‘පුළු­වන් නම් පළාත් සභා අහෝසි කරන්න’ | සිළුමිණ

‘පුළු­වන් නම් පළාත් සභා අහෝසි කරන්න’

මෙවර මහ මැති­ව­ර­ණයේ පරා­ජය පිළි­බ­ඳව ඔබ මොන­වද හිතන්නෙ?

ඇත්තට මේ පරා­ජ­යට හේතුව යහ­පා­ලන රජ­යට එරෙ­හිව පැති කීප­ය­කින් ම එල්ල වී තිබූ චෝදනා කිය­ලයි මම හිතන්නෙ. විශේ­ෂ­යෙන් ජනා­ධි­පති, අග­මැති ලෙස එවක මෛත්‍රී­පාල හා රනිල් අතර ඇතිව තිබූ කඹ ඇඳි­ල්ලෙන් රට අරා­ජික තත්ත්ව­යට ඇද වැටුණා කියල ජන­තාව තුළ යම් මත­යක් ගොඩ­නැ­ඟුණා. ඒ වගේ ම ඇතැම් මාධ්‍ය ආය­තන ආග­මික හා ජාතික වශ­යෙන් වෛරී සංකල්ප ජන­ගත කර­මින් ඒ පිළි­බඳ චෝදනා යහ­පා­ලන රජ­යට එල්ල කර­මින් සංවි­ධා­නා­ත්මක වැඩ­පි‍ළි­වෙ­ළක් දියත් කර තිබුණා. විශේ­ෂ­යෙන් සහ­රාන්ගේ ප්‍රහා­රය පාදක කර­ගෙන යුද සම­යේ­දී­වත් රටේ ඇති නොවූ ආග­මික වෛර­යක් රට තුළ නිර්මා­ණය කළා. මෙවැනි තත්ත්ව­යන් තුළ යහ­පා­ලන රජය රාජ්‍ය සේව­ක­යාට මෙන් ම රටේ සමස්ත ජන­තාව වෙනු­වෙන් දියත් කර තිබූ සියලු යහ­පත් ක්‍රියා­දාම අම­තක කර ජන­තාව යහ­පා­ලන රජය නියෝ­ජ­නය කළ සියලු දෙනාට එරෙ­හිව පෙළ ගැසුණා.

අපේ පැරැණි කිය­ම­නක් තිබෙ­නවා වැපුරූ තර­මට තමයි අස්වැන්න කියලා. මේ ප්‍රති­ඵ­ල­යත් ඔබලා වැපුරූ දෙයට ලැබුණ ප්‍රති­ඵ­ල­යක් කියල පිළි­ගන්නෙ නැද්ද?

මේ මැති­ව­ර­ණ­යේදී අපේ පරා­ජය ඒ විදි­යට විග්‍රහ කරන්න බෑ. මොකද අපි තමයි රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැම්මෙ. සමෘද්ධි සහ­නා­ධාර ඉහළ දැම්මෙ. රට බංකො­ළොත් නොවී ආර්ථි­කය 2015 තිබු­ණට වඩා දෙගු­ණ­යක් දක්වා දියුණු කළේ. අධ්‍යා­පන, සෞඛ්‍යය යන ක්ෂේත්‍ර­වල වැද­ගත් වෙන­ස්කම් ඇති කළේ යහ­පා­ල­නයේ සිටිය අපියි. එහෙම නම් වැපිරූ දේ අනුව ප්‍රති­ඵල ලැබෙ­නවා නම් අපිට ජය ගන්න තිබුණා. නමුත් මෙවර මැති­ව­ර­ණ­යේදී සිද්ධ වුණේ මාධ්‍ය ආය­තන කීප­යක් සංවි­ධා­නා­ත්ම­කව යහ­පා­ල­නය නියෝ­ජ­නය කළ සියලු දෙනාට එළව එළවා පහර දීමත් නිර්දය ලෙස විවේ­ච­නය කිරී­මත් නිසා ජන­තාව යහ­පා­ල­න­යට හවුල් වූ සියලු දෙනාට වෛර කර­න්නට පෙල­ඹ­වී­මයි‍. කුරු­ණෑ­ගල රාජ සභා මණ්ඩ­පය ඩෝසර් කිරීම වැනි දෙයක් යහ­පා­ලන රජ­යෙන් සිදු­වූවා නම් රජය පෙරළා දමන තත්ත්ව­යට රට තුළ උණු­සු­ම්කාරී තත්ත්ව­යක් නිර්මා­ණය කර­නවා. නමුත් ඉකුත් මාස නවය තුළ මේ රජය කළ කී දේ සම්බ­න්ධ­යෙන් ජන මනස අවදි කර­න්නට කිසි­වකු ඉදි­රි­පත් වුණේ නෑ. මේ නිසා ඉදි­රි­යේදී මේ දේවල ප්‍රති­ක්‍රි­යා­වන්ට මේ රජ­යට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඇයි ඔබ පිළි­ගන්නෙ නැත්තේ එදා ඔබ නියෝ­ජ­නය කළ යහ­පා­ලන ආණ්ඩුවේ ඇතැම් ඇමැ­ති­වරු මහ සංඝ­ර­ත්න­යට බෞද්ධා­ග­මට කළ අප­හාස අව­ලාද ඔබ­ලාට මේ ප්‍රති­ඵ­ලය ලබා­ගන්න හේතු වුණා කියලා?

ඔබ ඔය කියන විදි­යට සම­හර ඇමැ­ති­වරු නොවෙ­යිනෙ ආණ්ඩුව කියන්නෙ. රණ­වි­රු­වන් විදුලි පුටු­වට ගෙන යනවා කීවා. එහෙම දෙයක් වුණාද? මේ විදි­යට මේ රටේ ඇතැම් මාධ්‍ය විවිධ කතා ගොතලා ජන­තාව තුළ කම්ප­න­යක් නිර්මා­ණය කළා. මේක එක්තරා විදි­යක සංවි­ධා­නා­ත්මක මාධ්‍ය කූට නාට­ක­යක්. ඒ කූට නාට­ක­ය­ටම මේ ආණ්ඩු­ව­ටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ආණ්ඩු­වට බලය අරන් දෙන්න කැපවූ ජාති­ක­වාදී බල­වේග දැන් කිය­නවා පළාත් සභා අහෝසි කරන්න ඕනේ කියලා. මම කියන්නේ රජ­යට ඒක කරන්න බෑ. තනි සිංහල ආණ්ඩු­වක් හදන්න මේ අයට පුළු­වන්ද? බෑනේ. මේ නිසා ආණ්ඩුව තුළම මත­වාද ගැටී­මෙන් මේ රජ­ය­ටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වූ කූට නාට­ක­යට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පරි­ස­රය සම්බ­න්ධ­යෙන් මහ ආන්දෝ­ල­න­යක් ඇති කළ මේ ආණ්ඩුව දැන් සංව­ර්ධන උපාය මාර්ග ලෙස විශාල වශ­යෙන් පරි­සර පද්ධති විනාශ කර­නවා. ආණ්ඩුව පළමු මාස කීප­යට ඩොලර් මිලි­යන දහ­සක ණය අරන්. මොන­වද කරල තියෙන්නෙ. කිසිම දෙයක් කරලා නෑ. දැන් රටේ ආර්ථි­කය ඍණ අග­යක පව­තින්නෙ. මේ විදි­යට අපිට චෝදනා එල්ල කළ රජ­යට මේ චෝද­නා­ව­ල­ටම මුහුණ දීලා ජන­තාව ගෙන් ඉතා කෙටි කාල­යක් තුළ ප්‍රති­ක්ෂේප වෙන්න සිද්ධ වේවි.

ජන­තාව මේ රජ­යට තුනෙන් දෙකේ බල­යක් ලබාදී ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය කර අලුත් ව්‍යව­ස්ථා­වක් සම්පා­ද­න­යට අනු­මැ­තිය ලබා දීම ඔබ දකින්නෙ කොහො­මද?

මේ අය ජන­තා­වට කිව්වට ව්‍යවස්ථා සංශෝ­ධ­න­යක් වෙනවා කියල කව­දා­වත් අලුත් ව්‍යව­ස්ථා­වක් හදන්නෙ නෑ. රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ වුව­මනා ඉටු කර ගන්න 19 සංශෝ­ධ­නය වෙනස් කරල 20 වැනි සංශෝ­ධ­න­යක් ගෙනල්ලා සම්මත කර ගනියි. හැබැයි අලුත් ව්‍යව­ස්ථා­වක් හදන්නෙ නෑ.

ඔබ එවැනි නිග­ම­න­ය­කට එළ­ඹෙන්නෙ කුමන සාධක පද­නම් කර­ගෙ­නද?

ඔබ දන්නවා 2012 දිත් මේ අයට තුනෙන් දෙකේ බල­යක් පාර්ලි­මේ­න්තුවේ ලබා­ගන්න පුළු­ව­න්කම තිබුණා. ඒ කාලෙත් ව්‍යව­ස්ථාව වෙනස් කර­නවා කියල කීවා. නමුත් කළාද? එදත් ඔය කට්ටිය කීවේ පළාත් සභා අහෝසි කර­නවා කියලා. විධා­යක ජනා­ධි­පති ධුර­යත් අහෝසි කර­නවා කීවා. නමුත් මොන­වද කළේ. 18 වැනි සංශෝ­ධ­නය ගෙනල්ලා තවත් අවු­රුදු පහ­කට බලය ඉල්ලන්න අව­ස්ථාව හදා ගන්න එක විත­රයි. මෙව­රත් ‍ඒ ටිකම කිය­නවා. ඔය කියන විදි­යට පුළු­වන් නම් පළාත් සභා අහෝසි කරන්න කියන්න. මම කියන්නේ මේ අයට ඒක කරන්න බෑ කිය­ලයි. ජාති­ක­වාදී බල­වේග මේ වාගේ සුරං­ගනා කතා කිය­මින් තම­නුත් රැව­ටෙන ගමන් ජන­තා­වත් රව­ට­නවා.

ඔබ කියන්නේ ව්‍යව­ස්ථාවේ 13 වැනි සංශෝ­ධ­නය තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක විය යුතුයි කිය­ලද?

මම කියන්නෙ නෑ 13 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක වෙන්න ඕනේ කියලා. දැන් යෝජනා වෙලා තියෙ­න්නෙත් ඒක අහෝසි කරන්න ඕනෑ කිය­ලනෙ. මමත් කියන්නේ එය අහෝසි කරන්න කිය­ලයි. නමුත් මේ ආණ්ඩුව ඒක අහෝසි කරන්නෙ නෑ. ආණ්ඩු­වට ඒක කර­න්නත් බෑ.

මහ­ජන ඡන්ද­ය­කින් එකම නියෝ­ජි­ත­යෙ­කු­වත් පත් කර ගන්න බැරි වූ එජා­පයේ නාය­ක­ත්ව­යට ඔබ­ටත් යෝජනා ලැබුණා කියල ආරං­චියි?

අනේ නෑ. ඒක පට්ට­පල් බොරු­වක්. එජා­පය තව­දු­ර­ටත් නාය­ක­යන් මාරු කරල ගොඩ­දාන්න පුළු­වන් පක්ෂ­යක් නොවෙයි. නාය­කයෝ අලු­තින් පත් වුණා කියලා පක්ෂය පුන­ර්ජී­ව­නය වෙන්නෙ නෑනේ. දැන් එජා­පය දේශ­පා­ලන වශ­යෙන් අව­සන් ගමන් යන්න සූදා­න­මින් ඉන්නෙ. ඒක වළක්වා ගන්න ඔය මොන දේ කළත් වැඩක් නෑ.

සමඟි ජන බල­වේ­ගය ආක්‍ර­ම­ණය කරල එය ඔබලා යටත් කර ගන්න හද­නවා කියල ඔබේම පක්ෂයේ අය කිය­නවා. ඒක බොරු­වක්ද?

එජා­පය නාමි­කව වෙනම තරග කළත් එජාප පාක්ෂි­ක­යින් 95% ක් ඡන්දය දුන්නෙ සමඟි ජන බල­වේ­ග­ය­ටයි. ඒ නිසා ජන­තා­වගේ පැත්තෙන් තව­දු­ර­ටත් එජා­ප­යක් අපේක්ෂා කරන්නෙ නෑ. ඒක රනිල් වික්‍ර­ම­සිංහ මහතා සමඟ අහෝසි වෙලා තිබෙන්නෙ. මින් ඉදි­රි­යට එජා­පය මැති­ව­රණ දේශ­පා­ල­නයේ නෑ. එජා­පය දේශ­පා­ලන වශ­යෙන් පරා­ජය වුණා නොවෙයි. ඒක නාය­යා­මක්. ඒ නිසා නැවත එජා­පය ගොඩ එයි කියල හිතන්න බෑ. කොයි මො‍ෙහා­තක හෝ එජා­පය සමඟි ජන බල­වේ­ගයේ සාමා­ජික පක්ෂ­යක් විදි­හට කට­යුතු කරන ඉල්ලී­මක් ඉදි­රි­පත් වුණොත් ඒ ගැන ඒ වෙලාවේ හැටි­යට කතා කරලා සලකා බලන්න පුළු­වන්. එජා­ප­යට මේ ඉර­ණ­මට මුහුණ දෙන්න සිද්ධ වුණේ රනිල් වික්‍ර­ම­සිංහ මහතා නිසයි. ඔහු ඊට වග­කි­ව­යු­තුයි. එවැනි නාය­ක­යින් සමඟි ජන බල­වේ­ග­යට සම්බන්ධ කර ගන්න අපි සූදා­නම් නෑ. නමුත් පාක්ෂි­ක­යින් සියලු දෙනාම අපි එකතු කර ගන්න කට­යුතු කර­නවා.

හෙළ උරු­මය තමයි මේ රටේ ජාති­ක­වාදී දේශ­පා­ල­න­යට ආර­ම්භ­යක් දුන්නේ. එහෙම කළ ඔබලා මේ මැති­ව­ර­ණ­ව­ලදී ජාති­ක­වා­දීව කට­යුතු කරල ජය­ග්‍ර­හ­ණය කළා යැයි ආණ්ඩු­වට දොස් කියන්නෙ ඇයි?

අපි ජාති­ක­වාදී දේශ­පා­ල­නය වැර­දියි කියන්නෙ නෑ. අපි කියන්නෙ ඒ සඳහා තෝරා­ගෙන තිබෙන පුද්ග­ලයෝ ජාති­ක­වාදී නෑ. ඔවුන් සිංහ­ල­ක­මට හෝ බෞද්ධ­ක­මට අවංක නෑ. තව කෙටි කාල­ය­කදී ජන­තාව මේ සත්‍යය තේරුම් ගනීවි‍.

ජාති­ක­වාදී දේශ­පා­ල­න­යෙන් ඔබ­ලට ජය ගන්න බැරි වුණේ ඇයි?

කවුද කියන්නෙ අපි ජය­ගත්තේ නෑ කියලා. ප්‍රභා­ක­රන් පරා­ජය කරන්න මුල් වුණේ කාගේ දේශ­පා­ල­නය ද? අපි ජාති­ක­වාදී දේශ­පා­ල­නය මෙරට තුළ ක්‍රියා­ත්මක කරන්න පටන් ගත්තේ ඇත්ත අන­තු­රක තියෙන වේලා­ව­කයි. කාල­තු­ව­ක්කු­වෙන් රට කඩල වෙන් කරන බල­වත් අන­තු­රක් තිබෙන වේලා­වක ජාති­ක­වාදී දේශ­පා­ල­නය නිසා අපිට පුළු­වන් වුණා ජන­තාව තුළ මේ සිංහල අපේ රට කියන මතය ගොඩ නඟන්න. රණ­වි­රු­වන්ට ශක්ති­යක් වුණේ ඒක. ඒ ජාති­ක­වාදී දේශ­පා­ල­නයේ ප්‍රති­ඵ­ලය තමයි අද වෙන කොට මෙරට සිංහල බෞද්ධ රටක් කියන මත­වා­දය ලෝක පූජි­තව තිබෙන්නෙ. එදා අපේ ජාති­ක­වා­ද­යයි. දැන් ජාති­ක­වා­දය කර­පින්නා ගත් අයගේ ක්‍රියා­කා­ර­ක­මුයි සංස­න්ද­නය කරන්න බෑ. නමුත් පොහො­ට්ටුව ජාති­ක­වාදී රැල්ලක් නිර්මා­ණය කළා. නමුත් ඒක ප්‍රා‍යෝගි­කව ක්‍රියා­ත්මක කරන්න බෑ. පුළු­වන් නම් 13 වැනි සංශෝ­ධ­නය අහෝසි කරන්න කිය­ලයි මම කියන්නෙ. එහෙම කර­නවා නම් අපිත් ඒකට සහය දෙනවා.

ජාති­ක­වාදී දේශ­පා­ල­නයේ යථා­ර්ථය විදි­යට ඔබ පෙන්වා දෙන්නේ මොන­වාද?

ජාති­ක­වාදී දේශ­පා­ල­නය අපේ රටේ විටින් විට මතු­වන ඇතැම් කරුණු පරා­ජය කරන්න හේතු වෙනවා. ප්‍රභා­ක­රන් පරා­ජය කරන මාන­සි­ක­ත්වය වර්ධ­නය වුණේ ජාති­ක­වාදී දේශ­පා­ල­නය නිසයි. අපේ රට පෙඩ­රල් රටක් බවට පත් කරන්න තිබූ ඇත්ත අන­තුර එම­ඟින් විනාශ වුණා. ජාති­ක­වාදී දේශ­පා­ල­නය තුළ වුවත් අපේ රටේ වෙනත් ජාතීන් හෝ ආග­මි­ක­යන් කොන් කිරීම සාධා­රණ නෑ. ජවිපෙ කොන් කළාම ඔවුන් කැලෑ වැදිලා සටන් කළා. ඒ වාගේ මුස්ලිම් දෙමළ මේ කොයි ජාතිය කොන් කළත් අව­සා­නයේ අර­ගල ඇති වෙන්න පුළු­වන්.

ජනතා කේන්ද්‍රීය ආර්ථික රටා­වක් සඳහා ආණ්ඩුව අලු­තින් පත් කරපු ඇමැති මණ්ඩ­ලය ශක්ති­මත් කියල ඔබ හිත­න­වාද?

මේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩ­ලය පත් කර තිබෙන ආකා­රය පිළි­බ­ඳව අපිට හිනා යනවා. අලි වැට හා අගල් ඇමැති, මැටි ඇමැති වැනි මේ විදියේ ඇමැති මණ්ඩ­ල­යක් පත් කරලා ආණ්ඩුව ඇත්ත ප්‍රශ්නය යට කරලා ජන­තාව රව­ට්ටන්න හද­නවා. ඉස්ස­රත් අනෙ­කුත් අමා­ත්‍යාංශ හරහා ‍ඔය දේවල් කෙරුණා. මීට පෙර තඹ කර්මා­න්තය, වේවැල් කර්මා­න්තය, මැටි කර්මා­න්තය කෙරුණේ නැද්ද? එදා රජයේ ඇමැ­ති­ව­ර­යෙක් විදි­යට මම ‘ගජ මිතු‍රෝ’ කියල සංවි­ධා­න­යක් බිහි කළා. එම­ඟින් තමයි ඔය අලි වැට­වල් අගල් කැපිලි සකස් කළේ. ඒ කට­යුතු වන­ජීවී අමා­ත්‍යාං­ශය යටතේ කෙරුණා. ඒකට වෙනම ඇමැ­ති­ක­මක් අවශ්‍ය වුණේ නෑ. එදා අමා­ත්‍යාංශ යටතේ තිබුණ ආය­තන නමින් අද අමා­ත්‍යාංශ පිහි­ටු­වලා. බල­ගතු අමා­ත්‍යාංශ සුළු පිරි­සක් අතට අර­ගෙන අනෙක් අය සන්තෝෂ කරන්න මේ පුංචි පුංචි විෂ­ය­යන්ට ඇමැති කම් දීලා. මේ කිසිම කෙනෙක් තමන්ට ලැබුණු අමා­ත්‍යාං­ශයේ නම­වත් තමන් ගේ ඡන්ද දාය­ක­යාට කියන්න ලජ්ජා වෙන තත්ත්ව­ය­කයි ඉන්නෙ. මේකෙන් ජනතා කේන්ද්‍රීය ආර්ථි­ක­යක් ගොඩ­න­ඟ­න­වාට වඩා ජනතා නියෝ­ජි­ත­යින් අව­ධා­න­ය­කට පත් කර තිබෙන බව සඳ­හන් කරන්න ඕනේ.

පක්ෂ දේශ­පා­ල­න­යෙන් ඔබ්බට ගොස් ජාතික දේශ­පා­ල­නය ගැන කතා කරද්දී කව­දාද මේ දේශ­පා­ලන කඹ ඇදීම නැතිව රට ගැන හිතන දේශ­පා­ල­න­ඥ­යින් බිහි කරන්නෙ?

යහ­පා­ලන රජය ඔබ කියන ජාතික දේශ­පා­ල­නය මෙරටේ ස්ථාපිත කරන්න විශාල උත්සා­හ­යක් ගත්තා. ශ්‍රීල­නිප හා එජාප එක­තුව ඒක කරන්න මග හදා ගත්තා. නමුත් ජන­පති අග­මැති අතර ඇතිවූ මත­බේද දිග් ගැසී­මෙන් මේ රටේ ජාතික දේශ­පා­ල­නය වෙනු­වට පක්ෂ දේශ­පා­ල­නය සඳහා තවත් අලුත් පක්ෂ­යක් බිහි වුණා. ඒ තමයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ. අපි මේ රජය කරන හොඳ දේට සහය දෙනවා. අතුරු සම්මත ගිණුම අනු­මත කර­න්නත් අපි සහය දුන්නා. අපි කියන්නේ ජන­තා­වාදී රටට හිතැති ඕනෑම දේකට අපි රජ­යට සහය දෙන්න සූදා­නම් කිය­ලයි.

Comments