
ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කලාපයේ සංගමන් කන්ද තුඩුව සිට නාවුක සැතපුම් 38 ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉන්දියාවේ විශාලතම තෙල් පිරිපහදු කරන්නෙකු වන ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගමට අයත් බොර තෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි මහා පරිමාන බොර තෙල් ප්‍රවාහකයෙකු වන MT NEW DIAMOND නෞකාව අනතුරට පත්වූයේ පසුගිය 3 වැනිදාය. මෙම නෞකාව අගෝස්තු 23 වන දින කුවේටයේ මීනා අල් අහමඩ් සිට පිටත් වූයේ සැප්තැම්බර් 5 වන දින ඉන්දියාවේ ප්රදාප් වරායට ළඟා වීමටය.
පැනමා රටට අයත් එම නෞකාව කුවේටයේ මීනා අල් අහමන්ඩි වරායේ සිට ඉන්දියාවේ ප්රදාප් වරායට ගමන් කරන අතර මෙම ගින්න හට ගත්තේ මෙහි බොර තෙල් මෙට්‍රික් ටොන් 270,000ක් හා ඩීසල් මෙට්‍රික් ටොන් 1,700 ක් ද රැගෙන යමින් සිටියදීය. මෙහි කාර්ය මණ්ඩලයේ පිලිපීන ජාතිකයින් 18 දෙනෙක් සිට ඇති අතර ශ්රීක ජාතිකයන් 5 දෙනෙක් සිට ඇති අතර මේ සියලු දෙනා ජීවිත අවදානමක් දරමින් අපේ නාවුක හමුදාව විසිනි. මෙම ලිපිය ලියන මොහොත වන විටත් MT NEW DIAMOND නම් වූ මෙම නෞකාවේ ගින්න පාලනය කිරීමට හා නැව මුහුද දෙසට ඇඳගෙන යාමට දැඩි පරිශ්රමයක යෙදි සිටියි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වන විට ගින්න නිවීම සඳහා ගුවනින් ජලය ඉසිම, පෙණ වර්ග උඩු ගුවනේ සිට පොම්ප කිරීම සිදු කළ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කරනු පසුගිය සති අන්තයේ දක්නට ලැබුණි.
මෙහි බරපතළකම හා පසු විපාක වඩාත්ම තීව්ර වන්නේ මේ නැවේ අන්තර්ගත සුවිශාල තෙල් ප්‍රමාණය හා යම් හෙයකින් එම තෙල් සාගරයට මුසු වීමේ අවදානම නිසාවෙනි. පසුගිය මාසයේ මොරිෂස් දුපත්හි මෙවැනිම තෙල් ටොන් 1000 ක් රැගත් නැවක් අනතුරට ලක්වීමෙන් එහි සුන්දර වෙරළ තීර කරා තෙල් ළඟා වී ඇති අතර, කොරල් පර හා වෙනත් දේශීය වන ජීවීන් මෙන්ම රටේ සංචාරක කර්මාන්තයට තර්ජන ඇති කරන්නට විය. මොරිෂස් වෙරළ තීරයේ තෙල් කාන්දු වීම හා පරිසර පද්ධතියට තර්ජනය වළක්වා පිරිසිදු කිරීම් කරන්නට සහාය දෙන බව එදා ඔවුන්ට ජපානය පොරොන්දු විය. අද මේ අවදානම අපට අත්විඳින්නට සිදුව ඇත. යම් හෙයකින් මෙම නැව පුපුරා ගියහොත්, තෙල් ටැංකි ගිනි ගතහොත් නැතිනම් මේ නැව වෙරළ තීරයට පාවී ආවොත් එවැනි තත්ත්වයක් දරන්නට අපේ සුන්දර වෙරළ තීරයට හැකිවේද?
මේ සම්බන්ධ අපිට සුළු අත්දැකීමක් ඇත්තේ 2015 වසරේදි ය. ඒ හික්කඩුව මුහුදු තීරයේදි තෙල් ටොන් 200 ක ගිනි ගැනීමය. මෙම තෙල් නැව ගිනි ගෙන පුරා දිනක් ගත වුවද එහි ගින්න පාලනය කිරිමට යම් ආකාරයකින් අපොහොසත් විම මෙහි ඇති භයංකරත්වය තීව්ර කරවන්නට සමත් වන අතර යම් විනාශයක අවදානම මෙම ලිපිය ලියන මොහොත වන විටත් බැහැර වී තිබුණේ නැත. සිකුරාදා උදැසන වන විටත් මෙම නැව නාවික සැතපුම් 38 ක් දුරින් තිබූ නැව නාවුක සැතපුම් 25 ක් දක්වා ගොඩබිම දෙසට පැමිණ ඇති බව වාර්තා වෙයි.
“අපේ අවධානය මුලින්ම යොමු වන්නේ මේ ගින්න නිවීම කෙරෙහියි. මේ වන විටත් නැවේ ස්ථායිතාවය ගැන ගැටලුවක් මතුවෙනවා. ගින්න නිවුණු පසු නැව අපේ වෙරළ තීරයෙන් ඈත මුහුදු කලාපයට ඇඳ ගෙන යායුතු වෙනවා. මේ වන විටත් මුහුදට තෙල් කාන්දු විම වළක්වා ගන්න අපි විවිධ ක්‍රියා මාර්ග ගෙන තියෙනවා. මෙය අපට අලුත් අත්දැකිමක් නිසා විදෙස් විශේෂඥ සහය අවශ්‍ය වෙනවා. මෙම නෞකාවේ ඉන්ධන මුහුදු ජලයට කාන්දු වුණොත් සිදුවිය හැකි හානිය විශාලයි. එය සාගර කලාපයට දැඩි බලපැම් එල්ල කරන්නට පුළුවන්. සමහර විට කාලයත් සමඟ නිසි ක්‍රියාමාර්ග නොගත හොත් ටිකෙන් ටික තෙල් සාගර ජලයට මුසු විය හැකියි. තෙල් කාන්දු වුවහොත් ඒ සඳහා ගත හැකි විවිධ ක්‍රියාමාර්ග අපිට අත් හදා බලන්නට සිදු වෙනවා. සමහර විට බූම් දමා හෝ තෙල් එකතු කරන්නට සිදු වෙනවා. අවම හානි සඳහා වන ක්‍රියා මාර්ග ගැනීමට සිදුවෙනවා. මේ ප්‍රදේශයේ මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් ගැවසෙනවා. තල්මසුන් මෙන්ම ඩොල්ෆින්ලාද විශාල වශයෙන් ගැවසෙන නිසා යම් හෙයකින් තෙල් කාන්දු වුවහොත් මේ ජීවීන් සියල්ල අනතුරේ. ඒ වගේම ලංකාවේ කොරල් පර වලටත් මෙයින් සිදුවන හානිය සුවිශාලයි. වෙරළ කලාපය ආශ්‍රිතව ජීවත් වන ජනතාවට මේ දුම ආඝ්‍රාණය වීම හොඳ නැහැ. මේ තෙල්වලින් පිටවන දුම ඉතා සැරයි. මෙයින් යම් ආකාරයක සමේ රෝග ඇති විමේ අවදානමක්ද පවතිනවා. අපි ධීවරයින්ට කියන්නේ මේ සමීපයට යන්න එපා. අවම තරමින් කිලෝ මීටර 5-6 ක දුරින් හෝ සිටින්න කියා. මෙයට නිරාවරණය වුවහොත් ජීවිත හානි පවා සිදුවිය හැකියි...“ඒ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය, රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ටර්නි ප්‍රදිප් කුමාරය.
![]() |
නාවිකයන් බේරාගනිමින් |
සමුද්‍ර ජීවී අධිකාරිය පවසන්නේ තෙල් කාන්දුවක් සිදුවුවහොත් මුහුදට මුසුවන බොර තෙල් ඉවත් කිරිමට හා මුහුදු වෙරළ පිරිසුදු කිරිමට යන වියදම මෙන්ම සංචාරක කර්මාන්තයට මෙන්ම ධීවර කර්මාන්තයටත් සිදුවන හානියට අදාළ වන්දි එම නැව අයිති සමාගමෙන් අය කර ගැනිමට සිදුවන බවයි.
“ සාගරයට තෙල් මුසු විමෙන් කොරළ් පර, මාළු වර්ග මෙන්ම වෙරළ සියල්ල විනාශයට පත් වෙනවා. හානිය ඇස්තමේන්තු කරන්න අපහසුයි. මේ වගේ අවස්ථාවක කළ යුත්තේ සිදුවන විනාශය අවම කර ගන්න ක්‍රියා මාර්ගගැනිමයි. ගිනි ගන්නා නැව වටේටම බෝයා යොදා තෙල් විසිරි නොයන ලෙසට තාවකාලික වැටක් සකස් කළ යුතුයි. එසේම යම් යම් රසායනික ද්‍රව්‍ය ඉසිමින් තෙල් බෝල බවට පත් කර ගැනීමේ ක්‍රමවේද පවතිනවා. ඉන්පසු එය ඉවත් කර ගැනිම පහසු වෙනවා. ලංකාවේ මීට පෙර නැව්වලින් තෙල් ලීක් වු විට හා නැව් ගිලුණු අවස්ථා වල මේ වගේ දේවල් කළා. කෙසේ වෙතත් ගින්න පාලනය කර ගත හොත් සිදුවිය හැකි හානිය අවම කර ගත හැකියි...“ඒ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේය..
කෙසේ වෙතත් මෙම ලිපිය ලියන මොහොත වන විටත් ගින්න ඇති වීමෙන් පසු සිදුවූ පිපිරීම් වලින් සමඟ නෞකා බඳෙහි ඉරිතැලීම් කිහිපයක් නිරීක්ෂණය වි ඇත. මේ නිසා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අනුමාන කරන්නේ තෙල් පිපිරීමක් ඕනෑම වේලාවක සිදුවිය හැකි බවය. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ යම් හෙයකින් තෙල් විසිරීමක් සිදුවුවහොත් කල්කුඩා, පාසිකුඩා හා ආරුගම්බේ ප්‍රදේශවලට පමණක් නොව වාකරේ හා ත්‍රිකුණාමලයේ පරෙවි දූපත්වලට හානියක් විය හැකියි. ඊට අමතරව තෙල් පහළට පැමිණියහොත් අනිවාර්යයෙන්ම කිරින්ද ප්‍රදේශය දක්වා ම පැතිර යා හැකි බවයි. යම් හෙයකින් තෙල් කාන්දුවක් ඇති වුවහොත් මෙය මේ කලාපයේ ඇතිවූ විශාලම තෙල් කාන්දුව විය හැකි බවට බොහෝ දෙනා අනතුරු අඟවති. තෙල් කාන්දුවක් ඇති වුවහොත් එය වෙරළ කරා ළඟාවීමට පැය තිහක පමණ කාලයක් ගතවන බව ගණන් බලා ඇත.
සිකුරාදා දහවල් වන විටත් ගොඩබිම දෙසට ඇදී එන නැව මුහුද දෙසට ඇඳ ගෙන යාමට කටයුතු කර ඇත.
මේ අතර අනතුරට පත් නෞකාවෙන් මෙරට සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ මෙහෙයුමක් ඔස්සේ අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට සිකුරාදා උපදෙස් ලබා දුන්නේය.