කොරෝ­නා­වෙන් හිස්වුණු මැනිං මාර්කට් එකේ සවා­රි­යක් | සිළුමිණ

කොරෝ­නා­වෙන් හිස්වුණු මැනිං මාර්කට් එකේ සවා­රි­යක්

මා­ජයේ ජීව­ත්වන ලොකු කුඩා කොයි කාටත් එදි­නෙදා ජීව­ත්වී­මට අවශ්‍ය කරන එළ­වළු පල­තුරු, හාල්, තුන­පහ, මස්, මාළු ආදී අත්‍ය­වශ්‍ය භාණ්ඩ­වල වෙළෙ­ඳ­පළේ මිල උච්චා­ව­ච­නය කාටත් වැද­ගත් වන්නේ දින දෙක තුන­කට වරක් නිර­න්ත‍ර­යෙන් ඒවා මිලට ගත යුතු නිසයි.

කොරෝනා සම­යෙන් පස්සෙ පැවැත්වූ මහ ඡන්ද­යක් සමඟ කොළඹ මැනිං වෙළ­ඳ­පළේ එළ­වළු පල­තුරු මිල ගණන් පිළි­බ­ඳව සොයා බලන්න පසු­ගි­යදා අපි එහි සංචා­රය කළේ කොළඹ 1 – 15 දක්වා වැඩි පිරි­සක් එළ­වළු පල­තුරු සිල්ල­රට මෙන්ම තොග මිලට ගන්න පිට‍කො­ටුව මැනිං මාකට් එකට යන නිසයි. මැනිං වෙළෙ­ඳ­ප­ළින් තොගේට මිලට ගන්නා එළ­වළු පල­තුරු වෙනත් කොළඹ හා තදා­සන්න ප්‍රදේ­ශ­ව­ලට ගෙන ගොස් සිල්ල­රට කෙරෙන වෙළෙ­ඳා­මෙන් තමයි මේ රෝල දිව­වෙන්නේ.

මුලින් ම අපි ගියේ කෙසෙල් තොග වෙළෙ­ඳ­පො­ළට. එහිදී හමුවූ පිළි­ය­න්දල රත්න­පාල රංචා­ගොඩ මහතා (63) මෙ‍ෙස් පැව­සීය. කෝලි‍කුට්ටු, ඇඹුල් කෙසෙල්, සීනි කෙසෙල්, ඇම්බුන්, ආන­මාලු විවිධ ප්‍රදේ­ශ­වල ඉඳලා අපට එව­නවා. අකු­රැස්ස, ඇඹි­ලි­පි­ටිය වගේ ප්‍රදේ­ශ­වල ඉඳලා මේ දින­වල ටිකක් වෙළෙ­ඳාම අඩුයි. කොරෝනා නිසා හුඟාක් පාරි­භෝ­ගි­කයෝ කොළඹ එන්නෙත් නෑ. කොරෝ­නා­ව­ලට කලින් සාමාන්‍ය වෙළෙ­ඳා­මක් තිබුණා. දැන් ටිකක් අඩුයි. ඉස්සර මාතර, අවි­ස්සා­වේල්ල, පුත්ත­ලම වගේ ප්‍රදේ­ශ­ව­ලින් වෙළෙන්දො ආවා. ටිකෙන් ටික සීමාව පටු­වෙලා දැන් කොළඹ නගර සභා බල ප්‍රදේ­ශයේ අය පම­ණයි බඩු­ගන්නේ. වැස්සක් වැටු­ණොත්, ඇඳිරි නීතිය ආවොත් කෙසෙල් මිල අඩු වෙනවා. අනි­ද්දාට වැඩියි‍. මේ දින­වල තොග මිල ගත්තොත් ඇඹුල් රු. 70, කෝලි‍කුට්ටු රු. 150, ඇම්බුන් රු. 130, සීනි 50 -70 වගේ වෙනවා සිල්ලර මිල ඇඹුල් රු. 110, කෝලි කුට්ටු රු. 250, ඇම්බුම් රු. 180, සීනි 80 වෙනවා.

සම­හර වෙලා­වට ඉතු­රු­වෙලා, නර­ක්වෙලා අහ­ක­දා­නවා. නැත්නම් කීයට හරි දීලා දානවා. අපි කොමිස් පිටනේ වෙළෙ­ඳාම් කරන්නේ.

කඩ­වත, ජී.එච්. මහින්ද (55) කෙසෙල් වෙළෙ­ඳාමේ යෙදෙ­න්නෙක් සෙනඟ ටිකක් අඩුයි. පසු­ගිය ටිකේ වෙළෙ­ඳ­ප­ළට ආවේ අඩු­වෙන්. දැන් බඩු එනවා. වෙළෙ­ඳාම අඩුයි බඩු ටිකක් මිලයි. ඒ නිසා විකි­ණෙන්නේ අඩු­වෙන්. ඇඹි­ලි­පි­ටිය, රුව­න්වැල්ල, බළ­න්ගොඩ, මොන­රා­ගල, යාප­නය ඇතුළු හැම පළා­ත­කින් ම කෙසෙල් ලැබෙ­නවා. තොග මිල ගණන් ගත­හොත් කෝලි­කුට්ටු රු. 200, සීනි කෙසෙල් 80, ඇම්බුන් 130, රත්කෙ­හෙල් 200, ඇඹුල් 60 වගේ මිලට යන්නේ. අපි ඉදෙන්න එත්‍රල් කියන බෙහෙත ගහ­නවා. ඒ සම්බන්ධ නම් ගැටලු තිබුණා. ඒත් අනිත් අය ඒක භාවිතා කර­නවා. ඒ නිසා අපිත් භාවිතා කර­නවා‍. කෙසෙ­ල්වල සිල්ලර මිල ගණන් ගත­හොත් කෝලි­කුට්ටු 250, සීනි කෙසෙල් 100, ඇම්බුන් 150, රත්කෙ­හෙල් 250, ඇඹුල් 90 – 100 විතර වෙනවා.

මැනිං මාකට් එකේ ගස්ලබු වෙළෙ­ඳාම් කරන කමල් රණ­සිංහ (අවු. 50) සිළු­මි­ණට මෙසේ අද­හස් දැක්වීය.

අපේ වෙළෙ­ඳ­පළේ මිල තීර­ණය වන්නේ වෙන වෙන හේතු හින්දා නෙමෙයි. ගස්ලබු වැඩි කාලෙට මිල අඩුයි. ගස්ලබු අඩු කාලෙට මිල වැඩියි. අපට ලැබෙන පැපොල් කුරු­ණෑ­ගල, වවු­නි­යාව සිට අනු­රා­ධ­පු­රය, යාප­නය දක්වා වැවෙ­නවා. දකුණු පළාතේ ගස්ලබු කොළ­ඹට එනවා අඩුයි. සංචා­රක පැත්ත පසු­බාලා තියෙන නිසා අලෙ­විය අඩුයි. ඒ නිසා මිලත් පහළ යනවා. සංචා­රක කර්මා­න්තය දියුණු වුණාම ගස්ල­බු­ව­ලට හොඳ මිලක් ලැබෙ­නවා. ගිය සතියේ කිලෝ­වක් 30 – 40 ගියා. අද 50, 60,70. සම­හ­ර­දාට කුණු වෙනවා. ගස්ලබු වර්ග ටැනින්, රෙඩ් ලේඩි, සන්ර­යිස්, සිත්තා කියලා වර්ග කීප­යක් තිය­නවා. හෝට­ල්ව­ලට ගෙනි­යන්නේ රතු­පාට නිසා රෙඩ් ලේඩියි. සිල්ලර වෙළෙ­ඳ­පළේ හොඳ ඉල්ලු­මක් තියෙන්නේ ටැනින් වලට.

රුවන් හේමන්ත (55) අන්නාසි වෙළෙ­ඳාමේ යෙදෙන්නේ අවු‍. 25 ඉඳලා‍. ගම්පහ, කිරි­ඳි­වැල, රඳා­වාන, ගිරි­උල්ල, කුලි­යා­පි­ටිය වගේ ප්‍රදේ­ශ­ව­ලින් අන්නාසි මිලට ගන්නේ. තොගේට කිලෝව රු. 120 ගන්නේ. සිල්ලර මිල 130, 150, 200. හෝටල් ක්ෂේත්‍රයේ පසු­බෑම තමයි අන්නාසි වෙළෙ­ඳාම අඩු­වී­ම­ටත් හේතුව. දවස ගානේ අපි පිට­කො­ටු­වට එනවා. ඒත් සම­හ­ර­දාට වෙළෙ­ඳාම හොඳ මදි.

හැට හැවි­රිදි චන්දන තල්පා­විල සිල්ලර වෙළෙ­ඳාමේ යෙදෙන්නේ එළ­වළු, පලා­වර්ග, තක්කාලි, පචෝඩි වගේ චයි­නීස් අයි­ටම්, කොරෝනා නිසා 50 ට අඩු වුණා. ඒ මදි­වට, චන්දෙත් ආවා. අපේ බිස්නස් වැටුණා. තක්කාලි ඉක්ම­නට නරක් වෙනවා වතුර වැටු­ණාම. පචෝඩි ගෙනි­යන්නේ සුප්ව­ලට.

පිය­සිරි මාර­පන (60) මිරිස්, බටු, බෝංචි, කැරට්, පිපිඤ්ඤා, රාබු, දඹල, පතෝල, ගෝවා, අලු කෙසෙල්, දෙහි අලෙවි කර­න්නෙක් එම එළ­ව­ළු­වල තොග හා සිල්ලර මිල සඳ­හන් කළා.

එළ­ව­ළු­වල සිල්ලර මිලයි, තොග මිලයි කියලා ‍ලොකු වෙන­සක් නැහැ. අපි අවු­රුදු 30 විතර මේ වෙළෙ­ඳාම කර­ගෙන යන්නේ.

මාතර ප්‍රියන්ත සාග­රත් එළ­වළු වෙළෙ­ඳාම සිදු කර­ගෙන යන අයෙක්. මෙහෙන් අර­ගෙන තමයි අපි එ‍ළවළු විකු­ණන්නේ.

ලීක්ස්, බෝංචි වගේ එළ­ව­ළුත් වැස්ස වැඩි වුණාම ගාන අඩු­වෙ­නවා. බෝංචි තොග මිල රු. 200, සිල්ල­රේට විකු­ණන්නේ රු. 220.

මාලඹේ ඩබ්.එල්‍. චන්ද්‍ර­රත්න (55) විකු­ණන්නේ කැරට්, ලීක්ස්, පම­ණයි. එක එක දව­සට එක එක මිල. ස්ථාවර මිලක් නැහැ. අවු­රුදු 30 වෙළෙ­ඳාම් කරලා තිබෙ­නවා. ගෙවල් දොර­වල් හදා­ගෙන දරු­වන්ට උග­න්න­ගෙන ඉන්නවා. මේ දව­ස්වල එළ­වළු අලෙ­විය අඩු­වී­මට හේතුව, විදේශ රට­ව­ලට එළ­වළු නොයැ­වීම හා සංචා­රක හෝට­ල්ව­ලට එළ­වළු මිලට නොගැ­නී­මයි.

දුමින්ද සම­න්කු­මාර මැනිං මාකට් එකේ තොග වෙළ­ඳාමේ යෙදෙන්නේ. මුරුංගා, බණ්ඩක්කා, බතල, ඇඹ­රැල්ලා වගේ එළ­ව­ළුයි. මන්නා­රම් කල්පිටි, ලොරි­ව­ලින්. මිලට අර­ගෙන සාමාන්‍ය කොමිස් මුද­ලක් තියා­ගන විකු­ණ­නවා. ලාභ­යක් ලැබෙ­නවා. පාඩු­වෙන වෙලා­ව­ලුත් තිය­නවා. මන්නා­රමේ කල්පිටි මුරුංගා රසයි ඇඹි­ලි­පිටි මුරුං­ගා­ව­ලට වඩා තොග කිලෝව රුපි­යල් 70 වෙනවා. සිල්ල­රේට රුපි­යල් 80 – 100 විකි­ණෙ­නවා.

ප්‍රියන්ත සාගර මාතර (52) අලු­පු­හුල්, වම්බටු, වැ‍ටකොළු, කර­විල, බීට්රූට් අලෙවි කර­නවා. ඒවායේ තොග මිල ගත්තොත් පතෝල රු. 90, වැට­කොලු රු. 70, වම්බටු රු. 70 ක්, කර­විල රු. 140ක්, අලු­පු­හුල් 30 විතර වෙනවා. සිල්ලර මිල ගත්තාම පතෝල 120, වැට­කොලු 100, වම්බටු 100, කර­විල 160, අලු­පු­හුල් 50 පමණ වෙනවා.

මැනිං මාර්කට් එකේ කෙ‍ළව­රක ගල් සිය­ඹලා විකු­ණන එන්.එස්. ප්‍රේම­සිරි (57) ළඟ බුලත් - පුවක් හුණු, දුම්කොළ, සාදික්කා, වසා­වාසි, කර­ඳ­මුංගු, කරා­ඹු­නැටි හේමත් මිලදී ගත හැකියි. පහු­ගිය කාලේ වෙළෙ­ඳාම හොඳ­ටම අඩු­වුණා. දැන් ටිකක් වැඩියි. අම්පා­රෙන් තමයි ගල්සි­ය­ඹලා ගේන්නේ කිලෝව රු. 200 ට. ග්‍රෑම් 100 රු. 80 ට විකු­ණන්නේ කව­ර­වල දාලා.

මැනිං මාර්කට් එක සමී­පයේ රඹු­ටන් යායක් තිබුණා. නසාර් සවු­කන් අලි­මො­හො­මඩ් (47) එහි අලෙ­වි­කරු මල්වා­නෙන් තමයි රඹු­ටන් ගෙනත් තිබුණේ. “දව­ස­කට ගෙඩි 3000 විතර ගේනවා. ගෙඩි 25 ක් 100 ට දෙන්නේ. රු. 1500 විතර ලාභ­යක් තිය­නවා හවස් වෙද්දී ගෙඩි ටික විකු­ණලා ඉව­ර­වෙ­නවා. කලින් මම මැංගු­ස්ටින් විකු­ණුවා. ඒ ඒ කාලෙට වැඩි­පුර තියන දෙයක් අලෙවි කර­නවා, උදේ ඉඳලා හවස් වෙන­කම් වෙළෙ­ඳාම් කර­නවා. කොහොම හරි අපිට ජීව­ත්වෙන්න විය­ද­මක් හොයා­ගන්න පුළු­වන්.

සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ

Comments