ඡන්දය දාන්න කැලේ මැදින් කිලෝ මීටර 40ක් යන ගැමියෝ | සිළුමිණ

ඡන්දය දාන්න කැලේ මැදින් කිලෝ මීටර 40ක් යන ගැමියෝ

ඉහළ මිල්ලව ඡන්ද මධ්‍යස්ථානය
ඉහළ මිල්ලව ඡන්ද මධ්‍යස්ථානය

මෙරට එක්තරා ගම්මා­න­යක ඡන්ද­දා­ය­ක­යන් පිරි­ස­කට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරී­මට ඡන්ද මධ්‍ය­ස්ථා­නය වෙත යාමට කිලෝ මීටර 40කට ආසන්න දුරක් ගෙවා යාමට සිදුව ඇතැයි කිව­හොත් ඔබ පුදු­ම­යට පත්වනු ඇත. අතු­රේ­ගෙ­දර හා පැල්වා­ඩිය ලෙස හැඳි­න්වෙන මේ ගම්මාන දෙකේ ජන­තාව අය­ත්වන ඉහළ මිල්ලව ග්‍රාම නිල­ධාරී වසමේ ඡන්ද මධ්‍ය­ස්ථා­නය පිහිටා ඇත්තේ මිල්ලව කණිෂ්ඨ විද්‍යා­ල­යේය. මිල්ලව කණිෂ්ඨ විද්‍යා­ල­යත් මේ ගම්මා­න­යත් වෙන්ක­ර­මින් දෙල්ලව රක්ෂි­තය පිහිටා ඇත.

අතු­රේ­ගෙ­දර හා පැල්වා­ඩිය නම් දෙක­කින් හැඳි­න්වුව ද එය එකම ගම්මා­න­යක් වන අතර ජීව­ත්වන්නේ පවුල් හැට ගණ­නකි. මේ ගැමි­යන්ට ඇති විශා­ල­තම ගැට­ලුව වන්නේ ගාල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් ගමට පිවි­සුම් මාර්ග­යක් නොමැති වීමයි. මේ නිසා ඔවුන්ට මාතර දිස්ත්‍රි­ක්ක­යට අයත්ව ඇති වතු­රාව ගම්මා­නය හරහා බෙලි­අ­ත්ත­කු­ඹු­රට පැමිණ එතැ­නින් පල්ලේ­බැද්ද හරහා දෙනි­යා­ය­ටත්, දෙනි­යායේ සිට මොර­ව­ක­ටත් මොර­ව­කින් මිල්ල­ව­ටත් යා යුතු වීමයි. මේ දුර කිලෝ මීටර 40කට ආස­න්නය. ඒ අනුව තම වටිනා ඡන්දය ප්‍රකාශ කිරී­මට කැලේ මැදින් කූඩැ­ල්ලන්ගේ පීඩාව විඳි­මින් යා යුතුය.

“ අපි ඡන්දය දාන්න යන්න ඕනෑ මිල්ලව කණිෂ්ඨ විද්‍යා­ල­යට. ඒකට පාරෙන් යන­ව­නම් කිලෝ මීටර 50ක් විතර දුරක් යන්න වෙනවා. නැත්නම් කැලේ මැදින් කිලෝ මීටර 4ක් විතර යන්න වෙනවා. මේක බොහොම දුෂ්කර ගමක්. අපිට හැම­දාම කිය­නවා ඡන්ද මධ්‍ය­ස්ථා­න­යක් ගමට දෙන්නම් කියලා. ඒකත් ඡන්ද පොරො­න්දු­වක් විත­රයි. ඒත් අපි තාම ඡන්දය දාන්න යනවා.“ විදා­න­ප­ති­ර­ණගේ මාටින් සිංඤෝ මහතා පව­සයි.

“ අපි හැ‍මදේ­ටම යන්නේ මාතර දිස්ත්‍රි­ක්ක­යට. දරු­වන් ඉගෙන ගන්නේත් මාතර. නමුත් අපි මාතර දිස්ත්‍රි­ක්කය පැත්තේ හිටි­යත් අපි අයිති වෙන්නේ නෙළුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යට. අපේ ගම ගාල්ලෙන් වෙන්වෙලා හුද­කලා වෙලා තිබු­ණත් අපි අයිති ගාල්ලට. මේ නිසා අපි ලොකු අමා­රු­වක වැටිලා ඉන්නේ. රජ­යෙන් වැඩක් කර­ගන්න නෙළු­වට යන්න ඕනෑ.‍ නෙළු­වට යන්න කිලෝ මීටර 60ක් විතර යන්න ඕන ඡන්දය දාන්න කිලෝ මීටර 50ක් විතර යන්න ඕනෑ. අනිත් සියලු වැඩ­ක­ට­යුතු කර­ගන්න යන්නේ මාත­රට. නමුත් මාතර දිස්ත්‍රි­ක්කයේ පොදු කට­යුතු වලින් අපිට ඈත් වෙන්න වෙලා තියෙ­නවා. මේක ලොකු කර­ද­ර­යක්. අපි මේ නිසා ගොඩක් දුක්වි­දි­නවා. විදු­ලිය එන්නේ මාත­රින්. පාර­වල් ලැබුණේ මාත­රින්. නමුත් මේ කැලේ මැදින් දෙල්ල­වට, නෙළු­වට යන්න පුළු­වන් පාර­වල් තියෙ­නවා. ඒවා දැව සංස්ථා­වෙන් කපපු ලොකු පාර­වල්. අපේ ගමේ ඉදලා සැත­පු­මක් නැහැ ඒ පාර­ව­ල්ව­ලට. අපි ඉල්ලන්නේ මේ පාරක් අපිට යා කරලා එළි පෙහෙළි කරලා දෙන්න කියලා. එත­කොට අපිට කැලේ මැදින් ඉතා පහ­සු­වෙන් නෙළු­වට යන්න පුළු­වන්. අද උදේ මම 6.30ට මගේ විය­ද­මින් ඡන්දය දාන්න ගිහින් එන විට සවස 2.30 වුණා. “ මන­ම්පේරි නන්ද­සිරි මහතා පව­සයි.

“ මිල්ල­වට යනවා කියන්නේ සම්පූර්ණ දව­සක් ම වැය වෙන වැඩක්. අපේ ගමේ කාන්තා­ව­කට ළම­යෙක් ලැබෙන්න ඉන්න­වා­නම් ළඟින් තියෙන මාතර සාය­න­ය­ක­ට­වත් යන්න විදි­යක් නැහැ. ඒක­ටත් යන්න ඕනෑ මිල්ල­වට. ඡන්දය ළං වුණාම හැමෝම ඇවිත් අපිට ඡන්දය දාන්න යන්න තියෙන දුර ගැන කතා කර­නවා. ඒත් අපි ග්‍රමා නිල­ධාරී සහ­ති­ක­යක් ගන්න පවා කිලෝ මීටර 45ක් යන්න වෙනවා. ඒකට දව­සක් ඉව­රයි. ඊට පස්සේ ඒක අර­ගෙන නෙළුව ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යට යන්න තව කිලෝ මීටර 60ක් යන්න ඕනෑ. ඒකට තව දව­සක් ගත­වෙ­නවා. මර­ණ­යක් වුණාම ග්‍රාම නිල­ධාරී මහ­ත්තයා එන­කම් ගෙදර මිනිය තියා­ගන්න වෙනවා. අපිට පාරක් ලැබෙ­න­වා­නම් මේ ගැටලු අව­සන් වෙනවා.“ සුබ­සිංහ ගමගේ මෙසේ පැව­සු­වාය.

“ප්‍රාදේ­ශීය ලේක­ම්තු­මාත් ඇවිත් අපේ ගම්මා­නයේ අප­හ­සුතා ගැන සොයා බැලුවා. එන මැති­ව­ර­ණයේ දි ගමට ඡන්ද පෙට්ටි­යක් දෙනවා කියලා පොරොන්දු වුණා. මහ මැති­ව­ර­ණ­යට ඡන්දය දාන්න යන්න මැති­ව­රණ කාර්යා­ල­යෙන් බස් එකක් එවලා තිබුණා. ඒකේ 50-60ක් විතර ගියා. කොට­සක් කැලෙන් ගිහිල්ලා ඡන්දය දාලා ආවා. අපි ඉල්න එකම දේ පාර අපිට දෙන්න කියලා විත­රයි.“ සුරංග හේම­කු­මාර පව­සයි.

ඔවුන් බැංකු කට­යු­තු­වල සිට සියලු දේ සඳහා මාතර දිස්ත්‍රි­ක්ක­යට ගිය ද රජයේ සියලු කට­යුතු සිදු­කෙ­රෙන්නේ නෙළු­වෙනි. පවුල් 60කට වැඩි ප්‍රමා­ණ­යක් මේ ගමේ ජීව­ත්වන අතර ලියා­ප­දිංචි ඡන්ද දාය­ක­යන් සංඛ්‍යාව 173කි.

මේ ගම්මා­නය සොයා ගිය අපි මිල්ලව කණිෂ්ඨ විද්‍යා­ලයේ ඡන්ද මධ්‍ය­ස්ථා­න­යට ගොස් එතැ­නින් අතු­රේ­ගෙ­දර හා පැල්වා­ඩිය ගම්මා­න­යට ගියෙමු. යතු­රු­පැ­දි­යක ගිය අපට අතු­රේ­ගෙ­දර ගම්මා­නයේ අව­සාන නිවස දක්වාම වූ දුර මිල්ලව කණිෂ්ඨ විද්‍යා­ලයේ සිට කිලෝ මීටර 37කි. ඔවුන්ගේ ගමට ආස­න්න­තම පොදු බස්රථ පැමි­ණෙන ස්ථානය බෙලි­අ­ත්ත­කු­ඹුර කඩ­පි­ලයි. එතැන සිට ගමේ අව­සාන නිව­සට දුර කිලෝ මීටර 5.1කි. බස­යක් ගැනී­ම­ට­නම් මේ ගමේ ජන­තාව පයින් හෝ යතු­රැ­පැ­දි­ය­කින් හෝ මේ දුර ගෙවා යා යුතුය.

ආස­න්නම නග­රය දෙනි­යා­යයි. දෙනි­යා­යට දුර කිලෝ මීටර 15කි. ගමේ සිට නෙළුව ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යට ඇති දුර කිලෝ මීටර 57කි.

ගමේ ජන­තාව පව­සන්නේ ඡන්දය ආස­න්න­වන විට දේශ­පා­ල­න­ඥ­යන් පැමිණ පාර හදා දෙන්නම් යැයි පොරොන්දු වුව ද ඒවා කඩ­වුණු පොරොන්දු වන බවයි. මෙවැනි දුරක් ගෙවා ගොස් ඡන්දය භාවිතා කිරීම ඔවුන්ට ගැට­ලු­වක් වුව ද ගමට මාර්ග­යක් ලැබෙන ඇතැයි අපෙ­ක්ෂා­වෙන් ඔවුහු මෙවර ද ඡන්දය දැමූහ.

නෙළුව ප්‍රාදේ­ශීය ලේකම් වන චතු­රංග ගුණ­සේ­කර පව­සන්නේ මෙවන් අද­හ­සකි..

“ මේ ගම්මා­නය පිහිටා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රි­ක්කයේ එක්තරා කෙල­ව­රක. දැව සංස්ථා­වෙන් කැපූ මාර්ග වනා­න්ත­රය මැදින් ගම ආස­න්න­යට ම තිබෙ­නවා. මේ මාර්ග­යක් ගමට යා කරලා අවම වශ­යෙන් ත්‍රී රෝද රථ­ය­කට හෝ යන්න අව­ස්ථාව ලබා­දෙන්න කියා ගැමි­යන්ගේ ඉල්ලී­මක් තිබෙ­නවා. දැනට වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඒ යෝජ­නා­වට විරු­ද්ධයි. අපි වනා­න්ත­රත් ආරක්ෂා කර­ගත යුතුයි. ජනතා අව­ශ්‍යතා ඉටු කර­මින් ඔවුන්ට පහ­සු­කම් සප­ය­න්නත් අව­ශ්‍යයි.

මෙවර මැති­ව­ර­ණයේ දීත් ඔවුන්ට වෙනම ඡන්ද පෙට්ටි­යක් ලබා දීමට නොහැකි වුණා. ඒ නිසා ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරී­මට යාම සඳහා බස් රථ­යක් ලබා දුන්නා. ඉදි­රියේ දී මේ ගැටලු විස­ඳන්න බලා­පො­රොත්තු වෙනවා.“

“ මේ ගම්වා­සීන්ට වෙනම ඡන්ද පොළක් ලබා දීමට ඇති හැකි­යාව ගැන සාක­ච්ඡා­වක් කළා. ඒ සඳහා නීති ප්‍රති­ශෝ­ධ­නය කරන්න වෙනවා. ඒ නිසා මෙවර මහ මැති­ව­ර­ණයේ දී ඒ දේ කරන්න අප­හසු වුණා. අපි ඔවුන්ට ඡන්ද පොළ වෙත යාමට බස් රථ­යක් ලබා­දුන්නා. ඉදිරි මැති­ව­ර­ණයේ දී ඔවුන්ට වෙනම ඡන්ද පොළක් පිහි­ටු­වී­මට කට­යුතු කර­නවා.“ ඒ ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැති­ව­රණ කොම­සා­රිස් කේ.යූ. චන්ද්‍ර­ලාල්ය.

Comments