
ප්‍රියයන් නික්ම යන කල හදට නැඟෙන ළතැවුල වදන්වලට පෙරළන්නට සමතෙක් අප දැක නැත. ඒ ශූන්‍ය සාංකාව දින සති ඉක්මවා සම් මස් විනිවිද ගොස් ඇට මිදුළුවලට කාවැදී රිදුම් කන්නට වෙයි. මේ සංසාරය පුරා හමුවෙන අනේකවිද මිනිසුන් අතර සහෘදයන් ඇත්තේ අතළොස්සකි. හදවත සෙමෙන් ආදරයෙන් පිරිමදින ඒ සහෘදයන්ගේ නික්ම යෑම ඇට මිදුළුවලටම දැනෙන්නේ ඒ නිසාය. දීපිකා චාන්දනී මල්ලවාරච්චි සොයුරියද මේ දීර්ඝ සංසාර ගමනේ හමුවූ ළෙන්ගතු සහෘදිනියකි. ඇය සහෘදිනියක බව කියන්නට බලපෑ හේතු කාරණා ඔබ හමුවේ මා කෙටියෙන් සටහන් කරන්නේ සහෘදය සිත් කෙතරම් විරල දැයි අප සැමට අත්දැකීම් ඇති නිසාය.
සුදු ඇඳුම ඇඳ එයට මුවා වී දහසකුත් එකක් මැරකම්, දූෂිතකම් කරන බොහෝ පිරිසක් අතර, ඇය ඇඳි සුදු ඇඳුමේ ප්රභාවත් බව සේම මනසින් පිරිසුදු වූවාය. ඇගේ ප්රභාවත් යෞවනයට ගිනි අවුළමින් පෙම්බර සැමියා වසන්ත ජයවර්ධන අකල්හි දිවියෙන් නික්ම ගිය කල තෝරා ගත් ඒ වර්ණයේ අර්ථයට ඇය බෙහෙවින් පර්යාය ය. ඒ වර්ණය විසින් ඇයට අනන්‍යතාවක් සේම තේජසක් එක්කර තිබිණි. සිය දිවි සැරියෙන් නික්ම යන මේ මොහොත දක්වාම දිවි සැරසූ සුදු වස්ත්‍රය සේම, සිය හදවතේ වූ ශ්වේතයද වියැකී යන්නට ඇය ඉඩ නොදුන්නාය. අප විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කල ලේක්හවුස් පුස්තකාලය පරිශීලනය කරන්නට එන හැම මොහොතකම අප වෙනුවෙන් සිය ශ්‍රමය කැප කරන්නට බලා සිටි දෙදෙනෙක් විය. එක් සහෘදයෙක් කලින් ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගිය එස්. කේ. කේ සිරිසේනයන්ය. අනෙක් තැනැත්තිය මේ දීපිකා චාන්දනිය ය. මේ දෙදෙනාම කිසිදු ලෝබ කමකින් තොරව අපට අවශ්‍ය සෑම තොරතුරක්ම, දත්තයක්ම යුහුසුළුව සොයා දුන්හ. ඉදින් ශාස්ත්‍රය සොයන්නන්ට නොපැකිලව උදව් කරන එවන් අයට සහෘදයන් කියා ඇමතීම ඒ වදනට කරන ගෞරවයකි.
දීපිකා චාන්දනී මුවඟ නිරන්තරයෙන් සැරසුණේ මඳ සිනාවකිනි; ඇය මුදු ය; අනලස් ය; නොපැකිළ ය; අන් අය කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත ය; එනිසාම පෙරළා ඒ ගෞරවයෙන්, ආදරයෙන් ඇය ද පිදුම් ලැබුවාය. මේ ලියැවෙන අකුරක් පාසා ඇත්තේ ඇය කෙරෙහි වූ අප්‍රමාණ ආදරය ය; ගෞරවය ය.
විජය පුවත්පත් ආයතනයේ සහකාර පුස්තකාලයාධිපතිවරියක ලෙස සිය වෘත්තීය ගමනට පිළිපන් ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි; ලේඛකත්ව සන්නිවේදන ඩිප්ලෝමාධාරිණියකි. නික්ම යන මේ මොහොතේ ඇය ලේක්හවුස් ආයතනයේ ඩී. ආර්. විජේවර්ධන අනුස්මරණ පුස්තකාලයේ සහකාර පුස්තකාලයාධිපතිනිය ය. ඒ සැමටත් වඩා සිය වෘත්තීය නිපුණත්වය විසින් ඇයට මහා දැනුමක් එක් කර තිබිණි. පුස්තකාලයේ අප සොයන දෑ අදාළ ලිපිගොනුවේ නැති වුවහොත් අප හමු වන්නේ ඇයවය. ඇය අපට ඒ කරුණු අඩංගු විය හැකි විවිධ මූලාශ්‍රය සපයයි; නොපමාව ඒවා සොයා දෙයි. එනයින් බලන කල ඇගේ වියෝව අපට ඉමහත් පාඩුවකි. ඊටත් වඩා සහෘදය සිතක් අහිමි වීමකි.
ඈ ගෙවූ දිවිසැරිය වසර 54 කි. එය මහ ලොකු කාලයක් නොවේ. එහෙත් ඒ කාලයට වඩා කාලයක් ඈ ජීවත් වූ බවට වන සහතිකය ඇගේ මේ නික්ම යෑම අබියස සංතාපයට පත් හදවත් විඳින්නේය; අහිමි වීමේ වේදනාවෙන් විඳවන්නේය. ජීවිතය යනු කාලය ගෙවා දැමීමක් නොව යුතුකම් ඉටු කරන්නට ලැබුණු වේදිකාවක් බැව් ඇගේ දිවිසැරියෙන් ඈ නිහඬව පෙන්වූවාය. ඒ යුතුකම් ඉටු කරනා විට පැමිණි අනේකවිද දුක් කම්කටොළුද ඇය මල් සේම ආදරයෙන් පිළිගත්තාය. ආදරය කරන්නන්ට සේම නොතකා හරින්නන්ටද මඳ සිනාවෙන්, සමසිතින් සැලකුවාය. අකලට මුත් ජීවිතය අතහැරෙන විට ජීවත් වූ අයුරු ගැන ඇයට ළතැවිල්ලක් නොවූයේ එබැවිනි. එවැනි අමරණීය මතක ගොන්නක බර සිතේ දරාගෙන අප ඇයට අකාලික සුවය පතන්නේ රිදුණු සිත්වල බර දරා ගනිමිනි.