
දැන් හැමදේම සාමාන්‍යයි, අපිට හිතෙන්නෙත් එහෙමයි. ඒත් තවමත් කොරෝනා වයිරසය නිසා සාමාන්‍ය වෙන්න බැරි රටවල් ලෝකයේ ඇත. ඔවුන්ගේ දවස ගෙවෙන්නේ බොහෝ ආරක්ෂාකාරී ලෙසිනි. අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්නට ඔවුහු එළියට නොබසින යුගයක අපේ රටේ රාජ්‍ය නාට්‍ය උලෙළ සාර්ථක ලෙසින් පැවැත්වීම ම පැසසිය යුත්තකි. මේ කොරෝනා සමයේ ආර්ථික වශයෙන් කඩා වැටීමට ලක්ව සිටින නාට්‍යකරුවන් වෙනුවෙන් හා වේදිකා නාට්‍යයට ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් 15 දින දක්වා පැවැත්වෙන ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ සංවිධානය කරනු ලැබුවේ ටවර් හෝල් රඟහල පදනම විසිනි. අගෝස්තු 19 වැනිදා ආරම්භ වූ මෙම නාට්‍ය උලෙළ සැප්තැම්බර් මස 15 දා දක්වා ටවර් රඟහලේ සහ එල්ෆින්ස්ටන් රඟහලේ දී දිනපතා සවස 3.30 හා සවස 6.30 ලෙස දර්ශන වාර දෙකක් පැවැත්වේ.
ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ නාට්‍ය මෙන්ම සම්මාන දිනූ ආධුනික නාට්‍ය ශිල්පීන්ගේ නාට්‍යද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. ප්‍රේක්ෂා පළවෙනි නාට්‍ය උලෙළට ද සහභාගි වී සිටින ඇය දෙවන නාට්‍ය උලෙළේදීද සිය නාට්‍යයක් වේදීකා ගත කිරීම සඳහා මේ දිනවල සූදානමින් සිටි. ඇය ප්‍රවීණ කලාකාරිනි රම්‍යා වනිගසේකරය.
“ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ ගැන අපට හරිම සතුටුයි. පළවෙනි නාට්‍ය උලෙළේදි අපට කැලණි පාලම නාට්‍ය පෙන්වීමට අවස්ථාව ලැබුණා. දෙවැනි නාට්‍ය උලෙළටත් සම්බන්ධ වීමට අපට අවස්ථාව ලැබුණා. සැප්තම්බර් අට වෙනිදා වේදිකා ගතවන්නේ ආර්. ආර්. සමරකෝන් ගේ අහසින් වැටුණ මිනිස්සු නාට්‍ය. මේ නාට්‍ය ඒ යුගයෙත් බොහෝම ජනප්‍රිය වුණා. මම හිතනවා මේ යුගයෙත් ඒ නාට්‍යට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා. මේ නාට්‍යයට 1971 අවුරුද්දේ දී රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය ලෙස සම්මාන ලැබුණා. එහි ප්‍රධාන චරිතය රඟපෑ චන්ද්‍ර කළුආරච්චි තමයි හොඳම නිළිය වුණේ. හොඳම නළුවා ලෙසින් තේරුණේ රංජිත් යාඉන්න. මේ නාට්‍යයේ චරිත පහයි තියෙන්නේ. තිලක් කුමාර රත්නායක, ගීතා කාන්ති ජයකොඩි, වික්‍රම සෙනෙවිරත්න සහ මම තමයි මෙහි රඟපාන්නේ. කොහොම වුණත් පහුගිය කොරෝනා කාලයේ අපට අපේ නාට්‍ය පෙන්වා ගන්නට බැරිව ගියා. එවන් කාලයක ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ අපට ආශිර්වාදයක් වගෙයි. මෙය ඉතාම සාර්ථකයි. මින් ඉදිරියට හැම වසරකම මෙවැනි නාට්‍ය උලෙළ පැවැත් වෙනවා නම් ඉතා ම අගෙයි”රම්‍යා පවසන්නේ සතුටෙනි.
මීට දශක කිහිපයකට පෙර වේදිකා නාට්‍යවලට මෙරට තිබුණේ ඉහළ ඉල්ලුමකි. නමුදු කාලයත් සමඟ වෙනත් කලාවන් ඉදිරියට ඒමත් විවිධාකාර හේතුන්ගේ බලපෑමත් සමඟ වේදිකා නාට්‍ය සඳහා තිබූ ජනප්‍රියත්වය ක්‍රමයෙන් අඩු වන්නට විය. ඒ සියල්ලටම වඩා පසුගිය කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ සියල්ල උඩු යටිකුරු විය. බොහෝ කලාකරුවන්ට සිදු වූයේ දවස නිකම්ම ගෙවා දැමීමටය. ඇතැමුන්ට තිබූ ආදායම් මාර්ගයත් ඇහිරී ගියේය. සෘජුවම වේදිකා නාට්‍ය නළු නිළියන්ට, නිෂ්පාදකවරුන්ට පමණක් ඒ වටා සිටි බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග ඇහිරි ගියේය.
එවන් කාල වකවානුවක ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ පැවැත්වීම පිළිබඳ ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රියංකර රත්නායකයන් මෙසේ අදහස් දැක්වීය.
“මගේ නාට්‍ය “රතු වෙස් මුහුණ“ වේදිකා ගතවුණේ පසුගිය බදාදා. මේ කොරෝනා කාලයේ ශාලාව පිරෙන්න ජනතාව පැමිණීම සතුටක්. ටවර්හෝල් වේදිකාවත්, එල්ෆින්ස්ටන් වේදිකාවත් නාට්‍යකරුවන්ට ලබා දුන්නේ නොමිලේ. එය විශේෂ අවස්ථාවක්. ප්‍රේක්ෂා පළමු නාට්‍ය උලෙළේදී තවත් සහන දී තිබුණා. අපි එය අගය කළ යුතුයි. මගේ නාට්‍ය වේදිකා ගත වූ දවසේම තමයි ටවර් හෝල් එකේ හෙන්රි ජයසේනයන්ගේ කුවේණි නාට්‍යය වේදිකා ගත වුණේ. මට දැන ගන්න ලැබුණා ඒ නාට්‍යයටත් ශාලාව පිරෙන්න සෙනඟ පැමිණිය බව. මේක හොඳ ප්‍රවණතාවක් ලෙසයි මම දකින්නේ. නාට්‍යකරුවන් විදිහට මෙය අපට විශාල සතුටත්. ටවර්හෝල් පදනමත් එහි අධ්යක්ෂ ඩග්ලස් සිරිවර්ධන මහත්මයාත් මේ ගැන දක්වන උනන්දුව සහ කැපවීම අගය කළ යුතුයි. මේ නාට්‍ය උලෙළේදී තරුණ නාට්‍යකරුවන්ටත් ඔවුන්ගේ නාට්‍ය පෙන්වීමට අවස්ථාව දී තිබෙනවා. නමුත් මට හිතෙනවා මේ තරුණ නාට්‍යකරුවන්ට ප්‍රවීණයන්ට මෙන් ප්‍රේක්ෂකයෝ ඉඳීවිද කියලා. එහෙම වුණොත් ඔවුන් මේ කලාව අතහරින්න පුළුවන්. නාට්‍යයක් වෙනුවෙන් දරන වියදම ඔවුන්ට දරාගන්න අපහසුයි. ඒ නිසා මම මෙහිදී ඉල්ලීමක් කරන්න කැමතියි තරුණ නාට්‍යකරුවන්ටත් පළමු ප්‍රේක්ෂා නාට්‍ය උලෙළේදී අනෙක් නාට්‍යකරුවන්ට දුන් සහනයන්ගෙන් ටිකක්වත් ලබා දෙන්න කියලා. පාසල්වල උසස් පෙළ විභාගය සඳහා නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න දරුවන් නාට්‍ය බැලීමට හුරු කළ යුතුයි. ඒ සඳහා ටවර්හොල් පදනම සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක් වුණොත් මේ වැඩපිළිවෙළ වඩාත් සාර්ථක කරන්නට පුළුවන්. ජනතාව නාට්‍ය ගැන උනන්දුයි. මේ උලෙළ වසරින් වසර පැවැත්වේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනය.”
මාස ගණනාවකට පසු නාට්‍යයක් නැරඹීමට හැකිවීම ගැන ප්‍රේක්ෂකයන් තුළ ඇත්තේ සතුටකි. නාට්‍ය බලන්නට කොළඹට පැමිණි ප්‍රේක්ෂකයෝ කොළඹ හා ඒ අවට අය පමණක් නොවේ. ඇතැමුන් පැමිණ තිබුණේ ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල ආදී දුර බැහැර සිටය.
මෙම නාට්‍ය උලෙළ ගැන අදහස් දක්වමින් ටවර්හෝල් පදනමේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රවීණ නාට්‍යවේදී නීතිඥ ඩග්ලස් සිරිවර්ධනයන් කරුණු දක්වන්නේ සිය උත්සාහය සාර්ථක වීමේ සතුටිනි.
“නාට්‍ය උලෙළ අපි හිතුවාටත් වඩා සාර්ථකයි. මේ වැඩසටහන අරඹන්න යද්දි බොහෝ අය විවිධ අදහස් ප්‍රකාශ කළා. සමහරු කිව්වා මෙය සාර්ථක වෙන්නේ නැහැ කියලා. නමුත් මට විශ්වාසයක් තිබුණා මෙය සාර්ථකව අපට කරන්නට පුළුවන් කියලා. දුර බැහැර සිට නාට්‍ය බලන්නට අය පැමිණ සිටියා. ඒ වගේම නාට්‍යකරුවන්ගේ උනන්දුවත් තිබුණා. අගමැතිතුමාගේ උපදෙස් වගේම එතුමාගේ පුර්ණ අනුග්‍රහය ඇතිවයි අපට මේ කටයුත්ත මේ ආකාරයට කරන්නට පුළුවන් වුණේ. වර්තමානයේ ටවර්හෝල් පදනමේ සභාපතිධුරය දරන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. ලෝකෙම මිනිස්සු එළියට බහින්න බයෙන් ඉන්න කාලෙක අපේ රටේ ජනතාව කොරෝනා බිය පසෙකලා නාට්‍ය බලන්නට පැමිණීම සතුටක්. ඉදිරි වසරේදී ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ මීටත් වඩා සාර්ථකව පැවැත් වීමයි අපේ අරමුණ. හැම වසරකම මේ නාට්‍ය උලෙළ පැවැත් වීමටයි අපේ ඊළඟ අරමුණ.” යැයි ටවර්හෝල් පදනමේ අධ්යක්ෂ ජෙනරාල් පැවසීය.