
ජනාධිපතිවරණයට පෙර සිටම රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් රැකියා ලබා දීමට ලබා දුන් පොරොන්දුව අනුව මේ වසරේ පෙබරවාරි මාසයේ සිට උපාධිධාරීන්ට හා අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබාදීමට කටයුතු ආරම්භ කළද පාර්ලිමේන්තු මහ මැතිවරණය හේතුවෙන් එම වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුවට සිදු විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි පරිච්ඡේදයේ විධිවිධාන ප්‍රකාරව, ව්‍යවස්ථාදායකය ස්ථාපනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගැනීමත් සමඟ මැතිවරණයට ප්‍රථම පොරොන්දු වූ පරිදි සුදුසුකම් සපිරූ රැකියා විරහිත උපාධිධාරීන් 51,135ක් සේවා නියුක්ත කිරීම පසුගියදා ආරම්භ විය. ඒ අනුව තෝරා ගනු ලැබූ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කෙරිණ.
පාසල් අධ්‍යාපනයට යොමුවන සෑම ශිෂ්‍යයකුගේම එකම බලාපොරොත්තුව සරසවි වරම් ලැබීමය. ඒ අරමුණ කරා යාමට පෙළගැසෙන සිසු දරුවෝ තරගකාරී විභාගවලට මුහුණ දෙති. සාමාන්‍යයෙන් මෙරට පළමු ශ්‍රේණිය සඳහා වසරකට ළමයින් 3,40,000ක් පමණ ඇතුළත් වන අතර, ඉන් උසස් පෙළ විභාගය සමත් වී විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ 23,000 – 25,000ත් අතර පිරිසකි. විවෘත විශ්වවිද්‍යාලය ද ඇතුළත්ව මෙරට පිහිටුවා ඇති විශ්වවිද්‍යාල සංඛ්‍යාව 18කි. පීඨ සංඛ්‍යාව 80කි. දෙපාර්තමේන්තු ගණන 460 කි. සාමාන්‍යයෙන් මෙම විශ්වවිශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනය හදාරණ සිසුන්ගෙන් 20,000ට අසන්න පිරිසක් වාර්ෂිකව උපාධිධාරීන් ලෙස සමාජගත වේ.
දහසක් බලාපොරොත්තු සිත්හි දරාගෙන සරසවි වරම් ලබා ගන්නා මේ තරුණ තරුණියෝ නව ජීවිතයකට ආසාවෙන් උපාධිය සම්පූර්ණ කරති. ඒ සඳහා තරගකාරී විභාග රැල්ලට මුහුණ දෙන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීහු ඒ සඳහා රෑ නිදි නිදිවරා වෙහෙස මහන්සි වෙති. මෙලෙස දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ වසර කිහිපයක් උසස් අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථීන්ට එකම පිහිට වන්නේ මහපොළ ශිෂ්‍යාධාරය හා විශ්වවිද්‍යාල නේවාසිකාගාරය. ඒත් මේ පහසුකම් පවා නොලබන ශිෂ්‍ය ශිෂ්‍යාවෝද විශ්වවිද්‍යාල පද්ධතියේ සිටිති.
මෙතරම් දුෂ්කරතා මධ්‍යයේ වසර තුන හතරක් අධ්‍යාපනය හදාරා උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ පසු උපාධියට සරිලන රැකියාවක් ලැබීමේ අපේක්ෂාවෙනි. ඒත් ඒ බලාපොරොත්තු එලෙසින් ඉටු නොවී එම උපාධිය ද තබාගෙන කුඩා පෞද්ගලික ආයතනවල ඡායා පිටපත් කිරීමට, පරිගණක අකුරු ඇමිණීමට සිදුවන්නේ නම් උගත් බුද්ධිමත් තාරුණ්‍යයට අත්වන ඉරණම කුමක්ද? එවන් රටකට අත්වන ඉරණම කුමක් ද?
මෙරට උගත් බුද්ධිමත් පරපුර වෙනුවෙන් රැකියා අවස්ථා පිරිනැමීමේ ඉතිහාසය දෙස බලන විට 1960 දශකයේ දී පිහිටුවා තිබූ රැකීරක්ෂා කාර්යාලය ගැන අවධානය යොමු කළ හැකිය. එකල අධ්‍යාපනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට ඉදිරිපත් වූවන් හා ඒ විභාගවලින් සමත් වූවන් මෙම රැකියා කාර්යාංශයේ ලියාපදිංචි වූ පසු ඔහුට හෝ ඇයට කාඩ්පතක් හිමි විය. එම ලියාපදිංචිය අනුව පුරප්පාඩු ඇති වූ විට රැකියා ලබා දෙන ලදී. රැකියා නොලබන පිරිස සෑම වර්ෂයක ම තමන්ට රැකියා නොලැබුණු බව රැකියා කාර්යාලයට දැනුම් දුන් පසු තමන්ට හිමි කාඩ් පතේ මුද්‍රාවක් සටහන් කරනු ලැබිණි. ඒ අනුව වර්ෂයෙන් වර්ෂයට කාඩ් පතේ සටහන්වන මුද්‍රා ප්‍රමාණය රැකියාවක් ලබා ලබා ගැනීමට සුදුසු කමක් විය. එහෙත් උපාධිධාරීන්ට රැකියා දීමේ නිසි ප්‍රතිපත්තියක් නොවීම උපාධිධාරීන්ට කරනු ලබන අසාධාරණයකි. එය රටක් අසමත් වූ අවස්ථාවකි.
1976 සමගි පෙරමුණු රජය උපාධිධාරීන්ට රැකියා යම් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කළේය. පසුව 1977 දී එවක ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන ගේ උපදෙස් අනුව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ කොටසක් ලෙස රැකියා බැංකුවක් පිහිටුවනු ලැබුවද ඉන් මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත පමණක් රැකියා ලබා දුන්නේය. විධායක නොවන තනතුරුවලට පත් කිරීම ද මෙම රැකියා බැංකුවෙන් සිදු විය. එතැන් සිට 1983 දක්වා උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නොතිබුණි. පසුව මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් තරුණ අසහන කොමිසන් සභාව පිහිටුවා මේ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කළ අතර, රැකියා ලබාගැනීම සඳහා කම්කරු අමාත්‍යංශයේ ලියාපදිංචි වීම ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව යමින් 1999 දී එකවර රැකියා 10,000ක් උපාධිධාරීන්ට ලබා දීමට කටයුතු කළේය. අනතුරුව 2002 දී තරුණ තරුණියන්ට බ්‍රෙෂ්ලට් දාන චුයින්ගම් කන යුගයක් උදා කරන බවට වහසි බස් දොඩමින් බලයට පත් වූ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව එකදු පත්වීමක් හෝ ලබා නොදී උපාධිධාරීන් නොසලකා හැරියේය. ඉන් නොනැවතුණු එම රජය 2002 වසරේ මැයි 23 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයකින් රජයේ රැකියා ලබාදීම නතර කිරීමට කටයුතු කළේය. වරින්වර ‘තරුණ අරුණ’, ‘රැකියා පියස‘, ‘සරසවි සවිය‘ ආදී මාතෘකා දේශපාලන අවශ්‍යතා මත කරළියට පැමිණියද උපාධිධාරීන් තුළ ඇති කළේ ඉටු නොවන බලාපොරොත්තු ගොන්නක් පමණි. උපාධිධාරීන් මහ මඟ රස්තියාදු විය.
පසුව 2005 ජනාධිපතිවරණයෙන් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උපාධිධාරීන් 42,000 කට එකවර නව රැකියා අවස්ථා හිමි කර දුන්නේය. ඒ එදා මෙදාතුර කිසියම් ආණ්ඩුවක් විසින් උපාධිධාරීන්ට ලබාදුන් වැඩිම රැකියා අවස්ථා ප්‍රමාණය හිමි කර දෙමිනි.
පසුව 2011 වර්ෂයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි 53,000 පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබිණි. ඉන් වැඩි පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන උපාධිධාරීන් විය. එය සංඛ්‍යාත්මක වශයෙන් 6,778කි. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් 4,169ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් 4,083 ක්ද යාපනය දිස්ත්‍රික්කයෙන් 1,778 ආදි වශයෙන් බඳවා ගනු ලැබීය. එකවර පනස් දහස ඉක්ම වූ උපාධිධාරීන් පිරිසකට රජයේ රැකියා ලබාදීම තමන්ට විශාල අභියෝගයක් වූ බවත්, එය ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ පූර්ණ ආශිර්වාදය නිසා ජය ගැනීමට හැකි වූ බව එවක විෂයභාර අමාත්‍යවරයා ලෙස සිටි ඩබ්ලිව්. ඩී. ජේ සෙනවිරත්න කියා සිටියේය.
ඒ උපාධිධාරීන් වෙනුවෙන් ආණ්ඩු කටයුතු කළ ආකාරයයි. දැන් සෞභාග්‍යයේ යුගය ඇරැඹී ඇත. ඒ අනුව 2020 පෙබරවාරි - මාර්තු මාසවල රැකියා සඳහා සුදුසුකම් ලබා සිටි උපාධිධාරීන්ට රැකියා ලබා දීම වෙනුවෙන් පසුගියදා කටයුතු කෙරිණි. එහෙත් එය උපාධිධාරීන්ට ගැටලුවක් විය. මැතිවරණයට පෙර නිකුත් කළ ලේඛනයේ ඇතැම් නම් ලේඛනයෙන් ඉවත් කර ඇතැයි චෝදනාවක් නැඟිණි. අප මේ පිළිබඳව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරිගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ “ඇතැමුන් විශ්වවිද්‍යාල කොමිසන් සභාව විසින් අනුමත නොකළ විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා තිබීමත්, ඉල්ලුම් කළ දිනයට පසුව උපාධිය ලබාතිබීමත්, වයස අවුරුදු 45 පසු කර තිබීමත්, සේවක අර්ථසාධක අරමුදලේ සක්‍රිය ලෙසින් තිබීමත් (රැකියාවක් කරන බව තහවුරු වීම) වැනි කරුණු අනුව පෙර ලේඛනයේ පත්වීම් ලබා දුන් ඇතැමුන් ඉවත් කර තිබූ බවය. කිසියම් අයකුට අසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පැවසූ බවත්, ඔහු කීවේය. එහෙත් අගතියට පත් වූවා යැයි කියන උපාධිධාරීන් වැඩි පිරිසක් සිදු කෙළේ උද්ඝෝෂණයේ නිරත වීමය. එහෙත් පසුගිය 19 වැනිදා උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස සිටි ස්ථානයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුන් අමතමින් පැවසුවේ ‘තවත් උපාධිධාරීන් 10,000ක් වෙනුවෙන් රැකියා අවස්ථා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු‘ බවයි. ‘අව්වේ වේලෙමින් නොසිට නිවෙස් කරා යැන්නැයි‘ ඔවුන්ට දැන්වීය. ජනාධිපතිවරයෙක් උද්ඝෝෂකයන් හමුවට ආ ප්‍රථම අවස්ථාව එයයි.
මේ පිළිබඳව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චිගෙන් කළ වීමසීමේදී ඔහු පවසා සිටියේ “ මුල සිටම පොරොන්දු ඉටු කරන රජයක් ලෙස වත්මන් රජය යම් පුර්වාදර්ශයක් සපයමින් උපාධිධාරීන්ට රැකියා ලබාදීමට කටයුතු කිරීම අගය කරන බවයි.
උපාධිධාරීහු 51,135ක් පත් වීම් සඳහා සුදුසුකම් සපුරා තිබුණ අතර ඉන් 50,000ක් දෙනා රැකියා නියුක්ත කිරීමට මූලිකවටයේදී රජය පියවර ගෙන තිබුණි. පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවී සාකච්ඡා කර තවත් 10000ක් ඊට එක්කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ඉතිරි ව සිටි සුදුසුකම් ලාභීන් 1,135 ද ඇතුළත්ව රැකියා විරහිත උපාධිධාරීන් 60,000 ට රැකියා අවස්තා හිමි වේ.
අයේෂා සේනානායක ප්‍රකාශ කර සිටියේ මෙය රජය විසින් ගත් ප්‍රශස්ත ක්‍රියාමාර්ගයක් බවයි. තමන් වැනි මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට පැමිණි බොහෝදෙනාට රට වෙනුවෙන් තම යුතු කම ඉටු කිරීමට මෙවැනි අවස්ථාවක් වත්මන් රජය විසින් ලබාදීම ස්තුති පූර්වකව බාරගන්නා බවත්, මෙය තමන්ට ලැබුණු වරප්‍රසාදයක් සේ නොසලකා තම යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීමට හැම පෙරට ආයුතු බවත් ඇය කියා සිටියාය. එසේම අනෙකුත් සියලුම උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදී ශක්තිමක් රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමට වත්මන් රජය පියවර ගනු ඇතැයි ඈ සිය විශ්වාසය පළ කළාය.
මේ වනවිට සුදුසුකම් සපුරා ඇති සියලු උපාධිධාරීන් හට ඔවුන් විසින් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා විෂය බාර නිලධාරීන්ට උපදෙස් දී ඇත. රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා සහ අඩු පාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබාදීමේ (on the Job Training) අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේය. ඒ අනුව තරගකාරී ආකාරයට පෞද්ගලික අංශය සමඟ කටයුතු කළ හැකි ලෙස පෞද්ගලික අංශයේ පුහුණුව සඳහා ද මේ අය යොමු කිරීමට නියමිතය. මීට අමතරව නායකත්වය, ඉලක්ක සපුරා ගැනීම, විශ්වාසී හැඟීම යන කරුණුවල ප්‍රමුඛතාව ලබාදෙමින් අදාළ පුහුණුව වසරක කාලයකට යටත් කෙරේ.
නව රාජ්‍ය අමාත්‍යාංශවල ඉලක්ක සපුරා ගැනීමටද උපාධිධාරී රැකියාලාභින් යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. මහ මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රීක්ක රැසක තමා කළ චාරිකාවලදී බොහෝ දෙනා පාසල්වල ගුරු හිඟය පිළිබදව තමා දැනුවත් කළ බවත්, නව පත්වීම්ලාභීන්ගෙන් පිරිසක් ඒ සදහා පත්කිරීමට කටයුතු කරන ලෙසත් අදාළ බලධාරීන්ට උපදෙස් දීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. ඒ අනුව තෝරාගනු ලබන පිරිස අධ්‍යාපන අමාත්‍යංශය (ග්‍රාමීය හා වතු පාසල්) වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, දේශීය ආයූර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය (ග්‍රාමීය රෝහල් / කුඩා බෙහෙත් ශාලා), මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ආදී ක්‍ෂේත්‍රවල සේවාවන්හි නියුක්ත කිරීමට නියමිතය.
සාමාන්‍යයෙන් රටේ රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 13 ½ ඉක්මවයි. විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ පහමාරකට වැඩිය. කෙසේ නමුත් දළ වශයෙන් ලක්ෂ 20ක් පමණ රජයේ වැටුප් සහ දීමනා ලබන්නෝ වෙති . රටේ ජනගහනය මිලියන 21 කි ඒ අනුව ජනගහනයෙන් දහයෙන් එකක් දළ වශයෙන් රාජ්‍ය සේවය ප්රතිලාභ ලබන බවද පෙනී යයි.මේ වන විට රජයේ සේවක වැටුප් සහ වේතන, විශ්‍රාමික දීමනා සඳහා රජයට රුපියල් බිලියන 1000 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන අතර එය වසර 2020 දී රුපියල් බිලියන 1115 ත් 1120 ත් අතර අතිවිශාල ප්‍රමාණයකට ඉහළ යන බව ගණන් බලා තිබේ. මෙලෙස රජයේ ආදායමෙන් අතිවිශාල මුදලක් වැය කරමින් රාජ්‍ය සේවය පවත්වාගෙන යන අතර, ඉන් ජනතාවටත් තම සේවා තෘප්තිමත්ව ලබාදීමට රජයේ සේවකයන්ගේ වගකීම වේ.
වැටුප් වැඩි වීමට සාපේක්ෂව ලක්ෂ 14කට ආසන්න සමස්ත රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අතිකාල දීමනා ද වැඩි වේ. තවද මේ නව වැඩි වීම් සියල්ල මූලික වැටුපට එකතු කරන බැවින් වැටුපට සමාන මුදලේ එකතුවක් ලෙස ආපදා ණය හා දේපළ ණය ලබාගැනීමේදී ද දැනට ලබාගන්නා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ණය වශයෙන් ලබාගැනීමට රාජ්‍ය සේවකයන්ට වරප්‍රසාද හිමි වේ.
2015 වසරේදී රුපියල් බිලියන 562ක්ව පැවැති රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම් මේ වන විට රුපියල් බිලියන 750 දක්වා වැඩිවී ඇත. විශ්‍රාම වැටුප් වියදම 2015 වසරේදී රුපියල් බිලියන 157ක්ව පැවැති අතර මේ වන විට එය රුපියල් බිලියන 225ක් දක්වා වැඩි වී ඇත. වැඩි කළ මේ නව වැටුප 2020 ජනවාරි සහ 2021 ජනවාරි සිට සමාන ප්‍රමාණයකින් ලබාදීමට රජය තීරණය කළහොත් ඒ සඳහා රු. බිලියන 240ක් පමණ අතිරේකව වැය වනු ඇත. මෙවැනි අභියෝග රැසක් මධ්‍යයේ මෙලෙස රාජ්‍ය සේවයට රැකියා විරහිත උපාධිධාරීන් 60,000ක් දෙනා බඳවා ගැනීම විශාල අභියෝගයකි.
එහෙත් රජයේ ඉදිරි වැඩ පිළිවෙළ අනුව සෞභාග්‍යවත් දේශයක් නිර්මාණය කිරීමේදී මේ උගත් බුද්ධිමත් පිරිසගේ දායකත්වය අත්‍යවශ්‍යය. එනිසා මෙලෙස රැකියා ලබා ගන්නා සියලු දෙනාට භාර දූර වගකීමක් පැවරී තිබෙන බව සිත්හි තබාගත යුතුය. ඒ වගකීම උදෑසන 8.00ට සේවයට පැමිණ පස්වරු 4.30ට කාර්යාලයෙන් බැහැර වීමට වඩා එහා ගිය ජනතා වගකීමක් බව තේරුම් ගත යුතුය.