
පසුගිය ඉරුදින ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා විය. 12 වැනියා ලෙස කොරෝනා හේතුවෙන් මිය ගියේ කුරුණෑගල වෑඋඩ පදිංචි වී සිටි එෆ්. ආර්. රිසානා නම් 47 හැවිරිදි කාන්තාවයි. පිළිකා රෝගයට ගොදුරු වී සිටි ඈ ඉන්දියාවේ ගොස් තිබුණේ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමටය. මීට අමතරව ඈ දියවැඩියා රෝගයෙන් ද පෙළුණු කාන්තාවකි. අගෝස්තු 20 වැනිදා ලංකාවට පැමිණි ඇයව ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයෙහි නිරෝධායනයට ලක් කර තිබුණි. එහිදී ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. ඉන් අනතුරුව ඇයව අංගොඩ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරනු ලැබීය. 23 වැනි ඉරිදා පෙරවරුවේ ඈ මිය ගියාය. එදින ම පස්වරුවේ ඇගේ අවසන් කටයුතු අන්තර්ජාතික නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කොටිකාවත්ත සුසානභූමියේදි සිදු විය.
ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වූයේ 11 වැනි කොරෝනා මරණය වාර්තා වී දින 83කට පසුව වීම විශේෂත්වයකි. 11 වැනි කොරොනා මරණය සිදු වූයේ ජුනි 01 වැනිදාය. ඔහු ද කුරුණෑගල රිදීගම කටුපිලගොල්ල ග්‍රාමයේ පදිංචිකරුවෙකි. ඔහු කුවේට් සිට මෙරටට පැමිණ තිබුණේ මැයි 16 වැනිදාය. මින්නේරිය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ මැයි 26 වැනිදාය. එනම් ඔහු මෙරටට පැමිණ 10 වැනි දිනයේදීය. ඉන්පසුව ඔහුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කෙරිණි. දියවැඩියාව රෝගයෙන් පෙළුණු ඔහු ඊට දින 2කට පසුව අසාධ්‍ය තත්ත්වයට පත් වූ බැවින් මැයි 28 වැනි දින ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර ජුනි 01 වැනිදා අලුයම ඔහු මරණයට පත් විය. 45 හැවිරිදි වියේ පසු වූ ඔහු සූපවේදියකු ලෙස සේවය කර ඇත. ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුකූලව හෝමාගම සුසානභූමියේදි ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරිණි.
10 වැනි කොරෝනා මරණය මෙරටින් වාර්තා වූයේ මැයි 25 වැනිදාය. එනම් 11 වැනි මරණයට දින 06කට පෙර ය. ලංකාවේ 10 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වී තිබෙන්නේ 51 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය ද කුවේට් සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකි. ඇය හෘද රෝගයෙන් පෙළුණු කාන්තාවක බ ව අනාවරණය වී ඇත.
10 වැනි කොරෝනා මරණය සිදු වීමට දින 20කට පෙර, එනම් මැයි 05 වැනි දින ලංකාවේ 9 වැනි කොරෝනා මරණය වාර්තා විය. ඊට ගොදුරු වූයේ මෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. 52 හැවිරිදි වියේ පසු වූ ඈ මාසයක පමණ කාලයක් අසනීප තත්ත්වයෙන් පසු වී තිබේ. මැයි 04 වැනි දින ශ්වසන රෝගි තත්ත්වය උත්සන්න වීමෙන් ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. එහිදී ඈ කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බව තහවුරු විය. ඉන් අනතුරුව මැයි 05 දා අලුයම 1.00ට ඇයව අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. එදින දවල් 12.50ට පමණ ඈ මිය ගියාය.
ඈ මරණයට පත්වීමට පෙර දින, එනම් මැයි 04 වැනි දින ද කොරෝනා හේතුවෙන් කාන්තාවක් මිය ගියාය. එම මරණය වාර්තා වන්නේ 8 වැනි මරණය ලෙසිනි. ඈ පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි. කොරෝනා රෝගයට ගොදුරු වීමත් සමඟ හෝමාගම මූලික රෝහලට ඇයව ඇතුළත් කර තිබේ. වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් සිටි ඇයට රෝගි තත්ත්වය සහ වෘද්ධභාවය නිසාම ජීවිතෙයන් සමු ගැනීමට සිදු වූයේ කොරෝනා සමඟ සටන් වැදීමට අසීරු වීමෙනි.
ලංකාවේ 7 වැනි කොරෝනා මරණය ලෙස සටහන් වී තිබෙන්නේ මෙරට වැඩි වශයෙන් කතාබහට ලක් වූ අයකුගේ මරණයයි. ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකි. ඔහු මිතුරන් සමඟ ව්‍යාපාරික අවශ්‍යතාවකට විදේශගත වී මෙරටට පැමිණීමෙන් පසු පුද්ගලික රෝහලක රසායනාගාරයකින් කොරෝනා වැළඳී ඇතිදැයි පරීක්ෂා කර ගෙන තිබිණි. එහිදි ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු විය.
එහෙත් ඔහු ඒ බව සඟවා ගෙන සිය පවුලේ සාමාජිකයන් හා මිතුරන් සමඟ සාමාන්‍ය ලෙස දිවි ගෙවීය. අවසානයේදී පොලිස් නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහු සොයා රැගෙනවිත් අංගොඩ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරනු ලැබීය. 44 හැවිරිදි වියේ පසු වූ ඔහු රෝගය වැළඳුණු බව දැනගත් වහාම රෝහල්ගත වූයේ නම් සමහරවිට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබිණි. ඔහුගේ බිරිඳටත් දරුවකුටත් මිතුරකුටත් ඔහුගෙන් කොරෝනා ආසාදනය වී තිබූ නිසා රෝහල්ගත කෙරුණු අතර ඔවුහු සුවය ලබා රෝහලෙන් පිටව ගියහ. මෙම පුද්ගලයාගේ මරණය, ලංකාවේ 7 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වූයේ අප්‍රේල් 09 වැනිදාය.
ඊට දින 3කට පෙර, එනම් අප්‍රේල් 06 වැනිදා 6 වැනි කොරෝනා මරණය වාර්තා විය. මෙලෙස මිය ගියේ 80 හැවිරිදි දෙහිවල පදිංචිකරුවෙකි. ඔහුට කොරෝනා ආසාදනය වූ බව තහවුරු වූ පසුව අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කරනු ලැබීය. එහිදී ඔහු මරණයට පත්විය.
ලංකාවේ 5 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වූයේ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලැබූ 44 හැවිරිදි පුද්ගලයෙකි. ඉතාලියේ සිට පැමිණි ඔහු නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් මරණයට පත් විය. ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ මරණය වැලිකන්ද රෝහලේ කොරෝනා නිසා මිය ගිය පළමු මරණය ලෙස සටහන් වී තිබේ. 5 වැනි කොරෝනා මරණය අප්‍රේල් 04 වැනිදා සිදු විය.
ඊට දින 2 කට පෙර, එනම් අප්‍රේල් 02 වැනි දින ලංකාවේ 4 වැනි කොරෝනා මරණය වාර්තා විය. මෙලෙස මරණයට පත් වූයේ 58 වැනි වියේ පසු වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචි හේමාල් සිල්වා නමැත්තාය. ඔහු බිරිඳ සමඟ ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී ඉතාලියෙන් පැමිණ කලහකාරි ලෙස හැසිරුණු ශ්‍රී ලාංකිකයන් පිරිසකට මැදි වූ බව ඔහු පවසා තිබේ. ඒ අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට අනුමාන කෙරිණි. හේමාල් සිල්වාත් ඔහුගේ බිරිඳත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අංගොඩ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරනු ලැබීය. හේමාල් සිල්වා මිය ගිය අතර ඔහුගේ බිරිඳ සුවය ලබා නිවසට ගියාය.
ශ්‍රී ලංකාවේ 3 වැනි කොරෝනා මරණය ලෙස සටහන් වී තිබෙන්නේ අප්‍රේල් 01 වැනිදා මරණයට පත් වූ මරදානේ පදිංචි මුස්ලිම් ජාතික පිරිමියකුගේ මරණයයි. 72 හැවිරිදි ඔහු ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට කොරෝනා වැළඳී ඇති බව තහවුරු විය. ඉන්පසුව ඔහුව අංගොඩ අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනිණි. එහෙත් අප්‍රේල් 01 වැනිදා රාත්‍රියේ ඔහුව රෝහලට ඇතුළත් කිරීම සඳහා බාහිර රෝගි අංශයේ තබාගෙන සිටින අවස්ථාවේදී ඔහු මරණයට පත් විය. අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු අකර්මන්‍ය වීම වැනි රෝග ගණනාවකින් පෙළුණු ඔහුගේ අවසන් කටයුතු මුල්ලේරියාව උඩුමුල්ල ආදාහනාගාරයේදී සිදු කෙරිණි.
ඊට දින 2කට පෙර, එනම් මාර්තු 30 වැනි දින ශ්‍රී ලංකාවේ 2 වැනි කොරෝනා මරණය වාර්තා විය. ඔහු මීගමුව පෝරුතොට පදිංචි වී සිටි මොහොමඩ් ජමල්ඩීන් නමැති මුස්ලිම් ජාතිකයෙකි. ශ්වසන ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා මීගමුව පෞද්ගලික රෝහලකට ගිය ඔහුව පුද්ගලික රෝහලෙන් මීගමුව මූලික රෝහලට එවා තිබිණි. මීගමුව රෝහලේ 20 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ ඔහුගේ රෝගි තත්ත්වය අසාධ්‍ය වූ බැවින් දැඩි සත්කාර ඒකකයට මාරු කරනු ලැබීය. ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ මාර්තු 30 වැනිදා පස්වරුවේය. ඔහුව අංගොඩ අයි. ඩී. එච්. රෝහලට මාරු කිරීමට පෙර මීගමුව රෝහලේදි මරණයට පත් විය. ඔහු මුස්ලිම් ජාතිකයකු වුවද මීගමුව මඤ්ඤොක්කාහේන සුසාන භූමියේදි ආදාහනය කෙරුණේ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසිවලට අනුවය. විදේශයක සිට මෙරටට පැමිණි කිසිවකු ඔහු සමීපව ඇසුරු කර නොතිබුණද මිය යෑමට දින 20කට පෙර යාපනයේ සංචාරය කර ඇති බවත් එහිදී කොරෝනා වයිරසය ශරීරගත වන්නට ඇති බවත් අනුමාන කෙරිණි.
ලංකාවේ ප්‍රථම කොරෝනා මරණය ලෙස වාර්තා වී තිබෙන්නේ මාරවිල හාල්දඬුවන ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ මරණයයි. ඉලංගපේඩිගේ ධර්මසිරි ජනානන්ද නම් ඔහු 60 හැවිරිදි වියේ පසුවන සංචාරක මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කළ අයෙකි. අවසාන වතාවට ජර්මන් ජාතික සංචාරකයන් පිරිසකට මඟ පෙන්වූ ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වූයේ එකී සංචාරකයන්ගෙන් යැයි අනුමාන කෙරිණි. ඔහු ලංකාවෙන් වාර්තා වූ 4 වැනි කොරෝනා රෝගියාය. අංගොඩ අයි. ඩී. එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණේ දියවැඩියා රෝගයෙන් පෙළුණු ඔහුට වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් ද කර තිබූ නිසාය. එහෙත් මාර්තු 28 වැනි දින ඔහු මරණයට පත් වූයේ ලංකාවේ ප්‍රථම කොරෝනා මරණය ලෙස වාර්තාවක් තබමිනි. කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාරයේදි අන්තර්ජාතික නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව ඔහුෙග් අවසන් කටයුතු සිදු කෙරිණි.
ලංකාවේ මෙතෙක් සිදු වූ කොරෝනා මරණ ගැන විමසා බැලීමේදී 9 වැනි මරණයෙන් පසුව සිදු වූ මරණ අතර යම් කාල පරතරයක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මුල් මරණ 7ම වාර්තා වී තිබෙන්නේ දිනයක්, දින දෙක තුනක් වැනි ඉතා කෙටි කාල පරතරයක් තබමිනි. මේ අනුව ශ්‍රී ලංකාව කොරෝනා රෝගය ඉතා සාර්ථකව පාලනය කළ බව පැහැදිලිව දැක ගත හැකිය.