කථානායක මොලමුරේගේ ජීවිතය උදුරා ගත් පාර්ලිමේන්තු විවාදය | සිළුමිණ

කථානායක මොලමුරේගේ ජීවිතය උදුරා ගත් පාර්ලිමේන්තු විවාදය

රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැමිණ සිටි මන්ත්‍රීවරුන් අතර වතුකරුවන් හමුදා ප්‍රධානීන් නැත්නම් පොලිස් සේවයේ ඉහළ බලතල දැරූ සල්ලි කාරයන් සිටියද සාමාන්‍ය මිනිසුන් සිටියේ කිහිප දෙනෙකු පමණි. විශේෂත්වය අනුව එදා සිදුවූ සිද්ධිවල විශේෂතා තිබිණ. මන්ත්‍රීවරුන් හැටියට පැමිණි පිරිස අතරද ඔවුන්ට විශේෂ වූ අමුතුම ගතිගුණ ද තිබිණ.

ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා මේ අතර සිටි විශේෂ පුද්ගලයෙකි. ඔහු මන්ත්‍රීවරයකු හා අගමැතිවරයකු ලෙස මන්ත්‍රණ සභාව නියෝජනය කළ පුද්ගලයෙකි. ඔහුගේ මන්ත්‍රණ සභා යුගයේ අප දුටු අමුතු විශේෂත්වයක් ඇත. කථානායකවරයා හෝ මූලාසනය ගෙන සිටි සභාපතිවරයාට ගෞරවයක් වශයෙන් හිස පහත් කොට ආචාර කිරීම කවුරුත් කවදත් කරන එක්තරා සම්ප්‍රදායානුකූල පිළිවෙතකි. එහෙත් සර් ජෝන් කොතලාවල මහතා කිසිම දිනයක මූලාසනයට හිස පහත්කොට ආචාර කළේ නැත. ඔහු හමුදා ආචාරයක් ලෙස මූලාසනයට ගෞරවාන්විතව සැලියුට් කිරීම පුරුද්දක් කරගෙන සිටියේය. සභාවෙන් පිටතට යද්දීද එසේ කරන ඔහු එතනින් නික්ම යන්නේ ද හමුදා නිලධාරියකුගේ ආචාර විධි අනුව ය.

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මහලේකම්ට වෙන්කර තිබූ කාමරය පාර්ලිමේන්තු අගමැති ලෙස පත්ව ආ ඩී.එස්. සේනානායකට වෙන්වීය. එදා ඇමතිවරුනට හෝ සභානායකට විරුද්ධ පක්ෂයට නායකයාට මෙදා මෙන් කාමර වෙන්කර නොවීය. විශේෂ කාමරයක් ලෙස තිබුණේ අගමැති තුමාගේ කාමරය පමණි.

මේ කාමරයේ කාර්යාල කාර්ය සභාව ලෙස සිටියේ තෝමස් නමැත්තෙකි. තෝමස් ඇතුළු එවැනි තත්වයේ අයටත් පාර්ලිමේන්තුව මගින් සලසා තිබූ පහසුවක් වූයේ යුනිෆෝම් හෙවත් නිල ඇඳුම් පිරිසිදු කිරීම සඳහා නොමිලයේ ලැබෙන වරප්‍රසාදයයි. සතියකට වරක් කාර්ය මණ්ඩලයේ හැම කෙනකුගේම ඇඳුම් ලොන්ඩරි කරුවා රැගෙන ගොස් ආපසු ගෙනවිත් දෙයි. එහෙත් තෝමස් තම ඇඳුම් පිරිසිදු කරගැනීමට තිබූ වරප්‍රසාදය ප්‍රයෝජනට නොගත්තේය. ඔහු හැමදාම කිලිටුවට ඇඳීම පුරුද්දක් කරගෙන තිබුණි. උදෑසනම පිටකොටුවේ රා කඩයට ගොඩ වැදී රා බී පැමිණෙන තෝමස් අගමැතිතුමාගේ කාමරයට වී ගොරව ගොරවා නිදා ගනී.

එක් දිනක් ඩී.එස්. සේනානායක අගමැතිතුමා හදිසියේ කාමරයට ඇතුළු විය. ඔහු මේ හදිසියේ කාමරයට පැමිණියේ වැසිකිළි යාමට අවශ්‍ය වූ හෙයිනි. කාමරයට දිව ආ ඩී.එස්. තම කෝට් එක ගලවා එය එල්ලන්නට සූදානම් විය. කෝට් එල්ලන්නට වෙන් වූ තැන කෝට් එකක් තබා, ලේන්සුවක් දමා යාමට වත් ඉඩක් නොවීය. තෝමස්ගේ කිළිටි ඇඳුම්වලින් එම ස්ථානය මුළුමනින්ම පිරී තිබිණ. ඩී.එස්. ට යකා නැග්ගේය. ඔහු වැසිකිළියාම පසක තබා තෝමස්ට කෑගැසුවේය. කෑ ගැසීම අසා සිටි තෝමස් “එනව සර්... මොකක්ද හදිස්සිය.” රා බී පසක වැතිර සිටි තෝමස් වහා දිව ආවේය.

“කොහේද යකෝ මගේ ‍කෝට් එක එල්ලන්නෙ.”තෝමස් වට පිට බැලීය. මාස ගණනකින් පිරිසිදු නොකළ ඇඳුම් වලින් කාමරයේ ඇඳුම් එල්ලන කොකු සියල්ල පිරී තිබිණ.

“තෝමස් මම අහන්නෙ එකයි. මේ කාමර කාගෙද? උඹගේද මගේද?”

“සර් ගෙ නේ”

“එහෙනම් මේ බලපන් මොකද වෙලා තියෙන්නෙ කියල.”

‍තෝමස්, තමාගේ ඇඳුම් සියල්ල පොදි ගසාගෙන පැමිණ ඒවා ලොන්ඩරියට උස්සාගෙන ගියේය.

ඩී.එස්. සේනානායක අගමැති තුමා ඒ සියල්ල බලා සිට සිනා වූවා මිස කිසිවක් කීවේ නැත. සුළු වැටුපකට ආ එක්තරා පුද්ගලයෙක්, ඩී.එස්. ට නිතර නිතර කරදරයක් විය. “අනේ සර්, මට කොහොම හරි වැඩි පඩියක් ගන්න මෙතන මොකක් හරි ලොකු තැනක් අරගෙන දෙන්න යයි කියමින් මේ පුද්ලයා නිතර නිතර ඩී. එස්ට කරදර කරයි. මෙයින් බේරෙන්නට බැරිම තැන මේ පුද්ගලයාට උපවේත්‍රධාරි තනතුරක් ඇතිකොට ඔහු එතැනට පත් කළේය.

අලුත් නිලයක් ලබා ගත්තත් මේ පුද්ගලයාගේ පුරුද්දක් වූයේ නැවත නැවතත් පඩි වැඩි කරගැනීමට තිබූ ආශාවයි. හැමදාම පඩි වැඩි කර දෙන ලෙස ඉල්ලීම ඔහුගේ පුරුද්දක් විය. මේ ගැන පමණක්ම කථා කිරීම නිසා මොහු ගැන, ඩී.එස්. ට කේන්තියක් මෙන්ම පිළිකුලක් ද ඇති විය.

අර පුද්ගලයා ඩී.එස්. ගෙන් තමාට අවශ්‍ය දේ නොලැබුණ නිසා වෙනත් කාර්යයක් කළේය. අයවැය කාරක සභා අවස්ථාව පැමිණෙද්දී එවකට මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ විල්මට් පෙරේරා අල්වා ගත්තේය. ඔහු ලවා ඒ තනතුර සඳහා වැටුප් ක්‍රමය ඉහළ මට්ටමකට පත් කරන ලෙස ඉල්ලීමක් කරවීය. “මේක මේ මිනිහකරන කපටිකමක්. මම ඉඩ දෙන්නෙ නෑ යි” සිතූ ඩී.එස්. විල්මට් පෙරේරා යෝජනාව ඉදිරිපත් කරත්ම එයට විරුද්ධ විය.

“මේ තනතුර හැදුවෙ මම. ඒ තනතුරට පත් කළ පුද්ගලයාට මම කිව්ව දෙන පඩිය මේකයි කියල. ඒකට කැමති වෙලයි එයා මෙතන වැඩට ආවෙ. මම කොහොමටවත් එයට වඩා සතයක්වත් පඩි වැඩි කරන්නේ නෑ” යි ඩී. එස්. ස්ථිරවම ප්‍රකාශ කළේය. එයින් පසු පඩි වැඩිකිරීමේ යෝජනාවක් හෝ කතාබහක් අසන්නට නොලැබිණ.

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ නැගී ඉහළ මාලයට යාමට මන්ත්‍රීවරුන්ට සිදුවී තිබිණ. මෙම විදුලිසෝපානයට නැගී යාමට හැකි උපරිම පිරිස පස් දෙනෙකි. දවසක් මෙහි ඩී.එස්. සහ තවත් දෙදෙනෙක් ගමන් ගත්හ. පස් දෙනෙකු නැගී යන මේ විදුලි සෝපානයට ඩී. එස්. තුන්දෙනෙකුටවත් වැඩි බරක් දුන් පුද්ගලයකු විය. මඳ දුරක් ඉහළට ගිය සෝපානය ඉහළ මාලයට යන්ට පෙර හදිසියේ නතර විය. අවසානයේ එහි ක්‍රියාකරුට හිඳගන්න පුටුව මත නැගී දෑතින් ඉහළමාලය අල්වා ගත් ඩී. එස්. අපහසුවෙන් ගමන කෙළවර කළේය. මෙයින් පසු අගමැතිතුමා යනවිට අනෙක් කිසිම මන්ත්‍රීවරයකු ඇතුළු කිරීමට විදුලිසෝපාන ක්‍රියාකරුවා ප්‍රවේසම් විය.

පාර්ලිමේන්තු රැස්වීම් වාරය හමාර වී පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය තරම් මන්ත්‍රීවරුනට දුක් ඉපදවූ එක් දිනයක් ද නොවීය. හැම මන්ත්‍රීවරයකුම එදා ගත කළේ වේදනාවෙනි. සමහරු බැලු අත බලා කල්පනා කරති. සමහරු වේදනාවෙන් උනු නුන් සමඟ කථාකරති. ඔවුන් හැම දෙනාම දුකෙන් සිටියේ ඉදිවාරයේ පාර්ලිමේන්තුවට ඒමට නොහැකි වූවොත් තමන්ට සිදුවන ලජ්ජාව ගැනය.

එක් දිනක් මෙසේ දුකෙන් සිටි මන්ත්‍රීවරයෙක් ළඟම සිටි කාර්ය මණ්ඩල සේවකයෙක් “මොකද සර් අද බර කල්පනාවක” යැයි ඇසීය. මන්ත්‍රීවරයා වට පිට බැලුවේ දෑසෙහි කඳුළු පුරවාගෙනය.

“මම මේ කල්පනා කළේ කෝච්චියට පැනල මැරෙන එකද, වස කාල මැරෙන එකද වැඩිය පහසු කියල. ලබන වාරයේ මම තේරුණේ නැතොත්, එක්කො වහ කාල මැරෙනව. නැත්නම් කෝච්චියට පැනල මැරෙනව. මගේ මළගමට තමුසෙත් එනවද?” කියා ඉකිබිඳිමින් මන්ත්‍රීවරයා හැඬුවේය.

එහෙත් ඒ මන්ත්‍රීවරයා ඊළඟ වතාවේද මැති සබයට පත්වීය.

එක දවසක් පාර්ලිමේන්තුව ඇතුලේදී සර් ජෝන් සමඟ පැටලෙන්න ආ සෝමවීර චන්ද්‍රසිරි මන්ත්‍රීතුමා අගක් මුලක් නොදන සර් ජෝන්ට බැණ වැදුණේය. සර් ජෝන් වෙනදා නම් තමාට විරුද්ධව කතාකරන අය සමඟ හරි හරියට බැණ ගන්නවා. හොඳටම කේන්ති ගියොත් කුණුහරුපෙන් හරි බණිනවා. එදා සෝමවීර සමඟ වාදයේදී සෝමවීර කියන සියල්ල සර් ජෝන් අසා සිටියේ පුදුම ඉවසිල්ලකින්. සෝමවීරගේ කථාව ඉවරවුණාම සර් ජෝන් එළියට ආවා. මන්ත්‍රීවරු සර් ජෝන් වට කරගත්තා. සෝමවීර බැණපු හැටි කොච්චර වැරදිද කියල කථාව දුර දිග යවන්නයි ඒ අය සූදානම් වුණේ. සර් ජෝන් අන්තිමේදී මෙහෙම කිව්වා.

“මම සෝමවීරගෙ හැටි දන්නවා. ඔය මිනිහා මට ඔහොම කියල නෑ. හැබැයි මට අද එකක් ඒත්තු ගියා. මට විශ්වාසයි ඌත් අපේ තාත්තගෙ කොල්ලෙක් කියල.”

උල්පන්දම් දෙන්න ආ මන්ත්‍රීවරු හිනාවෙවී පැත්තකට ගියා.

එක දවසක් පාර්ලිමේන්තු මන්දිරය ඇතුළෙ ලොකු විවාදයක් පැවැත්වුණා. එය තරමක උණුසුම් එකක්. මන්ත්‍රීවරු හසුරුවා ගැනීමට මූලාසනේ කථානායක මොලමුරේට අපහසු වුණා. එක පැත්තකින් එක්කෙනෙකු කතා කරන විට තව පැත්තකින් දෙතුන් දෙනෙක් එක පාරටම නැගිටල විවාදයට හවුල් වෙනව. ඒ අතර තරමක වැරදි වචනත් මේ අයගෙන් කියැවෙනවා. මෙහෙම විවාද වෙන කොට මූලාසනයේ සිටි මොලමුරේ එක පාරටම ගල් ගැහිල වගේ මන්ත්‍රණ සභාව දිහා බලා සිටියා. මුළු සභාව කථානායකතුමා දෙස පුදුමයෙන් බලා සිටිනවා. මොලමුරේගේ බෙල්ල පැත්තකට ඇලවුණා. කිසි සද්දයක් නැතිව ගියා. බැලින්නම් මූලාසනයේ සිටිද්දිම සිහිය නැතිව ගිහින්. ගතවුණේ මෙහොතයි. මන්ත්‍රීවරු හැටියට සභාවෙ දොස්තර මහත්තුරු කීප දෙනෙක් මූලාසනය ළඟට පැමිණ ප්‍රථමාධාර දී, කාමරයට ඔසවා ගෙන ගියා. ඉස්පිරිතාලයට ටෙලිෆෝන් කළා. ඉක්මණින්ම ගිලන් රියකින් මොලමුරේ මහතා රෝහලට අරගෙන ගියා. ඒ යනවිට මොලමුරේට හොඳට සිහිය තිබුණා.

එයා පාර්ලිමේන්තු මන්දිරය දිහා බැලුවෙ දුකෙන් හා වේදනාවෙන්. ආයෙමත් මෙතනට ආ හැකිද කියා චකිතයක් එයාගෙ හිතේ තිබුණ වගෙ පෙනුණෙ. ඉස්පිරිතාලෙන් බෙහෙත් කළත් මොලමුරේ ආයෙමත් මන්ත්‍රණ සභාවට ආවෙ නෑ. එයා මැරුණා. මේක පාර්ලිමේන්තු ඉතිහාසයෙ ඉතාම දුක්මුසු සිද්ධියක්.

Comments