාරීන්ද කැපවීමෙන්, අධිෂ්ඨානයෙන් මේ අමාත්‍යාංශවල අරමුණ ඉටු කරන්නට මහන්සි ගන්න ඕනේ’’ ජනාධිපතිවරයා සාකච්ඡාව ආරම්භ කරමින්ම කීවේය. 

ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයක් සඳහා දේශිය නිෂ්පාදන පණගැන්වීම ජනාධිපතිවරයාගේ අරමුණයි. මේ නිසා කහ, ගම්මිරිස්, කුරුඳු, උක් වැනි බෝග වගාවට ඒවාට සාධාරණ මිලක් ලබා දිය යුතු බවද ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය. එමෙන්ම ගම්මාන සියයක කහ සහ ඉඟුරු වගා කිරීමත්, විශ්වවිද්‍යාල ප්‍රජාව හරහා සුළු අපනයන භෝග සංවර්ධනයට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පරීක්ෂණ කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණි.

එදින හවස් වරුවේ ජනාධිපතිවරයාගේ සාකච්ඡාව සිදුවුණේ ග්‍රාමීය හා ප්‍රාදේශීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමඟය. ජනාධිපතිවරණයෙන් පසු රටපුරාම සංචාරය කළ ජනාධිපතිවරයාට ප්‍රබලම ගැටලුව ලෙස ජනතාව පෙන්වා දුන්නේ පානීය ජල හිඟය පිළිබඳ ගැටලුවයි. මේ අනුව 2025 අවසානයට පෙර මෙරට සියලුම නිවාසවලට දවසේ පැය 24 පුරාවටම පානීය ජලය සැපයිය හැකි ආකාරයට ජල සම්පත දියුණු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ගංගා ඇළදොළ සහ ජලපෝෂක ප්‍රදේශ පවිත්‍ර කොට සංරක්ෂණය කිරීමත් වැසි ජලය ගබඩා කිරීම සඳහා වැව් හා ජලාශවල ධාරිතාව වැඩිකිරීමත් හා අලුතින් වැව් හා ජලාශ ඉදිකිරීම ගැනද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කර තිබුණි.

ජනාධිපතිවරයා පසුගිය සෙනසුරාදා සහභාගී වුණේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් පිළිබඳව ප්‍රතිඥාවක් දෙන්නටයි. ඒ කැලණිය මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ පැවති වැඩමුළුවකදීය. “ඇතැම් සංවර්ධිත රටවල පවා කොවිඩ් 19 වසංගතයට සාර්ථකව මුහුණ දීමට හැකිවුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව මෙම රෝග මර්දනය අතින් ප්‍රශංසනීය ප්‍රගතියක් අත් කර ගත්තා. අපි රෝහල්වලට ආපු කිසිම රෝගියෙක් ආපසු හරවලා යැව්වෙ නෑ. කොරෝනා වසංගතය අපට ජයගන්න පුළුවන් වුණේ නිදහස් සෞඛ්‍ය සේවාව නිසා කියලා මම ආඩම්බරයෙන් කියනවා” ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. ‘මගේ පාලන කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමට මම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා’, ජනාධිපතිවරයා එසේ කියද්දී ශාලාව දෝංකාර දෙමින් අත්පොළසන් නාදයක් ඇසෙන්නට විය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙනි. “මේ වනකොට රටේ හැම තැනින්ම ඉල්ලීමක් ඇවිත් තිබෙනවා ගව ඝාතනය නවත්වන්න කියලා. මං මේ ගැන හුඟක් අයත් එක්ක කතා කළා. ඔවුන් හැමෝම කිව්වා ගව ඝාතනය නතර කරන එක හොඳයි කියලා. ඒක නිසා මම තීරණය කළා ගව ඝාතනය තහනම් කරන්න” අගමැතිතුමා එසේ කීවේ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් හඬ මැද්දේය. “දැන් සමහරු ආයෙත් රක්ෂිත කපන්න පටන් අරගෙන. මිනිස්සු හිතන්නෙ ආණ්ඩුව කැලෑ කපනවා කියලා.මේකට ඉඩ දෙන්න බෑ. කැලෑ කපන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා” අගමැතිවරයා ඒ කතාව කිව්වේ ටිකක් තදින්. “මන්ත්‍රීවරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණේ ජාතික පාසල් දහසක් ඉදිකිරීම ප්‍රමාද වීම ගැන. ඇතැම් මන්ත්‍රීවරු තමන්ගේ ප්‍රදේශයට එකම ජාතික පාසලක්වත් නොමැති බව අගමැතිවරයාට පෙන්වා දුන්නේය. ඒකට උත්තර දුන්නේ අධ්‍යාපන ඇමති ජී. එල්. පීරිස් මහතා. “අපි දැන් ජාතික පාසල් එකක්වත් නොමැති ප්‍රදේශ හඳුනාගෙන තියෙනවා. ඒ ප්‍රදේශවල ජාතික පාසල් ඉදි කරන්න ප්‍රමුඛතාවය දෙනවා” ජී.එල්. කිව්ව්වේය. “ජාතික පාසල් හදන එක හොඳයි. හැම කොට්ඨාසයකටම ජාතික පාසල් එකක් හරි තියෙන්න ඕනේ. ඒ වගේම පළාත් සභා පාසලුත් දියුණු කරන්න ඕනේ” ප්‍රසන්න රණතුංග කීවේ මහ ඇමතිකමේ අත්දැකීම් ඇතුවයි.

20වන ව්‍යවස්ථා සංශෝධනය ගැනත් මේ රැස්වීමේදී සාකච්ඡා වුණි. “මේ ව්‍යවස්ථා සංශෝධනයේ ඒකීයභාවය ආරක්ෂා කරන දිවුරුම නැති එක ප්‍රශ්නයක්” වීරසේකර මන්ත්‍රීවරයා කීවේය. දොළවත්ත මන්ත්‍රීවරයාද ඊට ඌණපූර්ණ එකතු කළා. “මේක කෙටුම්පතක් විතරයිනෙ. මොනවා හරි අඩුපාඩු තියෙනවනම් සංශෝධනය කරන්න පුළුවන්” අගමැතිවරයා ඔහුගේ ස්ථාවරය පැහැදිලි කළා. සාකච්ඡාව යන අතරතුරේදී මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමට එකතු වුණේ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් හඬ මැද්දේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිවුවන සංවත්සරය නොවැම්බර් 01දාට යෙදී තිබේ. එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සිවුවන සංවත්සරය සැමරීම සඳහා සමරු උත්සවයක් පැවැත්වීමටත්, එහි වගකීම රෝහිත හා ප්‍රසන්න ඇමතිවරුන්ටත් බාරදීමට තීරණය කර තිබේ. සිවුවෙනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සාමාජිකයන් ලක්ෂ 25ක් බඳවා ගැනීම බැසිල්ගේ ඉලක්කය වී තිබේ. “දැන් තමයි අපි පක්ෂය ශක්තිමත් කරන්න ඕනේ. ජනාධිපතිවරයා හිටියත්, ආණ්ඩුවක් තිබ්බත් පක්ෂය හරියට නොතිබ්බොත් ඉවරයි” බැසිල් නෙලුම් මාවතේදී කීවේ මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේදීය. “ආණ්ඩුවෙ ඉන්නකොට සමහරු පක්ෂයේ වැඩ අමතක කරනවා. හැබැයි අපේ පක්ෂෙට එහෙම වෙන්නෙ නෑ. ඔබතුමා ඉන්නවනෙ.” රෝහිත එසේ කීවේ බැසිල් ගැනය.

අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන උපන් දිනය නිමිත්තෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මරදානේ පිහිටි මහාබෝධි විහාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනාව පරිදි පැවැත්වෙන මෙම උත්සවයට ආණ්ඩුවේ මැතිඇමතිවරු රැසක්ද සහභාගී වීමට නියමිතය. “ගෝඨාභයගෙ චින්තනය ධර්මපාලතුමාගේ චින්තනයට ටිකක් සමානයි. මං මේ රටේ හුඟක් නායකයොත් එක්ක වැඩ කරලා තියෙනවා. ගෝඨාභය ඒ හැමෝටම වැඩිය වෙනස්. ඔහුට රට,ජාතිය,ආගම ගැන කැක්කුමක් තියෙන බව පේනවා. ඒ වගේම දේශීය ආර්ථික චින්තනයකුත් ගෝඨාභයට තියෙනවා. ධර්මාපාලතුමාගේ මුළු ජීවිතයම කැප වුණෙත් රට,ජාතිය, ආගම හා දේශීය ආර්ථිකය පිළිබඳව මිනිස්සුන්ට කියා දෙන්න. එහෙම ගත්තම ධර්මපාලතුමාගෙ චින්තනය ගෝඨාභය ඉදිරියට අරන් යනවා කියලා මං හිතන්නෙ” බානගල උපතිස්ස නාහිමියන් එහෙම කිව්වෙ උන් වහන්සේ බැහැදකින්නට ආපු මාධ්‍යවේදී කණ්ඩායමක් එක්කයි.

පසුගිය සඳුදා මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍යාංශය සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කළේ ඒ ක්ෂේත්‍රයට බලපාන ප්‍රශ්න රැසක් ඇති බව පෙන්වා දෙමින්. මේ සාකච්ඡාවෙදී වැදගත් තීරණ දෙකක් ගනු ලැබීය. එකක් කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14% ආදායම් බද්ද ඉවත් කිරීම. අනෙක රන් ආනයනය කිරීමේදී පනවා ඇති 15% බද්ද ඉවත් කිරීම. එදින හවස් වරුවේ සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණ, තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් පැවැත්වුණා. “සිලෝන් ටී කිව්වම ඒ කාලේ ලෝකේ ඔක්කෝම දන්නවා ඒ ලංකාවේ තේ කියලා. දැන් ඒ නාමය පිළිබඳ ලෝකයේ අවධානයක් නෑ. අපි නැවත මේක ඇති කරන්න ඕන” ජනාධිපතිවරයා කීවේ සාකච්ඡාව ආරම්භයේදීමය. “පාඩු ලබන සමාගම් වතු නියමු ව්‍යාපෘතියක් ලෙස කුඩා තේ වතු හිමියන්ට පවරා දීමටද මේ සාකච්ඡාවේදී තීරණය කෙරුණා.

ඉකුත් සතියේ පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වුණත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍යාංශයට ගියේ වැදගත් ලියිකියවිලි කිහිපයකට අත්සන් කරන්නටයි. ඒ යනකොටත් සෑහෙන පිරිසක් අමාත්‍යාංශයට පැමිණ සිටියේය. හුඟක් අයට තිබුණේ දරුවන්ගේ රක්ෂා ප්‍රශ්න. “ඕගොල්ලො මට ඡන්දෙ දුන්න බව ඇත්ත. මට පාර්ලිමේන්තුවට යන්න ඔයගොල්ලෝ හුඟක් කැපවුණ බවත් ඇත්ත. නමුත් මේ අමාත්‍යාංශයෙන් ඒකට කෘතගුණ සලකන්න මට බෑ. ටිකක් ඉවසගෙන ඉන්ට. මම අනිත් අමාත්‍යාංශ ටිකත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් දෙයක් ඉල්ල ගන්නම්.” දිනේෂ් එහෙම කියද්දි ළඟ හිටපු තරුණයෙක් කීවේ “අයියෝ සර් අපි ආයෙත් විපක්ෂයේ ඉන්නවා වගේ” කියලා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පත් කිරීම යන මේ කාරණා දෙකටම විසඳුමක් හොයා ගන්නට බැරුව රනිල් වික්‍රමසිංහට යන යන තැන ප්‍රශ්න වැලකි. ඉකුත් සතියේ ඔහු සිරිකොතට ආපුවම එහි රැස්ව සිටි අය ඔහුගෙන් ඇහුවේ “සර් කවුද පත් කරන මන්ත්‍රීවරයා”කියලයි. “මන්ත්‍රීවරු පත් කරන්න ඉස්සෙල්ලා පක්ෂයේ ප්‍රශ්නය විසඳාගන්න ඕනේ. ඒකට මම හැම කෙනාත් එක්කම කතා කරනවා. පක්ෂයේ සභාපති හා නියෝජ්‍ය නායක ධුර හිස් වෙලා. මාස දෙකකට වැඩිය ඒවා හිස්ව තියන්න බැහැ. ඒ නිසා ඒවාට සුදුසු අය පත් කරන්න ඕන. උපක්‍රම යොදලා ඒ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න ඕන.” රනිල්ගේ උත්තරය වුණා. සිරිකොතේදී රනිල් එක්ක කතා කරපු අය පළාත් සභා මැතිවරණය ගැනත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙන ඒමට දරන උත්සාහය ගැනත් මරණයට නියම වුණ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට ඒම ගැනත් සාකච්ඡා කළා. “ප්‍රේමලාල් පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න එක ගැන නම් සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒකට නීතිමය ප්‍රශ්නයක් තියෙනවද කියලයි අපි බලන්න ඕනේ. ප්‍රශ්නෙ මතුපිටෙන් අතගාලා විපක්ෂය කලබල වෙන්න ඕනෙ නැහැ. නීතිමය පදනමක් තුළ ප්‍රේමලාල්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ද බැරිද කියන කාරණය පිළිබඳව තීන්දුව ගන්න ඕනෙ කථානායකවරයා. ඒ නිසා සදාචාරාත්මකව කටයුතු කරන්නට කතානායකවරයාට බලපෑමක් කරන්න ඕනේ” යි රනිල් කීවේ ඔහු සමඟ කතා කරමින් සිටි සියලු දෙනාම මවිතයට පත් කරමිනි. එජාපයේ 74වන සංවත්සරය දියාරු වෙච්ච උත්සවයක් බව ජනතාව අතර කතාබහ වුණා. ඒ ගැනත් සමහරු රනිල්ගෙන් කෙළින්ම ප්‍රශ්න කළේය. හැම ප්‍රශ්නෙකටම රනිල්ට උත්තර තියෙනවා වගේම මේ ප්‍රශ්නෙටත් රනිල්ට උත්තරයක් තිබුණේය. එනම් රැස්වීමට මිනිස්සු නාවෙ පක්ෂය ගැන කලකිරිලා නෙවෙයි. කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් පවතින නීතිරීති හා ක්‍රියාමාර්ග නිසා”රනිල් කීවේ ඇඟට පතට නොදැනීය.

පහුගිය සතියේ මහා නාහිමිවරුන් බැහැ දුටු සජිත් ප්‍රේමදාස අගරදගුරුතුමා හමුවූයේ ඉකුත් ඉරිදාය. අගරදගුරු එහිදී සජිත්ව ප්‍රශංසාත්මකව කෘතඥතාවය පළ කළා. “පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පල්ලි ප්‍රතිසංස්කරණය හා සෙසු කටයුතු සඳහා ඔබතුමාගෙන් ලැබිච්ච සහයෝගය අපි අගය කරනවා. ඒ වගේම මේ රටේ අනාගතයේ නායකත්වය බාරගන්න දැන්ම ඉඳලා ඔබතුමා ජනතාව අතරට ගිහිල්ලා ජන මතයක් හදන්න ඕන”යි අගරදගුරුතුමා සඳහන් කළේය.

තිරසර සංවර්ධන අරමුණ පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා පත්කරන ලද පංච පුද්ගල කණ්ඩායමේ වාර්තාව ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට පිළිගැන්වූවා. මේ කමිටුව පත් කර තිබුණේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් මතයි. “අපේ රටේ මොන දේ කරන්නත් මේ 19 වෙනස් කරගන්න ඕනේ. ඒක තියෙනකම් සංවර්ධන කටයුතු කරන්නත් බෑ.පාර්ලිමේන්තු කටයුතු කරන්නත් බෑ.”අගමැති කීවේ දිනේෂ්ගේ මුහුණ දෙස බලාගෙනය. “ඔව් ඒක තමයි ප්‍රශ්නෙ.ඉක්මණින් මේ 20 සම්මත කරගන්නව නම් හොඳයි.”දිනේෂ් අගමැතිට පිළිතුරු දුන්නේ එහෙමයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ නායකයන්ට නොකියා අතුරුදහන් වෙනවා යැයි පක්ෂයේම මන්ත්‍රීවරු චෝදනා කරනවා. ඒ ගැන දැනගෙන හිටපු සජිත් තමන්ගේ මන්ත්‍රීවරුන් එක්ක කිව්වෙ මෙහෙම කතාවක්."ජනතාව මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ 19 විනාශ කරලා 20ක් ගේන්න නෙමෙයි. සිංහරාජය, ආනවිලුන්දාව,වනාතවිල්ලුව අක්කර සිය ගණන් විනාශ කරලා සතා සිවුපාවා විනාශ කරන්න නෙමෙයි. මේ විනාශයන් පිටිපස්සෙ පොහොට්ටුවෙ දේශපාලනඥයන් ඉන්නවා කියලා ආරංචියි. නමුත් අර පහත් තැනින් යයි ජලය ගලා කිව්වා වගේ අන්තිමට අධිකරණයට ඉදිරිපත් වුණේ ඩෝසර්කාරයෙක් හෝ සාමාන්‍ය ගැමියෙක්. ඒවාට වගකිවයුත්තෝ එළියෙ.මේ වගේ වැඩ හින්දා ආණ්ඩුව ගැන ජනතාව කලකිරිලා. අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ” සජිත් කීවේ එහෙමයි.

ජනාමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉකුත් සති අන්තය යොදාගෙන තිබුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන නිරීක්ෂණය කරන්නටයි. ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය, ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය වැනි ආයතන ඒකාබද්ධ කොට විශ්වවිද්‍යාල මට්ටමේ ආයතනික පාඨමාලා ඒකකයක් ලෙස ශ්‍රී ලංකා පදනම් ආයතනය දියුණු කිරීමට අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණේ එහි නිරීක්ෂණයෙන් පසුවයි. “මේකෙ පුදුම සම්පත්නෙ තියෙන්නේ. මේවා ප්‍රයෝජනයට ගන්න ඕනේ. මේ වගේ වටිනා සම්පත් පෞද්ගලික අංශයෙත් නෑ.” කෙහෙළිය කීවේ පදනම් ආයතනයේ තිබුණු සම්පත් ගැනය.

කොළඹට නුදුරු විහාරස්ථානයක බහුශ්‍රැත නායක ස්වාමීන් වහන්සේ නමක් මේ දිනවල ඉන්නේ ආණ්ඩුව ගැන හොඳටම කලකිරිලාය. 20වන සංශෝධනය හරහා රට විශාල අගාධයකට ඇද දමන්නට සූදානම් වන බව උන්වහන්සේ බැහැදකින්න යන හැමදෙනා සමඟ චෝදනාත්මකව ප්‍රකාශ කරනවා. “මම ගෝඨාභය රාජපක්ෂට හුඟාක් ආදරෙයි. එතුමා ජනාධිපති කරන්න මමත් මහන්සි වුණා. ඒත් මේ 20වන සංශෝධනය හරහා මොනවද කරන්න යන්නෙ කියලා මට තේරෙන්නෙ නැහැ. මේක සම්මත වුණොත් ද්විත්ව පුරවැසිභාවය තිබෙන එල්ටීටීඊ ඩයස්පෝරාවෙ අයත් ලංකාවේ දේශපාලනයට රිංගාගෙන පාර්ලිමේන්තුවට ආවොත් මොකද කරන්නේ? මම මෙව්වා කතා කරනකොට හාමුදුරුවෝ විකාර දොඩවනවා කියලා සමහරු කියනවා. ඇත්ත ළඟ පේන්නෙ නෑ. ඇත්ත දකින්න දුර බලන්න ඕනේ.” උන් වහන්සේ එහෙම කිව්වේ රජයේ ප්‍රබල දේශපාලඥයකුටයි.

Comments