
1936 දී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් මෙම ගුහාව ආශ්‍රිතව සොයා ගත් ධාන්‍ය ඇට හා 2016 දි සිදුකළ කැණීමේ දී මතුකර ගත් ස්වල්ප ලෙස පිළිස්සුණු ධාන්‍ය ඇට මගින් තහවුරු වනුයේ රට අභ්‍යන්තරයේ කඳුකර පළාත්වල ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මිනිසුන් මීට වසර 9000 කට පෙර සිටම දඩයක්කාර ජීවන රටාවකට සමාන්තරව ශාක ආහාර කෙරෙහි නැඹුරුවක් පැවති බවයි
මිනිසා ශිෂ්ටාරවත් ජීවිතයකට යොමු කරවීමට හේතුවූයේ කෘෂිකර්මය සොයා ගැනීම බව යැයි අද ලොව පිළිගත් සම්මත අදහසක් බවට පත්ව ඇත. සතුන් හා ශාක හීලෑ කිරීමෙන් අනතුරුව වනගත ජීවිතයෙන් මිදී ග්‍රාමීය සංස්කෘතියකට අවතීර්ණ වී කෘෂිකාර්මික දිවියකට මිනිසා පෙලඹීම ලොවම වෙනස් කළ හේතු කාරණාවක් විය.
ආචාර්ය ශිරාන් දැරණියගලයන්ගේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණවලින් දක්වන පරිදි අදින් වසර 125, 000 පමණ පෙර සිටම ලංකාව මිනිස් වාසභූමියකි. වසර 13, 000 ක් ඉක්මවන මූලික කෘෂිකර්මාන්තය බටහිර ආසියාවේ බොහෝ පෙදෙස්හි ආරම්භව ලොව පුරා ව්‍යාප්ත වූ බව විද්වතුන්ගේ මතයයි. සිරියාව, ජෝර්දානය, ඉරාකය, තුර්කිය, පලස්තීනය හා ලෙබනනය ආදි පෙදෙස්හි පෞරාණිකත්වය ඉස්මතු වීමට ඉවහල් වූයේ එම රටවල් හිමිකර ගෙන තිබූ කෘෂිකාර්මික දියුණුවයි. ලොව සිදු වූ අති විශාල විප්ලවයක් ලෙස කෘෂිකර්මය සොයා ගැනීම පිළිබඳව විවිධ සාධක මගින් සනාථ වී ඇත. නව ශිලා යුගයේ විප්ලවය ලෙස එය හඳුන්වනු ලබයි.
බටහිර ආසියාවට පමණක් සීමා නොවුණු මෙම නව ශිලා යුගයේ විපල්වීය අදහස නැගෙනහිර ආසියාවේ චීනය, අග්නිදිග ආසියාවේ ඉන්දුනීසියාව, තායිලන්තය හා පැපුවානිව්ගිනියාව ආදි ප්‍රදේශ වලටද ව්‍යාප්ත විය. චීනයේ යැංසි ගංගා ද්‍රෝණියෙහි අදින් වසර 14, 000 කට පෙර වී වගාව ඉතා දියුණු තත්ත්වකය තිබී ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇති අතර එය ලොව දැනට පවතින පැරණිතම කෘෂිකාර්මික සාක්ෂියයි. එමෙන්ම පුරාවිද්‍යාත්මක සාධක අනුව දකුණු ආසියාවේ කෘෂිකාර්මික ජනාවාස අදින් වසර 10, 000 ඉක්මවයි.
බාර්ලි, තිරිඟු වගාව මෙන්ම හීලෑ කරන ලද එළුවා, බැටළුවා සහ ගවයා යනාදිය දකුණු ආසියානු කලාපයේ මූලික කෘෂිකර්මය සඳහා උපයෝගි කරගත් සාධකයන්ය. පරාග විශ්ලේෂණය නම් වූ ක්‍රමවේදය ඔස්සේ මෙවැනි වටිනා තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත. අදින් වසර 13, 000 කට පෙර ධාන්‍ය වගාව ආරම්භ කර දඩයම මූලික වූ වනචාරී ජීවිතයෙන් ක්‍රමයෙන් ඈත්ව යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ශිෂ්ටාචාරයක් ලෙස ගොඩ නැගුණු මෙසපොතේමියානුවේ ජීවත් වූ මිනිසා හඳුන්වා දිය හැකිය. කෘෂිකර්මයේ ආරම්භය ලෙස ලොව මහා හිම අවධිය (ප්ලයිස්ටෝසීනය) පිළිබඳව සාධක සොයාගෙන ඇති අතර වසර 15, 000- 10, 000 අතර කාලවකවානුවේ දී ලොව පුරා විවිධ ස්ථානවල ඇතිවුණු පරිසර වෙනස්වීම් තත්ත්වය හා දේශගුණ විපර්යාසය එසේ කෘෂිකර්මයේ ආරම්භයට හේතුවිය. නවීන පර්යේෂණ වාර්තා අනුව බටහිර ආසියාතික, දකුණු ආසියාතික හා නැගෙනහිර ආසියාතික පෙදෙස්වල සතුන් හීලෑ කිරීම හරහා කෘෂිකාර්මික ජීවන රටාවක් ආරම්භ කොට එය වර්ධනය වූ බව පෙන්වා දෙයි.
ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක හා සෙනෙවි එපිටවත්ත විසින් රචිත පරාග විද්‍යාව (හෝර්ටන් තැන්න හා දකුණු ආසියාවේ අති පුරාණ කෘෂිකාර්මික පරිසරය) නම් ග්‍රන්ථයේ ශ්‍රී ලංකාවේ පුරාණ කෘෂිකර්මය පිළිබඳ නව අදහසක් ඉදිරිපත් කොට ඇත. එනම් පුරාණ ලංකාවේ ජීවත් වූ මිනිසා අදින් වසර 17, 500 කට පමණ පෙර ප්‍රාග් මූලික කෘෂිකර්මය ආරම්භ කර ඇති බව පරාග විද්‍යා පර්යේෂණ තොරතුරු මඟින් තහවුරු කර ඇත.
වනාන්තර ගිනි දමා පුලුස්සා හේන් සකස් කිරීමේ මූලික සංස්කෘතියකට (පැරණිතම හේන් වගාව) මෙරට අතීත මිනිසා අයත්ය. හෝර්ටන් තැන්නේ සිදු කළ පර්යේෂණ අනුව ඒ බව සනාථ වේ. ලංකාවේ අඩි 7000 ට වඩා ඉහළ පිහිටි භූමි ප්‍රදේශවල මීට වසර 13, 000 කට පෙර මූලික කෘෂිබිම් ව්‍යාප්තව තිබුණු බව සඳහන්ය. ඒ බැව් පොසිල පරාග විශ්ලේෂණයෙන් තහවුරු විය
යව හා බාර්ලි (ධාන්‍ය) වගාව ලංකාවේ මූලික කෘෂිකර්මයේ ප්‍රධානතම බෝග වර්ග දෙක බව ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක හොර්ටන් තැන්නේ මීටර් 6 ක් පමණ ගැඹුරින් ලබාගත් පීට් නිධි අතරින් හමු වූ පොසිල වාර්තා අනුව ප්‍රකාශ කරයි. මේ අනුව ලංකාවේ කෘෂිසංස්කෘතික සභ්‍යත්වයේ මූලාරම්භය අනුරාධපුර යුගයටත් වඩා බොහෝ ඈතට දිව යව බව ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලකයන්ගේ අදහසයි. මෙම මූලික බෝග වර්ග දෙක වසර 13, 000 කට පෙර මෙරට ඉහළ කඳුකර බිම් ප්‍රදේශවල වගාකරමින් යම් ආකාරයක ප්‍රාදේශීය ධාන්‍ය සභ්‍යත්වයක් ගොඩ නැංවීමට එකළ ලාංකික ජනයා යෙදු උත්සාහය සුළුපටු නොවන බව ඔහුගේ මතයයි.
ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක සඳහන් කරන්නේ දැනට සිදුකොට ඇති පර්යේෂණවලට අනුව කෘෂිකර්මයේ ආරම්භය (නවශිලා යුගයේ විප්ලවය) හා සම්බන්ධ තොරතුරු ලංකාවේ මෙතෙක් හමු වී ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයක් බවය. ඒ අනුව බොහෝ දෙනා විශ්වාස කළේ මෙරට ජීවත් වූ අතීත මිනිසා මධ්‍යශිලා යුගයේ (ගල් යුගයේ) සිට එක්වරම යකඩ භාවිත වූ කාල වකවානුවට අවතීර්ණ වූ බවය.
මානව වංශ උද්භිද විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ සිදුවන පරාග විශ්ලේෂණ කටයුතුවලට මෙන් ම පෞරාණික ජීව විද්‍යා පර්යේෂණ කටයුතු හා පුරාවිද්‍යා පර්යේෂණවලට ද නවීන පර්යේෂණ අතර ප්රමුඛත්වයක් හිමිව තිබේ. ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්විවිද්‍යාලයේ චාතුර්ථක භූ ගර්භ විද්‍යා පර්යේෂණ ආයතනය, ස්වභාවික විද්‍යා කෞතුකාගාරය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය ඒකාබද්ධව වසර 15 ක් වැනි කාලයක් තිස්සේ හෝර්ටන්තැන්න සහ ඒ තදාසන්නයේ සිදු කරනු ලැබූ පර්යේෂණවලින් නවතම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. මෙම පර්යේෂණයේ මූලික අරමුණ වූයේ ඉන්දියානු සාගර කලාපයේ පහළ ප්‍රදේශවල සිට හමා එන මෝසම් සුළංවල ඇති වීම, ඒවායේ වර්ධනය, ඒවා මගින් මිනිසා සහ පරිසරය මත ඇති කරන බලපෑම් කොපමණ දැයි පරීක්ෂා කිරීම බව ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලකගේ අදහසයි.
පාරිසරික භූ චුම්බක වාර්තා මඟින් පෙන්වා දෙන මානව භූ ඛාදන ක්රියාකාරිත්වයන් ද ලංකාවේ උස්බිම් කලාපයට අයත් මහඑළිය ප්‍රදේශයේ දී මානව ක්‍රියාකාරකම් සිදු වූ බව පෙන්වා දෙන තවත් සාක්ෂියකි. අදින් වසර 17, 500කට පමණ පෙර තණබිම් හා ලඳු කැලෑ ගිනි දමා පුළුස්සා විනාශ කිරීමේ ලක්‍ෂණ විශාල ප්‍රමාණයක් ක්‍ෂුද්‍ර අඟුරු විශ්ලේෂණය, පරාග වාර්තා, ෆයිටොලිත වාර්තා හා පොළොව අභ්‍යන්තරයේ භූ චුම්භණ ගතිගුණ විශ්ලේෂණය කිරීමේ ක්‍රමවේදය හරහා අනාවරණය විය. මිනිස් ක්‍රියාකාරකම් නිසා හෝර්ටන් තැන්නේ බොහෝ බෑවුම් ඛාදනයට ලක් වී ඇති අයුරු තේරුම් ගැනීම සඳහා ද මේ වාර්තා තවදුරටත් වැදගත් වනු ඇත.
හෝර්ටන් තැන්න භූ ගර්භයෙන් ලබා ගත් පස්, අවසාදිත වර්ග හා පීට් නියැදිවල තිබූ පොසිල වාර්තා සහ පුරාණ පරිසර තත්ත්ව වාර්තා මගින් වසර දහස් ගණනකට පෙර පැවැති මෝසම් රටාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හා ලංකාවේ පැවැති පැරණි ධාන්‍ය සභ්‍යත්වය සම්බන්ධව කරුණු අනාවරණය කර ගැනීමට පර්යේෂකයන්ට හැකිවිය.
මානවවිද්‍යාඥ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් මෙරට සංස්කෘතික ඉතිහාසයට අයත් සුවිශේෂී අවදියක් පවතින බව උඩුපියන්ගල්ගේ නමින් හැඳින් වූ බලංගොඩ කල්තොට ප්‍රදේශයේ දියවින්න විහාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික ගල්ගුහාවක සිදු කළ කැණීම අනුසාරයෙන් ප්‍රකාශ කරන ලදී. මෙම කැණීමේ දී ගල්මෙවලම්, පුරාතන වළං සහ සෝගම් ධාන්‍ය ඇට සොයා ගනු ලැබීය. 1936 දී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් මෙම ගුහාව ආශ්‍රිතව සොයා ගත් ධාන්‍ය ඇට හා 2016 දි සිදුකළ කැණීමේ දී මතුකර ගත් ස්වල්ප ලෙස පිළිස්සුණු ධාන්‍ය ඇට මගින් තහවුරු වනුයේ රට අභ්‍යන්තරයේ කඳුකර පළාත්වල ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මිනිසුන් මීට වසර 9000 කට පෙර සිටම දඩයක්කාර ජීවන රටාවකට සමාන්තරව ශාක ආහාර කෙරෙහි නැඹුරුවක් පැවැති බවය.
1991 ආචාර්ය ඩබ්ලියු.එච්. විජයපාලගේ මැදිහත් වීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ආසන්නයේ එබිඳිගල ග්‍රාමයේ පිහිටි දොරවක කන්ද ලෙනෙහි සිදුකළ කැණීමේ දී ශිලා මෙවලම්, අතින් හා සකපුවරුවේ නිපද වූ මැටි බඳුන්, එක් යකඩ උපකරණයක් හා ධාන්‍ය හමු විය. පාංශු ස්ථර 9 ක් යටතේ කැණීමට ලක් වූ දොරවක ලෙනෙහි පස් තට්ටු සම්බන්ධව අනාවරණය වි ඇති සංස්කෘතික නිදර්ශක ලෙස පළමු ස්ථරයෙන් පාෂාණත්, දෙවන ස්ථරය ලෙස ඉතා කුඩා අඟුරු කොටස්, කැකුණ ඇට, මැටි බඳුන් කොටස්, ගල් මෙවලම් අඟුරු හා ධාන්‍යත්, තෙවන ස්ථරය ලෙස ශිලා මෙවලම්, ධාන්‍ය, මැටි බඳුන්, අඟුරු හා කැකුණ ඇටත්, සිව්වන ස්ථරය ලෙස මැටි බදුන්, ශිලා උපකරණ, ධාන්‍ය, අඟුරු හා කැකුණ ඇටත්, පස්වන ස්ථරය ලෙස අඟුරු, ශිලා මෙවලම්, තිරුවාණා, හෙමටයිටුත්, හයවන ස්ථරය ලෙස ශිලා මෙවලම්, මැටි බඳුන් අළු හා අඟුරුත්, හත්වන ස්ථරය ලෙස තිරුවාණා පතුරු, ශිලා මෙවලම්, මැටි බඳුන් හා අඟුරුත්, අටවන ස්ථරය ලෙස ශිලා මෙවලම්, මැටි බඳුන්, ග්රැපයිට් හා අඟුරුත් හා නවවන ස්ථරය ලෙස ශිලා මෙවලම්, මැටි බඳුන්, ග්‍රැනයිට් හා අඟුරුත් දැක්විය හැකිය.
එකළ ගොවීන් වසරකට කන්න දෙකක් හෝ තුනක් වී වගා කර ඇත. වසරකට කන්න දෙකක් වී වගා කිරීම සාමාන්‍ය සිරිත වුව ද ඇතැම් කාලවල දී කන්න තුනම වී වගා කළ බවට සාධක හමුවේ. තෝනිගල පර්වත ලිපියෙහි වී වගා කළ කන්න පිළිබඳව දක්වා තිබේ. මෙම සෙල්ලිපිය සිරි මේඝවණ්ණ රාජ්‍ය කාලයට (ක්‍රි.ව. 301-328) අයත් වන අතර සෙනරත් පරණවිතානයන් එහි ‘‘පිට දඩ හස’’(මහ කන්නය) ‘‘මදෙ හස’’(මැද කන්නය) ‘‘අකළ හස’’ (යල කන්නය) නම් වු ශෂ්‍ය (සංස්කෘත) වාර තුනක් පිළිබඳව සඳහන් කර ඇත. දැනට මහ කන්නය හා යල කන්නය නමින් හඳුන්වන ප්‍රධාන කන්න දෙක පිළිවෙළින් ‘‘පිට දඩ හස’’ ‘‘අකළ හස’’ නමිනුත් එම කන්න දෙක අතරතුර වපුරන ලද තෙවැනි කන්නය ‘‘මදෙ හස’’ හෙවත් මැද හස යනුවෙන් දක්වා තිබේ. සෙල්ලිපිය අනුව රජරට කලාපයේ වැව් ජලය උපයෝගී කොට ගෙන කන්න තුනක් වගා කළ බව පැහැදිලිය. මේ අනුව වැව් ජලයෙන් වසරකට කුඹුරු අස්‌වැන්න තුන්වරක් ගත් බව සනාථ වේ. මෙම සෙල්ලිපිය පිහිටුවන කාල වකවානුව වන විට උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රමවත් වැව් පද්ධතියක් පවතින්නට ඇතැයි යන්න අවබෝධ වේ. තෝනිගල ලිපියෙහි සඳහන් උඳු, මුං වැනි හේන්වල වගා කරන ධාන්‍ය ගැන සඳහන් ව තිබීම හේතුවෙන් ඇතැම් විට අතර මැද කන්නයේ මෙකී ධාන්‍ය වර්ගයන් වගා කරන්නට ඇත. මෙම ලිපියෙහි දී කිරි සහ බුන තෙල් හෙවත් දුන් තෙල් සම්බන්ධව සඳහන්ව තිබීමෙන් අවබෝධ වන්නේ මී ගව සම්පත තත්කාලීන සමාජයේ පවතින්නට ඇති බවය.
මේ අනුව තෝනිගල සෙල්ලිපියෙහි අන්තර්ගත කෘෂි ආර්ථීකය හා සම්බන්ධ තොරතුරුවලට අනුව එකළ ලක්දිව හතරවන සියවසේ රජරට පසෙහි සාරවත් බව, වර්ෂාපතනය, ජල සම්පාදන ක්‍රම සහ පැරණි සිංහල ගොවීන්ගේ ක්‍රියා කලාපය යනාදිය ඇතුළත් වැදගත් වාර්තාවක් ලෙස දැක්විය හැකිය.
සුමංගල විලාසනියෙහි එකළ වගා කෙරුණු මඩ වී හා හැල් වීවලට අමතරව තවත් ධාන්‍ය වර්ග පහක් පිළිබඳව දක්වා ඇත. එනම් ගොධුම, යව, කංගු, වරක හා කුද්රැසක ලෙසය. එම ධාන්‍ය සිඛවළඳ විනිසෙහි දක්වන්නේ ගොධුම (තිරිඟු), යව (බාර්ලි), හමු, තණහාල් හා වරා ලෙසය.
1969 දි අනුරාධපුර ඇතුළු නගරයේ පිහිටි ගෙඩිගේ කළ කැණීමේ දී තහවුරු වූයේ ප්‍රාග් ඓතිහාසික ගල්යුගය, ලෝහ තාක්ෂණය හඳුනා ගත් කෘෂිකාර්මික ජීවන රටාවකට අයත් සංස්කෘතියකට පරිවර්තනය වූ බවය.