
මාමාගෙ කඩේ කැෂියර් ලෙස පටන් ගත් ව්‍යාපාරික ගමන ටික කලෙකින්ම දෙස් විදෙස් පතළ වෙයි
මගේ ගමනට ලොකුම ශක්තිය ලැබුණෙ මගේ නෝනගෙන් කරුණාදාස කියයි
මාතර යනු ව්‍යාපාරික ලෝකයට රජදහනකි. දේශපාලනයට හොඳ පොරපිටියකි. මෙම අංශ දෙකම පිළිබඳ ඈත අතීතයේ සිටම කතාබහට ලක්වන්නේ ව්‍යාපාරික ලෝකයේ හා දේශපාලන කේෂ්ත්‍රයේ මාතරින් ආ මිනිසුන් බොහෝ හපන්කම් පෙන්වා ඇති නිසාය. පසුගියදා අවසන්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණයත් සමග යළි මේ කේෂ්ත්‍ර දෙකම පිළිබඳව වැඩි වශයෙන් කතා කරන්නට පටන්ගෙන ඇත්තේ මැතිවරණයත් සමග ඇතිවූ මහා වෙනස්කම් ද සමඟය. ඒ මෙවර මහ මැතිවරණයේදී පළපුරුදු ජ්‍යෙෂ්ඨයන් රැසක් අබිබවා දියවන්නාව තරණය කරන්නට ව්‍යාපාරික ලොව ජයගත් මාතර මිනිසකුට හැකිවීම ඊට හේතුවයි. ඒ අන් කවරකුවත් නොව කරුණා සමූහ ව්‍යාපාරයේ අධිපති කරුණාදාස කොඩිතුවක්කුය.
“මම ව්‍යාපාරිකයකු වන්නට පෙර අපේ මාමාගෙ කඩේ කැෂියර් විදියටයි වැඩ කළේ. මේ ගමන හරිම අමුතු එකක්. කලින් සැලසුම් කරපු එකක් නොවෙයි. මේක මගේ දෛවෝපගත දෙයක් වන්නට ඇති” කතාබහට මුලපුරමින් කරුණාදාස කොඩිතුවක්කු කීවේය.
හොරගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කොඩිතුවක්කු පාසල් කාලය හමාර කිරීමෙන් පසු කොළඹට පැමිණ ඇත්තේ ඇතුළුකෝට්ටේ තිබූ ජනතා ස්ටෝර්ස් නම් තම මාමාගේ කඩේ වැඩකරන්නට ය. ටික කාලයක් එහි වැඩකරණ කොඩිතුවක්කු මාමා යටතේ තිබූ කොළඹ වරායේ ආපන ශාලාවේ වැඩට එක්වන්නේ මුදල් අයකැමි විදියට ය. ඒ වයස දහ අටේදී ය. හැඩකාර, දඟකාරයකුවූ කොඩිතුවක්කු, මාමා සමඟ ඇතිකරගත් නොහොඳ නෝක්කාඩුවක් නිසා නැවත ගමේ එන්නට තීරණය කරන්නේ කොළඹ ජීවිතය අවසන් කරමිනි. එහෙත් එකට අධ්‍යාපනය ලැබූ ප්‍රේමසිරි නම් යාළුවා යෝජනා කරන්නේ ගමේ නොගොස් කොළඹ සිට කුඩා ව්‍යාපාර කටයුතුතක් අරඹමු කියාය. ඒ කොඩිතුවක්කු ගේ හැරවුම් ලක්ෂයයි.
“මම මාමගෙ කඩෙන් අයින්වෙලා ප්‍රේමසිරිගෙ යෝජනාව මත බිස්නස් එකක් පටන්ගත්තා. ඒ 1981 දී. පාසල් උපකරණ තමයි අපි විකුණුවේ. ඒක සාර්ථක වුණා. පසුව අපි සීසන් බිස්නස් වලටත් යොමුවුණා. ජනවාරියේ පාසල් උපකරණ, අවුරුදු කාලයට රෙදි, නත්තලට ඊට අවශ්‍ය දේවල්. ඒ වැඩේ බොහොම සාර්ථක වුණා. පසුව අපි තට්ටු බිස්නස් පටන් ගත්තා. තැන තැන තට්ටුවල බඩු දමා විකුණන එක. ඒකත් දිනෙන් දිනම සාර්ථක වන විට මගේම කියා කඩකාමරයක් ගත්තා. ඒ කොළඹ ඕල්කට් මාවතේ දෙසිය තිස්පහෙන් පහ අංකය දරණ කඩය. එය අපි භාවිත කළේ විකුණන්න ගන්න බඩු ටික ගබඩාකර තබාගන්නයි. පසුව පිටකොටුවේ තට්ටු කීපයක් පටන්ගත්තා. ඒ හැම උත්සාහයක්ම සාර්ථක වුණා” කරුණාදාස කොඩිතුවකක්කු තම ආරම්භය සතුටින් විස්තර කළේය.
මෙලෙස දිනෙන් දින ව්‍යාපාර කටයුතු දියුණුවක් ලබමින් වසර දෙකක් ගතවෙද්දී කොඩිතුවක්කු මහතාගේ අතෙහි ද යහමින් මුදල් ගැවසෙමින් තිබුනේ ඉතිරිකරන්නට ද ඔහු තුළ තිබූ සහජ හැකියාව ද සමගය. 1983 දී ඔහු තව ආයෝජනයක් කරා ගමන් කළේ තම ව්‍යාපාරික කටයුතු පුළුල් කරමිනි. ඒ තවත් කඩ කාමර පහක් මිලදී ගනිමිනි. ටී ෂර්ට්, යට ඇඳුම්, සරොම්, කමීස ඒවායේ අළෙවිය සඳහා එක්කළේය. ඒ අතර තට්ටු බිස්නස් එක ද නොනවත්වාම පවත්වාගෙන ගියේ ඉන් වැඩි ලාබ ලැබෙනා නිසාය. ඒ අතර 1985 දී කොඩිතුවක්කු තම ව්‍යාපාරය තවත් පුළුල් කරන්නේ ය. ඒ මෙතෙක් අන් අයගෙන් මිලට ගෙන අළෙවි කළ කමීස වෙනුවට තමන්ම එය නිපදවා වෙළෙඳපොළට යොමු කිරීමෙනි.
“ අපි අසූ පහේදී අපේම කියා කමීස මසා වෙළඳපොළට දාන්න පටන් ගත්තා. ඉන් වෙනදාට වඩා හොඳ ආදායමක් ලැබුණු නිසා අපි එය තවත් වර්ධනය කළා. බොහොම සාර්ථක කඩ තුනක් ඒ නිෂ්පාදන අළෙවිය සඳහා යොදා ගත්තා. ඒ හැම උත්සාහයක්ම ඉතාම සාර්ථක වුණා”
මෙලෙස දිනෙන් දින දියුණුව කරා ගමන්කරමින් සිටි කොඩිතුවක්කු වසරින් වසර තම ව්‍යාපාරය පුළුල් කරමින් නව අංග එක්කරමින් සිටියේ තරුණ තරුණියන් රැසකට රැකියා වරම් ද ලබාදෙමිනි. ඒ අතර සුමදුර ප්‍රේමයක ප්‍රතිඵල මත කොඩිතුවක්කු විවාහ දිවියට එක්වන්නේ ගමේම රූමත් තරුණියකවූ අංහංගම විතානගේ කළ්‍යාණි සමඟයි. ඒ 1988 වසරේදී ය. එතැන් සිට තම ව්‍යාපාරික දිවිය වඩාත් ශක්තිමත් වීම කොඩිතුවක්කුට ඉහළ සතුටක් ගෙන දුන් අවස්ථාවක් විය.
“මගේ ගමනට ලොකුම ශක්තිය ලැබුණෙ මගේ නෝනගෙන්. එයා උපාධිය දක්වා අධ්‍යාපනය ලබා සිටියත් රැකියාවක් සඳහා නොගොස් හොඳ බිරිඳක් වුණා. ඒ නිසාම මගේ ගමන ගොඩාක් හොඳට ඉදිරියටම ගමන් කළා. ඇය මට හොඳ බිරිඳක් වගේම හොඳ ගෘහණියක්, හොඳ මවක් ද වුණා. ව්‍යාපාරිකයකු වශයෙන් අද මම ලබන ලොකුම සතුට වෙන මගේ දරුවන් පස්දෙනා රටට ලෝකයට ගැළපෙන හා බරක් නොවන විදියට ඇය හැදුවා. මගේ කාර්යබහුලත්වය තුළ කිසිසේත් දරුවන්ට අඩුවක් පීඩනයක් ඇතිවෙන්න ඇය ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ ශක්තිය නම් මට වචනයෙන් කියන්න තරම් අමාරුයි. ඒ තරම්ම වටිනවා. ඇය හැබෑම අම්මා කෙනෙක්; බිරිඳක්”.
“මම එකම දේ කරමින් දිගටම කටයුතු කළේ නෑ; ව්‍යාපාරයට නව අංග එකතු කළා. අලුත් වෙළෙඳසැල් ඇරඹුවා. ආනයනට හා අපනයනයට යොමු වුණා; තොග වෙළඳාම කළා. ඒ හැම එකකින්ම ඉදිරියක් ලැබුණා මිස පසුපසට යාමක් සිදුවුණේ නෑ. අද මම ආ ගමන ගැන මම ඉතාම තෘප්තිමත්” කොඩිතුවක්කු එසේ පවසන්නේ තෘප්තියෙනි.
ගමෙන් පැමිණ මෙරට ව්‍යාපාරික ලෝකය ජයගත් අයගේ දූ දරුවන් මුදල් මත යැපෙමින් අධ්‍යාපනයට දෙවැනි තැන දෙමින් ශක්තිමත් දෙවැනි පරම්පරාවක් වෙනුවට පියා ගොඩනැගූ මහා සම්පත් නිසි කළමනාකරණයකින් තොරව හුදු විනොදාස්වාදය වෙනුවෙන්ම යොදවමින් ඉදිරියක් නොදැක කටයුතු කර පියාගෙන් පසු ව්‍යාපර කඩාවැටුණු අවස්ථා අප කොතෙකුත් අසා ඇතත් කරුණා කොඩිතුවක්තු එම තත්ත්වය වෙනස් කර ඇත්තේ තම ආදරණීය බිරිඳගේ කැපවීම ලබා ගනිමිනි. ඒ නිසාම කොඩිතුවක්කුගේ දියණියන් දෙදෙනා හා එක් පුතකු වෛද්‍යවරුන් වෙද්දී තවත් පුතකු ඉංජිනේරුවකු වූයේ ය. බාල පුතු උසස් පෙළ ඉහළින්ම සමත්ව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයකට ඇතුළත් වීමේ සූදානමින් සිටින්නේ ය.
“මගේ දරුවො ව්‍යාපාර සඳහා යොදවාගන්නවා වෙනුවට ඒ අයට හොඳට ඉගැන්වූවා. දූල දෙන්න ගියේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට. පුතාල තුන්දෙනාම රාජකීය විද්‍යාලයට. මම ව්‍යාපාරික ලෝකය ජයගන්නා විට මගේ නෝනා ගෙදරත් දරුවන්ගේ අනාගතයත් හොඳට ගොඩනැගුවා. මට අමුතුවෙන් ඒ ගැන බලන්න වෙහෙසවෙන්න අවශ්‍ය වුණේ නෑ. ගමෙන් ආපු මම අද කොළඹ නගරයේ ඉන්නේ බොහොම සතුටින්” කරුණාදාස කොඩිතුවක්කු ආඩම්බරයෙන් පවසන්නේ ය.
ව්‍යාපාරික ලෝකය ජයගත් කරුණා කොඩිතුවක්කු මහතා 1980 සිට වාමාංශික දේශපානයේ යෙදෙන්නේ තරුණ හැඟීම් ද සමගය. ජනතාවාදී මතයක සිට කටයුතු කළ ද තම ව්‍යාපාරික අරමුණ සඵලකර ගැනීම විනා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමේ අදහසක් කරුණාදාස කොඩිතුවක්කු මහතාට තිබුණේ ද නැත. එහෙත් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමත් සමග එතුමා සමග සිටි පිරිස් වාසි අපේක්ෂාවෙන් යහපාලනයට එක්වද්දී දියත්කෙරුණ මහින්ද කඳවරු ශක්තිමත් කිරීමේ මහා මෙහෙයුමේ එක් අදියරක් ලෙස කරුණාදාස කොඩිතුවක්කු මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ ය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන බිහිවීමත් සමගය.
“මහින්ද රාජපක්ෂ මැතිතුමා අතහැර මාතර අපේ කණ්ඩායමක් ගියාට පසු ආසන සංවිධායකවරුන්ගේ ප්‍රශ්නයක් ඇතිවුනා. එතකොට තමයි ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර මහත්වරුන් මා සමග කතාකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අකුරැස්ස ආසන සංවිධායකවරයා ලෙස පත්වුනේ. ඒ එක්කම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආගමනයත් එක්ක මම තීරණය කළා රට හා ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න ක්‍රියාකාරීව දේශපාලනයට එන්න” කොඩිතුවක්කු මහතා දේශපාලන ගමන්මගේ ආරම්භය එලෙස කීවේය.
සක්‍රීය දේශපාලනයට පිවිසි කරුණාදාස කොඩිතුවක්කු මහතා ඉලක්ක මත වැඩකර වෙළඳ ලෝකය ජයගත් ආකාරයෙන්ම සිය දේශපාලනික ගමන ද ආරම්භ කළේ අරමුණුගත වැඩපිළිලෙක් සමගය.
“මගේ ව්‍යාපාරික ගමනේ බැංකු ණය නෑ. ඕඩී නෑ. අපි මහන්සිවෙලා උපයාගත් මදලින් තමයි සියලු ව්‍යාපාර ගොඩනැංවූයේ. මම ආසන සංවිධායකවු දින පටන් සැලසුමකට අනුව වැඩකළා. ව්‍යාපාරිකයකු වශයෙන් ලබාගත් දැණුම අත්දැකීම් ඒ සදහාත් යොදාගත්තා. ජනතා අවශ්‍යතා අපේ මට්ටමෙන් ඉටුකළා. ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර මහත්වරු මට දිගටම උදව්කළා”
කරුණාදාස කොඩිතුවක්කු මහතා සක්‍රීය දේශපාලනයට එලෙස යොමුවුවත් වැඩිකලක් යන්නට පෙර පාර්ලිමෙන්තු මැතිවරණයට මහුණදීමට සිදුවූයේ දේශපාලන පොරපිටියේ සටකපටකම්, නූල් සූත්තර, උප්පරවැට්ටි ආදී කිසිවක් පිළබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබන්නටත් පෙරය. එහෙත් ඔහු එයට සාර්ථකව මුහුණදුන්නේ ය. ඒ තනිවමය. එහෙත් මහ මැතිවරණයේ ප්‍රතිඵල මත කරුණාදාස කොඩිතුවක්කු මහතා මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජයග්‍රාහී ලැයිස්තුවේ දෙවැන්නා බවට පත්ව සිටියේ මනාප එක්ලක්ෂ දාහතරදහස් තුන්සිය දහනවයක් ලබාගනිමිනි. මෙරට මැතිවරණයකට ප්‍රථමවරට මුහුණදුන් අයෙකු ලෙස එලෙස ලැබූ ජයග්‍රහණය අද වන විට දැඩි කතාබහකට ලක්ව ඇත්තේය. ඒ දේශාපාලන පොරපිටියේ බොහෝ හරඹ පෑ ජ්‍යෙෂ්ඨයන් අභිබවා නවකයකු ලෙස ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය නිසාය.
“මගේ ජයග්‍රහණය ගැන විපක්ෂය එක එක කතා කියයි. ඒත් මම ජයග්‍රහණය කළේ මට කරන්න පුළුවන් දේ ජනතාවට කියලා. එය ලියලත් දුන්නා. මන්ත්‍රීවරයෙකු ලෙස මටත් මගේ කාර්යමණ්ඩලයටත් ආණ්ඩුවෙන් දෙන දීමනා පෞද්ගලික පරිහරණයට නොගෙන ජනතා අවශ්‍යතා වෙනුවෙන් යොදවනවා. මම ඒ ගැන ජනතාවට ලිඛිත පොරොන්දුවක් ලෙසත් දුන්නා. ජනතාව එය පිළිගෙන මට මනාපය ලබා දුන්නා. ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකර ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් කැපවෙනවා” කරුණාදාස කොඩිතුවක්කු තම අරමුණු හා අපේක්ෂා එලෙස සෘජු ලෙස පැවසුවේය.